අචිනියි, සචිනියි හරිම හුරුබුහුටි නිවුන් සොයුරියන්. අචිනි, අක්කා වුණේ විනාඩි 12කට කලින් ඉපදුණු හින්දයි. අචිනියි, සචිනියි දෙන්නම එක වගේ. ඒ දෙන්නව එක පාරටම වෙන් කරලා අඳුන ගන්න පුළුවන් වුණේ අම්මටයි, තාත්තටයි විතරමයි. ඒත් සචිනිගේ නළලෙ වම් පැත්තෙ තියෙනවා පුංචි ළප කැළැල්ලක්. කෙස් වලට ඒක වැහිලා තිබුණෙ නැත්නම් අනිත් අයටත් මේ දෙන්නව අඳුන ගන්න පුළුවන් වුණා.

බැලූ බැල්මට හැමෝම වගේ රැවටුණාට, හොඳට බැලුවොත් සචිනිගේ මූණෙ පුංචි දිගැටි ගතියක් තියෙනවා අචිනි ට වඩා. ඒත් කව්ද මේ තරම් විපරම් කරලා බලන්නේ? ඒ නිසා ගොඩක් අයට මේ දෙන්නව එක සැරේටම වෙන් කරගන්න බැරි වුණා. ගොඩක් අය රැවටුණා.

පුංචිම කාලෙ නොතේරුණාට, ඉස්කෝලෙ යන වයසටත් ළං වෙලා ඉන්න නිසා මේ දෙන්නටත් මේක තේරෙනවා දැන්. වෙලාවකට ඒ දෙන්නටත් හිනා යනවා, අනිත් අය එයාලව පටලව ගන්න හැටි දැක්කම. දැන් ඒක දෙන්නටම සාමාන්‍ය දෙයක් වෙලා. ආච්චියි, ලොකු සීයයි නම් තාමත් වරද්ද ගන්නවා. පෙර පාසලේ ගුරුවරුන්ටත් තාම වරදින වෙලාවල් තියෙනවා.

අචිනිගෙයි, සචිනිගෙයි බාහිර පෙනුම සමාන වගේ තමයි ගොඩක් වැඩත් එක සමානයි. ඒ දෙන්නම සෙල්ලම් කරන්නත් කැමති එකම වගේ දේවල් වලට. ඒ නිසා සමගියෙන්, එකමුතුකමෙන් ඉන්නත් එයාලට පුළුවන්. සමහර වෙලාවට පුංචි පුංචි දබර කරගන්නවා. ඒත් ඉක්මණටම ආයෙ යාළු වෙනවා. ගොඩාක් වෙල තරහා වෙලා ඉන්න දෙන්නටම බැහැ.

මේ දෙන්නම අකුරු ලියන්නත් දක්ෂයි. දැන් චුට්ට චුට්ට දෙන්නටම කියවන්නත් පුළුවන්. පුංචි පුංචි ගණන් හදන්නත් පුළුවන්. අචිනියි, සචිනියි දෙන්නම චිත්‍ර අඳින්නත් හරි ආසයි. රෑට ඇඳට ගියාම ලස්සනට ගීත ගායනා කරන කොට අම්මත් එකතු වෙනවා.

අම්මා ගොඩක් කතන්දර කියලා දෙන නිසා දෙන්නටම හොඳට කතන්දර කියන්නත් පුළුවන් දැන්. එක්කෙනෙකුට ටිකක් හරි අමතක වුණොත් අනිත් එක්කෙනා ඉක්මනටම මතක් කරලා දෙනවා. ...''මගේ පුතාලා හරිම හපන්නු....'' කියලා අම්මා දෙන්නවම තුරුළු කර ගන්න කොට අම්මගේ ඇස් වලට කඳුළු පිරෙනවා කියලා දෙන්නම දන්නවා. ඒ, අම්මා ගොඩක් ආදරේ නිසා කියලත් එයාලට තේරෙනවා.

දවසක් දා, හවසක,
''...අද අපි මල් පාත්තිය සුද්ද කරමු ද?
පුතාලත් එනවද උදව් කරන්න?..''
අම්මා එක පාරටම ඇහුවා.

අචිනිටයි, සචිනිටයි හරිම සතුටුයි.

ගොඩක් වෙලාවට, අම්මා ගෙදර වැඩ වලට දෙන්නවම එකතු කර ගන්නවා. කෝප්පයක් දෙකක්, පොඩි පිඟන් එහෙම සෝදන්නත් දෙනවා. උයන කොට බෝංචි කඩන්න, පළා වර්ග සුද්ද කරන්න, හාල් නැත්නම් පරිප්පු වගේ දේවල් සෝදන්නත් අම්මා ඉඩ දෙනවා. ඒවා කරන හැටිත් පෙන්නලා, කියලා දෙනවා. ඒත් ඒ වගේ දේවල් නම් ටිකක් වෙලා කරන කොට පොඩ්ඩො දෙන්නට කම්මැළි හිතෙනවා. එක්කො චූටි අත් රිදෙන්න ගන්නවා. නැත්නම් වතුරින් ටිකක් හළා ගෙන තෙමා ගන්නවා. ඒවාත් හළා ගන්නවා. ඉතිං, අම්මා ආයෙම කියලා දෙනවා ඒ වැඩ කරන හැටි.

කොහොම වුණත්, අද යෝජනාවට නම් දෙන්නම හරිම සන්තෝෂෙන් දුව ගෙන ආවා.

''.. හා, ලොකු පුතා ගිහින් ඉදල අරගෙන එන්නකො.
වූටි පුතා.., කුණු දාන්න මේ කූඩෙ ගන්නකො...''
කියන ගමන් ලොකු කූඩෙ අම්මා ගත්තා.

ගොඩක් දවස් වලට හවස් වරුවෙ මල් පැළ වලටයි, එළවළු පාත්ති වලටයි වතුර දාන්න අචිනිටයි, සචිනිටයි අම්මා ඉඩ දෙනවා. ඒ දෙන්නට ලේසි වෙන්න, තාත්තා ඒ කිට්ටුවෙන් ලොකු බේසමක් තියලා තියෙන්නෙ. අම්මා ඒකට වතුර පිරෙව්වම, අචිනියි සචිනියි පැළ වලට වතුර දානවා.

''වතුර දාලා ඉවර වුණාම අපි ඇඟ සෝදමු...'' අම්මා හිනා වෙවී කියනවා.
අම්මා දන්නවනේ පොඩ්ඩො දෙන්නා වතුර එක්ක සෙල්ලම් කරන්නත් ආසයි කියලා. ඉතිං එහෙම කියන්නේ, තෙමා ගත්තත් කමක් නැති හින්දා කියලා අචිනියි, සචිනියි දන්නවා.

පැළ වලට වතුර දාලා ඉවර වුණාම, හවසට තාත්තා අර ලොකු බේසම අනිත් පැත්තට හරවලා තියනවා. වතුර එකතු වෙලා තිබුණොත් මදුරුවෝ බෝ වෙනවලු. මදුරුවන්ගෙන් ලෙඩ හැදෙන නිසා, මදුරුවො බෝ වෙන්නෙ නැති වෙන්නයි එහෙම කරන්නෙ. ඩෙංගු කියලා, ගොඩක් අමාරු වෙන, ලෙඩක් තියෙනවලු. ඒක හැදෙන්නෙත් මදුරුවන්ගෙන් ලු.

''...පුතාලට පේනවද මේ මල් පැළ වල වේළිලා තියෙන කොළ?
පරවෙලා තියෙන මල්?
අපි ඒවා අයින් කරමු..''
කියලා අම්මා ඒවා සුද්ද කරන්න ගත්තා. අම්මා ළඟ ඒවට වෙනම කතුරක් තියෙනවා. නැත්නම් අත තුවාල වෙන්න පුළුවන්නෙ.

අම්මා කපලා අයින් කරන කොළ, අතු කූඩ දෙකට පුරවන්න අචිනියි, සචිනියි තරගෙට වගේ හරිම කඩිසරව වැඩ කළා. ඒ අතරෙ මල් පෙති අත ගාලා බලන්නත්, සමනළ පැටව් පස්සෙ යන්නත් දෙන්නම වෙලාව හදා ගත්තා.

එක එක මල් ගැන, ඒවයේ පාට ගැන, ලස්සන ගැනත් අම්මා කියලා දෙනවා. මල් පෙති කොයි තරම් සිනිඳු ද කියලා පොඩ්ඩො දෙන්නට හිතා ගන්නත් බැරි තරම්.. ඒ වෙලාවට අම්මා කියන්නේ,
''...මගේ චූටි පැටව් දෙන්නගේ රෝස කම්මුල් මේ තරම්ම සිනිඳුයි.. මේ මල් තරම්ම සුවඳයි...'' කියලා.

මල් වල සුවඳ බලන හැටිත් අම්මා කියලා දීලා තියෙනවා කලින්.
''...ගොඩක්ම නහයට ළං කරලා සුවඳ බැලුවොත් සමහර මල් වල ඉන්න චූටි චූටි කෘමීන් නහය ඇතුළට යන්නත් පුළුවන්.. සමහර මල් වල සුවඳ ටිකක් සැර වැඩි වුණොත් පුතාලා ආස වෙන එකක් නෑ..'' කියලයි අම්මා කියන්නේ. ඒක ඇත්ත කියලා දැන් අචිනියි, සචිනියි දන්නවා.

රෝස ගස් වල, මල් වගේම, මල් පොහොට්ටුත් පිරිලා.
දාස්පෙතියා, බාබන්ඩේසියා මල් ටිකත් හරිම ලස්සනට පිපිලා. හෙන්දිරික්කා මල්.. යායට දඟ කරනවා.
වතුසුද්ද වගේම ඉද්ද ගස් වලත් උදේට මල් පිරීලා. අම්මත්, අහළ පහළ අයත් ඒ මල් කඩාගන්නවා බුදු පහන තියන්න. ඒ නිසා හවස් වෙද්දි ඒ ගස් වල මල් අඩුයි. පොහොට්ටු ඉතුරු වෙලා බලන් ඉන්නවා උදේ වෙනකල්, පිපෙන්න.
ඉර එළියත් එක්කම මල් පිපෙනවා හිනා වෙවී.

බුනීල ගස් වල මල් තරමටම වගේ ඇට පිරිලා. බුනීල ගෙඩි කඩා ගෙන, "ටික්" සද්දෙට තලා දාන එක අචිනිගෙයි, සචිනිගෙයි ආසම වැඩක් වුණා.

මේ අතරෙ අම්මා මල් පාත්ති සුද්ද කරලා, අලුත් පස් පෙරළලා, ලස්සනට සකස් කරලා.
පිළිවෙළට අතු ගාලත් ඉවරයි.
දැන් හරිම ලස්සන, පුංචි මල් වත්තක් වගේ අලුත් පෙනුමක් ලැබිලා.

දැන් ඉතිං අචිනිගෙයි, සචිනිගෙයි වාරේ.

දෙන්නම එකතු වෙලා මල් පැළ වලට වතුර දැම්මා. ඒ අතරෙ අම්මා කූඩ වලට එකතු කරපු කුණු ඔක්කොම වත්ත පහළ තියෙන කුණු වළට ගිහින් දැම්මා. කෑම වලින් ඉතුරු වෙන දේවල් වගේම, මෙහෙම දිරලා යන, ගස් වැල් වලින් එකතු වෙන කොළ රොඩු එකතු කරලා, ඒ වළට දැම්මම හොඳ පොහොර හදා ගන්න පුළුවන් කියලා දවසක් තාත්තා, ඒ වළ කැපුවා. එතකොට ඒවා ස්වභාවික පොහොර නිසා එළවළු, පළතුරු වලට දැම්මම සරුවට ඒවා හැදෙනවලු. විෂ වෙන්නෙත් නැහැලු. අම්මා කුණු අරන් යද්දි අචිනිටයි, සචිනිටයි ඒක මතක් වුණා.

ළඟදි හිටෝපු රෝස පැළ වලත් පුංචි පුංචි පොහොට්ටු ගොඩයි.
''...පුතාලා දන්නවද, මේ මල් පැළත් හරියට අපේ ජීවිත වගේ...'' කියලා අම්මා කිව්වට අචිනිටයි, සචිනිටයි ඒක හරියටම තේරුණේ නෑ. අම්මා පොඩ්ඩො දෙන්නට තේරෙන විදිහට කිව්වා... ''ඒ වගේ ලස්සනට ඉන්න අපිටත් පුළුවන්'' කියලා.

2005 අප්‍රේල්

තුෂාරි ප්‍රියංගිකා



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
| | edit post


රෝස කැලේ රෝස කුමාරියෝ දවසක් දේදුන්නට අයිතිවාසිකම් කිය කියා රන්ඩු වෙන්න පටන් ගත්තා.

"දේදුන්න පටන් ගන්නෙ රතු පාටින්. ඔය කාටවත් වඩා ඒක නිසා දේදුන්නට වැඩි අයිතියක් තියෙන්නෙ මට...." රතු රෝසි ආඩම්බරෙන් කීවා.

"වැඩි අයිතියක්....? ඒ කොහොමද එහෙම වෙන්නෙ...?" දම් රෝසි තර්ක කරන්න පටන් ගත්තා. "දේදුන්න පටන් ගන්නෙ රතු පාටින් වුණාට, ඉවර වෙන්නෙ දම් පාටින්.... ඒ නිසා දේදුන්න ගැන වැඩි අයිතියක් ඔයාට කොහෙත්ම දෙන්න බෑ... ඔයාට එහෙම අයිතියක් තියෙනවනම්, ඒ අයිතියම මටත් තියෙනවා.."

"මුල අග ඔයාලා දෙන්න වුණාට, දේදුන්නෙ මැද සරසන අයගෙන් එක්කෙනෙක් තමා මම.." කහ රෝසිත් කතාවට හවුල් වුණා. "මුලක් අගක් තිබ්බට වැඩක්ද.. මැදක් නැත්නම්....?" කහ රෝසි අත්දෙකෙන් මුහුණ වසාගෙන හිනාවෙන්න පටන් ගත්තා.

"ඔව්.. ඔව්.. ඒ ක ඇත්ත..." තැඹිලි රෝසි, කහ රෝසිගේ පැත්ත ගත්තා. දේදුන්න මැද සරසන අපිටත් ඔයාලට වගේම දේදුන්න අයිතියි.

ඒ කතාව ඇහුණ දම් රෝසිටයි, රතු රෝසිටයි හොඳටම තරහ ගියා.

"අනේ.. ! ඇයි ඔයාලා තරහ ගන්නෙ.. දේදුන්න පායන්නෙ ඈත අහසේ.. ඒක අපි හැමෝටම අයිතියි.. රණ්ඩු වෙලා පලක් තියෙනවද.. ? අපි හැමෝම දේදුන්න දිහා බලලා සන්තෝස වෙමු.." හැමෝගෙම කතා අහන් හිටපු සුදු රෝසි කරුණාවෙන් කීවා.

"අනේ මේ.... ඔයා කට වහගෙන ඉන්න, මට තවත් කේන්ති යවන්නෙ නැතුව.." රතු රෝසි, සුදු රෝසිට සැර වුණා. "එනව මෙතන අපිට ඔවදන් දෙන්න.. දේදුන්නට කවුරු අයිතිවාසිකම් කීවත්, ඔයාට එහෙම කියන්න කිසිම අයිතියක් කොහෙත්ම නැහැ. මොකද දේදුන්නෙ සුදු පාටක් ගෑවිලාවත් නැහැ.."

රතු රෝසිගෙ නපුරු වචන වලට සුදු රෝසිගෙ හිත හොඳටෝම රිදුණා. සුදු රෝසි එයාගෙ පෙති ටික පොහොට්ටුවක් හැඩේට හකුලගෙන හොඳටම අඬන්න පටන් ගත්තා.

රෝස කුමාරියන්ගේ කතා අහන් හිටපු, රෝස කැලේ කොළ පාට තුරු වැල් වලට සුදු රෝසි ගැන ගොඩක් දුක හිතුණා. "ඉතින් කේන්ති යනවනම් හොඳයිනේ, කේන්ති ගෙන්න ගන්නෙ නැතුව.." එයාලා හිනා වෙවී රතු රෝසිට විහිළු කරන්න පටන් ගත්තා. ඒ කතාවට තව තවත් කේන්තියෙන් ඔරව ගත්තු රතු රෝසි අත්දෙක බැඳගෙන ගස්සල අහක බලා ගත්තා.

"හරියට හරි.." සුදු රෝසිගෙ අතක හිටිය රෝස කොළයක් තුරුවැල් වලට උත්තර දුන්නා... "ඔය හැම පාට රෝසියෙක් වගේම අපේ කොළ පාටත් දේදුන්නෙ තියෙනවා කියලා මතක තියාගත්තනම් හොඳයි..." රෝස කොළය හඬන සුදු රෝසිගේ ඔළුව අත ගාන ගමන් කීවා.

"මේ.. මේ.. බලන්නකො ටිකක් මං දිහා..." එහාට මෙහාට ගමන් කරන පුළුං වළාකුළු නරඹමින් හිටිය විල හැමෝටම කතා කළා. "මම ලස්සනට නිල් කැටේට පිරිල නේද.. අහසෙ නිලත් එයාලගේ හැඩ බලන්නෙ විල් දියෙන්.." විල කීවේ දේදුන්නට තමාටත් අයිතියක් තියෙන වග නොකියා කියමිනි.

"දැන් මෙතැනට අඩු ඉන්ඩිගෝ විතරයි.." විල අද්දර පැතලි කළු ගලක් උඩ අව්ව තපමින් හිටිය ඉබ්බෙක් එසේ කියාගෙන විල් දියට බැස්සේ, තවත් මේ කතාවට ඇහුම්කන් දෙන්න කැමැත්තක් නැතුවාක් මෙනි.

"ඉන්ඩිගෝ.. අමුතු නමක්නේ..." තැඹිලි රෝසි ඇස් නටව නටවා හිනාවෙන්න පටන් ගත්තා.

"හැමෝටම ලස්සන පාටක් ලැබිල තියෙද්දිත්, මෙයාලා බොරුවට රණ්ඩු වෙවී හිත් රිදව ගන්නවා.." කාටවත් කිසිම දෙයක් නොකීවත් කතාව සාවදානයෙන් අහන් හිටපු සුළඟ තමාටම කියා ගත්තා.. "මෙයාලා මෙහෙම නම් මම කොහොම හිත රිදව ගන්න ඕනැද... මොකෝ මට එකම පාටක්වත් තියෙනව කියලද...." එහෙම සිතූ සුළඟ, සර සර හඬින් සීතලට හමන්නට පටන් ගෙන එන්න එන්නම සිය වේගය වැඩි කළා.


සුළං සැරට හිරුගේ උණුසුම් රැස් දහර නිවෙන්නට වුණා. අහසේ නිල් පාටත් හිමින් හිමින් මැකුණා. මුළු පරිසරයම අඳුරකින් වැහෙන්න පටන් ගන්නවාත් එක්කම වැස්සක් වහින්න පටන් ගත්තා.

ටික වෙලාවකට පස්සේ, වළාකුළකට මුවාවෙලා සිය දිගු රැස් කළඹ බොහොම අමාරුවෙන් සඟවගෙන උන් හිරුදේවි, වැස්ස අඩු වුණා ද බලන්න වැහි වළාකුළු අතරින් යන්තමට ඔළුව දැම්මා. දේදුන්නක් අහසේ කොණක ඉඳලා මැවෙන අයුරු හිරුදේවි එතකොට දැක්කා. පාට හතම පැහැදිලිව පේන්න දේදුන්න අහස පුරා සිත්තම් වුණා.

දේදුන්න දුටු සුළඟ ඉක්මණින් අහසට පියාඹලා රෝස කැලේ කතන්දරේ දේදුන්නට කීවා. ඒක ඇහුව දේදුන්න රවුමක් හැඬේට කැරකි කැරකී සුදුපාට දියසුළියක් මෙන් වේගයෙන් පොළොවට පාත් වෙන්න පටන් ගත්තා. සුදු පාටට හයියෙන් කැරකි කැරකී පහළට එන දේදුන්න දුටු රතු රෝසිට ලැජ්ජා හිතුණා. එයා කාටත් හොරෙන් සුදු රෝසි දිහා බැලූවා. පහළට ආපු දේදුන්න රෝස කැලේ හරි මැද උඩ නතර වෙලා එක පාරටම මල් වෙඩිල්ලක් වාගෙ පිපිරුවා. දේදුනු පාට, තරු කුඩු වගේ මුළු රෝස කැලය පුරාම ලස්සනට විසිරුණා. රෝස මල් විතරක් පිපුණු රෝස කැලේ, ලෝකෙ තියෙන හැම පාටකින්ම එක එක වර්ගයේ නොයෙක් මල් පිපෙන්න පටන් ගත්තා. එදායින් පස්සෙ රෝස කැලේ කවුරුත් දේදුන්න දිහා බලලා සතුටු වුණා මිස, දේදුන්නට අයිතිවාසිකම් කියන්න නම් ගියේ නැහැ.

මුතු පබා



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
| | edit post


ලබුවැල- වැඩුණු මහ ලොකුවට
කීයද වයස තමුසෙට

කිතුල් ගස- අහන එක පුදුමයි
දැන් මට වයස පණහයි

ලබුවැල-මට මාස හයකුත්
දවස් හතරකි තව මත්

කිතුල් ගස- ඔබ බාල බව මම
දැන ගෙන සිටිමි හොඳටම

ලබුවැල- නැතත් වයසක් මට
උස වෙමි ඔබේ තරමට
මට මෙන් ඉක්මනට
හැදෙන්නට බැරි මොකද තමුසෙට

කිතුල් ගස- ඉක්මට හැදුණොත්
ඒ ඉක්මනින් නැති වෙත්

මගෙ ඇඟේ වෙළිලා
මාසෙන් දෙකෙන් හැදිලා
ඔබ මෙන් මැළවිලා
දහස් ගණනක් ගියා මැරිලා

එස්. මහින්ද හිමි



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
| | edit post


තෝරන්ට හපන්නු ඉඳී නම් මෙන්න තේරවිලි හතරක්.

1. කටුවානෙන් කෙටුවා වැනි කොළේ සැටී
රතු නූලෙන් ගෙතුවා වැනි මලේ සැටී
තුන් මස පිරෙන විට කුකුළෙක් තරම් ඇතී
සාර මසට පැසෙනා ගෙඩි කියන් සකී

2. අරහෙ බලාපන් අත්තක ඉඳ ලෝලු
පපුව පලාගෙන අඟනන් මද කාලු
කකා ගිය ලෙල්ල රසකර උයාලු
අද බැරිනම් හෙට තෝරාපන් යාළු

3. වරදක් නැතිව ගහකට බඳිනවා දුටින්
ලෙඩක් නැතිව බෙහෙතක් කවනවා දුටින්
දුකක් නැතිව තිස්සෙම අඬනවා දුටින්
හැලියක් අරන් ජලයත් මනිනවා දුටින්

4. උසුලා සත්මසක් දරුවන් වැදු මවට
බැඳලා ගෙන ගොසින් දමමින් ගලක් පිට
බිඳලා ඇට සන්ධි වෙන්කර අහක් කොට
වැඳලා පුතුන් කැඳවාගෙන යෙති ගමට




මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
| | edit post


ගලා බසින ලොකු ගඟවල් අතරේ...
පුංචි දිය බිඳක් මං
මම ඉන්නා ලොකු ගංගාවේ
පාලුවක් දැනෙයි මගේ පුංචි හිතට..

ලොකු ලොකු ගංගා හැදෙන්න
මම වගේ පුංචි දිය බිඳක් ඕනෑමයි
එය නොදන්න ලොකු ගංගා - ආඩම්බර පානවා
නරක අයට කවදාවත් ජය ගන්නට බෑ..

මනුරි විහංගා
3 ශ්‍රේණිය
ත්‍රි/පදවියාය මහා විද්‍යාලය

මනුරි විහංගා



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
| | edit post
Related Posts with Thumbnails