වැඩ බැරි දාස ඉක්මනට ඇඳගෙන කිටි කිටි ගාන ලී පඩි පෙළ දිගේ උඩ තට්ටුවට ආවා. පළමුවන තට්ටුවේ ඇති කාමරයට වඩා දෙවන තට්ටුවේ කාමරය තරමක් පොඩියි, නමුත් සැප පහසුයි. අඩ කවාකාර ජනේල දෙකට ලස්සන තිර එල්ලා තිබුණා. ඒවා මහ පාරට මූණලා පිහිටා ඇත. ජනේල දෙකට මැදින් සඳලු තලයට යන දොරකි. කාමරය මැද මේසය උඩ නොයෙක් වර්ග වලට අයත් කෑම ඇත. පිඟන් කුඩා බේසම්, දීසි වල ජෑම්, විස්කෝත්තු, කේක්, පාන් වලලු, මස් පාන්, මාළු පාන් ආදිය තිබේ. පැංචියෝ වැඩ බැරි දාසට හොඳට කෑම දීමට සිතා ගත්තා. මේ තරම් ගොඩක් රසැති කෑම දුටුවාම වැඩ බැරි දාසගේ ඇස් ඉබේටම නැටවෙන්නට වුණා.

රිබන් පටියෙන් කොණ්ඩය බැඳලා ඉන්න පැංචි සහ කොණ්ඩය ගොතා සිටි පැංචි තේ වත් කිරීමට පටන් ගත්තා. කෙස් කැරළි සහිත පැංචි ඇපල් ජෑම් බඳුනක් අල්මාරියෙන් එළියට ගත්තා.

නිල්මිණි වැඩ බැරි දාසට අනික් ළමයින්ව හඳුන්වා දුන්නා. කොණ්ඩය ගොතලා ඉන්න ළමයා ගේ නම ලේන පැංචි, රිබන් පටියෙන් කොන්ඩය බැඳලා ඉන්න ළමයාගේ නම හා පැංචි. කෙස් කැරළි සහිත ළමයා ගේ නම සමනොළ පැංචි. වැඩ බැරි දාසට ඕන වෙලා තිබුණේ ඉක්මණට මෙසයට වාඩිවෙලා කෑම වල රස බැලීමට. නමුත් ඒ වෙලාවේදි දොර ඇරගෙන කාමරේට තවත් ගෑණු ළමයි හතර දෙනෙක් ඇතුළු වුණා. නිල්මිණි ඒ ළමයින්වත් ඔහුට හඳුන්වා දුන්නා.

"මේ අපේ අසල් වැසි ළමයින්. කුරුළු පැංචි, ලතා, සඳවති, දමයන්ති."

"ඔයා මෙහෙ ආවේ ගුවනේ පාවුනු බැලුමෙන් නේද?" කළු හිසකේ ඇති කුරුළු පැංචි ඇහුවා.

"ඔව්, ගුවන් බැලුමෙන් තමයි" ඔහු පිළිතුරු දුන්නේ බොහොම වැදගත් තාලෙට.

"බැලුමක නැගලා ගුවනේ පාවෙන එක බොහොම අනතුරු දායකයි නේද" තරබාරු දමයන්ති ඇහුවා.

"අපොයි ඔවු, බොහොම අනතුරුදායකයි! නැහැ, කොහොමටත් අනතුරක් නැහැ" මුලදී කී දේ වෙනස් කරලා වැඩ බැරි දාස කීවා.


"ඔය ළමයා බොහොම නිර්බීතයි. මම නම් කොහොමටවත් ගුවන් බැලුමකින් යන්නේ නැහැ." එසේ කීවේ ලතා.

"ඔයා ආවේ කොහෙ ඉඳලද" සඳවතී ඇහුවා"

"කුසුම් පුරයේ ඉඳලා"

"ඒ පුරය තියෙන්නේ කොහේද"

"එහේ" යයි කියමින් වැඩ බැරි දාස අත වැනුවේ අස්ථිර ලෙසින්. " කැකිරි ගංගාව ලඟ."

"අපි නම් එහෙම ගංගාවක් ගැන අහලාවත් නැහැ. බොහෝම ඈත වෙන්නට ඕන." කුරුලු පැංචි කීවා.

"ඔවු. බොහෝම ඈත." වැඩ බැරිදාස ඇගේ කිම අනුමත කලා.

"ඉතින් මේසයට වාඩි වෙන්න. නැතිනම් තේ නිවිලා යාවි." නිල්මිණි අමුත්තන්ට ආරාධනය කළා.

වැඩිය පෙරැත්ත කරන තුරු වැඩ බැරි දාස බලා හිටියේ නැහැ. ඔහු වහාම මේසයට වාඩීවී, මස් පාන්, මාළු පාන්, කේක් ආදිය කට පුරා ඔබා ගත්තා. ගෑණු ළමයි වැඩිය කෑමට ඉදිරිපත් වුනේ නෑ. ඒ ගොල්ලන්ට ගුවනේ පාවී ආපු බැලුම ගැන දැන ගැනීමට ලොකු ආශාවක් ඇති වුනා. මඳ වෙලාවක් බලා ඉඳලා සමනොළ පැංචි මෙහෙම ඇසුවා.

"ගුවනේ පාවෙන බැළුමකින් පියාසර කිරීම කාගේ වැඩක්ද?"

"ඒක මගේ වැඩක්" වැඩ බැරිදාස එහෙම කියන ගමන් ලොකු කේක් කෑල්ලක් ඉක්මනට කන්නට පටන් ගත්තා.

"ඔබ මොනවා කියනවද! හැබෑටම ඒක ඔබගේ වැඩක් ද?" හැම පැත්තෙන්ම ඔහුගෙන් අසන්නට පටන් ගත්තා.

"මම දිවුරා කියනවා, ඒක මගේ වැඩක් කියලා. නැතිනම් මට මෙතැනින් නැගිටින්න ලැබෙන්නේ නෑ." එහෙම කියලා වැඩ බැරි දාස තවත් මස් පාන් හෙඩියක් අරගෙන කටේ ඔබා ගත්තා.

" අනේ එහෙනම් කරුණාකරලා ඒ ගැන අපට විස්තර කරන්න" දමයන්තී ඉල්ලා හිටියා.

"ඒ ගැන මොනවා කියන්නද..." වැඩ බැරි දාස දෑත් වනලා කතා කළා. " අපේ කොල්ලෝ කට්ටිය බොහොම කල සිට මගෙන් ඉල්ලා හිටියා මොනවා හරි හොඳ දෙයක් කල්පනා කරන්නැයි කියලා. මම ඒගොල්ලන්ට මෙහෙම කීවා: ' සෝයුරනි, මට බැහැ කියලා. නුඹලාම කල්පනා කරලා කරන දෙයක් කරපල්ලා " කීවා. ඒ ගොල්ල මට උත්තර දුන්නා: "අපිට එච්චර මොළේ නැහැ. ඔයා තමයි අපිට ඉන්න ඉතාම හොඳ නුවණක්කාරයා. ඉතින් ඔයා කල්පනා කරන්න! ඔයාට එය ලෙහෙසි වැඩක්. ' ' හොඳයි. ඉතින් නුඹලා ගේ කැමැත්ත අනුව මම අලුත් යමක් කල්පනා කරන්නම්, ' කියලා මම කීවා. ඉතින් ඒ වගේ මම කල්පනා කලා."

වැඩ බැරි දාස ලොකු කල්පනාකාරී ගතියක් මවා ගෙන මස් පාන් ගෙඩියක් හපන්නට පටන් ගත්තා. අනෙක් ගෑණු ළමයි ඔහු දිහා නො ඉවසිල්ලෙන් බලා ගෙන ඉන්නවා. වැඩ බැරි දාස තවත් කේක් කෑල්ලක් කෑමට ඉදිරිපත් වන විට, නිහඬතාවය බිඳලා ලේන් පැංචි මෙහෙම මතක් කළා:

"ඔයා කල්පනා කරපු දේ ගැන නොකියා ඉන්නවා."

"ඔවු!" යැයි වැඩ බැරි දාස කීවේ කේක් කෑල්ලෙන් මේසයට තට්ටු කරමින්.

"ඉතින් මම දවස් තුනක් සහ රෑ තුනක් නොකඩවා කල්පනා කලා. ඉතින් මොනවාද? හොඳ වැඩක් මට කල්පනා වුනා. ඔන්න සෝයුරනි ගුවනේ පාවෙන බැලුමක් හදනවා. කියාපු විදියටම බැලුමක් හැදුවා. අපේ කවි කුසුම් මා ගැන කවි හැදුවා. අපට ඉන්නවා කවියෙක්. ' වැඩ බැරි දාස බැලුමක් හැදුවා. ' නැහැ එහෙම නෙවෙයි ' හැදුවා බැලුමක් වැඩ බැරි දාස." නැහැ. එහෙමත් නොවේ. මෙන්න මෙහෙම ' බැලුමක් හැදුවේ වැඩ බැරි දාසය' ය. අපොයි දැන් මට මතක නැහැ. මා ගැන බොහොම කවි හදලා තියෙනවා. ඉතින් මට ඒවා සියල්ල මතක් කරගන්නට බැහැ."

ඔහු තවත් කෙක් කෑල්ලක් කන්නට පටන් ගත්තේය.

"ඉතින් ඔය ළමයි ඒ බැලුම හැදුවේ කොහොමද?" නිල්මිනි ඇසුවා.

"අපොයි ඒක මහා ලොකු වැඩක්. අපේ කොල්ලෝ උදේ රෑ නොබලා දිගටම වැඩ කළා. සමහරු රබර් කිරි ගෑවා. සමහරු පොම්පයෙන් හුළං පිරෙවුවා. මම නිකම් ඔවුන් වටේට ගිහින් සිවුරු හඬ ලෑවා....... එහෙම හඬ ලෑවා නොවේ. කළ යුතු වැඩ අපේ කොල්ලන්ට කියා දුන්නා. මම නැතුව උන්ට කිසිම වැඩක් තේරුම් ගන්ට බැහැ. හැම දෙනාටම තේරුම් කරලා දෙන්නට ඕන. කරන හැටි පෙන්වන්නට ඕන. මේ වැඩේ බොහොම වගකීම් සහිතයි. කොයි වෙලේ පුපුරා යාවිද දන්නේ නැහැ. මට ඉන්නවා බොහොම දක්ෂ අත් උදවු කාරයින් දෙදෙනෙක්. ඉස්කුරුප්පු බාස් සහ මුරිච්චි පැංචා. වැඩට දක්ෂ වුණාට කල්පනා කිරීමේ ශක්තිය දුර්වලයි. ඒගොල්ලන්ට තෙරුම් කරලා පෙන්වන්නට ඕන. කල්දේරම සාදන හැටි මම ඒ ගොල්ලන්ට පෙන්නලා දුන්නා. ඉතින් වැඩ බොහොම ජයට කෙරුනා. වතුර නටනවා, ගුඩු ගුඩු ගානවා, වාශ්ප පිට වෙනවා, හරිම ජර මරයක් තමයි."

ගෑනු ළමයින් වැඩ බැරිදාස ගේ පල් හෑල්ල හුස්ම නොගෙන අහගෙන ඉන්නවා.

"ඉතින් ඊට පස්සේ? ඊට පස්සේ මොකද වුණේ?" ගෑනු ලමයි සියළු දෙනාම එකවර ඇහුවා.

"ඔන්න ඉතින් අපි ගුවන් ගතවෙන දිනය පැමිණියා. කුරු මිට්ටෝ, මිටි පැංචෝ, වාමනයෝ දහස් ගණනක් එකතු ව්ලා. සමහරු කියනවා බැලුම ගුවනේ පාවෙයි කියලා. තවත් සමහරු කියනවා එහෙම වෙන්නේ නෑ කියලා. මේ දෙගොල්ල තර්ක කරලා අන්තිමට පොර කා ගන්න පටන් ගත්තා. ගුවනේ පාවෙන්නේ නැහැ කියන අය ගුවනේ පාවෙනවා කියන අයට ගුටි අනිනවා. නැහැ, එහෙම නොවෙයි, ඒකේ අනිත් පැත්ත... ඔවු කියන අය නැහැ කියන එවුන්ට ගහනවා, නැහැ කියන අය ඔවු කියන එවුන්ට ගහනවා. උන් එක එකා පොර කා ගන්නට වුනා.

"ඉතින් ඒ ගුටි ඇන ගැනීම පැත්තකට තියලා අපට බැලුම ගැන කියන්න." නිල්මිණි ඉල්ලා හිටියා.

"හොඳයි" වැඩ බැරිදාස එකඟ වෙලා මෙහෙම කියනවා: "උන් පොර කා ගත්තා. මම බැලුමට ලොකු කූඩය සවි කරලා ඔවුන් ඉදිරියේ කතාවක් කළා. 'යෝයුරනි, අපි ගුවන් ගත වෙනවා. නුඹලාට ආයුබෝවන්! ' ඉතින් අපි ගුවන් ගත වුනා. උඩ ගිහිල්ලා බිම බැලුවා. මහ පොළව අපිට පෙනුනේ මෙන්න මේ පුංචි කේක් කෑල්ල වගේ."

"අපොයි, ඒක වෙන්නට බැරි දෙයක්!" ගෑනු ළමයි ටික එක වර කිවුවා.

" මම බොරු කියනවා නම්, පොළව පලාගෙන මාව යට යාවි." වැඩ බැරි දාස දිවුරන්නට පටන් ගත්තා.

"එයාට බාදා කරන්නට එපා. එයා බොරු කියන්නේ නැහැ." එහෙම කීවේ නිල්මිණි.

"ඔවු, ඇත්තටම, මට බොරු කීමට බාදා කරන්නට එපා, නැහැ එහෙම නොවෙයි, මට ඇත්ත කීමට බාදා කරන්න එපා."

"දිගටම කතාව කියන්න, කතාව කියන්න!"

"එහෙනම් අහගනිල්ලා. අපි ඉහලට නැංගා. ඕන් හිටි හැටියේම ඉහළ නැගීම නැවතුනා. දැන් වළාකුළු අපට උඩින් තියෙනවා. ඉතින් මොනවා කරන්නද? මම අතට ගත්තා පොරව. වළාකුළ කපලා සිදුරක් හදා ගත්තා. ඒ පාර අපේ බැලුම තවත් ඉහළ නැංගා. ඔන්න හිටි හැටියෙම අපේ දෙපා උඩ ගිහිලා. අහස බිම, මහ පොළව උඩ."

"ඒ කොහොමද?" ගෑනු ළමයි පුදුම වුනා.

"සොබා දහමේ නියමය. වළාකුළු වලට වඩා ඉහළ නැංගාම දෙපා උඩ, හිස බිම දමාගෙන තමයි ඉගිලෙන්නේ. තවත් ඉහළට නැංගා. ශීතාංක දහසකුත් දශම එකයි. බැලුම හීතල වෙලා, බිම වැටෙන්නට වුනා. මම හැබෑ කපටියා. කූඩයේ තිබ්බ වැලි කොට්ට පහළට වීසි කරන්න කියලා මම අණ කළා. ඔන්න ඉතින් තිබිච්ච වැලි කොට්ට සේරම වීසි කළා. වෙනත් කොට්ට ඉතිරි වෙලා නැහැ. ඉතින් මොනවා කරන්නද? අපේ නඩේ හිටියා කොල්ලෙක්. එයාගේ නම දක්සපාල. නමුත් එයා බිය ගුල්ලා. බැලුම වැටෙනවා දැකලා එයා අඬන්නට පටන් ගත්තා. ඉන් පසු එයා පැරචුට් එකෙන් බිමට පැනලා ගෙදර ගියා. ඒ පාර බැලුම හෑල්ලු වෙලා තවත් උඩ යන්නට පටන් ගත්තා. ටික වෙලාවකට පස්සේ ආපහු බැලුම පහතට වැටෙන්නට වුනා. බැලුමේ පහල තිබුණු වේවැල් කූඩය මහපොළවට හැප්පුණු හැටියේ මම එයින් එළියට පැන්නා. එවිට මගේ ඔළු ගෙඩිය පොළවට හැප්පුනා!...."

කතාව කියන ගමන් කූඩය පොලවට හැප්පුනු සැටි අතින් පෙන්වීමට මෙන් වැඩ බැරි දාස මේසයට ගැහුවා. ඔහුගේ අත කේක් කෑල්ලකට වැදිලා පුංචි කේක් කෑලි හැම අතටම විසිරිලා ගියා.

ගෑනු ළමයි කොයිතරම් බය වුණාදැයි කීවොත් වාඩි වෙලා හිටිය පුටුවලින් බිම නොවැටුණා විතරයි.

"ඉතින් ඊට පස්සේ වුනේ මොනවාද?" බය ගතිය ඇරිලා ගිය පසු ළමයි ඇසුවා.

"ඉන්පසු වෙච්ච දේ මතක නෑ" වැඩ බැරි දාස කිවුවා.

නිහඬතාවයකි. ගෑනු ළමයි වැඩ බැරි දාස දෙස බැලුවේ පුදුමයෙන් විතරක් නොවේ. එක්තරා ගරු කිරීමක් ඇතිවය. වැඩ බැරි දාසව වීරයකු ලෙස ඔවුන් පිළිගත්තා.


නිල්මිණි මෙලෙස විතර කළා.

"ඔයාලාගේ ගුවන් බැලුම නිසා අපි බොහොම බය වුනා. අපි ඊයේ බැල්කනියට වෙලා තේ බොමින් හිටිය. මහ විශාල බැලුමක් අපේ ගෙට පාත් වෙලා, ගෙවැටට අමිණිලා පුපුරා ගියා. ඩෝං ගාලා ශබ්දයක් ඇහුණා! අපි වහාම දුවලා ගියාම ඉතුරු වෙලා තිබුණේ වේවැල් කූඩුව විතරයි."

"ඔය ළමයා මළා වගේ බිම වැටිලා උන්නා. අපට හරිම බය හිතුනා!" හා පැංචි කීවා.

"ඔයාගේ එක සපත්තුවක් කකෞළක, අනික් සපත්තුව වැටේ කනුවක් උඩ, ඔයාගේ තොප්පිය ගහේ අත්තක." එහෙම කීවේ ලේන පැංචි.

" ඔයාගේ කබායේ අත ඉරිලා. අපි එය හොයා ගත්තේ අද උදේ. අපිට සිද්ද වුනා ඉතා ඉක්මණට ඒ අත කබායට තියලා මහන්නට." සමනොල පැංචි විස්තර කළා.

"මම මේ ගෙදරට ආවේ කොහොමද?" වැඩ බැරි දාස ඇසුවා.

"ඔයාට සිහි නැතිවෙලා බිම වැටිලා උන්නා. ගෙවත්තේ රෑට ඔයාව තියන්න හොඳ නැති නිසා අපි ඔයාව ගෙදර ගෙනාවා." නිල්මිණි කිවුවා.

"අපොයි ඔයා මැරුණා වගේ හිටියා." ආයෙමත් එහෙම කිවුවේ හා පැංචි.

"නමුත් සූකිරි පැංචා කීවා ඔයාගේ ශරීර ශක්තිය බොහොම හොඳ නිසා ඔයාට සිහිය ලැබේ කියලා."

" මගේ ඇඟ ශක්තිමත්. ඔළු ගෙඩිය තවත් ශක්තිමත්" වැඩ බැරි දාස පුරසාරම් දොඩවන්නට වුනා. වෙනින් කොල්ලකු ගේ නම් ඔළු ගෙඩිය මෙලහකටත් හෙළ වෙලා ගිහිං."

"ඔයා කියන්නට හැදුවේ මොළයේ සෙලවීම ගැන නේද?"

"ඔවු, ඔවු, එය තමයි" වැඩ බැරි දාස පිළිගත්තා.

"බැලුමේ නැගලා ගුවන් ගත වුණේ ඔබ තනිව නොවෙයි කියලා කීවා නේද?" නිල්මිණි ඇසුවා.

"සත්තකින්ම තනිව නොවේ. අපේ කට්ටිය දහසය දෙනෙක් හිටියා. දක්සපාල නමැති බිය ගුල්ලා පැරචුට් කුඩයෙන් බිමට පැන්නා. අපි පහළොස් දෙනෙක් ඉතුරු වුනා."

"අනික් අයට මක් වුණාද?" කුරුළු පැංචි ඇසුවා.

" මම දන්නේ නැහැ. කූඩයේ මා හැර වෙන කවුරුවත් ඉතුරු වුනේ නැද්ද?" වැඩ බැරි දාස විමසුවා.

"කූඩයේ චිත්‍ර අඳින සායම් සහ පුංචි බෙහෙත් පෙට්ටියක් තිබුණා."

"සායම් චිත්‍ර අඳින වර්ණගේ. බෙහෙත් පුංචි දොස්තරට අයිතියි. වැඩ බැරිදාස විස්තර කළා.

මේ වෙලාවෙදි කාමරයේ දොර ඇරගෙන ආපු හිම කුමරී අලුත් ආරංචියක් කීවා:

"ඔය ගොල්ලෝ දන්නවද? අලුත්ම අලුත් ආරංචිය. තවත් බැලුමක් ඇවිත් බිමට හැප්පිලා. එහි කොල්ලන් දහ හතර දෙනෙක් ඉඳලා. ඒ ගොල්ල නගරයට එහා බැද්දේ ඉඳලා පේ කට්ටිය ඒ ගොල්ලන්ව රෝහලට ගෙනයාමට උදවු කරලා."

"ඒ ගොල්ල තුවාල ලබලද?" හා පැංචි විමසුවා.

" ඒක එතරම් දෙයක් නොවෙයි, අපේ මී පැණි කිවුවා ඒගොල්ලන්ව සනීප කරන්න පුළුවන් කියලා.

"සමහර විට ඒ ගොල්ල මගේ යාළුවන් වෙන්ට පුළුවනි. මම රෝහලට ගිහිල්ලා විපරම් කරලා බලන්නම්." වැඩ බැරි දාස කීවා.

"මම ඔයා කැටුව යන්නම්" නිල්මිණි කීවා.

"මාත් එනවා!" එසේ කීවේ හිම කුමරී.

නිල්මිණි ගේ නළලේ අලවා ඇති වටකුරු පැලැස්තරය ඇය දුටුවේ එවේලේදීය.

"අනේ මිහිරි පුංචි කෙල්ලේ, ඔයා ගේ නළලේ අලවා තිබෙන වට රවුම හරිම ලස්සනයි. ඔය වටකුරු ලප ඇලවීම මෝස්තරයක් ද? මාත් ඒ වගේ ලපයක් අලවා ගන්නම්." හිම කුමරිය කියා හිටියා.

"නැහැ, එය මෝස්තරක් නොවේ. මගේ නලල දොරට හැපිලා ගෙඩි ගැහුනු හන්දා මම පැලැස්තරය්ක් අලවා ගත්තා."

"අයියෝ, ඒකත් එහෙමද..." හිම කුමරී කණගාටු වුනා.

කැඩපත ළඟට ගිහිල්ලා ඈ තොප්පිය පැලඳ ගත්තා.

සියළු දෙනාම ආරංචි අසල් වැසියන්ට දැන්වීමට ගිය නිසා කාමරය පාලු වුනා.

නිකොලායි නෝසව්
පරිවර්තනය - දැදිගම වී. රුද්‍රිගු



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails