කතා කරලා තියෙනව මං සුළඟට
පියඹන සුළඟට
ගයනා සුළඟට
කීවා ඔහු මට පුංචි ළමෝ ගැන
සෙල්ලම් කරනා සතුටින් උඩ පැන
ඈත තණ බිමේ සමණළයන් ගැන
කලබලයෙන් එහෙ මෙහෙ පියඹා යන
රිදී ගීතයක් සමගින්
ගී ගයමින් යන සුළඟට
කතා කරලා තියෙනව මං සුළඟට.

කතා කරලා තියෙනව මං සුළඟට
ඉගිලෙන සුළඟට
වැලපෙන සුළඟට
ගෙපැලෙන් ඈතට සමුදුර වෙත යන
ධීවරයන් ගැන කීවා ඔහු මට
බියකරු සලකුණු ඇති සමුදුර ගැන
පාළු අහසෙ හිඳ ඈතින් වැලපෙන
මූදු කුරුල්ලන්ගේ ගී හඬ ගැන
අඳුරු මූදු රැලි අතරින් නැග එන
ඇඟ සීතල වෙන බියකරු බව ගැන
ඉගිලෙන සුළඟට
වැලපෙන සුළඟට
කතා කරලා තියෙනව මං සුළඟට.

කතා කරලා තියෙනව මං සුළඟට
කඩිමුඩියේ එන සුළඟට
සතුටින් නටනා සුළඟට
කීවා ඔහු මට සරු උක් වතු ගැන
ග්‍රීස්ම වැස්සේ තෙමිලා දිලිහෙන
කීවා ඔහු මට රන් පෑ දිදුලන
පුංචි පුංචි පැණි කුරුළු පැටව් ගැන
සැණෙක දෑස් මත එළි වැද පිපිරෙන
මැද රතු මල් ගැන
රතු චෙරි ගස් මත හිඳ දොඩමළු වන
බටු ගිරවුන් ගැන
ගරුසරුවක් නැති හොරු ගැන!
සිනා උපදවන හොරු ගැන!
කඩිමුඩියේ එන සුළඟට
සතුටින් නටනා සුළඟට
කතා කරලා තියෙනව මං සුළඟට

තරු පිපි රෑ ගැන කීවා ඔහු මට
අරලියා මල් මත සුදුකාවුන් ගැන
නිල් දිය අද්දර උඩට නැගී හිඳ
සඳ එළියෙන් නැහැවෙන පොල් ගස් ගැන
මටත් කියනවද හමන සුළං රැළි
ඔබ හට අමතා කිවුවේ මොනවද?

[ඩොරති වයිට්ෆීල්ඩ් ගේ Carib Breez (1993) කවි පොතෙන්]

ඩොරති වයිට්ෆීල්ඩ්
පරිවර්තනය - රුවන්මලී



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails