කවුරු හරි ඔබෙන් ඇහුවොත් කඩදාසි හැදෙන්නෙ කොහොමද කියලා? ඔබ බොහෝ විට කියාවි ගස්වලින් නැත්නම් දැවවලින් කියලා. කඩදාසි කියන්නෙ ලියන්න, අඳින්න, මුද්‍රණ කටයුතුවලට, ඇසුරුම්කරණයට වගේම තව බොහෝ කටයුතුවලට නැතුවම බැරි දෙයක්. මිනිස් ඉතිහාසයේ ඉතාම වැදගත් සොයා ගැනීමක් බවට කඩදාසිය පත්වෙන්නේ ඒ හරහා මිනිසා සලකුණු කළ සාහිත්‍ය, සංස්කෘතික, දේශපාලනික සහ සාමාජයීය පිම්ම සුවිසාල එකක් වන නිසා.

හුඟක් ඉස්සර මිනිස්සු ලිවීම , ඇඳීම ආරම්භ කළේ ගල් ගුහාවල බිත්ති වල , ගස් පොතුවල. ඉන් පස්සෙ ක්‍රි. පූ. 4000 දි සුමේරියන්වරු බර මැටි පුවරුවල පණිවුඩ ලියලා ප්‍රවාහනය කළා. ශතවර්ෂ ගාණක් තිස්සෙ තමන්ගෙ අදහස් ලියල තියන්න විදිහක් හොයා ගන්න මිනිස්සු මහන්සි වුණා. ලී, ලෝහ, ගස්පොතු, උණ පතුරු, රෙදි මේ වගේ විවිධ දේවල්වල ලිව්වත් ඒක සාර්ථක වුණේ නෑ. අවුරුදු කලින් ඊජිප්තු වැසියෝ නයිල් ගඟ අසබඩ වැවෙන පැපිරස් කියන පැළෑටිය වේලලා තීරු කරලා නැවත එකට තියල බැඳලා හදාගත්ත පැපිරස් කොළවල ලිව්වා. එතැන ඉඳන් අවුරුදු 3000 ක් යනකම් වෙන කිසිම ආදේශකයක් ලිවීම සඳහා සොයා ගැණුනෙ නෑ.


පැරණි පැපිරස් පතක අඳින ලද චිත්‍රයක්

ක්‍රි. පූ. 100 දි පමණ චීනයේ හන් අර්ධද්වීපයේ හෝ ටි කියන අධිරාජ්‍යයාගේ රජයේ සේවය කරපු ට්සායි ලුං කියන පුද්ගලයා මල්බෙරි ගහේ යටි පොත්ත අරගෙන උණ පතුරුවල කෙඳි සමඟ වතුර එක්ක මිශ්‍ර කරලා ලී පත්තකින් කළවම් කළා. ඉන් පස්සෙ ඒ මිශ්‍රණය රෙදි කෑල්ලකට තුනී කරලා වතුර ටික බේරලා වියළා ගත්තා. දැන් රෙදි කැබැල්ලේ ඉතිරි වුණේ කෙඳි විතරයි. මේ විදිහට ඝන වුණු කෙඳි ටික වියළුණු පසු යමක් ලිවිය හැකි, බරින් අඩු වඩා සුදු පැහැති මතුපිටක් ඔහු අතින් නිර්මාණය වෙලා තිබුණා. ඒ විදිහටයි ලෝකෙ මුල් ම කඩදාසිය බිහිවුණේ.


කඩදාසිය නිපදවූ ට්සායි ලුං නම් චීන ජාතිකයා

කඩදාසියේ කතාව එතනින් අවසාන වෙන්නෙ නෑ. තමන් මේ අපූරු සොයා ගැනීම කළ නිසාම චීන ජාතිකයින් කැමති වුණේ නැහැ මේ රහස ලෝකයේ වෙනත් රටවල් සමඟ බෙදා ගන්න.


දැනට සොයා ගෙන ඇති කඩදාසිවල ලියැවුණු පැරණිම පොත - ක්‍රි.ව. 256, චීනය

ඔවුන් ශතවර්ෂ ගණනාවක් රැක ගත් රහස යුද්ධවල සහ වෙළඳාමේ ප්‍රතිඵලයක් විදිහට මැදපෙරදිගට සංක්‍රමණය වුනා. යුධ සිරුකරුවන් ලෙස ආරාබි ආකමණිකයින් විසින් අල්ලාගත් චීන භික්ෂුන් දෙපළක් සිය නිදහස පිණිස කඩදාසියේ රහස ඔවුන් සමඟ හුවමාරු කර ගත් බවක් තමයි ලියවිලිවල සඳහන් වෙන්නෙ. නමුත් ඒ වන විටත් මධ්‍යතන යුගයේ යුරෝපීය ක්‍රිස්තියානීන් කඩදාසි නිපදවීම සඳහා ඉවතලන රෙදි කැබලි තමයි යොදා ගත්තේ. ඒත් ක්‍රි. ව. 1200 දී ක්‍රිස්තියානි යුරෝපීයයන් විසින් එවකට ඉස්ලාමීය වූ ස්පාඤ්ඤය ආක්‍රමණය කිරීමත් සමඟ ඔවුන් චීනයෙන් බිහි වූ ඒ දැනුම අත්පත් කර ගත්තා.

ලෝකයේ කඩදාසි භාවිතය පහුගිය වසර 40 තුළ 400% කින් ඉහළ ගිහින්. ලොව පුරා සෑම වසරකම පාවිච්චි වන කඩදාසි ප්‍රමාණය මෙට්‍රික් ටොන් මිලියන 300 කට අධිකයි. මෙයින් ටොන් මිලියන 50 ක්ම යෙදවෙන්නේ ඇමරිකාවේ භාවිතයට. ලොව පුරා වගා කරනු ලබන ගස්වලින් 35% ක්ම යොදා ගැනෙන්නේ කඩදාසි තැනීම සඳහා. මීට අවුරුදු 600 කට කලින් කඩදාසි ප්‍රතිචක්‍රිකරණය කිරීම ඇරඹුණා. අද වන විට කඩදාසි ටොන් මිලියන 160 ක් පමණ ප්‍රතිචක්‍රිකරණය කෙරෙනවා. අප ලියන සහ මුද්‍රණය කරන කඩදාසි ටොන් එකක් නිපදවීමට කැපිය යුතු ගස් ප්‍රමාණය ඔබ දන්නවාද? ඒ සඳහා සාමාන්‍ය පරිදි වැඩුණු ගස් 24 ක් අවශ්‍යයි.


ප්‍රතිචක්‍රිකරණය කරන ලද කඩදාසිවලින් සැදූ පොතක්

බිල් ගේට්ස් කියන පරිඝනක ක්ෂේත්‍රෙය් ඉහළින් වැජඹෙන ව්‍යාපරිකයා ෆෝචූන් සරාවට පවසා තිබුණේ තමන්ගේ ගේ කඩදාසි භාවිතය ඉතාම අවම මට්ටමක පවතින බව යි. නමුත් දැනටත් ලෝකයේ සිදුවන ව්‍යාපාරවල තොරතුරුවලින් 95% ක්ම ගබඩා කරන්නේ කඩදාසි වල.


ගස් සුරකිමු!

කොහොම වුනත් අප අවම කඩදාසි ප්‍රමාණයක් භාවිතා කරනවා නම්, මුද්‍රණය කරන ප්‍රමාණය අවම කරනවා නම්, හැකි තාක් කඩදාසි ප්‍රතිචක්‍රිකරණය කොට ඒවා පාවිච්චි කරනවා නම් එයින් තුරුලතා, ජලය වගේම බලශක්තියත් ඉතිරි වෙන බවත් අප දැන ගත යුතු ම කාරණයක්.

වසිලිස්සා



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails