මේ අරුම- පුදුම ගොඩනැගිලි ඉදිකිරීමේ තාක්ෂණය සහ කලාව ගැන අපිට අහන්නට ලැබෙන්නෙ මහ බ්‍රිතාන්‍යයේ නැගෙනහිර ලන්ඩනයෙන්.

මෙම කන්ටේනර් නගර ඉතාමත් නිර්මාණශීලියි. බහුකාර්ය නිසා ඉඩකඩ උපරිම අයුරින් භාවිතයට ඉඩ සලසනවා. ඒ නිසාම බ්‍රිතාන්‍යය තුල මෙම කන්ටේනර් නගර ඉදිකිරීම මේ වන විට අතිශය ඉහළ ඉල්ලුමක් ඇති තාක්ෂණයක් බවට පත්ව තිබෙනවා. එබැවින් ඉඩම් පරිහරණ ව්‍යාපෘති, කාර්යාල ගොඩනැගිලි, පංති කාමර, ළදරු පාසල්, කලාගාර වැනි බොහොමයක් අවශ්‍යතා සඳහා දැන් දැන් කන්ටේනර් ගොඩනැගිලි ඉදිවෙමින් පවතිනවා.



'කන්ටේනර් සිටි
' කියන්නේ නාගරික ඉඩම් කළමණාකරණ ආයතනයක වෙළඳ නාමයයි. එහි මූලික අදහස වන්නේ නියමිත භාවිත කාලය අවසන් වූ එහෙත් නියම තත්වයේ පවතින කන්ටේනර්වලින් වඩා නම්‍යශීලි වාසස්ථාන සහ කාර්යාල ගොඩනැගිලි ආදිය ඉතා ඉඩු වියදමකින් ඉදිකිරීමයි.

මේ අනුව 2001 වසරේදී නැගෙනහිර ලන්ඩනයේ 'ලන්ඩන් බොරෝ' කියන ප්‍රදේශයේ මුල්වරට කන්ටේනර් නගර ඉදිකිරීමේ පළමු ව්‍යාපෘතිය වූ "කන්ටේනර් සිටි I" ඇරඹුනා. එහිම දිගුවක් ලෙස 'කන්ටේනර් සිටි II' ව්‍යාපෘතිය දෙවැනි අදියර ලෙස ඉදිවුණේ 2002 වසරේදියි. එහිදී එම ස්ථානයේම කාර්යාල ස්ථාන කිහිපයක් ඉදිකරන්නට ඔවුන්ට හැකිවුණා.

එම තාක්ෂණයම යොදාගනිමින් නැවත වතාවක් 'ටවර් හැම්ලට්' පාසලේ ඉතා සීමිත ඉඩකඩක් තුල අතිරේක පංතිකාමර 12 ක් සහිත ගොඩනැගිල්ලක් ඉදිකරන්නට ඔවුන්ට හැකි වුණා.

එම ව්‍යාපෘති ආයතනය විසින් මෙවැනි ව්‍යාපෘති 16 ක් මේවන විටත් සම්පූර්ණ කොට තිබෙනවා. මෙම කන්ටේනර් ගොඩනැගිලි වලින් ලැබෙන වාසිය නම්, කෙටි සහ මධ්‍ය කාලීන අවශ්‍යතා සඳහා ගොඩනැගිලි පහසුවෙන් ඉදිකරගත හැකි වීමත්, වෙනත් අවශ්‍යතාවන් අනුව ඉඩකඩ භාවිත කිරීමට අවශ්‍ය වන විට පහසුවෙන් එම ගොඩනැගිලි ඉවත් කර වෙනත් ස්ථානයකට රැගෙන යාමට හැකි වීමත් ය.

සුමුදු තිවංක ගමගේ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails