4.දෙවන පණ
එදා රෑ පල් සොරු මුළක් ගෙයක් බිඳ, බඩු ගෙන සොහොන මැදින් යෙති. සමහරු බඩු මිටි හිසින් ගෙන යෙති. සමහරු මුදල් පසුම්බි ආදිය එල්ලා ගෙන යෙත්. මෙසේ යන එකෙක් සොහොනෙහි හොත් කිරිහාමි පයින් මැඩගෙන ගියේය.
නිදා උන් කිරිහාමි පිබිද සොරුන් දැක, " අනේ මුන් ගේ නොහැදුණු කම! මළ එකකුට වත් නිකම් ඉන්නට හරින්නේ නෑ, නොවේයැ" යි කීයේය.සොරු ඒ අස නැවැතී, ඒ කවරෙක්දැයි බැලූහ. එකෙක් " මේ කවුදැ"යි ඇසීය.
"ඒ මම, කිරි හාමි, මා මළා. ඉතින් මළ එකා පාගා ගෙන යෑම හරි ද?"
සොරුනට සිනා නොවී සිටීමට අමාරුවිය. "මැරුණේ හැබෑවටමද බොරුවටදැ"යි අනෙකෙක් ඇසීය.
"මෙන්න මූට පිස්සු. බොරුවට මැරීමෙක් ඇද්ද? බල, හාමුදුරුවන් කීවා" හිසත් පයත් එක සැටි සීතල වුණු දා මළාය" කියා. ඊයේ මා ගඟේ වැටී හිසත් පයත් එක සැටි සීතල වුණා. ඉතින් මා මළේ නැද්ද?"
මේ කුමන පිස්සෙක් ද? බිල්ලකට බොහොම අගෙයි. බොරු නැතිව එනවා යන්නටයි සොර දෙටුවා කීය.
"අනේ, මා මළා, මා මළා. මළ එකාට ඉන්නට දී යනවා යන දිසාවෙක" යි කිරිහාමි අඬන්නට වූයේය.
හොර මුලේ හිටි එකෙක් දෙන්නෙක්ද හොරාට අඬන්ට වූහ.
"අනේ, ඉතින් කවදා දකින්නට දැය්" යි එකෙක් ඇඬීය. "අනේ, මාත් ඉඳල කුමටදැයි" තවෙකෙක් ඇඬීය. කිරිහාමි කිපී "තොප යන අතෙක යවු. මළ එකාට කවටකම් කැර අපායට විතරක් යන්නට එපා" යි ගෙරෙවුවේය.
එක් සොරෙක් ඉදිරියට පැන, "හා..හා.. කවටකම් කරන්න එපා. හොඳ යැ? මොහු ඇත්තෙන්ම මැරිලා. මා දන්නවා හොඳ මන්ත්රටයක් ගිය පණ ගෙනවන. කැමති නම් මතුරා බලන්ට පුළුවනි. හැබැයි පණ එනවා නම් දකුණු පයේ මහපටැඟිල්ලේ වේදනාවක් දැනෙයි. මතුරා බලන්ට ද" යි කීයේය. කිරිහාමි මීට කැමති විය.
හොරා ද පිහියෙකින් කිරි හාමිගේ පයේ මහපට ඇඟිල්ලට අනින ලෙස අනෙකෙක්කුට කියා මතුරන්නට විය. "ඕං නමෝ...ගිය පණ වරෙන්.. ගිය පණ වරෙන්...ගිය පණ වරෙන්, ගිය පණ වරෙන්, ස්වාහයි..."මතුරනු සමගම කිරිහාමිගේ දකුණු පයේ මහපට ඇඟිල්ලේ මහත් වේදනාවක් විය. "පණ ආවා, පණ ආවා...." යි මහ හඬ නගමින් හේ නැඟිසිටියේය. ඉක්බිති පණ දුන් සොරා වැලැඳගෙන ඔහුට පින් දි, " අනේ ඔබ නිසා මා ආයෙත් මේ ලෝකයට ආවා. ඔබට දිව සැපත් ලැබේවා" යි කියමින් කඳුළු වගුරුවමින් හඬන්නට වීය.
"ඉතින් කොහිද යන්නේ?" යි සොර දෙටුවා ඇසීය. "වෙන කොහි යන්නටද? මම ගෙදර යනවා. ඔබට පින් සිදු වුණාවේ" යනුවෙන් කිරි හාමි කීය. "හා...හා.. වරක් මැරී ඒ ගෙදරටම යන්නට හොඳ නෑ. අප එක්ක යමු" යි පණ දුන් සොරා පැවසීය. "අනේ, කියන තැනකට එනවා, නරකාදියට වුණත් එනවා, එනවාමයි. මගේ පණ ඔබේ නොවේදැයි" කියමින් කිරිහාමි යළිත් අඬන්නට වූයේය.
සොරු කිරිහාමි සනසා, ඔහුගේ ඇඟේ වැලි පිස දමා ඔහු එක් කැරගෙන යන්නට වූහ. මගදී කිරිහාමි තමගේ සියලු තොරතුරු කියමින් සොරුන් සතුටු කළේය. "අමාරු වූ තැනකදී යස බිල්ලක්, අගේ ඇති බිල්ලක්" යි කියමින් සොරු සිනාසුණෝය.
ඊළඟට......