බැලුමට උණුසුම් වාතය පිරවීම අවසන් වුණා. විශාල තඹ හැලිය ඉවත් කරන ලෙස කියා සිටි දක්ස පාල බැලුමේ අග ඇති රබර් නලය එයාගේ අතින්ම බැඳ දැම්මා. එහෙම කළේ උණුසුම් වාතය පිට නොවීමටයි. ගමනට සූදානම් අයට කූඩයට නගින්න කියලා දක්ස පාල කිවුවා. අන් අයට ඉස්සෙල්ලා නැග්ගේ කඩිනම් රාළ. ඊලඟට බොත්තම් පුංචා නැග්ගේ අනිත් අයගේ ඇඟේ හැප්පෙමින්. එයා බොහොම මහතයි. එයාගේ සාක්කු වල නොයෙක් දේ පුරවලා. සීනි කැට, විස්කෝතු. එයා සපත්තු වලට උඩින් අඳින රබර් කවර සමග සපත්තු ඇඳලා, කුඩයක් අතින් අරගෙන. බොත්තම් පුංචාට බැලුම සවිකර ඇති කූඩයේ වාඩි විමට අනිත් අය උදවු කළා. අනික් අය වාඩි කරවීමට සූකිරි බොහොම මහන්සි වුණා.
"කරුණාකරලා වාඩිවෙන්න. පහසු ලෙස ඉඳ ගන්න. ගුවන් බැලුමේ සැමට ඉඩ තියෙනවා." සූකිරි කියනවා.
"ඔයත් වාඩිවෙන්න!" එයාට අනික් අය කිව්වා.
"මට බැරියෑ. ඔයගොල්ල වාඩිවෙන්න." සූකිරි පිළිතුරු දුන්නා.
එයා අනික් අයගේ වැලමිටෙන් අල්ලා වාඩි කෙරෙව්වා.
ඔන්න ඉතින් කුරුමිට්ටෝ සියලු දෙනාම කූඩයට නැග ගත්තා. සූකිරි විතරක් පහළට වෙලා ඉන්නවා.
"ඔයා වාඩි නොවන්නේ මොකද?" ඔහුගෙන් ඇසුවා.
"මම නොයන එක වඩා හොඳයි නෙව. මම බොහොම මහතයි. මම නැතුවට ඔතන ඉඩ මදිවෙලා. බැලුමට බර වැඩිවෙයි කියලා බයයි." සූකිරි කිව්වා.
"ඔයා බයවෙන්න එපා. බර වැඩි වෙන්නේ නෑ."
"අනේ සෝයුරනි, මා නැතුවට කමක් නැහැ. ඔය ළමයින් එනතුරු මම මෙතැන ඉන්නම්. ඔයගොල්ලන්ට මම කරදර කරන්නේ මොකටද?"
"කිසිම කරදරයන් නැහැ. වාඩි වෙන්න. අපි ගුවනින් යාමට තීරණය කළ නිසා එක් වෙලා එකට යමු." දක්ස පාල කිව්වා.
සූකිරි කූඩයට නැග්ගේ කැමැත්තෙන් නොවේ. හිටි හැටියේම බලාපොරොත්තු නොවූ දෙයක් සිද්ධ වුණා. බැලුමයි කූඩයයි දෙකම බිමට පාත් වුණා.
"ඕං බලපල්ලා ගුවනේ ගිය හැටි!" වැට අයිනට වෙලා හිටිය බට්ටිච්චා හිනා වුණා.
"නුඹ හිනාවෙන්නේ මොකද?" බට්ටා බට්ටිච්චාට සැර වුනා. "මෙතැන අවාසනාවක්. නුඹ හිනාවෙනවා!."
"ඕක අවාසනාවක් නොවෙයි. ඔය බැලුමෙන් ඉගිල්ලෙන්න පුළුවන් පහළොස් දෙනෙකුට විතරයි. දහසය දෙනෙක් නැංගා. ඉතිං බැලුමට බැහැ ඉහළ නගින්න." වීදුරු බටයා කිවුවා.
"එහෙනම් ඉගිලෙන්නේ නැද්ද?" බට්ටා ඇසුවා.
"එක කුරුමිට්ටෙකු බිම තියලා යන්න ඕනෑ. එවිට ඉගිලෙන්න ඇහැකි." වීදුරු බටයා විස්තර කළා.
"වැඩ බැරි දාසව බිම බස්සනවා වෙන්නට ඕනෑ." බට්ටිච්චා කියුවා.
ගුවනින් යාමට බය සූකිරි බොහොම සතුටු වෙලා මෙහෙම කියාපි.
"මම කිවුවා නොවෙද බර වැඩිවෙනවා කියලා. මම බිමට බහින්නම්. එය වඩාත් හොඳයි."
සූකිරි බිමට බහින්නට කූඩයට උඩින් පය දැම්මා. එවිට දක්ස පාල කූඩයේ තිබුණ වැලි මිටියක් බිමට විසි කළා විතරයි, බැලුම ආයෙත් ඉහළ නගින්ට පටන් ගත්තා. දක්ස පාල වැලි මිටි කූඩයට දැමූ හේතුව දැන් අනික් අය තේරුම් ගත්තා. රැස්වෙලා හිටිය අය අත්පුඩි ගැහුවා. දක්ස පාල අතක් ඔසවලා කතා කලා.
"සෝයුරනි, ආයුබෝවන්! අපි ඈත රටවලට ගුවනින් යනවා. සුමානයකින් ආපහු එනවා. එතෙක් ආයුබෝ වේවා. !"
"ආයූබෝ වේවා! ජයවේවා! සුබ ගමන්!" කුරුමිට්ටෝ සුබ පැතුවා. සමහරු අත් වැනුවා. තොප්පි උඩ විසි කළා. ප්‍රීතිය පල කළා.
දක්සපාල සාක්කුවෙන් කුඩා පිහියක් ගෙන බැලුම පඳුරට බැඳලා තිබුණ ලණුව කපා දැම්මා.
බැලුම යන්තමින් ඉහළ නැගලා ගහේ අත්තකට ඇමිනී ටික වේලාවක් එක තැන ඉඳලා, ආයෙමත් ඉහළ නැංගා.
"ජය වේවා! දක්සපාලට සහ එයාගේ යාළුවන්ට සුබ ගමන්!"
අත්පුඩි ගහලා, තොප්පි උඩ වීසි කළා. පුංචි ළමයි එකිනෙකා බදාගත්තා. බට්ටිච්චී සහ සිරිමලී එකිනෙකාව සිප ගත්තා. ඩේසි ඇඬුවා.
බැලුම දිගින් දිගටම ඉහළ නැංගා. සුළඟ නිසා බැලුම එක පැත්තකට ගසාගෙන ගියා. දැන් එය පෙනුණේ නිල්වන් අහසේ ඇති පුංචි ලපයක්වගෙයි. වීදුරු බටයා වහල උඩ නැගලා එයාගේ දුරදක්නයෙන් අර පුංචි ලපය දිහා බැලුවා. ඔහු අසලින් වහල උඩ හිටියේ කවි කුසුම්. කවියා දෑත් පපුව මත තබාගෙන කුරුමිට්ටන්ගේ ජය හඬට කන් දෙමින්, ඔවුන් දෙස බලා යමක් කල්පනා කළා. හිටි හැටියේම්, කවි කුසුම් දෑත් පළල් කර හිටගෙන කෑ ගැසුවා.
"අහපල්ලා! මගෙ කවිය අහපල්ලා!"
අවට නිහඬ වුණා. හැම දෙනාම කවි කුසුම් දිහා බැලුවා.
"කවි! දැන් එයා කවි කියාවි!" කුරුමිට්ටෝ මුණු මුණු ගාලා කියුවා.
කවි කුසුම් පූර්ණ නිහඬතාවය ඇති වන තුරු ටිකක නැවතී සිටියා. ඔහු ඈත යන බැලුම දෙසට අතක් ඔසවා යම්තම් උගුර බුරුල් කැරැගෙන, ආයෙමත් මෙහෙම කියුවා.
"කවි."
"මේ දැන් එයා ගොතපු කවි හිටි වනම කියන්නට පටන් ගත්තා.
"බැලුමක් හදලා නැංගා අහසට
තිළිණයකි එය මිනිස් මොළයට
මිට්ටෝ අපේ නොවෙති කුරුල්ලන්
ගුවනින් යාමට ඔවුන් දක්සයන්.
මිනිහගේ මොලයට නොහැකි වැඩක් නැත!
ගුවනින් යාමට තව ඉඩකඩ ඇත!
කවියේ තාලය අනුව කුරුමිට්ටෝ අත් පුඩි ගහන්නට පටන් ගත්තා. මිට්ටෝ කවි කුසුම්ව වහලෙන් පහලට අරගේ එයාගේ ගෙදර දක්වා එයාව ඔසවාගෙන ගියා. පුංචි කෙල්ලෝ එයාගේ ඇඟට මල්පෙති වීසි කළා. එදා කවි කුසුම් ප්‍රසිද්ධ වුණේ හරියට ගුවනේ පාවෙන බැලුම එයා හදලා එයා පියාසර කළා වගෙයි. එයාගේ කවි, කුසුම් පුරයේ හැම කෙනෙක්ම කියමින් ප්‍රීති වෙන්නට පටන් ගත්තා.
එදා කුසුම් පුරයේ හැම තැනම කවි කුසුම්ගේ ගීතය රැව් දුන්නා.
මිනිහගේ මොළයට නොහැකි වැඩක් නැත!
ගුවනින් යාමට තව ඉඩකඩ ඇත!
නිකොලායි නෝසව්
පරිවර්තනය - දැදිගම වී. රුද්‍රිගු
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook