ලොව විශාලතම ග්ලැසියර නිම්නය ලෙස හැඳින්වෙන්නේ නැගෙනහිර ඇන්ටාටිකාවේ "ලැම්බර්ට්" ග්ලැසියර නිම්නයයි.

එහි පළල කිලෝමීටර 100 ක්. එසේම එය දිගින් කිලෝමීටර 400 ක් වන අතර ගැඹුර කි. මී 2.5 ක්. ලොව විශාලතම ග්ලැසියර නිම්නය ලෙස ගිනස් වාර්තා පොතට එක් වී ඇති මෙය, ඇන්ටාටිකා ප්‍රදේශයේ අයිස් ඇති තලාවන්ගෙන් 8% ක් ම ප්‍රින්ස් චාල්ස් කඳුවැටියේ නැගෙනහිර සහ දකුණු දෙසට රැගෙන යනවා.

මෙම දැවැන්ත ග්ලැසියර නිම්නය මුලින්ම හඳුනාගත්තේ 1952 වසරේදී. ඒ අමෙරිකානූ භූගෝල විද්‍යාඥයෙකු වූ ජෝන් රොස්කෝ විසිනි. මෙය 1957 වසරේදී "ලැම්බර්ට් ග්ලැසියරය" ලෙස නම් කරනු ලැබුවේ ඕස්ට්‍රේලියාවේ "ජාතික ඇන්ටාටිකා පර්යේෂණ සහ ගවේෂණ" වැඩසටහන විසිනි.

දේශගුණික විපර්යාස අධ්‍යනය සඳහා දර්ශකයක් ලෙස මෙම ග්ලැසියරය ඉතාමත් වැදගත් මෙහෙයක් ඉටු කරනවා. ඒ ඉතා සුළු දේශගුණික වෙනස්වීමක් හේතුවෙන් පවා සැලකියයුතු පමණකින් ග්ලැසියරයෙන් පහළට අයිස් ගලා යාමට එය බලපෑම් ඇති කරන නිසා. එම ප්‍රදේශයේ පවතින කටුක සහ රළු පාරිසරික තත්වයන් නිසා, මෙවා නිරීක්ෂණය කෙරෙන්නෙ දුරස්ථ සංඥා භාවිතා කිරීමෙනුයි. ඒ අනුව ග්ලැසියර නිම්නය ඔස්සේ අයිස් චලනය වන ප්‍රවේගයන් අනූව ඒවා සිතියම් ගත කොට තිබෙනවා. එවැනි සිතියමක ඉතා අඩු ප්‍රවේගයකින් අයිස් චලනය වන ප්‍රදේශ දුඹුරු පැහැයෙනුත් වඩා වැඩි ප්‍රවේගයෙන් අයිස් චලනය වන ප්‍රදේශ රතු පැහැයෙනුත් සලකුණු කෙරෙනවා.

සඳුන් රාජකරුණා



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails