අචිනියි, සචිනියි හරිම හුරුබුහුටි නිවුන් සොයුරියන්. අචිනි, අක්කා වුණේ විනාඩි 12කට කලින් ඉපදුණු හින්දයි. අචිනියි, සචිනියි දෙන්නම එක වගේ. ඒ දෙන්නව එක පාරටම වෙන් කරලා අඳුන ගන්න පුළුවන් වුණේ අම්මටයි, තාත්තටයි විතරමයි. ඒත් සචිනිගේ නළලෙ වම් පැත්තෙ තියෙනවා පුංචි ළප කැළැල්ලක්. කෙස් වලට ඒක වැහිලා තිබුණෙ නැත්නම් අනිත් අයටත් මේ දෙන්නව අඳුන ගන්න පුළුවන් වුණා.

බැලූ බැල්මට හැමෝම වගේ රැවටුණාට, හොඳට බැලුවොත් සචිනිගේ මූණෙ පුංචි දිගැටි ගතියක් තියෙනවා අචිනි ට වඩා. ඒත් කව්ද මේ තරම් විපරම් කරලා බලන්නේ? ඒ නිසා ගොඩක් අයට මේ දෙන්නව එක සැරේටම වෙන් කරගන්න බැරි වුණා. ගොඩක් අය රැවටුණා.

පුංචිම කාලෙ නොතේරුණාට, ඉස්කෝලෙ යන වයසටත් ළං වෙලා ඉන්න නිසා මේ දෙන්නටත් මේක තේරෙනවා දැන්. වෙලාවකට ඒ දෙන්නටත් හිනා යනවා, අනිත් අය එයාලව පටලව ගන්න හැටි දැක්කම. දැන් ඒක දෙන්නටම සාමාන්‍ය දෙයක් වෙලා. ආච්චියි, ලොකු සීයයි නම් තාමත් වරද්ද ගන්නවා. පෙර පාසලේ ගුරුවරුන්ටත් තාම වරදින වෙලාවල් තියෙනවා.

අචිනිගෙයි, සචිනිගෙයි බාහිර පෙනුම සමාන වගේ තමයි ගොඩක් වැඩත් එක සමානයි. ඒ දෙන්නම සෙල්ලම් කරන්නත් කැමති එකම වගේ දේවල් වලට. ඒ නිසා සමගියෙන්, එකමුතුකමෙන් ඉන්නත් එයාලට පුළුවන්. සමහර වෙලාවට පුංචි පුංචි දබර කරගන්නවා. ඒත් ඉක්මණටම ආයෙ යාළු වෙනවා. ගොඩාක් වෙල තරහා වෙලා ඉන්න දෙන්නටම බැහැ.

මේ දෙන්නම අකුරු ලියන්නත් දක්ෂයි. දැන් චුට්ට චුට්ට දෙන්නටම කියවන්නත් පුළුවන්. පුංචි පුංචි ගණන් හදන්නත් පුළුවන්. අචිනියි, සචිනියි දෙන්නම චිත්‍ර අඳින්නත් හරි ආසයි. රෑට ඇඳට ගියාම ලස්සනට ගීත ගායනා කරන කොට අම්මත් එකතු වෙනවා.

අම්මා ගොඩක් කතන්දර කියලා දෙන නිසා දෙන්නටම හොඳට කතන්දර කියන්නත් පුළුවන් දැන්. එක්කෙනෙකුට ටිකක් හරි අමතක වුණොත් අනිත් එක්කෙනා ඉක්මනටම මතක් කරලා දෙනවා. ...''මගේ පුතාලා හරිම හපන්නු....'' කියලා අම්මා දෙන්නවම තුරුළු කර ගන්න කොට අම්මගේ ඇස් වලට කඳුළු පිරෙනවා කියලා දෙන්නම දන්නවා. ඒ, අම්මා ගොඩක් ආදරේ නිසා කියලත් එයාලට තේරෙනවා.

දවසක් දා, හවසක,
''...අද අපි මල් පාත්තිය සුද්ද කරමු ද?
පුතාලත් එනවද උදව් කරන්න?..''
අම්මා එක පාරටම ඇහුවා.

අචිනිටයි, සචිනිටයි හරිම සතුටුයි.

ගොඩක් වෙලාවට, අම්මා ගෙදර වැඩ වලට දෙන්නවම එකතු කර ගන්නවා. කෝප්පයක් දෙකක්, පොඩි පිඟන් එහෙම සෝදන්නත් දෙනවා. උයන කොට බෝංචි කඩන්න, පළා වර්ග සුද්ද කරන්න, හාල් නැත්නම් පරිප්පු වගේ දේවල් සෝදන්නත් අම්මා ඉඩ දෙනවා. ඒවා කරන හැටිත් පෙන්නලා, කියලා දෙනවා. ඒත් ඒ වගේ දේවල් නම් ටිකක් වෙලා කරන කොට පොඩ්ඩො දෙන්නට කම්මැළි හිතෙනවා. එක්කො චූටි අත් රිදෙන්න ගන්නවා. නැත්නම් වතුරින් ටිකක් හළා ගෙන තෙමා ගන්නවා. ඒවාත් හළා ගන්නවා. ඉතිං, අම්මා ආයෙම කියලා දෙනවා ඒ වැඩ කරන හැටි.

කොහොම වුණත්, අද යෝජනාවට නම් දෙන්නම හරිම සන්තෝෂෙන් දුව ගෙන ආවා.

''.. හා, ලොකු පුතා ගිහින් ඉදල අරගෙන එන්නකො.
වූටි පුතා.., කුණු දාන්න මේ කූඩෙ ගන්නකො...''
කියන ගමන් ලොකු කූඩෙ අම්මා ගත්තා.

ගොඩක් දවස් වලට හවස් වරුවෙ මල් පැළ වලටයි, එළවළු පාත්ති වලටයි වතුර දාන්න අචිනිටයි, සචිනිටයි අම්මා ඉඩ දෙනවා. ඒ දෙන්නට ලේසි වෙන්න, තාත්තා ඒ කිට්ටුවෙන් ලොකු බේසමක් තියලා තියෙන්නෙ. අම්මා ඒකට වතුර පිරෙව්වම, අචිනියි සචිනියි පැළ වලට වතුර දානවා.

''වතුර දාලා ඉවර වුණාම අපි ඇඟ සෝදමු...'' අම්මා හිනා වෙවී කියනවා.
අම්මා දන්නවනේ පොඩ්ඩො දෙන්නා වතුර එක්ක සෙල්ලම් කරන්නත් ආසයි කියලා. ඉතිං එහෙම කියන්නේ, තෙමා ගත්තත් කමක් නැති හින්දා කියලා අචිනියි, සචිනියි දන්නවා.

පැළ වලට වතුර දාලා ඉවර වුණාම, හවසට තාත්තා අර ලොකු බේසම අනිත් පැත්තට හරවලා තියනවා. වතුර එකතු වෙලා තිබුණොත් මදුරුවෝ බෝ වෙනවලු. මදුරුවන්ගෙන් ලෙඩ හැදෙන නිසා, මදුරුවො බෝ වෙන්නෙ නැති වෙන්නයි එහෙම කරන්නෙ. ඩෙංගු කියලා, ගොඩක් අමාරු වෙන, ලෙඩක් තියෙනවලු. ඒක හැදෙන්නෙත් මදුරුවන්ගෙන් ලු.

''...පුතාලට පේනවද මේ මල් පැළ වල වේළිලා තියෙන කොළ?
පරවෙලා තියෙන මල්?
අපි ඒවා අයින් කරමු..''
කියලා අම්මා ඒවා සුද්ද කරන්න ගත්තා. අම්මා ළඟ ඒවට වෙනම කතුරක් තියෙනවා. නැත්නම් අත තුවාල වෙන්න පුළුවන්නෙ.

අම්මා කපලා අයින් කරන කොළ, අතු කූඩ දෙකට පුරවන්න අචිනියි, සචිනියි තරගෙට වගේ හරිම කඩිසරව වැඩ කළා. ඒ අතරෙ මල් පෙති අත ගාලා බලන්නත්, සමනළ පැටව් පස්සෙ යන්නත් දෙන්නම වෙලාව හදා ගත්තා.

එක එක මල් ගැන, ඒවයේ පාට ගැන, ලස්සන ගැනත් අම්මා කියලා දෙනවා. මල් පෙති කොයි තරම් සිනිඳු ද කියලා පොඩ්ඩො දෙන්නට හිතා ගන්නත් බැරි තරම්.. ඒ වෙලාවට අම්මා කියන්නේ,
''...මගේ චූටි පැටව් දෙන්නගේ රෝස කම්මුල් මේ තරම්ම සිනිඳුයි.. මේ මල් තරම්ම සුවඳයි...'' කියලා.

මල් වල සුවඳ බලන හැටිත් අම්මා කියලා දීලා තියෙනවා කලින්.
''...ගොඩක්ම නහයට ළං කරලා සුවඳ බැලුවොත් සමහර මල් වල ඉන්න චූටි චූටි කෘමීන් නහය ඇතුළට යන්නත් පුළුවන්.. සමහර මල් වල සුවඳ ටිකක් සැර වැඩි වුණොත් පුතාලා ආස වෙන එකක් නෑ..'' කියලයි අම්මා කියන්නේ. ඒක ඇත්ත කියලා දැන් අචිනියි, සචිනියි දන්නවා.

රෝස ගස් වල, මල් වගේම, මල් පොහොට්ටුත් පිරිලා.
දාස්පෙතියා, බාබන්ඩේසියා මල් ටිකත් හරිම ලස්සනට පිපිලා. හෙන්දිරික්කා මල්.. යායට දඟ කරනවා.
වතුසුද්ද වගේම ඉද්ද ගස් වලත් උදේට මල් පිරීලා. අම්මත්, අහළ පහළ අයත් ඒ මල් කඩාගන්නවා බුදු පහන තියන්න. ඒ නිසා හවස් වෙද්දි ඒ ගස් වල මල් අඩුයි. පොහොට්ටු ඉතුරු වෙලා බලන් ඉන්නවා උදේ වෙනකල්, පිපෙන්න.
ඉර එළියත් එක්කම මල් පිපෙනවා හිනා වෙවී.

බුනීල ගස් වල මල් තරමටම වගේ ඇට පිරිලා. බුනීල ගෙඩි කඩා ගෙන, "ටික්" සද්දෙට තලා දාන එක අචිනිගෙයි, සචිනිගෙයි ආසම වැඩක් වුණා.

මේ අතරෙ අම්මා මල් පාත්ති සුද්ද කරලා, අලුත් පස් පෙරළලා, ලස්සනට සකස් කරලා.
පිළිවෙළට අතු ගාලත් ඉවරයි.
දැන් හරිම ලස්සන, පුංචි මල් වත්තක් වගේ අලුත් පෙනුමක් ලැබිලා.

දැන් ඉතිං අචිනිගෙයි, සචිනිගෙයි වාරේ.

දෙන්නම එකතු වෙලා මල් පැළ වලට වතුර දැම්මා. ඒ අතරෙ අම්මා කූඩ වලට එකතු කරපු කුණු ඔක්කොම වත්ත පහළ තියෙන කුණු වළට ගිහින් දැම්මා. කෑම වලින් ඉතුරු වෙන දේවල් වගේම, මෙහෙම දිරලා යන, ගස් වැල් වලින් එකතු වෙන කොළ රොඩු එකතු කරලා, ඒ වළට දැම්මම හොඳ පොහොර හදා ගන්න පුළුවන් කියලා දවසක් තාත්තා, ඒ වළ කැපුවා. එතකොට ඒවා ස්වභාවික පොහොර නිසා එළවළු, පළතුරු වලට දැම්මම සරුවට ඒවා හැදෙනවලු. විෂ වෙන්නෙත් නැහැලු. අම්මා කුණු අරන් යද්දි අචිනිටයි, සචිනිටයි ඒක මතක් වුණා.

ළඟදි හිටෝපු රෝස පැළ වලත් පුංචි පුංචි පොහොට්ටු ගොඩයි.
''...පුතාලා දන්නවද, මේ මල් පැළත් හරියට අපේ ජීවිත වගේ...'' කියලා අම්මා කිව්වට අචිනිටයි, සචිනිටයි ඒක හරියටම තේරුණේ නෑ. අම්මා පොඩ්ඩො දෙන්නට තේරෙන විදිහට කිව්වා... ''ඒ වගේ ලස්සනට ඉන්න අපිටත් පුළුවන්'' කියලා.

2005 අප්‍රේල්

තුෂාරි ප්‍රියංගිකා



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails