වැඩ බැරි දාස චිත්‍ර ශිල්පියෙක්වුණු හැටි!
වර්ණ හොඳ චිත්‍ර ශිල්පියෙක්. වර්ණ හැමදාම එයාගෙ දිග කබාය හැඳ ගන්නවා. ඒකට කියන්නෙ උඩ වැස්ම කියල. වර්ණ උඩ වැස්ම ඇඳලා, දිගැති හිසකේ පස්සට පීරලා, සිතියම් මැස්ස ලඟට වෙලා වර්ණ පලකය අතට ගත්තම, එයාගෙ පෙනුම බොහොම වැදගත්. එතකොට වර්ණ නියම චිත්‍ර ශිල්පියෙකු බව ඕනෑම කෙනෙකුට පෙනෙනවා.
වැඩ බැරි දාසගේ සංගීත වාදනය හැම දෙනාටම එපාවෙලා, එයාව එළවාගත්තයින් පස්සෙ, එයා චිත්‍ර ඇඳීමට තීරණය කළා. එයා වැඩ බැරි දාස වර්ණ හමුවීමට ඇවිල්ලා මෙහෙම කිවුවා.
"වර්ණ, මාත් කැමතියි චිත්‍ර අඳින්ට. මට පාට කීපයකුයි, පින්සලකුයි දෙන්න.”
වර්ණ කෑදර ළමයෙක් නොවෙයි. එයා පාට වර්ණ කීපයක් සහ පින්සලයක් වැඩ බැරි දාසට තෑගි කලා. ඔන්න මේ වෙලාවෙදි තමයි ගුණේ වැඩ බැරි දාස හමුවීමට ආවෙ. ඔහු මිතුරාට මෙහෙම කිවුවා.
"ගුණේ, වාඩිවෙනව, මම ඔයාගෙ රූපය අඳින්නම්.”
ගුණේ බොහොම සතුටුවෙලා ඉක්මනට පුටුව උඩ වාඩි වුනා. වැඩ බැරි දාස අඳින්ට පටන් ගත්තා.
ගුණේව ලස්සනට අඳින්ටයි එයාට වුවමනා කළේ. ඉතින් ඔහු ගුණේගේ නහය රතු පාටින් ඇන්දා, කන්දෙකට කොළපාට ගෑවා. තොල් නිල්පාටින් ඇඳලා ඇස් දෙක රෝස පාටින් සැරසුවා. ගුණේට හරි ආසයි එයාගේ රූපය දිහා බලන්ට. පුටුවේ වාඩිවෙලා සන්සුන්ව ඉන්ට එයාට බැහැ.
“තමුසේ දඟලන්නෙ නැතුව ඉන්නවා. දඟලන්න වුනොත් වැඩේ නරක් වේවි” වැඩ බැරි දාස ගුණේට කියුවා.
“දැන් කොහොමද, චිත්‍රය මා වගේමද” ගුණේ අහනවා.
“හරියට ඔයා වගේමයි” වැඩ බැරි දාස එහෙම කියලා දම් පාටින් උඩු රැවුලක් ඇන්දා.
“ඉතින් පෙන්වන්නකෝ, හරියටම මා වගේම ද?” ගුණේ එහෙම ඇහුවේ වැඩ බැරි දාස චිත්‍රය ඇඳලා ඉවර උනාට පස්සෙ. ඔහු ඇඳපු රූපය පෙන්නුවා.
“මම මේ වගේද?” බයවුණු ගුණේ ප්‍රශ්න කළා.
“හරියට ඔයාම තමයි. වෙන කවුද?”
“උඩු රැවුලක් ඇන්දේ මොකටද? මට රැවුලක් නැහැ”
“ඔයා ලොකු උනාම ඔයාට රැවුලක් වැවේවි”
“මගේ නහය රතු පාට මොකද?”
“රතුපාට, ලස්සන පාට”
“හිසකෙස් නිල්පාට මොකද? මගෙ හිසකෙස් නිල්පාට ද?” ගුණේ ඇහුවා.
“නිල්පාටයි. ගුණේ අකමැති නම් මට හිසකේ කොළපාටින් අඳින්ට පුළුවනි”
“අපොයි. මේ රූපෙ බොහොම අවලස්සනයි. මම ඒක ඉරල දාන්නම්”
“චිත්‍ර කලා නිර්මාණයක් විනාශ කරන්නෙ මොකටද?”
ගුණේ රූපය ඇඳපු කඩදාසිය උදුරගන්න ඉදිරිපත් උනාම, දෙදෙනාම පොරකන්ට පටන් ගත්තා. එවිට එතැනට ආවා පුංචි දොස්තර. එයාගෙ පසු පසින් තවත් ළමයි ආවා.
“ඔය දෙන්න පොරකන්නෙ මොකද?”
“ඔන්න බලන්න. මේ ඇඳලා තියෙන්නෙ කාවද? මගේ රූපය නොවෙයි නේද?”
“මේ ගුණේගේ රූපය නොවෙයි. එළවළු කොටුවක ඉන්න පඹයෙකුගෙ රූපයක්” පුංචි දොස්තර කියුවා.
“ඔයගොල්ලන්ට තේරුම් ගන්ට බැරි මේ රූපයට යටින් නම ලියල නැති නිසා. නම ලියාපු හැටියේ ඔක්කොම පැහැදිලි වේවි” වැඩ බැරි දාස විස්තර කළා.
ඔහු පැන්සලයක් අරගෙන, චිත්‍රයට යටින් ගුණේ යන වචනය ලියුවා. ඉන්පසුව චිත්‍රය බිත්තියේ එල්ලා මෙහෙම කියාපි¦
“ඔහෙ තිබුණාවෙ. ඕනෑම කෙනෙකුට බැලීම තහනම් නැහැ”
“ඔයා නිදාගත්තයින් පස්සෙ මම ඔය පින්තූරෙ කෑලි කෑලි වලට ඉරනව” ගුණේ කියුවා.
“එහෙනම් මම රෑට නිදාගන්නෙ නැතුව මුර කරනවා”
ගුණේ බොහොම අමනාප වෙලා ගෙදර ගියා. වැඩ බැරි දාස රෑ තිස්සේ නිදා ගන්නේ නැතුව මුර කරන්ට පටන් ගත්තා.
අනික් ළමයි නිදාගත්තට පස්සෙ වැඩ බැරි දාස ඔක්කොමල්ලාගේ පින්තූර අඳින්ට පටන් ගත්තා. බොත්තමාව කොයි තරම් මහතට හිටින්න ඇන්දාද කියතොත්, කඩදාසිය පවා ඉඩ මදි වුනා. කඩිනම් රාළගේ කකුල් හීන් ඉරටු වගේ ඇඳලා එම රූපෙට තවත් බලූ වලිගයකුත් එකතු කළා. පුංචි දොස්තරගේ නහය වෙනුවට උණ කටුවක් ඇන්දා. දඩයම් සේන බුල්කා නමැති බල්ලාගෙ පිට උඩ යන සැටිත් ඇන්දා. දක්ස පාලගේ කන් වෙනුවට බූරුවකුගේ කන් දෙකක් ඇන්දේ මොකටද කියලා කියන්ට බැහැ. හැම ළමයෙකුවම මෝඩයෙකු හැටියට පෙනෙන්ට ඇඳපු එක විතරක් කියන්ට පුළුවනි. ඒවා දෙස බලන විට හිනා යනවා.
පින්තූර වලට යටින් එක් එක් කෙනාගෙ නම් ලියුවා.
උදේ පාන්දරම නැගිට්ටේ පුංචි දොස්තර. බිත්තිය දිගටම එල්ලා තිබුණු පින්තූර දැකලා එයා හිනා වෙන්ට පටන් ගත්තා. ඔහු බොහොම සතුටු වෙලා, ඇස් කණ්ණාඩි දෙක පැළඳගෙන බොහොම සැලකිල්ලෙන් පින්තූර බැලූවා. එක් එක් පින්තූරයක් ළඟට ඇවිත් හිනා වුනා.
“වැඩ බැරි දාස හපනා! මගේ ජීවිතයේදි මේ තරම් මම හිනා වෙලා නැහැ”
අන්තිමට එයා එයාගෙ පින්තූරය ඉස්සරහ පිට හිටගෙන බැරෑරුම් ලෙස මෙහෙම ඇසුවා.
“මේ කවුද? මේ මමද? නැහැ, මම නොවෙයි. මේක මහ සවුත්තු පින්තූරයක්. මේක ගලවලා දාන්න”
“ගලවන්නෙ මොකටද. ඔහෙ තිබුණාවෙ” වැඩ බැරි දාස කියුවා.
පුංචි දොස්තරට කේන්ති ගිහිල්ලා තරවටු කළා.
“වැඩ බැරි දාස අසනීපයෙන් වෙන්ට ඕනෑ. ඔයාගෙ ඇස් වල පෙනීම දුර්වලයි. මගේ නහය වෙනුවට උණ කටුවක් තියෙනවා ඔයා දැක්කෙ කවදද? අද රෑට ඔයාට එඬරු තෙල් ඛෙහෙත දීමට නියම කරනවා”
වැඩ බැරි දාස එඬරු තෙල් බේතට බොහොම අකැමැතියි. එයා බයවෙලා මෙහෙම කියුවා.
“ඔව්, මටත් පේනවා මේ පින්තූරය හොඳනැති බව”
ඔහු එය ගලවා ඉරා දැම්මා.
ඊළඟට නැගිටිටේ දඩයම් සේන. ඔහු ඇවිත් පින්තූර බලමින් හිනාවුනා. නමුත් එයාගෙ පින්තූරය ළඟට ආපු හැටියෙම හිනාව නැතුව ගියා.
“ඔයා මේ පින්තූරය ගලවල දාන්ට, ඒක මම වගේ නොවෙයි. නැතිනම් මම ඔයාව දඩයමට ගෙනියන්නේ නැහැ”
ඔන්න ඉතින් වැඩ බැරි දාසට සිද්ධවුනා ඒ පින්තූරයත් ගලවා දාන්ට. හැම ළමයාම අනුන්ගේ පින්තූරවලට කැමති වුනා. නමුත් තමන්ගේ රූපය ඇඳපු පින්තූරයට විතරක් කැමති උනේ නැහැ.
හැමදාම වැඩිවෙලාවක් නිදා ගන්න වර්ණ අන්තිමට නැගිට්ටා. එයාගෙ පින්තූරය ඇඳලා තියෙනවා දැක්ක හැටියෙම එයාට බොහොම තරහා ගිහින් කිව්වා මේක රූප ඇඳීමක් නොවෙයි විකාර පිස්සු වැඩක් කියලා. වර්ණ ඒ පින්තූරය අරගෙන කෑලි කෑලි වලට ඉරල දැම්මා. ඔන්න පසුව වැඩ බැරි දාස ළඟ තිබුණු පාට වර්ග සහ පින්සලය ඔහු උදුරා ගත්තා.
ඉතුරු වෙලා තිබුණේ ගුණේ ගේ පින්තූරය විතරයි. වැඩ බැරි දාස ඒ පින්තූරය ගලවාගෙන ගුණේ හමුවීමට ගියා.
“ගුණේ, ඔයාට මම මේ පින්තූරය තෑගි කරන්නද? ඉතින් ඒ හන්දා ඔයා ආයෙමත් මාත් සමග යාළු වෙන්න” වැඩ බැරි දාස යෝජනා කළා.
ගුණේ ඒ පින්තූරය අරගෙන කෑලි කෑලි වලට ඉරලා දැම්මා.
“ඔයා මීට පස්සෙ මාව අඳින්නෙ නැහැයි කියල පොරොන්දු වෙන්ට ඕනෑ. ඔන්න එතකොට තමයි මම යාළුවෙන්නෙ”
“මම මීට පස්සෙ කාගෙවත් රූප අඳින්නෙ නැහැ. මහන්සිවෙලා අඳිනවා. නමුත් එක ළමයෙකුවත් ස්තුතියි කියල කියන්නේ නැහැ. මට ඒගොල්ලො බනිනවා විතරයි. චිත්‍ර ශිල්පියෙකුවීමට මම කැමති නැහැ” වැඩ බැරි දාස කියුවා.
(රුසියානු ජාතික නිකොලායි නෝසව්ගේ කතාවකි)
අනුවාදය - දැදිගම වී. රුද්‍රිගු මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook