අඳුර වැටෙන්න ඔන්න මෙන්න තිබියදී ටීවෝස් රජතුමාට ඔහු සෙවූ දෙය හම්බ වුණා. ඒ තමයි නගරය කෙළවරේ පැරණි මහල් නිවාසයක තුන්වැනි තට්ටුවේ තිබුණ, හිස් නවාතැන.

අශ්වකරත්තය නවතා අශ්වයන්ට කන්න දීපු රජතුමා ඔහුගේ හා පැටියාව සහ පුංචි වයලට් මල් පැලයක් සිටවා තිබූ මල් පෝච්චිය, නවාතැනේ සඳැල්ලෙන් ගෙන ගොස් තබා, කරත්තය තුළ වූ බඩු නිවස තුළට අදින්නට පටන් ගත්තා.

පියගැටපෙළේ උඩ සිටි කාන්තාවක්, රජතුමා ඉදිරිපිට ගරු සරුව නැමී.... ” අනේ ! රජතුමනි.... කෝ ඔබේ සේවකයෝ” යි, ඇසුවා.

”එයාලා මෙහෙ නෑනේ....” සිනාසී පිළිතුරු දුන් රජතුමා, ”ඔයාට පුළුවන්ද මට මේ බුමුතුරණ උඩට ගිනියන්න උදව් වෙන්න”.... යැයි ඇගෙන් සුහදව ඇසුවා.

”පුළුවන් රජතුමනි....” යි කියා, කාන්තාව බුමුතුරණ ඉහල මාලයට ගෙන ගියා. රජතුමා ඇයට හදවතින්ම ස්තූති කරා.

රජතුමාගේ   දත් මද්දවන්න,     පිට අතුල්ලන්න    සේවකයින් හිටියෙ නෑ. අඩුමගානේ කොණ්ඩය   පීරන්නවත් සේවකයෙක්     හිටියේ නෑ.

තනියම නාන කාමරයට ගොස් සුද්ද පවිත‍්‍ර වුණ රජතුමා රාතී‍්‍ර ඇඳුම ඇඳ නිදහසේ ඇඳට ගියා.

පහුවෙනිදා රජතුමා පාරේ කොණක තිබුණ කඩයකට ගොස් කිරි පෙට්ටියක්, කේජු බනිස්, ඇපල්, හා පැටියට කැරට් වගේම මල් පැලේට වතුර දමන්නට පුංචි භාජනයක් රැගෙන සිවුරුහඬලමින් නිවසට පැමිණියා.

හිරු එළිය වැටිලා තිබුණ සැඳැල්ලට වෙලා රජතුමායි, එයාගේ හා පැටියයි ආහාර රසවින්ඳා. වතුරෙන් නෑවිලා තිබුණ මල පැලෙත් සැඳැල්ලෙ අයිනක තිබුණා.

නගරයේ සද්ද බද්ද යන්තමින් රජතුමාට ඇහුණා. වාහන වල, කෝච්චි වල රළු හඬ වගේම සෙල්ලම් කරන ළමයින්ගෙ හඬත් ඒ අතර  වුණා. උණුසුම් සුළං රැල්ලකට තම හිසකෙස් අතර හමන්න ඉඩ දුන්න රජතුමාට, ජීවිතය කොයිතරම් රසවත්ද කියා හිතුණා.

දවල් වරුව උදා වුණාම රජතුමා ”එන්න හා පැටියෝ.... අද ඇවිදින්න යන්න හොඳ දවසක්” කියා, හා පැටියව හීනී ලණුවකින් බැඳගෙන උයනට ගියා.

වයසක කාන්තාවක් රජතුමාව දැක.... ”අනේ ! රජතුමනි.... හා පැටියෙක්ව ඔහොම බැඳගෙන ඇවිදින්න බෑනේ”යි, රජතුමාට කීවා.

එතකොට හාවා දිහා බලපු රජතුමා.... ” ඇත්ත තමයි.. ඇත්තම තමයි” කියලා, හා පැටියගේ බෙල්ලෙන් ලණුව ගලවලා, ඉදිරියට ඇවිදගෙන ගියා. හා පැටියා රජතුමා පිටිපස්සෙන් පැන පැන ආවා.

ටීවෝස් රජතුමා ආයෙත් නවාතැනට එනකොට නගරාධිපති රජතුමාව මුණගැහෙන්න ඇවිත් හිටියා.

”අනේ රජතුමනි ඔබතුමාගේ වටිනා අශ්ව කරත්තය මේ වගේ පෙදෙසක තියන්නෙ ඇයි”.... කියා, ඔහු රජතුමාගෙන්න ඇහුවා.

එතකොට අශ්ව කරත්තය දෙස බලපු රජතුමා.... ”ඇත්ත තමයි. කරත්තය ඔහේ තියෙනවා... මට රාජකීය කරත්තයකින් වැඩකුත් නැහැ”යි, කියා.... කරත්තයේ බැඳ උන් අශ්වයින්ව ලිහා පිට්ටනියට ගෙන ගොස් දමා කරත්තය විකුණන්න දැම්මා.

ඊළඟ දවසෙ අගමැති රජතුමාගේ නවාතැනට ආවා. අගමැතිව දුටු රජතුමා පුදුම වී ” මම ඔබව මෙහෙදි දකින්නට බලාපොරොත්තු වුණේ නෑ”යි, කීවා.

”අපිට ඔබව නැති කරගන්න බෑ රජතුමනි”යි, ඇමතිතුමා කීවා... ”පාලනයේ වැඩකටයුතු පිළිවෙළට කරන්න එපැයි....” රජතුමනි.

ඇමතිතුමාගේ කතාව ඇහුණ රජතුමා, මද වෙලාවක් කල්පනාවක නියැලී හිඳ.... ”ඔබ කියන දේ හරි අගමැතිතුමනි.... රජතුමාගෙන් පස්සෙ අගමැතිතුමා තමා රට පාලනයට සුදුස්සා.... ඒක නිසා අදින් පස්ස පාලනයේ සියලුම වැඩ කටයුතු ඔබට බාරයි....”

ඒ වචන ඇහුව අගමැතිතුමා පුදුම වුණා. ඒත් රජතුමාගේ කතාවට එකඟ වී එතැනින් එන්න ආවා.


ටික වෙලාවකට පසු රජතුමාව මුණගැහෙන්න ආව රැජිණි ”ටීවෝස් ඔයා පුදුම දේවල් තමා කරන්නෙ”යි, මදක් කේන්තියෙන් පැවසුවා. ”අර තරම් විශාල මාලිගාවක මාව තනිකරල ආවම හරිද ?”

”ඔයා කියන එක ඇත්ත තමා.... ඒත් නවාතැනේ ගෙවන ම් ජීවිතය නිස්කලංකයි.... ඔයත් එන්න මා එක්ත මෙහෙ ජීවත් වෙන්න” යැයි රජතුමා රැජිණිට කීවා.

”මෙතැන ජීවත් වෙන්න ? ඒ දේ නම් කොහෙත්ම කරන්න බෑ”යි.... කීව රැජිණ, නැවතත් මාළිගාවට යන්න ගියා.

”අයියො ! ” රජතුමා දුක් වුණා. ”ඒත් ඉතින් තමන්නට කැමති දේ කරන්න තමන්ට පුළුවන්නෙ... ජීවිතය නිදහස් තැනක් නෙ....” රජතුමා එයාටම කියා ගත්තා.

සැඳල්ලට ගිය රජතුමා හා පැටියව බිම තබා මල් පැලේ හිරු දෙසට හැරෙව්වා. පහළ වීථීයෙන් සිනා හඬක් මතුවෙන්න පටන් ගත්ත නිසා රජතුමා එදෙස බැලුවා. ගම්වාසීන් රජතුමාට හිනා වෙන්න පටන්ගෙන....

”මෙයාටද මේ රජතුමා කියන්නෙ ? රජතුමෙක් වුණාට මෙයාට කිසිම දෙයක් නෑනේ. මාලිගාවක් නෑ.... සේවකයො නෑ.. රැජිණක් නෑ.. අඩුම ගානේ අශ්ව කරත්තයක්වත් නෑ.. මුකුත් නැති රජතුමා ! මුකුත් නැති රජතුමා !” ගම්මු හිනා වෙවී රජතුමාට අපහාස කරන්න පටන් ගත්තා. ඒ කතා සියල්ලම නිහඬව අසා  සිටිය රජතුමා අහස දෙස බැලුවා. හිරු එළිය රජතුමාගේ මුහුණට වැටුණා. හා පැටියා සහ මල් පැලය දෙසත් බලපු රජතුමා....

”මුකුත් නැති රජතුමා ?” යි කියාගෙන, මහා හඬින් හිනා වුණා. රජතුමා කොච්චර හයියෙන් හිනා වුණාද කියනවනම්, ඒ හිනා හඬ මුළු වීථීය පුරාම රැව් පිළිරැව් දුන්නා.


”මට හා පැටියෙක් ඉන්නවා.. මල් පැලයක් තියෙනවා.. හිරු එළිය විඳගන්න පුළුවන් සඳැල්ලක් තියෙනවා....”යි, රජතුමා හිනාවෙවී කීවා.

ඒ කතාව ඇහුණ ගම්මු කිසිවක් කියා ගත නොහැකිව සිය නිවෙස් බලා යන්න ගියා. ලොකු හුස්මක් ගත්ත රජතුමා හා පැටියට කැරට් අලයක් කන්න දී මල් පැලේටත් වතුර දා නිදහසේ කෑම කන්න පටන් ගත්තා.

කල්පනා කර බලා තීරණයක් ගත් රැජිණ කළුවර වැටෙන්නට පෙර රජතුමා එක්ක නවතින්නට නවාතැනට ආවා.









කතාව : එල් ෆන් ලීස්හවුට් සහ එරික් ෆන් ඔස්

සිතුවම් : පාවුලා ගෙරිට්සන්

පරිවර්තනය : මුතු පබා






මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook

ඔන්න එකෝමත් එක කාලෙක ඈත ගමක බොහොම කාරුණවන්ත ආච්චි කෙනෙකුයි සීයා කෙනෙකුයි ජීවත් වුණා.

"හාමිනේ, මං උඩහ කැලේට යනව, දර ඩිංගක් කපාගෙන එන්ට" ඔන්න දවසක් සීයා ආච්චිට කිව්වා. එහෙම කියලා ගේ පිටිපස්සෙ තියෙන කඳු මුදුනට යන්ට පිටත් වුණා.

සීයා කැලේට ගිහින් දර කප කපා ඉන්නකොට, එකපාරටම "දඩ්ස් - බඩස්, දඩස්- බඩස්" ගාන සද්දයක් ඇහෙන්ට පටන් ගත්තා. සද්දෙ ඇහුණේ කැලේ ඇතුළෙන්.

"මොකද්ද ඒ අමුතු සද්දෙ?" ඔන්න සීයා පුදුම වුණා. මේ අමුතු සද්දෙ මොකක්දැයි බලන්ට හිතපු සීයා පඳුරු අස්සෙන් රිංග රිංගා කැලේ ඇතුලට ඇවිදගෙන ඇවිදගෙන ගියා.

සීයා ඔහොම ඇවිදගෙන ඇවිදගෙන ගිහින් එළිමහන් බිමකට ආවා. ඒක නිකම්ම නිකං එළිමහන් බිමක් නෙමෙයි. සූමෝ ක්රීගඩා පිටියක්.සූමෝ පිට්ටනිය මැද හැඩි දැඩි මහත මී පැංචෙකුයි කෙට්ටු පොඩි මී පැංචෙකුයි සූමෝ සෙල්ලම් කරනවා.

"හහ්..හහ්...හා... මේක නම් හරිම අපූරුයි!"

එහෙම කියාපු සීයා ලඟ තිබුණු ගසකට මුවා වුනා.ඇස් දෙක අල්ලෙන් හොඳ හැටි පිස දමලා මී පැටවුන්ගේ සූමෝ සටන බලන්න ලැහැස්ති වුණා.

ඔන්න කෙට්ටු මීයා ඉන්නෙ සීයගෙ ගෙදර බව එතකොට සීය අඳුනා ගත්තා. මහත මීයා ගමේ බොහොම පොහොසත් ගෙදරක ඉන්නා මීයෙක් බවත් සීයා අඳුනා ගත්තා.

"අපේ පුංචී මී පැටියෝ, තව හයියෙන් , තව හයියෙන්!"

සීයා හැංගිලා ඉඳගෙන පුංචි මීයාව දිරිමත් කළා.ඒ වුණත් සීයාගෙ ගෙදර උන්නු මී පැංචා බොහොම දුර්වල කෙනෙක්.ඒ වෙනුවෙන් කරන්න පුළුවන් දෙයක් ඒ වෙලාවෙ තිබුණෙ නෑ.සටනට යන හැමවෙලාවෙම මහත මී පැංචා "දඩස්- බඩස්, දඩස්-බඩස්" ගාලා කෙට්ටු මී පැංචා ව වේගයෙන් පොළොවෙ ගැහුවා.

තමන්ගෙ ගෙදර ඉන්න කෙට්ටු පොඩි මී පැංචා ගැන සීයට බොහොම දුක හිතුණා.

ඔන්න ආපහු ගෙදර ආව සීයා ආච්චිට තමන් දැක්ක හැමදේම විස්තර ඇතිව කීවා.

"මට බොහොම කණගාටුයි. ඇත්තටම මට ඇඬෙන්ට ආවා. සෙල්ලම පටන් ගත්ත හැමවෙලාවෙම "දඩස්- බඩස්" "දඩස්-බඩස්" ගාල එහාටයි මෙහාටයි වැටිලා දූව්ලි නාපු හැටි. අපි එයාට කොහොමෙන් හරි උදවු කරන්ට ඕනෑ හාමිනේ. අපිත් බොහොම අමාරුවෙන් ජීවත් වෙන උදවිය නොවැ. ඉතින් හොඳ කෑමක් බීමක් කොහෙන්ද අපට?"

එහෙම කියලා සීයා දිග සුසුමක් හෙළුවා.

"මට පුළුවං අග්ගලා හදන්ට. අපි ඒවා කවමු මී පැංචට!" ඔන්න එතකොට ආච්චි පිළිතුරු දුන්නා.

අළුත් අවුරුද්දට ගන්ට කියලා ආච්චියි සීයයි දුම් මැස්සෙ හංගපු හාල් සුද්ද කරලා, කොටලා රසම රස අග්ගලා හැදුවා.

"වැඩියෙන් කෑවොත් වැඩි වැඩියෙන් දින්නන්න පුළුවන් නොවැ " එහෙම කිය කියා ආච්චියි සීයයි දෙන්නම එකතු වෙලා ඔන්න අග්ගලා ගුලි කරන්ට පටන් ගත්තා.

ඊට පස්සෙ මී පැංචා නිතර යන එන රාක්කයක් බලලා ඒක උඩින් අග්ගලා ගුලි කීපයක් තැබුවා.

පහුවෙනිද උදේ රාක්කය උඩ තියපු අග්ගලා ගුලි ඔක්කොම අතුරුදහන් වෙලා තිබුණා.

"අහා.. මී පැටියට අද නම් හොඳ හැටි සටන්කරන්ට පුළුවන් වෙයි හාමිනේ"

එහෙම කියාපු සීයා බොහොම සතුටින් කන්ද නැගලා කැලේට යන්ට පිටත් වුණා.

සීයා ආයෙමත් දර කපනවා. එතකොටම කලින් දවසෙ ඇහුණා වගේම "දඩස්-බඩස්" "දඩස්- බඩස්" සද්දය ඇහෙන්ට පටන් ගත්තා.

"ආහ්! අදත් සූමෝ සෙල්ලම් කරනවා වගෙයි" එහෙම කියාපු සීයා හිනා වෙවී හෙමි හෙමින් කැලේ ඇතුලට ඇවිදගෙන ඇවිදගෙන ගියා.

ඔන්න මහත මී පැංචා කකුළක් ඉහළට ඔසවලා වැරෙන් පහරක් ගහලා සටන් කරන වළල්ල මැදට ආවා.

"ඔහොම නවතිනවා!" එහෙම කියාගෙන කෙට්ටු මී පැංචත් වලල්ල මැදට ආවා.

ඔන්න දෙන්නම මැද්දට පැනලා පොරයට සූදානම් වුණා.මහා පුදුමයක් සිදුවෙමින් තිබුණා. මහත මී පැංචා වෙතට පැන්න කෙට්ටු මී පැංචා ඔහුව එක පහරින් ඔසවා "දඩස් -බඩස්" "දඩස්- බඩස්" හඬින් බිම පෙරළා දමන්ට වුණා.

"අපි ආයෙත් කරමු!" පැරදුනු මහත මී පැංචා කිව්වා. එවරත් මහත මී පැංචා ඔසවා පෙරලා දමන්ට කෙට්ටු මී පැංචාට හැකි වුණා. කොතෙක් වාරයක් තරඟ කළත් අවසානයේ දිනුම හිමි වුණේ කෙට්ටු මී පැංචට.

"පුදුමයක් නොවැ! කොහෙන්ද එකපාරටම මේ හැටි ශක්තියක් ඔහේට ලැබුණේ?" මහත මී පැංචා හිස දෙපසට වනමින් විමසා සිටියා.

"මං ඊයෙ රෑ බඩ පැලෙනකල් අග්ගලා කෑවා " දුප්පත් ගොවි ගෙදර ඉන්න කෙට්ටු මී පැංචා උත්තර දුන්නා.

"ඔහේ කොයිතරම් වාසනාවන්තද? ඒකට මං ඉන්න ගෙදර ඉන්න උදවිය? මහා ලෝබ මිනිස්සු ටිකක්. මුළු ජීවිතේටම අග්ගලා ගුලියක් වත් හදලා නැතුව ඇති. අපි මෙහෙම කරමු. අද රෑට මං එන්නම් ඔහේගෙ ගෙදරට. අනේ, යාළුවේ මටත් ආසයි අග්ගලා ගුලියක රස බලන්ට" පොහොසතාගේ ගෙදර ඉන්න මී පැංචා කිව්වා.

"ඒත්, මං ඉන්න ගෙදර උදවිය බොහොම දුප්පත්. ඔහේට පුළුවන් නම් සල්ලි ටිකක් අරන් එන්න, ඒක ලොකු උදව්වක් වෙයි" කෙට්ටු මී පැංචා කියා සිටියා.

" අපොයි, ඒක සුළු දෙයක්! මං ගේන්නම්, මං ගේන්නම්. සල්ලි නම් ඕනෑ තරමක් එහෙ තියෙනවා" මහත මී පැංචා කිව්වා.

"අවුරුද්දට තව බොහොම කල් තියෙනවා නොවැ. මේ හාල් ඔක්කොගෙම අග්ගලා හදලා ඇති තරමක් කන්ට දෙමු" යි කියලා මහළු ආච්චියි සීයයි ඔන්න ඒ අතරෙ කතා වුණා.

කලින් දවසෙ වගේම හාල් හෝදලා, සුද්ද කරලා, කොටලා අග්ගලා ගුලි හදලා රාක්කෙන් තිබ්බා.

ඒ විතරක් නෙමෙයි මේ කාරුණික ආච්චි රතුම රතු රෙදි කැබල්ලකින් හදාපු පුංචි රෙදිකඩවල් දෙකකුත් තැබුවා රාක්කෙන්, මී පැංචලා දෙන්නට ඇඳගන්ට.

ඔන්න පුරුදු විදියටම උදේම අවදි වෙලා බලද්දි අග්ගලා සියල්ලම අතුරුදන් වෙලා. පුංචි රෙදිකඩවල් දෙකත් අතුරුදන් වෙලා.

"හාමිනේ, හාමිනේ මං හිතන්නෙ පොහොසත් ගෙදර මී පැංචාත් මෙහේ ඇවිත් තියෙන හැඩයි" සීයා කිව්ව.

"අද කවුරු දිනයිද කියලා මට නම් හිතාගන්නවත් බෑ. බොහොම විනෝදජනක වෙයි අද නම්. හහ්...හහ්....හා!"

පුදුමයෙන් කියූ සීයා කැලේට යන්ට සූදානම් වුණා.

ඔන්න එතකොට සීයා දැක්ක ගොවි ගෙදර මුල්ලක රන් කාසි තුනක් වැටිලා තියෙන හැටි.

"හාමිනේ, හාමිනේ, පය ඉක්මන් කරලා මෙහෙ එන්ට. පොහොසත් ගෙදර මී පැංචා අපට හැබෑම වස්තුවක් ගෙනත් තියලා, මේ බලන්ට" සතුට ඉහවහා ගිය සීයා කෑගැහුවා.

ඉතිං මේ රන් කාසි දැකලා සතුටට පත් වුණු ආච්චියි සීයයි දෙන්නම හෙමි හෙමින් කන්ද නැගලා කැලෑවට ඇතුළු වුණා, මී පැංචලාගේ සූමො සටන නරඹන්ට.

වෙනදා වගේම ඔන්න සීයා දර කපන්ට පටන් ගත්තා. ආච්චි බලා හිටියා. කැළේ ඇතුලෙන් පුරුදු විදියටම "දඩස්-බඩස්, දඩස්-බඩස්" හඬ ඇහෙන්නට පටන් ගත්තා. හැබැයි ඒ හඬ වෙනදාට වඩා බොහොම වැඩියි.

"ආං..ආං ඇහෙනව සද්දෙ.පටන් අරගෙන වගෙයි. හනිකට යමු , හනිකට යමු, වෙන්නෙ මොකදැයි බලන්ට" මහළු ආච්චි අම්මාගේ අතින් අල්ලා ගත් සීයා කැළේ ඇතුළටම ඇවිදගෙන ගියා.

එතකොට ඒගොල්ලො දැක්කා, රතු පාට පුංචි රෙදිකඩවල් ඇඳගත් මී පැංචලා දෙන්නා සූමො පිට්ටනිය මැද සෙල්ලම් කරන අපූරුව. දෙන්නම කොයි තරම් ශක්තිවන්තද කියනවා නම් කවුද දිනුම් කියලා කියන්ට බැහැ. කොයිතරම් වාරගණනක් සෙල්ලම් කළත් ඒක එහෙමම තමයි.

එදා හවස් වෙනතුරුම ආච්චියි සීයයි මී පැංචලාගේ සූමෝ සෙල්ලම් බලා හිටියේ බොහොම සතුටින්.

ඔන්න ඉතිං එදා ඉඳලා පොහොසත් ගෙදර මී පැංචා ගෙනා රන් කාසි නිසා ආච්චියි සීයයි බොහොම සැපෙන් සතුටින් කල් ගෙවුවා.



ජපන් ජනකතාවක් ඇසුරිනි
ජපන් බසින් සිංහලට නැගුවේ - ප්‍රශංසනී පරණවිතාන


මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook


කටු අකුලේ මල් ඇහැරේ
රළු අහසේ තරු හිනැහේ
රළු අහසේ තරු හිනැහේ
කටු අකුලේ මල් ඇහැරේ

තුඩින් තුඩේ රැව් නැගේ
කුරුළු ගී ගායනා
කුළින් කුළේ වැතිරෙතේ
සුදු වළා පාවෙනා

ළමයින් සුවඳයි
කඳුළක දිලිසෙයි
අඳුරු විමානේ
රන්මිණි පහනයි

කටු අකුලේ මල් ඇහැරේ
රළු අහසේ තරු හිනැහේ
රළු අහසේ තරු හිනැහේ
කටු අකුලේ මල් ඇහැරේ

අනාථ දෑසේ
කෙම්බිම ඔබමයි
මිලාන ලෝකේ
හසරැලි උයනයි

තුඩින් තුඩේ රැව් නැගේ
කුරුළු ගී ගායනා
කුළින් කුළේ වැතිරෙතේ
සුදු වළා පාවෙනා

කටු අකුලේ මල් ඇහැරේ
රළු අහසේ තරු හිනැහේ
රළු අහසේ තරු හිනැහේ
කටු අකුලේ මල් ඇහැරේ



ගී පද : බන්දුල නානායක්කාරවසම්
ගීත මියැසිය : ආනන්ද ගමගේ
ගායනය : එඩ්වඩ් ජයකොඩි සහ ළමා පිරිසක්



සිංඳුව මෙතැනින් අහන්න....



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook

අපේ තාත්ගෙ වඩු මඩුවේ
මෙන්න බොලේ මං ලී කොටයක්
ඔන්න ඉතිං මං රූකඩ පැංචා
රැවුලෙන් අදිනවා තාත්තගේ



ටින් ටින් දුවගෙන දුවගෙන ආවා
පුදුම හීනයක් මං දැක්කා
හිම කුමාරිය නිදියන් උන්නා
මුතු කුමාරිය අඞ අඞ උන්නා
සින්ඩරෙල්ලත් පැත්තක උන්නා
අන්දරේ ඉඳගෙන සීනිත් කෑවා
පුදුම හීනයක් මං දැක්කා


අඟුටු මිට්ටො නට නට යනවා
මහ දැන මුත්තා මුට්ටි බිඳිනවා
කුමාරයෝ අශ්වයො පිට යනවා
අණබෙරකාරයො වීදියෙ යනවා
ඇතෙක් බරට මට වස්තු ලැබෙනවා
ගුවන් යානෙකින් පාසල් යනවා...

- කේ. කේ. සමන් කුමාර මාමා -
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook

වැඩ බැරි දාස චිත්‍ර ඇඳීමට පටන් අරගෙන මුහුණ පෑ කරදරය ඔය ළමයින් දන්නවා නොවැ. ඔන්න ඉතින් ඉන් පසු ඔහු කවි ලියන්නට පටන් ගත්තා. ඔහු අඳුනන කවියෙක් හිටියා ඔදුවාන්චික් වීදියේ. එයාගේ හැබෑ නම පූදික්. නමුත් කවීන් ලස්සන නම් වලට කැමති බව ප්‍රසිද්ධ දෙයක්. ඉතින් පූදික් කවි ලියන්ට පටන් ගත්තයින් පස්සෙ එයා "කවි කුසුම්" යන නමින් ප්‍රසිද්ධ වුණා.

වැඩ බැරි දාස දවසක් දා කවි කුසුම් හමුවීමට ඇවිත් මෙහෙම කියුවා: "කවි කුසුම්,මාත් කැමතියි කවියකු වීමට. මට කවි හදන හැටි උගන්වන්න."

"කවි තැනීමට ඔයාට දක්සතාවක් තියෙනවද?" කවි කුසුම් ඇහුවා.

"අපොයි තියෙනවා. මම බොහොම දක්ස ළමයෙක්" වැඩ බැරියා පිළිතුරු දුන්නා.

"එය හොයා බලන්ට ඕන. ඔයා රිද්මය, එළිසමය වගේ දේ දන්නවද?"

"අපොයි, ඒවා දන්නේ නැහැ"

"වච එක විදියේ ශබ්දයකින් අවසන් වෙන විට ඒකට එළිසමය කියලා කියනවා. උදාහරණ මෙන්න: බස්සා -කුස්සා, මැස්සා-පිස්සා. දැන් ඔයාට තේරුම් ගන්ට පුළුවන්ද?"

"ඔව්, තේරුම් ගත්තා."

"එහෙනම් වත-ගොත නැමැති වචනයට සෑහෙන වචනයක් කියන්න" කවි කුසුම් ඉල්ලා හිටියා.

"ළපටි සිත" වැඩ බැරි දාස ගත් කටටම කියාපි.

"ඔතන එළි සමය හරි නැහැ. ඒ වචන වල ගැළපීම හරි නැහැ" කවි කුසුම් කියුවා.

"ඇයි නැත්තේ? වචන දෙකම ඉවර වෙන්නේ "ත" ශබ්දයෙන් නෙව"

"ඒ විතරක් මදි. වචන දෙක ශබ්දය අනුවත් සමාන වෙන්ට ඕන. ඔන්න අහගන්ට: වත-ගොත, සිත-මෙත, කැත - නැත, ගත -සිත"

"ඔව්! ඔව්! දැන් මට තේරුම් ගත හැකියි! පොල්ල -බෙල්ල, තල්ල -මල්ල, කොල්ලා -බල්ලා, ජුන්ටා-බන්ටා! හා-හා-හා!"

"හොඳයි, එහෙනම් "කිත්තම්" නැමැති වචනයට ගැළපෙන පදයක් හොයන්න." එහෙම කියුවේ කවි කුසුම්.

"ලත්තම්" වැඩ බැරි දාස ගත් කටටම පිළිතුරු දුන්නා.

"ලත්තම් කියන්නෙ මොනවටද?"

"එහෙම වචනයක් නැද්ද?"

"සත්තකින්ම නැහැ.."

"එහෙනම් ඉරුත්තම්"

"ඒ වචනයේ තේරුම මොකද්ද?" කවි කුසුම් පුදුම වෙලා ඇහුවා.

"ඉරනව කියන වචනයෙන්ම තමයි ඒ වචනය ඇවිත් තියෙන්නේ" වැඩ බැරියා විස්තර කළා.

"නුඹ බොරු ඇද බෑම නවත්වාපන්. වචන ගැළපෙනවා විතරක් නොවෙයි, කාව්‍යමය තේරුම් තියෙන්ටත් ඕන. නිකන් බොරුවට හිතෙන් මවා ගන්ට එපා. "

"වෙනින් වචනයක් මට හිතා ගැනීමට බැරි නම්?"

"එහෙනම් ඔයාට කවි පද බැඳීමට දක්සතාවයක් නැහැ"

"එහෙනම් කිත්තම් කියන වචනයට ගැලපෙන වචන නුඹම හදාපන්!" එහෙම කියුවේ වැඩ බැරිදාස.

" දැන්ම හදන්නම්!" කවි කුසුම් පිළිතුරු දුන්නා.

ඔහු කාමරය මැද සිටගෙන, දෑත බැඳගෙන, හිස පැත්තකට හරවාගෙන කල්පනා කරන්ට පටන් ගත්තා. ඔන්න ඊට පස්සේ කවි කුසුම් වහලේ සීලිම දෙස බලාගෙන කල්පනා කළා. එයා කාමරයේ එහාට මෙහාට ගමන් කරමින් තොල මතුරන්ට පටන් ගත්තා.

"කිත්තම්, ලත්තම්, බත්තම්, පත්තම්, නත්තම්" ඔහොම මතුරලා හිටි හැටියේම මෙහෙම කියුවා:

"මොන කාලකන්නි වචනයක්ද! ඒක කවියට ගලපන්ට බැහැ!"

"ඔන්න පේනවා නේද, නුඹ කවියෙක් වෙලත් එළිසමය නැති වචන මට දුන්නා, ඊට පස්සෙ කියනවා මම දක්සතාවත් නැති කෙනෙක් කියලා." වැඩ බැරි දාස කවි කුසුම්ට දොස් පැවරුවා.

"අපොයි නුඹට කවි හදන්ට දක්සතාවක් තියෙනවා. නුඹ දක්සයි, දක්සයි. මගේ හිස කකියනවා. නුඹට මම මෙහෙම කියන්නම්: එළිසමය තියෙන්නත් ඕන, කවි වල අදහසක් තියෙන්නත් ඕන. අන්න ඒ වගේ කවි ලියන්ට පුළුවන්නම් නුඹ කවියෙක්."

"ඒක ඒතරම්ම ලේසි වැඩක්ද?" වැඩ බැරිදාස මවිතයට පත් වුණා.

"සත්තකින්ම ලෙහෙසියි. ප්‍රධාන දේ සහජ දක්සතාවක් තියෙන්ට ඕන."

වැඩ බැරිදාස ගෙදර ඇවිත් මුළු දවස තිස්සේම කවි ගොතන්ට පටන් ගත්තා. කාමරය තුල ඇවිදිමින්, වරෙක බිම බලමින්, තවත් වරෙක සීලිම දෙස බලමින් දෑතින් නිකට අල්ලා ගනිමින් තොල මතුරන්ට වුණා.
ඔන්න අන්තිමේදි එයා කවියක් හැදුවා.

"සෝයුරනි! මම කවියක් පද බැන්දා. මෙන්න අහපල්ලා!"

"ඉතින්, ඉතින් කියාපන්කෝ!" හැමදෙනාම ඔහුගෙන් ඉල්ලා සිටියා.

"මම කවි හැදුවේ නුඹලා ගැනයි. පළමු වැනි කවිය දක්ස පාල ගැනයි. මෙන්න අහපල්ලා!-

දක්සපාල ගියේ ගඟට නාන්නට
එළුවට උඩින් පැනලා වැටුනා වලකට!"

"මොනවා? මම වලට වැටුනේ කවදාද?" දක්සපාල ඇහුවා.

"ඒක ඇත්ත තමයි, ඒ වුනාට මම එහෙම ලියුවේ එළිසමය ගලපා ගන්ට" වැඩ බැරියා විස්තර කළා.

"ඉතින් නුඹේ එළිසමය රැකගන්ට පට්ට පල් බොරුවක් ඇද බානවද?" දක්සපාල ඇහුවේ බොහොම කේන්තියෙන්.

"සත්තකින්ම, මම ඇත්ත සිද්දි ගැන් ලියන්නේ මොකටද? ඇත්ත ගැන කවි ලියන්ට ඕන නැහැ."

"නුඹ තවත් ඔය වගේ කවි ලියුවොත්, නුඹට වැඩ වරදීවි" දක්ස පාල තර්ජනය කරලා මෙලෙස ඇසුවා.: " ඉතින් නුඹ ලියාපු අනිත් කවි මොනවාද?"

"කඩිනම් රාළ ගැන ලියාපු කවිය අහපන්,-

හැදුනා කඩිනම් රාළට බඩගින්නක්
ගිල්ලා හීතල ඉස්තිරික්කයක්"

"සෝයුරනි! වැඩ බැරියා කියන මේ කවි මොනවද? මම කවදාවත් ඉස්තිරික්ක ගිලලා නැහැ" කඩිනම් රාළ වේගයෙන් කෑගැහුවා.

"නුඹ හෑගහන්ට එපා. මම කවිය ගෙතුවේ එළිසමය රැකගන්ට ඕම හන්දා. හීතල ඉස්තිරික්කයක් කියලා ලියුවේ බඩගින්නක් කියන වචනයට ගැළපෙන විදියට," වැඩ බැරි කවියා කිව්වා.

"මම හීතල ඉස්තිරික්කයක් හරි රස්නේ තියෙන ඉස්තිරික්කයක් හරි කවදාවත් ගිලලා නැහැ!"

"ඉතින් මම කියන්නේ නැහැ නෙව, ඔයා රස්නේ තියෙන ඉස්තිරික්කයක් ගිල්ලා කියලා." වැඩ බැරි කවියා කඩිනම් රාළව සනසලා, ඈනුමා ගැන ඔහු ලියාපු කවි ගැන මෙහෙම කියුවා: "ඈනුමා ගැන ලියාපු කවි අහපල්ලා!-


"ඈනුමාගේ කොට්ටය යට
සඟවා තලප රෑ කෑමට."

ඈනුමා දුවලා ගිහිල්ලා ඇඳේ තිබුණු කොට්ටය ඔසවා බැලුවා.

"හරිම බොරුවක්! මගේ කොට්ටය යට තලප නැහැ"

"අපේ ඈනුමාට කවි ගැන කිසිම දැනීමක් නැහැ. මම ඒ වචන ලියුවේ එළිසමය අනුව වචන ගලපා ගන්ට විතරයි. ඔන්න අහපල්ලා මම එඬරු තෙල් දොස්තර ගැන ලියාපු කවිය,"

"සෝයුරනි! වැඩ බැරියාගේ මේ විකාර වලට ඉඩ දියයුතුද? එයා හැම දෙනා ගැනම පට්ටපල් බොරු ලියා තියෙනවා. ඒවා අප ඇසිය යුතුද?"

"නවත්වාපන්! නුඹගේ ඔය පල් හෑලි අහන්ට අපි තව දුරටත් ලෑස්ති නැහැ. නුඹ ලියා තියෙන්නේ කවි නොවෙයි, මිනිස්සුන්ට නින්දා කරන බොරු කතා!"

එවිට දක්සපාලයි, කඩිනම් රාළයි, ඈනුමායි විතරක් ඒ අදහසට විරුද්ධ වෙලා කෑ ගැසුවා.

"අනිත් අය ගැන ලියාපු කවිත් කියවාපන්! අපි ඒවා අහන්ට කැමතියි. ඒ ගොල්ල අපි ගැන ලියාපු කවිත් ඇහැව්වා නොවේද?"

"නැහැ! ඕන නැහැ. අපි ඒවා අහන්ට කැමති නැහැ!" අනිත් කුරුමිට්ටෝ ළමයි සියළු දෙනාම එකවර කියුවා.

"නුඹලා කැමති නැතිනම් මම ඒ කවි අල්ලපු ගෙදර මිනිසුන්ට කියවන්නම්" වැඩ බැරි කවියා කිව්වා.

"මොනවා? නුඹ අල්ලපු ගෙදර මිනිසුන් ඉදිරියේ අපට අවමන් කරන්ට හදනවද? නුඹ එහෙම කළොත් ආපහු මේ ගෙදරට එන්නේ නැහැ!"

"සෝයුරනි! මම එහෙම කරන්නේ නැහැ. නුඹලා මා සමග තරහ වෙන්ට එපා." වැඩ බැරි දාස කියුවා.

ඔන්න ඉතින් එදා සිට කුසුම් පුරයේ වැඩ බැරිදාස කවි ලිවීම අතහැර දැම්මා.

නිකොලායි නෝසව්
අනුවාදය : දැදිගම වී රුද්‍රිගු
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails