ඉතා හොඳ නමක් දිනාගෙන සිටි ෂෑන් නම් කුඩා භික්ෂුවක් චීනයේ ගමක ජීවත් වුණා. හොඳ නමක් දිනා සිටියත් මේ භික්ෂූව මානාධිකයි.
දිනක් ක්වියි ජුන්ට ඔහුගේ මානාධිකම ගැන ආරංචි වී, හොඳ පාඩමක් ඔහුට උගන්වන්නෙමියි සිතා ආරාමයට ගියා. ක්වියි ජුන්, ෂෑන් නම් භික්ෂුව ඉදිරියේ පෙනී සිටියත් ඔහුව නොදුටුවා සේ භික්ෂුව හැසිරෙන්නට වුණා.
ඒ මොහොතේ භික්ෂුව ළඟට පැමිණි ඇබිත්තයා,-
හමුදා නිළධාරියකුගේ පුතෙකු ආරාමයට පැමිණ සිටින බව භික්ෂුවට දන්වා සිටියා. ඔහු ඉදිරියට ගිය භික්ෂූව ගරු සරු ඇතිව ඔහුව පිළිගත්තා.
හමුදා නිළධාරියාගේ පුතා ආරාමයෙන් පිට වූ පසු භික්ෂූව ඉදිරියට ගිය ක්වියි ජුන්, ඔහුගේ දෙබිඩි ස්වරූපය ගැන විස්තර විමසුවා.
"ඔබවහන්සේට අර පැමිණි හමුදා නිළධාරියාගේ පුතාට ආචාර කරමින් කතා කරන්නට හැකි වුණා නම්, ඇයි මට විතරක් අහංකාරකමක් පෙන්නුවේ?" ක්වියි ජුන් ඇසුවා.
"කරුණාකරලා මාව වැරදියට තේරුම් ගන්න එපා. මට අනුව, ආචාර කිරීම යනු ආචාර නොකිරීමයි. ආචාර නොකිරීම යනු ආචාර කිරීමයි...." භික්ෂුව සැණෙකින් උත්තර දුන්නා.
ක්වියි ජුන්ට භික්ෂුවගේ පහත් පිළිතුර වැටහී භික්ෂුව අතවූ කෝටුව ගෙන ඔහුගේ තට්ටයට වැරෙන් පහරක් ගසා, "ඔබවහන්සේට අනුව, පහරදීම යනු පහර නොදීමයි.. පහර නොදීම යනු පහර දීමයි.. ඒ නිසා මට ඔබවහන්සේට පහර දෙන්නට සිදුවුණා.."යි, භික්ෂුවට පැවසුවා.
තමන් කරපු අනුවණ ක‍්‍රියාව භික්ෂුවට වහා වැටහුණා. එදායින් පසු භික්ෂුව සියලුම දෙනාට උස් පහත් බේද නොසලකා එක ලෙස සැලකුවා.
[ජන කතාවක් ඇසුරිනි.]
පරිවර්තනය - මුතු පබා
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook