මේ සටහන කියවන ඔබත් සමහර විට හරස්පද ප්‍රහේළිකා පිළිබඳ ඉතාමත් උනන්දුවෙන් පසුවෙන්නෙකු වන්නට පුළුවනි. ඉතිං වයස් බේදයන් නැතුව බාල-තරුණ-මහලු කාගෙත් ආදරයට පත් වුණු හරස්පද ප්‍රහේළිකාවේ ආරම්භය ගැනයි මේ කියන්න යන්නේ.

කෙනෙකුට මේ හරස්පද ප්‍රහේළිකා කාලය නිකරුණේ කා දමන වැඩක් ලෙස පෙනෙන්ට පුළුවන්. හැබැයි ලොව පළමු හරස්පද ප්‍රහේළිකාවේ සොයා ගත් ආතර් වේන් ට (Arthur Wynne) නම් ඇත්තෙන්ම එය අළුත් අත්දැකීමක් වුණා.

වේන් වැඩ කළේ නිව්යෝක් වර්ල්ඩ් (New York World) පුවත්පතේ. ඔහුට පැවරුණු කාර්යය වුණේ විනෝදය පිණිස පලවන සතියේ චිත්‍රකතා සහ ප්‍රහේළිකා පිටුව සකස්කිරීමයි. මුල් වරට 1913 දෙසැම්බර් 21 වන දින නත්තල් කලාපය වෙනුවෙන් ඔහු සකස් කල පළමු හරස්පද ප්‍රහේළිකාව ලෝකයේ බොහෝ මිනිසුන් අතර මහා පෙරළියක් ඇති කරනු ඇතැයි ඔහු කිසි ලෙසකින්වත් බලාපොරොත්තු වුණේ නැහැ.

මුල් කාලයේදී මේ චිත්‍රකතා සහ ප්‍රහේළිකා පිටුව සැරසුණේ බොහෝමයක් වචන චතුරශ්‍ර, සැඟවි වදන්, අකුරු පෙරළි හෝ තිත් ඉරි යාකරන සිතුවම් වැනි දේවල් වලින්. එහෙත් නත්තල් කලාපය වෙනුවෙන් අලුත් යමක් ඉදිරිපත් කරන්නට ආතර් වේන් ට ඕනෑ වුණා. ඒ අනුව මුලින්ම දියමන්තියක හැඩයැතිව ඉරි ඇඳ සකස් කළ ඔහු පුවත් පිටුවේ නම වූ 'ෆන්' (Fun) යන්න පළමු හරස් කොටු පෙලෙහි ලිව්වා. ඒ අනුව ඉතිරි කොටු පිරවීමට පහසු වන පරිදි වචන ආරම්භයේ එන පලමු කොටුවත් අවසාන කොටුවත් ඔහු අංකනය කලා. ඉන්පසු ඒ ඒ අංකයට අදාල වචනය සොයා ගැනීම පහසු වෙන පරිදි ඉඟි සහ පැහැදිලිකිරීම් වෙන වෙනම ලියා තැබුවා. ඊළඟට ඔහු කළේ ප්‍රහේළිකාව විසඳීමට අදාල උපදෙස් ලෙස 'පහත ඇති ඉඟි සහ අරුත් වලට එකඟ වන වචන ඇසුරින් කුඩා කොටු පුරවන්න' යන්න ඇතුලත්ව එය මුද්‍රණය කිරීමයි. ඉතිං ඔන්න ඔහොමයි මුල්ම හරස්පද ප්‍රහේළිකාව ඇරඹුනේ.

මේ අලුත් ප්‍රහේළිකාව මිනිසුන් අතර ඉතා ඉක්මනින් ප්‍රසාදයට පත් වුණා. ඒ නිසාම සෑම සතියකම පුවත් පත මෙවැනි ප්‍රහේළිකා වලින් සැරසෙන්නට වුණා. මුලින්ම එය පලවුණේ 'වර්ඩ්-ක්‍රොස්' (Word-Cross) නමින් වුනත් සති කිහිපකට පසුව එය 'ක්‍රොස්- වර්ඩ්' (Cross-Word) බවට පෙරලුණා.

ඒ විතරක් නෙමෙයි, විවිධ හැඩයන් සහ වෘත්තාකාර හරස් පද ප්‍රහේළිකා ගැනත් ආතර් වේන් දිගින් දිගටම පර්යේෂණ වල නියැලුණා. එහෙත් අවසානයේ වඩා සුදුසුම හැඩය ලෙස වේන් තෝරා ගත්තේ සෘජුකෝණාස්‍රාකාර හැඩයයි. ඉන් පසු නැවත වතාවක් 'ක්‍රොස්-වර්ඩ්' යන වචනය මධ්‍යයේ ඇති කුඩා හරස් ඉර අතැර එය 'ක්‍රොස්වර්ඩ්' (Crossword) ලෙස නම් කෙරුණා.

මුල්කාලයේදී පාඨකයෝ බොහොම උනන්දුවෙන් තමන් නිර්මාණය කළ හරස් පද ප්‍රහේළිකා නිව්යෝර්ක් වර්ල්ඩ් පුවත්පතට එවන්නට පටන් ගත්තා. ඒ වගේම 1914 පෙබරවාරි මාසය තෙක් පාඨක නිර්මාණ දිනපතා පුවත්පතේ පලවෙන්නට වුණා. එහෙත් හදිසියේ දිගින් දිගටම ඇතිවෙන්නට පටන් ගත් අකුරු ඇමිණීමේ දෝෂ හේතුවෙන් හරස්පද ප්‍රහේළිකා පල කිරීම සම්පූර්ණයෙන්ම නවතා දමන්නට පුවත්පතට සිදුවුණා.

හරස් පද ප්‍රහේළිකා පළ නොවීම සම්බන්ධයෙන් හදිසියේම විශාල පාඨක අප්‍රසාදයක් වර්ධනය වෙන්නට පටන් ගත්තා. ඒ අනුව සතියක පමණ කාලයකින් පසුව නැවතත් හරස්පද ප්‍රහෙළිකා පළ කිරීමට පුවත් පත තීරණය කළා.

පුදුමයකට වගේ ඒ වන විටත් හරස්පද ප්‍රහේළිකාවේ ජනප්‍රියත්වය හිනිපෙත්තේම තිබියදීත් නිව්යෝර්ක් පුවත්පතෙහි හැර අන් කවර තැනක වත් ඒවා පල වී තිබුණේ නෑ. ඉන්පසු 1924 දී කොලුම්බියාවේ පුවත්පත් කලාව පිළිබඳ වූ පාසලකින් උපාධිය ලැබූ ඩික් සයිමන් (Dick Simon) සහ ලින්කන් ෂූස්ටර් (Lincoln Schuster) එක්ව ග්‍රන්ථ ප්‍රකාශන ආයතනයක් ආරම්භ කළා. ඒ කාලයේදී පලකිරීමට සුදුසු ග්‍රන්ථයක් සොයමින් සිටියදී තමයි නිව් යෝර්ක් පුවත්පත විසින් පලකල මේ හරස්පද ප්‍රහේළිකා පිළිබඳ ඔවුන්ට දැන ගන්නට ලැබෙන්නෙ. ඒ අනුව ඔවුන් ලොව පළමු වරට හරස්පද ප්‍රහේළිකා සියල්ල එක් කොට ග්‍රන්ථයක් ලෙස මුද්‍රණය කලා. ඒ වගේම කිසිවෙක් නොසිතු විරූ අති විශාල පාඨක ප්‍රසාදයක් දිනාගන්නටත් එයට හැකි වුණා. ඔන්න ඔහොමයි හරස්පද ප්‍රහේළිකා ලොව වටා අස්සක් මුල්ලක් නෑර පැතිරීම ආරම්භ වුණේ.

මේ තියෙන්නෙ ආතර් වේන් හැදුව පළමුවැනි ප්‍රහේළිකාව-


විසඳුම බලන්න මේ සබැඳිය මත ක්ලික් කරන්න.

විසඳුම බලන්න කලින්, ඔබටත් කැමති නම් උත්සාහ කරලා බලන්න පුළුවන් විසඳන්න.

නීල්යා කාරියවසම්



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails