
ඉතිං නො- නගරයේ වැසියෝ කිසිම වෙලාවක පැළඳගෙන ඉන්න හිස් වැසුම් ගලවා දැමුවේ නෑ. රාත්රි කාලයෙ වුනත් හිස් වැසුම් පැලඳගෙනයි හිටියේ.
ඇත්තටම, නො-නගරෙයේ වැසියන් මේ තරම් ප්‍රමෝදයෙන්, බොහොම කාරුණිකව සතුටින් හැම උදේකම අවදිවෙන්නෙ කොහොමද කියලා තේරුම් ගන්න බැරිවයි මායාකාරිය හිටියේ.කරුණාවන්ත කමට ඈ අනිත් හැම දේටම වඩා වෛර කළා.
හැම රෑකම ඈ නපුරු හීන තව තවත් අහසට මුදා හරින්ට පටන් ගත්තා.
ඒ වගේම හැම උදෑසනකම ඈ තව තවත් කෝපයට පත් වුණා.
අනිතිමේදි එක දවසක මායාකාරියට පුළුවන් වුණා රහස සොයා ගන්ට. ඒ තමයි නො -නගරෙ වැසියෝ පලඳින හැම හිස් වැසුමකව වාගේ ඉහළින් පොඩි කවුළුවක් බැගින් තිබෙන බව. ඒ කවුළුව හරහා අඳුරු වළාකුලකට රිංගලා යන්න පුළුවන් බව.
ඔන්න ඊළඟට නපුරු මායාකාරිය කළේ නගරය හරහා හමායන මහා විසාල කුණාටුවක් මවපු එකයි.ඒ කුණාටුවට අහුවෙච්ච හැම හිස්වැසුමක්ම නගර වැසියන්ගෙ ඔලුගෙඩි වලින් ගැලවිලා වීසි වුණා ඈතට. ඒ විතරක් නෙමෙයි හිස් වැසුම් එක්කම ආදරයත් කරුණාවත් එකිනෙකාව තේරුම් ගැනීමත් නගරය අතහැරල ගියා. ඉතිං එදා රෑ මායාකාරියට හැකි වුණා නපුරු අඳුරු වළාකුලු දහස් ගණනක් අහසට මුදා හරින්නට.
දවස උදාවෙනවාත් එක්කම නො-නගරයේ නිවසක ඈත කවුළුවකින් ඇහුණා මිනිසුන් එකිනෙකා හා දබර කරගන්නා හඬක්.ඊළඟට තවත් ගෙදරකින්. ඔන්න ආයෙත් තවත් ගෙදරකින්. ඔහොම ගිහින් ගිහින් නගරයේ හැම ගෙදරකින්ම ඇහුණු රණ්ඩුවල හඬින් මුළු නගරයම හෙල්ලුම් කෑවා.
"නපුර" නො-නගර වැසියන්ගේ හිත් වලට ඇතුළු වෙලා තිබුණා. නපුරුකමයි තරහවයි නගරයෙ ජීවත් වුනු කාරුණික මිනිස්සුන්ට එයාලා කවුද කියන එක පවා අමතක කරවලා තිබුණේ.

හැම පාරකින්ම ඇහුණේ රණ්ඩු වෙන හඬවල් විතරමයි. එදා තමයි මැලේනි තමන්ගේ මුළු ජීවිත කාලයටම මිනිස්සු රණ්ඩු වෙනවා දැක්කෙ.
මැලේනි නගර චතුරශ්රමය දෙසට ලංවෙනකොටම වගේ අවට රැස් කකා උන්නු මිනිස්සු ඔක්කොම සද්ද බද්ද නවත්වලා පුදුමයෙන් ඔහු දෙස බලන්නට පටන් ගත්තා.
මොකද ඔහු විතරක් තවමත් හිස් වැසුමක් පැලඳ ගෙන.
නගරයට කුණාටුව එව්ව මායාකාරියට මැලේනිව අමතක වෙලා තිබුණේ. මොකද ඒ වෙනකොට මැලේනි හිටියේ නගරයට ඉහළින් පිහිටලා තියෙන කඳුකර ප්රෙදේශයේ. නො-නගරයේ සියළු වැසියන්ගේ හිත් "නපුරෙන්" පිරුණත් තාමත් හිස් වැසුම් පැලඳ සිටින නිසා මැලේනි ට විතරක් ඔවුන්ගෙන් කෙනෙකු නොවී සිටීමට හැකි වුණා. ඔහු ඔවුන්ගෙන් වෙනස් වූ කෙනෙකු නිසා මැලේනිව නගරයෙන් පිටුවහල් කලයුතු යැයි නගර වැසියෝ තීරණය කළා.
මැලේනි නගරය අත් හැරලා යන්ට ගියා. නගර වැසියෝ සියල්ලෝම පොදි කමින් කෑ ගසමින් ඔහු පසු පසින් පැමිණියා. ඔහුව නගරයෙන් පන්නා දමන ලෙසත් යලි කිසි දිනෙක නගරයට එන්නට ඉඩ නොදෙන බවත් නගර වැසියෝ කියා සිටියා. මැලේනිට ඔහුගේම කියලා කාත් කවුරුත් හිටියේ නෑ. ඒ නිසා ඔහු නැති අඩුව කාටවත් දැනෙන එකක් නැහැ කියලා නගර වැසියෝ මැලේනිට කිව්වා.

මැලේනි පුංචි වුනාට හැමවෙලාවෙම එයාට තිබුනේ මහා විශාල හදවතක්. හැම උදෑසනකම අවදි වුණ වහාම මැලේනි කරන්නෙ ඉරට ස්තුති කරන එක. ඒ මේ මහ පොළොව උණුසුම් කරන එකට. ඒ වගේමයි වැස්සටත්, දේදුන්නටත් හිම වලටත් එයා එක විදියටම ආදරය කළා. ලෙඩ වෙලා අසරණ වුණු පුංචි කුරුල්ලන්ව බලා ගත්තා.අනෙක් කුරුල්ලෝ එක්ක සෙල්ලම් කලා.
ග්‍රීස්ම කාලෙදී හැම පුංචි මල් පැලෑටියකටම වතුර දැමුවා ඒවා මැලවෙන්නට ඉඩ නොදී. ඒ විතරක් නෙමෙයි පුංචි මාලුන් මැරෙන්නට නොදී ලඟපාත තිබුනු හැම දිය කඩිත්තකටම වාගේ වතුර ගෙනවිත් පිරෙව්වා.සීත කාලෙදී "දුක්බර වනාන්තරයේ” ඉන්න පුංචි පුංචි සතුන් වෙනුවෙන් වනාන්තරය අසල කෑම රැස් කළා.
ඔන්න ඉස්සෙල්ලාම මැලේනි නැති අඩුව දැනුනේ ඉරට. ඉතිං ඉර තීරණය කළා නො-නගරය අතහැර දමලා යන්න. ඊලඟට පුංචි කුරුල්ලෝ ඔක්කොම නගර අත් හැරලා යන්න ගියා.ඉර ගියා විතරයි මල් ඔක්කොම නැති වෙලා ගියා.නො-නගරයට ඉහළින් අළු පාට වළාකුළු විතරක් එල්ලෙන්න පටන් ගත්තා.
වටපිටාව බොහොම නිහඞයි. කළුවරයි.ඉඳහිටක මැලේනි අහලින් යන සතෙකුට පෑගිලා වියළි කෝටු බිඳෙන හඞක් විතරයි ඇහුණේ.මැලේනි ගේ මළානික සිරුර දුටුවම සතුන් ඔහු දෙස තවත් නොබලාම වනාන්තරය තුලට වැදිලා නොපෙනී ගියා.

ඔන්න ඉතින් ඈ මැලේනිට ලං වෙලා ඔහුගේ හදවත ස්පර්ෂ කළා විතරයි, ඔහු යළිත් උණුසුම් හදවතක් ඇත්තෙකු වුනා.
මැලේනි ඉන් යළිත් අවදි වුණා.
"කවුද ඔබ?" මැලේනි දෙව්දුව ගෙන් විමසා සිටියා.
"මං තමයි කණස්සලු බවේ දෙවඟන.මේ වනන්තරේට ඇතුලු වෙන කිසිම කෙනෙකුට ආයෙත් පිට වෙන්න ලැබෙන්නෙ නෑ. ඒත් හුඟක් උණුසුම් කාරුනික හදවතක් ඇති ඔබ වැනි දරුවෙකුට දුකෙන් සීතලෙන් ගැහි ගැහී ඉන්ට ඉඩ දෙන්න බෑ. ඔබ වහාම මෙතනින් පිටවී යා යුතුයි. ඒ අතර මග හැබෑවේ කෙත්බිම ඔබට හමුවේවේ. ඒ හරහා ඇවිද යන්නට කිසිවිටෙකත් අමතක නොකරන්න.
ඒ කෙතෙහි හැබෑවේ සුවඳ විහිදන මල් පිපී ලෙලදෙනු ඇත. ඔබ ඉහළට ගන්නා හුස්මක් ගානෙ එ' මල් සුවඳ ඔබට දැනෙනු ඇත. එවිට ඇත්ත කුමක් දැයි ඔබට තව තවත් හොඳින් වැටහෙනු ඇත.
ඒත් ඔබ කල්පනාකාරි විය යුතුයි. එනම්, හැබෑවේ තතු සියල්ල වේදනාකාරි විය හැකියි. එයට මුහුණ දීමට ඔබ අපොහොසත් වුවොත්, ඔබ සදාකාලිකව නින්දට වැටෙනු ඇත. කිසි දින යළි අවදි නොවනු ඇත.
හොඳින් මතක තබා ගන්න. හැබෑව ඉදිරියේ කිසිවිටෙකත් දෑස නොපියන්න. හැමවිටම අවදිව සිටින්න"
නො- නගරයට අහිමිවී ගිය කාරුණික බව යළි ලැබෙන්නට එහි වැසියන් ගේ හිස් වැසුම් නැවත සොයා දෙන අයුරු සිතමින් මැලේනි තව තවත් ඉදිරියට ගියා.ගිරි මුදුන් සහ කඳු වැටි ද බෑවුම් සහ තණ බිම්ද ද පසු කරමින් මැලේනි ඉදිරියට ඇවිද ගෙන ඇවිදගෙන ගියා. වැස්සට තෙමෙමින්ද, තද සුළං පහර වලට මුහුණ දෙමින්ද, අව්වට පිච්චෙමින්ද දිවා රෑ නොබලා ඔහු දිගින් දිගටම ඇවිද ගියා.

ඔහු ඉදිරියට තබන පියවරක් පියවරක් ගානෙ ඔහුට වැටෙන්න පටන් ගත්තා ඔහු අත් හැර දැමු දරුවෙකු බව.
ඔහුගේම වූ කිසි කෙනෙක් නැති බව.නැති වී ගිය හිස් වැසුම් සොයා දුන්නත් නගර වැසියන් ඔහු මෙන් නොසිතන වග. හැමටම වඩා ඔහු කුඩා බව, එහෙත් අන් හැමටම වඩා විශාල හදවතක් ඇති බව. නගරයේ ඈත කඳු මුදුනක පුංචිම පුංචි ගෙදරක තනිව ජීවත්වන්නට සිදුවන බව.
ඒත් එක්කම මැලේනි ගේ ඇස් දෙක පියවෙන්නට පටන් ගත්තා. ඔහු "හැබෑවේ" මල් අතර බිම හිඳ ගත්තා.
ඔහුට තවදුරටත් අවදිව ඉන්න ඕනෙ වුනේ නෑ.

නො- නගරයට මොකද වුණේ දන්නවද?
නො-නගර වැසියන්ගේ හිත් නපුරින් පිරිලා ගියා. ඔවුන් දැන් ජීවත් වෙන්නෙ නපුර එක්ක විතරයි.
අවට කොයි තරම් අඳුරු වෙලාද කියලාවත් ඔවුන්ට පෙනුණේ නෑ. නො-නගර වැසියෙකුගේ ගෙවත්තක මලක් පිපෙන්නට හදද්දිම වාගේ ඔවුන් ඒ මල පාගා පොඩි කර දැමුවා. ඒ නිසා නපුරු මිනිසුන්ගේ ගෙවතු වල මල් පිපෙන්නට පවා අකමැති වුණා.
නො-නගරය සදාකාලිකවම අඳුරින් වැහිලා ගියා.ඔන්න එක දවසක් නො- නගර වැසියන්ට අහිමි වෙච්ච හිස් වැසුම් සියල්ල හුලඟ විසින් ආයෙත් ගෙන ආවා.ඒත් කිසිම කෙනෙක් හිස් වැසුම් පැලඳ ගන්න කැමති වුනේ නෑ. මේ තරම් හිස් වැසුම් ප්රපමාණක් එක වර කොහෙන් වේ දැයි ඔවුන් විස්මයට පත් වුනා. කොයි තරම් ආශ්චර්යයක් ද කියනවා නම් හිස් වැසුම් සියල්ලම වාගෙ හුලඟට ගහගෙන ගිහින් නැවතුනේ මැලේනි ගේ ගෙදරින්. එදා ඉඳල නගර වැසියො හැමෝම වාගේ හිතන්නට පටන් ගත්තා සාමය සතුට එන්නේ මැලේනි ගේ ගෙදරින් ය කියලා. ඒ නිසා හැම ඉරිදාවකම ඔහු ගේ නිවසට ගොස් සාමය සතුට සොයන්නට නගර වැසියෝ පුරුදු වුණා.
එතකොට මැලේනි?

ඔහු උතුර දෙස බලන විටත්, දකුණු දෙස බලන විටත්, නැගෙනහිර හා බටහිර දෙස බලනවිටත් හැම විටම සොයන්නෙ මැලේනි තරම් යහපත් ගුණවත් මිනිසුන් ජීවත්වෙන නගරයක් තිබෙන්නෙ කොයි දෙසද කියායි.
ඉතිං දයාබර පොඩිත්තනෙ, ඇස් ඇරලා බලන්න වටපිට. මැලේනි වගේ කෙනෙකු මේ දැනටමත් ඔබ සමීපයේ සිටිනවා ඇති.
පාටින් එයා වෙනස් ඇති. සමහරවිට ඇස් කණ්ණාඩි පලඳිනවා වෙන්නත් පුලුවනි. සිනාවෙන් පවා අනෙක් හැමෝටම වඩා වෙනස් වෙන්න පුළුවනි.වෙනත් බසකින් කතාකරනවා වෙන්ටත් පුළුවනි.තරමින් කුඩා කෙනෙකු වෙන්ටත් පුළුවනි. පුංචි ඔබට වඩා බොහොම දුර්වල, බොහො සෙයින් කතා නොකරන, කුළෑටි කෙනෙක් වෙන්ටත් පුළුවනි. එහෙමත් නැතිනම් ලස්සනම ලස්සන ඇඳුම් ආයිත්තම් වලින් සැරසුණු, අළුත්ම අළුත් පුංචි පා පැදියක් තියෙන කෙනෙක් වෙන්ටත් පුළුවනි.බොහෝ හැකියාවන් තියෙන දක්ෂ කෙනෙකු වන්ටත් පුළුවනි.
ඒත් මේ හැම දෙයකින්ම ඔහු වෙනස් කෙනෙකු බව පුංචි ඔබට පෙනේවි.
නො- නගර වැසියන් වගේ නොවෙන්ටත්, නපුරු සිතුවිලි වලින් හිත් පිරෙන්ටත් කිසි ලෙසකින් ඉඩ නොදෙන්න පුංචි ඔබත් හිතට ගන්න ඕන.
ඔබත් දවසක ලෝකයේ මිනිස්සුන්ට ආදරේ කරන කරුණාවෙන් පිරුණු මිනිසුන් වෙන්ට හිතට ගන්න ඕන, හරියටම පුංචි මැලේනි වගේ.
එහෙම වුනොත් පොඩිත්තෝ ජීවත් වෙන හැම නගරයක්ම වාගේ බොහොම ලස්සන කරගන්ට පුළුවනි.ඒ විතරක් නෙමෙයි, නපුරුකම් නොකරන, තරහ නොගන්න, ආදරයෙන් සහ කරුණාවෙන් විතරක් හිත් පිරුණු මිනිසුන් ඉන්න ලෝකයෙ ජීවත් වෙන්ටත් ඔබට පුළුවනි.
ඉතිං පොඩිත්තනේ අන්න එහෙම වුණු දවසක යුද්ධය නැති, හැමෝටම ආදරේ කරන ලෝකයක සතුටින් සාමයෙන් විතරක්ම ජීවත් වෙන්ට ඔබට ඉඩ ලැබේවි.
ක්‍රොඒෂියානු ළමා කතාවක් ඇසුරිනි.
පරිවර්තනය -ප්‍රශංසනී පරණවිතාන
පරිවර්තනය -ප්‍රශංසනී පරණවිතාන