උකුණයි ඉකිණියි හේනට ගියා
ඔන්න එකමත් එක රටක උකුණෙකුයි ඉකිණියෙකුයි හිටියලු. උකුණයි ඉකිණියි හේනක් කොටාගෙන ඉන්ට හිතලා ගියාලු හේනක් කොටන්ට. හොඳටෝම මහන්සි වෙලා හිටපු උකුණා ට කහට ටිකක් වක්කරන්ට කියලා හිතාගෙන ඉකිණි ගියා ලිප පත්තු කරන්ට. අනේ! ඉකිණි ලිපට වැටිලා මැරුණලු. උකුණා හොඳටෝම අඬනවලු. මෙතනින් යන්ට ආපු කාක්කෙක් ඇහුවලු ඇයි උකුණෝ අඬන්නේ කියලා. උකුණා කිව්වලු.
ඉකිණියි මමයි හේනට ආවා ඉකිණි ලිපට වැටුනා මම අඬනවා කියලා.
කාක්කා තට්ට කඩා ගත්තා ලු.
තට්ට කඩා ගත්ත කාක්කා සොට්ටි ගහ ගහ ඉගිළිලා ගිහින් වාඩිවුනා ලු බෝ ගහක අත්තක. බෝ ගහ ඇහුවලු ඇයි කාක්කෝ තට්ට කැඩිලා කියලා.
කාක්කා කිව්වාලු ..
උකුණයි ඉකිණියි හේනට ගියා ඉකිණි ලිපට වැටුනා උකුණා අඬනවා මම තට්ට කඩා ගත්තා කියලා.
ඔන්න ඉතිං බෝ ගහ කොළ හලා ගත්තා ලු.
ඔතනින් එනවලු ඇතෙක් වතුර බොන්ට ගඟට යන්ට.
ඇතා බෝ ගහ දැකලා ඇහුවලු මේ මොකදෑ මේ කොළ හැලිලා කියලා.
බෝ ගහ කිව්වලු උකුණයි ඉකිණියි හේනට ගියා ඉකිණි ලිපට වැටුනා උකුණා අඬනවා කාක්කා තට්ට කඩා ගත්තා මම කොළ හලා ගත්තා කියලා.
ඇතා දළ කඩා ගත්තාලු.
ඔන්න ඇතා ගඟ ට ගියාපුවා ම ගඟ අහනවාලු මොකදෑ මේ දළ කැඩිලා ලියලා. එතකොට ඇතා කියනවලු …
උකුණයි ඉකිණියි හේනට ගියා ඉකිණි ලිපට වැටුනා උකුණා අඬනවා කාක්කා තට්ට කඩා ගත්තා බෝ ගහ කොළ හලා ගත්තා මම දළ කඩා ගත්තා කියලා.
ගඟ බොර වුනා.
ඔන්න කෙල්ලක් එනවා ගඟෙන් වතුර ගෙනියන්ට. කෙල්ල එනකොට ගඟේ දිය බොර වෙලා. කෙල්ල ඇහුවලු කිරි අප්පේ මේ මොකෑ මේ ගඟ බොරවෙලා කියලා හිටං.
ගඟ කියව්වලු මෙහෙම.
උකුණයි ඉකිණියි හේනට ගියා ඉකිණි ලිපට වැටුනා උකුණා අඬනවා කාක්කා තට්ට කඩා ගත්තා බෝ ගහ කොළ හලා ගත්තා ඇතා දළ කඩා ගත්තා. මම බොර වුනා කියලා.
කෙල්ල කලේ බිඳ ගත්තා. ඔන්න ඉතිං කෙල්ල කලෙත් නැතුව දියත් නැතුව අඬ අඬා ගෙදර ගියා ලු. අම්මා අහනවලු කෝ බොල දිය? කලේට මොකෑ උනේ කියලා. කෙල්ල අඬ අඬා ම කිව්වලු.
උකුණයි ඉකිණියි හේනට ගියා ඉකිණි ලිපට වැටුනා උකුණා අඬනවා කාක්කා තට්ට කඩා ගත්තා බෝ ගහ කොළ හලා ගත්තා ඇතා දළ කඩා ගත්තා. ගඟ බොර වුනා. මම කලේ බිඳ ගත්තා කියලා.
අම්මා අත කපා ගත්තා.
අතේ තුවාලේ දැකපු අප්පා ඇහුවා අඩේ! මේ මොකෑ මේ අත කැපිලා කියලා. අම්මා කිව්වා ලු
උකුණයි ඉකිණියි හේනට ගියා ඉකිණි ලිපට වැටුනා උකුණා අඬනවා කාක්කා තට්ට කඩා ගත්තා බෝ ගහ කොළ හලා ගත්තා ඇතා දළ කඩා ගත්තා. ගඟ බොර වුනා. කෙල්ල කලේ බිඳ ගත්තා මම අත කපා ගත්තා කියලා.
අප්පා කකුල කපා ගත්තා,
ඒ කල්ලා නොණ්ඩි ඇන ඇන ගියා පන්සලට, එහෙ උන්න ගණේ ඇහුවා ලු අඩේ! මේ මොකෑ තයෙ කකුල කැපිලා කියල හිටං. අප්පා මෙහෙම කියව්වාලු
උකුණයි ඉකිණියි හේනට ගියා ඉකිණි ලිපට වැටුනා උකුණා අඬනවා කාක්කා තට්ට කඩා ගත්තා බෝ ගහ කොළ හලා ගත්තා ඇතා දළ කඩා ගත්තා. ගඟ බොර වුනා. කෙල්ල කලේ බිඳ ගත්තා අම්මා අත කපා ගත්තා මම කකුල කපා ගත්තා කියලා.
ගණේ තට්ටේ පලා ගත්තා ලු. ඕං ඇබිත්තයා ඇවිදින් දුම්ම්ල කුඩු ඩිංගක් දාලා හිටං අහපි මොකෑ මේ තට්ටෙට වෙච්ච් දේ කියලා.
ඒ පාර ගණේ කියව්වා ලු
බොල !
උකුණයි ඉකිණියි හේනට ගියා ඉකිණි ලිපට වැටුනා උකුණා අඬනවා කාක්කා තට්ට කඩා ගත්තා බෝ ගහ කොළ හලා ගත්තා ඇතා දළ කඩා ගත්තා. ගඟ බොර වුනා. කෙල්ල කලේ බිඳ ගත්තා අම්මා අත කපා ගත්තා අප්පා කකුල කපා ගත්තා මම තට්ටේ පලා ගත්තා කියලා.
ඇබිත්තයා හක් හක් හක් ගාලා හිනා උනා..!
-හෂිත මාමා
[ඕං කතන්දරේ..!
මේ කතාවෙ බාසාව අඩුම ගානේ අවූරුදු සීයක් පරණයි. තාමත් පොඩි බබෙක් මගෙන් කතාවක් කියන්න කිව්වාම ඉස්සෙල්ලාම මතක් වෙන්නේ මේක.
මේ අරණායක අඹකුඹුර කියම ගමේ ඉඳන් මගෙත් එක්ක ඉස්කෝලේ ගියපු ගාමිණී වීරසිංහ 1980 දි (මම තුනේ පංතියේ) කියලා දුන්න කතාවක්. ගාමිණී කතා මල්ලක්. තවත් දවසක ගාමිණී මාමා ගේ කතාවක් මතක් කරගෙන එන්නං.]
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook