ඉර- කඳු මුදුනින් මෑත් වෙලා
මම ආවෙමි අවදි වෙලා
කුසුම් පොඩිති තවම නිදි ද
පෙති හකුලා ගුලි වීලා

මල්- අතරින් නිල් පොකුරු වලා
එනවිට ඔබෙ කිරණ ගලා
පිණි පොරවන ඉවත හෙළා
ඉන්නෙමු අපි සිනා සලා

කුරුල්ලෝ- උණුසුම් රන් කෙඳිති ලලා
ඉර ඇවිදින් අවදිවෙලා
කුසුම් පොඩිති සුවඳ ලලා
අවදිව ඇත සතුට සලා

හනික නැගෙමු - වැඩ අරඹමු
ගයමු ගයමු - සතුට බෙදමු
නිදි ගැට හැර අවදිවන්න
උදෑසනේ මිහිර කියමු

ළමයා- කවුළු තුලින් එළිය ගලා
එනවිට මල් සුවඳ සලා
කූජනයෙන් සතුටු වෙලා
මෙන්න මමත් අවදි වෙලා

මුහුණ දොවමි - පිරිසිදු වෙමි
කුසුම් පුදමි - බුදුන් වඳිමි
දෙමාපියන් නැමඳ තුටින්
පමා නොවී පාසල් යමි.

සෙනිති කවිරත්න



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails