පෙරදිග ලෝකයේ බබළන මුතු ඇටය
පණ ඇති මහා සමුදුර පවුරින් වටය
හෙළ දිවයින මගෙයි මා ඉපදුන රටය
ලොව අන් සියළු දිවයින් මේකට යටය

මහවැළි, කැළණි, වලවේ, කළු යන ගංගා
සමනළ කන්ද මුදුනේ සිට පැන නැංගා
බෑවුම් තැනිතලා හෙල් අතරින් රිංගා
මේවා ගලයි මිණි කැට දිය යට හංගා

උණුසුම සිසිල සහ අතරෙහි සම ගුණය
ඇති අන් රටක් නැත මගෙ රට ඇති තැනය
මුව, මී ගෝන, ඇත් සේනා යුතු වනය
පවසන්නේය මට ඇති ජාතික දනය

අගනා දුලබ වන මල් ගොමු ඇත බැද්දේ
තුරු මත කුරුල්ලන්ගේ සුමිහිරි සද්දේ
මීදුම් පටල පෙරවූ නිල් කඳු මැද්දේ
සීතල රිදී දියවැල් පහළට ඇද්දේ

තෝපා, තඹලගම, මිනිපේ, මින්නේරී
මහ වැව් වලින් දියවැල් ඇදෙමින් බේරී
සරු කරවයි කුඹුරු නිල් පැහැයෙන් මේරී
මගෙ ලක් මෑණියන් දෑ හරි පින්කාරී

අඹ,දඹ, පෙර, වැල, වරකා අන්නාසි
රඹුටන්, දිවුල්, බෙලි, මොර තුරු අග රාසි
පලතුරු ඉදී සුවඳින් අමරස පෑසි
ගෙනදෙන්නේය මගෙ ලක්මව වෙත ආසි

[1905 දී අර්නස්ට් හෙකල් විසින් සිය ශ්‍රී ලංකා සංචාරයෙ දී ලබා ගත් ඡායාරූපයක් ඇසුරින් අඳින ලද චිත්‍රයකි.]

පී.බී. අල්විස් පෙරේරා



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails