දක්සපාල පොත් කියවීමට බොහෝ ආසා කරන නිසා එය ඈත රටවල සංචාරයන් ගැන පොත් ගොඩක් කියවා තියෙනවා. හවස් කාලයේ වැඩක් නැතිව ඉන්න වෙලාවල දී දක්ස පාල පොත් කියවා දැන ගත් නොයෙක් කරුණු ගැන අනික් අයට විස්තර කරනවා. අනික් ළමයින් වැඩියෙන්ම අහන්න කැමති පිටරටවල් ගැන විස්තර, රට රටවල්වල සංචාරය කළ මිනිසුන් ලැබූ අත්දැකීම්, අපූරු සිදුවීම්, ආදී දේ ළමයින් බොහෝම ආශාවෙන් අහනවා.

මේ වගේ කතා ඇසූ පසු කුසුම් පුරයේ කුරු ළමයින් රටවල් සංචාරය කරන සැටි සිතින් මවා ගන්නවා. සමහරුන් සංචාරය කිරීමට සූදානම් වෙනවා. පා ගමනක් යාමට නැතිනම් ගඟේ ඔරු පැදීමට සමහරු යෝජනා කළා. එහෙත් දක්සපාල මෙහෙම යෝජනා කළා.

"විශාල බැලුමකට හුළං පුරවලා අපි ගුවනේ පාවෙමින් සංචාරය කරමු."

ඒ අදහසට හැමදෙනාම කැමති වුණා. කුසුම් පුරයේ කුරුමිට්ටෝ මීට පෙර කිසිම දාක බැලුමක නැගලා ගුවනේ පාවෙලා නැහැ. ගුවනින් යාම ඉතාම හොඳ වැඩක් කියලා ළමයින් සියලු දෙනාම බොහොම සතුටු වුණා. ඒත් ගුවනේ පාවෙන බැලුමක් හදන්නේ කොහොමද? මේ ගැන නම් එක ළමයෙකුවත් දැන සිටියේ නැහැ. "මම ඒ ගැන කල්පනා කරලා ඔය ළමයින්ට විස්තර කරන්නම්" කියලා දක්සපාල කියුවා.

ඔන්න ඉතින් දක්සපාල කල්පනා කරන්ට පටන් ගත්තා. දවස් තුනක් සහ රෑ තුනක් තිස්සේ ඔහු මේ ගැන කල්පනා කළා. බැලුම් බෝලය රබර් වලින් හදන්ට ඔහු තීරණය කළා. රබර් සාදන හැටි කුසුම් පුරයේ ළමයි දන්නවා. පීකුස් ගහට සමාන ගහක් කුසුම් පුරයේ තියෙනවා. ඒ ගසේ ලපටි අතු කැපුවාම රබර් කිරි වලට සමාන කිරි වගයක් ලබා ගත හැකියි. මේ කිරි වර්ගය ටික වේලාවකින් උකු වෙලා රබර් බවට පත් වෙනවා. එයින් රබර් බෝල සහ සපත්තු කවර හදන්ට පුළුවනි.

විශාල බැලුමක් හැදීමට දක්සපාල තීරණය කරලා කිරි සොයාගෙන එන ලෙස දැන්වූවා. දක්සපාල කිරි එකතු කරගන්ට ලොකු පීප්පයක් ලෑස්ති කලා. රබර් කිරි එකතු කරන්ට වැඩබැරි දාසත් ගියා. අතර මගදී එයාට පාරේ කොල්ලෙක් සමග සෙල්ලම් කරමින් සිටි ගුණේව මුණ ගැසුනා.


"ගුණේ අපි හදන්ට යන්නේ මොකක්ද කියල දන්නවද? නුඹ දැනගත්තොත් ඉරිසියාවේ පුපුරන්ට පටන් ගනීවි." වැඩ බැරි දාස තම මිතුරාට පැවසුවා. " නුඹ ඒ වගේ දෙයක් හීනෙන් පවා දැකලා නැහැ."

"නුඹලා හදන්ට යන්නේ මොකක්ද?" ගුණේ ඇහුවා.

"අපි ඉක්මනින්ම ලොකු බැලුම් බෝලයක් හදලා ගුවනේ පාවෙමින් රට රටවල සංචාරය කරනවා."

ගුණේට ඉරිසියාවක් ඇති වුනා. ඔහුටත් ගුවනේ පාවීමට ආශාවක් ඇති වුණත් ඔහු එය යටපත් කරගෙන උදම් අනන්නට වුණා.

"අපොයි, බැලුම් බෝලය මහ ලොකු කෙරුවාවක්! මම අර පුංචි කෙල්ලන් සමග යාලු වුණා."

"මොන කෙල්ලන් සමගද?"

"අන්න අරගොල්ලත් එක්ක" යැයි කී ගුණේ කෙල්ලන් දෙදෙනෙකු පෙන්වමින් මෙසේ පැවසුවා. "අන්න අර කෙල්ලගේ නම මැස්සී, අනිත් කෙල්ලගේ නම බොත්තමී."

මැස්සී සහ බොත්තමී තරමක් ඈතින් සිටගෙන වැඩ බැරි දාස දෙස තරමක බියෙන් බැලුවා.

වැඩ බැරි දාස ඔවුන් දෙස යටැසින් බලා කතා කළා.

"එහෙමද? ගුණේ නුඹ මගේ යාළුවෙක් නේද!"

"මම නුඹත් සමග යාළුයි. ඒ වගේම අර පුංචි කෙල්ලන් දෙදෙනා සමගත් යාළුයි. එකක් අනෙකට බාධාවක් නොවෙයි."

"නැහැ. ඒක බාධාවක්. නුඹ පුංචි කෙල්ලන් සමග යාළුනම්, නුඹත් පුංචි එකෙක් තමයි. නුඹ දැන්ම පුංචි එවුන් එක්ක තරහ වෙයන්!"

"මම තරහ වෙන්නෙ මොකටද?" ගුණේ ඇසුවා.

"නුඹ දැන්ම උනුත් එක්ක තරහ වෙන්ට ඕනෑ. නැතිනම් මම නුඹත් සමග තරහ වෙනවා." වැඩ බැරිදාස තර්ජනය කළා.

"ඉතින් තරහ වෙයන් මට මොකෝ?" එසේ ඇසුවේ ගුණේය.

"ඔව් මම තරහ වෙනවා විතරක් නොවෙයි, නුඹේ මැස්සීටයි බොත්තමීටට්යි කනේ පහර දෙනවා!"


වැඩ බැරි දාස මිට මොලවාගෙන ගෑණු ළමයි දෙදෙනාට පහර දීමට ගියා. ගුණේ වැඩ බැරි දාස යන මග අවුරා ඔහුගේ නළලට පහරක් ගැසුවා. මේ දෙන්න පොරකාගන්ට පටන් ගත්තාම ගෑනු ළමයි දෙදෙනා බය වෙලා පැනලා දිව්වා.

"ආ, නුඹ ඒ ගෑනු කෙල්ලන් දෙදෙනා නිසා මගේ නළලට ගැහුවා නේද?" ගුණේගේ නහයට පහර දීමට කුරුමානම් අල්ලමින් වැඩ බැරි දාස කෑගහන්ට පටන් ගත්තා.

"නුඹ ඒ ළමයින්ව බය කරන්නේ මොකටද?" එසේ අසන ගුණේ දෑත් වැනුවා.

"අපොයි, ගෑණුන්ව ආරක්ෂා කරන ගෑනු කිච්චා!" වැඩ බැරි දාස එහෙම කියලා ගුණේගේ ඔලුවට දඩෝස් ගාලා පාරක් ගැහුවා. ඒ පාර බොහොම සැර නිසා ගුණේව ඉබේම ඉන්දවුණා. එයාට නැගිට සිටීමට ශක්තිය ලැබුණු විගස එයා දුවන්ට පටන් ගත්තා. "නුඹත් එක්ක මම හැබෑටම තරහයි!" වැඩ බැරි දාස පැන දුවන ගුණේට ඇහෙන්ට කෑ ගැසුවා.

"ඉතින් මට මොකද? නුඹ පළමුවෙන්ම ඒවි මා ළඟට යාළු වෙන්ට!" ගුණේ කියුවා.

"හොඳයි, බලාගෙන හිටපිය, මා නම් එන්නේ නැහැ. අපි බැලුමේ නැගිලා ගුවනේ පා වෙනවා!"

"අපොයි මොන ගුවනේද? ගහෙන් අත්තට වැටේවි. එච්චර තමයි."

"නුඹලා කබලෙන් ලිපට වැටේවි!" වැඩ බැරි දාස ගුණේට විහිළු කලා. ඉන්පසු එයා ගියා රබර් කිරි එකතු කරන්ට.

පීප්පය පිරෙන තෙක් රබර් කිරි එකතු කළා. එවිට දක්සපාල මුරිච්චියාට කියුවා කාර් වල රෝද වලට හුළං ගහන පොම්පයක් ගෙනෙන්ටයි කියලා. ඔය පොම්පයට දිග රබර් නලයක් සවි කරලා, එක් කොනකින් රබර් කිරි දැම්මා. දක්සපාල මුරිච්චියාට කියුවා සෙමින් හුළං ගහන්ටයි කියලා. එතකොට රබර් කිරි එක මහ විසාල බැලුමක් වගේ පිම්බෙන්ට පටන් ගත්තා. මුලදී හරියට සබන් පෙණ බුබුළක් වගෙයි. මේ බැලුම ලොකු වෙන්ට ලොකු වෙන්ට දක්සපාල ඒක වටේට රබර් කිරි ගෑවා. මුරිච්චියාත් සෙමින් සෙමින් නොකඩවාම සුළං ගහපු නිසා එය විශාල බැලුම් බෝලයකට පරිවර්තනය වුණා.


බැලුම කොතරම් විශාල දැයි කීවොත්, එය වටේට රබර් කිරි ගෑමට පවා දැන් දක්ස පාලට බෑ. අනික් කුරු ළමයින් බැලුම වටේට රබර් කිරි ගාන්ට ඕනෑ යයි දක්ස පාල නියම කළා. සියලුම කුරු ළමයි වැඩ කරන්ට පටන් ගත්තා. එක් එක් ළමයෙක් එක් එක් වැඩක් බැගින් කරන්ට වුණා. නමුත් වැඩ බැරි දාස විතරක් බැලුම් බෝලය වටේට යමින් සිවුරු හඬලන්ට පටන් ගත්තා. ඔහු එහෙම වටේට ගියේ බැලුම් බෝලය ළඟින් නොවෙයි එයට ඈතින්. වැඩ බැරි දාස බැලුම් බෝලය දිහා බලමින් තොල මතුළන්ට වුණා.

"බැලුම පුපුරාවි, දැන්, මේ දැන්ම පුපුරනව!" අපොයි!"

එහෙත් බැලුම් බෝලය පිපිරුණේ නැහැ. ඒ විතරක් නොවෙයි විනාඩියක් පාසාම එය විශාල වුණා. දැන් ගෙවත්තේ තියෙන රට කොට්ටන් පඳුරේ අතු වලට නැගලා තමයි බැලුම වටේට රබර් කිරි ගාන්ට පුළුවන්.

ඔය විදියට දවස් දෙකක් තිස්සේම බැලුම් බෝලයට හුළං ගසමින් එය වටේට රබර් කිරි ගෑවා. බැලුම් බෝලය ගෙයක් තරම් විශාල වුණාට පස්සේ හුළං ගැසීම නැවැත්තුවා. බැලුම් බෝලයට සවිකරලා තිබුණු රබර් නලය ලනු පටකින් දක්සපාල බැඳලා දැම්මේ, එය සුළඟේ පාවී යාම නවත්වා දැමීමටයි.

"දැන් ඉතින් රබර් කිරි හොඳට වේලෙන තුරු අපි වෙනත් වැඩ කරමු" දක්සපාල අනික් කුරුමිට්ටන්ට කියුවා.

ඔහු බැලුම ගැට ගහලා තිබුණු ලනු පට රට කොට්ටන් ගහේ බැඳලා දමලා, මිටි කොල්ලන්ව කට්ටි දෙකකට බෙදුවා. එක කට්ටියකට සේද පණුවන්ගෙන් සේද නූල් එකතු කරන්ට අණ කළා.අනික් කට්ටිය බිරියෝසා පොතු වලින් විශාල කූඩයක් හදන්ට ඕනෑයි කියලා දක්සපාල කියුවා.

දක්සපාල මේ වැඩ එයාගේ මිතුරන් සමග කරන විට, කුසුම් පුරයේ චුට්ටෝ මේ විශාල බැලුම් බෝලය බලන්ට ආවා. හැම කෙනෙකුම ආශා කළා බැලුම් බෝලය අතගාන්ට. සමහරු එය එසවීමට පවා ඉදිරිපත් වුණා.

"අපොයි, බැලුම් බෝලය බොහොම සැහැල්ලුයි. එක අතකින් වුනත් උස්සන්ට පුලුවනි." කුසුම් පුරයේ මිට්ටෝ එහෙම කියුවා.

"සැහැල්ලු බව නම් ඇත්ත තමයි. නමුත් ඔය බැලුමට ගුවනේ පාවෙන්ට බැහැ." එහෙම කියුවේ තෝපික් නමැති වාමන කොල්ලා.

"බැලුමට ගුවනේ පාවෙන්ට නොහැකි වෙන්නේ මොන හේතුවක් නිසාද?" මිට්ටෝ ප්‍රශ්න කලා.

"එහෙම පාවෙන්නේ කොහොමද? එහෙමනම් දැනටමත් ඉහළට ඇදිලා තියෙන්ට ඕන නෙව. නමුත් බැලුම පොලවට වැටිලා තියෙනවා." තෝපික් කියුවා.

මිට්ටෝ කල්පනා කරන්නට පටන් ගත්තා.

"ඔව්, ඔව්, බැලුම සැහල්ලු වුණාට ගුවනේ පාවෙන්ට තරම් සැහැල්ලු නෑ. ඉතින් කොහොමද ඉගිලෙන්නේ?"

ඔවුන් එහෙම ප්‍රශ්න කළේ දක්සපාලගෙන්. එවිට ඔහු මිට්ටන්ට මෙලෙස විස්තර කළා.

"පොඩ්ඩක් ඉවසාගෙන ඉඳපල්ලා. ඉක්මණින්ම නුඹලාට බලාගන්ට හැකි වේවි."

දක්සපාල මිට්ටන්ට ඊට වඩා වැඩි විස්තරයක් නොකළ නිසා, ඒ ගොල්ල සැක කරන්ට පටන් ගත්තා. මේ අතරතුර කුසුම් පුරයේ හැම තැනම ගිහිල්ලා බොරු ආරංචි පතුරුවා හරින්ට තෝපික් ඉදිරිපත් වුණා.

"ඔය බැලුම් බෝලය අහසේ පාවෙන්නේ කොහොමද?" තෝපික් එහෙම ප්‍රශ්න කරලා ඔහුම පිළිතුරු දුන්නා." කුරුල්ලන් අහසේ පියාසර කරන්නේ උන්ට අත්තටු තියෙන නිසා. ඔය රබර් බැලුමට ගුවනේ පාවෙන්ට ශක්තියක් නැහැ. ඔය තියෙන විදිහට බිම වැතිරිලා තියේවි."

ඉතින් අන්තිමේදි කුසුම් පුරයේ මිට්ටෝ සියලු දෙනාම ඔහු ගේ කතාව හරි යැයි විශ්වාස කළා.

සමහරු දකපාලගේ ගෙයි වැට ළඟට ඇවිත් ඔහුට විහිළු කරනවා.

"ඔන්න බලාපිය, මෙන්න බලාපිය! බැලුම් බෝලය උඩු ගුවනේ පාවෙනවා! හා- හා- හා!"

එහෙත් දක්සපාල මිට්ටන්ගේ විහිළු ගණන් ගත්තේ නැහැ. සේද දැල හදලා ඉවර වුනාම, එය බැලුමට උඩින් දැම්මා.

ගෙවැට ළඟ හිටිය මිට්ටෝ දිගටම විහිළු කළා. "අන්න බලාපල්ලා! බැලුම උඩින් දැලක් දමලා. හරියට ඒක පාවෙන්ට යනවා කියලා වෙන්ට ඕන. හැබෑ විහිළුවක්. හා-හා-හා!"

ගහට බැඳලා තියෙන බැලුම් බෝලය ඉහළ අත්තකට බඳින්ට කියලා දක්සපාල අනික් අයට කියුවා.

එවිට කඩිනම් රාළයි, මුරිච්චියයි ගහට නැගලා බැලුම බැඳපු ලණුව ඉහළට ඇද්දා. බැලුම බලන්ට ආපු වාමනයින් මේක දැකලා බොහොම සතුටු වුණා.

"හා-හා! මේක අපූරු බැලුමක්. ගුවනේ පාවෙන්ට නම් ලණුව ඉහළ අදින්ට ඕනද! ඉතින් එහෙමනම් පියාසර කරන්නේ කොහොමද?"

"ඉගිලෙන්නේ එහෙම තමයි. ඒගොල්ල බැලුම් බෝලය උඩ වාඩිව් එලා ලණුව ඉහළට අදිනවා. ඔන්න එතකොට බැලුම උඩ පාවෙනවා."


බැළුම් බෝලය ඉහළ අත්තක ගැට ගැහැව්වායින් පස්ස සේද දැලේ කොන්වලට බිරියෝසා පොතුවලින් හදාපු කූඩය සවි කරන්ට කියලා දක්ස පාල කියුවා. ඒ කුඩ හැඩය අනුව හරි හතරැස්. හතර වටේට වේවැල් බංකු හතරක් තියෙනවා. එක බංකුවක් උඩ මිටි කොල්ලන් හතරදෙනෙකුට වාඩි වෙන්ට පුළුවනි.

මේ විදියට දැලේ කොන් හතරට වේවැල් කූඩය සවි කළාම, දක්ස පාල කියුවා ගුවනේ පාවෙන බැලුමේ වැඩ අවසානයි කියලා. කඩිනම් රාල ගුවනේ පාවෙන සැටි සිතින් මවා ගන්ට පටන් ගත්තා. දැන් ඉතින් බැලුමේ කූඩුවට නගින අය තමන්ගේ පැරචුට් හදා ගන්ට ඕනයි කියලා දක්ස පාල අනිත් අයට දැනුම් දුන්නා.

"පැරචුට් මොකටද?" එහෙම ප්‍රශ්න කළේ වැඩ බැරි දාස.

"හිටිය හැටියෙම බැලුම පිපිරුණොත්, අපිට සිද්ද වෙනවා පැර-චුට් වලින් බිමට බහින්න" දක්ස පාල විස්තර කළා.

ඊළඟ දවසේදී දක්ස පාල සහ එයාගේ මිතුරෝ පැර-චුට් හදන්ට පටන් ගත්තා. වාමන මිතුරන් ඔදුවාන්චික් මල් වලින් පැරචුට් හදන්ට පටන් ගත් අතර දක්සපාල ඒවා සාදන සැටි සගයින්ට කියා දුන්නා.

විශාල බැලුම් බෝලය ගහක බැඳලා තියෙන සැටි දකින කුසුම් පුරයේ මිට්ටෝ මෙහෙම කියුවා.

"ඔය බැලුම පුපුරන තුරු ඔහොම බැඳලා තියේවී. ඔය බැලුමට ගුවනේ පාවෙන්ට බැහැ."

"ඒයි නුඹලා ගුවන් ගත වන්නේ න් නැද්ද? බැලුම පුපුරන්ට ඉස්සෙල්ලා පියාසර කරපල්ලා!" වැට අයිනේ හිටිය මිට්ටෙක් කෑ ගැසුවා.

"ඔයා කලබල වෙන්ට එපා. හෙට උදේ අටට අපි ගුවන් ගත වෙනවා" එලෙස පිළිතුරු දුන්නේ දක්සපාල.

බොහෝ දෙනෙක් හිනා වුණා. සමහරු මෙම පියාසරිය ගැන සැක කළා.

"හිටි හැටියේම ඒ ගොල්ල බැලුමේ නැගලා ගුවන් ගත වුණොත්! හෙට උදේට ඇවිල්ලා බලන්ට ඕනෑ." සමහර අය එහෙම කියුවා.

නිකොලායි නෝසව්
පරිවර්තනය - දැදිගම වී. රුද්‍රිගු



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails