Dec
27

හාච්චියක් එක්කල දුන් විස්කිරිඤ්ඤ රස ගුලාව
කෝච්චියේ කොළඹ ගිහින් ගෙනත් දුන්නු බට නළාව
තාච්චියේ නටන කැවුමෙ කොණ්ඩය බැන්දූ කලාව
ආච්චියේ තව මතකයි නුඹේ මුවේ මල් හිනාව
පැණි පෙර පෙර පොළෙන් ගෙනත් අපට කැවු ගඩු ගුඩාව
ටොකු ඇණ ඇණ ඔලුව බැලූ හිස රිද්දන පොඩි පනාව
ඉදල අරන් මැද මිදුලේ සිත්තම් ඇන්දූ රටාව
තාම කියල ඉවරත් නෑ අන්දරේගේ රස කතාව
හඳ හාමිත් මග අරිනව වෙනද වගේ නෑ හිනාව
අපිව දාල දිවිය ලෝකේ යන්නට ආවද වෙලාව
පෝච්චියේ වතුර තාම නටන්නේ නෑ ලිප දිහාව
ආච්චියේ මළ පාළුයි අපෙ පොල් අතු බංගලාව
[2005]
ඇන්ඳේ- රුවන්මලී

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook