Showing posts with label රුසියානු කතන්දර. Show all posts
Showing posts with label රුසියානු කතන්දර. Show all posts

"ඔන්න මම බිත්තරය බිඳගෙන එළියට ආවා". කුකුළු පැටියා බිත්තරෙන් එළියට ඔලුව දමාගෙන වටපිට බැලුවා.

"මොකද මේ තරම් එළිය වැටිලා තියෙන්නේ?" ඌ ඇසුවා. කුකුළු පැටියා වටපිට බලා උඩ බැලුවා. ඉරු රැස් හන්දා ඌට ඇස් දෙක පියාගන්ට සිදු වුණා. "මම දැන් දන්නවා! ඉර තමා මෙහෙම එළිය දෙන්නේ. ඉරත් මම වගේම කහ පාටයි. වෙනස මම බිම ඉන්නවා, ඉර උඩ ඉන්නවා. නුඹ මට ඉස්සෙල්ලා බිත්තරය බිඳගෙන ඉහළ නැග්ගාද?" කුකුළු පැටියා ඉර දිහා බලා ඇසුවා.


ඉර කුකුළු පැටියාට උත්තර නොදී හිනා වුණා. එතකොට ඉර අව්ව තවත් වැඩි වුණා. කුකුළු පැටියා බිත්තරයෙන් එළියට විත් පුංචි කකුල් වලින් තණ බිස්සට දුව ගියා.

තරමක් ඈත දුඹුරු පාට පුංචි ලී ගෙයක් තියෙනවා ඌ දැක්කා. ගේ ඇතුලේ කවුදෝ හුස්ම ගන්නවා. කුකුළු පැටියා ගෙට් හොටෙන් තට්ටු කලා.

"මේ ගෙදර ඉන්නේ කවුද?"

කිසිවෙක් උත්තර දුන්නේ නෑ.

ගෙයි ඇතුලේ කවුදෝ කතා කරනවා වගෙ ඇහුණා. ඊට පස්සෙ ගේ ඇතුලේ සිට ලොකු ඔළුවක් එළියට දැමු සතෙක් කතා කළා.

"නුඹ කවුද?" කුකුළු පැටියා ඇසුවා.

ලොකු ඔළුවක් ඇති සතා නිදිමතෙන් වගේ කතා කලා.

"මේ ගෙයි අයිතිකාරයා මම තමයි."

කුකුළු පැටියා පුදුම වුණා.

"අයිතිකාරයා? ගෙදර?"

"ඔව්" බලු පැටියා කිව්වා.

බලු කූඩුව අයිතිකාර බලු පැටිය දිහා බලා කුකුළු පැටියා මෙහෙම කිව්වා.

"එන්න මා සමග සෙල්ලම් කරන්න"

"නුඹ ළඟ මොනව හරි තියෙනවද?" බලු පැටියා ඇහුවා.

"නැහැ" කුකුළු පැටියා කණගාටුවෙන් කිව්වා.

"අපොයි, එහෙනම් නුඹ එක්ක සෙල්ලම් කරන්න මට බැහැ" බලු පැටියා කීවා.


"බැරි මොකද? බැරි මොකද? මේ බලන්න මට හොඳට උඩ පනින්න පුළුවනි" කියලා කුකුළු පැටියා කීවා. ඌ දෙතුන් වරක් උඩ පැන්නා.

බලු පැටියා ඈනුමක් ඇරලා බලු කූඩුවට රිංගුවා.

කුකුළු පැටියාට මතක් වුණා;

"ඔන්න බලන්න, මගෙ ලඟ තියෙන සෙල්ලම් බඩුව!" කුකුළු පැටියා බිත්තර කටුව පෙන්නුවා.

බලු පැටියා අකමැත්තෙන් කූඩුවෙන් එළියට ආවා.

"හරි සෙල්ලම් බඩුවක් තමයි! නුඹේ බිත්ත්ට කටුව මං එක පහරින් පොඩි කර දමනවා! එක පහරයි! දැක්කද?" බලු පැටියා පා පහරක් ගහලා බිත්තර කටුව පොඩි කළා.

කුකුළු පැටියාට හොඳටම දුක හිතුණා.

"මා ළඟ... මා ළඟ.."

වටේටම බොහෝ දේ තිබුණා. නිල් පාට පිට්ටනි. ලස්සන සමනලයෝ, වතුර වලවල්. ඒ වතුර වලවල් වලට ඉරු එළිය වැටී තිබෙනවා.

"මගේ ළඟ තවත් සෙල්ලම් බඩුවත් තියෙනවා." කුකුළු පැටියා ඉර පෙන්නලා කිව්වා.

බලු පැටියා හිනාවුණා.

"හා!හා!ඉර! ඉර කාටවත් අයිති නැහැ!"

"අයිති නැතිද?"

"නැහැ"

බලු කූඩුව කාගෙද?"

"මගේ!"

"නුඹගෙද?"

"මගේ!"

ඉර කාගෙද?"

"කාගෙවත් නොවේ!"

"කාගෙවත් නොවේ නම්.. ඉර කාටවත් අයිති නැතිනම්, මම අරගන්නම්!

කුකුළු පැටියා මෙහෙම කියලා ඉරු රැස් වැටී තියෙන වතුර වළක් ලඟට ගියා.

"නැවතියන්, කුකුළු පැටියා!" බලු පැටියා කෑ ගැසුවා.

" මම නුඹට මගේ කූඩුවෙන් බාගයක් දෙන්නම්. නුඹ ඉර අරගන්ට එපා. හොඳද?"

"නුඹේ බලු කූඩුවෙන් බාගයක් මට මොකටද? මට එයින් ඇති ප්‍රයෝජනය කුමක්ද?" කුකුළු පැටියා ඇහුවා.

"ප්‍රයෝජනය කුමක්ද? මෙන්න මේකයි. කූඩුවෙන් බාගයක් නුඹේ. නුඹ මම වගේම අයිතිකාරයෙක්!"

"හොඳයි" කුකුළු පැටියා කැමති වුණා.


බලු පැටියා කියතක් හොයාගෙන ඇවිත් කූඩුව දෙකට කැපුවා. ලී කුඩුවලින් පුසුඹක් පැතිර ගියා. කූඩුව දෙකට වෙන්වුණා. ලී කුඩු මැද වාඩි වුනු බලු පැටියා බොහොම සතුටු වුණා. උගේ දිවේත් ලී කුඩු ටිකක් තිබුණා. කුකුළු පැටියා ඇවිත් බල්ලාගේ දිවට කටින් පිම්බා. ලී කුඩු සුළඟට වීසිවෙලා දෙදෙනාටම කිඹුහුන් ගියා.

"ඔන්න කූඩුව දෙකට කැපුවා. දෙදෙනාටම ඉන්ට පුළුවනි" බලු පැටියා කීවා.


බලු පැටියාට අයිති කෑල්ලෙ බලු පැටියාත්, කුකුළු පැටියාට අයිති කෑල්ලෙ කුකුළු පැටියාත් හිටියා. බලු පැටියා ඔළුව හොලවලා බොහොම සතුටින් මෙහෙම කීවා.

"අපි හොඳ වැඩක් කළා නෙවද?"

"ඔව්" කුකුලු පැටියා උත්තර දුන්නා. ඌට හීතල දැනුනු හන්දා ඌ කූඩුවේ මුල්ලකට වෙලා උණුහුම් වෙන්ට පටන් ගත්තා. එහෙත් ඌට කොහොමටවත් උනුහුම් වෙන්ට බැහැ.

ඉර වළාකුලකට මුවා වෙලා නොපෙනී ගියා. හැම දෙයක්ම කළු ගැහිලා අවලස්සන වුනා. සීත හුලං හමා ගියා. වැස්ස වහින්ට පටන් ගත්තා.

"කුකුළු පැටියො!" බලු පැටියා කතා කළා.

"මොකද?" කුකුළු පැටියා හීන් හඬින් ඇහුවා.

"නුඹ වරෙන් මගේ ගෙදරට, මම එන්නම් නුඹේ ගෙදරට"

"ඉස්සෙල්ල එන්නෙ කවුද?"

"කුකුළු පැටියා මගේ ගෙදරට එන්න"

"හොඳයි"

කුකුලු පැටියා බලු පැටියා ළඟට ගියා. බලු පැටියා ළඟත් සීතලයි. උණුහුම් වෙන්ට බැහැ. බලු පැටියා ළඟට තුරුළු වුණු කුකුළු පැටියා කළු පාට වතුර වල දිහා බැලුවා. බලු පැටියාට හොඳටම් සීතල නිසා ඌ ඉක්කා ගහන්ට පටන් ගත්තා.

"නුඹ දන්නවද, මට හොඳ වැඩක් කල්පනා වුනා" කුකුලු පැටියා කීවා.

"මොකද්ද?"

"අපි දෙදෙනාම ආයෙමත් මේ කූඩුව එකට එක් කරමු. අපි දෙන්නම එකම කූඩුවේ වාසය කරමු. කුකුළු පැටියයි බලු පැටියයි යාළු වෙලා ඉඳිමු"


දෙදෙනාම බොහොම සතුටු වෙලා හිනා වෙන්ට පටන් ගත්තා.

වළාකුළ පාවෙලා ගියාට පස්සෙ ඉර බිම බැලුවා. පුංචි බලු කූඩුවේ ඉඳගෙන බලු පැටියයි, කුකුළු පැටියයි බලන සැටි ඉර දැක්කා. ඉර වටේට පායලා බටහිරින් බැහැලා ගියා.

"අද ඉර බැහැලා ගියාට ගෙට ආයෙමත් පායාවි. ඔව්. ඉර හැමදාම පායනවා. දැන් ඉර අපි දෙදෙනාටම අයිතියි" කියලා බලු පැටවා කීවා.

දෙදෙනාම බොහොම සතුටු වුණා.

-යූරි අවෙරින්කොව්-
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook

පැණි පෙරෙනව හරි සුවඳයි
වලස් පැටිය පැණි කනවා
පැණි වෙනුවට
කට ඇතුළට
මී මැස්සෝ රිංගනවා


පාන්දරින් නැගිටලා
බැද්ද දිගේ පැන පැන ගොස්
ස්ට්රෝදබෙරි ගෙඩි කනවා
ගෙඹි පැටවුන් තුන්දෙනා


පාන්දරින් කැලේට ගොස්
මල් නොතලා
කොළ නොකඩා
පිනි බොන්නට
ආසයි මම


පොඩි හුළඟක් හැමූ විගසින්
තනකොළ මල් සෙලවුණ විට
දඩිබිඩි ගා පැන දුවන්නෙ
දිග කන් ඇති
ලොකු ඇස් ඇති
ලස්සන පොඩි හා පැටවුන්.


කුරුමිණියෙකු වටකරගෙන
තාර පැටව් ටොකු අනිනව
කුරුමිණියා
අඬු දිගු කොට
පෙරටම යයි
සටන් බිමට.


එන්න එන්න මා ළඟට
මා දැන් ලොකු කුකුළෙක්
මගේ හොටෙන් ඇනපු ගමන්
පුංචි ඔබ කෑ ගසාවි.


වටු පැටියගෙ ඔළුව වටේ
බත් කූරෙක් කැරකෙනවා
කටට වැටෙන තුරු ඒකා
කට ඇරගෙන බලා සිටී


බිලි පිත්තක් අතින් රැගෙන
මාළු බාන්නෙක් ඇල ලඟ
දවල් බතට, කිරි හොද්දට
මාළු ටිකක් අල්ල ගන්ට
පැය ගණනක් දුක් විඳිනව


වැහි කාලෙට අපේ සෙවන
ලොකු ලොකු මේ හතු විතරයි
මොර සූරන මහ වැස්සේ
හතු යට අප ලැග ගන්නේ


පවන වගේ දුවනවා
වඳුරා වගේ පනිනවා
පුංචි පැටිය පැන පැන යයි
කුරුළු පැටව් මල් ගෙන යයි.


රුවැති, හැඩැති
අස්ස පැටව්
බෙර තාලෙට
නට නට යති.


අං එන හන්දා
අයියයි මලයයි
පොර කා ගනිති
සමනලයෝ උන් දෙන්නට
සිනාසෙති.

සිංහල අනුවාදය : ප්‍රගති ප්‍රකාශක මන්දිරය මොස්කව්
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook

වැඩ බැරි දාස චිත්‍ර ඇඳීමට පටන් අරගෙන මුහුණ පෑ කරදරය ඔය ළමයින් දන්නවා නොවැ. ඔන්න ඉතින් ඉන් පසු ඔහු කවි ලියන්නට පටන් ගත්තා. ඔහු අඳුනන කවියෙක් හිටියා ඔදුවාන්චික් වීදියේ. එයාගේ හැබෑ නම පූදික්. නමුත් කවීන් ලස්සන නම් වලට කැමති බව ප්‍රසිද්ධ දෙයක්. ඉතින් පූදික් කවි ලියන්ට පටන් ගත්තයින් පස්සෙ එයා "කවි කුසුම්" යන නමින් ප්‍රසිද්ධ වුණා.

වැඩ බැරි දාස දවසක් දා කවි කුසුම් හමුවීමට ඇවිත් මෙහෙම කියුවා: "කවි කුසුම්,මාත් කැමතියි කවියකු වීමට. මට කවි හදන හැටි උගන්වන්න."

"කවි තැනීමට ඔයාට දක්සතාවක් තියෙනවද?" කවි කුසුම් ඇහුවා.

"අපොයි තියෙනවා. මම බොහොම දක්ස ළමයෙක්" වැඩ බැරියා පිළිතුරු දුන්නා.

"එය හොයා බලන්ට ඕන. ඔයා රිද්මය, එළිසමය වගේ දේ දන්නවද?"

"අපොයි, ඒවා දන්නේ නැහැ"

"වච එක විදියේ ශබ්දයකින් අවසන් වෙන විට ඒකට එළිසමය කියලා කියනවා. උදාහරණ මෙන්න: බස්සා -කුස්සා, මැස්සා-පිස්සා. දැන් ඔයාට තේරුම් ගන්ට පුළුවන්ද?"

"ඔව්, තේරුම් ගත්තා."

"එහෙනම් වත-ගොත නැමැති වචනයට සෑහෙන වචනයක් කියන්න" කවි කුසුම් ඉල්ලා හිටියා.

"ළපටි සිත" වැඩ බැරි දාස ගත් කටටම කියාපි.

"ඔතන එළි සමය හරි නැහැ. ඒ වචන වල ගැළපීම හරි නැහැ" කවි කුසුම් කියුවා.

"ඇයි නැත්තේ? වචන දෙකම ඉවර වෙන්නේ "ත" ශබ්දයෙන් නෙව"

"ඒ විතරක් මදි. වචන දෙක ශබ්දය අනුවත් සමාන වෙන්ට ඕන. ඔන්න අහගන්ට: වත-ගොත, සිත-මෙත, කැත - නැත, ගත -සිත"

"ඔව්! ඔව්! දැන් මට තේරුම් ගත හැකියි! පොල්ල -බෙල්ල, තල්ල -මල්ල, කොල්ලා -බල්ලා, ජුන්ටා-බන්ටා! හා-හා-හා!"

"හොඳයි, එහෙනම් "කිත්තම්" නැමැති වචනයට ගැළපෙන පදයක් හොයන්න." එහෙම කියුවේ කවි කුසුම්.

"ලත්තම්" වැඩ බැරි දාස ගත් කටටම පිළිතුරු දුන්නා.

"ලත්තම් කියන්නෙ මොනවටද?"

"එහෙම වචනයක් නැද්ද?"

"සත්තකින්ම නැහැ.."

"එහෙනම් ඉරුත්තම්"

"ඒ වචනයේ තේරුම මොකද්ද?" කවි කුසුම් පුදුම වෙලා ඇහුවා.

"ඉරනව කියන වචනයෙන්ම තමයි ඒ වචනය ඇවිත් තියෙන්නේ" වැඩ බැරියා විස්තර කළා.

"නුඹ බොරු ඇද බෑම නවත්වාපන්. වචන ගැළපෙනවා විතරක් නොවෙයි, කාව්‍යමය තේරුම් තියෙන්ටත් ඕන. නිකන් බොරුවට හිතෙන් මවා ගන්ට එපා. "

"වෙනින් වචනයක් මට හිතා ගැනීමට බැරි නම්?"

"එහෙනම් ඔයාට කවි පද බැඳීමට දක්සතාවයක් නැහැ"

"එහෙනම් කිත්තම් කියන වචනයට ගැලපෙන වචන නුඹම හදාපන්!" එහෙම කියුවේ වැඩ බැරිදාස.

" දැන්ම හදන්නම්!" කවි කුසුම් පිළිතුරු දුන්නා.

ඔහු කාමරය මැද සිටගෙන, දෑත බැඳගෙන, හිස පැත්තකට හරවාගෙන කල්පනා කරන්ට පටන් ගත්තා. ඔන්න ඊට පස්සේ කවි කුසුම් වහලේ සීලිම දෙස බලාගෙන කල්පනා කළා. එයා කාමරයේ එහාට මෙහාට ගමන් කරමින් තොල මතුරන්ට පටන් ගත්තා.

"කිත්තම්, ලත්තම්, බත්තම්, පත්තම්, නත්තම්" ඔහොම මතුරලා හිටි හැටියේම මෙහෙම කියුවා:

"මොන කාලකන්නි වචනයක්ද! ඒක කවියට ගලපන්ට බැහැ!"

"ඔන්න පේනවා නේද, නුඹ කවියෙක් වෙලත් එළිසමය නැති වචන මට දුන්නා, ඊට පස්සෙ කියනවා මම දක්සතාවත් නැති කෙනෙක් කියලා." වැඩ බැරි දාස කවි කුසුම්ට දොස් පැවරුවා.

"අපොයි නුඹට කවි හදන්ට දක්සතාවක් තියෙනවා. නුඹ දක්සයි, දක්සයි. මගේ හිස කකියනවා. නුඹට මම මෙහෙම කියන්නම්: එළිසමය තියෙන්නත් ඕන, කවි වල අදහසක් තියෙන්නත් ඕන. අන්න ඒ වගේ කවි ලියන්ට පුළුවන්නම් නුඹ කවියෙක්."

"ඒක ඒතරම්ම ලේසි වැඩක්ද?" වැඩ බැරිදාස මවිතයට පත් වුණා.

"සත්තකින්ම ලෙහෙසියි. ප්‍රධාන දේ සහජ දක්සතාවක් තියෙන්ට ඕන."

වැඩ බැරිදාස ගෙදර ඇවිත් මුළු දවස තිස්සේම කවි ගොතන්ට පටන් ගත්තා. කාමරය තුල ඇවිදිමින්, වරෙක බිම බලමින්, තවත් වරෙක සීලිම දෙස බලමින් දෑතින් නිකට අල්ලා ගනිමින් තොල මතුරන්ට වුණා.
ඔන්න අන්තිමේදි එයා කවියක් හැදුවා.

"සෝයුරනි! මම කවියක් පද බැන්දා. මෙන්න අහපල්ලා!"

"ඉතින්, ඉතින් කියාපන්කෝ!" හැමදෙනාම ඔහුගෙන් ඉල්ලා සිටියා.

"මම කවි හැදුවේ නුඹලා ගැනයි. පළමු වැනි කවිය දක්ස පාල ගැනයි. මෙන්න අහපල්ලා!-

දක්සපාල ගියේ ගඟට නාන්නට
එළුවට උඩින් පැනලා වැටුනා වලකට!"

"මොනවා? මම වලට වැටුනේ කවදාද?" දක්සපාල ඇහුවා.

"ඒක ඇත්ත තමයි, ඒ වුනාට මම එහෙම ලියුවේ එළිසමය ගලපා ගන්ට" වැඩ බැරියා විස්තර කළා.

"ඉතින් නුඹේ එළිසමය රැකගන්ට පට්ට පල් බොරුවක් ඇද බානවද?" දක්සපාල ඇහුවේ බොහොම කේන්තියෙන්.

"සත්තකින්ම, මම ඇත්ත සිද්දි ගැන් ලියන්නේ මොකටද? ඇත්ත ගැන කවි ලියන්ට ඕන නැහැ."

"නුඹ තවත් ඔය වගේ කවි ලියුවොත්, නුඹට වැඩ වරදීවි" දක්ස පාල තර්ජනය කරලා මෙලෙස ඇසුවා.: " ඉතින් නුඹ ලියාපු අනිත් කවි මොනවාද?"

"කඩිනම් රාළ ගැන ලියාපු කවිය අහපන්,-

හැදුනා කඩිනම් රාළට බඩගින්නක්
ගිල්ලා හීතල ඉස්තිරික්කයක්"

"සෝයුරනි! වැඩ බැරියා කියන මේ කවි මොනවද? මම කවදාවත් ඉස්තිරික්ක ගිලලා නැහැ" කඩිනම් රාළ වේගයෙන් කෑගැහුවා.

"නුඹ හෑගහන්ට එපා. මම කවිය ගෙතුවේ එළිසමය රැකගන්ට ඕම හන්දා. හීතල ඉස්තිරික්කයක් කියලා ලියුවේ බඩගින්නක් කියන වචනයට ගැළපෙන විදියට," වැඩ බැරි කවියා කිව්වා.

"මම හීතල ඉස්තිරික්කයක් හරි රස්නේ තියෙන ඉස්තිරික්කයක් හරි කවදාවත් ගිලලා නැහැ!"

"ඉතින් මම කියන්නේ නැහැ නෙව, ඔයා රස්නේ තියෙන ඉස්තිරික්කයක් ගිල්ලා කියලා." වැඩ බැරි කවියා කඩිනම් රාළව සනසලා, ඈනුමා ගැන ඔහු ලියාපු කවි ගැන මෙහෙම කියුවා: "ඈනුමා ගැන ලියාපු කවි අහපල්ලා!-


"ඈනුමාගේ කොට්ටය යට
සඟවා තලප රෑ කෑමට."

ඈනුමා දුවලා ගිහිල්ලා ඇඳේ තිබුණු කොට්ටය ඔසවා බැලුවා.

"හරිම බොරුවක්! මගේ කොට්ටය යට තලප නැහැ"

"අපේ ඈනුමාට කවි ගැන කිසිම දැනීමක් නැහැ. මම ඒ වචන ලියුවේ එළිසමය අනුව වචන ගලපා ගන්ට විතරයි. ඔන්න අහපල්ලා මම එඬරු තෙල් දොස්තර ගැන ලියාපු කවිය,"

"සෝයුරනි! වැඩ බැරියාගේ මේ විකාර වලට ඉඩ දියයුතුද? එයා හැම දෙනා ගැනම පට්ටපල් බොරු ලියා තියෙනවා. ඒවා අප ඇසිය යුතුද?"

"නවත්වාපන්! නුඹගේ ඔය පල් හෑලි අහන්ට අපි තව දුරටත් ලෑස්ති නැහැ. නුඹ ලියා තියෙන්නේ කවි නොවෙයි, මිනිස්සුන්ට නින්දා කරන බොරු කතා!"

එවිට දක්සපාලයි, කඩිනම් රාළයි, ඈනුමායි විතරක් ඒ අදහසට විරුද්ධ වෙලා කෑ ගැසුවා.

"අනිත් අය ගැන ලියාපු කවිත් කියවාපන්! අපි ඒවා අහන්ට කැමතියි. ඒ ගොල්ල අපි ගැන ලියාපු කවිත් ඇහැව්වා නොවේද?"

"නැහැ! ඕන නැහැ. අපි ඒවා අහන්ට කැමති නැහැ!" අනිත් කුරුමිට්ටෝ ළමයි සියළු දෙනාම එකවර කියුවා.

"නුඹලා කැමති නැතිනම් මම ඒ කවි අල්ලපු ගෙදර මිනිසුන්ට කියවන්නම්" වැඩ බැරි කවියා කිව්වා.

"මොනවා? නුඹ අල්ලපු ගෙදර මිනිසුන් ඉදිරියේ අපට අවමන් කරන්ට හදනවද? නුඹ එහෙම කළොත් ආපහු මේ ගෙදරට එන්නේ නැහැ!"

"සෝයුරනි! මම එහෙම කරන්නේ නැහැ. නුඹලා මා සමග තරහ වෙන්ට එපා." වැඩ බැරි දාස කියුවා.

ඔන්න ඉතින් එදා සිට කුසුම් පුරයේ වැඩ බැරිදාස කවි ලිවීම අතහැර දැම්මා.

නිකොලායි නෝසව්
අනුවාදය : දැදිගම වී රුද්‍රිගු
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook

එකොමත් එක රටෙක
වලස් අම්මා කෙනෙකි, කැලෑවෙක
දුඹුරු පාටින් හැඩකාර
වලස් පැටියෙකි දඟකාර.

හැමදා හවස ඇඳිරි වැටුනාම
ගසමුල ලගිති දෙදෙනාම.
විඩාව හින්දා අම්මා හතිලයි,
විනෝද වීමට පැංචා දඟලයි.

"අපොයි මගේ පොඩි පුතා බිම
වැටේවි මට බයයි!" –

පැංච නිසා මවුට දුකයි.
වලස් පැටියා කපටියා
කැලෑවේ දඟ රසිකයා.


හික්මීමක් නැත කොලුවට
කැමතිය ඔහු හුරතලේට
මී වදයක් දුටු හැටියෙම
අත් නොසෝදා කෑවා නෙව

අම්මා පුතුට කියයි මෙහෙම:
"නොකන් පුතේ කිළිට් අතින්!"
වලස් පැංචා උඩ පනිමින්
මී පැණි කයි තලු මරමින්.

දඟකාර පුතු නිසා
අම්මා අසතුටු වුණා.
පුතුට ඇති ආදරය
නිසා වැඩිවිය කෑදරය.


මව් පිය දෙදෙන දොඩන ව්ට
පොඩි එකා දමයි කට
කොල්ලො හිටපිය දඟ නොකර
පියා සැරවෙයි තරවටු කර.

පැංචා දුවයි වේගයෙන්
වැදෙයි ගුහාවට පළමුවෙන්-
බකල ගහන වලස් සීයට
ඉඩ නොදෙයි ඇතුළු වීමට.

ඊයේ පැංචාට පාර වැරදිලා
"සීයේ! දෙන්නකො පැටියව සොයලා!"
අම්මා කන්නලව් කළා.
වැටුණා පැංචා බඩ වලක
දෙපා එරිලා කුණු ගොඩක
"අම්මේ මගෙ හැටි බලන්න,
අපූරුවට මඩ නාගෙන!"

වලස් පැංචා පොඩි වුණාට
ගජ හපනෙකි ගොරවන්නට


හුරතලේට දඟ කරයි
අම්මට ඉන් කරදරයි.
අල්ලපු ගෙදරට ගිහිල්ල
පොඩි පැටවගේ වලිගෙ හපල.

අහල පහල පොඩි පැටවුන්
පැංචා දැක දුවති බියෙන්.
පොඩි පුතාගේ දඟ විසින්
අම්මා දුක්වෙයි සොවින්.

බැරිම තැන වලස් අම්ම
තාත්තාට පැමිණිලි කළා:
"බලන්නෙකො, පුතු ගේ හැටි
අවවාද දීම වටී!
ගෙදර ඇවිත් ගොරවනවා
කුරුල්ලන්ගේ තටු කඩනවා
පොඩි එවුන්ට ගුටි අනිනව
එක දිගටම දඟ කරනවා!"

"අනේ වලස් හාමිනේ
දූ දරුවන් හදන්නේ
තාත්තා නොව අම්මනේ
ඒ බව ඇයි නොදන්නේ!
මැසිවිලි නොකියා ඉන්නකො
පැංචට උපදෙස් දෙන්නකො."


දවස් මාස ගෙවී ගියා
පැංචා මෝරා වැඩුණා
මැරවර කම් පුරුදු වුණා
තාත්තටත් අත එසවුවා!

වලස් රාළ කෝප වුනා
මැරවරයට බැට දුන්නා
පුතා කියලා බැලුවේ නැහැ
දෑතේ හිරි ඇරගත්තා


අම්මා මුල්ලකට වෙලා
ඉකි බිඳිනවා මුමුණනවා
"පුතා ටිකක් දඟ කළාම
ඔහොමත් ගුටි බැට දෙනවද?"

පවුලේ නැත සමගියක්
පුතා දන්නගකාරෙය්ක්
නැත එයාට හික්මීමක්
අම්මට මෙය ලොකු දුකක්.

ඔවැනි දඟකාර කොල්ලන්
අතර වලස් පැටවුන්
පමණක් නොව, ළමයින් අතරත්
සිටින බව සමහරු කියත්.


අනුවාදය - දැදිගම වී රුද්‍රිගු
චිත්‍ර - වී. සුතේයෙව්

මේ කතන්දරය පුංචි ඔබ වෙනුවෙන් තිළිණ කළේ චතුරංග ජයවීර මාමා.
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
කොරියාවේ හක් සොන්දේ පෙදෙසේ කිල්චූ නගරයේ මීට අවුරුදු බොහෝ ගණනකට ඉස්සෙල්ලා කොටි දඩයම් කරන පොහොසතුන්ගේ සංගමයක් තිබුණා. එක දුප්පත් තරුණයෙක් මේ සංගමයේ සාමාජිකත්වය ලබාගන්ට බොහොම උත්සහ ගත්තා.

"නුඹ කොහාට රිංගන්ට හදනවද? නුඹම දන්නවා නුඹ දුප්පත් මිනිහකු බව. දුප්පත් මිනිහෙක් මිනිහකු නොවෙයි. යන දිහාවෙක පලයන්". ඒ සංගමයේ සභාපති තරුණයාව පන්නා ගත්තා.

ඒ වුණාට ඒ තරුණයා කොටි දඩයමට කියාපු වානේ හෙල්ලක් සූදානම් කැරැගත්තා. ඒ හෙල්ල අනෙක් දඩයම් කරුවන්ගේ හෙල්ල වලට වඩා අගෙයි කියන්ට පුළුවනි.

ඔන්න ඉතින් දවසක් දා කොටි දඩයමට සංගමයේ සාමාජිකයෝ පිටත් වුණා. මේ තරුණයත් කොටි දඩයමට ගියා.

පොහොසත් දඩයක්කාරයෝ කාලා, බීලා ප්‍රීති වුණා. දුප්පතා දිහා බැලුවේ වත් නැහැ. ඔහු ආයෙමත් ඔවුන් ලඟට ආපු හැටියෙම ඔවුන් එයාව එළවා දැම්මේ අපහාස කරලා.

"එහෙනම් නුඹලා මෙතැන බීගෙන නටපල්ලා. මම තනියම යනවා කොටි දඩයමට" තරුණයා කිව්වා.

"නුඹට ඕන නම් කොටියෝ නුඹව මරලා කාලා දමන්න, නුඹ පලයන් පිස්සා" එහෙම කිව්වේ අර පොහොසත් දඩයක්කරයින්ය.

"කොටියෙකුගෙන් මැරුම් කන එක හොඳා. නුඹලාගේ අපහාස විඳිනවාට වැඩිය"

එහෙම කියලා ඔහු කැලෑව මැදට ගියා. ඔන්න එතන හිටියා මහ විසාල කොටියෙක්. කොටියා පූසෙකු වගේ මේ තරුණය සමග සෙල්ලම් කරන්ට පටන් ගත්තා. කොටියා වරෙක ඔහු ලඟටත් තවත් වරෙක ඔහුගෙන් ඈතටත් පැනලා සෙල්ලම් කළා. ඊටපස්සේ කොටියා හතරගාතෙන් බිම වැතිර දුප්පත් තරුණයා දෙස බලමින් වලිගය වනන්ට පටන් ගත්තා.

කොටියා මේ විදියට සෙල්ලම් කළේ තරුණ දඩයක්කාරයා නින්දා කරමින් කොටියාට කෑ ගහන තුරු විතරයි.

"ඔන්න තොපට මගෙන් හෙල්ල පහරක්!" කියලා දඩයක්කාරය හෙල්ල කොටියා දෙසට වීසිකළේ ඌව මරාදමන්ටයි.

එවිට වහාම කොටියා දඩයක්කාරයා දෙසට පැනලා හෙල්ලය දත් වලින් අල්ලා ගත්තා. දඩයක්කාරයා බොහොම ලොකු ශක්තියකින් ඒ හෙල්ලය දිගුකොට උගේ උරට ඇන්නා. කොටියා මැරිලා බිම වැටුණා.

ඒ කොටියා නොවෙයි, කොටි දෙන. ඇගේ මහ හඬ අහලා ඇයට උදව් කිරීමට පිරිමි කොටියා ආවා.

කොටියා මාරයකු වගේ එක පිම්මට දඩයක්කාරයා දෙසට කඩා පැන්නා.

ඒ වන විට කොටි දෙනගේ උගුරට ඇනපු හෙල්ලය අරගෙන දඩයක්කාරයා කොටියාගේ උගුරටත් ඇනලා ඌව මරා දැම්මා.
මැරිච්ච කොටියන්ගේ මළ කුණු ඔහු පඳුරු අස්සට ගෙන ගොස් හැංගුවා. උන්ගේ වලිග විතරක් පාරේ දැම්මා.

ඔන්න තින් ඉන්පසු තරුණ දඩයක්කාරයා ගියා කාලා බීලා සතුටු වෙවී ඉන්න පොහොසත් දඩයක්කාරයින් ලඟට.

"ආ, මොකද මහ ගොඩක් කොටින්ව දඩයම් කළාද?"

"මට කොටියන් දෙදෙනෙකු හමුවුණා. උන්ව දඩයක් කිරීමට බැරිවුනු හන්දා මම ඔහේලාගෙන් උදව් ඉල්ලන්ට ආවා." තරුණයා කියාපි.

"ආ ඒක වෙනම කාරනයක්. හොඳයි අපට පාර පෙන්නාපිය"

පොහොසත් දඩයක්කාරයෝ තරුණයාට විහිලු කලා. උපහාස කලා.

"නුඹ මොකද තනියම මැරෙන්න බය වුණාද? අපව හොයාගෙන ආවේ..."

"නිහඬව යමු. කොටියෝ මේ ලඟ" තරුණයා කීවා.

පොහොසත්තු නිහඬ වුණා. දැන් ඉතින් නඩේ ලොක්කා දුප්පත් තරුණයා.

"ඔන්න කොටියෙඔ!" කියලා තරුණයා කොටි වලිග පෙන්නුවා. එවිට පොහොසත් දඩයක්කාරයන් එකවර කෑගැහුවේ මහ හඬින්:

"මෙන්න මගේ හෙල්ල පහර!"

නමුත් මැරිච්ච සතුන් හෙළවුණේ වත් නැත.

දුප්පත් තරුණයා එතකොට මෙහෙම කියාපි:

"මේ කොටියන් දෙදෙනා මගේ හෙල්ල පහරින් මැරිලා, ඉතින් නුඹලාට තියෙන්නේ උන්ව නගරයට ඇදගෙන යන එක විතරයි"

නිකොලායි ගාරින්
අනුවාදය - දැදිගම වී. රුද්‍රිගු
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook

එකෝමත් එක රටක කුහුඹියෙක් හිටියා. එයාගෙ නම දැනගන්න ඔය ළමයි කැමති ඇති නේද? එයාගේ යාළුවෝ එයාට කතා කලේ කොහොමද, දූලා, පුත්තු, දයාබර මහළු අම්මා, බිරිඳ එයාට අඬගැහුවේ කොහොමද කියලා දැනගන්ට කැමති ඇති නේද? මේ ලෝකයේ කුහුඹි මහ ගොඩක් ඉන්නවා. ඒ ගොල්ලන්ගෙ නම් ලක්ස ගණනක් මම දන්නවා. ඉල්යා, ස්තෙපාන්, ඉවාන් වගේ නම් ඇති කුහුඹි ඉන්නවා. නිකොලායි,ඇලෙක්සැන්දර්, කෝර්නෙයි...හැමනමක්ම මතක තියා ගන්ට බැහැ. අපේ වීර කුහුඹියාගේ නම සිමියොන්, අන්ද්රේයි, මත්වේයි නොවෙයි. නිකම්ම නිකම් කුහුඹි රාළ.

හිමිදිරි පාන්දර කුහුඹියෝ හුඹහ ඇතුලේ සැපට නිදි. කුහුඹි රාළ නිදිමතේ කල්පනා කළා:"අපේ හුඹහ ඇතුලේ පවුල් විස්සක් ඉන්නවා. සඳුදා නිකොලායි ගේ පවුල කැලෑවේ ඉඳලා සොස්නා ගහක ඉඳිකටු වගේ හීන් කොළ ගෙනාවා. අඟහරුවාදා දෙවැනි තට්ටුවේ පදිංචි පවුල ලී කුඩු ගෙනාවා. බදාදා යෙර්මලායිට කැලෑවට යාමට නියම කරලා තිබුනා. බ්‍රහස්පතින්දා සිමියොන් දියමැස්සෙකුගේ පිහාටුවක් ගෙනල්ලා ජනේල වීදුරුව හැටියට සවි කළා. සිකුරාදා මහ වැස්ස නොතකා යෙව්ගේනි ලී කෑලි තුක් හොයා ගත්තා. අද සෙනසුරාදා අපේ වාරයයි. මට නැගිටින්කොහෙත්ම හිතක් නැහැ." කුහුඹි රාළ නැගිටලා පවුලේ අනිත් උදවියට කතා කලා:"නැගිටපල්ලා! මූණ හෝදපල්ලා! කැලෑවට ගිහිල්ලා කෑම හොයාගෙන එන්ට ලෑස්තිවෙයල්ල!."


කුහුඹි රාළයි, බිරිඳයි, දූලයි, පුතාලයි, කැළෑවට ගිහිල්ලා හවස් වනතුරු කෑම සෙව්වා. කුහුඹි රාළ නත්තල් ගහක හීන් කොළ හයක් හොයා ගත්තා. ඒවා හරියට ඉඳිකටු වගේ බොහොම සිහින්, බොහොම තියුණුයි. කුහුඹි හාමිනේ නත්තල් ගහේ හීන් කොල තුනක් අරගත්තා. කුහුඹි පුතාලා දිය පාරක් ළඟ තිබිලා කෝටු දෙක බැගින් හොයා ගත්තා. කුහුඹි දූලා නත්තල් ගහේ පොතු හොයා ගත්තා. පොඩි පුතා පුංචි දළුවක නැට්ටක් ඇදගෙන තාත්තා පසු පසින් ගියා. පුංචි දුව මල් රේණුවක් හොයා ගත්තා. ඔන්න ඉතින් කුහුඹි පවුල ගෙදර යන්නට පිටත් වුණා. තණකොළ වැවිලා තියෙන අඩිපාර දිගේ, බැද්ද හරහා, කැලව හරහා ගිහිල්ලා, ගිහිල්ලා ගිහිල්ලා, හුඹහ ලඟට ආවා. නමුත් හුඹහ නැහැ.

කුහුඹු රාළ පුදුම වුණා. "හරි පුදුමයක්.. අපේ අඩවිය, අපේ පෙදෙස... අපේ රතු පොපි මල්.. ඒ වුණාට තට්ටු කීපයක් උස අපේ ගෙය පෙනෙන්නට වත් නැහැ. අපෙ ගෙය බොහොම ලොකුයි. එහි පවුල් විස්සක් පදිංචි වෙලා හිටියා. අපේ ගෙට මොනවා වුණාද!"ආයෙමත් ඔහු මෙහෙම කිව්වා. "අපි මේ ඉඳිකටු වගේ හීන් කොළ ගෙනාවේ ඒවා කණු වගේ හිටවලා තවත් තට්ටුවක් හදා ගන්ටයි..."කුහුඹි රාළ බොහොම දුක් වෙලා හීන් කොළ හය බිම දැම්මා. ඒවා බොහොම අපූරුයි. ඉඳිකටු වගේ හීන්. කුහුඹි හාමිනේ සුදුමැලි වුණා. එයා ගෙනා කොළ තුනත් බිම දැම්මා. පුතාලටත් බොහොම මහන්සියි. ඒගොල්ල ගෙනාපු ලී කෑලිවලින් දෙක බැගින් අතරමගදී විසි කලා. දූලාත් බොහොම දුක් වෙලා, මහන්සිය හන්දා එක ගුලියකට රොක් වුණා. ඒ ගොල්ල ගෙනා පොතු බිම වැටුණා. කුහුඹි පවුල දුක් වෙලා ඉන්න කොට එතැනට ආවා මදුරුවෙක්. එයා රුං රුං ගාලා මෙහෙම කිව්වා:

"ඒයි කුහුඹි රාළ, නුඹ මෙතැනට වෙලා මොනව කරනවද? දවස තිස්සෙම කැලෑවට වැදිලා නුඹ වැඩ කළා. නුඹ නුඹේ ළමයින්ටවත් සෙල්ලම් කරන්න ඉඩ දුන්නේ නැහැ. උන්ගේ දුර්වල පුංචි අත් වලට නුඹ උල් කටු වගේ කොළ පැටෙව්වා. නුඹේ හාමිනේ දිහා බලපන්. ඈ පොල් පරාල වගේ ලොකු නත්තල් කොළ තුනක්ම උස්සාගෙන ආවා. ඒ හන්දා ඈ බොහොම කෙට්ටු වෙලා. නුඹේ පුංචි පුතා පහ විසාල නැට්ටක් ඇදගෙන ආවා. නුඹේ දූ පොඩිත්ත බොහොම බර ඇති මල් රේණු ගොඩක්ම උස්සාගෙන ආවා. නුඹයි, නුඹේ පවුලයි හති දම දමා වැඩ කරන කොට නුඹලාගේ ගෙදර අනිත් කට්ටිය වෙනින් ගේකට ගියා, නුඹලාට ඒ ගැන දැන්නුවේ නෑ."

මදුරුවා බොරු කියන්ට උපන් පුතෙක්. එයා කට ඇරියොත් කියන්නේ බොරු. මදුරුවා ඔය තරම් බොරු කිව්වේ කුහුඹි හුඹහේ වාසය කරන්නන් විසින් කුහුඹියාට එවපු ලිපිය සහිත ඔසීන කොළය උගේ පියාපතක් අස්සේ හංගා ගෙනයි.

කැලෑවට ගිය කුහුඹි රාළට දෙන්ට කියලා කුහුඹියෝ අලුත් ගෙදර ලිපිනය ඔසීන කොළයක ලියලා මදුරුවාට දුන්නා. ඌ බොරු කාරයෙක් විතරක් නොවෙයි, කපටියෙක්, ඒ වගේම නපුරෙක්. ඉතින් මේ නපුරු මදුරුවා බොරු කියලා, බොහොම සතුටු වෙලා ලිපිනය නොදී යන්ට ගියා.

දැන් ඉතින් කුහුඹි පවුල තනි වෙලා! යාළුවොත් නැහැ, අසල් වැසියොත් නැහැ! ගෙදර කට්ටිය ආ ගිය අතක් හොයා ගන්නවත් නැහැ...කුහුඹි පවුල තනි වෙලා! මේ වගේ දුකක් විඳින්ට කුහුඹි රාළට කවදාවත් සිදු වෙලා නැහැ! කුහුඹි රාළ බොහොම කඩිසරයි. හැම තිස්සෙම වැඩ කල හන්දා එයාට දුවෙන්නට වත් වෙලාවක් තිබුණේ නැහැ. කුහුඹි රාළ හැමදාම ඉර පායන්නටත් ඉස්සෙල්ලා නැගිටිනවා.දුවලා පැනලා කෑම හොයාගන්නවා. ගෙදරට ඕන බඩු ගේනවා.වැඩ කරන හැටි ළමයින්ට කියාදෙනවා... ඉතින් ඔය විදියට වැඩ කරනකොට දුක් වෙන්ට වේලාවක් නැහැ නොවේද?

දැන් කුහුඹි රාළට හූල්ලන්ට වත් වේලාවක් ලැබුණේ නැහැ. එයාගේ පොඩි දුව අඬන්ට පටන් ගත්තා. ඉක්මනින් රෑ වේවි.පවුලට නවාතැනක් හොයා ගන්ට ඕන කියලා ඔහු කල්පනා කළා. කුහුඹි රාළ හාමිනේගේ උරහිසට තට්ටු කරල මෙහෙම කිව්වා: "හාමිනේ, බය වෙන්න එපා. ඕන දේකට මම ලෑස්තියි. තමාගේ පවුලට නවාතැනක් හොයලා දෙන්ට බැරි කුහුඹියෙක් ලෝකෙ කවදාවත් හිටියේ නැහැ! පුංචි එවුන්ට කතන්දර කියනකොට වුණත් කුහුඹි අදහිරිය වෙන හැටි, දුක් වෙන හැටි කියන්නේ නැහැ!"

කුහුඹි රාළ නවාතැනක් හොයන්ට ගියා. හැම ගස් කොටයකටම, පුංචි පැලවල කඳකටම නැගලා සුදුසු තැනක් හොයලා බැලුවා. උණුහුම ඇති, සිනිඳි තැනක් හොයා ගන්ට ඔහුට බැරිවුණා. ඔහු ආපහු පොළව යටට ගියා. හැම තැනම වැස්සට තෙමිලා. තෙතමනය. පොලව තදයි. සීතලයි. ඔන්න හිටි හැටියේම ඔහුට පෙනුණා වටකුරු ටින් බඳුනක්.

ඒක වටේට ලේබලයක් අලවා තිබුනා. කුහුඹි රාළ සතුටු වුණා. "යස ගෙයක් නේද, වහළ ලෝහ වලින් හදලා, දොර ලස්සනයි, මගේ ළමයින්ට මීට වඩා හොඳ ගෙයක් හොයාගන්ට බැහැ!" ඔහු පවුල අඬගහගෙනවිත් ටින් බඳුන ඇතුළේ පදිංචි වුණා. කුහුඹි පවුල රෑ එහි ගත කලා. උදේ ඉර එළිය වැටුණා විතරයි, ටින් බඳුන දිලිසෙන්නට වුණා. කුහුඹි රාළ මෙහෙම කල්පනා කළා: "අපේ ටින් ගෙදර බිත්ති ඉර එළිය හන්දා මේ තරම් ලස්සනට දිලිසෙනවා නම්, මීට වඩා හොඳ ගෙයක් කවදාවත් හොයා ගන්ට බැහැ. මම මේ ගෙය අතහැරලා යන්නේ නැහැ!"

කුහුඹි රාළගේ අලුත් ගෙය ලඟ කන්ද උඩ බීවරයෝ වේල්ලක් හදලා දිය පාර වෙනත් අතකට හරවලා. දැන් ඉතින් ඒ දියපාර කුහුඹි රාළ පදිංචි වෙලා ඉන්න අළුත් තණ පිටියට ගලන්නට යන බව කියන්ට කිසි කෙනෙක් හිටියේ නැහැ. කුහුඹි රාළ අළුත් ගේ නිසා සතුටු වුනාට හැබෑටම ඔහු වහාම එතනින් පැන දුවලා පණ බේරගන්ට ඕන කියලා, ඔහුට කියන්ට කවුරුත් එතන හිටියේ නෑ. ඔහුගේ පරණ යාළුවන් ඔහු එනතුරු ඉන්නේ නැතුව ඉක්මනින්ම ඔහු අතහැරලා ගියේ බීවරයෝ වේල්ලක් හදාපු හන්දා. මේ අනතුර කුහුඹි රාළ දැක්කෙත් නැහැ, දන්නෙත් නැහැ. ඔහු ගේ අළුත් ගේ නිසා ඔහු බොහොම සතුටු වුණා. එම ගෙදර හැමදාම පදිංචි වීමට ඔහු තීරණය කළා. පරණ මකුළු දැලක් හොයාගෙන ඒක දොර රෙද්ද හැටියට දැම්මා. මකුළු දැලේ පිනි බිංදු ඉර එළියට දිලිසෙනවා.බොහොම සිනිඳු හනස්සක් සොයාගෙන ඒක අළුත් ගෙදරට ගෙනල්ලා සීත කාලෙට නිදාගන්ට උණුහුම් මෙට්ට හදාගත්තා. රෑට ගේ ඇතුළේ එළිය හිටින්ට කණාමැදිරියෙකු අල්ලාගෙන ආවා. අලුත් ගෙට ඕන කරන බඩු මුට්ටු ඔක්කොම තියනවා. කුහුඹිරාළ කල්පනා කළා ගෙට ගෙවැදීමේ උත්සවයක් පවත්වන්නට. ඉතින් දැන්වීමක් ලියල ටින් බඳුනේ ඇලෙව්වා:


හවස හය වෙනකොට දිය මැස්සෝ, ඉපියෝ, කාවෝ සාදයට ආවා. ඒ ගොල්ල බොහොම හොඳ උදවිය.

කැලෑවේ හිටිය සත්තු පුදුම වුණා: " දිය මැස්සොයි, කාවොයි, කොහෙ ගිහිල්ලද?" උන් ඇහුවා. "දිලිසෙන ටින් ගෙදර සාදයට ඒගොල්ල ගියා. අන්න ඒ ගොල්ල සින්දු කියන හැටි ඇහෙනවා." මයිනෙක් සතුන්ට පිළිතුරු දුන්නා.

හැමදෙනාටම සෑහෙන්න ඉඩ තිබුණා. තේ වතුර සහ සීනි පාන් සෑහෙන්ට තිබුණා.

අලුත් ගෙදර අයිතිකාරයා අමුත්තන්ට කෑම බීම වලින් සංග්‍රහ කළා. කුහුඹි රාළ ගේ ලොකු පුතා එළියට ගිහිල්ලා ටිකක් ඇවිදින්ට කල්පනා කරලා දොර ළඟට ගියා විතරයි ඔහු ගල් ගැහුණා. ඔහු බය වෙලා කෑ ගැහුවා: "අම්මේ, තාත්තේ! අපි සාදය පවත්වන අතර මහ ගංවතුරක් ගලලා. අපිව වට වෙලා! මහා විපතක්!"

"ගං වතුර ගලලා, පණ බේරා ගනිල්ලා!""කියලා දිය මැස්සොයි, කාවොයි ඉගිලිලා යන්ට ගියා. රසැතී කෑම බීම එහෙමම තියලා උන් පියාඹා ගියා.අපේ කුහුඹි රාළ පොඩ්ඩක් වත් බය වුණේ නැහැ. බයවෙන්ට දුක්වෙන්ට කරුණක් නැහැ. අලුත් ටින් ගෙය පාවෙනවා. හාමිනෙයි, දූලයි, පුතාලයි ගේ ඇතුළේ හොඳින් ඉන්නවා.

කුහුඹි රාළට දුක්වෙන්ට වෙලාවක් නැහැ. ඉර එළිය වැටුණු හැටියෙම කුහුඹි රාළ දිග කෝටුවක් හිටවලා රුවලක් ඒකට සවි කළා.ඔක්කෝටම ගෙදර උඩ තට්ටුවට අඬ ගහලා ගං ඉවුර දිහා හොඳින් බලන්ට නියම කළා. කෑම හොයා ගන්නට, හමුවෙන වෙනත් කුහුඹියන් සමග කතා කරලා තොරතුරු දැනගන්ට කුහුඹිරාළ වැඩ කළා.ගං ඉවුරට ලං වෙලා තමාගේ නිවාස-නැව නවත්වන්ට ඕන කඹ හොයා ගත්තා. නිවාස නැව නවත්තලා පවුලට ඕන කරන කෑම හොයාගෙන පටවා ගත්තා. කුහුඹි හමුවුණාම ගඟ දිගේ යාමට තමාගේ නිවාස-නැවට නගින්ට කියලා උන්ගෙන් ඉල්ලා හිටියා.

පුංචි ළමයි ගඟ දිහා හොඳට ඕනකමින් බලන විට, වටකුරු ටින් බඳුනක් පාවෙන හැටිදැකලා තියෙනවද? හීන් හඬින් කුහුඹි සින්දු කියන හැටි අහලා තියනවද? කුහුඹි රාළ මේ වගේ සින්දුවක් කියන හැටි ඇහුණ ළමයි ඉන්නවා:

පුත්තු මගේ වීරයෝ
වැඩට හරිම සූරයෝ
මගෙ දූවරු ලස්සනයි
වැඩට බොහොම කඩිසරයි
කුඹ හිටවා රුවල් ඇදලා
අපි යනවා නැව් නැගලා
එළව දමන දුක් කරදර
මමයි වීර කුහුඹි රාළ.


චිත්‍ර - ගෙනාදි පව්ලීෂින්
අනුවාදය - දැදිගම වී. රුද්‍රිගූ

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails