කවුද අපේ අමුත්තා

සඳමල්ගෙ හිත් පොඞ්ඩ අම්මයි තාත්තයි ගැන ආදරෙන් පිරිල පිරිල පිටාර ගලන ගාණට ඇවිත්.

එතකොට හොඳටම රෑ බෝවෙලා. මෙච්චර රෑ වෙලත් කළුවරක් දැක්කෙ නැත්තෙ හඳ, එළිය හින්දා. මෙච්චර සෙල්ලම් කරලත් දාඩියක් දැම්මෙ නැත්තෙ හඳ, සිසිල හින්දා.

හඳ එළිය ගලල හැම තැන ම. ගෙයි වහළෙට. මිදුලෙ සුදු වැල්ලට. වත්තෙ උඳුපියලිය ගොල්ලට. පෙනෙන හැම තුරු මුදුන් නිල්ලට.

අම්ම ගේ වටේ කැරකෙනව.

‘සඳමල් පුතේ සඳමල් ’ කිය කියා. සඳ එළියට අම්මගෙ ඇස් දිළිහෙනවා. ඇස් වල කඳුළු දිළිහෙනවා.

හඳ එළියට ගුරු පාර පේන්නෙ, ගලන්නෙ නැති ගඟක් වගේ. තාත්ත ගුරු පාර දිගේ කඩිනම් පියවරින් පියනගනවා.
‘ පුතේ . . සඳමල් . . පුතේ ’ කියකිය වට පිට බල බලා.

තාත්තගෙ පිට මත්තට හඳ එළිය වැටිලා. පිට දිගේ බේරෙන දාඩිය සඳ දිය වෙලා, බිංදු බිංදු බිම වැටෙනවා.

සඳමල්ට හරි දුකයි. නොසෑහෙන්න දුකයි. දුක ම දුකයි.

එයා කෑ ගැහුවා.

‘ අම්මේ මං මෙහේ ’

‘ තාත්තේ මං මෙහේ ’ ඒත් ඒ සිඟති කටහඬ කඳු මුදුනෙ වැදිලා හැරිලා ආව. කොහේට ද?

හඳ ට.

සඳමල් හිටියේ හඳේ.

බැට් පිත්ත තිබ්බ තැන හොයා ගන්න බෑ. ඇඳ යට, කාමරේ දොර මුල්ලෙ, අල්මාරිය අයිනෙ, මේ හැම තැනම හෙව්වා. බැට් පිත්ත නෑ.

හැන්දෑවට කරදර කරන කළුවර ගලන් හැලෙන්න පටන් අරන්. සඳමල් කහපාට ටෙනිස් බෝලෙත් අරන් මිදුලට බැස්ස. මිදුලෙ සුදු වැල්ලෙ සෙල්ලම් කළා. තට්ට තනියම.

බෝලෙන් ගෙයි බිත්තියට ගැහුවා. බෝලෙ බිත්තියෙ වැදිල හැරිල එනකොට ඊයක් වගේ. සඳමල් දෙපැත්තට පැන පැන බෝලෙ ඇල්ලූවා. ඉඳහිට බෝලෙ බිම වැටුණා. ඉඳහිට එයත් බිම වැටුණා. ආයෙත් වතාවක දණ ඇනුනා. දණිස්ස රතුපාට වෙන්න හීරුනා. සඳමල් කුරුම්බැට්ටියක් ගලක උරච්චි කරල උරච්චි කරලා ඒක දණිස්සෙ අතුල්ලගත්තා.

චුට්ටක් දැවිල්ලයි.

සඳමල් අත කරකවල, කරකවල කුරුම්බැට්ටිය අතහැරියා. ඒක පාවෙලා ගිහිල්ල වැට අද්දර අඹ ගහේ, අඹ පොකුරක හැප්පුනා. නටුව කඩාගත්ත අඹයකුයි, පාවෙලා ආපු කුරුම්බැට්ටියයි, දෙක ම එක පාර ‘ඩොග්’ ගාලා බිම වැටුණා. අඹ පොකුර පැද්දිලා පැද්දිලා පැද්දිලා නතර වුණා.

සඳමල් අඩියට දෙකට ගහ යටට දිව්වා. වැටුණු අඹය ගැටයක්.

‘ අඹ ගැට කන්න එපා. බඬේ අමාරුව හැදෙයි. ’ අම්ම එහෙම කියනව එයාට එකපාරට මතක් වුණා. අඹ ගැටය එතන ම බිම අතහැරල එයා සුදු වැල්ලට පල්ලම් බැස්සා.

‘ නින්ද නේන කන්ද ’ ඉහත්තාවෙ හඳ නැවතිල ගිමන් අරිනවා. කඳු මුදුනින් ගලන් හැලෙන හඳ එළිය කඳු බඳේ අතු පාරවල් දිගේ රූටගෙන ඇවිත් පහත්තාවෙ බෝවිටි පඳුරු අතරේ දිය වෙලා යනවා. දම්පාට මල් පෙති මතට කිරි පාට වැටුණ ම එන්නෙ, බලන්න ලස්සන පාටක්. අමුතු ම ලස්සනක්.

සඳමල් හඳ දිහා බලාගෙන ගිමන් ඇරිය. හයියෙන් හති ඇරිය. එකපාරට ම මුළු ඇෙඟ් ම හයිය අරගෙන අතට ගත්ත සඳමල් වේගෙන් බෝලෙ උඩ ගැහුවා. බෝලෙත් අත්තටු ලැබුණ වගේ සන්තෝශෙන් තිතේ නැග්ග. මෙන්න බොලේ බෝලෙ පාවෙලා, පාවෙලා ඈතට යනවා.

සඳමල් බෝලෙ පස්සෙ දුවන්න ගත්ත. බෝලෙ යන්නේ නින්ද නේන කන්ද දිහාවට.

‘ කොහොම හරි ඒක අල්ලනවා’ කියලා හිත හිත සඳමල් එළිය පිරුණ අතුරු පාරක කන්ද දිගේ උඩට දිව්ව.

සඳමල් කන්ද උඩට එන්න ඔන්න මෙන්න තියෙද්දි බෝලෙ වැටුණ කන්ද උඩට. වැටුණ වේගෙන් ම බම්ප් වුණා. බම්ප් වෙලා පාවුණා. පාවෙලා ගිහින් වැටුණෙ කොහෙටද කියල දන්නව ද?

හඳට.

ඔය වෙලේ හා පැටව් හිටියෙ බට්ට පැන පැන. සිංදු කිය කිය.

‘චුට්ට චුට්ට
කිට්ටු කරල
තට්ටු කරනවා . . .
ඔට්ටු තියල
බට්ට පැනලා
ඔට්ටු දිනනවා ’

මෙන්න එතකොට බිම දිගේ රෝල් වෙවී ආපු බෝලයක් බට්ට පනින කොට්ටක් මැද්දෑවෙ ඉද්ද ගැහුවා.

‘ බෝලයක් ’

හැමෝට ම කෑගැහුණා. ඉහ වහා ගිය සතුටට. හැමෝට ම බෝලෙ පෙනුනෙ දිව්‍ය ලෝකෙන් වැටුණ මැණිකක් වගේ. බට්ට පැනිල්ල පැත්තකට දාලා කට්ටිය බෝල ගැහිල්ලට ලෑස්ති වුණා. ඒත් එක්ක ම ඇහිච්ච අත්පුඩි සද්දෙට පහළ බලද්දි පොඩි ළමයෙක් කන්ද මුදුනෙ ඉඳන් අත වනනවා.

‘ මේ . . . . මං සඳමල් . . . ඔය බෝලෙ මගේ ’

හා පැටව් කවදත් හරි හොඳයි. ඒ ගොල්ලො කිසිදාක කාටවත් අයිති දේකට අයිතිය කියන්න හිතන්නෙවත් නෑ.

‘ ඔන්න එහෙනම් බෝලෙ දානව අල්ල ගන්න ’ කියල බෝලෙ අතේ තිබුණ හා පැටියා කිව්වා.

සඳමල් ‘ එපා, එපා ’ කියලා කෑ ගැහුවා.

හා පැටව් මූණට මූණ බලා ගත්තා. බෝලෙ එයාගෙ නම්, ඇයි එයා දාන්න එපා කියන්නේ ’ ඒගොල්ලන්ට එහෙම හිතුනා.

‘ ඇයි සඳමල් ඔයා බෝලෙ එපා කියන්නේ ’ එක හා පැංචෙක් ඇහුවා.

බෝලෙ එපා කියන්නෙ, මට සෙල්ලම් කරන්න ඕන හින්දා ’ සඳමල් උත්තර දුන්නා.

‘ සෙල්ලම් කරන්න ඕන හින්දා තමයි අපි ඔයාට බෝලෙ දෙන්න හදන්නේ ’ හා පැංචෙක් එහෙම කිව්වා.

බෝලෙ තිබුණට වැඩක් නෑ. මට සෙල්ලම් කරන්න කවුරුත් නෑ ’ සඳමල් දුක බේරෙන කටහඬින් පිංසේණ්ඩු වුණා. ‘ ඕගොල්ලො බෝලෙ තියා ගන්න. මාවත් සෙල්ලම් කරන්න අරගන්න ’

හා පැටව් හඳේ ගැට්ටට ම ආවා. එක්කෙනා එක්කෙනා අතින් අත පටලෝගත්තා. අයිනෙම හිටපු එක්කෙනා කන්ද දිහාවට නැමිල සඳමල්ට අත දුන්න. එයා අතේ එල්ලූනා. කට්ටිය කඹ අදින්නා වගේ සඳමල්ව හඳ උඩට ඇදල ගත්ත. ඇද්ද පාරට කට්ටිය ම එක පොදියට බිම වැටුණා. හැමෝට ම හිනා. හිනා වෙවී ම දනිපනි ගාල නැගිට්ට හා පැටව් සඳමල්ව මැදි කරගෙන අත්පුඩි ගගහ නටන්න ගත්තා.

අත්පුඩි පුඩි පුවත්තා
අත්පොළසන් දෙවත්තා
කවුද අපේ අමුත්තා
බෝලෙ ගෙනා පොඩිත්තා

හා පොඞ්ඩන්ගෙ සුන්දර පිළිගැනීමෙන් සඳමල් ගේ හිත විකසිත වුණා. එයත් දන්නෙ නෑ එයාගෙ කකුල් දෙක නැටවෙනවා. දැන් යාළුවො ටික වටේට නටනවා, සඳමල් මැද නටනවා. සඳමල් නට නට ම සිංදුවක් කියන්න පටන් ගත්තා.

හා හා හරි යාලූ
හා පොඩි පොඩි යාලූ
දොමි තරිකිට තක්ක දොදොම්
යසට නටනවාලූ

කන් පොඩි නැලවේලූ
අත්පොඩි සෙලවේලූ
අත් පුඩි පුඩි තක්ක දොදොම්
නැට්ට නටනවාලූ

නටල නටල යාලූ
නැටිලි ඉවරවේලූ
ඊට පස්සෙ තක්ක දොදොම්
බෝලෙ ගහනවාලූ

කට්ටිය නට නට ම හඳ මැද්දට ගියා බෝල ගහන්න. ඒත් බැට් පිත්තක් නෑ. පිත්ත ගෙනාව නම්, කියල සඳමල් ට හිතුනා. මිදුලෙ බැට් ගහද්දි හයියෙන් පාරක් ගැහුවොත් එක්කො බෝලෙ වැටට උඩින් ඉගිල්ලිලා ගිහින් කැළෑ වදිනවා, නැත්නම් වහළෙ උඩින් බම්ප් වෙවී ගිහිල්ලා පිළිකන්නෙ හැංගෙනවා, එහෙමත් නැත්නම් උඩ ගිහින් ගහක ?ඳෙනවා. හඳේ එහෙමද? හතරෙ සීමාවක් නෑ ඕන තරම් දුර ගහතෑකි. ඒත් කෝ බැට් පිත්තක්.

‘ අපි පිට්ටු කඩමු ’ උඩ පැන පැන හිටපු හා පැටික්කෙක් යෝජනා කළා.

‘ ඉතින් ටින් කෝ? ’ හඳේ ටින් කඩන්නෙ කොහොමද කියන ප‍්‍රශ්නෙ සඳමල් ගෙ හිතට ආපු හින්දා එයා යාළුවන්ගෙන් එහෙම ඇහුවා.

‘ ‘ ආහ්’ මෙහේ ඕනතරම් ටින් තියෙනවා. එක එක ජාති ඒවා. එක එක තරම් ඒවා ’ හා පැට්ටෙක් කිව්වා හිනාවෙවී.

‘ ඒ කොහොමද? ’ සඳමල්ගෙන් ප‍්‍රශ්න පිට ප‍්‍රශ්න. ‘ ඒ කොහෙන්ද? ’ ඇස් උඩ තියන්, නළල ?ැලි කරන් එයා ඇහුවා.

යාළුවො කට්ටිය හඳට ටින් එන හැටි නාට්ටියක් බවට පත් කළා. කට්ටිය චරිත බෙදා ගත්ත. දෙන්නෙක් දුවල දුවල ගිහින් එක එක ජාති, එක එක තරමේ ටින් අහුර අහුර අරගෙන ආයෙ ම දුවල එතෙන්ට ම ආවා.

හා පැටව් නාට්ටිය රඟ දක්වන කොට එක හා පැටියෙක් සඳමල් ලඟ හිටගෙන කතාව ලිහිල් කළා කට පාඩමින් වගේ. යාළුවො එයාට කිව්වේ වනපොත කියලා.

‘ ඔන්න හිටි ගමන් ලොකුම ලොකු උසම උස පිට්ටු බම්බු වගේ අහස් යාත‍්‍රා හඳට එනවා. ඒවයි එන්නෙ එක එක තාලෙ මාමල, නැන්දලා. ඒ අය ඇවිත්, ලොකු පාට පාට කුඩ ඉහළලා බිම හිටෝනවා. පාට පාට පැදුරු අරන් කුඩ යට එළනවා. සමහරු පැදුරු උඩ ඉඳගෙන, සමහරු නිදාගෙන, සමහරු මුනින් අතට පෙරලිලා වරු ගණන් පොත් කියෝනවා. ටින්වල දාපු එක එක කෑම ජාති, බිම ජාති ගෙනත් කනව, බොනව. යනකොට පැදුරු කුඩ අකුලගෙන යනවා. හිස් ටින් නම් දාපු දාපු තැන්වල. ’

’ හපෝ ලොකු ඈයො එහෙම කරන එක හොඳ නෑ. අපේ අම්මා නම් කියන්නෙ හිස් ටින්, බෙලෙක්ක වළක් කපලා වළලන්න නැත්නම් ටින් වල වතුර පිරිල මදුරුවෝ බෝ වෙනවා. මදුරුවෝ බෝ වුණා ම පොඩි ඈයින්ට ‘ඩෙංගු’ හැදෙන්න පුළුවන්. ආයිත් කවුරුහරි මෙහේ ආවොත් ඕගොල්ල කියන්න, ටින් බෙලෙක්ක අරගෙන ම යන්න කියලා. සඳමල් කියාගෙන කියාගෙන ගියා. ‘වනපොත’ ඇහුවෙ එකම ප‍්‍රශ්නයයි.

’ මොනා ද ඩෙංගු කියන්නෙ ’ ඒ ප‍්‍රශ්නෙ අහද්දි පැටව් රොත්තම එතන්ට රොක් වුණා.

’ හරිම නරක ලෙඩක්. මුලින් උණ ගැනෙනව. පස්සෙ ඇඳට වැටෙනව. එතනින් ඉස්පිරිතාලෙට. ඒ හින්දා හොඳ ම දේ ඉන්න තැන සුද්දෙට තියා ගන්න එක ’ සඳමල් පණ්ඩිතයෙක් වගේ යාළුවන් ට කියා දුන්න. හැබැයි කියපු සේරම ඇත්ත. අත්ත ම ඇත්ත. හැමෝම නොකර සද්ද කන දාගෙන හිටියෙ. වනපොතාගෙ කන් ඉස්සිල, කටත් ඇරිලා.

’ මොකද කටේ පිට්ටුද ’ යාළුවෙකුට කිට්ටු කරලා, පිටට තට්ටු කරලා සඳමල් ඇහුවා. පිට්ටු කඩන්නැද්ද?’
හැමෝම වටවුණා පිල් බෙදෙන්න. පිට්ටු කඩන්න දෙපිලක් ඕන.

‘ අපි උච්චි උච්චි - තෝල් තෝල් කරමු ’ කිව්වේ පිට්ටුවා. එයා ටින් කැඩිල්ල ට දක්ෂයා. ඒත් නම වැටිල තිබුණේ ඒ හින්ද නෙවෙයි. බෝලෙ වගේ පිම්බිලා හිටපු හින්දා. කකුල් දෙකත් පුළුන්, පුළුන්. එයා කැමැත්තෙන් ම එක පිලක නායකයා වුණා. අනිත් පිලේ නායකයා විදිහට කට්ටිය ම ‘තුන්පිම්මා’ ව යෝජනා කළා. තුන් පිම්මා දුර පනින්න හැබෑම දක්ෂයා. එයා දුර පනින්නේ අමුතුම රිද්මයකට.

සඳමල් උච්චි - තොල් දැම්මෙ ‘කරනමා’ත් එක්ක. එයා තමයි මිතුරු හවුලෙ බල්ටි කරුවා. එයාට තිබුණෙ හිනාවෙනකොට ලේනෙක් වගේ පේන හීන් දත් දෙකක්.

මම මහපට, ඔයා දබර. එයා හීනි දත් දෙකෙන් හීනියට හිනාවෙවී ඇඟිලි දෙකක නම් යෝජනා කළා. සඳමල් ඒක ස්ථිර කළා. දෙන්න එක්ක නායකයො දෙන්න ඉස්සරහට ගියා.

‘උච්චි උච්චි ’ කිව්වෙ කරනමා.

නායකයෝ ‘තෝල් තෝල් ’ කිව්වා

‘මහපට ද? දබර ද?’

‘ දබර’ කියල කියවුණේ නායකයෝ දෙන්නටම එකටමයි.

සඳමල්, කොයි පැත්තට එන්නද කියල හිත හිත දෙන්න දිහා ම බැලූවා.

‘ඉස්සෙල්ලම දබර කිව්වෙ මං ’ පිට්ටුවා කිව්වා.

‘නෑ මමයි කිව්වේ’ තුන් පිම්මා කිව්වා.

දෙන්නා හැප්පෙන්න පටන් ගත්ත, වනපොතා ඇවිත් ප‍්‍රශ්නෙ මැද හිටගන්න තුරු.
ඕගොල්ලො දබර ඇඟිල්ලක් අල්ලන් දබර කරන එක වැරදියි. අපි කට්ටිය පිල් දෙකකට බෙදෙන්නෙ සෙල්ලම් කරන්න මිසක් දබර කරගන්න නෙවෙයි.

තප්පරෙන් දෙකෙන් ප‍්‍රශ්නෙට උත්තරේ ලැබුණා. ඔන්න ඉතින් ටින් කැඩිල්ල පටන් ගත්ත. සඳමල් වැටුණෙ තුන්පිම්මගෙ පැත්තට. ලොකුම ටින් එක බිමටත් චූටිම ටින් එක මුදුනටත් හිටින්න පිට්ටුවා හිටෙව්වා. කැඩුවෙ සඳමල්. කඩපු පිලේ කට්ටිය සී සී කඩ දිව්වා. පිට්ටුවාගෙ ඵිලේ කට්ටිය අතින් අතට බෝලෙ පාස් කර කර අනිත් පිලේ කට්ටිය දවා ගන්න දත මැද්දා.

බෝලෙ ඈතට යනකොට කොහෙන් හරි මතුවෙන කෙනෙක් ටින් එකක් හිටවල දානව. ඊළඟට ඒ ටින් එක උඩ තව එකක්. සමහර විට ඔක්කොම ටින් හිටෝල ඉතුරු වෙච්ච චූටි ටින් එක උඩ තියේද්දි ආයෙත් සේරෝම ටින් කඩන් වැටෙනවා. ටින් කැඩිල්ල හරිම විනෝදයි. පෙළක් වෙලාවට බෝලෙ අතේ තියෙන කෙනෙක් කුරුමානම ටක්කෙට ම අල්ලල බෝලෙ එවනවා ටින් හිටෝන යාළුවෙකුගෙ පිට මැද්දට කිස් කන්න.

ටින් කැඩිල්ල මේ විදිහට විනෝදයෙන් ගලා යද්දි ලැබුණ පුංචි විරාමයකයි සඳමල් ට පල්ලෙහා බැලූණේ. දන්නෙ ම නැතිව වෙලාව ගිහින්. හොදටෝ ම ? බෝවෙලා. අම්මයි තාත්තයි සඳමල් ව හැම තැනම හොයනවා.

‘පුතේ . . . සඳමල් . . . පුතේ ’ කිය කිය

‘සඳමල් පුතේ සඳමල්’ කිය කිය

හා යාළුවො සඳමල්ව වටකරගත්තා. ‘ඇයි මොකද්ද ප‍්‍රශ්නෙ?’

‘අම්මයි, තාත්තයි හොඳටම බයවෙලා. අර . . මාව හොයනව. මං දැන් යන්න ඕන.’

සඳමල්ගෙ හිත් පොඞ්ඩ අම්මයි, තාත්තයි ගැන ආදරෙන් පොඞ්ඩ පොඞ්ඩ පිරිල, පිරිල පිටාර ගලන ගාණට ඇවිත්.

‘ඔයා ඉක්මණට ම ගෙදර යන්න. අම්මල, තාත්තලා ගෙ හිත් රිද්දන්න හොඳ නෑ. ආයිත් එනකොට කියල එන්න. දැන් ඉක්මණට ගෙදර යන්න ’ වනපොතා හැඟුම්බරව කියමින්, බිම ඇණ තියාගෙන උන්නු සඳමල් ගෙ හිස අතගෑවා. සඳමල් ගෙ ඇස් දෙක අගිස්සෙන් දිය සීරාවක් වගේ ගලන් හැලෙමින් තිබුණෙ කඳුළු.

‘ඉතින් මං යා ගන්නෙ කොහොමද?’ සඳමල් එහෙම කිව්වෙ ඇයි කියල දන්නවද? නින්ද නේන කන්ද මුදුනෙ නැවතිලා ගිමන් අරිමින් හිටපු හඳ දැන් අහසෙ මුදුන් වෙලා.

‘හරි හරි, ඔයා බය නැතුව ඉන්න. අපි ඔයාව කන්ද උඩට ඇරලන්නම්.’ අම්මයි, තාත්තයි වෙනුවෙන් කතා කරපු වනපොතා ම උත්තර දුන්නා. එයා අත්පුඩි ගහල හඳ ළඟ පාවෙවී උන්නු වළාකුළකට කතා කළා. වළාකුළක් පාවෙලා ඇවිත් හඳ ගැට්ටෙ ගෑවි ගෑවි නතර වුණා. හා යාළුවන්ගෙන් නියෝජිතයො කිහිප දෙනෙක් වළාකුළ ලඟට ගිහින් මොහොතක් මුණු මුණු ගෑවා. ඊට පස්සෙ සඳමල්ට කතා කළා ලඟට. ලඟට ආපු සඳමල්ව උස්සල ගත්ත යාළුවො කට්ටිය, වළාකුළ මැද්දෑවෙ ඉන්දෙව්වා. එතන හරිම සනීපයි, පැද්දෙන පුළුන් තොටිල්ලක් වගේ. සීතලයි, අයිස් වගේ.

පාවෙලා ගිය වළාකුළ කන්ද ඉහත්තාවෙ නතර වුණා විතරයි සඳමල් කන්ද උඩට පැන ගත්තා. හඳ එළිය ගලන අතුපාරක් දිගේ වේගෙන් පල්ලම් බැස්ස සඳමල් කෙලින් ම දිව්වෙ ගෙදෙට්ට. සඳමල් දුවගෙන එනව දැකපු අම්මයි, තාත්තයි ඉදිරියට ගිහිල්ලා සඳමල්ව වැළඳගෙන ආදරෙන් සිප ගත්තා.

සඳමල් හිමින් සැරේ හඳ දිහා බැලූවා. යාළුවො කට්ටිය පේලියට හිටගෙන සඳමල්ට අත වනනවා. සඳමලූත් අත් දෙකම උස්සලා යාළුවන්ට ආදරේ තරම පෙන්නුවා. සඳමල් හඳට අතවනනවා දැකපු අම්මයි තාත්තයි, හඳ පැත්තට දෑස් යා කළා. ඒ දෙන්නා ඒ මොහොතෙ තමයි ඇත්තට ම දැක්කෙ හඳ මඬලෙ හා පැටව් ඉන්න බව.


මංජුල වෙඩිවර්ධන

-2005- මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook

ඔන්න එකෝමත් එක කාලෙක ගොවි හාමිනේ කෙනෙක් හිටියා. දවසක් දා ඇය ඇපල් ගසකින් ඇපල් කඩමින් ඉන්නා අතරතුරේ, අතින් ගිලිහුණු ඇපල් ගෙඩියක් බිම තිබුණු පුංචි වලකට වැටුණා. ඈ ඒක ගන්න කොච්චර උත්සහ කලත් පලක් වුණේ නැහැ.

උදවු ඉල්ලාගන්ට කෙනෙක් අහල පහල ඉන්නවාදැයි ඈ විපරම් කරමින් ඉන්නා අතරතුර, ළඟ තිබූ ගහක වහලා උන්නු කුරුල්ලෙක් දුටුවා. ඉතිං ඈ කුරුල්ලා ට කතා කරලා මෙහෙම කිවුවා.

”කුරුල්ලෝ, කුරුල්ලෝ, හෙමින් බිමට පියාඹලා ඇවිත් මේ වලට වැටුණු ඇපල් ගෙඩිය මට අහුලා දියන්!” . එතකොට කුරුල්ලා කිවුවා ”ට්වීට්, ට්වීට්, ට්වීට් - මට බෑ ” කියලා.

බලන්න ඌ කොච්චර නරක කුරුල්ලෙක්ද කියලා. ඉතින් ගොවි හාමිනේ කිවුවා ” උඹ නම් හරිම නරක කුරුල්ලෙක්!” ය කියලා.

ඊළඟට ඈ දැක්කා පූසෙක්. ඉතිං එයා පූසාට කතා කරලා මෙහෙම කිවුවා.

”බළල් හාමි, බළල් හාමි, විගහට ඇවිදින් කුරුල්ලා අල්ලා ගන්ට පැනපන්. ඌ බිමට එනතුරු, මේ වලෙන් මට ඇපල් ගෙඩිය හොයා දෙනතුරු”

ඔන්න පූසා කියාපි, ”ඤාව්, ඤාව්, ඤාව් - මට බෑ” කියලා. එයත් මහ නරක පූසෙක් කියල පෙනෙනවා නේද?

”උඹ නම් හරිම නරක පූසෙක්”. ගොවි හාමිනේ් කිවුවා.
ඔන්න ඊලඟට, ඈට මුණගැහුණා බල්ලෙක්. ඉතිං එයා බල්ලා ලඟට ගිහින් මෙහෙම කිය කියා පිංසෙණ්ඩු වුණා.

” අනේ බලූ රාළේ , බලූ රාළේ, මේ බලල් හාමිව පන්නා දමාපන්, බලල් හාමි ඇවිත් කුරුල්ලා අල්ලා ගන්නා තුරු, කුරුල්ලා බිමට ඇවිදින් මට ඇපල් ගෙඩිය අහුලා දෙන තුරු” ”

එතකොට බලූහාමි ” බුහ්, බුහ්, බුහ්- මට බෑ” කියලා කිවුවා. දැක්කද, ඌත් හරිම නරක බලූ හාමි කෙනෙක්.

ඉතින් ගොවි හාමිනේ කිවුවා, ” දෙයියනේ, කොයි තරම් නරක බලූහාමි කෙනෙක්ද?” කියලා.

ඔන්න ඉතිං දැන් ඈ ආයෙත් සැරයක් වට පිට බලමින් ඉන්නා අතරෙ දැක්ක පුංචි මී මැස්සෙක් පියඹාගෙන යනවා. ඈ මී මැස්සාට කතා කරලා,

”මී මැසි රාළේ, මී මැසි රාළේ විගහට ඇවිදින් බලූරාලට ඇනපන්, බලූ රාළ බලල් හාමි පස්සේ පන්නන තුරු, බලල් හාමි කුරුල්ලා අල්ලාගන්ට පනින තුරු, කුරුල්ලා බිමට ඇවිදින් මට ඇපල් ගෙඩිය අහුලා දෙනතුරු”

ඒත් මී මැස්සා කිවුවා ” ගුමු, ගුමු, ගුමු - මට බෑ” කියලා. පෙනෙනව නේ, එයත් හරිම නරක මී මැස්සෙක් කියලා.

”උඹත් හරිම නරක මී මැස්සෙක් තමයි” ගොවි හාමිනේ කිවුවා.
ඔන්න ඊළඟට ඈ වටපිට බලන කොටම දැක්කා මී මැසි පාලකයෙක්ව. ඉතින් ඈ මී මැසි පාලකයා ලඟට ගිහින් මෙන්න මෙහෙම කිවුවා.

” අනේ හොඳ මී මැසි පාලකයෝ ඔය මී මැස්සාට කියන්ට බලූ රාලට අනින්ට කියලා. බලූ රාලහාමි බලල් රාල පස්සෙ පන්නනතුරු, බලල් රාල කුරුල්ලා අල්ලන්ට පනිනතුරු, කුරුල්ල බිමට ඇවිත් මට ඇපල් ගෙඩිය අහුලා දෙනතුරු”

” මට බෑ” ඔන්න මී මැසි පාලකයා කියාපි.

”දෙයියනේ, මොන තරම් නරක මී මැසි පාලකයෙක්ද?” ගොවි හාමිනේ් කිවුවා.

ඔන්න දැන් ඈ ආයෙත් වටපිට බලනවා. මේ වතාවෙ ඈ දැක්කෙ බිම වැටිලා තිබුණු ලණුවක්. ඈ ලණුවට කතා කරල මෙන්න මෙහෙම කිවුවා.

” ලණුවේ, ලණුවේ, බලූ රාලට අනින්න කියල මී මැස්සට කියන තුරු විගහට ඇවිදින් මේ මී මැසි පාලකයාව බැඳදමාපන්, බලූ රාලහාමි බලල් රාල පස්සෙ පන්නනතුරු, බලල් රාල කුරුල්ලා අල්ලන්ට පනිනතුරු, කුරුල්ල බිමට ඇවිත් මට ඇපල් ගෙඩිය අහුලා දෙනතුරු”

ඒත් ලණුව කිසිම දෙයක් ඇහුනෙ නැති විදියටම ඔහේ වැතිරිලා හිටියා.

”කොයිතරම් නම් නරක ලණුවක්ද මේ?” ගොවි හාමිනේ ආයෙත් කිවුවා.

එම් කියලා ආයෙත් එහෙ මෙහෙ බැලූවා. ඔන්න ඒ පාර ඈතින් පෙනුනා ගින්දර ගොඩක්. ඈ ගින්දරට කතා කරලා මෙහෙම කිවුවා.

” අනේ, ගිනි මැලයෝ, ගිනි මැලයෝ, විගහින් ඇවිත් මේ ලණුව පුච්චලා දමන්න ඕනෑ. ලණුව ඇවිත් මී මැසි පාලකයා බැඳ දමන තුරු, මී මැසි රාල බලූ රාලට අනින තුරු, බලූ රාලහාමි බලල් රාල පස්සෙ පන්නනතුරු, බලල් රාල කුරුල්ලා අල්ලන්ට පනිනතුරු, කුරුල්ල බිමට ඇවිත් මට ඇපල් ගෙඩිය අහුලා දෙනතුරු”

ගිණි මැලය මොකවත් නොකියා නිහඩවම හිටියා. හරියට එයාට මොකුත්ම ඇහුණෙ නැති ගානට. එයා ලණුව පුච්චන්න ගියෙත් නෑ.

”අයියෝ දෙයියනේ! මොනතරම් නරක ගිනි මැලයෙක්ද මේ!” ගොවි හාමිනේ් කිවුවා.

එහෙම කියලා ආයෙත් වට පිට බැලූවා. ඔන්න එතකොට ඈ දැක්කා පුංචි වතුර කඩිත්තක්.

”වතුර කඩිත්තේ, වතුර කඩිත්තේ විගහට ඇවිදින් වතුර ඉහලා මේ ගින්දර නිවාදාපන්, ගින්දර ඇවිදින් ලණුව පුච්චන තුරු, ලණුව ඇවිදින් මී මැසි පාලකයා බැඳ දමන තුරු, මී මැස්සා බලූ රාලට අනින්න කියන තුරු, බලූ රාල බලල හාමි පස්සෙ පන්නනතුරු, බලල් හාමි කුරුල්ලා අල්ලන්ට පනිනතුරු, කුරුල්ල බිමට ඇවිත් මට ඇපල් ගෙඩිය අහුලා දෙනතුරු”

ඔන්න ඉතින් පුරුදු විදියටම වතුර කඩිත්තත් කිසිම දෙයක් ඇහුණේ නැති ගානට හිටියා.

” දෙයියනේ! කොයිතරම් නරක වතුර කඩිත්තක්ද?” ගොවි හාමිනේ් කිවුවා.

ආයෙත් ඈ වට පිට බලද්දි දැක්කා එළදෙනක්.

ඉතිං ඈ හීන් සීරුවේ එලදෙන ලඟට කිට්ටු කරලා මෙහෙම කිවුවා.

”කිරි අම්මේ, කිරි අම්මේ, විගහට ඇවිදින් මේ වතුර කඩිත්තෙ වතුර සේරම බොන්න, වතුර කඩිත්ත ගිනි මැලය නිවාදමන නැති තුරු, ගින්දර ඇවිත් ලණුව පුච්චා දමන තුරු, ලණුව මී මැසි පාලකයා බැඳ දමන තුරු, මී මැසි පාලකයා මී මැස්සාට අනින්න කියන තුරු, බලූ රාලහාමි බලල් රාල පස්සෙ පන්නන තුරු, බලල් රාල කුරුල්ලා අල්ලන්ට පනින තුරු, කුරුල්ල බිමට ඇවිත් මට ඇපල් ගෙඩිය අහුලා දෙන තුරු”

ඒත් එළදෙන කිවුවේ, ” උම්බෑ, උම්බෑ, උම්බෑ - මට බෑ” කියලා.

ඉතිං ඔන්න ආයෙත් ගොවි හාමිනේකිවුවා ” මොන තරම් නරක එළදෙනක් ද මේ!” කියලා.

එහෙම කියලා ආයෙත් වට පිට බලද්දි ඔන්න එයා දැක්කා කුරුල්ලව ආයෙත්. ඉතිං කුරුල්ලාට කතා කරලා එයා අයෙත් මෙහෙම කියන්ට වුණා.

” කුරුළු හාමියේ ඩිංගක් පහළට ඇවිදින් මේ එළදෙනගේ පිටට කොටාපන්”

” හරි, මං ඇවිත් කොටන්නම්. එ්ක මට සුළු දෙයක්. හැබැයි ඔහේට අර ඇපල් ගෙඩිය මං අහුලා දේවි කියල නම් හිතන්නෙපා” ඔන්න එතකොටම කුරුල්ලා කියාපි.

ඩිංගක් දඟකාර කුරුළු හාමි ඇවිත් එළදෙනට කොටන්ට පටන්ගත්තා. එතකොටම වාගේ එළදෙන දිය කඩිත්තෙන් වතුර බොන්ට පටන් ගත්තා. ඊලගට දිය කඩිත්තේ වතුර ගිනි මැලය නිවන්ට පටන් ගත්තා. ගිනි මැලය ලණුව පුච්චා දමන්ට ගියා. ලණුව ගිහින් මී මැසි පාලකයාව බැඳ දමන්ට පටන් ගත්තා. මී මැසි පාලකයා බලූ රාලට අනින්ටය කියලා මී මැස්සට කිවුවා. මී මැස්සා බලූ රාලට අනින්ට පටන් ගත්තා. බලූ රාල බලල් හාමි එලවන්ට පටන් ගත්තා. බළල් හාමි එළදෙනට කොටමින් උන්න කුරුල්ලා අල්ලාගන්ට පැන්නා.

අන්තිමේදී, මහ විසාල හුළඟක් ඇපල් ගෙඩිය හැංගුණු වලට උඩින් බිම දිගේ හමාගෙන ගියා. ඒ හුළඟ සැඟවුණු ඇපල් ගෙඩිය ගොවි හාමිනේ් ට ආයෙත් ගෙනවිත් දුන්නා.

ඉතිං එදා ඉඳලා ඒ හැමෝම සතුටින් සමාදානයෙන් ජීවත් වුණා.

ඉද්රීස් ෂා ගේ සුෆී කතාන්තරයකි
පරිවර්තනය - ප්‍රශංසනී පරණවිතාන
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
බෑ කියල බෑ ජොසපින්!

ජොසපින් කියන්නෙ පුංචි පෙන්ග්වින් කෙනෙක්. එයා උන්නෙ ග්‍රීස්ම කාලෙදී උනත් හැම වෙලාවෙම හිම සහ අයිස් වලින් පිරුණු පෙදෙසක. එයා විතරක් නෙමෙයි තවත් හුඟක් පෙන්ග්වින්ලා එතන ජීවත් වුනා. ඒවුනත් ජොසපින් එයාගෙ කාලයෙන් වැඩි කොටසක් ගතකලේ අනිත් සතුන් එක්ක. මොකද ඒගොල්ලො හුඟක් සෙල්ලම් දැනගෙන උන්නා පෙන්ග්වින්ලාට වඩා. ජොසපින්ගේ යාලූවෝ වුණු හිම හාවුන් එයාට කියලා දුන්නා අයිස් මත ලිස්සා යන්නෙ කොහොමද කියලා. ඒක කොච්චර ලේසි සෙල්ලමක්ද කියලා ජොසපින්ට හිතුණා.
සමහර වෙලාවට තරෙඟට හුඟක් වේගයෙන් හිම උඩින් ලිස්සගෙන ගිහින් අයිස් කුට්ටියකින් පහළට රූටල වතුරට වැටෙන එක පුදුම විනෝද ජනක වැඩක්!

ඒවගේම පුංචි ජොසපින්ගේ යාළුවන්ට හැම දෙයක්ම වාගේ පුළුවන්. ඒහින්දා ජොසපින් කිසිම වෙලාවක බය වුණේ නැහැ ඒසෙල්ලම් ඉගෙන ගන්ට. ඒවා පුරුදු පුහුණු වෙන්ට. ඒහින්දා එයා හැම දේම බොහොම විගහින් ඉගෙන ගත්තා. ඒවිතරක් නෙමෙයි එයාගේ යාළුවෝ හැමෝම කැමති හැම ක්‍රීඩාවක්ම වගේ කරන්නට එයාට පුළුවන් උනා.

බැඞ්මින්ටන් වුනත්...

බොක්සිං වුනත්....

අයිස් උඩ දිවීම වුනත්...

එයා හැම වෙලාවෙම යාළුවෝ එක්ක හුඟක් සතුටින් කල් ගත කලා.

ජොසපින් දියමත බොහොම පහසුවෙන් ලිස්සා යන ක්‍රීඩාව කරද්දී හැම පෙන්ග්වින් කෙනෙකුම වාගෙ බලාගෙන උන්නා. එයාගේ පෙන්ග්වින් අම්මයි තාත්තයි දෙන්නම බලාගෙන උන්නා. ඒගොල්ලො බොහොම දුකෙන් ඒඅයගේ ඔළු ගෙඩි සොලවමින් බලාගෙන උන්නා. ඒගොල්ලන්ට ඕන වුනෙ ජොසපින් අනිත් හැම පෙන්ග්වින් කෙනෙකුම වාගෙ වෙනවට.

ඔන්න එක දවසක් පෙන්ග්වින්ලාට අදහාගන්න බැරි තරමේ දෙයක් ඒගොල්ලො දැක්කා. ඒතමයි ඈත අහසේ ඉහළින් පියාසර කරන ලොකු මුහුදු ලිහිණි දෙන්නෙක් සමග ජොසපින්!

"දැන් නම් හොඳටෝම ඇති! එයා ඕනෑවටත් වඩා දේවල් දැන් ඉගෙන ගෙන තියෙනවා"

"එයා දැන් ඉස්කෝලේ යන්න ඕනෑ, අනිත් හැම පෙන්ග්වින් කෙනෙකුම ඉගෙන ගන්නා දේවල් ඉගෙන ගන්ට" ජොසපින්ගේ තාත්තා කිවුවා.

"තවත් නම් මට මේකට ඉඩදෙන්න බැහැ" පෙන්ග්වින් අම්මා කිවුවා.

එදා හැන්දෑවේ ජොසපින්ගේ අම්මයි තාත්තයි ඇයට කතා කලා.

”අපි දන්නවා ඔයා එක සෙල්ලම් කරන්න ආස බව. ඔයා ඒවාට හුඟක් දක්ෂ බවත්. ඈගේ අම්මා කිවුවා.

” ඒවගේම ඔයා ඉගෙන ගන්න ඕනෙ කරන තවත් දේවල් තියෙනව. ”

"හෙට ඉඳන් අපි ඔයාව පෙන්ග්විනෝවා ගුරුතුමී ගේ ඉස්කෝලෙට යවනවා. එයා තමයි මේ පළාතෙම ඉන්න හොඳම පෙන්ග්වින් නැටුම් ගුරුවරිය" ජොසපින්ගේ තාත්තා කිවුවා.

"අනේ තාත්තේ , මට ඉස්කෝලේ යන්න ඕනෑ නෑ. මට නැටුම් ඉගෙනගන්න ඕනැත් නෑ" ජොසපින් කිවුවා.

"ඔයා ඉස්කෝලේ යනවා. එ්ක එහෙම තමයි! " තාත්තා එහෙම කියලා යන්ට ගියා.

ඊළඟ දවසෙ උදේ ,

පෙන්ග්විනෝවා ගුරුතුමී බොහොම සතුටු වුණා ජොසපින්ව එයා ගෙ ඉස්කෝලෙට බඳවාගන්ට. එයා හිතුවා ජොසපින් දක්ෂ නැටුම් ශිල්පිනියක් වෙයි කියලා. " ඒවෙනුවෙන් මහන්සි වී වැඩකරන්ට ඕනෑ" යි ඈ ජොසපින්ට කිවුවා.

"වැඩ! " ඔන්න ජොසපින් හිතන්ට පටන්ගත්තා. "අපෝ , ඒක ඒතරම් විනෝදයක් නැති දෙයක් වෙන්ට ඕනෑ මං හිතන්නෙ"

"අද අපි ඉගෙන ගන්ට යන්නෙ සමනළුන්ගේ නැටුම" පෙන්ග්විනෝවා ගුරුතුමී කිවුවා.

"දැන් ඕගොල්ලො හිතාගන්ට ඕනෑ තමන් මලින් මලට ඉගිලෙන පුංචි කහ සමණලයෙක් ය කියල"

ජොසපින් එයාගේ බැලේ සපත්තු අඳිමින් බොහෝ වේලාවක් ගතකලා හිතන්ට. සමනළුන් මලින් මලට පියඹන්නෙ කොහොමද කියලා.

අවසානයේ ඈ පන්තියට එකතුවුනා.

ඒත් එයා ගත්තු හැම උත්සහයක්ම වාගේ අසාර්ථක වුණා.

ඉස්කෝලෙන් පස්සෙ ජොසපින් කලේ එයාගේ බැලේ සපත්තු කුට්ටම දමාගෙනම හිම උඩින් ගෙදර ගිය එක. එයාට දුක හිතුණා.

"මොන තරම් මෝඩ වැඩක් ද? සමණළයෙක් වගේ හිතාගන්න එක! "

ඊළඟ දවසේ තිබුණේ තාරාවුන්ගේ නැටුමක්.

තාරාවුන්ගේ නැටුම වත් හොඳින් ඉගෙන ගන්ට ජොසපින්ට බැරි වුණා.

"තාරාවුන්ගේ නැටුම සමනළුන්ගේ නැටුමත් වඩා හුඟක් අමාරුයි. මට කරන්න බැරි දේවල් ම කරන්න වෙන එක මොන තරම් නරක දෙයක්ද" ජොසපින් ගෙදරට ගාට ගාටා ඇවිදින අතරේ එහෙම හිතුවා.

ඊලඟ දවසේ ජොසපින් හුඟක් උත්සහ කලා හුළෙඟ් නටන මලක් වෙන්ට. ඒත් ඈට දැනුනේ එයා හරියට මැළවුණු වල් පැළෑටියක් වගේ කියලා.

පන්තිය ඉවරවෙනකල් වත් එයාට එතන ඉන්න බැරි වුණා. එයා එම මොහොතේම එතැනින් පැනලා දිව්වා. ජොසපින්ට ඕනෑ වුනේ තනියෙන් ඉන්න.

"මට කවදාවත් හොඳින් ඉගෙන ගන්න බැහැ ඉස්කෝලෙදි. මං කිසිදෙයක් දන්නෙ නැති කෙනෙක්! " ඇය හිතුවා. ඇය හඩන්නට පටන්ගත්තා. ලොකු කදුළු කැට දෙකක් ඇවිදින් ඇගේ හොට අසලින් පහලට රූටල ගියා. "මං මගේ අම්මටයි තාත්තටයි මොනවද කියන්නෙ ? මගේ යාළුවන්ට ? ඒගොල්ලො මට හිනාවෙයි මං කොයිතරම් නරකද කියල දැනගත්තම! " ඇය දිගින් දිගටම අඩන්ට පටන් ගත්තා.

"නෑ! අපි එහෙම කරන්නෙ නැහැ" එකපාරටම කොහෙන්ද මන්දා මූදු සිංහයගෙ කටහඩ මතුවුණා. ඒඑක්කම ජොසපින්ගේ යාළුවෝ හැමෝම ඇවිත් එයාව වටකරගත්තා.

"ඔයා හැම වෙලාවෙම ඔයාට පුළුවන් හැම විදියකින්ම හුඟක් උත්සහ කරනව ඉගෙන ගන්න. ඊට එහා දෙයක් වෙන කාටවත් කියන්න බැහැ. මූදු සිංහයා කියා සිටියා.

"අළුත් දේවල් ඉගෙන ගන්න කල් ගතවෙනවා" හිම වලහා කිවුවා.

"ඒක හින්දා කිසිම දෙයක් අතහරින්න එපා ජොසපින්" හිම හාවෙක් කිවුවා.

"ඔයාට පුළුවන්. ඔවු! ඔයාට එ්ක ඉගෙනගන්න පුළුවන්" හැමෝම එක්ව එකහඩින් කිවුවා
.
ජොසපින්ට කිසිම විශ්වාසයක් තිබුණේ නැහැ ඒගැන. ඒත් එයා යාළුවෝ කී දේවල් වලට ස්තුති කලා. ඒවගේම එයාගෙ හිතට පුංචි සහැල්ලූවක් දැනුණා.

ඊළඟ දවසේ පන්තියේදී "අද අපි හිම හාවුන්ගේ නැටුම් ඉගෙන ගන්නයි යන්නේ" කියලා පෙන්ග්විනෝවා ගුරුතුමී කිවුවා. ගුරුතුමී සංගීතය වාදනය කරවද්දි පුංචි පෙන්ග්වින් ළමෝ එක පෙළට හිටගත්තා.

"එක දෙක තුන... එක දෙක තුන...හා ඔන්න දැන් හැමෝම පටන් ගන්න නටන්න" පෙන්ග්විනෝවා ගුරුතුමී කිවුවා.

ඒ එක්කම ජොසපින් එයාගෙ යාළු හිම හාවුන් ගැන හිතන්ට පටන් ගත්තා. "ඔවු! මං දන්නවා හිම හාවුන්ගේ නැටුම්. මං දන්නවා හිම හාවෙක් වෙන්න" ජොසපින් කිවුවා. ඊට පස්සෙ එයා තමයි පන්තියේ උන්නු හොඳම හිම හාවා වුණේ!

පන්තියේ උන්නු හැම පුංචි පෙන්ග්වින් කෙනෙක්ම ජොසපින් ගේ පිටිපස්සෙන් එයා නටන විදියට නටන්ට පටන්ගත්තා. පෙන්ග්විනෝවා ගුරුතුමී කොච්චර සතුටට පත් වුණාද කියනවා නම් එයාත් පුංචි පෙන්ග්වින් ළමෝ පසු පසින් හිම හාවුන්ගේ නැටුමට එක් වුණා. සංගීත වාදනය නැවතුණු වහාම පුංචි පෙන්ග්වින් යාළුවෝ ජොසපින්ගේ නැටුම හුඟක් අගය කළා. "නැටුම් වලින් අමාරුම නැටුම තමයි හිම හාවුන්ගේ නැටුම. " ඒක හොඳට කරන්ට පුළුවන් නම් අනිත් ඒව ඉගෙන් ගන්ට ඉතාම ලෙහෙසියි" පෙන්ග්වින් යාළුවෝ එයාට කිවුවා. "ඔයා හැබෑම දක්ෂයෙක් ජොසපින්.හැමදාටම එහෙම වෙන්ට ඕනෑ" යි පෙන්ග්විනෝවා ගුරුතුමී සිනාසෙමින් කියා සිටියා.

ඉස්කෝලෙන් පස්සෙ හැම පෙන්ග්වින් යාළුවෙකුට ඕනෙ වුණා ජොසපින් එක්ක ඇවිදින්න යන්න. ජොසපින් ඒහැමෝම එක්ක ගියා එයාගෙ යාළුවෝ මුණගැහෙන්න. "දැන් ඔයාලා හැමෝටම අළුත් දෙයක් ඉගෙන ගන්න වෙලාව ඇවිත්. මුලින්ම ඒක හුඟක් අමාරු දෙයක් වෙන්ට පුළුවනි.ඒත් අපි උත්සහ කළොත් ඒක පසුවට හුඟක් ලෙහෙසි වෙනවා. ඒවගේම හුඟක් විනෝදය ගෙනනෙ දෙයක් වෙනවා! " ජොසපින් එයාගේ ඉස්සර සෙල්ලම් කරපු යාළුවන්ට කිවුවා.

ඊළඟට ජොසපින් සහ එයාගෙ පුංචි පෙන්ග්වින් යාළුවෝ එකතු වෙලා "පෙන්ග්වින් නැටුම"කරන්නෙ කොහොමද කියල යාළුවන්ට කියා දුන්නා. හැම සතෙකුම වාගේ නැටුම් ශිල්පියෙක් වෙන්න ආසා කළා. ඒත් මූදු සිංහයා ඇරෙන්න. මොකද එයා නටන්න අඳින පුංචි කෙටි සායට කොහෙත්ම කැමති වුණේ නැති හන්ද.

ලියා ඇන්දේ - හාන්ස් විල්හෙම්
පරිවර්තනය - ප්‍රශංසනී පරණවිතාන
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
ඔන්න එක පුංචි ගෑණු ළමයෙක් හිටියා, නගරයේ අහස සිඹින මැදුරක.

එයාගෙ වයස අවුරුදු දහයයි, ත් එයා ජීවත් වුණේ තනියෙන්. ඇයව බලාගන්නට කිසිම කිසිම කෙනෙක් ඈ ළඟ හිටියේ නෑ. ඒ හැමෝටම ඒ ගොල්ලන්ගෙ දරුවෝ හිටියා. ඇගේසැබෑ දෙමාපියන් වගේ ඈට ආදරය කරන්න කිසිකෙනෙකුට පුලූවන් කමක් තිබුණේ නැහැ. මොකද ඒ අය හිතුවේ ඈ එගොල්ලන්ගෙ කෙනෙකු නොවේය කියලා.

ඈ කිසිදවසක අනෙක් ළමයින් හා සෙල්ලම් කළේ නෑ. මොකද ඈ ඒ ළමයින් හා යාළුවෙන්න අකමැති වුණ නිසා. ඈ අයත් වුණේ නිහඩ, ලෝකයෙන් වැසුණු, තනිවුණු ඈටම විතරයි. කෙනෙකු ඈ ආදරෙන් තුරුළු කරගත්තේ නම් හෝ එවැනි ආදරයක උණුසුමක් හෝ ඈට ලැබී තිබුණේ නම් මේ කතාන්තරය බොහෝ සෙයින් වෙනස් වන්නට ඉඩ තිබුණා. ඒත් ඒක කවමදාකවත් එහෙම වෙල තිබුණේ නැහැ. ඒ නිසා ඈ චිතරට ඉ අඳින්ට පටන් ගත්තා, නිල්ම නිල්පාට නිල් අහස වගේ. දුක්බර කතන්දර කියවන්ට පටන් ගත්තා. අනෙක් වෙලාවට කවුළුවෙන් එළියේ තියෙන් දේ දිහා බලන්ට පටන් ගත්තා. කෙනෙකු ඈට බොහොම හොද වචනයෙන් කතා කළත් එ්වා ඈට කවදාවත් ඇහුණේ නෑ. මොකද ඒවෙනකොට බොහොම පරක්කු වැඩියි. ඒ වන විටත් ඈ විශාල පවුරක් ඈ වටා ගොඩනගා ගෙනයි තිබුණේ. ඈ උන්නු අහස් මැදුර වඩ වඩාත් උස් කුළුණක් බවට පත් වුණා. ඒ හින්දා කාටවත් ඈ අසලට යන්න ඉඩක් ලැබුණේ නැ. එදා ඉඳළා ඈ ජීවත් වුණේ ඇගේම ලෝකයක.

කුළුණ මුදුනේ තිබුණා කවුළුවක්. ඈ මුළු දවස පුරාම කලේ කවුළුව අද්දරට වෙලා වළාකුළු වලින් පිරුණු නිල් අහස දිහා බලාගෙන ඉන්න එක. බොහෝ කාලෙකට ඉස්සර ඈට කවුදෝ කියලා තිබුණා ඇගේ අම්මා ඉන්නෙ වළාකුළු අතර බව. ඉතිං ඈ කළේ අහසේ පාවෙන හැම වළාකුලකම අම්මාගෙ හැඩරුව හොයන එක.

හැම දවසකම නිල් කුරුල්ලෝ සියගණනින් ඈ උන්නු කුළුණ වටේ පියාසර කරන්ට පටන් ගත්තා.
අහසේ නිතර නිතර පියාසර කරන කුරුල්ලෝ ඈ හා මිතුරු වුණා. ඒ හින්දා උන් කිසිම බියක් නැතිව ඈ අසලට එන්ට පටන් ගත්තා. පැය ගණන් උන් හා කතා කරන්නට ඇයට හැකිවුනා. දැන් ඈ තවදුරත් තනි වුණු ගෑනු ළමයෙක් නෙමෙයි. ඇගේ පුංචි අත් වලින් අල්ලන්ට හැකි, ඈ සතුටින් උන්නු දවස් ගැන කතා කරන්නට හැකි පුංචි යාළුවෝ පිරිසක් ඈට ලැබී තිබුණා.

ගෙවුණු දවස් වල මතකයන් සිහිවන යමක් හැම දවසකම ඈට මුණ ගැසුණා.

එක එක විදියේ සතුන් වළාකුළු අතරේ ජීවත්වෙන බව බොහෝම ඉක්මනට ඈ සොයාගත්තා. ඔන්න එක දවසක් වළාකුළු අතරින් මතු වුණේ ගොළුබෙල්ලෙක්. ඌ උගේ ගෙදර පිට උඩ තියාගෙන ඇවිදිනවා. ඒ ගෙදර ජීවත් වුණේ ඌ විතරමයි. විටින් විට වළාකුළු ඇගේ ගේ ඇතුළෙන් පවා පාවී යන්ට පටන් ගත්තා. එයන් සතුටට පත් වුණු පුංචි ගෑණු ළමයා උඩ පැන පැන අහසේ යන ගොළුබෙල්ලාට අත වනන්ට පටන් ගත්තා.

ඇයට මතක් වුණා ඇය අම්මත් එක්ක එකතු වෙලා ගොළුබෙල්ලන් බේරාගත්තු හැටි. ගෙපිල මත තැන තැන ඇවිදින ගොළුබෙල්ලන් තණ බිස්ස මත තැබූ හැටි.

ඔන්න ගොළුබෙල්ලා නොපෙනී ගියාට පස්සේ එක පාරටම මතුවුණේ මීයෙක්.

”ආහ්, මොන තරම් අමුතු මීයෙක් ද” පුංචි ගෑණු ළමයා එයාටම හෙමින් මුමුණා ගත්තා. මේ නම් ඉන්නේ සුරංගනා කතාවල එන විදියේ මීයෙක් ම තමයි. ඈ හිතුවා. මොකද ඒ වෙද්දි ඈ සුරංගනා කතන්දර බොහොමයක් දැන ගෙන හිටියේ. ඒ ඈ නින්දට යන්නට කලින් හැමදාම අම්මා ඈට පුංචි සුරංගනා කතාවක් කියා දෙන්ට පුරුදු වෙලා උන්න නිසා.

එක දවසක් වළාකුළු යි අහසේ එහෙ මෙහෙ පියාඹන නිල් කුරුල්ලොයි අතරින් එකපාරටම මතු වුණෙ අලියෙක්. ඌ මහ විසාල අළුපාට එකෙක්. මෙන්න ඌ බරට බර අඩි තිය තියා අහසේ හැම තැනම ඇවිදිනවා. පුංචි ගෑණු ළමයට ආසා හිතුණා. මොකද, ඉස්සර අම්මා එයාව සත්තු වත්තට එක්කගෙන ගිහින් එහේ උන්නු අලි පැංචලාට කවන්ට පුරුදු වෙලා තිබුණු හන්දා. සමහර විට මේ ඉන්නෙ උන්ගෙන් එකෙකු වෙන්ට ඕනෑ. ඈ හිතුවා.

තවත් දවසක, අහස පීරාගෙන තද හුළඟක් හමාගෙන ගියා. අහස අළු පාට වුණා. නිල් පාට වළාකුළු හැම පැත්තටම බොහොම විගහින් පාවීගෙන ගියා. ඔන්න එක පාරටම මතුවුණේ හාවෙක්. හමාගෙන ගිය හුළඟ නිල්ම නිල්පාට ඔරලෝසුවක් හාවාට ගෙනවිත් දුන්නා. ඉතිං ඔන්න දැන් හාවාට පුලූවනි වෙලාව කියන්ට. ඒක ඈට බොහොම පුරුදු දෙයක්. මොකද දන්නවද? ඒ හාවා උන්නෙ ” ඇලිස් සහ පුදුම ලන්තය” කියන කතාවෙ. අම්මා හැමවිටම එම කතාන්දරය ඈට ඇහෙන්ට කියවන්ට පුරුදු වෙලා උන්නා. ඔව්, මේ ඉන්නේ ඒ හාවාම තමයි. ඈ හිතුවා.

ඊළඟට ඈට මතක් වුණා, ඉස්සරෝම දවසක අම්ම එක්ක ගිහින් ඉදිබුවන්ට සලාද කොළ කැවු හැටි. ඔන්න එතකොටම වාගේ වළාකුළු අතරින් මතු වුණේ ඉදිබුවෙක්. උගේ දිගම දිග කකුල් කටුවට යටින් පහලට නෙරලා තිබුනා. ඒවෙනකොට අහසේ වෙන කිසිම කෙනෙක් හිටියේ නැහැ, සිනිඳු පුංචි වළාකුළු ඇරෙන්න. ඉතිං, ඌට බොහොම නිදහසේ අහස පුරාම ඇවිද යන්ට හැකි වුණා. පුංචි ගෑණු ළමයා ඉදිබුවාගෙන් ඇහුවා ”කොහෙද ගියේ?” කියලා. ඉතිං ඉදිබුවත් ඩිංගක්වත් බයවුණේ නෑ. මොකද ඌ දැනං උන්න ඈ බොහොම කාරුණික කෙනෙක් බව. ඈ ඉන්නෙ තනියෙන් බව.

”මං හොයන්නෙ ඉස්සර දවසක මට කවන්ට පුරුදු වෙලා උන්නු බොහොම කාරුණික ගැහැණු කෙනෙක්ව. ඈ හැම විටම මට රසවත් කෑම දුන්නා. ආරංචියේ හැටියට දැන් ඈ ඉන්නෙ වළාකුළු අතර කොහෙදෝ තැනකලූ. මං මේ ඈව හොයනවා”. ඔන්න ඉතිං ඉදිබුවත් කිසිම බයක් නැතුව උත්තර දුන්න.

ඔන්න ඊළග දවසේ ආවේ නිල් කුරුල්ලෙක්. ඌ හරිම අමුතුයි. හරියටම ඌ වළාකුළු වලින් හැදුවා වාගෙයි. ඉතිං පුංචි ගෑණු ළමයා නිල් කුරුල්ලාගෙනුත් ඇහුවා, ඇගේ අම්මව දන්නවද කියලා.

”මං දිව්යා ලෝකෙන් ආ කුරුල්ලෙක්. බොහොම කාලෙකට ඉස්සර මං මේ මහ පොළොවේ ජීවත් ව උන් කාලේ මගේ පියාපතක් තුවාල වුණා. ඒ නිසා මට පියඹන්ට බැරි වුණා. එක් කාරුණික ගැහැණියක් ආදරෙන් මාව අහුලාගෙන, කන්ට බොන්ට දීලා බොහොම හොඳින් මාව රැක බලා ගත්තා, පියාපත සුව වෙන තුරු. මට මතකයි ඈ එක්ක පුංචි ගෑණු ළමයෙකුත් උන්න. අනිත් කුරුල්ලෝ කියූ විදියට නම් ඈ දැන් ඉන්නෙ දිව්ය ලෝකෙලූ. මං මේ ඇයව හොයනව. ඈ කල උදවුවට ස්තුති කරන්න.” කුරුල්ලා ඈට කියා සිටියා.

”ඔබ ඔය කියන්නෙ මගේ අම්ම ගැන. මට කොහෙන්ද එයාව හොයා ගන්න පුළුවන් ?” පුංචි ගෑණු ළමයා ඇහුවා. ඒත් කුරුල්ලා එතන හිටියේ නැහැ. ඌ වළාකුළු අතර නොපෙනී ගිහින්.
අම්මා හොයාගන්නෙ කොහොමද කියලා ඈ බොහොම කණස්සල්ලෙන් හිත හිතා ඉන්නකොටම ඔන්න, තවත් කුරුල්ලෙක් මතුවුණා. ඌත් හරිම අමුතු කුරුල්ලෙක්. උගේ පපුව මැද්දෙ දොරටුවක් තිබුණා.

” කවුද ඔබ?” පුංචි ගෑණු ළමයා ඇහුවා.

”බොහොම කාලෙකට ඉස්සර මං කළු කුරුල්ලෙක්. එක උදේක කූඩුවෙන් බිමට වැටිලා ආයෙත් යන්න බැරිවයි මං උන්නෙ. මං හිතුවේ ආයෙ කවදාවත්ම මගේ අම්මව මට දකින්ට බැරිවෙයි කියලා. ඒත් එක පාරටම ගෑණු කෙනෙක් ආවා මං උන්නු තැනට, පුංචි ගෑණු ළමයෙක් එක්ක. ඒගොල්ලො මාව බොහොම ආදරෙන් කරුණාවෙන් අහුලාගෙන උණුසුම් දෑත් වලට මැදි කරගත්තා. ඊට පස්සෙ මං උන්නු කූඩුව හොයලා මාව ආයෙත් මගේ අම්මා ලඟින් තැබුවා. මං අද ආවේ නැතිවුණු පුංචි ගෑණු ළමයව ආයෙත් එයාගෙ අම්ම ළඟට ගෙනියන්න. මේ දොරින් ඇතුළු වෙලා පඩි පේළිය දිගේ අහසට එන්න. බොහෝ කලකට ඉස්සර ඔබට ඔබට නැතිවුණු ආදරය සහ උණුසුම ඔබට ආයෙත් ලැබේවි” කළු කුරුල්ලා බොහොම හෙමින් කියා සිටියා.

පුංචි ගෑණු ළමයා දොරෙන් අතුළු වෙලා පඩි පෙළ නගින්ට පටන් ගත්තා. එදායින් පස්සෙ කිසිම කෙනෙක් ඈව දැක්කෙ නැහැ. නිල් අහසේ නිතර පියාසර කරන කුරුල්ලෝ කියන හැටියට නම් දැන් ඈ ඉන්නෙ වළාකුළු අතරෙ, ඇගේ අම්මත් එක්ක.


නිල් අහස - අන්ද්රියා පෙත්ර්ලික් හුසෙයිනොවික්
පරිවර්තනය - ප්‍රශංසනී පරණවිතාන
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook

පුංචි ගෑනු ළමයෙක් හිටියා. එයාගේ නම ශේන්යා. දවසක් අම්මා ඇය පාන් වළලූ ගේන්න කඬේට යැව්වා. ශේන්යා ගත්තා පාන් වළලූ හතක්. සුවඳ පාන් වළලූ දෙකක් තාත්තාට, පොපි ඇට දාපු දෙකක් අම්මාට, සීනි දමාපු දෙකක් තමාට, රෝස පාට පුංචි එකක් පාව්ලින් මල්ලීට.

ඉතින් ශේන්යා පාන් වළලූ එල්ලාගෙන ගෙදර යනවා. ඈ යන්නේ වට පිට බලමින්. පාර දෙපැත්තේ තිබෙන දැන්වීම් කියවමින්. මේ අතරතුරේ එක් නාඳුනන බල්ලෙක් ඇය පස්සෙන් එන්න පටන් ගත්තා. ඌ ඔක්කොම පාන් වළලූ එකින් එක කෑවා. ශේන්යාගේ අතට සැහැල්ලූවක් දැනුණා. ආපසු හැරිලා බැලින්නම් පමාවෙලා වැඩියි. බල්ලා අන්තිම රෝස පාට පාන් වළල්ලත් අරගෙන කනවා.

”අය්යෝ.... මෙහෙම නපුරු බල්ලෙක්....” ශේන්යා කෑ ගහල ඌව අල්ලන්න දිව්වා. ඈ දිව්වා.... දිව්වා.... බල්ලා අල්ලාගන්න බැරි වුණා.

ශේන්යා බය වෙලා අඬන්න ලෑස්ති වුණා. එක පාරටම කොහෙන්දෝ ආච්චි කෙනෙක් ආවා.

”ළමයෝ.... ළමයෝ මොකද උඹ අඞන්නේ?”

ශේන්යා ආච්චිට ඔක්කොම විස්තර කිව්වා. ආච්චිට ශේන්යා ගැන දුක හිතුණා. ආච්චි ශේන්යා තමන්ගේ මල් වත්තට එක්කගෙන ගිහිල්ලා මෙහෙම කිව්වා.

”කමක් නෑ... අඬන්න එපා... මම උඹට පිහිට වෙන්නම්’...මගේ මල් වත්තේ මලක් පිපිලා තියෙනවා. ඒමලට කියන්නෙ ‘හත්පෙති මල’ කියලා. ඒමලට උඹට ඕන ඔක්කොම කරන්න පුළුවන්. උඹ පාරේ යනකොට වටපිට බැලූවා වුණත් හොඳ ළමයෙක් බව මම දන්නවා. මම උඹට හත්පෙති මල තෑගි කරන්නම්. ඒ ක ඔක්කොම කර දෙනවා”

ඉතින් මෙහෙම කියලා ආච්චි මල් පාත්තියකින් ලස්සන මලක් කඩලා ශේන්යාට දුන්නා. ඒ මලේ කහ, රතු, තද නිල්, කොළ, තැඹිලි, ලා නිල් පෙති හතක් තිබුණා.
”මේ මල සාමාන්ය් එකක් නොවෙයි” ආච්චි කීවා. ”උඹට ඕනෑ දෙයක් කර දෙනවා. මල් පෙත්තක් කඩලා විසි කරලා මෙහෙම කියන එක විතරයි...

මල් පෙත්තේ මල් පෙත්තේ
උතුරු දෙසට දකුණු දෙසට
බටහිරටත් නැගෙනහිරටත්
ඉගිල ඉගිල මෙහැම දෙසට
කැරකිලා ඇවිත් බිමට
මා කියන දේ කරදෙන් මට

ඉතින් මෙහෙම කියලා මේ මේ දේ මට කරදෙන්න කියන්න. එතකොට හරියටම කර දෙනවා”

ශේන්යා බොහෝම විනීත විදියට ස්තූති කරලා ගේට්ටුවෙන් එළියට ගියාට පසුවයි මතක් වුණේ ගෙදරට යන්න පාර දන්නේ නැති බව. මල් වත්තත් ආච්චිත් පේන්න නැහැ. ශේන්යා හනික කහ පාට මල් පෙත්ත කඩලා එය විසි කරලා ආච්චි කී කවිය ගායනා කර කීවා.

”පාන් වළලූත් එක්ක මා ගෙදර ඉන්න ඕනෑ”

ඇයට මෙය කියලා ඉවර කරන්න ලැබුණේ නැහැ. ඒ මොහොතේම ඇය පාන් වළලූත් එක්ක ගෙදර. ශේන්යා පාන් වළලූ අම්මට දීලා මෙහෙම හිතනවා.

”මේක හරිම පුදුම මලක්. හොඳම ලස්සන මල් පෝච්චියේ මේ මල තියෙන්න ඕනෑ” ඈ රාක්කය උඩම තට්ටුවේ තියෙන මල් පෝච්චිය ගන්න පුටුවක් උඩට නැඟුණා. ජනේලය ලඟින් කාක්කො රංචුවක් ඉගිලගෙන යනවා. කාක්කො හත්දෙනෙක්ද අටදෙනෙක්ද කියලා හරියටම දැනගන්න ශේන්යාට ඕනෑ කළා. ඈ ඇඟිල්ලක් දික් කරලා ගනින්න පටන් ගත්තා. දඩාස්... මල් පෝච්චිය බිමට වැටුණා.

”උඹ ආයෙමත් මොකක්ද බින්දා නේද?” අම්මා කුස්සියේ ඉඳලා කෑ ගැහුවා.

”නෑ.... නෑ.... අම්මා මුකුත් බින්දේ නෑ”
ශේන්යා හනික රතු මල් පෙත්ත කඩලා ”මල් පෙත්තේ... මල් පෙත්තේ...” කවිය ගායනා කර ”අම්මගේ මල් පෝච්චිය තිබුණ විදියට හැදෙන්න ඕනෑ” කීවා. එතකොටම කැඩුණු බිඳුණු කෑලි ඔක්කොම එකට එකතු වෙලා මල් පෝච්චිය තිබුණු විදියටම හැදුණා.

ශේන්යා මිදුලට ආවා. මිදුලේ පිරිමි ළමයි කට්ටියක් සෙල්ලම් කරනවා.
”අනේ මාවත් ඔය ගොල්ලන්ගේ සෙල්ලමට ගන්න”

”අපි උතුරේ කෙළවරේ සෙල්ලම් කරනවා... අපි ඒ සෙල්ලමට ගෑනු ළමයින්ව ගන්නෙ නෑ”

”මට ඔය ගොල්ලො නැතුව.... මම යනවා උතුරු කෙළවරට”

ශේන්යා ගේට්ටුවට මුවා වෙලා හත්පෙති මල අරගෙන තද නිල් පාට පෙත්ත කඩලා ”මල් පෙත්තේ... මල් පෙත්තේ...” කවිය ගායනා කළා. ”දැන් මාව උතුරු කෙළවරට ගෙනියන්න ඕනෑ” එකපාරටම හුළං හැමුවා. ඉර නොපෙනී ගියා. භයානක විදියට අඳුරු වුණා. ඇගේ පා යට පොළව බඹරයක් වගේ කරකැවුණා. උතුරු කෙළවරේ ඇයට ලොකු තනිකමක් දැනුණා.

”අය්යෝ.... අම්මා.... සීතලයි” ශේන්යා කෑ ගහන්න පටන් ගත්තා. කඳුළු මිදිලා අයිස් වගේ නහයෙන් එල්ලූණා.

අයිස් කඳුවලින් සුදු වලස්සු හත්දෙනෙක් ශේන්යා ළගට එනවා.
ඔක්කොම එක වගේ භයානකයි. ශේන්යා හොඳටම බය වෙලා හත් පෙති මලේ කොළ පාට පෙත්ත කඩලා විසි කරලා පුළුවන් හයියෙන් ”මල් පෙත්තේ... මල් පෙත්තේ...” කවිය ගායනා කළා.

”ආයෙමත් මා අපේ මිදුලට ගෙනියන්න ඕනෑ” කියන කොටම ඈ මිදුලේ. පිරිමි ළමයි ඇය දිහා බලලා හිනා වෙනවා.
ශේන්යාට තරහා ගියා. ඈ පිරිමි ළමයින් සමග සෙල්ලම් නොකරන්න තීරණය කරලා වෙන මිදුලකට ගියා. ගෑණු ළමයින් එක්ක සෙල්ලම් කරන්න.

ගිහින් බැලින්නම් ගෑණු ළමයින් ගාව තියෙනවා නොයෙක් නොයෙක් ජාතියේ සෙල්ලම් බඩු. එක්කෙනෙක් ළඟ පුංචි කරත්තයක්, තව කෙනෙක් ළඟ රෝද තුනේ බයිසිකලයක්, තව කෙනෙක් ළඟ තොප්පියකුයි සපත්තුයි අන්දපු කතා කරන ලොකු බෝනික්කෙක්, ශේන්යාට කණගාටු හිතුණා.

”හොඳයි ඔයගොල්ලන්ට මම පෙන්වන්නම් කාටද සෙල්ලම් බඩු තියෙන්නේ කියලා” හත්පෙති මලේ තැඹිලි පාට මල් පෙත්ත කඩලා ඈ කවිය කිව්වා.

”මේ ලෝකෙ තිබෙන ඔක්කොම සෙල්ලම් බඩු මට ලැබෙන්න ඕනෑ”
ඒ මොහොතේ ම හැම පැත්තෙන් ම ශේන්යා ළඟට සෙල්ලම් බඩු ගලා එන්න පටන් ගත්තා. හැම පාරකින් ම බෝනික්කො, බෝල, බයිසිකල්, සෙල්ලම් කාර්, ටරැප ක්ටර් පෙරළීගෙන එනවා. බැලූම් කෝටි ගණනක් අහසේ පියඹනවා. පැරෂුට්වලින් බෝනික්කො බසිනවා. රුසියානු සෙල්ලම් බඩුවලින් පස්සේ අමෙරිකානු සෙල්ලම් බඩු එන්න පටන් ගත්තා. දැන් මුළු නගරය ම සෙල්ලම් බඩුවලින් පිරිලා. ශේන්යා පඩි පෙළේ... සෙල්ලම් බඩු ඈ පස්සෙන්.... ශේන්යා සඳළුතලේ.... සෙල්ලම් බඩු ඈ පස්සෙන් එනවා. බැරිම තැන ඈ වහළයට නැගලා හනික දම් පාට මල් පෙත්ත කඩලා විසි කරලා ”මල් පෙත්තේ... මල් පෙත්තේ...” කවිය ගායනා කළා.

”සෙල්ලම් බඩු හනික ආපසු සාප්පුවලට යන්න ඕනෑ”
එතකොට සෙල්ලම් බඩු ඔක්කොම අතුරුදහන් වුණා. ශේන්යා මල දිහා බැලූවා ම තව තියෙන්නේ එකම එක මල් පෙත්තයි.
”වෙච්ච දේ... පෙති හයක්ම නාස්ති වුණා කිසිම පලක් නැතිව. කමක් නෑ. ඉස්සරහට කල්පනාකාරි වෙනවා”

ඉතින් ශේන්යා වීදියට බැහැලා කල්පනා කර කර යනවා.
ශේන්යා දැක්කා ගේට්ටුව ළඟ හොඳ ලස්සන පිරිමි ළමයෙක් වාඩි වෙලා ඉන්නවා. ඔහුට තිබුණා නිල් පාට පරීස තිමත් ශාන්ත විශාල ඇස්. ශේන්යා ට හිතුණා ඔහුව දැන අඳුනගන්න. කිසිම බයක් සැකත් නැතිව ඔහු ළඟටම ගියා.

”ඔයාගෙ නම මොකක්ද?”

”වීත්යා.. ඔයාගේ නම?”

”මගේ නම ශේන්යා..වීත්යා එනවද මා එක්ක සෙල්ලම් කරන්න?”

”මට බැහැ. මම කොර වෙලා”

ශේන්යා දැක්කා ඔහුගේ පාදයේ තිබුණ ලොකු සපත්තුව.
”මට හරි දුකයි” ශේන්යා කිව්වා. ”මම ඔයාට හරි කැමතියි. මට ඔයා එක්ක බොහොම කැමැත්තෙන් සෙල්ලම් කරන්න තිබුණානේ?”

”මමත් ඔයාට හුඟාක් කැමතියි. මමත් ඔයා එක්ක සෙල්ලම් කරන්න බොහොම කැමතියි. නමුත් කණගාටුයි. ඒක කරන්න මට බැහැ. මට කරන්න කිසිම දෙයක් නැහැ. මගේ මුළු ජීවිතේම මෙහෙමයි”
”හානේ වීත්යා ඔයා මොනවද මේ කියන්නේ”

ශේන්යා තම සාක්කුවෙන් පුදුම හත්පෙති මල අරගත්තා.
බොහොම පරිස්සමින් මලේ අවසාන නිල් පාට පෙත්ත කඩලා මල් පෙත්ත තමාගේ ඉදිරියෙන් තියලා ඇඟිලි වලින් විසි කරලා හීන් හඬින් පරී් තියෙන් මෙහෙම කියන්න ගත්තා.

”මල් පෙත්තේ මල් පෙත්තේ
උතුරු දෙසට දකුණු දෙසට
බටහිරටත් නැගෙනහිරටත්
ඉගිල ඉගිල මෙහැම දෙසට
කැරකිලා ඇවිත් බිමට
මා කියන දේ කරදෙන්
මට වීත්යා සනීප කරන්න ඕනෑ”

එතකොට ම වීත්යා බංකුවෙන් නැගිටලා ශේන්යා සමග සෙල්ලම් කරන්න පටන් ගත්තා. ඔහු කොපමණ හොඳට දිව්වාද කියතොත් ශේන්යාට ඔහු අල්ලා ගන්නත් බැරුව ගියා.

(රුසියානු ජාතික වැලැන්තීන් කතායෙව්ගේ කතාවකි*
අනුවාදය - දැදිගම වී’ රුද්රිාගු
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails