වැඩ බැරි දාස මොකක් හරි වැඩක් බාර ගත්තොත් අනික් ළමයින් වගේ නොවේ. ඒක කන පිටට තමයි කරන්නේ. එයාට වචනයක් එක පාරට කියවන්ට බැහැ. අකුරු දෙක තුන වෙන් කරලා තමයි කියවන්නේ. ලියන්නේ පොල් ගෙඩි තරම් ලොකු අකුරු. වැඩ බැරි දාසගේ ඔළුව පුස්සක් කියලා බොහෝ දෙනෙක් කිව්ව. ඒ කතාව හරි නැහැ. එයාගේ ඔළුව පුස්සක් නම්, එයා කල්පනා කරන්නේ කොහොමද? සත්තකින්ම එයා ගේ කල්පනා ශක්තිය බොහොම දුර්වලයි. ඒ වුනාට එයා සපත්තු දෙක ඔළුවේ දමා ගන්නෙ නැතුව දෙපයේ දාගත්තා. ඉතිං එහෙම කරන්ට කල්පනා ශක්තිය තියෙන්ට ඕන.

වැඩ බැරි දාස මෝඩ ළමයෙක් නොවෙයි. එයා බොහොම කැමතියි මොනවා හරි ඉගෙන ගන්ට. නමුත් එයා කැමති නැහැ මහන්සි වීමට. ඔනෑම දෙයක් එක පාරටම ඉගෙන ගන්ට එයාට වුවමනා කළා. කොච්චර නුවණ තියෙන දක්ෂ ළමයෙකුට වුනත්, කිසිම දෙයක් එකවර ඉගෙන ගැනීමට බැහැ.

පුංචි ළමයි, සිඟිත්තෝ සංගීතයට බොහොම කැමතියි. කුසල් බොහොම දක්ෂ සංගීත කාරයෙක්. එයා ලඟ සංගීත භාණ්ඩ ගොඩක් තියෙනවා. එයා නිතර, නිතර ඒ සංගීත භාණ්ඩ වාදනය කරනවා. මිනිස්සු ඔහුගේ සංගීත වාදනය අහලා ඔහුට ප්රකශංසා කළා. මේ නිසා වැඩ බැරි දාස කුසල්ට ඉරිසියා කළා. එයා කුසල්ට මෙහෙම කියුවා:

"මම කැමතියි සංගීත කාරයෙක් වෙන්ට. මටත් උගන්වන්න."

"ඔයා කැමති මොනවටද?"

"ඉගෙන ගන්ට වැඩියෙන්ම ලෙහෙසි සංගීත භාණ්ඩයට."

"එහෙනම් බැලලයිකාව."

"මෙහෙ දෙන්න. මම බැලලයිකාව වාදනය පුරුදු වෙන්නම්"

කුසල් ඔහුට බැලලයිකාව දුන්නා. වැඩ බැරි දාස එහි තත් කීපයක් හඞ නංවා මෙහෙම කියුවා:

"මේ බැලලයිකාවේ හඬ බොහොම මදි. මට වැඩිය සද්ද තියෙන සංගීත භාණ්ඩයක් ඕනෑ."

කුසල් ඔහුට වීණාවක් දුන්නා. වැඩ බැරිදාස උපවීණය අතට අරගෙන වීණාවේ තත් මදින්ට වුණා.

"අපෝ, මීට වඩා සද්දෙ තියෙන සංගීත භාණ්ඩයක් නැද්ද?"

"බෑන්ඩ් නළාව තියෙනවා." කුසල් කියුවා.

"එහෙනම් මට දෙන්න. මම නළාව පිඹින්නම්."

ඊළඟට කුසල් මහා විශාල තඹවන් නළාවක් වැඩ බැරි දාසට දුන්නා. ඔහු නළාව පිම්බා විතරයි, එයින් මහා හඬක් පිටවුණා.

ඔන්න ඉතාම හොඳ සංගීත භාණ්ඩය. බොහොම සද්දේ තියෙනවා." එහෙම කියුවේ වැඩ බැරි දාස.
"ඉතින් ඔයාට ආසයි නම් ඉගෙන ගන්න!" කුසල් කිව්වා.

"මම ඉගෙන ගන්නෙ මොකටද? මට වාදනය කරන්ට පුළුවනි." වැඩ බැරි දාස පිළිතුරු දුන්නා.
"ඔයාට වාදනය කරන්ට තවම බැහැ. ඉගෙන ගන්ට ඕනෑ."

"අපොයි, මට පුළුවනි!" වැඩ බැරි දාස එහෙම කියලා මහ හඬින් නළාව පිම්බා.

"පම් -පම්-පම්! පුම්-පුම්-පුම්!"

"ඔයා නිකම් නළාව පිඹිනවා විතරයි. වාදනය කරන්නේ නැහැ."

"වාදනය කරන්නේ නැතිද? හොඳට වාදනය කරනවා. හොඳ සද්දෙට වාදනය කරනවා." එහෙම කියුවේ වැඩ බැරි දාසයි.

"සද්ද කිරීම නොවෙයි හපන්කම. ලස්සනට වාදනය කිරීමයි," කුසල් විතර කළා.

"ඉතින් මම ලස්සනට වාදනය කරනවා නේන්නම්."

"කොහෙත්ම ලස්සන නැහැ. ඔයාට සංගීත වාදනයට දක්සතාවයත් නැති බව මට පේනවා," කිසල් කියුවා.

"වාදනය දන්නෙ නැත්තේ නුඹයි! නුඹ මට ඉරිසියා කරන නිසා එහෙම කියනවා. නුඹ කැමතියි නුඹේ වාදනය විතරක් අහලා නුඹට විතරක් හොඳ කියනවට" වැඩ බැරි දාසට තරහා ගිහිල්ලා එයා කුසල්ට බැන්නා.

"ඔයා කැමති නම් ඔනෑ තරම් නළාව පිඹින්ට.ඉගෙන ගන්ට ඕන නැතිනම්, ඒක ඔයාගෙ වැඩක්, මිනිස්සු ඔයාගේ හොඳ කියනවට මම කැමතියි." කුසල් කලබල නොවී කියුවා.

"ඔව් මම වාදනය කරනවා!" වැඩ බැරි දාස ආඩම්බරයෙන් උත්තර දුන්නා.


ඉතින් එයා නළාව පිඹින්ට පටන් ගත්තා. එයා වාදනය කරන හැටි ඉගෙන ගත්තේ නැති හන්දා නළාවෙන් කනට බොහොම අමිහිරි ශබ්ද පිටවුණා. එක වෙලාවකට නළාව ගොරවනවා, තවත් වෙලාවකට නහයෙන් අඳනවා. නැතිනම් ඌරකු වගේ ගොර ගොර ගානවා. කුසල්ට මේ කරදරය අහගෙන ඉන්ට බැරි නිසා ඔහු කබාය ඇඟ ලාගෙන, ටයි පටිය වෙනුවට රෝස පාට පීත්ත පටිය කරේ බැඳගෙන යාළුවන් හමුවීමට ගියා.

හවස ළමයින් ඔක්කෝමල්ලා එක්කහු වුනාම වැඩ බැරි දාස නළාව පිඹින්ට පටන් ගත්තා.

"බුම්-බුම්-බුම්!... පුම්-පුම්-පුම්!...."

"මේ සද්දෙ මොකක්ද?" ළමයි ඇහුවා.

"සද්දයක් නොවෙයි. මම වාදනය කරනවා," වැඩ බැරි දාස පිළිතුරු දුන්නා.

"ඕක කන්දොස්කිරියාවක්! නවත්වනව! අපේ කන් අඩි රිදෙන්ට අරගෙන" දක්ස පාල කියුවා.

"එහෙම රිදෙන්නේ නුඹලා මගේ සංගීතයට පුරුදු නැති හින්දා. පුරුදු වුනාම වේදනාව නැතිව යාවි."
"ඔය කන්දොස් කිරියාව උහුලගෙන ඉන්ට මට බැහැ."

වැඩ බැරි දාස ළමයින්ගේ අසතුට ගණන් ගන්නේ නැතුව දිගටම නළාව පිම්බා:

"බුම්-බුම්-බුම්!...පුම්-පුම්!.."

"ඔය පිස්සු වැඩේ නවත්වනවා! එහෙම බැරිනම් නළාවත් අරගෙන කරුණාකරලා යන්න!" ළමයි සියළුදෙනාම වැඩ බැරි දාසට කියුවා.

"මම කොහේ යන්ටද?"

"පාළු පිට්ටනියට ගිහිල්ලා පිඹින්න."

"මගේ වාදනය අහන්න එතැන ළමයින් නැහැ."

"ඔයාගේ කන්දොස්කිරියාව අහන්ටම ඕනෑද?"

"සත්තකින්ම අහන්ට කවුරුහරි ඉන්ට ඕනෑ." වැඩ බැරි දාස කියුවා.

"එහෙනම් මහ පාරට ගිහිල්ලා පිඹින්න. මහ පාරෙ යන මිනිස්සු අහවි."

වැඩ බැරි දාස මහ පාරට ගිහිල්ලා ගෙයක ජනේලය ලඟ හිටගෙන නළාව පිම්බා. කරදර නොකර වෙනින් තැනකට යන්ටයි කියලා වැඩ බැරිදාසට ඒ ගෙදර මිනිස්සු කියුවා. එතකොට එයා ඊළඟ ගෙදර අසලට ගිහිල්ලා නළාව පිම්බා. ඒ ගෙදර මිනිස්සුත් වැඩ බැරි දාසව පන්න ගත්තා. ඒ වර එයා තුන්වැනි ගෙදර ලඟටත් ගිහිල්ලා නළාව පිම්බා. ඒ ගෙදර මිනිස්සුත් එයාව එළවා දැම්මා. එවිට වැඩ බැරි දාසට කේන්ති ගිහිල්ලා තවත් හයියෙන් නළාව පිඹින්ට පටන් ගත්තා. ඉතින් මේක මහා ලොකු කරදරයක්. ඒ ගෙවල් වල ඉන්න මිනිස්සු මහ පාරට ඇවිල්ලා නළාව පිඹින කරදරකාරයාව ඈතට පන්නා දැම්මා. වැඩ බැරි දාස නළාවත් අරගෙන පණ බේරා ගෙන දුවලා ගියා.

ඔන්න ඉතින් එදා ඉඳලා වැඩ බැරිදාස නළාව පිඹීම අතහැරලා දැම්මා.

"මේ ගොල්ලන්ට මගේ සංගීත වාදනය තෙරුම් ගන්ට බැහැ. මේ මෝඩ මිනිස්සු එතරම් තවම දියුණු වෙලා නැහැ. දියුණු වුනාම මගෙන් ඉල්ලා හිටීවී වාදනය කරන්ටයි කියලා. එතකොට පමාවෙලා. මම මීට පස්සේ නළාව වාදනය කරන්නේ නැහැ.


- අනුවාදය : දැදිගම වී රුද්රිගූ -
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
රිවි මිණි රැස් කිරණ බලා
උදය කුමරි සිනහා වෙලා
දවසට මුල පුරණ කුරුලු
ගායකයන් අවදි වෙලා

සමනළ බිඟු කැළ එනු දැක
කලබල වී හනික හනික
හිරුට හොරා උදා කුමරි
පැණිබර මල් පුබුදු කරයි

දෙගුරුන්ගේ ආදර බස
අසමින් දූ දරු සිසු රැස
අවදි උණෝ මේ අලුයම
පාසල් යන්නටය කියා

පාට පාට කොළ දළු මල්
ගස් වැල් වල හැඩ කරලා
ලස්සන ලෝකයක් හදන
උදා කුමරි කරුණාවයි

හුරතල් කිරි කැටි දරුවන්
මව් ඇකයෙන් අවදි කළා
චූටි මුවෙන් කිරි බොන තුරු
උදා කුමරි ළඟ හිටියා

කුසීත කම නැති කරවා
නිකමුන් හට ඔවදන් දී
නිසිමග යැවිමට දිරි දෙන
උදා කුමරි ඉටු දෙවියා

නිහිළුවේ, ආර්.කේ.ඒ.පියදාස මාමා

"මල් කැකුළු" - 1996 මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
මගෙ පොඩි යාළු - නෙළමුද ඕලු
ගඟට යමූ - ඔරු පදිමූ
මල් නෙළමූ - කවි කියමූ//

හඳ වැටිලා - වතුරේ - බොඳ වෙනවා - මිතුරේ
තරු ඉහිලා - අඳුරේ - හිනැහෙනවා - ඉවුරේ
කිරල ගොමූ - වෙත වැදෙමූ
ගෙඩි කඩමූ - ගොඩට යමූ..

පිණි වැහැලා - මුතු සේ - මල මුදුනේ - දිලිසේ
මා වවුලෝ - රහසේ - ඉගිලෙනවා - අහසේ
කිරල ගොමූ - වෙත වැදෙමූ
ගෙඩි කඩමූ - ගොඩට යමූ..

පදඃ සුනිල් ආරියරත්න මාමා
සංගීතයඃ සරත් වික්‍රම මාමා


මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
| | edit post
කොක් කොක් කොකො කොක්
කුක් කුකු කුකු කුක්
කුක් කුක් කුකු කුක්
කොක් කොකො කොකො කොක්

කුකුළු හාමි අවදි වෙලා
ඉර දෙවියෝ මග එනවලු
කපුටු හාමි අවදි වෙලා
බඩගින්නේ ඉන්න බැහැලු

කොක් කොක්...

ටිං ටිං ටිටි ටිං
ටිරි ටිරි ටිරි ටිං
කිකි කී කිකි කී
කී කී කිකි කී

ඔරලෝසුව අවදි වෙලා
වෑන් එකත් මග එනවලු
අපි සේරම අවදි වෙලා
මූණ සෝද ගමුකො යාලු

පී පී පිපි පී
පොපො පෝ පොපො පෝ
පොපො පොප් පොපො පොප්
පොපො පෝ පොපො පෝ

වෑන් එකත් අවදි වෙලා
අපේ ගෙදර ළඟට ඇවිත්
ඉස්කෝලේ අවදි වුනොත්
ගේට්ටුවත් වහයි යාලු

ඩං ඩං ඩඩ ඩං
ඩිං ඩිං ඩිඩි ඩිං
ටං ටං ටට ටං
ටට ටට ටට ඩං

ඉස්කෝලේ අවදිවෙන්න
කලින් මෙන්න අපි ආවා
ඉස්කෝලේ තාමත් නිදි
අපි ආවේ ඇහැරවන්න.


- කේ.කේ. සමන් කුමාර මාමා -
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook

මදුරුවා හරිම පුංචි සතෙක්. ඒ වුණාට එයා අපට කරන කරදර නම් නිමක් නෑ!.

එහෙම නේද?

ඔව්. හැබැයි පොඩිත්තනේ, අද මා මෙහිදී කියන්නේ මදුරුවන්ගෙන් අපට වන හිරිහැර ගැන නම් නොවෙයි; මදුරුවන් සිටිය හැකි තැන්, උන් බිත්තර දමනා තැන් පිරිසිදු කරලා මදුරුවන් බෝ වීම වළක්වන හැටි ගැනත් නොවෙයි. හොඳද?

එහෙනම්...?

පොඩිත්තන් දන්නවාද, මදුරුරාල අපට විදින්නට පටන් ගත්තේ කවදා ඉඳලාද කියලා? නැහැ නොවැ.

දවසක් අපේ පොඩිත්තෙක් ඇසුවා, මදුරුරාලගෙන් ඔය ගැන.

මෙන්න දෙදෙනාගේ කතාබහ.

ඉතින්, අපි ගයමු තාලයට, දෙබස.

බබා:-

පුංචි මදුරු යාළු - එන්න එපා යාළු
ආව වුණත් යාළු - අනින්නෙපා යාළු
පුංචි අපට යාළු - බොහොම රිදේ යාළු
ඉතින් අනේ යාළු - අනින්නෙ ඇයි යාළු

මදුරුරාල:-

පුංචි බබෝ මං දන්නව, මේක නරක වැඩක් කියා
ඒ වුණාට මේ පුරුද්ද අත්හරින්න බැරිව ගියා
ඒ කාලේ රජෙකු වගේ මාත් තුටු සිතින් සිටියා
වැඩි තණ්හාවකට ගොසින් මට වුණු විපතක සැටියා

බබා:-

වැඩේ වැරදි බව තේරේ ඒත් නොයයි හරි පාරේ
උණ පුරුකේ දැම්මත් බලු වලිගේ ඇද කුද නෑරේ


මදුරුරාල :-

ඉස්සර කාලේ කාටත් මං ඇන්නේ නැතිය කියා
මහ කැලයේ ගම්මානේ කවුරුත් හිතැතිව සිටියා
මේ අතරේ දවසක් වන දෙවියන් කැලයට වැඩියා
ඒ ආවේ මොකද කියා දන්නවාද බබෝ ඔයා

බබා:-

කරදරයක් ලෙඩක් දුකක් වුණු තැන පිහිටට එන්නේ
වන දෙවියන් තමයි කැලේ අම්ම අප්ප වගෙ ඉන්නේ
අණවින, කොඩිවින, හෝ-වහ, ඇස්වහ හැම දුර ලන්නේ
වන දෙවියන් තමයි කැලේ රැකුමට කවදත් ඉන්නේ

මදුරුරාල :-

ඒ වුණාට මෙදා සැරේ ආවේ නම් වෙන වැඩකට
කැලේ හැමෝටම වාගේ පුංචි තෑග්ගක් දෙන්නට
කුරුල්ලන්ට නම් ලැබුණේ පිහාටුමයි පාට පාට
බිම් කරුවල පාත් වෙලා මං එතනට ළං වෙනකොට

බබා:-

යන්නෙ අපායකට වුණත් කල් ඇතිවයි යා යුත්තේ
කලින් පැමිණි අයටයි කොතැනත් ගරු සැලකිලි ඇත්තේ

මදුරුරාල:-

දෙවියන් අපෙ කෝප වුණත් මගේ පමාවට බැනලා
තෑගි මල්ල දිගහැරියා, "කමක් නෑ ඉතිං" කියලා
අනේ අපොයි පොඩි කටුවකි, තිබුණේ මුල්ලක ඇනිලා
දෙයියො ගෙනා තෑගි බෝග ඔක්කොම දැන් ඉවර වෙලා

බබා:-

කටුව අරන් යනව මිසක් වෙන මොනවා කරන්නදෝ
ඒත් අහිංසක නුඹටත් කටුවක පලයක් ඇතිදෝ

මදුරුරාල:-

"කටුවක් විතරක් මොකටද මිටියක් නැත්නම්!" හිතලා
මිටියක් ඉල්ලා හිටියා දෙවි පාමුල වැඳවැටිලා
"පමා වුණා මදිවට දුන් දේත් මදිද " බැණ වැදිලා
"තව දොඩවනවද" ඇහුවා දෙවියන් හොඳටම කිපිලා


දෙවියෝ:-

"මදුරුරාල, කටුව අරන් ආපු අතක් බලා ගන්න
මඟදී මිටියක් ලැබේවි හොඳට මතක තියා ගන්න

මදුරුරාල:-

"අනේ එහෙම උණොත් යසයි, පිනුත් සිද්ධවෙයි" කියලා
තෑගි කටුව අතට අරන් නහය යටින් සවි කරලා
"කටින් කරපු කටයුතු දැන් මෙයින් කරන්නම්" කියලා
"යන්නම්" කීවා මා දෙවියන් පාමුල වැඳවැටිලා

ඔය අතරේ මුණ ගැහුණේ - අලි නයිදේ මේ අස්සේ
"කටු පොඩියේ වැඩකිඩ දැන් - අලි ලොක්කට පෙන්නන්නම්



මදුරුරාල:-

අලිපිට උඩ කටුව තියා පුංචි තල්ලුවකි දුන්නේ
තඩි හොඞ වැල ඉහළ ගිහින් ටික ටික පහලට එන්නේ
එය කටුවට මිටි පාරකි, දැන්නම් නෑ වර දින්නේ
වන දෙවියක් කී දෙය දැන් දැන් මගෙ සිහියට එන්නේ

මදුරුරාල:-

එදා පටන් මගෙ කටුවට "මිටියක්" නෑ වරදින්නේ

බබා:-

දැන දැන පහනට පනිනා පළඟැටියත් නුඹ වැන්නේ

දුටුව නේද පොඩිත්තනේ, තමන්ට ඕනෑ නැති දේවල් ගැළපෙන්නේ නැති දේවල් ගැන ආසා හිතාලා මදුරුරාල අනතුරට පත් වන හැටි!

එච්චරද? නෑ. මදුරුරාලගේ කතාව අහපු පොඩිත්තන් වේලාවට වැඩ පල කරන්නත් පුරුදු වෙනවා. ඇයි? ඇයි, මදුරුරාල කලින්ම පරක්කු නොවී එතැනට ගියානම් මීට වඩා හොඳ තෑග්ගක් ලබා ගන්නවා නොවැ.

ඒ වාගෙමයි, අප නරක ගති- සිරිත්වලින් වළකින්නට උත්සාහ කරන්නත් ඕනෑ!

ඉතින් දැන- දැන වැරදි නොකරන, නරක පුරුදු අත් හරින පොඩිත්තන් අර මදුරුරාල වාගේ විපතට පත් වන්නේ නෑ! වේලාව නොවරදවා වැඩ කරන ඈයො හොඳ දේම හිමි කරගන්නව.

පොඩිත්තන්ට පුළුවනි මේ කවි -කතාව යහළු යෙහෙළියන් එක්ක තාලයට හඞ නගාලා ගයන්න; නංගිලා මල්ලිලාට කියාදෙන්න.

ඉතින් පොඩිත්තනේ, පොඩිත්තන්ට ආයුබෝවන්!

- ලිව්වේ ජයත් පියදසුන් මාමා -
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails