කඳු බෑවුමක දං බෝවිටි පඳුරු තළා
පහළට ඇදී පර මල් පෙති ඉවත නොළා
කලදෝ දියෙන් පොඟවා රන් පුළිනතලා
සංගීතවත් වී යමි ඉදිරියට ගලා
සැඟවෙමි, එබෙමි, නිසසල වෙමි, සසල වෙමි
ඇඹරෙමි එහෙත් පසු නොබසිමි නොනවතිමි
කවදා කොතැනකදි හෝ මහ මුහුද හිමි
හමුවුණු කෙණෙහි මා සතු බර ඔහුට දෙමි
එන්නේ කොහි සිටද කොතැනකටද යන්නේ
ඔබ කුමකටද මා දුටු තැන් විමසන්නේ
මිනිසුන් ගිහින් නිතරම ආපසු එන්නේ
කිමදැයි කියා කිසිවකු ඇයි නොසොයන්නේ
විසිරී යන පරිදි රන් සමනලුන් රොද
වන මල් පඳුරු දෙදරවමින් මුලින් ඇද
උඩ පැන නට නටා ඇවිදින් ගිමන් සිඳ
නැළවෙමි කුරුල්ලන්ගේ රජ දහන් මැද
සැපවත් වෙවී රට මැද හිරිකඩ වැස්සෙන්
කේතකි ගුහා උක් කොටු වෙල් එළි ඔසෙන්
හේ දඬු බට පඳුරු නිල් ඕවිටි අස්සෙන්
ආයෙමි නිදහසේ දෙවඟන පසු පස්සෙන්
මහ හඬ දිදී වස් දඬු තාලයට හඬා
කඳු රැළි වලින් ඇද හැලෙමින් නොවිඳ විඩා
වන දෙව් ලියන්ගේ ගම්මානයක කුඩා
කැරකෙමි සිනා රැළි මතු කොට ඉවුරු කඩා
හිරිමල් සිනා රැළි පෙණ පිඬු මිහිරිතම
ගල් පරවලම හැපි හැපි බිහි කරමි මම
සම තැනිතලා වල හමුවෙයි අලසකම
නිරසයි අතර මඟ අවහිර නොදුටු බිම
එච්. එම්. කුඩලගම
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook