සුදු අරලිය මල් දෝතින් අරගෙන
කිරි බැබළෙන හඳපානේ
සුදුපිලි ඇඳගෙන
පන්සල් යමු අපි
හැම පුන් පෝයක් ගානේ

සිලි සිලි නද දෙන
බෝපත් අතරින්
හඳ මාමා හිනැහෙන්නේ
ඇයි මගෙ පුතුනේ
හැම පුන් පෝයම
සතුටින් පන්සල් එන්නේ


බෝපත් අතරින් 
හඳ හිනැහෙනකොට
බලාන ඉන්නට ආසයි
වෙනසක් දැනෙනවා
බුදු හාමුදුරුවො
ළඟින් ඉන්නවා වාගෙයි

වන මල් නෙළලා
පිණිපැන් දොවලා
මුණි සිරිපාද පුදන්නේ
බෝ මළු වේ හිඳ
බවුන් වඩන විට
මොනවද හිතට දැනෙන්නේ


තෙල් මල් සුවඳයි
ඝන්ටා නද මුසු
සාදුකාර නාදේ
හරි මිහිරියි මට
බුදු හාමුදුරුවො
දෙසු බණ පදයක් වාගෙයි 




ගී පද : ?
ගීත මියැසිය : ?
ගායනය : හර්ශණ දිසානායක සහ රෝහණ වීරසිංහ


සිංඳුව අහන්න මෙතැන ඔබන්න
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
අනංසි කියන්නෙ ගුරුවරයෙක්. මේ ගුරුවරයා දවසක් කල්පනා කරා එයාට වඩා දක්ෂ කෙනෙක් මේ ලෝකෙ හිටියොත්, එයාට මොනවා වෙයිද කියලා. මොකද අනංසි කැමති වුණේ නෑ එයාට වඩා දක්ෂ කෙනෙක් මේ ලෝකෙ ඉන්නවා දකින්න. ඒකනිසා අනංසි හිතුවා, මුළු ලෝකෙම තියෙන නුවණ කොහොම හරි එයාගෙ අතට ගන්න ඕනැ කියලා.

ඉතින් ඔන්න අනංසි ලෝකෙ වටේම ගියා නුවණ හොයාගෙන. අනංසිට විවිධ පැති වලින් විශේෂ නුවණක් තියෙන ගොඩක් මිනිස්සු හම්බවුණා. ඒත් ඒ හැමෝම අනංසි ගේ නුවණට පරාද වුණා. අනංසි එයාට මුණගැහෙන මිනිස්සු එක්ක ගොඩක් හොඳින් සුහදව කතා කරලා, කොහොම හරි එයාලගේ නුවණ, එයා අතේ තිබුණ ලබු වර්ගයකින් හැදුව කූඩෙට දාලා වැහුවා.

ලෝකෙ වටේ ගිහින් ගෙදර ආව අනංසි ඊළගට හිතුවෙ, නුවණ පිරිල තියෙන මේ කූඩෙ හංඟන්න පුළුවන් තැනක් ගැන. අනංසිට කල්පනා වුණා, එයාගෙ ගෙදර ළඟම තියෙන කොට්ට පුළුං ගහේ කූඩෙ හැංඟුවොත් හොඳයි කියලා.

ඊටපස්සෙ ලණුවක ආධාරයෙන් කූඩෙ බෙල්ලෙ එල්ල ගත්ත අනංසි, ගහට නගින්න පටන් ගත්තා. ඒත් බෙල්ලෙ එල්ල ගත්ත කූඩෙ, ගහට නගින අතරවාරයේදී, අනංසිගෙ බඩ උඩ එහාට මෙහාට පැද්දෙන්න පටන් ගත්ත නිසා, අනංසිට ගහට නගින්න අපහසු වුණා. ඒකනිසා ගහේ මැද්දට ආව අනංසිව ඒ හැම වෙලේම ගහෙන් බිමට ලිස්සලා වැටුණා.

ඉතින් ගහේ මුලට වෙලා ගහ උඩටම නගින්න පුළුවන් විදිහක් ගැන, කල්පනා කරමින් හිටිය අනංසිට, එයාගේ සත්හැවිරිදි පුතා කතා කරලා මෙහෙම ඇහුවා....

”ඇයි තාත්තා ඔය කූඩෙ පිටේ එල්ල ගන්නෙ නැත්තෙ ? එහෙම එල්ල ගත්ත නම් තාත්තට විනාඩියෙන් ගහට නගින්න පුළුවන්නෙ ? ”

ඒ කතාව ඇහුණ අනංසි එයාගේ පුංචි පුතා දිහා පුදුමයෙන් බලලා මෙහෙම කීවා....

”මම මුළු ලෝකෙම වටේ ගියත් මගේ පුතාට මට වැඩිය මොළේ තියෙනවා.”

ඊටපස්සෙ අනංසි එයාගෙ බෙල්ලෙ එල්ලල තිබුණ නුවණින් පිරි කූඩෙ ගලවලා, තරහෙන් ඈතට විසික් කරා. බිමට වැටුණ කූඩෙ කෑලි වලට කැඩිලා ඒක ඇතුලෙ තිබුණ නුවණ ලෝකෙ වටේටම ඉගිලිලා ගියා.

දෙමව්පියන්ගෙ ගතිගුණ, හැකියාවන් වගේම නුවණත් දරුවන්ට පිහිටන බව අනංසිට අමතක වුණත්, ඔන්න පොඩිත්තනේ ඔයාලනම් ඒ බව අමතක කරන්න එපා.

පරිවර්තනය: මුතු පබා නැන්දා
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook



මිදුලේ වැලි මාලිගාවේ
සක්විති පදවිය ලබන්න
ගල් වැට ළඟ වාඩි වෙලා
හඳ පායන හැටි බලන්න
සතර දිසා ජයගෙන මම හනික එමී
ඔබේ ලොවට සඳ හිරු වී එළිය දෙමී

පීනා සිප් සයුර එතෙර
සියල් සතර දැන පිරිසිඳ
ලොවේ අනෙක අවමන් මැද
නොසෙල් වෙමී
මිනිස් මහිම දෝතින් ගෙන
සිනාසෙමී


මිදුලේ වැලි මාලිගාවේ....

එපා ඔටුනු මගෙ සිරසට
එපා සිහසුනක් හිඳිනට
සිනා සිසී මා එන මග 

හිඳිනු මැනේ
දුවේ කියා මා අමතන් 

පියාණනේ

මිදුලේ වැලි මාලිගාවේ....


ගී පද : කුමාරදාස සපුතන්ත‍්‍රී
ගීත මියැසිය : රෝහණ වීරසිංහ
ගායනය : පේෂලා මෙන්ඩිස්



සිංඳුව අහන්න මෙතැන ඔබන්න


 
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
හූඟක් ඉස්සර කාලේ බොහෝම ඈත එපිට රටක එක මහ රජ කෙනෙක් ජීවත් වුනා. මේ මහ රජතුමා ලෝකයේ ඇති අන් හැම දෙයටම වැඩියෙන් අගය කළේ අලුත් ඇඳුම් ඇඳීමටයි.

තමන්ගේ යටත් වැසියන්ටත් වැඩියෙන්, තමන්ගේ හමුදා සෙබළුන්ටත් වැඩියෙන්, පවුලේ උදවියටත් වැඩියෙන් තමන් අඳින ලස්සන අලුත් ඇඳුම් ගැන මේ මහරජතුමා පුදුම සැලකිල්ලක් දැක්වූවා.

නොබෝ දිනකින්ම තම රාජධානියේ මහා උත්සවයක් පැවැත්වෙන බව දැනුම් දී තිබුණා. ඉතින් මේ උත්සවයේ පෙරහැරට අඳින අලුත් ඇඳුම ගැන විතරයි මේ මහරජතුමා කල්පනා කලේ.

මෙතෙක් මසා ඇති ඉස්තරම් වූත්, බෙහෙවින් අලංකාරවූත් ඇඳුම සොයා එය ඇඳගෙන උත්සවයට සහභාගි වියයුතු යයි මහරජතුමා තීරණය කළා. එබඳු ඇඳුමක් වෙනුවෙන් ඕනෑම ප්රඑමාණයක මුදලක් වියදම් කිරීමට වුවත් තමන් කැමති බව මහ රජතුමා පල කළා. තවත් වටිනා වස්තු සම්භාරයක් වුවත් දීමට කැමති බව කියා සිටියා.

එම දේශයේ සිටි සෑම ඇඳුම් මසන්නෙක්ම මහරජ තුමාගේ මාලිගාවට පැමිණ පෙළ ගැසී සිටියේ මෙම කාර්යයට තමන්ව තෝරා ගනීවිය යන අදහසින්. ඉතින් ඇඳුම් මසන්නෝ පෙළ ගැසී මහරජතුමා හමිවීමට ගියා. එසේ හමුවී තමන් විසින් ගෙන එන ලද නොයෙකුත් වර්ගයේ ඇඳුම් මෝස්තර හා රෙදිපිළි වර්ග මහරජතුමාට පෙන්නුවා. ඒ ඇඳුම් මහන්නත් ලඟ විල්ලුද පටපිලි සහ රන්නූල් ආදිය තිබුණා. එහෙත් තමන් හිතන විදිහේ අලුත්ම ඇඳුමක් මසා දිය හැකි ඇඳුම් මහන්නෙකු තෝරා ගැනීමට මහරජතුමාට පුලුවන් කමක් තිබුණේ නැහැ. ඒ නිසා තව සතියකින් පමණ තීරණයක් ගෙන දන්වා යවන බව මහරජතුමා කියා සිටියා.

සති අන්තය ලඟාවෙත්ම රජවාසල කවටයා වෙනත් පළාතක ඇඳුම් මහන්නන් දෙදෙනෙකු කැටුව රජවාසලට පැමිණියා. විශේෂ මෝස්තරයකට අනුව අපූරු ආකාරයේ අලුත් පන්නයේ ඇඳුමක් මසාදීමට පුලුවන්කම තමන්ට ඇති බව ඒ ආගන්තුක ඇඳුම් මසන්නන් දෙදෙනා මහරජතුමාට කියා සිටියා.

සැබැවින්ම ඒ මිනිසුන් දෙදෙනා සැබෑ ඇඳුම් මහන්නන් නොවේ. ඒ මිනිසුන් දෙදෙනා වංචාකාරයෝ. ඔවුන්ට වුවමනා කලේ මහරජතුමා රවටා රන් රිදී සහ වෙනත් වස්තු සම්භාරයක් ඩැහැගෙන යාමටයි. ඉතින් ලෝකයේ අසමාන වර්ගයේ රෙදිපිලි ගෙන අලංකාර ඇඳුම් කට්ටලයක් මසා දෙන බවට ඒ මිනිසුන් දෙදෙනා පොරොන්දුවුනා. ඒ ඇඳුම කොතරම් අපූරු ඇඳුමක්ද කිවහොත් එහි කිසියම් විජ්ජා බලයක් ඇතැයි ද ඇඳුම් මහන්නන් දෙදෙනා දන්වා සිටියා. ඒ විජ්ජා බලයෙන් යුතු ඇඳුම් පෙනෙන්නේ හොඳින් වැඩ කටයුතු කරන නුවණක්කාර මිනිසුන්ට පමණක් බවත් ඔවුන් දෙදෙනා මහරජතුමාට කියාසිටියා.

මහරජතුමා සිය දියණියන් ඇමතිවරුන් දෙදෙනෙකුත් සමගම ඇඳුම් මසන්නන් සිටිය කාමරයට ගමන් කලා. වංචාකාර මිනිසුන් දෙදෙනා හිස් නූල් කටින රෝදයක් කරකවමින් සිටියා. ඇමතිවරුන් දෙදෙනාට කිසිම ඇඳුමක් පෙනුනේ නැහැ. එහෙත් තමන් මෝඩයන් යයි හැඟවීමට අකමැති වූ ඇමතිවරු මෙහෙම කිව්වා.

"අහා, කොච්චර ලස්සන ඇඳුමක්ද?"

මහරජතුමාත් කිසිම ඇඳුමක් දුටුවේ නැහැ. එහෙත් දුටු කෙනෙකු සේ මෙහෙම කිව්වා.

"ෂා, හරිම අපූරු ඇඳුමක් නොවැ, මට නම් මේ අලුත් ඇඳුම මහල ඉවර වෙනතුරු ඉවසිල්ලක් නැහැ."

අර ඇඳුම් මහන්නන් දෙදෙනා විජ්ජා බලයක් ඇතැයි කියූ පුදුම ඇඳුමක් මහන බව බොරුවට මවා පෑවා. දින පතාම වාගේ ඔවුන්ට මහරජතුමාගේ රන් රිදී හා තෑගි බෝග වැඩි වැඩියෙන් ලැබුණා.දිනපතාම මහරජතුමාත්, මැති ඇමතිවරුත් මෙම ඇඳුම් මහන්නන් දෙදෙනා බොරුවට ඇඳුම් මහන තැනට පැමිණ බලාගෙන සිටියා. ඒ කිසිම කෙනෙකුට විජ්ජා බලයෙන් යුතු පුදුම ඇඳුම පෙනුනේ නැහැ. එහෙත් ඒ බව කීවොත් තමන් මෝඩයෙකු ලෙස සලකතැයි යන බිය නිසා, ලෝකයේ ඉස්තරම්ම ඇඳුම පිළියෙල වන බව ඒ අය මහරජතුමාට වාර්තා කලා.

රාජකීය මහා උත්සව දිනය උදා වුණා. දැන් ඉතින් අලුත් ඇඳුම මසා පිලියෙල කොට අවසන් බව ඇඳුම් මසන්නන් දෙදෙනා රජතුමාට දන්වා සිටියා. මහරජතුමා එම ඇඳුම ඇඳගැනීමට සිතා යට ඇඳුම පමණක් ඇඳගෙන ඔවුන් සිටි තැනට පැමිණ සිට ගත්තා. අර මිනිසුන් දෙදෙනාත් මහරජතුමාට අලුත් ඇඳුමක් අන්දවන බව බොරුවට මවා පෑවා. ඔවුන් දෙදෙනා මුලින්ම මහරජතුමාගේ බඳ වටා පටියක් බඳින බව මවා පෑවා. ඉන්පසු උරිස්ස පැත්තට අත යවා අත් කොට කබායක් අන්දවන බව පෙන්නුම් කලා. ඊටත් පසුව ඔවුන් දෙදෙනා මඳක් අඩිය පස්සට ගෙන,

"අහා බලන්න දැන් කොච්චර අපූරු ඇඳුමක්ද මහරජතුමා ඇඳගෙන ඉන්නෙ." යි කීවා. එය අසා සිටි මහරජතුමාගේ ඇමතිවරු උස් හඬින් මෙහෙම කිව්වා.

"ෂහ්..කොයිතරම් අලංකාර ඇඬුමක්ද?"

"බොහොම ඉස්තරම් අලුත් ඇඳුමක්" කියූ මහරජතුමා, " හොඳයි, දැන් ඉතින් පෙරහැර පටන් ගත්තොත් හොඳයි" යි අණ දුන්නා.

මහරජතුමාගේ පවුලේ උදවියත් මැති ඇමතිවරුත් පෙරහැරේ ගමන් කිරීමට පෙළගැසුණා.

මහරජතුමා සිය අශ්වයා පිට නගිනවාත් සමගම, අර වංචාකාර මිනිසුන් දෙදෙනා සහ කවටයා රන් රිදී සහ වෙනත් වස්තු පොදි බැඳගත්තා. ඉන්පසුව හැකිතරම් වේගයෙන් නගර මැදින් පැන ගිහින් රාජධානියෙන් පිට වුණා.

නගරයේ දහස් ගනන් මිනිසුන් එක් රොක් වී පෙරහැර බලා සිටියා. වීදි දෙපස ගොඩනැගිලි අලංකාර ලෙස කොඩිවැල් වලින් සරසා තිබුණා. කඩ සාප්පු හා පාසල් සියල්ල වසා දමා තිබුණේ එදින කොයිකාටත් මහ රජතුමා පෙරහැරේ ගමන් ගන්නා හැටි බලාගැනීම සඳහායි.

මහරජතුමා ඉතා ආඩම්බර ලීලාවෙන් අශ්වයා පිටට නැග හිනාවෙමින්, ජනයාට අතවනමින් ගමන් කළා. මහරජතුමා අලුත් ඇඳුමක් ඇඳසිටි බවක් කිසිම කෙනෙකුට පෙනුනේ නැහැ.එහෙත් හැම දෙනාටම වුවමනා කළේ තමන් රජතුමා හමුවේ නුවණක්කාර අය බව පෙන්වීමයි. ඒ නිසා රජතුමා අලංකාර ඇඳුමක් ඇඳ සිටින බව හැම කෙනෙකුම වාගේ කියා සිටියා.

මේ අතර රැස්ව හුන් පිරිස අතරින් එක් කුඩා ළමයෙක් ඉදිරියට පැන්නා.

"අය්යෝ, මහ රජ්ජුරුවෝ ඇඳගෙන ඉන්නේ යට ඇඳුමක් විතරයි. කිසිම අලුත් ඇඳුමක් ඇඳලා නැහැ."

කුඩා පිරිමි ළමයා හඬ නැගුවා.

"මේ ළමයා කියන දේ කවුරුත් ගනන් ගන්ට එපා" යි ළමයාගේ තාත්තා කීවා. එහෙත් කුඩා පිරිමි ළමයා කී දේ හුඟ දෙනෙකුට ඇහුනා. එක් පුද්ගලයෙක් තවත් පුද්ගලයෙකුට ඇති තතු හෙලි කලා.ඒ පුද්ගලයා තවත් කෙනෙකුට එයම කීවා. අන්තිමට හැමකෙනෙක්ම පිලිගත්තා මහරජතුමා කිසිම අලුත් ඇඳුමක් ඇඳගෙන නොසිටින විත්තිය.
කුඩා පිරිමි ළමයා කෑ ගසා කියූ දේ මහ රජ්ජුරුවන්ටද ඇහුණා.

ඒ ළමයා කියූ දේ ඇත්ත බව මහ රජ්ජුරුවන්ට ද වැටහුනා.

ලෝකයේ ඇති ඉතාමත්ම වැදගත් දේ අලුත් ඇඳුම් පමණක් නොවන බවත් තමන්ගේ මෝඩකම හා හිස්කම නිසා තමන් සන්තකව තිබූ වටිනා රන් රිදී ඇතුළු වස්තු සම්භාරය නැති වුනු බවත් එතැන් පටන් මහරජතුමා වටහා ගත්තා.

හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන්ගේ සුරඟන කතා එක්කොට සුනන්ද මහේන්ද්‍ර අනුවාදය කල "කෝකිලාව සහ වෙනත් කතා" ඇසුරිනි.
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook

වළි කුකුළෝ ඇයි නුඹ හඞලන්නේ
නා ගහ මුල ඇයි රැඟුම් රඟන්නේ
මානෙල් මල අර පෙති විහිදන්නේ
හිරු රැස් වැටිලා පිනි දිදුලන්නේ


නිදහස ලැබිලද ඔය හඞලන්නේ
නාමල් සුවඳට ඔමරි කරන්නේ
මානෙල් මල පිට බඹරු නටන්නේ
නිදහස් හිරු රැස් පොළව සිඹින්නේ


සතුන් හැමෝටම නිදහස ඕනෑ
ගස් වැල් වලටත් නිදහස ඕනෑ
මිනිසුන් හැමටම නිදහස් ඕනෑ
පුංචි ළමුන්ටත් නිදහස ඕනෑ

-කේ.කේ.සමන් කුමාර මාමා-
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
| | edit post
Related Posts with Thumbnails