එකෝමත් එක රටක අයියා කෙනෙකුයි නංගී කෙනෙකුයි හිටියා. මේ දෙදෙනාගේ දෙමාපියෝ මැරිලා. ඔවුන්ට තිබුණු එකම වස්තුව කුකුළෙක් විතරයි. උගේ කරමලය තද රතුයි. ඒ හන්දා ඌට 'රතු කරමලයා' කියලා නම් තැබුවා.

දවසක් දා අයියාට බොහොම බඩගිනි දැනුණා. ඔහු නංගීට කතා කළා.

"අනේ නංගියේ, ගබඩා කාමරයට ගිහින් බලාපන් කෑමට මොනවා හරි තියෙනවද කියලා. මට බොහොම බඩගිනියි."

නංගී ගබඩා කාමරයට ගිහිල්ලා හැම තැනම බැලුවා. ඇහැට පේන්න කිසි දෙයක් එහි තිබුණේ නැහැ. නංගී ගබඩා කාමරය අතු ගෑවා. එතකොට වී ඇටයක් දැකලා එය අතට ගත්තා.

වී ඇටය අයියට පෙන්නුවා. එය පැල කරන්නට දෙදෙනාම හිතා ගත්තා.

ගේ පිටිපස්සේ වලක් හාරලා වී ඇටය පැල කළා.

පහුවදා උදේ අයියා නැගිටලා වී ඇටය පැල වෙලාද කියලා බැලුවා. කොස් ගහක් තරම් මහත කඳක් ඇති යෝද ගහක් වැවිලා. ගහේ මුදුන අහසට වැදෙන්න තරම් උසයි.


"මේක තමා පුදුමෙනුත් පුදුමය. !" අයියා කල්පනා කළා. " මේ ගහ මුදුනේ තියෙන්නේ මොනවද?"! ඔහු ගහ දිගේ බඩගාලා මුදුනට නැග්ගා.

ගහේ මුදුන වළාකුළු වලටත් වඩා උසයි. ඔහු ගහෙන් වළාකුලකට නැගලා ඇවිදින්ට පටන් ගත්තා.

දැන් ඉතින් ඔහු වලාකුළු වල ඇවිදිනවා.

ඔහොම ඇවිදගෙන ඇවිදගෙන යනකොට ඔහු අහසේ පුංචි ගෙයක් දැකලා එහි දොර ඇරියා. ගෙයි ඇතුළේ නාකි ආච්චි කෙනෙක් ඉන්නවා. ඈට තියෙන්නේ එක ඇහැක් විතරයි. එය රාජාලි ඇහැක් වගේ දිලිසෙනවා. ඈ මායාකාර ගල් වංගෙඩියක් කරකවනවා. ඒ හැම වරකටම ගල් වංගෙඩියෙන් රොටී, කේක් කෑලි පිට වෙනවා.

ආච්චි දිහා බලන්ටත් බයයි. ගල් වංගෙඩිය කරකැවෙන හැම වරකටම රොටී කේක් කෑලි වීසි වෙනවා. ඒවා දිහා බලා ඉන්නකොට ඉබේටම හිනා යනවා.

ලිප ළඟ විශාල මල්ලක්. ඒක ඇතුලේ රොටී, කේක් පිරිලා!

අයියා වාඩිවෙලා කල්පනා කළේ නැහැ. බඩගිනි දැනෙන විට කල්පනා කරන්ට බැහැ. ඔහු මල්ල කරගහ ගෙන එක පිම්මට දුවලා ගහ දිගේ බිමට බැහැලා ගෙදරට ආවා.

"නංගියේ බලාපන් මම ගෙනාව කෑම ජාති!" අයියා කිවුවා.

අයියයි, නංගියි බොහොම කලක් තිස්සේ රොටී, කේක් කෑවා. එක දවසක් ඒ ගොල්ල මල්ලට අත දැම්මා. මල්ල හිස්. අයියා ගහ උඩ නැගලා මායාකාර ආච්චිගේ මායාකාර ගල් වංගෙඩියෙන් පිට වෙන රොටි ගේන්ට හිතා ගත්තා.

"අනේ අයියේ මාවත් ගෙනියන්න! " නංගී කිවුවා.

"බැහැ, බැහැ. නංගි ගහෙන් බිමට වැටේවි. නැතිනම් මායාකාර ආච්චි දැකලා බයවේවි. එහම්ත් නැතිනම් ගල්වංගෙඩියෙන් රොටි පිට වෙන හැටි දැකලා බක බක ගාලා හිනා වේවි. එතකොට ආච්චි අපව දකීවි."

නංගී කන්නලව් කළා.

"අනේ අයියේ, මම හිනාවෙන්නේ නැහැ. බය වෙන්නෙත් නැහැ. මාවත් ගෙනියන්නකෝ!"

ඔන්න ඉතින් දෙදෙනාම ගහට නැගලා, වළාකුළු වල ඇවිදලා පුංචි ගේ තියෙන තැන හොයාගෙන ඒක ළඟට ආව.

දෙදෙනාම ගේ ඇතුලට ආව. එක මුල්ලක මායාකාර ආච්චි වාඩිවෙලා ඉන්නවා. ඈට බොහොම වයසයි. ඇය දිහා බලනකොට බය හිතෙනවා. ඈ ගල් වංගෙඩිය කරකවනවා. ඇගේ ඇහැ දිලිසෙනවා. රාජාලි ඇහැක් වගේ.


"අනේ අයියේ මට බයයි!" නංගී හෙමිහිට කිවුවා.

අයියා ඈට හෙමින් වැල මිටෙන් ඇන්නා.

"කට වහගනින්, ආච්චිට ඇහුණොත් අපි ඉවරයි."

ආච්චි ගල් වංගෙඩිය කරකවනවා. ඒක බලන්ට වටින පුදුමයක් තමයි. ගල් වංගෙඩිය කරකැවෙන හැම වරකටම රොටී, කේක් කෑලි විසිවෙනවා. ගල් වංගෙඩිය ඇතුලේ ඉඳලා කොහොමද කියන්ට දන්නේ නෑ, රොටී, කේක් කෑලි වීසිවෙනවා.

නංගීට හිනා නොවී ඉන්ට බැරි වුණා. මේක මහා ලොකු හාස්කමක්. ඈ එකපාරටම හිනා වුනා.

"හා- හා- හා!"

ඇගේ හිනාව ලොකු සද්දයක් ඇති නොකලට හීන් සද්දයක් ඇති කලා. ආච්චිට හිනාව ඇහුනා. ඈ වට පිට බැලුවා. අයියවයි නංගිවයි දැක්කා.

"අහා! අහුවුණා!" මගේ රොටී, කේක් අරගෙන ගියේ නුඹලා නොවෙද?"

අයියයි නංගියි ගල් ගැහුනා වගේ හිටියා.

ආච්චි ලිපට දර දාලා ලෑස්ති කලා.

"දැන් මම නුඹලා දෙන්නාව පුච්චාගෙන කන්නම්! ඒයි කොල්ලා නුඹ ඉස්සෙල්ලාම මගේ උදැල්ල උඩ ඉඳ ගනින්. මම නුඹව ලිප ඇතුලට වීසි කරන්නම්."

මායාකාර ආච්චි මිනීකන යකින්නක්.

කොල්ලා උදැල්ල උඩ වාඩි වෙලා කකුල් දෙකයි, අත් දෙකයි හරස් අතට දිග හැරගෙන හිටියා. ලිපේ කට ඇතුලට ඔහුව දමන්නට යකින්නට බැරිවුණා.

යකින්න මෙහෙම කිවුවා.

"කොල්ලෝ, නුඹ ඔළුව ලිප පැත්තට හරවලා වාඩිවෙයන්"

කොල්ලා නුවණක්කාරය. ඔහු මෙහෙම පිළිතුරු දුන්නා.

"අනේ ආච්චියේ නුඹ කියනා දේ මට තේරෙන්නේ නැහැ, එක වරක් නුඹ උදැල්ල උඩ වාඩිවෙලා ලිපට ඇතුලුවෙන හැටි මට පෙන්නාපන්."

යකින්න උදැල්ල උඩ වාඩිවෙලා හිසයි බෙල්ලයි නමලා කුදු ගැහුණා. කොල්ලා ඉක්මණට යකින්න වාඩිවෙලා හිටිය උදැල්ල ලිප ඇතුලට දැම්මා.

අයියා කල හපන් කම ගැන නංගී විතරක් නොවෙයි, අයියත් සතුටු වුණා. දෙදෙනාම ගල් වංගෙඩියත් උස්සාගෙන ගහෙන් බිමට බැහැලා ගෙදර ආවා.

දැන් ඉතින් අයියයි නංගීයි රතු කරමලයයි බොහොම හොඳින් ජීවත් වෙනවා. ගල් වංගෙඩියෙන් පිට වෙන කෑම කකා සතුටු වෙනවා.


ඔහොම කලක් යනකොට රටේ රජ්ජුරුවන්ට ගල් වංගෙඩිය ගැන ආරංචි වුණා. රජ්ජුරුවෝ සේවකයන් යවලා ගල් වංගෙඩිය රජ මාළිගාවට ගෙන්වා ගත්තා.

ටික දවසකින් ඉතුරු වෙලා තිබුණු රොටී, කේක් ඔක්කොම ඉවර වුණා. දැන් ඉතින් අනාත ළමයින් දෙදෙනා අයෙමත් බඩගින්නේ.

නංගී ඇඬුවා. අයියත් ඇඬුවා. රතු කරමලයාට අඬන සද්දේ ඇහුණා. ඌ ගේ දොරකඩට ඇවිත් මෙන්න මෙහෙම කිවුවා.

"කොක්කෝ කෝ කෝ! මම රජතුමා ලඟට ගිහිල්ලා ගල් වංගෙඩිය අරගෙන එන්නම්!"

කුකුළා රජතුමාව හමුවෙන්න ගියා.

කුකුළා ගමනට පිටත් වෙලා යනකොට, ඌට වලසෙකු හමුවුණා. වලසා කුකුලාගෙන ඇහුවා කොහෙද යන්නේ කියලා.

"රජ්ජුරුවෝ අනාත ළමයින්ගේ ගල් වංගෙඩිය උදුරා ගත්තා. මම ඒක ගේන්නට යනවා."

"නුඹට උදව්වට මාත් එනවා!" වලසා කිවුවා.

"එහෙනම් නුඹ මගේ දකුණු අත් තටුව අස්සට රිංගපන්" කුකුළා වලසාට කිව්වා.

වලසා කුකුළාගේ දකුණු අත් තටුව යටට රිංගුවා. රතු කරමලයා වලසාවත් කිහිලි ගන්නා ගෙන මළිගාව දිහාවට යනවා. ඔහොම යනකොට කුකුළාට වෘකයෙක් හමුවුණා.


"රතු කරමලයා යන්නේ කොහේද?" වෘකයා ඇහුවා.

"රජ්ජුරුවෝ අනාත ළමයි දෙන්නාගේ ගල් වංගෙඩිය බලෙන් උදුරාගත්තා. ඒක ගෙනෙන්ට යනවා."

"නුඹට උදව්වට මාත් එනවා!" වෘකයා කිවුවා.

"එහෙනම් නුඹ මගේ වම් අත්තටුව යටට රිංගාපන්"

රතු කරමළයා වෘකයාව වම් අත්තටුව යටට දමාගෙන රජ මාළිගාවට ගියා.

ඔහොම යනකොට පුංචි පොකුණක් කුකුළාට පෙණුණා.

"රතු කරමලයා, නුඹ යන්නේ කොහෙද?" පොකුණ මිනිහෙක් වගේ කතා කළා.

"රජ්ජුරුවෝ අනාත ළමයි දෙන්නාගේ ගල් වංගෙඩිය බලෙන් උදුරාගත්තා. ඒක ගෙනෙන්ට යනවා."

"නුඹට උදව්වට මාවත් ගෙනියපන්!" පුංචි පොකුණ කිවුවා.

"නුඹව මගේ යටි තල්ලේ හංගාගෙන යන්ට පුළුවනි."

රතු කරමලයා එහෙම කියලා එක හුස්මට පොකුණේ වතුර ටික බීල ගමනට පිටත් වුණා.

රතු කරමලයා රජ මාළිගාවේ, රජ තුමාගේ යහන් ගබඩාව ළඟ ජනේලය යට වෙලා සිංදු කිවුවා.

"රජ්ජුරුවෝ මහ නපුරා - ගල් වංගෙඩි ගත්තු හොරා
ළමයි දෙන්නා බඩ ගින්නේ - රජතුමාට ඉස්මුරුතේ
මගෙ කරමල රතට රතේ - නපුරු රජුට එයත් නැතේ"


රජ්ජුරුවන්ගේ රාජ කෝපය ඇවිස්සුණා. කුකුළාව පන්නා දමන්ට අණ කළා. කුකුළා වෙනත් පැත්තකට වෙලා ආයෙමත් සින්දුව කිවුවා.

"රජ්ජුරුවෝ මහ නපුරා - ගල් වංගෙඩි ගත්තු හොරා
ළමයි දෙන්නා බඩ ගින්නේ - රජතුමාට ඉස්මුරුතේ
මගෙ කරමල රතට රතේ - නපුරු රජුට එයත් නැතේ"


"කුකුළාව අල්ලගෙන අස්ස ඉස්තාලේ කුලප්පුවෙලා ඉන්න අස්පයින් ලඟට වීසි කරනු. එවිට අස්පයෝ කුකුළා පාගලා මරා දමාවි!" රජ්ජුරුවෝ සේවකයන්ට එසේ අණ කළා. රාජ සේවකයෝ කුකුළාව අල්ලාගෙන අස්ස ඉස්තාලේ කුලප්පු වෙලා ඉන්න අස්පයින් ළඟට වීසි කරලා ඉස්තාලේ දොර වැහුවා.

රතු කරමලයා දකුණු අත් තටුව යට හිටිය වලසාව එළියට දැම්මා. වලසා අස්පයින් මරා දැම්මා. පහුවදා සේවකයෝ ඇවිත් ඉස්තාලේ දොර ඇරියා. රතු කරමලයා ඉක්මනට ඉස්තාලෙන් එළියට ඇවිත්, රජතුමාගේ මාළිගාවෙ ජනේලයක් ලඟට වෙලා සින්දුව නැවත කිවුවා.

"රජ්ජුරුවෝ මහ නපුරා - ගල් වංගෙඩි ගත්තු හොරා
ළමයි දෙන්නා බඩ ගින්නේ - රජතුමාට ඉස්මුරුතේ
මගෙ කරමල රතට රතේ - නපුරු රජුට එයත් නැතේ"


රජ්ජුරුවන්ට බොහොම කේන්ති ආව. "කුකුළාව අල්ලගෙන නපුරු බැටළුවෝ ඉන්න කොටුවට වීසිකරපල්ලා. එවිට උන් කුකුළාට අං වලින් ඇනලා මරා දමාවි." රජ්ජුරුවෝ අණ කළා.

රතු කරමලයාව බැටළු කොටුවට ගෙනිච්ච හැටියේම ඌ වම් අත්තටුව යට හිටිය වෘකයාව එළියට දැම්මා. වෘකයා බැටළුවන් මරලා උන්ගේ මස් කෑවා.

පසුදා සේවකයෝ ඇවිත් බැටළු කොටුවේ දොර ඇරියා. රතු කරමලයා ආයෙමත් දුවලා ගිහිල්ලා මාළිගාවේ ජනේලයක් ළඟට වෙලා සින්දුව කිවුවා.

"රජ්ජුරුවෝ මහ නපුරා - ගල් වංගෙඩි ගත්තු හොරා
ළමයි දෙන්නා බඩ ගින්නේ - රජතුමාට ඉස්මුරුතේ
මගෙ කරමල රතට රතේ - නපුරු රජුට එයත් නැතේ"


රජ්ජුරුවෝ කෝප වෙලා වෙවුලන්ට පටන් ගත්තා. මේ කුකුලාගෙන් බේරෙන්නේ කොහොමද කියලා ඔහු දන්නේ නෑ. !

රජ්ජුරුවන්ගේ නාන කාමරයේ මහ විසාල ලෝහ හැලියකට වතුර පුරවලා, ඒ වතුර උතුර උතුරා නටන කොට කුකුළාව හැලියට දමන්ට කියලා රජතුමා අණ කළා.

රාජ සෙවකයෝ රජ අණ ඉටු කළා. රතු කරමලයාව වතුර උතුරන ලෝහ හැලියකට දමාපු හැටියෙම ඌ යටි තල්ලේ හංගගෙන හිටිය පොකුණේ ජලය කටින් පිට කළා. ඒ පාර නාන කාමරය පොකුණේ වතුරෙන් යට වෙලා ගින්දර නිවී ගියා.

පහුවදා උදේ රාජ සේවකයන් ඇවිත් නාන කාමරයේ දොර ඇරියා විතරයි, රතු කරමලයා මළිගවේ ජනේලයක් ලඟට ගිහිලා ආයෙමත් සින්දුව කිවුවා.

"රජ්ජුරුවෝ මහ නපුරා - ගල් වංගෙඩි ගත්තු හොරා
ළමයි දෙන්නා බඩ ගින්නේ - රජතුමාට ඉස්මුරුතේ
මගෙ කරමල රතට රතේ - නපුරු රජුට එයත් නැතේ"


රතු කරමලයාව බැදලා උදේ කෑමට ගෙනවිත් දෙන්නට යයි රජතුමා අණ කළා. රජතුමාට කුකුලාව බැදලා ගෙනැවිත් දෙන තුරු ඉවසාගෙන ඉන්නට බැරි වුණා. ඔහු රතු කරමලයත් එක්කම කුකුළාව පණ පිටින් එකපාරටම ගිල්ලා.

කුකුළා රජතුමාගේ බඩ ඇතුලේ ඉඳගෙන ආයෙමත් සින්දුව කියනවා.

"රජ්ජුරුවෝ මහ නපුරා - ගල් වංගෙඩි ගත්තු හොරා
ළමයි දෙන්නා බඩ ගින්නේ - රජතුමාට ඉස්මුරුතේ
මගෙ කරමල රතට රතේ - නපුරු රජුට එයත් නැතේ"


ඔන්න ඒ පාර නපුරු රජ්ජුරුවෝ රතු කරමලයාට කන්නලව් කළා.

"එළියට වරෙන්. මම නුඹට හිරිහැර කරන්නේ නැහැ. මට නිවිහැනේ ඉන්ට ඉඩ දීපන්!"


රතු කරමලයා රජ්ජුරුවන්ට මෙහෙම කිවුවා.

"රජ්ජුරුවෝ අනාත ළමයි දෙන්නගෙන් උදුරාගෙන ගිය ගල් වංගෙඩිය ආපහු ඔවුන්ට බාර දෙනතුරු මම එළියට එන්නේ නැහැ!" ආයෙමත් රතු කරමලයා සින්දුව කිවුවා.

"රජ්ජුරුවෝ මහ නපුරා - ගල් වංගෙඩි ගත්තු හොරා
ළමයි දෙන්නා බඩ ගින්නේ - රජතුමාට ඉස්මුරුතේ
මගෙ කරමල රතට රතේ - නපුරු රජුට එයත් නැතේ"


රතු කරමලයාගේ සින්දුව මිනිස්සුන්ට ඇහෙනවා. රජ්ජුරුවන්ගේ නපුරු වැඩ නිසා මිනිස්සු ඔහුට හිනා වුණා. ගල් වංගෙඩිය අයියටයි නංගිටයි බාර දෙන්නට ඒ නිසා රජ්ජුරුවන්ට සිද්ද වුණා.

රජ්ජුරුවන්ගේ බඩ පලාගෙන රතු කරමලයා එළියට ආවා. ඌ අයියයි නංගියි ඉන්න ගෙදරට ගියා.

රතු කරමලයා ගෙදර ආපු හින්දා අයියයි නංගියි බොහොම සතුටු වුණා.


ඔන්න ඉතින් එදා ඉඳලා මේ තුන් දෙනාම හොඳින් ජීවත් වෙනවා. ගල් වංගෙඩිය රොටී කේක් කෑලි හදනවා. අයියයි නංගියි රතු කරමලයයි ඒවා කනවා. ගෙදරට එන දුප්පතුන්ටත් කෑම බෙදලා දෙනවා.


[වික්තර් වෂ්යාදෙව් විසින් කරේලියානු ජනකතාවක් ඇසුරෙන් සංස්කරණය කරන ලද කතාවකි.]



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
| edit post
Reactions: 
Related Posts with Thumbnails