මව සමග ජීවත් වුණු දුප්පත් වුණත් කීකරු යහපත් පුංචි ගෑණු ළමයෙක් සිටියා. ඇයට සහ ඇගේ මවට කන්නට කිසිම දෙයක් තිබුණෙ නෑ. දවසක් මේ පුංචි ගෑණු ළමයා කැලෑවට ගිය මොහොතක, ඇයට වයසක ආච්චි කෙනෙක්ව මුණගැහුණා. පුංචි ගෑණු ළමයා දෙස සැලකිල්ලෙන් බලා සිටිය මේ ආච්ච්ට ඇගේ දුක තේරුණා. එ්ක නිසා ආච්චි ඇයට අරුම පුදුම මුට්ටියක් තෑගි කරා.

”හදන්න, පුංචි මුට්ටිය හදන්න” කීවම, මේ අරුම පුදුම මුට්ටිය තලප හදනවා.

”නවත්තන්න, පුංචි මුට්ටිය නවත්තන්න” කීවම, මුට්ටිය තලප සෑදීම නතර කරනවා.

පුංචි ගෑණු ළමයා මුට්ටිය අරගෙන ගෙදර ගියා. මුට්ට්ය නිසා ඇයටයි ඇගේ අම්මටයි ඉන්පසු කවමදාවත් බඩගින්නෙ ඉන්න සිද්ද වුණේ නෑ. එයාලා ගොඩක් වෙලාවට කෑවෙත් තලප.

දවසක් මේ පුංචි ගෑණු ළමයා ගෙදරින් පිට ගිය වෙලාවක, ඇගේ අම්මා ”හදන්න, පුංචි මුට්ටිය හදන්න” කියලා මුට්ටියට කීවා. මුට්ටියත් සුපුරුදු පරිදි තලප හැදුවට පස්සෙ, අම්මා එයාට ඇති වෙනකල් තලප කෑවා.


ඒත් තලප සෑදීම නතර කිරීමට කිවයුතු වචන මව දැන නොසිටිය නිසා, මුට්ටිය නොනවත්වා තලප හැදුවා. මුට්ටිය පිරිල ඉතිරිලා, කුස්සියත්, මුළු ගෙදරමත් පිරෙනකල් මුට්ටිය තලප හැදුවා. අසල් වැසියන්ගේ ගෙවලූත් පිරෙනකල් මුට්ටිය නොනවත්වා තලප හැදුවා. හරියට මුළු ලෝකයේම බඩගින්න නැති කරන්නට වගෙයි, මුට්ටිය තලප හැදුවෙ. අරුම පුදුම මුට්ටිය මුළු ගමටම හිරිහැරයක් වුණත්, මුට්ටිය තලප හදනවා නතර කරන්න කාටවත්ම බැරි වුණා.

අවසානයේ එකම එක ගෙයක් පමණක් තලප වලින් නොපිරී බේරී තියෙද්දි, පුංචි ගෑණු ළමයා ඇවිත් ”නවත්තන්න, පුංචි මුට්ටිය නවත්තන්න” කියලා මුට්ටියට කීවා විතරයි, මුට්ටිය තලප සෑදීම නතර කරා.

ඉතින් ඊට පස්සෙ කාට හරි නගරයට යන්න ඕනෑ වුණා නම්, පාරෙ පිරිලා තිබුණ තලප කාලා තමයි නගරයට යන්න සිද්ද වුණේ.

ග්‍රිම් සොහොයුරන්ගේ කතාවක්
පරිවර්තනය: මුතු පබා නැන්දා

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
කොරියාවේ හක් සොන්දේ පෙදෙසේ කිල්චූ නගරයේ මීට අවුරුදු බොහෝ ගණනකට ඉස්සෙල්ලා කොටි දඩයම් කරන පොහොසතුන්ගේ සංගමයක් තිබුණා. එක දුප්පත් තරුණයෙක් මේ සංගමයේ සාමාජිකත්වය ලබාගන්ට බොහොම උත්සහ ගත්තා.

"නුඹ කොහාට රිංගන්ට හදනවද? නුඹම දන්නවා නුඹ දුප්පත් මිනිහකු බව. දුප්පත් මිනිහෙක් මිනිහකු නොවෙයි. යන දිහාවෙක පලයන්". ඒ සංගමයේ සභාපති තරුණයාව පන්නා ගත්තා.

ඒ වුණාට ඒ තරුණයා කොටි දඩයමට කියාපු වානේ හෙල්ලක් සූදානම් කැරැගත්තා. ඒ හෙල්ල අනෙක් දඩයම් කරුවන්ගේ හෙල්ල වලට වඩා අගෙයි කියන්ට පුළුවනි.

ඔන්න ඉතින් දවසක් දා කොටි දඩයමට සංගමයේ සාමාජිකයෝ පිටත් වුණා. මේ තරුණයත් කොටි දඩයමට ගියා.

පොහොසත් දඩයක්කාරයෝ කාලා, බීලා ප්‍රීති වුණා. දුප්පතා දිහා බැලුවේ වත් නැහැ. ඔහු ආයෙමත් ඔවුන් ලඟට ආපු හැටියෙම ඔවුන් එයාව එළවා දැම්මේ අපහාස කරලා.

"එහෙනම් නුඹලා මෙතැන බීගෙන නටපල්ලා. මම තනියම යනවා කොටි දඩයමට" තරුණයා කිව්වා.

"නුඹට ඕන නම් කොටියෝ නුඹව මරලා කාලා දමන්න, නුඹ පලයන් පිස්සා" එහෙම කිව්වේ අර පොහොසත් දඩයක්කරයින්ය.

"කොටියෙකුගෙන් මැරුම් කන එක හොඳා. නුඹලාගේ අපහාස විඳිනවාට වැඩිය"

එහෙම කියලා ඔහු කැලෑව මැදට ගියා. ඔන්න එතන හිටියා මහ විසාල කොටියෙක්. කොටියා පූසෙකු වගේ මේ තරුණය සමග සෙල්ලම් කරන්ට පටන් ගත්තා. කොටියා වරෙක ඔහු ලඟටත් තවත් වරෙක ඔහුගෙන් ඈතටත් පැනලා සෙල්ලම් කළා. ඊටපස්සේ කොටියා හතරගාතෙන් බිම වැතිර දුප්පත් තරුණයා දෙස බලමින් වලිගය වනන්ට පටන් ගත්තා.

කොටියා මේ විදියට සෙල්ලම් කළේ තරුණ දඩයක්කාරයා නින්දා කරමින් කොටියාට කෑ ගහන තුරු විතරයි.

"ඔන්න තොපට මගෙන් හෙල්ල පහරක්!" කියලා දඩයක්කාරය හෙල්ල කොටියා දෙසට වීසිකළේ ඌව මරාදමන්ටයි.

එවිට වහාම කොටියා දඩයක්කාරයා දෙසට පැනලා හෙල්ලය දත් වලින් අල්ලා ගත්තා. දඩයක්කාරයා බොහොම ලොකු ශක්තියකින් ඒ හෙල්ලය දිගුකොට උගේ උරට ඇන්නා. කොටියා මැරිලා බිම වැටුණා.

ඒ කොටියා නොවෙයි, කොටි දෙන. ඇගේ මහ හඬ අහලා ඇයට උදව් කිරීමට පිරිමි කොටියා ආවා.

කොටියා මාරයකු වගේ එක පිම්මට දඩයක්කාරයා දෙසට කඩා පැන්නා.

ඒ වන විට කොටි දෙනගේ උගුරට ඇනපු හෙල්ලය අරගෙන දඩයක්කාරයා කොටියාගේ උගුරටත් ඇනලා ඌව මරා දැම්මා.
මැරිච්ච කොටියන්ගේ මළ කුණු ඔහු පඳුරු අස්සට ගෙන ගොස් හැංගුවා. උන්ගේ වලිග විතරක් පාරේ දැම්මා.

ඔන්න තින් ඉන්පසු තරුණ දඩයක්කාරයා ගියා කාලා බීලා සතුටු වෙවී ඉන්න පොහොසත් දඩයක්කාරයින් ලඟට.

"ආ, මොකද මහ ගොඩක් කොටින්ව දඩයම් කළාද?"

"මට කොටියන් දෙදෙනෙකු හමුවුණා. උන්ව දඩයක් කිරීමට බැරිවුනු හන්දා මම ඔහේලාගෙන් උදව් ඉල්ලන්ට ආවා." තරුණයා කියාපි.

"ආ ඒක වෙනම කාරනයක්. හොඳයි අපට පාර පෙන්නාපිය"

පොහොසත් දඩයක්කාරයෝ තරුණයාට විහිලු කලා. උපහාස කලා.

"නුඹ මොකද තනියම මැරෙන්න බය වුණාද? අපව හොයාගෙන ආවේ..."

"නිහඬව යමු. කොටියෝ මේ ලඟ" තරුණයා කීවා.

පොහොසත්තු නිහඬ වුණා. දැන් ඉතින් නඩේ ලොක්කා දුප්පත් තරුණයා.

"ඔන්න කොටියෙඔ!" කියලා තරුණයා කොටි වලිග පෙන්නුවා. එවිට පොහොසත් දඩයක්කාරයන් එකවර කෑගැහුවේ මහ හඬින්:

"මෙන්න මගේ හෙල්ල පහර!"

නමුත් මැරිච්ච සතුන් හෙළවුණේ වත් නැත.

දුප්පත් තරුණයා එතකොට මෙහෙම කියාපි:

"මේ කොටියන් දෙදෙනා මගේ හෙල්ල පහරින් මැරිලා, ඉතින් නුඹලාට තියෙන්නේ උන්ව නගරයට ඇදගෙන යන එක විතරයි"

නිකොලායි ගාරින්
අනුවාදය - දැදිගම වී. රුද්‍රිගු
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook

අපේ නිවෙස පිහිටියේ ගඟෙන් එගොඩ ය. නිවෙස අසල බොහෝ පලතුරු ගස් තිබුණා. ඒවායේ ගෙඩි කෑමට බොහෝ කුරුල්ලන් පැමිණෙනවා.

අපිත් පලතුරු කෑමට හරි කැමැති යි. අප සමහර දිනවල නටනවා, සින්දු කියනවා, කවි කියනවා, සෙල්ලම් කරනවා.

කුරුල්ලනේ - කුරුල්ලනේ
හනික එන්න කෝ
ජම්බු පේර වැළ වරකා
අරන් එන්න කෝ
කැදැල්ලෙ සිටිනා පැටියට
ගොස් කවන්න කෝ
ආයෙත් පියඹලා ඇවිත්
අපට දෙන්න කෝ

ඔහොම අප කාලයක් සින්දු කියනකොට, නටනකොට, සෙල්ලම් කරනකොට ලස්සන කුරුල්ලකු අසල ගසක වසා සිටියා.

කුරුල්ලා අපේ සින්දුවලට, කවිවලට ආසාවෙන් ඇහුම්කන් දුන්නා, ඔළුව හරව-හරවා තාලය ඇල්ලූවා. අප නටනකොට ඌත් අත්ත දිගේ එහාට මෙහාට පැන-පැන නැටුවා, අත්තටු ද සලමින් නැටුවා.

නිතර ම මේ ගස යට සෙල්ලම් කරන්න පුරුදු වුණු අප මිතුරන් හතර දෙනකු සිටියා. අප සියලූ දෙනා ම අසල නිවෙස්වලයි සිටියේ.

එක් කෙනකුගේ නම පාතිමා. අනෙකාගේ නම ජෝන්. තවත් කෙනෙකි ජයරානි. මම සංජන.

අප ඉතා සතුටින් සෙල්ලම් කළා, විහිළු කරගත්තා. අඬ-දබර කරගත්තත් සුළු මොහොතකදී නැවතත් යාළු වුණා.

මේ අප කරන සියලූ දේ අර කුරුල්ලාත් බලා සිටිනවා, අප කතා කරනකොට ඒවාට හොඳින් ඇහුම්කන් දෙනවා.

අප හතර දෙනා එක දවසක් ගසක් යටට වෙලා කතාවට වැටුණා.

''අපේ අම්මයි තාත්තයි කියනවා අපි දෙමළයි කියලා'' ජයරානි කිව්වා.

''අපේ අම්මයි තාත්තයි කියනවා අපි බර්ගර් කියලා'' ජෝන් කිව්වා.

''අපේ අම්මයි තාත්තයි කියනවා අපි මුස්ලිම් කියලා'' පාතිමා කිව්වා. මා කිව්වා, ''අපේ අම්මයි තාත්තයි කියනවා අපි සිංහල කියලා''.

එතකොට ම, ''මට නම් මේ ළමයින් ඔක්කෝ ම එක වාගෙයි පෙනෙන්නේ, කිසි ම වෙනසක් පෙනෙන්නේ නෑ'' කුරුල්ලා කියන්නට වුණා.

''අපටත් තේරෙන්නේ නෑ, කුරුල්ලෝ... මේ අම්මලා තාත්තලා කියන ඒවා නේ'' යැ යි අප කවුරුනුත් කීවා.

අප සෙල්ලම් කරලා වෙහෙස වුණා ම අවට ගස්වලින් වැටුණු පලතුරු අහුලන්න යෑම සිරිතක් ව තිබුණා. අඹ, දඹ, පේර, දං, වෙරළු, කජු පුහුලම් අප නිතර ම කනවා. ඒවා අප කෑවේ ඛෙදාගෙන.

කුරුල්ලා අපට කඩන්න බැරි ගස්වල පලතුරු හෙමින් කඩා බිම දානවා, අපට අහුලාගන්න. ඒ සියල්ල ම අප සමඟියෙන් ඛෙදාගෙන කෑවා.

කුරුල්ලාට හරි සන්තෝස යි, අපේ සමඟියට. ඌ සන්තෝසෙන් නැටුවා, අත්තටු සලමින් නැටුවා.
කුරුල්ලා ද අප ද ගී ගයන්නට පටන් ගත්තා:

සිඟිති සිනා රැළි
සතුට ගෙනෙනවා
අත්වැල් බැඳගෙන
ගීත ගයනවා
අද වාගෙම අප
හෙට නැගිටිනවා
ලස්සන රටකට
සිරිය ගෙනෙනවා

කතාව - ඩබ්ලිව්. ඕ. ටී. ප්‍රනාන්දු මාමා
සිතුවම - කේ. ඒ. පී. අබේසිංහ මාමා
පුංචි කාලයේ කියවූ කතාවක් පොඩිත්තන්ට ලියා එවන්නේ පියදසුන් මාමා
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
වසන්තයේ ලස්සන දවසක පොකුණෙ ඕලූ කොළයක් යට, ගෙඹි අම්මා බිත්තර ගොඩක් දැම්මා. මිදිපොකුරක මිදි වගේ එකට ඇලවිලා තිබුණ ගෙඹි බිත්තර, වතුරෙ පාවෙවී තිබුණා. ගෙඹිඅම්මා හැමදාම ගිහින් බලනවා, බිත්තර වලින් පැටව් එළියට ඇවිත් ද කියලා.

මඬේ එරී ඉන්න කෙනෙක් වගේ චූටි දිකී පැය ගාණක් තිස්සෙ බිත්තරෙන් එළියට එන්න දඟලන නිසා, බිත්තරෙත් හෙලවෙනවා. එකපාරටම බිත්තරෙ කැඩිලා චූටි දිකී බිත්තරෙන් එළියට ආවා. ඊට පස්සෙ වටපිට බැලූව දිකී දැක්කා එයා වගේම තව ගොඩක් ඉස්ගෙඩියො වතුරෙ පීනනවා. ඒ ඉස්ගෙඩියො එයාලගෙ වලිගෙ වතුරෙ නලව නලව පොකුණෙ හැම අස්සකටම මුල්ලකටම පීනනවා.

”ෂෝ....ක්” සන්තෝසෙන් කෑ ගැහුව චූටි දිකී, ගොඩක් උත්සහයෙන් අලූත් ලෝකයක් හොයන්න පටන් ගත්තා.

චූටි දිකීගෙ වලිගෙ එන්න එන්නම ලොකු වෙන නිසා, දිකීට වේගයෙන් පීනන්න පුළුවන්න වුණා. ගෙඹි අම්මා ඕලූ කොළයක් උඩට වෙලා චූටි දිකී දිහා ආඩම්බරෙන් බලන් ඉන්නවා. දිකී හරිම ආසයි පොකුණෙ පැලවල මුල් අතරින් වේගයෙන් පීනන්න. දිකී කොච්චර වේගයෙන් පීනනවද කියනවනම්, එයා පීනනකොට වතුර කැළඹිලා, පොකුණෙ ඉන්න අනික් ඉස්ගෙඩියන්ට ඉබේටම පිණුම් ගැහෙනවා.

පොකුණ ඉතාමත් කදිමයි. ඒ වගේම චූටි දිකීට සෙල්ලම් කරන්න ගොඩක් ඉස්ගෙඩියො පොකුණෙ ඉන්නවා. දිකී හරිම ආසයි දිය යට පාපන්දු සෙල්ලම් කරන්න.

ලෝකයේ හැම තැනකම වගේ පොකුණෙත්, අනවශ්‍ය විහිළු තහළු කරන අයගෙන් බේරිලා, ඉදිරියටම පීනන්න පුළුවන් වලිගයක් තමයි චූටි දිකීට තියෙන්න.

චූටි දිකී එයාගෙ ජීවිතය උපරිමයෙන් රස විඳිනවා. ඒ විදිහටම හැමදාම ජීවත් වෙන්නයි දිකීගේ බලාපොරොත්තුව.

ඒත් එක උදෑසනක භයානක දෙයක් සිද්ද වුණා. චූටි දිකීගෙ ඇඟෙන් අමුතුම දෙයක් එළියට එන්න පටන් ගත්තා. දිකී ඉස්සෙල්ලාම හිතුවෙ එයා හීනයක් දකිනවා කියලයි. ඒක නිසා ඇහැරෙන්නට දිකී එයාගේ ඔළුව වේගයෙන් හෙලෙව්වා. ඒත් දිකී ඒ වෙනකොටත් ඇහැරිලයි හිටියෙ.

”අම්.......මා” චූටි දිකී බයවෙලා අම්මට කෑ ගැහුවා. ”මෙතැන අමුතුම දෙයක් සිද්ද වෙනවා.... මම රාක්ෂයෙක් වෙලා....”

”නෑ.. නෑ.... දිකී....” අම්මා දිකීට හිනාවෙලා කීවා. ” ඒ තමා ඔයාගේ කකුල්.... තව ටික දවසක් ගියාම කකුල් ආවට ඔයා සන්තෝස වෙයි....”

අම්මා දිකීට කීව ඒ කතාව කටුසු නැන්දටත් ඇහුණා. ඒක නිසා.... ” ඕවත් ඇඟේ තියෙන්න ඕනෑ දේවල් දිකී.... ඔයා ටිකින් ටික ලොකු වෙනවා....” යි, කටුසු නැන්දා දිකීට කීවා.

”මට ලොකු වෙන්න ඕනේ නෑ” චූටි දිකී උත්තර දුන්නා. දිකීට එයාගේ කකුල් දෙක අමුතුම දෙයක් විදිහට දැණුනා. ඒ අමුතු බවට දිකී පුරුදු වෙන්නත් කලින්, තවත් කකුල් දෙකක් දිකීට ආවා.

”මේ.... දැන් නම් ඇති හරිද....” එතකොට දිකී එයාටම කියා ගත්තා.

ටික දවසකට පස්සෙ දිකීට තේරුණා, එයාගේ වලිගෙ එන්න එන්නම පුංචි වෙන බව.

”සී..යා....” දිකී බයෙන් කෑ ගැහුවා. ”මගෙ වලිගෙ නැති වෙනවා.... මම රාක්ෂයෙක් වෙන්නයි යන්නෙ....”

”නෑ නෑ, චූටි දිකී” සීයත් දිකීට හිනාවෙලා කීවා. ”ඔයා ලොකු වෙනවා.... ඒකයි එහෙම වෙන්නෙ....”

”වලිගයක් නැතුව මට මුකුත් කරන්න බෑ.... ඒක නිසා මට ලොකු වෙන්න ඕනෙම නෑ....” දිකී උත්තර දුන්නා.පොකුණෙ හිටිය හැමෝම චූටි දිකීව සනසන්න ගොඩක් දේවල් කීවා.

”ඔයා ලොකු වුණාම ඔයාට වලිගයක් ඕනෙ වෙන්නෙ නෑ....” කටුසු නැන්දා කීවා.

”කකුල් වලින් ඔයාට අලූත් දේවල් කරන්න පුළුවන්....” කියලා කීව ඉස්සා මාමා, ලස්සන නැටුමකුත් නටලා දිකීට පෙන්නුවා.

”අයියෝ.... ඔයාලට තේරෙන්නෙ නෑනේ” චූටි දිකී ගොඩක් දුකෙන් කීවා. ” මට ලොකු වෙන්න ඕනෙම නෑ....” ඒ පාර දිකී හයියෙන් අඬන්න පටන් ගත්තා. දිකී ගොඩක් දුකෙන් පොකුණ වටේට ඉබාගාතෙ ගියා. එතකොට පොකුණෙ සෙල්ලම් කර කර හිටිය පුංචි ඉස්ගෙඩියන්ගෙ වලිග දැක්ක දිකීට, එයාලා ගැන ඊර්ෂ්යා හිතුණා.

”ඔව්.... සෙල්ලම් කරන්න.... පුළුවන් කාලයක් සෙල්ලම් කරන්න....” කියලා, එයාටම කොඳුර ගත්ත දිකී, පුංචි කාලේ එයා කරපු සෙල්ලම් ගැන, අඳුරු හෙවනැල්ලක් යටට වෙලා දොම්නසින් හිතන්න පටන් ගත්තා.

එතකොට දිගම දිග නයෙක් දිකී ගාවට ඇවිත් ” කකුල්.... කකුල් වලින් කිසිම වැඩක් නෑ.... මං දිහා බලන්න.... මට කකුල් නෑ... මට වඩා හයියෙන් දුවන්න පුළුවන් කෙනෙක් ගැන මම දන්නෙත් නෑ” යි, දිකීට කීවා.

”මට මගේ වලිගෙ ආයෙත් ඕනෑ.... වලිගයක් නැතුව මට වේගයෙන් පීනන්න බෑ.... ඔයාට පුළුවන්ද මට උදව් කරන්න ?” කියලා, දිකී නයාගෙන් ඇහුවා.

”අනිවාර්යෙන්ම.... හැබැයි ඊට කලින් මට ඔයාට රහසක් කියන්න ඕනෑ.... ඒක නිසා ටිකක් මං ළඟට එන්නකො” කියලා, නයා දිකීට කීවා.

දිකී නයා ළඟට පීනන්න පටන් ගත්තා. එතකොටම නයා එයාගෙ කට ගොඩක් ලොකුවට ඇරියා. නයාගෙ උල් දත් දැක්ක දිකීට ගොඩක් බය හිතුණා. දිකීගෙ කකුල් වෙව්ලන්න පටන් ගත්තා. පපුවත් ගැහෙන්න පටන් ගත්තා.

කපටි නයා හැදුවෙ චූටි දිකීව ඩැහැගෙන ගිලින්නයි. ඒත් දිකී හරි වෙලාවටම වතුරෙන් එළියට පැන ගත්තා. ඊට පස්සෙ ලොකු අඩි වලින් පැන පැන ගිහින්, ආරක්ෂාව තියෙන ගොඩැල්ලක නතර වුණා.

හැමෝම සන්තෝසෙන් කෑ ගැහුවා.

”අපූරුයි.... කොච්චර ශක්තිමත් කකුල් ද මට තියෙන්නෙ” කියලා කීව දිකී, එයාගේ දිහා හොඳට බැලූවා.

ඊට පස්සෙ උඩටයි පහළටයි, නටන්නයි, පනින්නයි පටන් ගත්ත දිකී, ”ලොකු වෙන එක කොච්චර හොඳද” කියලා, සන්තෝසෙන් කීවා.

කතාව සහ සිතුවම් : ජුලියානො ෆෙරි
පරිවර්තනය : මුතු පබා
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
4.දෙවන පණ

එදා රෑ පල් සොරු මුළක් ගෙයක් බිඳ, බඩු ගෙන සොහොන මැදින් යෙති. සමහරු බඩු මිටි හිසින් ගෙන යෙති. සමහරු මුදල් පසුම්බි ආදිය එල්ලා ගෙන යෙත්. මෙසේ යන එකෙක් සොහොනෙහි හොත් කිරිහාමි පයින් මැඩගෙන ගියේය.

නිදා උන් කිරිහාමි පිබිද සොරුන් දැක, " අනේ මුන් ගේ නොහැදුණු කම! මළ එකකුට වත් නිකම් ඉන්නට හරින්නේ නෑ, නොවේයැ" යි කීයේය.සොරු ඒ අස නැවැතී, ඒ කවරෙක්දැයි බැලූහ. එකෙක් " මේ කවුදැ"යි ඇසීය.

"ඒ මම, කිරි හාමි, මා මළා. ඉතින් මළ එකා පාගා ගෙන යෑම හරි ද?"

සොරුනට සිනා නොවී සිටීමට අමාරුවිය. "මැරුණේ හැබෑවටමද බොරුවටදැ"යි අනෙකෙක් ඇසීය.

"මෙන්න මූට පිස්සු. බොරුවට මැරීමෙක් ඇද්ද? බල, හාමුදුරුවන් කීවා" හිසත් පයත් එක සැටි සීතල වුණු දා මළාය" කියා. ඊයේ මා ගඟේ වැටී හිසත් පයත් එක සැටි සීතල වුණා. ඉතින් මා මළේ නැද්ද?"

මේ කුමන පිස්සෙක් ද? බිල්ලකට බොහොම අගෙයි. බොරු නැතිව එනවා යන්නටයි සොර දෙටුවා කීය.

"අනේ, මා මළා, මා මළා. මළ එකාට ඉන්නට දී යනවා යන දිසාවෙක" යි කිරිහාමි අඬන්නට වූයේය.

හොර මුලේ හිටි එකෙක් දෙන්නෙක්ද හොරාට අඬන්ට වූහ.

"අනේ, ඉතින් කවදා දකින්නට දැය්" යි එකෙක් ඇඬීය. "අනේ, මාත් ඉඳල කුමටදැයි" තවෙකෙක් ඇඬීය. කිරිහාමි කිපී "තොප යන අතෙක යවු. මළ එකාට කවටකම් කැර අපායට විතරක් යන්නට එපා" යි ගෙරෙවුවේය.

එක් සොරෙක් ඉදිරියට පැන, "හා..හා.. කවටකම් කරන්න එපා. හොඳ යැ? මොහු ඇත්තෙන්ම මැරිලා. මා දන්නවා හොඳ මන්ත්රටයක් ගිය පණ ගෙනවන. කැමති නම් මතුරා බලන්ට පුළුවනි. හැබැයි පණ එනවා නම් දකුණු පයේ මහපටැඟිල්ලේ වේදනාවක් දැනෙයි. මතුරා බලන්ට ද" යි කීයේය. කිරිහාමි මීට කැමති විය.

හොරා ද පිහියෙකින් කිරි හාමිගේ පයේ මහපට ඇඟිල්ලට අනින ලෙස අනෙකෙක්කුට කියා මතුරන්නට විය. "ඕං නමෝ...ගිය පණ වරෙන්.. ගිය පණ වරෙන්...ගිය පණ වරෙන්, ගිය පණ වරෙන්, ස්වාහයි..."මතුරනු සමගම කිරිහාමිගේ දකුණු පයේ මහපට ඇඟිල්ලේ මහත් වේදනාවක් විය. "පණ ආවා, පණ ආවා...." යි මහ හඬ නගමින් හේ නැඟිසිටියේය. ඉක්බිති පණ දුන් සොරා වැලැඳගෙන ඔහුට පින් දි, " අනේ ඔබ නිසා මා ආයෙත් මේ ලෝකයට ආවා. ඔබට දිව සැපත් ලැබේවා" යි කියමින් කඳුළු වගුරුවමින් හඬන්නට වීය.

"ඉතින් කොහිද යන්නේ?" යි සොර දෙටුවා ඇසීය. "වෙන කොහි යන්නටද? මම ගෙදර යනවා. ඔබට පින් සිදු වුණාවේ" යනුවෙන් කිරි හාමි කීය. "හා...හා.. වරක් මැරී ඒ ගෙදරටම යන්නට හොඳ නෑ. අප එක්ක යමු" යි පණ දුන් සොරා පැවසීය. "අනේ, කියන තැනකට එනවා, නරකාදියට වුණත් එනවා, එනවාමයි. මගේ පණ ඔබේ නොවේදැයි" කියමින් කිරිහාමි යළිත් අඬන්නට වූයේය.

සොරු කිරිහාමි සනසා, ඔහුගේ ඇඟේ වැලි පිස දමා ඔහු එක් කැරගෙන යන්නට වූහ. මගදී කිරිහාමි තමගේ සියලු තොරතුරු කියමින් සොරුන් සතුටු කළේය. "අමාරු වූ තැනකදී යස බිල්ලක්, අගේ ඇති බිල්ලක්" යි කියමින් සොරු සිනාසුණෝය.

ඊළඟට......
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails