බොහොම ඉස්සර කාලෙක තැනින් තැනට ගොස් කූඩාරම් ගසා ගෙන ජීවත් වෙන මහල්ලෙක් සිටියා. ඔහුට හිටියා දූවරුන් තුන් දෙනෙක්. ඉන් බාලම දුව ඉතාම කරුණාවන්තයි. නුවණක්කාරයි.

මේ මහල්ලා බොහොම දුප්පත්. ඔහුගේ කූඩාරම තනා තිබූ හම් පවා හොඳටෝම ගෙවිල තැනින් තැන සිදුරු මතු වෙලා තිබුණා. අඳින්ට උණුසුම් ඇඳුම් තිබුණෙ ඉතාම අඩුවෙන්. දැඩි සීත කාලෙදි මහල්ලා ගිනි මැලයක් දල්වා එයාගේ දූවරු තුන්දෙනා සමග ඒ වටා හිඳගෙන උණුසුම් වෙනවා. රාත්‍රී කාලයේදී ගින්න නිවා දමලා සීතලේ ගැහි ගැහී නින්දට යනවා.

ඔන්න එක දවසක් සීත කාලයේ දී ඉතා භයානක හිමකුණාටුවක් ඔවුන් ජීවත් වුණු තුන්ද්‍රාවට හමාගෙන ආවා. කුණාටුව දිනක් මුළුල්ලේම හමාගෙන ගියා. එතැනනින් නොනැවතී දෙවන දිනයෙත් කුණාටුව හමාගෙන ගියා. ඊටපස්සෙ ඔය විදියටම තුන්වෙනි දිනයෙත් කුණාටු සුළං හමාගෙන ගියා. හරියටම කුණාටුවෙන් සියළුම කූඩාරම් ගසාගෙන යන්න ඔන්න මෙන්න කියලයි තිබුණෙ. කුණාටුව නිසා සීතලෙන් ගැහෙමින් කුසගින්නෙ සිටින්නට මිනිසුන්ට සිදු වුණා. මහල්ලාත් දූවරු තිදෙනාත් කූඩාරම ඇතුළේ සිතලෙන් ගැහෙමින් කුසගින්නෙ සිටියා. කූඩාරම තුළ ට වී බියකරු කුණාටුවේ සද්දෙට ඇහුම් කන්දීගෙන උන් මහල්ලා මෙන්න මෙහෙම කිවුවා.

"මේ කුණාටුව කිසිම විදියකින් නවතින්නෙ නැති පාටයි. මේක කෝතුරා ගේ වැඩක්. ඔහු වෙත යහපත් බිරිඳක් එවන තුරු කිසිම විදියකින් කුණාටුව නොනවතීවි. මගෙ ආදරණීය වැඩිමහල් දුවේ, නුඹ කෝතුරා වෙතට යා යුතුයි. එහෙම නොවුණොත් සියල්ලෝම සීතලෙනුත් බඩගින්නෙනුත් මියයාවි."

"හොඳයි තාත්තේ, මං පාර හොයාගන්නෙ කොහොමද?"
වැඩිමහල් දියණිය පියාගෙන් ඇහුවා.

"මගෙ ආදරණීය දුවේ, මං නුඹට කුඩා හිම යානයක් දෙන්නම්. එය සුළඟ හමාගෙන යන දෙසට තබා තල්ලු කරාපන්. එය නුඹට යා යුතු දිසාව පෙන්වාවි. කුණාටුව ඇව්දින් නුඹේ කබායෙහි බොත්තම් සියල්ල ගලවා දමාවි. එයට ඉඩ හැරපන්. එය නැවත සකස්කරගන්ට යන්ට එපා. පා වැසුම් හිමෙන් පිරී යාවි. ඒවා ගසාදමන්ට නවතින්ටත් එපා. කන්දට ළඟාවන තුරු කිසිම තැනෙක නැවතී විවේක ගන්ටත් එපා. ඉන්පසු කඳු මුදුන තරණය කරපන්. කඳු මුදුනට ආ හැටියෙම පා වැසුම් වලින් හිම ඉවත් කරපන්. කබායෙ බොත්තම් පියවා ගනින්. මොහොතකින් පුංචි කුරුල්ලෙක් ඇවිත් උරහිසෙ ලගිවී. ඌව එළවාදමන්ට එපා. ඌට කරුණාවෙන් කතා කරපන්. ඉන්පස්සෙ ආයෙන් හිම යානයට නැගී කඳු පාමුලට පලයන්. හිම යානය නුඹව කෝතුරාගේ ගෙමිදුලට ගෙනයාවි. කූඩාරම ඇතුළු වෙයන්, ඒත් එහි ඇති කිසිම දෙයක් අල්ලන්ට එපා. ඔහේ ඉඳගෙන ඔහු එනතුරු හිටපන්. කෝතුරා ආ හැට්යෙම ඔහු කියනා සියල්ල ඉටුකර දීපන්" මහල්ලා කියා සිටියා.

හිම කබාය ඇඳගත්ත වැඩිමහල් දුව තාත්තා දුන් හිම යානය කුණාටුව හමන දෙසට තල්ලු කළා. යානය හෙමින් ඉදිරියට ඇදී ගියා. ඇය එය පසු පසින් ඇවිදගෙන ගියා. ඔන්න කුණාටුව දැඩි වෙලා ඇගේ කබායේ බොත්තම් සියල්ල ගලවා දැමුවා. ඉතා සීතල හිම වලින් ඇගේ පා වැසුම් පිරී ගියා. සීතල කොයිතරම්ද කියනවා නම් ඈට තාත්තා කියූ දේ අමතක වුණා. ඔන්න ඈ නැවතී කබායේ බොත්තම් පියවන්ට පටන් ගත්තා, පා වැසුම්වලින් හිම ඉවත් කලා. ඊට පස්සෙ කුණාටුව හමන දෙසට ආයෙත් ඇවිදින්ට පටන් ගත්තා. ඔහොම ඇවිදගෙන ඇවිදගෙන ගිහින් ඇය කඳු පාමුළට ළඟා වුනා. ඔන්න ඈ කඳු මුදුනට නගින්ට පටන් ගත්තා. මුදුනට ළංවෙද්දිම පුංචි කුරුල්ලෙක් පියඹා විත් ඇගේ උරහිසෙ වැහුවා. ඒත් වැඩිමහල් දුව ඌ එළවා දැමුවා. ඇය වටේ වරක් කරකැවුණු පුංචි කුරුල්ලා ඈතට පියඹා ගියා. වැඩිමහල් දුව හිම යානට නැගී කඳු පාමුලට පිටත් වුණා. ඔහොම ගිහින් හිම යානය නැවතුණෙ විශාල කූඩාරමක් ඉදිරියෙයි.

වැඩිමහල් දුව කූඩාරම ඇතුලට ආවා. එතකොටම ඈ දුටුවා පිළිස්සූ මුව මස් කැබැල්ලක්. ඉතිං ඈ ගිනි මැලයක් ගැසුවා. හොඳ හැටි උණුසුම් වුණා. පසුව මුව මස් තීරු කන්නට වුණා. වරකට කෑ යුතුව තිබුණෙ තීරුවක් බැගින් වුණක් ඈ කළේ බඩ පිරෙන තුරුම එක වර මස් අනුභව කළ එකයි. ඔන්න එතකොටම වාගේ කවුරුන් හෝ කූඩාරමට ඇතුළු වෙන සද්දයක් ආවා. ඇතුල්වෙන තැන එල්ලා තිබුණු හම් තිර ඉහළට එසවුණා. කුඩා යෝධයකු කූඩාරමට ඇතුළු වුණා. ඒ තමයි කෝතුරා - සුළඟට අධිපති දෙවියා. ඔහු වැඩිමහළු දියණියට මෙන්න මෙහෙම කිවුවා.



"ඒයි කෙල්ලෙ, නුඹ ආවේ කොහි සිටද? නුඹට මගෙන් ඕනෑ මොනවද?"

"මගේ පියා නුඹ වෙතට යන්ටැයි ඉල්ලා සිටියා." වැඩිමහල් දුව උත්තර දුන්නා.

"ඔහුට එහෙම කරන්ට ඕනෑ වුණේ ඇයි?"

"ඔබේ බිරිඳ හැටියට ගන්ටයි."

"මං දඩයමෙ ගිහින් මස් ගෙනවිත් ඇති. ඉක්මනින් වෑංජනයක් පිළියෙල කර දීපන්."
කෝතුරා කිව්වා.

වැඩිමහල් දුව ඈට කී විදියට කළා. මස් වෑංජනය පිලියෙළ කල වහාම එය කොටස් දෙකකට වෙන් කරන ලෙස කෝතුරා කියා සිටියා.

"මේ මස් වලින් අඩක් නුඹටත් මටත් කෑමට. අනෙක් අඩ ලී බන්දේසියක දමා අසල්වැසි කූඩාරමට ගෙනගොස් දීපන්. නුඹ කූඩාරම ඇතුලට යන්ට එපා. දොරටුව ළඟ නැවතියන්. මැහැල්ලක් එළියට එයි. ඇයට මේ මස් අඩ දීපන්. ඇය හිස් බන්දේසිය නැවත ගෙනෙනතුරු එළියෙන් හිටපන් " කෝතුරා කිවුවා.

වැඩිමහල් දුව මස් බන්දේසියත් අරන් යන්ට පිටත් වුණා. සුළං ඉතා තදින් හැමුවා. හිම තදින් වැටෙන්නට පටන් ගත්තා. වටපිට හැමදේම කට්ට කළුවරයි. මෙලෝ දෙයක් නොපෙනෙන මේ කුණාටුවේ කූඩාරමක්.. ! ! වැඩිමහල් දුව ඉදිරියට ඇවිදගෙන ගියා. මඳක් නැවතිලා හිතන්නට පටන් ගත්තා. මස් වෑංජනේ වීසිකරලා හිස් බන්දේසියත් අරන් කෝතුරා ළඟට ගියා.

"අසල්වැසියන්ට මස් දුන්නද?" කෝතුරා ඇහුවා.

"ඔව්, එහෙමයි" වැඩිමහල් දුව උත්තර දුන්නා.

"මට බන්දේසිය පෙන්වාපන්. මස් වෙනුවෙන් ඔවුන් අපට දී ඇත්තේ මොනවාදැයි මට බලන්ට ඕනෑ."

වැඩිමහල් දුව හිස් බන්දේසිය කෝතුරාට පෙන්වූවා. ඒත් කෝතුරා කිසිවක් කීවේ නෑ. ඔහු තමාගේ මස් පංගුව කෑමට ගත්තා. ඉන් පසු නින්දට ගියා.

පසු දා උදේ කලින් අවදි වුණු කෝතුරා මුවහමක් අරන් කූඩාරමට ආවා.

"මා දඩයම් නිම කර පැමිණෙන තුරු නුඹ මේ සම් කැබැල්ලෙන් මට අළුත් කබායකුත්, පා වැසුම් යුගලකුත් අත් මේසුත් මසා තබන්නට ඕනෑ. ආපසු පැමිණ නුඹ කොතරම් නුවණක්කාරදැයි බලන්ට මට පුළුවනි" එහෙම කියලා කෝතුරා දඩයම් කරන්ට තුන්ද්‍රාව බලා පිටත්වුණා.

වැඩිමහල් දුව වැඩකරන්ට පටන් ගත්තා. ඔන්න ටික වේලාවක් ගතවුණා. දොරටුවේ සම් තිර පට ඉහළට එසවුණා. අළු පාට කෙස් තියෙන මැහැල්ලක් පෙනී හිටියා.

"අනේ පුංචි කෙල්ලේ, මගෙ ඇහැට රොඩ්ඩක් වැටුණා. නුඹට පුළුවනිද ඩිංගක් බලන්ට" මැහැල්ල කියා සිටියා.

"මට බැහැ. මට වැඩ තියෙනවා" වැඩිමහල් දුව කියා සිටියා.

මැහැල්ල කිසිවක් නොකියාම කූඩාරමෙන් පිටවෙලා යන්ට ගියා. හවස් වෙන්නට කලින් වැඩ නිම කරන්ට සිතු වැඩිමහල් දුව පිහියකින් සම් කැබැලි කපන්නට වුණා. කලබලේ කොයිතරම්ද කියතොත් ඇඳුම් හොඳහැටි පිළියෙල කරන්ට ඇයට හැකි වුණේ නෑ. ඒවා මසන්නට ඉඳිකට්ටක්වත් නූල් වත් ඈ සතුව තිබුණේ නෑ. ඒ නිසා එය සම්පූර්ණ කරන්ට ඇයට බැරි වුණා.

දවස අවසානයේ කෝතුරා පැමිණියා.

"අලුත් ඇඳුම් ලෑස්තිද?"
කෝතුරා ඇහුවා.

"එහෙමයි. මේ තියෙන්නෙ"
වැඩිමහල් දුව උත්තර දුන්නා.



කෝතුරා ඇඳුම අතට ගත්තා. හම් කැබැල්ල ඉතා රළුව තිබෙන බව ඔහුගේ ඇඟිලි වලට දැනුණා. ඇඳුම ඉතාම අපිළිවෙලට කපා තිබුණා. මැහුම් ඉතා අවලස්සනයි. ඒ විතරක් නොවෙයි, ඔහුට අඳින්ට තියා හිතන්නවත් බැරි තරම් කුඩා ඇඳුමක් ඒක.

කෝතුරා කෝප වුනා. වැඩිමහල් දියණිය අල්වා කූඩාරමෙන් පිටතට වීසි කළා. ඈත හිම ගොඩක් මතට වැටුණු ඈ මිය යන තරමට සීතලෙන් ගල් වුණා.

කුණාටුවේ සැර එන්න එන්නම දරුණු වුණා. කූඩාරම තුල හිඳගෙන මහල්ලා ආයෙත් වතාවක් සුළඟට කන්දීගෙන හිටියා. ඉඳලා මෙහෙම කිවුවා.

"වැඩිමහල් දුව මා කියූ කිසිවක් ඇසුවේ නෑ. කුණාටුව නැවතුණෙ නැති හේතුව ඒකයි. කෝතුරා හොඳටෝම කෝප වෙලා තියෙන හැඩයි. මගෙ ආදරණීය දෙවැනි දුවේ, මේ වතාවෙ නුඹ කෝතුරා වෙතට යා යුතුයි." මහල්ලා කියා සිටියා.

මහල්ලා කුඩා හිමයානයක් සෑදුවා. වැඩිමහල් දුවට කියූ සියළු දේ දෙවැනි දුවටත් කියා සිටියා. පසුව ඈ කෝතුරා වෙතට පිටත් කර හැරියා. මහල්ලාත් බාල දුවත් කූඩාරමේ ඉතිරි වුනා.

හිම කබායත් ඇඳගෙන දෙවැනි දුව තාත්තා දුන් හිම යානය කුණාටුව හමන දෙසට තල්ලු කළා. යානය හෙමින් ඉදිරියට ඇදී ගියා. ඇය එය පසු පසින් ඇවිදගෙන ගියා. ඔන්න කුණාටුව දැඩි වෙලා ඇගේ කබායේ බොත්තම් සියල්ල ගලවා දැමුවා. ඉතා සීතල හිම වලින් ඇගේ පා වැසුම් පිරී ගියා. සීතල කොයිතරම්ද කියනවා නම් ඈට තාත්තා කියූ දේ අමතක වුණා. ඔන්න ඈ නැවතී කබායේ බොත්තම් පියවන්ට පටන් ගත්තා, පා වැසුම් වලින් හිම ඉවත් කලා. ඊට පස්සෙ කුණාටුව හමන දෙසට ආයෙත් ඇවිදින්ට පටන් ගත්තා. ඔහොම ඇවිදගෙන ඇවිදගෙන ගිහින් ඇය කඳු පාමුළට ළඟා වුනා. ඔන්න ඈ කඳු මුදුනට නගින්ට පටන් ගත්තා. මුදුනට ළංවෙද්දිම පුංචි කුරුල්ලෙක් පියඹා විත් ඇගේ උරහිසෙ වැහුවා. ඒත් දෙවැනි දුව ඌ එළවා දැමුවා. ඇය වටේ වරක් කරකැවුණු පුංචි කුරුල්ලා ඈතට පියඹා ගියා. දෙවැනි දුව හිම යානට නැගී කඳු පාමුලට පිටත් වුණා. ඔහොම ගිහින් හිම යානය නැවතුණෙ විශාල කූඩාරමක් ඉදිරියෙයි.

ඇය කූඩාරමට ඇතුළු වුනා. ගිනිමැලයක් දල්වා උණුසුම් වුනා. පසුව පිළිස්සූ මුවමස් ආහරයට ගෙන කෝතුරා එනතෙක් බලා සිටියා. දෙවැනි දුව දුටු කෝතුරා මෙන්න මෙහෙම කිවුවා.

"ඒයි කෙල්ලෙ, නුඹ ආවේ කොහි සිටද? නුඹට මගෙන් ඕනෑ මොනවද?"

"මගේ පියා නුඹ වෙතට යන්ටැයි ඉල්ලා සිටියා." දෙවැනි දුව උත්තර දුන්නා.

"ඔහුට එහෙම කරන්ට ඕනෑ වුණේ ඇයි?"

'"ඔබේ බිරිඳ හැටියට ගන්ටයි."


"එහෙනම් නුඹ ඉඳගෙන බලා ඉන්නෙ ඇයි. මට හොඳටෝම බඩගිනියි ඉක්මන් කරපන්. මස් වෑංජනේ පිලියෙල කරපන්." කෝතුරා කිව්වා.

දෙවැනි දුව ඈට කී විදියට කළා. මස් වෑංජනය පිලියෙළ කල වහාම එය කොටස් දෙකකට වෙන් කරන ලෙස කෝතුරා කියා සිටියා.

"මේ මස් වලින් අඩක් නුඹටත් මටත් කෑමට. අනෙක් අඩ ලී බන්දේසියක දමා අසල්වැසි කූඩාරමට දීපන්. කිසිම හේතුවක් නිසා නුඹ කූඩාරම ඇතුලට යන්ට එපා. දොරටුව ළඟ නැවතියන්. මැහැල්ලක් එළියට එයි. ඇයට මේ මස් අඩ දීපන්. ඇය හිස් බන්දේසිය නැවත ගෙනෙනතුරු ඉන්නට ඕනෑ." කෝතුරා කිවුවා.

දෙවැනි දුව මස් බන්දේසියත් අරන් යන්ට පිටත් වුණා. සුළං ඉතා තදින් හැමුවා. හිම තදින් වැටෙන්නට පටන් ගත්තා. වටපිට කට්ට කළුවරයි. මෙලෝ දෙයක් නොපෙනෙන මේ කුණාටුවේ කූඩාරමක් කොහෙන් හොයන්ටද .. ! ! දෙවැනි දුව ටිකක් ඉදිරියට ඇවිදගෙන ගියා. තවදුරටත් යන්නට ඈ අකමැති වුණා. මඳක් නැවතිලා හිතන්නට පටන් ගත්තා. මස් වෑංජනේ වීසිකරලා හිස් බන්දේසියත් අරන් කෝතුරා ළඟට ගියා.

"අසල්වැසියන්ට මස් දුන්නද?" කෝතුරා ඇහුවා.

"ඔව්, එහෙමයි"
දෙවැනි දුව උත්තර දුන්නා.

"නුඹ ඉතා ඉක්මනින් ආපහු ඇවිත්. මට බන්දේසිය පෙන්වාපන්. මස් වෙනුවෙන් ඔවුන් අපට දී ඇත්තේ මොනවාදැයි මට බලන්ට ඕනෑ."

දෙවැනි දුව හිස් බන්දේසිය කෝතුරාට පෙන්වූවා. ඒත් කෝතුරා කිසිවක් කීවේ නෑ. ඔහු තමාගේ මස් පංගුව කෑමට ගත්තා. ඉන් පසු නින්දට ගියා.

පසුදා උදේ කෝතුරා මුවහමක් අරන් කූඩාරමට ආවා. සවස් වන විට ඉන් ඇඳුම් පිළියෙල කරන්නැයි ඔහු දෙවැනි දුවට කියා සිටියා. එසේ කියා ඔහු දඩයම් කිරීම සඳහා තුන්ද්‍රාවට පිටත් වුණා.

දෙවැනි දුව වැඩකරන්ට පටන් ගත්තා. ඔන්න ටික වේලාවක් ගතවුණා. දොරටුවේ සම් තිර පට ඉහළට එසවුණා. අළු පාට කෙස් තියෙන මැහැල්ලක් පෙනී හිටියා.

"අනේ පුංචි කෙල්ලේ, මගෙ ඇහැට රොඩ්ඩක් වැටුණා. නුඹට පුළුවනිද ඩිංගක් බලන්ට" මැහැල්ල කියා සිටියා.

"මට බැහැ. නුඹ වෙනුවෙන් ගතකරන්ට මට කාලයක් නෑ ආච්චි අම්මේ. මට වැඩ තියෙනවා"
දෙවැනි දුව කියා සිටියා.



මැහැල්ල කිසිවක් නොකියාම කූඩාරමෙන් පිටවෙලා යන්ට ගියා. හවස් වෙන්නට කලින් වැඩ නිම කරන්ට සිතු වැඩිමහල් දුව පිහියකින් සම් කැබැලි කපන්නට වුණා. කලබලේ කොයිතරම්ද කියතොත් ඇඳුම් හොඳහැටි පිළියෙල කරන්ට ඇයට හැකි වුණේ නෑ. ඒවා මසන්නට ඉඳිකට්ටක්වත් නූල් වත් ඈ සතුව තිබුණේ නෑ. ඒ නිසා එය සම්පූර්ණ කරන්ට ඇයට බැරි වුණා.

දවස අවසානයේ කෝතුරා පැමිණියා.

"අලුත් ඇඳුම් ලෑස්තිද?"
කෝතුරා ඇහුවා.

"එහෙමයි."
දෙවැනි දුව උත්තර දුන්නා.

"මං ඒවා ඇඳලා බලන්ට ඕනෑ." කෝතුරා කිවුවා.

කෝතුරා ඇඳුම අතට ගත්තා. හම් කැබැල්ල ඉතා රළුව තිබෙන බව ඔහුගේ ඇඟිලි තුඩු වලට දැනුණා. ඇඳුම ඉතාම අපිළිවෙලට කපා තිබුණා. මැහුම් ඉතාමත්ම අවලස්සනයි. ඒ විතරක් නොවෙයි, ඔහුට අඳින්ට තියා හිතන්නවත් බැරි තරම් කුඩා ඇඳුමක් ඒක.

කෝතුරාට බොහොම තරහ ගියා. ඉතිං ඔහු දෙවැනි දුව අල්වා කූඩාරමෙන් පිටතට වීසි කළා. ඈත හිම ගොඩක් මතට වැටුණු ඈ මිය යන තරමට සීතලෙන් ගල් වුණා.

මහල්ලා තමන්ගේ බාල දුව සමග කූඩාරම තුලට වෙලා සිටියා, කුණාටුව නවතින තුරු. අනෙක් හැම දවසකටම වඩා තදින් කුණාටුව හමන්නට වුණා. කූඩාරම ගලවාගෙන යන්ට තරම් වේගයෙන් සුළං හමාගෙන ගියා.

"මගේ දූවරු මා කියනා දේට ඇහුම්කන් දුන්නේ නෑ. එයින් සිදුවුණේ කෝතුරා තව තවත් කෝප වෙන එක විතරයි. ආදරණීය පොඩි දුවේ, දැන් මට ඉතිරි නුඹ විතරයි. ඒත් නුඹව කෝතුරා වෙත යැවිය යුතුයි. එහෙම නොවුණොත් අපේ මිනිස්සු සියළු දෙනාම බඩගින්නෙ මියයාවි. හනිකට සූදානම් වෙයන් මගෙ පොඩි දුවේ." මහල්ලා බාල දුවට කියා සිටියා.

ඊළඟට කළ යුතු දේ සියල්ල ඇයට පහදා දුන්නා. තාත්තා කියූ විදියටම කූඩාරමෙන් එළියට පැමිණි ඈ හිම යානය කුණාටුව හමන දෙසට තල්ලු කළා. හුළඟ ගුගුරමින් වේගයෙන් හමාගෙන ගියා. හරියටම ඈ ඔසවා ඉහළට වීසි කරන්නට වාගේ. හිම පියලි වේගයෙන් ඇවිත් මුහුණේ හැපෙන්නට වුණා. හරියටම ඉන් ඈ අන්ධ වුණා වාගේ, කිසිම දෙයක් පැහැදිලිව දකින්ට බැරි වුණා.

එහෙත් ඈ තාත්තා කියූ කිසිවක් අමතක කළේ නෑ. කබායේ බොත්තම් සියල්ල ලිහී ගියා. ඒත් ඇය ඒවා නැවත පියවන්ට ගියේ නෑ. පා වැසුම් සීතල හිමෙන් වැසී ගියා. ඈ ඒවා ඉවත්කරන්ට ගියෙත් නෑ. වටපිටාව බොහොම සීතලයි. හුළං හරි තදයි. කඳු මුදුනට ආ හැටියේ පා වැසුම් වලින් හිම ගසා දැමුවා, කබායේ බොත්තම් සියල්ල පියවා සකස්කරගත්තා. ඔන්න එතකොටම වාගේ පුංචි කුරුල්ලෙක් පියඹාගෙන ඈ වෙතට ආවා. ඈ ඌට ඇගෙ උරහිසේ ලගින්ට ඉඩ දුන්නා. ඌට බොහොම ආදරෙන් කතා කළා. කුරුල්ලා ඈතට පියඹා ගිය පසු ආයෙත් හිම යානයට නැගි ඈ කඳු පාමුල කෝතුරාගේ කූඩාරම වෙත ළඟා වුණා.

කූඩාරමට ඇතුලු වුණු ඈ කෝතුරා එනතුරු බලා සිටියා. ඔන්න එක්වරම ඇතුලු වෙන තැන හමින් කළ තිරය එසවී තරුණ කුඩා යෝධයකු පෙනී සිටියා. පොඩි දුව දුටු කෝතුරා හයියෙන් හිනාවෙලා මෙහෙම ඇහුවා.

"ඒයි කෙල්ලෙ, නුඹ ආවේ කොහි සිටද? නුඹට මගෙන් ඕනෑ මොනවද?"

"මගේ පියා නුඹ වෙතට යන්ටැයි ඉල්ලා සිටියා." පොඩි දුව උත්තර දුන්නා.

"ඔහුට එහෙම කරන්ට ඕනෑ වුණේ ඇයි?"

"කුණාටුව නවත්තන්නැයි ඔබෙන් ඉල්ලා හිටින්ට. ඔබ එහෙම නොකළොත් අපේ මිනිස්සු හැමදෙනාම සාගින්නෙ මියයාවි." බාල දුව කියා සිටියා.

"නුඹ ඔතැනට වී සිටින්නේ ඇයි. වහාම ගිණි මැලයක් දල්වා මස් වෑංජනයක් පිළියෙල කරපන්. මට බොහොම බඩගිනියි. නුඹටත් බොහොම බඩගිනි පාටයි. නුඹ මෙහි ආ වෙලාවෙ පටන් කිසිවක් කෑමට අරන් නැති පාටයි" කෝතුරා කිවුවා.

බාල දුව හනිකට මස් වෑංජයක් පිළියෙල කළා. එය බන්දේසියක දමා කෝතුරාට පිළිගැන්වූවා. ඉන් අඩක් කෑමට ගත් කෝතුරා ඉතිරි අඩ අසල්වාසින් වෙත ගෙනයන ලෙස බාල දුවට කියා සිටියා.



බන්දේසියත් අරන් බාල දුව කූඩාරමෙන් පිට වුණා. සුළං වේගයෙන් සුළි නගමින් හමාගෙන ගියා. හිම පියලි කැරකි කැරකි පතිත වෙන්ට පටන් ගත්තා. ඈ කොහේ කියලා යන්නද? කෝතුරා කී අසල්වැසි කූඩාරම කොහේ ඇති ද? ඇය මොහොතක් සිටගෙන කල්පනා කරන්නට පටන් ගත්තා. ඊළඟට ආයෙත් ඇවිදින්නට වුණා. ඒත් යන තැනක් නොදැනම ඈ ඉදිරියට ඇවිදගෙන ගියා. ඔන්න එතකොටම වාගේ පුංචි කුරුල්ලා ඈ වෙතට ආවා. එවිට ඈ කල්පනා කළා කුරුල්ලා පියාඹන දිසාවට ඇවිදගෙන යන්ට. කුරුල්ලා පියඹා ගියේ කොතැනටද ඇයත් ඒ පසුපසින් ගමන් කළා. අවසානයේ ඈතින් දැල්වෙන එලියක් දැකගන්ට ඈට හැකිවුණා. ඉන් ඉතා සතුටට පත් වූ ඇය ඒ දෙසට ඇවිදගෙන ගියා. එහෙත් කූඩාරමක් වෙනුවට ඈට දකින්නට හැකිවුණේ නිකම්ම නිකං පස් ගොඩැල්ලක් විතරයි. එහි මුදුනින් දුම් වළලු පිටවෙමින් තිබුණා. පස්ගොඩැල්ල වටා රවුමක් ගිය බාල දුව එයට පයින් ඇන්නා. ඔන්න එතකොට ඈ දුටුවා පස් ගොඩැල්ලෙ එක් පසෙකින් දොරටුවක් ඇති බව. එක්වරම දොර ඇරී අලු පැහැති කෙස් ඇති මැහැල්ලක් පෙනී සිටියා.

"ඒයි කෙල්ලේ, නුඹ කවුද? නුඹට ඕනෑ මොනවද?"
මැහැල්ල ඇහුවා.

"ඔබට දෙන්නට මස් වෑංජනයක් ගෙන ආවා අත්තම්මේ. මෙය ඔබට දෙන්නැයි කෝතුරා මගෙන් ඉල්ලා හිටියා" බාල දුව පිළිතුරු දුන්නා.

"ආ.. කෝතුරාද? එහෙමනම් ඩිංගක් එළියෙන් ඔහොම ඉඳපන්." මැහැල්ල එහෙම කියලා බන්දේසිය අරගෙන ඇතුලට ගියා. බාල දුව පස් ගොඩැල්ල අසල බොහොම වේලාවක් බලා සිටියා. අවසානයේදි දොරටුව ඇරුණා. මැහැල්ල ඇවිත් බන්දේසිය බාල දුවට දුන්නා. ඒ තුළ කිසිවක් ඇති බව ඈට අවබෝධ වුණත් ඒ කුමක්දැයි ඈ දැන සිටියේ නෑ. බන්දේසියත් රැගෙන ඈ කෝතුරා ළඟට ගියා.

"මේ තරම් පරක්කු වුණෙ ඇයි? නුඹට කූඩාරම හමුවුණාද?" කෝතුරා ඇහුවා.

"එහෙමයි. හමුවුනා." පොඩි දුව පිළිතුරු දුන්නා.

"මස් වෑංජනේ දුන්නද?"


"එහෙමයි"

"එහෙනං මට බන්දේසිය පෙන්වාපන්. එහි ඇත්තේ මොනවාදැයි මට බලන්ට ඕනෑ." කෝතුරා කිවුවා.

පිහි කිහිපයක්, ලෝහ ඉඳිකටු සහ ලොම් සූරන්නට ගන්නා උපකරණයක් බන්දේසිය තුල තබා තිබුණා. ඒ දුටු කෝතුරා මහ හඬින් සිනාසෙන්නට වූණා.

"ඔවුන් නුඹට ඉතා ප්‍රයෝජනවත් බොහෝ දේවල් දී තිබෙනවා." ඔහු කිවුවා.

උදෑසන පැමිණියා. කෝතුරා අවදි වුණා. මුව හම් කැබැල්ලක් ගෙනවිත් බාලදුවට දුන් කෝතුරා සවස් වන විට ඉන් කබායකුත්, පා වැසුම් යුගලකුත්, අත් වැසුම් යුගළකුත් මසා තබන ලෙස අණ කළා.

"නුඹ එය ඉතා හොඳින් ඉටු කළොත් මා නුඹව සරණපාවා ගන්නවා." කෝතුරා කියා සිටියා.

කෝතුරා දඩයම සඳහා පිටවී ගියා. බාල දුව වැඩ කරන්ට පටන් ගත්තා. මැහැල්ලගේ තෑගි ඈට ඉතා ප්‍රයෝජනවත් වුනා. ඇඳුම් මසන්නට ඕනෑකරන සියල්ල එතැන තිබුණා. දිනක් ඇතුලත කොපමණක් නිම කළ හැකිදැයි ඈ දැන සිටියේ නෑ. එහෙත් කාලය නාස්ති නොකර හැකි තරම් වැඩ කරන්ට ඈ කල්පනා කළා. ඔන්න එතකොටම වාගේ දොරටුවේ හම් තිරය ඉහළට එසවී අලු පැහැති කෙස් ඇති මැහැල්ල ඈ ඉදිරියේ පෙනී සිටියා. ඒ ඇය විසින් මීට පෙර මස් වෑංජනය ගෙනගොස් දුන් මැහැල්ල බව ඈ අඳුනා ගත්තා.

"අනේ කෙල්ලේ, මගෙ ඇහැට රොඩ්ඩක් ගියා. ඩිංගක් බලාපන්."
මැහැල්ල කියා සිටියා. බාල දුව එය ප්‍රතික්ෂේප කරන්ට ගියේ නෑ. ඈ තමන්ගේ වැඩේ පසෙක තබා මැහැල්ලට උදවු කළා.

"බොහොම හොඳයි, පොඩි කෙල්ලේ. මගෙ ඇහැ රිදෙන්නෙ නැති ගානයි. ඒත් ඩිංගක් මගේ දකුණු කනට එබී බලාපන් කෙල්ලේ."
මැහැල්ල කියා සිටියා. බාල දුව මැහැල්ලගෙ දකුණු කනට එබී බැලුවා.



"නුඹට පෙනෙන්න මොනවාද?" මැහැල්ල ඇහුවා.

"පුංචි ගෑනු ළමයෙක් ඉඳගෙන ඉන්නවා ආච්චියේ." ඈ උත්තර දුන්නා.

"එහෙමනං ඇයි නුඹ ඈට කතා කරනැත්තෙ. නුඹෙ වැඩ නිමකරගන්ට ඈ නුඹට උදව් කරාවි." මැහැල්ල කිවුවා.

බාල දුව බොහොම සතුටට පත් වුණා. ඈ කුඩා ගෑනු ළමයාට කතා කළා. එවිට එක් ගෑනු ළමයෙකු වෙනුවට ගෑනු ළමයි හතර දෙනෙකු මැහැල්ලගේ දකුණු කනෙන් එළියට පැන්නා. ඔවුන් හම් සූරා සිනිඳු කළා. හම් කපා මැසුවා. අවසානයේ බොහොම ඉක්මනින් සියල්ල නිම කළා. ගෑනු ළමයි හතර දෙනා ආයෙත් කනේ සඟවාගෙන මැහැල්ල යන්නට ගියා.

ඔන්න දවස ගෙවී ගිහින් හවස් වුනා. කෝතුරා දඩයම් නිමකර කූඩාරමට පැමිණියා.

"මා නුඹට පැවරූ කාරිය නිම කළාද?" කෝතුරා ඇහුවා.

"ඔව්. එහෙමයි."

"අලුත් ඇඳුම් කොහොමදැයි මට බලන්ට ඕනෑ" කෝතුරා කියා සිටියා. බාල දුව ඇඳුම් සියල්ල කෝතුරාට දුන්නා. හම් සියල්ල ඉතා සිනිඳුවට අලංකාරව කපා තිබෙන බව කෝතුරාගේ ඇඟිලි තුඩු වලට දැනුනා. ඒ විතරක් නොවෙයි ඔහුගේ තරමට සරිලන ඇඳුම් කට්ටලයක් ඈ සකසා තිබුණා. ඒ බව දුටු කෝතුරා හිනා වුනා.

"මං නුඹට බොහොම කැමතියි පුංචි කෙල්ලේ. ඒ විතරක් නෙමෙයි මගේ අම්මාත් නංගිලා හතරදෙනාත් නුඹට බොහොම කැමතියි. නුඹ බොහොම හොඳින් ධෛර්යයෙන් වැඩ කළා. නුඹේ මිනිසුන් කුණාටුවෙන් බේරාගන්නට තරම් නුඹ ඉතා නිර්භීත වුණා. ඒ නිසා නුඹට පුළුවන් මගේ බිරිඳ වෙලා මා සමග මේ කූඩාරමේ හැමදාටම නවතින්ට."


කෝතුරාගේ මුවින් ඒ වචන පිටවෙනවාත් සමගම තුන්ද්‍රාවේ දැඩි හිම කුණාටුව පහවෙලා ගියා. මිනිසුන්ට තවදුරටත් සුළෙඟන් හැංගෙන්ට ඕනෑ වුණේ නෑ. තවදුරත් සීතලෙන් ගල් වෙන්ට ඕනෑ වුණේ නෑ. උදා වුණු හැම අලුත් දිනකම කූඩාරමෙන් එළියට එන මිනිසුන්ට උණුසුම් ඉර එළිය සහිත දිනක් ඔවුන් වෙනුවෙන් තිබුණා.

(නෙනෙත් ජන කතාවකි)

*නෙනෙත්වරුන්-

නෙනෙත්වරුන් රුසියාවේ උත්තර ආක්ටික් ප්‍රදේශය නිජබිම කොට ජීවත් වේ. එනම් සයිබීරියාවේ වයඹ පෙදෙසෙහිත්, අග්නිදිග යුරෝපයේ ඩ්විනා නදියේ මුවදොරේ සිට ආසියානු යෙන්සේ ඩෙල්ටාවෙහි තෙක් විහිදි තුන්ද්‍රා ප්‍රදේශයත් මොවුන්ගේ වාස භූමිය වේ. දඩයම් කිරීම සහ ධීවර කර්මාන්තය කරමින් කුඩා සංක්‍රමණික කණ්ඩායම් ලෙස ඔවුහු ජීවත් වෙති. පිණිමුවන් පාලනය ප්‍රධාන ජීවනෝපාය වන ඔවුන්ගේ ආහාරපාන, ඇඳුම් පැළඳුම්, මෙවලම් සහ ප්‍රවාහන ක්‍රමවේදයන් යන සියල්ල රඳාපවතිනුයේ ඒ වටාය. රුසියානු විප්ලවයෙන් පසු අවධිය ඔවුන්ගේ ජීවන රටාව මහත් වෙනසකට බඳුන් කළ අතර, සංක්‍රමණික ජීවිතය වෙනුවට ස්ථීර ග්‍රාමීය ජීවන රටාවක් සඳහා යොමු කෙරිණි. කුඩා දරුවන් සඳහා අධ්‍යාපනය ලැබීම අනිවාර්යය විනි. කාර්මීකරණයෙන් ඔවුන් විසූ පරිසරයට දැඩි බලපෑම් එල්ල විණි. ඒ අනුව වර්තමානය වන විට මහා සංස්කෘතික සෝදාපාළුවකට ලක් වී ඇත. විවෘත සබඳතා හේතුවෙන් ඔවුනට ආවේණික සංස්කෘතිකාංග බොහොමයක් මේ වනවිට අභාවයට යමින් පවතී.


නෙනෙත් පවුලක්- ඔවුන්ගේ කූඩාරමේ (විකිපීඩියා)
පරිවර්තනය - හිමේන්ද්‍රි කරුණාරත්න



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails