අඳුරු සළු ඉරා සඳ රැස් දහර තුරු අගින්
සිදුරු ඇති තැන් වලින් පෙරෙනවා හෙමි හෙමින්
පඳුරු මත වැටී ඒ, රිදී සුණු ගෑ ලෙසින්
සොඳුරු බව රැයෙහි ඇති මතු කරයි හැම අතින්

අහස් ගැබ පුරාවට නිවි නිවී දැල් වෙමින්
දහස් දස ගණන් තරු පොකුරු ඇත එල්ලෙමින්
දෙඇස් පිය වසනු මැන සවන් යොමු කරවමින්
රහස් ඇත අසන්නට රාත්‍රිය කොඳුරමින්

වක් පනාවක් වගෙයි සඳ අහසෙ හිනැහෙනා
එක් වරම කළු වලා කැටි තුරුල්ලට වුනා
වැක්කෙරෙන සඳ රැසින් නිහඬ ලොව නහවනා
එක් සොඳුරු රැයක් එළි කරයි හිරු නැග එනා

නුවන් මන බඳින සඳ කැළුම් විහිදන අමා
වසන් වෙයි වළා සළු රන් දියෙන් තෙම තෙමා
පවන් රැළි ඇදී යයි තුරු අගිසි පිස දමා
පහන් හිරු මොහොතකින් නැගෙයි රැය කර නිමා

(දිලංකා මෙලනි කුරේරා බප/කැල/ විහාර මහා දේවී බාලිකා විදුහලේ සිසුවියකි.)

දිලංකා මෙලනි කුරේරා



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails