බොහෝම කාලෙකට ඉස්සර සනාද් නම් අහංකාර ඛාන් කෙනෙකු ජීවත් වුණා. එක දවසක් ඔහු තමාගේ මිනිසුන් සියළු දෙනා සමග හරිත වර්ණ තණබිම් වලින් පිරුණු කඳවුරු බදින්ට ඉතාමත් සුදුසු බිමක් හොයාගෙන යන්ට තීරණය කළා. හැබැයි එවැනි බිම් සොයා යන ගමන ඉතා දුර වගේම දුෂ්කර කටයුත්තක් වුණා.

'එකම මහල්ලෙක් වත් මැහැල්ලක් වත් අප සමග නොසිටිය යුතුයි. මේ ගමන් අතර මග ඔවුන් අපට මහා කරදරයක් වෙයි.'

ඉතිං මේ දුර බැහැර ගමන පිටත් වෙන්නට කළින් මහල්ලන් සියළු දෙනා මරා දමන්නට යැයි ඔහු අණ කළා.

'මගේ අණට කීකරු නොවන සියල්ලෝම දඬුවම් ලැබිය යුතුයි' ඛාන් කියා සිටියා.

එය මිනිසෙකුට ඇසිය හැකි ඉතාම දරුණු නපුරු අණක්. මිනිස්සු ඒ ගැන බොහොම කණගාටු වුණා. ඒත් ඛාන්ගේ අණට අකීකරුවන්ට පුළුවන් කමක් කිසිවෙකුට තිබුණේ නෑ.

එහෙත් සනාද් ඛාන් ගේ අණ පිළි නොගෙන ඉන්ට තරම් ධෛර්යයක් ඇති එක් තරුණයෙකු මිනිසුන් අතර සිටියා. ඔහු ගේ නම් තමයි සයිරන්. ඉතිං සයිරන් පොරොන්දු වුණා ඔහුගේ මහළු පියා ආරක්ෂා කරන්ට.


ඒ නිසා ඔහු කළේ ඉතා විශාල හම් ඔලොගුවක තමන්ගේ මහළු පියාව දමාගෙන හැමදෙනාටම හොරෙන් පිරිස සමග රහසිගතව රැගෙන යාමයි. පසුවට වෙන දේවල් ගැන හිතන්ටත්, කලබල නොවෙන්ටත් ඔහු හිතා ගත්තා.

සනාද් ඛාන් ඔහුගේ සියළු මිනිසුන් සහ සතුන් සමග ඔවුන් සිටි පැරණි බිම අතහැර උතුරු දෙසින් පිහිටි අලුත් බිම් සොයා යන්නට පිටත් වුණා. සයිරන්ගේ අසුපිට තැබූ හම් ඔලොගුවේ සැගවී ඔහුගේ පියාත් උතුරු පැත්තට ගමන් කළා. සයිරන් අනෙක් හැම දෙනාටම හොරෙන් තම මහළු පියාට කන්න දුන්නා. බොන්නට දේවල් සපයා දුන්නා. ඒ විතරක් නෙමෙයි, අඳුර වැටුණු වහාම හම් ඔලොගුවේ ගැට බුරුල් කරලා කූඩාරමේ විවේක ගන්නටත්, වේදනාවෙන් රිදුම් දෙනා ඔහුගේ මහලු අත් පා දිගහැර ගන්නටත් ඉඩ ලබා දුන්නා.

ගමනට බොහොම කාලයක් ගත වුණා. ඛාන්ටත් ඔහුගෙ මිනිසුන්ටත් මුහුද සමීපයේ පිහිටි බිම් කඩකට එන්නට හැකි වුණා. වහාම එතැන කූඩාරම් තනා විවේක ගන්නා ලෙස සනාද් ඛාන් ඔහුගේ මිනිසුන්ට අණ කළා.

ඔන්න එක් දිනක් ඛාන්වරයාගේ උදව්කරුවෙකු වතුර ගෙනෙන්ට වෙරලට ගියා. එතකොට ඔහු දැක්කා මූදු පතුලේ යමක් දිලිසෙමින් තිබෙනා සැටි. ඉතිං ඔහු ජල පතුලට තව තවත් ළංවී බැලුවා. එය විශාල රන් කුසලානයක් බව එවිට ඔහුට පැහැදිලිව දැකගත හැකි වුණා. ඛාන්ට ඉතාම හිතවත් අවංක සේවකයෙකු ලෙස උදව්කරුවා මේ බව ඛාන්වරයාට දන්වා සිටියා.

ඒ ඇසූ සනාද් ඛාන් කෙසේ හෝ මේ රන් කුසලානය ලබාගෙන තමා වෙත ගෙන එන ලෙස තම සේවකයන්ට අණකළා. මූදු පතුළෙ කිමිදී එය සොයාගෙන ඒමට තරම් ධෛර්යයක් කිසිවෙකුට තිබුනේ නෑ. ඒ නිසා ඒ සඳහා ඉදිරිපත්වන්නට කිසිවෙක් හිටියේ නෑ. අවසානයේ තුණ්ඩු ඇදීමෙන් කෙනෙකු තෝරා ගන්නටයැයි ඛාන් අණ කළා.

පළමු තුණ්ඩුව ලැබුණේ ඛාන් ගේ සේවකයෙකුටයි. ඉතිං ඔහු මූදට පැන කිමිදුණා. ඒත් ආයේ කවදාවත් ඔහු ගොඩ ආවේ නෑ.


නැවත වතාවක් තුණ්ඩු අදින්නට තීන්දු වුණා. එවර තුණ්ඩුව ලැබූ සේවකයා හිතුවා කඳු බෑවුම මුදුනේ සිට පහළට පැන මූදු පතුලේ කිමිදෙන්ට. ඉතිං ඔහු කඳු මුදුනේ සිට මූදට පැන කිමිදුණා. ඔහු ආයේ කවදාවත් ගොඩ ආවේනම් නෑ. මේ විදියට සනාද් ඛන්ගේ මිනිසුන් බොහෝ ගණනක් මරණයට පත් වුණා.

කොයිතරම් මිනිසුන් ගණනක් මැරුණත් අකාරුණික ඛාන් රන් කුසලානය ලබාගැනීමේ උත්සහය අත්හැරියේ නම් නෑ. එක්කෙනකුට පස්සෙ තව කෙනෙක් බැගින් ඔහුගේ කීකරු සේවකයන් බොහෝ දෙනෙකු මේ විදිහට මිය ගියා.

අන්තිමේදි රන් කුසලානය ලබාගැනීමේ වාරය උදා වුණේ සයිරන්ට. කිමිදෙන්නට කළින් ඔහු තමන්ගේ මහළු පියා බලන්නට ගියා . ගිහින් මෙහෙම කිවුවා.

'මට සමුගන්න අවසර දෙන්න මගෙ ආදරණීය තාත්තේ, අපි දෙන්නම දැන් මැරෙන්නයි යන්නේ'

'වෙලා තියෙන්නෙ මොකක්දැයි මට කියාපන් පුතා?' මහළු පියා සයිරන් ගෙන් ඉල්ලා සිටියා.

ගැඹුරු මූදූ පතුළට කිමිදී කෙසේ හෝ රන් කුසලානය රැගෙන ආ යුතු බවට ඛාන් අණ කළ බව එවිට සයිරන් තාත්තාට කියා සිටියා.

'එහෙම ගිය කිසි කෙනෙක් ආපහු ඇවිත් නෑ තාත්තේ, ඛාන්ගේ අණ වෙනුවෙන් මට දැන් මූදූ පතුළේ මැරෙන්න සිදුවෙනවා. තාත්තාව අහුවුනොත් ඛාන්ගේ සේවකයන් ඔබවත් මරා දමාවි' සයිරන් ඉතා කණගාටුවෙන් කිවුවා.

මහළු තාත්තා සයිරන් කියූ සියළු දෑ නිහඬව අහගෙන ඉඳලා මෙන්න මෙහෙම කිවුවා.

'මගෙ පුතේ, මේක මේ විදියට සිදුවෙනවා නම් නුඹට වෙන්නෙ රන් කුසලානෙත් නැතුව නිකම්ම දියේ ගිලී මැරෙන්ට. මුදූ පතුළේ රන් කුසලානයක් ඇත්තෙ නෑ. අර පෙනෙන කන්ද දෙස බලාපන්. පෙනෙනවද? ඇත්තම රන් කුසලානෙ තිබෙන්නෙ අර පෙනෙන කඳු මුදුනෙයි. මූදු පතුළෙන් පෙනෙන්නෙ එහි බිඹුවක් විතරයි.'

'මගෙ ආදරණීය තාත්තේ, මං මොනවද කරන්න ඕනෑ?' සයිරන් ඇහුවා.

'කඳු මුදුනට පලයන්. රන් කුසලානය ලබාගෙන ඛාන් සතුටුකරපන්. කුසලානෙ හොයාගන්ට අමාරු නෑ. මොකද ඒකෙ දිස්නය බොහොම දුර ඈත තෙක් විහිදෙන නිසා ලෙහෙසියෙන්ම දැක ගන්ට පුළුවනි. ඒත් නුඹට කඳු බෑවුම නගින්ට අසීරු බව දැනුණොත්, මුව රැළක් කඳු මුදුනෙන් මතුවෙන තුරු හිටපන්. උන් කඳු මුදුනට ආ හැටියෙම උන්ව බියගන්වාපන්. දුවන්ට තියෙන කලබලේට උන් රන් කුසලානය පෙරළාවි. කාලය ඉතා වැදගත් ලෙස හිතාපන්. රන් කුසලානෙ ගිලිහෙන්ට කලින් හනිකට එය අල්ලාගනින්. එහෙම නොවුණොත් ගිරිකඳුරට වැටී එය නොපෙනී යාවි.'

සයිරන් තාත්තාට ස්තුති කරලා කඳු මුදුනට යන්ට පිටත් වුණා.

කඳු මුදුනට නගින එක පහසු කාර්යයක් වුණේ නෑ. අතරින් පතර වැවී තිබුණු ගස්, පඳුරු සහ උල් වූ ගල් කැබලි අල්ලාගෙන සයිරන් කඳු මුදුනට නගින්ට වුණා. ඔහුගේ මුහුණ සහ දෑත් සීරි තුවාල වුණා. ඇඳුම් ඉරී කැබලි එල්ලෙන්නට වුණා. එහෙත් අවසානයේ දී ඔහු කඳු මුදුන සමීපයට ආවා. එවිට ඔහු දුටුවා කඳු මුදුනේ හිරු එළියෙන් දීප්තිමත්ව බැබැළෙන රන් කුසලානය. එතකොටම වාගේ සයිරන් ට අවබෝධ වුනා කිසි ලෙසකින් වත් මුදුනට ළඟා විය නොහැකි බව. තාත්තා ගේ අවවාදය ඔහුට එක්වරම සිහියට නැගුණා. ඉතින් ඈතින් මුව රැල මතුවෙන තුරු ඔහු බලා සිටියා.


ඔන්න වැඩිවේලාවක් ගතවෙන්ට කලින් මුවෝ එකා දෙන්නා බැගින් කඳු මුදුනෙන් මතුවෙන්ට පටන් ගත්තා. සයිරන් මහා හඬින් කැගැසුවා. සද්දෙන් කලබල වුණු මුව රැළ වේගයෙන් කඳු මුදුනට නගින්ට පටන් ගත්තා. උන්ගේ කඩිමුඩියට රන් කුසලානය පහළට පෙරලුණා. කුසලානය පහළට පෙරළීගෙන එද්දිම සයිරන්ට එය අල්ලාගන්ට හැකි වුනා.

ඉතාමත් සතුටට පත් වුණු සයිරන් හෙමින් කන්ද බහින්න පටන් ගත්තා. ඊට පස්සෙ සනාද් ඛාන් වෙතට ගිය සයිරන් රන් කුසලානය ඔහු ඉදිරියේ තැබුවා.

'නුඹ මේ කුසලානේ මූදු පතුලෙන් ගෙනාවේ කොහොමද?' පුදුම වූ සනාද් ඛාන් විමසා සිටියා.

'මේක හමුවුණේ මූදු පතුලෙන් නෙමෙයි. අර ඈත තියෙන කඳු මුදුනෙන්. මූදු පතුලෙන් පෙනුනේ එහි බිඹුවක් විතරයි.' සයිරන් උත්තර දුන්නා.

'නුඹ මෙය තනියෙන් සිතා කළ වැඩක් ද ?' ඛාන් ඇසුවා.

'එහෙමයි' සයිරන් කිවුවා.

ඛාන් ඊට වඩා කිසිවක් සයිරන්ගෙන් විමසන්නට ගියේ නෑ. ඔහු සයිරන්ට යන්නට ඉඩ හැරියා.

පහුවෙනිදා සනාද් ඛාන් සහ ඔහුගේ මිනිස්සු ආයෙත් ගමන් කරන්න පටන්ගත්තා.

බොහොම කාලයක් ඇවිදීමෙන් පසු ඊළඟට ඔවුන් ලඟා වුණේ විශාල කාන්තාරයකට. ඉර අව්වෙන් පොළොව කරවෙලා තණකොළ පිළිස්සිලා තිබුණා. ගංගාවක් වත් උල්පතක් වත් පෙනෙන තෙක් මානෙක තිබුනේ නෑ. මිනිස්සුත් ගවයොත් පිපාසාවෙන් මැරෙන්ට තරම් ළං වෙලා හිටියේ. සනාද් ඛාන් තමන්ගේ අසරුවන් කැඳවලා වතුර ඇති තැනක් සොයා ගෙන එන්නැයි ඔවුන් පිටත් කර හැරියා. එහෙත් කිසිවෙකුටත් දිය පොදක් ඇති තැනක් සොයාගන්ට හැකි වුණේ නෑ. ඔවුන් කිසිවෙක් කළහැකි කිසිවක් ගැන දැන සිටියේ නැති නිසා සියල්ලන්ටම බොහොම පීඩාවෙන් ඉන්ට සිදුවුණා.

සයිරන් එයාගේ මහළු තාත්තා සඟවා සිටි තැනට ගියා.

'ආදරණීය තාත්තේ, මට කියන්න අපි මොනවද කරන්න ඕනෑ? අපි හැමදෙනාම පිපාසාවෙන් මැරෙන්නයි යන්නෙ'


එතකොට මහළු පියා මෙන්න මෙහෙම කිවුවා.

'සයිරන් මගෙ පුතේ, අවුරුදු තුනක් වයසැති එළදෙනක් සොයාගෙන ඌට ඉබාගාතේ යන්ට ඉඩහැරපන්. ඌ කොතැනක හරි නැවතිලා එතැන පොළොව ඉව කරන්ට පටන්ගන්නවා නම් නුඹ වහාම එතැන බිම හාරපන්.'

සයිරන් තාත්තා කියූ විදියට අවුරුදු තුනක් වයසැති එළදෙනක් මුදාහැරියා. ඊට පස්සෙ ඌ පසු පසින් තැනින් තැනට ඇවිද ගියා. ඔන්න එතකොටම වාගේ එක් තැනෙක නැවතුණු එළදෙන පොළොව ඉවකරන්ට පටන් ගත්තා. සයිරන් වහාම අනෙක් මිනිසුන් කැඳවලා එතැන බිම හාරන්ටයැයි කීවා.

මිනිසුන් බිම හාරාගෙන හාරාගෙන ගියා. එතැනින් එකපාරටම සීතල පිරිසිදු දිය උල්පතක් ඉහළට මතුවෙලා පොළොව වතුරෙන් තෙමන්ට පටන් ගත්තා. මිනිස්සු ඇති තරම් දියබී පිපාසාව සංසිඳුවා ගත්තා. ඒ විතරක් නෙමෙයි හරකුන්ටත් ඇති තරම් බොන්නට දිය ලැබුණා.

සනාද් ඛාන් වහාම සයිරන්ව ඔහු වෙත කැඳවූවා.

'මේ තරම් වේලිච්ච පොළොවක වතුර ඇති තැනක් නුඹ හොයාගත්තේ කොහොමද?' ඛාන් ඇහුවා.

'යම් යම් සලකුණු මට ඒ බව කීවා.' සයිරන් පිළිතුරු දුන්නා.

ඔවුන් තව තවත් දිය බිව්වා. විවේක ගත්තා. පසුව ආයෙත් ගමන් කරන්ට පටන් ගත්තා.

බොහොම කාලයක් ගමන් කරලා ඔවුන් තවත් බිම් කඩක් වෙත පැමිණියා. විවේකය සඳහා එතැන නැවතී කූඩාරම් අටවා ගත්තා. බලාපොරොත්තු නොවුණු විදියට එදින රාත්‍රියේ මහා වැස්සක් ඇදවැටෙන්ට වුණා. ඒ වැස්සෙන් අවුළුවා තිබූ ගිණි මැලය නිවී ගියා. මිනිස්සු කොයි තරම් උත්සහ කළත් ආයේ ගිනි දල්වන්ට පුළුවන් වුණේ නෑ.


ඔන්න එතකොටම වාගේ එක් මිනිසෙක් දැක්කා ඈත කඳු මුදුනක දැල්වෙන ගිනි මැලයක්. වහාම එම ගිනි මැලය තමා වෙත ගෙන එන ලෙස සනාද් ඛාන් මිනිසුන්ට අණ කළා. මිනිසුන් ඛාන් ගේ අණ පිළිගෙන ගින්දර ගෙනෙන්ට පිටත් වුණා. පළමුව එක මිනිසෙක්, දෙවනුව තවෙකෙක්, තෙවනුව තවත් කෙනෙක් බැගින් කඳු මුදුනට පිටත් ව ගියා. කඳු මුදුනේ සිටි දඩයක්කරුගේ ගිනි මැලයෙන් ඒ හැමෙකෙකුම දල්වන ලද දර කොටය බැගින් ගෙන ආවත්, කූඩාරම තෙක් එය දල්වා ගෙන එන්නට කිසිවෙකුටත් හැකි වුණේ නෑ. මොකද මහ වැස්සෙන් ගින්දර මගදි නිවී ගිය නිසා.

සනාද් ඛාන්ට බොහොම තරහ ගියා. ගින්දර නොගෙනාවොත් සියළු දෙනා මරන බව කියා සිටියා. ඊළඟට කඳු මුදුනට නැගීමේ වාරය උදාවුණේ සයිරන්ට. ඔහු කළේ පළමුව තාත්තා සඟවා සිටි තැනට යන එකයි.

'ආදරණීය තාත්තේ, මේ වතාවේ මං කරන්න ඕනෑ දේ මට කියාදෙනවද? ඇවිලෙන දර කොටයක් කූඩාරම තෙක් නිවෙන්නෙ නැතුව ගේන්නෙ කොහොමද?' සයිරන් ඇහුවා.

එතකොට මහළු තාත්තා මෙන්න මෙහෙම කිවුවා;

'කිසිම වෙලාවක දර කොට ගෙනෙන්ට එපා. ඉන් ගින්දර ලබාගන්ට කොහෙත්ම බෑ. වැස්ස නිසා පුළිඟු සියල්ල නිවී යාවි. ඒ වෙනුවට මුට්ටියක් අරන් පලයන්. ඒක හොඳහැටි ගල් අඟුරුවලින් පුරවාපන්. එහෙම කළොත් විතරක් නුඹට පුළුවන් කූඩාරමට ගින්දර අරන් එන්ට.'

සයිරන් තාත්තා කියූ ලෙසටම කඳු මුදුනට මුට්ටියක් අරන් ගිහින් එය ඇවිළුණු ගල් අඟුරු වලින් හොඳහැටි පුරවාගෙන ආවා. කුඩාරමේ ගිනි මැලය අවුළන්නට සයිරන්ට හැකි වුණා. ඉන් මිනිස්සු හොඳහැටි උණුසුම් වුණා. කෑම බීම පිළියෙල කළා.

මේ බව දැන ගත් සනාද් ඛාන් නැවත වතාවක් සයිරන්ව තමා ඉදිරියට කැඳවාගෙන එන ලෙස අණ කළා.

'ගින්දර ගෙනෙන්ට නුඹ දැන සිටියා නම් ඒ ගැන නුඹ නිහඬව සිටියේ ඇයි?' ඛාන් ගිගුරුවා.

'ඇත්තටම මං දැනං හිටියෙ නෑ එහෙම කරන්නෙ කොහොමද කියලා.' සයිරන් උත්තර දුන්නා.

'ඒත් නුඹ ඒ දේ කළා. ඒ කොහොමද කියාපන්?'

ඛාන් ගේ ප්‍රශ්න වලින් ගැලවිය හැකි මගක් සයිරන් දැන සිටියේ නෑ. ඉතිං ඔහු සියල්ල සනාද් ඛාන්ට හෙළිකලා. සනාද් ඛාන් විසින් පනවන ලද සියළු ආඥාවන් ඔහුට ඉටුකළ හැකි වූයේ තම මහළු පියාගේ නුවණ නිසා බව සයිරන් කියා සිටියා.


'දැං නුඹේ පියා සිටින්නෙ කොහිද?' ඛාන් ඇසුවා.

'මං ඔහුව හම් ඔලොගුවක දමාගෙන මා යන හැමතැනකම අරන් ගියා' සයිරන් කිවුවා.

මහළු පියා තමා වෙත ගෙන එන ලෙස සනාද් ඛාන් අණ කර සිටියා.

'මා විසින් පැන වු අණ මා ආපසු ගන්නවා. මහල්ලන් තරුණයන්ට කිසිම විදියක බරක් නොවෙයි. කරදරයක් නොවෙයි. මහළු බව කියන්නෙ නුවණැතිකමයි. නුඹට තව දුරටත් සැඟවී සිටින්නට ඕනෑ වෙන්නෙ නෑ. නුඹට පුළුවන් අපත් සමග නිදහසෙ විවේකයෙන් ගමන් කරන්ට.' සනාද් ඛාන් අන්තිමේ දී සයිරන්ගේ මහළු පියාට කියා සිටියා.

* බුර්යාතියාව සෝවියට් සමූහාණ්ඩුවට අයත්ව තිබූ රටකි. වර්ග කිලෝමීටර 351,300 ක් වන අතර එහි ජීවත් වන මිනිසුන් ගණන 972,021 කි. උලාන්-උදේ එහි අගනගරය වේ. සයිබීරියාවේ දකුණු - මධ්‍යම දෙසින් පිහිටා ඇති බුර්යාතියාව බයිකාල් විලෙහි නැගෙනහිර සීමාව ඔස්සේ විහිදී ඇත. එරටෙහි භූමි භාගයෙන් 80%ක්ම සමන්විත වනුයේ කඳුකර පෙදෙස් වලිනි. ස්වභාවික සම්පත් ලෙස රත්‍රන්, ටංග්ස්ටන්, සින්ක් සහ යුරේනියම් නිධි එරට සතුය. එහි ජනගහනයෙන් 2/3 ක් රුසියානුවන් වන අතර බුර්යාත් ජාතිකයින් 30% ක්ද, යුක්‍රේන් ජාතිකයින් 0.6% ක්ද, තතාර්වරුන් 0.7% ප්‍රමාණයක් එහි වෙසෙයි.
පරිවර්තනය - හිමේන්ද්‍රි කරුණාරත්න



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails