3.පළමු වන මරණය
දිනක් කිරිහාමි කජු පුහුලම් කෑමට යාළුවන් සමග ගඟ ලඟ කජු ගහට ගියේය. කවුරුත් අත පොවන තැන්වල වූ පුහුලම් කඩා කන්නට වූහ. ගඟට නැමුණු අත්තෙක අග ලොකු පුහුලමක් දැක, කිරි හාමිට එයම කන්නට ආශාවක් විය.
"යන්නට එපා, යන්නට එපා, අත්තත් කඩාගෙන වැටෙයි" යනු යාළුවෝ කීහ. කිරිහාමි ඒ නො අසා අතු අගටම ගියේය. "ජරාස්" යන අනුකරණයෙන් අත්ත කැඩී කිරි හාමිත් සමග ගඟට වැටුණේය. කිරි හාමි හොඳටම තෙමුණු නමුත්, යන්තම් පණ බේරා ගෙන ගොඩට ආයේය.
සීතලක් දැනුණෙන්, එදා සඟ නම කී වචන සිහි වී කිරිහාමි වහා හිසත් පයත් අත ගා බැලීය. දෙපළම එක සේ සීතලය. "මා මළා, මා මළා" යි කියමින් හේ බිම පෙරළුණේය. යහළුවෝ වහාම ළං ව ඔහු ඔසවන්නට උත්සාහ කළෝය. "මා මළා, මා මළා" යි කියමින් කිරි හාමි බිමට වැටුණේය.
"කිරි හාමි, ඔබට පිස්සුද? නැගිටිනවා, නැගිටිනවා..."
" මා මළා. නැගිටින්නේ කෙසේද...?"
"මළා..! මළා නම් දොඩන්නේ...?"
"මළ අය දොඩන්නේ නැද්ද? එදා අපේ ගෙදර මගුල් දවසේ හාමුදුරුවන් කීව, "හිසත් පයත් එක සැටි සීතල වුණු දා මළා තමයි ..." කියා.
"අනේ කිරිහාමි, පිස්සු නැථිව නැගිටිනවා. යමු ගෙදර."
යහළුවෝ කිරි හාමි උස්සාගෙන ගෙදර ගොස් සියලු සිද්ධිය කීවෝය. කිරි හාමි ගේ මවුපියෝ ඔහු නැගිටුවන්නට නොයෙක් උත්සාහ කළහ. එහෙත් හේ නොනැගිටියේමය. " හාමුදුරුවන් හට වඩා දන්නා කෙනෙක් නෑ. හාමුදුරුවන් දිවැසින් දැක කී දේ වරදින්නට පුළුවන්ද?" යි කියමින් "මා මළා, ඉතින් මා වළලන්නේ නැද්දැයි..." හඬ දෙන්නට වීය.
"අනේ කිරිහාමි පිස්සු නැතිව නැගිටින්න. මේ බත් කන්න. මේ කිරි බොන්න" යි කිය කියා මවුපියෝ කන්නළවු කළහ. කිරිහාමි ඒ කිසිවකට ඇහුම් කන් නොදී "මා වළලන්නේ නැද්ද? මා මළාට හඬන්නේ නැද්ද?" යනාදිය කියමින් මර හඬ දෙන්නටම විය. අවට නෑදෑයන් අවුත් කිරි හාමි නැගිටුවන්නට කළ වෑයමින් ද කිසි පලෙක් නුවූයේය.
අන්තිමේදි කිසිවක් කැරගත නොහී කිහිප දෙනෙක් කිරි හාමි ඔසවාගෙන සොහොනකට ගොස් පස් ගොඩ දෙකක් අතරේ හොවා අවෝය. කිරිහාමි එයින් සැනැසී සැබවින් මළාක් මෙන් ඇස් දෙක පියා ගත්තේය. දෑත් එක්කොට බඩට දුන්නේය. නිසොල්මන් වූයේය.
ඉතිරි කොටස...