KATHANDARA DOSIYA | ටික්කි ටික්කි ටෙම්බෝ නෝ සරිම්බෝ චාරි බාරි බුෂ්කි පෙරී පෙම්බෝ හායි කායි පොම් නික්කි නො මීනෝ ඩොම් බාරකො!!!
දුර ඈත චීනයේ සහෝදරයින් දෙදෙනෙක් වාසය කළා. ඉන් බාලයාගේ නම චෑම්. පළමුවැන්නාගේ නම ටික්කි ටික්කි ටෙම්බෝ නෝ සරිම්බෝ චාරි බාරි බුෂ්කි පෙරී පෙම්බෝ හායි කායි පොම් නික්කි නො මීනෝ ඩොම් බාරකො විය! පළමුවැන්නාට පමණක් දිග නමක් දැමීම එවකට වෙසුව චීන ජනතාවගේ පුරුද්දක්.
දවසක් මේ සහෝදරයින් දෙදෙනා ඔවුන්ගේ ගෙවත්තේ තිබුණ ළිඳ අසල සෙල්ලම් කරමින් සිටින අවස්තාවක, 'චෑම්' ළිඳට වැටුණා. බයවුණ 'ටික්කි ටික්කි ටෙම්බෝ නෝ සරිම්බෝ චාරි බාරි බුෂ්කි පෙරී පෙම්බෝ හායි කායි පොම් නික්කි නො මීනෝ ඩොම් බාරකො'-
කෑගසමින් අම්මා ළඟට දුවගෙන ගියා.
"අම්මේ.. අම්මේ.... ඉක්මන් ඉක්මන්.. චෑම් ළිඳට වැටුණා.. අපි මොනවද දැන් කරන්නේ.. ?"
"මොනවා...! චෑම් ළිඳට වැටුණා" අම්මා අඬමින් ඇසුවා. "යන්න යන්න.. දුවල ගිහින් තාත්තට කියන්න.."
අඬ අඬා තාත්තා ළඟට දුවගිය අම්මයි පුතයි, ලහි ලහියේ ඔහුට විස්තරේ කියන්නට වුණා.
"ඉක්මන් කරන්න.. චෑම් ළිඳට වැටිලා.. අපි දැන් මොකද කරන්නෙ..?"
"මොනවා චෑම් ළිඳට වැටුණා..?" තාත්තත් අඬමින් ඇසුවා.
"දුවල ගිහින් මේ බව උයන්පල්ලාට කියන්න.."
ඊටපස්සෙ තුන්දෙනාම කෑගසමින් උයන්පල්ලා ළඟට දුවගෙන ගියා.
"ඉක්මන් කරන්ඩෝ, ඉක්මන් කරන්ඩෝ.. චෑම් ළිඳට වැටිලෝ.. අපි දැන් මොකද කරන්නේ.. ?"
"මොනවා දෙයියනේ! චෑම් ළිඳට වැටුණා.. ?" අඬමින් අසන ගමන්, දිග ඉණිමගක් සොයාගත් උයන්පල්ලා එය රැගෙන ගොස්, වතුරෙන් තෙමී සීතලෙන් වෙව්ල වෙව්ලා, බයෙන් ගැහී ගැහී වුණත් තවමත් ජීවත් වීම පිළිබඳ සන්තෝසෙන් සිටි චෑම්ට ගොඩට එන්නට ඉණිමග ළිඳ ඇතුළට දැමුවා.
ඉන් ටික කලකට පසු මේ සහෝදරයින් දෙදෙනා නැවතත් ගෙවත්තේ ළිඳ අසල සෙල්ලම් කරමින් සිටින අවස්තාවක, 'ටික්කි ටික්කි ටෙම්බෝ නෝ සරිම්බෝ චාරි බාරි බුෂ්කි පෙරී පෙම්බෝ හායි කායි පොම් නික්කි නො මීනෝ ඩොම් බාරකො' ළිඳට වැටුණා. බය වුණු චෑම් කෑගසාගෙන අම්මා ළඟට දිව්වා.
"අම්මේ.. ඉක්මන් කරනවදෝ.... ටික්කි ටික්කි ටෙම්බෝ නෝ සරිම්බෝ චාරි බාරි බුෂ්කි පෙරී පෙම්බෝ හායි කායි පොම් නික්කි නො මීනෝ ඩොම් බාරකො ළිඳට වැටුණෝ.. අපි දැන් මොනවද කරන්නේ.. ?"
"මොනවා.. ?" අම්මා ඇඬුවා.. ටික්කි ටික්කි ටෙම්බෝ නෝ සරිම්බෝ චාරි බාරි බුෂ්කි පෙරී පෙම්බෝ හායි කායි පොම් නික්කි නො මීනෝ ඩොම් බාරකො ළිඳට වැටුණා..? යන්න යන්න, දුවලා ගිහින් තාත්තට කියන්න.."
"හති දමමින් දිව්ව අම්මයි පුතයි තාත්තට විස්තරේ කීවා."
"ඉක්මන් ඉක්මන්.. ටික්කි ටික්කි ටෙම්බෝ නෝ සරිම්බෝ චාරි බාරි බුෂ්කි පෙරී පෙම්බෝ හායි කායි පොම් නික්කි නො මීනෝ ඩොම් බාරකො ළිඳ ඇතුළට වැටිලා. අපි දැන් මොකද කරන්නේ.. ?
"ටික්කි ටික්කි ටෙම්බෝ නෝ සරිම්බෝ චාරි බාරි බුෂ්කි පෙරී පෙම්බෝ හායි කායි පොම් නික්කි නො මීනෝ ඩොම් බාරකො ළිඳට වැටුණා?" තාත්තාත් ඇඬුවා. "යන්න යන්න, ඉක්මණින් දුවල ගිහින් මේ බව උයන්පල්ලාට කියන්න.."
ඊටපස්සෙ තුන්දෙනාම කෑ ගසාගෙන උයන්පල්ලා ළඟට වේගයෙන් දිව්වා.
"ඉක්මන් කරන්න, ඉක්මන් කරන්න.. ටික්කි ටික්කි ටෙම්බෝ නෝ සරිම්බෝ චාරි බාරි බුෂ්කි පෙරී පෙම්බෝ හායි කායි පොම් නික්කි නො මීනෝ ඩොම් බාරකො ළිඳට වැටිලා.. අපි දැන් මොනවද කරන්නෙ.. ?"
"මොනවා.. ! ටික්කි ටික්කි ටෙම්බෝ නෝ සරිම්බෝ චාරි බාරි බුෂ්කි පෙරී පෙම්බෝ හායි කායි පොම් පොම් නික්කි නො මීනෝ ඩොම් බාරකෝ ළිඳට වැටුණා.. ?
උයන්පල්ලා අඬන ගමන් සූදානම් කරගත් ඉණිමගක්, ටික්කි ටික්කි ටෙම්බෝ නෝ සරිම්බෝ චාරි බාරි බුෂ්කි පෙරී පෙම්බෝ හායි කායි පොම් නික්කි නො මීනෝ ඩොම් බාරකෝට ගොඩට එන්නට ළිඳ ඇතුළට දැම්මා.
නමුත් ගොඩක් වෙලා ළිඳ තුළ සිටි නිසා, ඒ වෙනකොටත් දියේ ගිලී සිටි ටික්කි ටික්කි ටෙම්බෝ නෝ සරිම්බෝ චාරි බාරි බුෂ්කි පෙරී පෙම්බෝ හායි කායි පොම් නික්කි නො මීනෝ ඩොම් බාරකෝට ළිඳෙන් ගොඩට එන්නට හැකි වුණේ නෑ.
එදා ඉඳලා චීන මිනිසුන් ඔවුනොවුන්ට ලැබෙන ප‍්‍රථම දරුවට දැමුවෙත් කෙටි නමක්....!!!
[චීන ජනකථාවක් ඇසුරෙන්.]
පරිවර්තනය - මුතු පබා
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook