පහුවදා උදේ පාන්දර දක්සපාල එයාගේ යාළුවන්ව අවදි කෙරෙව්වා. සියලු දෙනාම නැගිටලා සංචාරයට සූදානම් වුණා. ඉස්කුරුප්පුවයි, මුරිච්චියයි ඒ ගොල්ලන්ගේ සම් කබා ඇඳ ගත්තා. දඩයම් සේන බූට්ස් සපත්තු පයලා ගත්තා. ඒවා දණ හිසටත් වැඩිය උසයි. ඒ වගේ සපත්තු පය ලා ඇවිදීමට බොහොම හොඳයි. කඩිනම් රාළ එයාගේ අපූරු ඇඳුම් ඇඳගත්තා. ඒ ගැන සුළු විස්තරයක් කරන්න ඕනෑ. හැමදාම ඉක්මන් වන කඩිනම් රාළ වේලාව නිකම් අපතේ යැවීමට කැමති නැහැ. ඉතින් එයා ලෑස්ති කර ගත්තා බොත්තම් නැති ඇඳුමක්. ඕනෑම ඇඳුමක් අඳින විටයි ගලවන විටයි වැඩියෙන්ම වෙලාව ගතවෙන්නෙ බොත්තම් දැමීමටයි ගැලවීමටයි.

කඩිනම් රාළගේ ඇඳුමේ කලිසම සහ කමිසය වෙන් කරලා නැහැ. දෙකම එකට එක් කරලා. ඒක හිසට උඩින් වුණත් දමන්ට පුළුවනි. ඇඳුමේ කෙළවර ගාන්චුවක් තිබෙනවා. ඒක ලිහපු ගමන්ම මුලු ඇඳුම එකපාරටම දෙබෑ වෙලා දෙපා ලඟ වැටෙනවා.

තරබාරු බොත්තම් පුංචා ඉතාම හොඳ ඇඳුම ඇඳගත්තා. වැඩියෙන්ම සාක්කු තියෙන ඇඳුම ඉතා හොඳ ඇඳුම හැටියට තමයි තරබාරු බොත්තම් පුංචා ගණන් ගත්තේ. එයාගේ හොඳම ඇඳුමට සාක්කු දාහතක් තිබෙනවා. උඩු කබායේ සාක්කු දහයක්" පපුවේ සාක්කු දෙකක්, උදරයට හැඩේට කපාපු සාක්කු දෙකක්, උඩු කබායේ ඇතුළු පැත්තට සාක්කු තුනක්. පිටේ රහස් සාක්කුවක්. කලිසමේ සාක්කුවල ගණන මෙසේය. දෙපැත්තට සාක්කු දෙකකි. දණහිසෙන් පහළ එක සාක්කුවකි. පිටුපසට සාක්කු දෙකකි. ඉස්සරහට සාක්කු දෙකකි. සාමාන්‍යයෙන් ඒ වගේ දණහිසට පහළින් සාක්කු තියෙන ඇඳුම් අඳින්නේ චිත්‍රපට කැමරා ශිල්පීන් විතරයි.

මී පැණියා අල්ලි තියෙන ඇඳුමක් ඇඳගත්තා. එයා හැමදාම කැමති අල්ලි තියෙන ඇඳුම් අඳින්ට. එයාගේ කලිසමත්, කෝට් එකත්, කැප් තොප්පියත් අල්ලි සහිතයි. කුසුම් පුරයේ කුරුමිට්ටෝ එයාව දැක්කම මෙන්න මෙහෙම කියනවා: " ආන්න බලාපල්ලා දාම් ලෑල්ලක් පණපිටින් ගමන් කරනවා."

අනේ අපොයි හිම ක්‍රීඩාවට අඳින ඇඳුම් ඇඳගත්තේ, එය බොහොම ගමන් පහසුව ඇති කරන නිසා. බයනැති දාස ඉරි වැටිච්ච ජර්සියකුයි, ඉරි වැටිච්ච කලිසමකුයි ඇඳගත්තා. එයා බෙල්ල වටේට ඔතා ගත්තෙත් ඉරි වැටිච්ච මප්ලරයක්. බයනැති දාස කුරුමිට්ටෙකුට වඩා ඇඳක ගුදිරියට සමානයි. ඉතින් ඔය අන්දමට කුරුමිට්ටෝ තමන්ට තියෙන හොඳම ඇඳුම් ඇඳගත්තා. හැබැයි කලබලයාට විතරක් එයාගේ උඩුකබාය හොයාගන්ට බැරි වුණේ එයා ඇඳුම් හැමතැනම විසිකරන නිසයි. එයාගේ "කැප්" තොප්පියත් කොපමණ හෙවුවත් හොයාගන්ට බැරි වුණා. අන්තිමට ඇඳ යට තිබුණු හිම තොප්පිය විතරක් හොයා ගත්තා.

චිත්‍ර අඳින වර්ණ ගුවන් සංචාරය පවතින දවස් වලදී දකින හැමදෙයක්ම ඇඳීමට තීරණය කළා. වර්ණ, පින්සල් සහ පාට වර්ග වේලාසනින්ම බැලුම යටින් සවිකර ඇති කූඩයට දැම්මා. සංගීතරාජ් බටනළාවක් අරගත්තා. පුංචි දොස්තර බෙහෙත් මල්ලක් පිළියෙල කරලා කූඩයේ බංකුව යට තැබුවා. බැලුමෙන් ගුවන් ගතවෙලා යන විට කවුරුහරි ලෙඩ වුණොත් ඔහුට ෙබහෙත් දීමට පුංචි දොස්තර දුරදක්නා නුවණින් කල්පනා කිරීම හොඳ දෙයක්.


තවම උදේ හයට නැති වුණාට නගරයේ සියලු දෙනාම වගේ බැලුම වටේට එක් රැස් වෙලා හිටියා. තවත් කුරුමිට්ටන් බොහෝ දෙනෙක් ඒගොල්ලන්ගේ ගෙවැටවලත්, වහල උඩත් නැගලා බැලුම ගුවනේ පාවෙන සැටි බැලීමට සූදානම් වුණා.

කඩිනම් රාළ අන් අයට පෙර බැලුම යට සවිකර තිබෙන කූඩයට බැහැලා බංකුවක වාඩි වුණා. එය ඉතාම සැප පහසු තැනක්. ඊළඟට වැඩ බැරිදාස වාඩි වුණා.

"අන්න බලාපල්ලා, දැනටමත් කූඩයට රිංගලා බංකුවේ වාඩි වෙලා!" වටේට හිටිය අය කෑ ගසන්නට වුණා.

"ඔය ගොල්ල වාඩි වුණේ මොකද? එළියට එන්න! තව වෙලා තියෙනවා!" එහෙම කියුවේ දක්ස පාල.

"ඒ කොහොමද? දැන් ඉගිලෙන්ට පුළුවනි" වැඩ බැරි දාස කට දැම්මා.

"ඔයා කතා කරන්නේ නොදන්න නිසා. තවම අපි බැලුමට උණුසුම් වාතය පිරවූයේ නැහැ."

"උණුසුම් වාතය පුරවන්නේ මොකටද?"කඩිනම් රාළ ඇසුවා.

"උණුසුම් වාතය, සීතල වාතයට වඩා සැහැල්ලුයි. ඒ නිසා උණුසුම් වාතය උඩ යනවා. අපි බැලුමට උණුසුම් වාතය පිරවුවාම, බැලුම අපත් අරගෙන ඉහළට නගීවී."දක්ස පාල විස්තර කළා.

"එහෙනම් උණුසුම් වාතය පුරවන්න ඕනේ!"යයි කී වැඩ බැරි දාස කඩිනම් රාළත් සමග බිමට බැස්සා.

"ආන්න බලාපල්ලා, අරගොල්ල බිමට බහිනවා. අද ගුවනින් නොයන්ට වගෙයි." වහල උඩ හිටිය කුරුමිට්ටෝ කිවුවා.

"සත්තකින්ම නොයන්ට තමයි. මේ වගේ බැලුමක් ගුවනේ පාවෙන්ට පුළුවන්ද? නිකම් මිනිසුන්ව රවට්ටනවා."එහෙම කියුවේ තවත් වහලයක් උඩ හිටපු කුරු පුංචෙක්.

මේ වෙලාවෙදී වැලි ගෝනි කීපයක් පටවන්ට කියලා කුරුමිට්ටන්ට දක්සපාල නියම කළා. කඩිනම් රාළයි, අනේ- අපොයි සහ සපුමල් පැංචයි තවත් කීප දෙනෙකුයි වැලි ගෝනි පුරවලා කූඩයට ගෙනෙන්ට පටන් ගත්තා.

"අරගොල්ල මොනවා කරනවද?" කිසිවක් තෝරා ගන්ට බැරි මිනිස්සු ඇහුවා. "අර කූඩයට වැලි ගෝනි පටවන්නේ මොකද?"

"ඒයි. නුඹලා මොනවා කරනවද?" එහෙම ඇහුවේ වහලයක් උඩට නැගලා බලාගෙන හිටිය බට්ටා.

"අපි ගුවනට නැගලා මේ වැලි ගෝනි නුඹලාගේ ඔළුවට විසි කරනවා." වැඩ බැරියා පුරසාරම් දොඩවන්ට වුණා.

ඔවු, සත්තකින්ම වැඩ බැරියා දැනගෙන හිටිය් නෑ මේ වැලි ගෝනි මොනවටද කියලා. ඒ නිසා එයාට හිතුණු දේ එයා කිවුවා.

"ඔයගොල්ලෝ ඉස්සෙල්ලා අහසට නගින්න!" බට්ටා කෑ ගැසුවා.

ඒ ගොල්ල ගුවනින් යාමට බයවෙලා වෙන්නට ඕනෑ. ඒ ගොල්ල වෙනුවට වැලිගෝනි යවන්නට හදනවා." එහෙම කිවුවේ ගෙවැටේ නැගලා හිටපු බට්ටිච්චා.

වට පිට හිටපු අය හිනා වෙන්නට පටන් ගත්තා.

"ඔවු! ඔවුන් බය වෙලා! බයවෙන්නට හේතු තියෙනවාද? කොහොම වුණත් ඔය බැලුම අහසේ පාවෙන්නේ නෑ.

"කියන්ට බෑ. සමහර විට ඒගොල්ල ගුවනින් යනවා වෙන්නට ඕනෑ." වැටක සිදුරෙන් බැලුම දිහා බලාගෙන හිටපු චූටියා කිවුවා.

බැලුම අවට රැස් වෙලා හිටපු කුරුමිට්ටෝ මේ ගැන වාද විවාද කරන අතරෙදි, ගෙවත්ත මැද ගිණි මැලයක් ඇති කරන ලෙස දක්සපාල අණ කලා. මුරිච්චියයි, ඉස්කුරුප්පුවයි ලොකු තඹ හැලියක් ගෙනවිත් ගිනි මැලයට උඩින් තිබ්බා. වාතය රත් කිරීමට මේ හැලිය හැදුවේ මුරිච්චි සහ ඉස්කුරුප්පු බාස් උන්නැහේලා. හැලියේ කට කුඩා සිදුරක් තියෙන පියනකින් වහලා. හැලියට හුළං පිරවීමට වෙනම පොම්පයක් ගෙනැවිත් තිබුණා. හැලියට හුළං පුරවලා, ඒ හුලං රත් වුණාම කුඩා සිදුරෙන් එය බැලුම තුලට යනවා.

බැලුම අවට සිටි අයට මේක තේරුම් ගැනීමට බැහැ. ඉතින් ඒ ගොල්ල නොයෙක් අදහස් කියන්නට පටන් ගත්තා.

"ඒ ගොල්ල අහසේ පාවෙන්නට ඉස්සෙල්ලා සුප් හොද්දක් බීලා උදේ කෑම කන්නට ලෑස්ති වෙනවා." එහෙම කියුවේ පුංචි කුසුම්.

"ඉතිං ඔයා හිතන්නේ කොහොමද? ඔය වගේ ගමනක් යන්ට ඉස්සෙල්ලා ඔයා මොනවහරි කන්නේ නැද්ද?" බට්ටිච්චා ඇහුවා.

"අපොයි සත්තකින්ම මොනවා හරි කනවා. සමහර විට එය අවසාන ආහාර වේල වෙන්නට පුළුවනි." පුංචි කුසුම් කියුවා.

"අවසාන වරටද?"

"ඔවු අවසාන වරට කෑම කාලා, අහසට නගිනවා. බැලුම අහසේ පාවෙලා පුපුරලා යාවි. ඒ ගොල්ල බිම වැටිලා කුඩු වේවි."

"අපොයි නැහැ. බැලුම පුපුරන්නේ නැහැ. එහෙම පුපුරන්න බැලුම අහසටම නගින්න ඕනෑ. නමුත් මේ බැලුම සුමානයක් තිස්සේ ගෙවත්තේ තියනවා." බට්ටිච්චා කියුවා.

"දැන්නම් බැලුම ගුවනේ පාවෙනවාමයි!" එහෙම කියුවේ පුංචි කුසුම් ලඟ හිටපු රන්මලී.


ආයෙමත් බැලුම අවට රැස්වෙලා හිටපු අය මහ හයියෙන් වාද විවාද කරන්නට පටන් ගත්තා. එකෙක් කියනවා බැලුම ඉගිලෙයි කියලා, එවිට අනෙකා කියනවා නැහැ- ඉගිලෙන්නේ නැහැ කියලා. තව එකෙක් කියනවා බැලුම ගුවනට නගීවිය කියලා, එතකොට වෙනත් එකෙක් කියනවා, නැහැ, ගුවනට නගින්නේ නැහැ කියලා. දැන් ඉතිං මේ දෙගොල්ලන්ගේ කෑ ගැසීම නිසා කිසිම දෙයක් ඇහෙන්නේ නැහැ. විවාදය කොතරම් සැර වුණාද කීවොත්, පුංචි එවුන් දෙන්නෙක් පොර කා ගන්නට පටන් ගත්තා. ඔවුන් පොර කෑම නැවැත්වූයේ ඔවුන්ගේ ඔළු වලට ඇල් වතුර වත් කළාට පසුවයි.

මේ වන විට හැලියේ ඇති වාතය සෑහෙන තරමට රත් වූ නිසා දක්ස පාල එයින් බැලුම පිරවීමට තීරණය කළා. නමුත් බැලුමට රත් වූ වාතය පිරවීමට ඉස්සෙල්ලා, එහි ඇති සීතල වාතය පිට කරන්නට ඕනෑ. දක්ස පාල බැලුමේ රබර් බටයට බැඳලා තිබෙන ලණු පොට ලිහලා දැම්මා. එවිට රබර් බටයෙන් පිට වුණේ බැලුම ඇතුලේ තිබුණු සීතල සුළං. බැලුම ගුවනට නගිනවාද නැද්ද කියලා බලන්නට ආපු කුරුමිට්ටෝ බැලුමේ හුලං ගිහිල්ලා ඒක කුඩා වන සැටි දැකලා පුදුමයට පත් වුණා. එය හැකිලිලා, රැළි ගැහිලා, කුඩා වෙලා කූඩයට වැටුණා. ඉස්සෙල්ලා විශාල බැලුමක් තිබුණු තැන දැන් තියෙන්නේ කූඩයයි, දැලයි විතරයි.

හුළං පිටවන "ෂූ" හඬ නැවතුනා, ඔන්න එතකොට අවට රැස්වෙලා හිටිය කුරුමිට්ටන් සියලු දෙනාම බක බක ගාලා හිනා වුණා. බැලුම ගුවනට යන්නේ නැහැ යි කී අයයි, යනවා කී අයයි දෙගොල්ලොම හිනාවුණා. වැඩ බැරි දාසගේ යාළුවා ගුණේ පැංචා කොයි තරම් ගොඩාක් හිනාවුණාද කියනවා නම් එයා වහලේ උඩ ඉඳලා බිමට පෙරලිලා ඔළුවේ ගල් තැලුමකුත් ඇති කර ගත්තා.

"ඔන්න ඒගොල්ල ගුවනින් ගිය හැටි!" අවට රැස්වෙලා හිටපු අය කියන්නට වුණා.

"දක්සපාලගේ බැලුමට ගිය කල දසාව! සුමානයක් තිස්සේ එයා බැලුම හැදුවා. හිටි හැටියෙම බැලුම පිපිරුණා. හරිම නාටකයක්! මේ තරම් හිනාවෙච්ච දවසක් මතක් කරන්න පවා අමාරුයි!"

ඒ වුණාට දක්සපාල කුරුමිට්ටන්ගේ කතා ගණන් ගත්තේ නැහැ. එයා බැලුමේ දිග රබර් බටය හැලියේ පියන මැද තියන සිදුරට සවි කරලා පොම්පයෙන් හුළං ගහන්නට නියම කළා. එවිට හැලියට අලුත් වාතය ලැබුනා. හැලියේ තිබිච්ච උණුසුම් වාතය බැලුමට ඇතුළු වුණා. බැලුම ටිකෙන් ටික විශාල විශාල වෙලා කූඩයෙන් එළියට එන්නට පටන් ගත්තා.

"අන්න බලාපල්ලා! ආයෙමත් බැලුමට හුළං පුරවනවා! හරිම පුදුම උදවිය!" වටේට රැස්වෙලා හිටිය අය කියාපි. "ඔය බැලුම ආයෙත් පුපුරාවි."

බැලුම ගුවනේ පාවෙන බව එක් කෙනෙකුවත් විශ්වාස කළේ නැහැ. නමුත් ටිකෙන් ටික බැලුම විශාල වෙලා ලොකුම ලොකු කොමඩු ගෙඩියක හැඩය ගත්තා. මේ වර බැලුම උඩ ඇදිලා ගිහින් එය වහලා තිබුණු දැලත් ඇදගෙන ඉහළ නගින සැටි වටවෙලා හිටිය අය දුටුවා. අන්න එවිට තමයි සියලු දෙනාම පුදුමයට පත් වුණේ. දැන් කිසිම කෙනෙක් ලණුව ඉහලට අදින්නේ නැති වුණාට බැලුම ඉබේටම ඉහළ නගින සැටි ඔවුනට පෙනුණා.

"හුරා!" කියලා පුංචි කුසුමා කෑ ගසා අත්පුඩි ගැහැව්වා.

"ගිරිය පුප්පන්ට එපා!" බට්ටා අණ කළා.

"බලන්න, බැලුම ඉහළ නගින හැටි!"

"ඒ වුණාට තවම ගුවනට නැංගේ නැහැ. බැලුමට පුළුවන්ද, කුරුමිට්ටන්වයි, කූඩයයි අරගෙන අහසට නගින්න!"

බැළුම තවත් විශාල වෙලා ඉහල නගින සැටිත්, කූඩය පොළොවට ඉහළින් ඇදෙන සැටිත් බට්ටාට පෙනුනා. එයා මහ හයියෙන් කෑ ගහන්ට පටන් ගත්තා.


"බැලුම අල්ලා ගනිල්ලා! නැතිනම් බැලුම ගුවනට නගීවි! ඔයගොල්ලො මොනවා කරනවාද?"

බැලුම අහසේ පියාසර නොකලේ එය කජු ගහට බැඳලා තිබුණු නිසා. බැලුම පොළවට ඉහළින් ටිකක් නැගලා තියෙනවා විතරයි.

"හුරා!" කියලා අවට රැස්වෙලා හිටිය කුරුමිට්ටෝ, කුරු පැංචෝ කෑ ගහන්ට පටන් ගත්තේ හිතේ ආසාව නිසා. "දක්සපාල දක්සයා, වැඩට හරිම සූරයා! දක්ස පාලගේ බැලුමත් දක්සයි! ඒ ගොල්ල බැලුමට පිරෙවුවේ මොනවද? වාෂ්පද වෙන්නට ඕනෑ!"

බැලුම ගුවනේ පියාසර කරන බව දැන් නම් සියලුදෙනාටම විශ්වාසයි.

නිකොලායි නෝසව්
පරිවර්තනය - දැදිගම වී. රුද්‍රිගු



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails