සුරූපී ‘මී වොං’ සහ වැදගත් මුලාදෑනියෙක් වන ඇගේ පියා ජීවත් වුණේ රතු ඟග අසබඩ. ‘මී වොං’ ගේ තත්ත්වයේ සිටි අනෙක් සියලුම තරුණියන් වගේම, පිරිමි ඇස් වලින් ඇයව බේරගන්න ඕනැ නිසා, ඇයටත් සිද්ද වුණේ ගේ ඇතුළටම හිර වෙලා ජීවත් වෙන්න. ගේ ඇතුලෙ කීවට ඉතින් ඒක මහ උස කුලුණක්. ‘මී වොං’ ගොඩක් වෙලාවට කාලය ගත කළේ, කුලුණෙ එයාගේ කාමරය ඇතුළෙ. ඒ කාමරයේ තිබුණා සඳක් හැඩයේ කවුළුවක්. ‘මී වොං’ ගොඩක් වෙලාවට කළේ, එයාගෙ තනි නොතනියට ඉන්න, මෙහෙකාරිය සමග සල්ලාපයේ යෙදෙමින්, පොතක් පතක් කියවන එක. එහෙමත් නැත්නම් මැහුමක් ගෙතුමක් මහන ගොතන එක. එහෙම වෙලාවටත් කවුළුවෙන් පිටත පේන උයනට සහ ගංගාව පෙදෙසට, ‘මී වොං’ ගෙ ඇස් දුවන එක සාමාන්‍ය දෙයක්.

දවසක් ‘මී වොං’ සඳ කවුළුව ළඟ ඉඳගෙන ඉන්න වෙලාවක, එයාට ඇහුණා, ඈතින් පාවෙලා එන ගැඹුරු ඒත් සුමිහිර කටහඬක්. විමසිලි දෑසින් එළිය බලපු ‘මී වොං’ ට දකින්න ලැබුණෙ; ගඟ දිගේ පාවෙලා එන ධීවර ඔරුවක්.

"ඇහෙනවද.. ඇහෙනවද?" 'මී වොං' එයාගෙ මෙහෙකාරියගෙන් ඇහුවා.

"කොච්චර ලස්සනට ඔහු ගයනවද?" කටහඬ එන්න එන්නම ළං වෙන්න ගත්ත නිසා ‘මී වොං’ තව තවත් උවමනාවෙන් ඒ හඬට ඇහුම්කන් දුන්නා.

"මා පෙම සුළඟේ ළෙලදෙන මල්පොකුරක්
මා පෙම රැල්ලේ නැලවෙන සඳකිරණක්"


"ඔහු ගොඩක් තරුණ කඩවසම් කෙනෙක් වෙන්න ඕනෑ." ‘මී වොං’ කීවා.

"සමහරවිට මම මෙහෙ ඉන්න විත්තිය දැනගෙන, මට ඇහෙන්නම ඔහු ඒ ගීතය ගයනවා ඇති." ‘මී වොං’ අමුතුම සතුටකින් පිබිදෙමින් කීවා.

මෙහෙකාරියගෙ ඇසුත් සතුටින් දිලිසුණා. "ඔය වෙස්වලාගෙන එන්නෙ මුලාදෑනියෙක් ගෙ පුතෙක් ද දන්නෙ නෑ. සමහරවිට ඒ ඔබතුමියව සරණ පාවා ගන්න නියමිත කෙනා වෙන්නැති." ඇය කීවා. ‘මී වොං’ ගෙ මූණ ලැජ්ජාවෙන් රතු වුණා. හදවත හයියෙන් හැහෙන්න පටන්ගත්තා. ‘මී වොං’ ඔහුගේ මුහුණවර පැහැදිලිව දැක ගන්න උත්සහ කළා. ඒත් ගීතයයි ඔරුවයි දෙකම ගඟ දිගේ ඈතට ඇදිලා ගියා.



"ඔව්," ‘මි වොං’ හිමිහිට කටහඬ මතු කළා. "සමහරවිට ඒ ඔහු වෙන්න ඇති."

එදා දවසම ‘මී වොං’ සඳ කවුළුව ළඟට වෙලා, ආයෙත් ඔහුව දැකගන්න බලාගෙන හිටියා. පහුවදාත්, ඊටපස්සෙ උදාවුණු හැම දවසකමත් ‘මී වොං’ දෑස අයාගෙන ඔහුව දැකගන්න බලාගෙන හිටියා. නමුත් කිසිම කටහඬක් ගඟ දිගේ ඇදිලා ආවෙ නෑ.

"ඇයි, ඔහු එන්නෙ නැත්තෙ?" ‘මී වොං’ මෙහෙකාරියගෙන් දුකෙන් ඇසුවා.

දවස් ගත වෙනකොට ‘මී වොං’ සුදුමැලි වෙමින් දුර්වල වෙන්න පටන්ගත්තා. බැරිම තැන ඇය ඇඳට ගොස් එහිම කල් ගත කළා.

‘මී වොං’ ගෙ තාත්තා දවසක් ඇයව බලන්න ආවා. "ඇයි දුව, ඇයි මේ?" තාත්තා ඇහුවා.

"මුකුත් නෑ තාත්තා.." ‘මී වොං’ අඩ සිහියෙන් උත්තර දුන්නා.

මුලාදෑනි තාත්තා; ‘මී වොං’ ව බලන්නට, වෛද්‍යවරයෙක්ව කුලුනට එව්වා. "මට නම් කිසිම ලෙඩක් හොයාගන්න නෑ. කිසි ලෙඩක් නැතුව මට බෙහෙත් කරන්න පුළුවන්කමක් නෑ" ‘මී වොං’ ව පරීක්ෂා කරපු දොස්තර කීවා.

සති ගණන් පහු වුණා. ඒත් ‘මී වොං’ නෙමෙයි ටිකක්වත් සනීප වුණේ. දවසක් මෙහෙකාරිය මුලාදෑනියා ඉදිරිපිටට ආවා.

"ස්වාමිනී, මම දන්නවා ඔබතුමාගේ දුව අසනීප වෙන්නට හේතුව. එතුමිය ආදරය නිසයි මේ අසනීප වෙලා ඉන්නේ. ඉතින් එතුමියව සනීප කරගන්න නම්, මේ ගීතය ගයන කඩවසම් තරුණයාව ඔබතුමාට හොයාගන්නම වෙනවා." ඊටපස්සෙ මෙහෙකාරිය ඒ ගීතය මුලාදෑණියාට ගයා පෙන්නුවා.

"හරි, මං ඒක කරන්නම්." මුලාදෑනියා ඒවෙලේම ඒ කඩවසම් තරුණයාව සොයන්නට දූතයෙක් යැව්වා.

දවස් කීපයකට පස්සෙ දූතයා නැවත පැමිණියා. "ස්වාමිනී, මේ පළාතේ කිසිම වැදගත් ගෙදරක; මේ ගීතය දන්න තරුණයෙක් නෑ. ඒත් ළඟපාත ගමකින් මට හම්බවුණා; මේ ගීතය දන්න, ‘ඕං චී’ කියල ධීවරයෙක්. මම ඔහුව මාළිගාවට එක්කගෙන ආවා."



"ධීවරයෙක්?" ඒ වචන අදහාගන්නවත් බැරි විදිහට මුලාදෑනියා ඇහුවා. "කෝ බලමු එයාව."

දූතයා ඔහුව මාළිගය ඇතුළට කැඳෙව්වා. ‘ඕං චී’ හිටියෙ වික්ෂිප්තව නොසන්සුන්ව. මාළිගය ඇතුළෙ තිබුණු වටිනා බඩු මුට්ටු දුටු ඔහුගේ ඇස් ලොකු වුණා.

‘ඕං චී’ ව දුටු මුලාදෑනියා මොහොතකට මවිත වුණා, ඔහුට කතා කරන්නට පවා අපහසු වුණා. ඒ මොකද තරුණ හෝ කඩවසම් කෙනෙක් නෙමෙයි ‘ඕං චී’ කියන්නෙ. ඔහු ඇඳන් හිටියේ මාළු දුගඳ හමන වැරහැලි ඇඳුම්. ‘මගේ දුවට මෙයා කොහෙත්ම ගැලපෙන්නෙ නෑ! ’ මුලාදෑනියා සිතුවා.

"මේ ධීවරයාව මගේ දුවගෙ කාමරයේ දොර ගාවට එක්කෙගෙන ගිහින්, ගීතය කියන්න ඉඩ සලසල දෙන්න." මුලාදෑනියා දූතයාට අණ දුන්නා.

සිද්දවෙන කිසිම දෙයක් හිතාගන්න බැරුවයි ‘ඕං චී’ හිටියෙ. ‘ඕං චී’ ට හිතාගන්න බෑ, ඇයි එයාව මාළිගාවට එක්කගෙන ආවෙ කියලා. එයාගෙන් මොනව බලාපොරොත්තුවෙන්ද කියලා. කිසිම වැරදි වැඩක් නොකරන අවංක ධීවරයෙක් වුණු ‘ඕං චී’; කාටවත් නපුරක්, හිංසාවක් නැති අහිංසක මනුස්සයෙක්. ටික වෙලාවකින් ‘මී වොං’ ගෙ, කාමරයේ දොර ළඟට ‘ඕං චී’ ආවා.
දූතයා දුන් සංඥාවකට පසු, ‘ඕං චී’ ගැහෙමින් ගීතය ගායනා කරන්න පටන්ගත්තා.

"මා පෙම සුළඟේ ළෙලදෙන මල්පොකුරක්
මා පෙම රැල්ලේ නැලවෙන සඳකිරණක්"


කාමරයේ ඇතුළෙ හිටි ‘මී වොං’ගෙ ඇස් වහා ඇරුණා. "ඔහු මෙහාට ඇවිත්!" ඇය කඳුළු පුරවගත් දෑසින් මෙහෙකාරියට කීවා. "කොහොමද ඒක සිද්ද වුණේ? අනේ ඉක්මන් කරලා මට ඇඳගන්න උදව් වෙන්න."

‘මී වොං’ ඉක්මණින් ඇඳෙන් බැස්සා. කවමදාවත් නැති විදිහට; කඩි මුඩියේ ඇඳුමක් ඇඳගෙන, කොණ්ඩෙ පීරගෙන ලෑස්ති වුණා. ගීතයෙ හඬ ළං- ළං ව ඇසුණු නිසාත්, ඇය සැරසුණු මලින් සිත්තම් වුණු සේද ඇඳුම් කට්ටලය නිසාත්, ‘මී වොං’ ව දිස්වුණේ දිව්‍යමය දර්ශණයක් ලෙසට.

"දැන්, දොර අරින්න!" ‘මී වොං’, වේගයෙන් ගැහෙන තම හදවත, සන්සුන් කරගන්න උත්සහ කරමින් කීවා. විනීතව හැදුණු, නිරහංකාර, ඒත් ලැජ්ජාවෙන් බර යුවතියක් ලෙසට, හිස බිමට නැඹුරු කරගෙන ඉන්න ඇය සිතාගත්තා.

කාමරයේ දොර හිමිහිට ඇරෙත්ම, වෙන්න යන්න දේ හිතාගන්න බැරුව ‘ඕං චී’ පිටිපස්සට වුණා. ඉන්පසු ඔහුට දැකගන්න හැකි වුණේ, මෙතෙක් තම ජීවිතයේ කිසිම දා නොදුටු, නෙත්කළු, අයස්කාන්ත දසුනක්. ‘ඕං චී’ ට දැනුණෙ එයාගෙ හදවත පැනයන්නට හදන ආකාරයක්. ඒ තරමට ‘ඕං චී’ ට, ‘මී වොං’ ගැන, තද ගැඹුරු, වචනයෙන් කෙසේවත් විස්තර කළ නොහැකි ආදරයක් ඇති වුණා.



තව සුළු මොහොතක්වත් තම ආදරවන්තයාව නොදැක ඉන්නට නොහැකි වුණු ‘මී වොං’, හිමිහිට ඇස් ඔසවා ඔහු දෙස බැලුවා. ඒ වෙලාවෙ ‘මී වොං’ ගෙ ඇස් ලොකු වුණා. ‘මී වොං’ මහ හයියෙන් හිනාවෙන්න පටන්ගත්තා.

මුලාදෑණියෙක්ගෙ පුතා? ඇයව බඳින්න නියමිත කෙනා? නිකම්ම නිකන් ධීවරයෙක්! ඇය මෙතෙක් දවසක් හැසිරිලා තියෙන්නෙ ගොඩක් මෝඩ විදිහට.

ඇගේ මෝඩකමට මහ හයියෙන් විනෝදයෙන් සිනාවෙමින් ‘මී වොං’ අහක බලාගෙන මිමිණුවා; "වහන්න දොර!"

‘ඕං චී’ ගේ ඇස් පනාපිට දොර වේගයෙන් වැසුණා. ‘ඕං චී’ එතැනම ගල් ගැහී බලා හිටියා. ‘මී වොං’ ගේ හිනාව ‘ඕං චී’ ගේ දෙසවන ඇතුළෙ රැව්පිළි රැව් දුන්නා. ‘ඕං චී’ ට දැනුණා එයාගේ හදවත දුකින් ගල්ගැහෙන විදිහ.

‘ඕං චී’ ව නිවස බලා පිටත් කළා. ඒත් පෙර මෙන් ඇවිද ගන්න පණක් ‘ඕං චී’ ට තිබුණෙ නෑ. කන්න, බොන්න, අඩුම ගානේ ටිකක් නිදාගන්නවත් බැරිවුණ ‘ඕං චී’, දුර්වල වෙමින් අසනීප වුණා. මැරුණත් එකයි, නැතත් එකයි මෙන්; හිටිය ‘ඕං චී’ ඉතින් මියැදුණා.

දුප්තපත් කුටියක නිදන කලාලයක් උඩ සිටි ‘ඕං චී’ ව, ගම්වැසියන්ට හම්බවුණා. ඔහුගෙ පපුව උඩ විශාල පළිඟුවක් තියෙනවා ඔවුන් දුටුවා.

"මොකද්ද ඒ?" ගම්වැසියෙක් ඇසුවා.

"ඒ එයාගේ හදවත!" ප‍්‍රඥාවන්ත වයසක කාන්තාවක් උත්තර දුන්නා. "මුලාදෑනියාගේ දුව ඔහුගෙ හිත ගැඹුරටම තුවාල කළ නිසා, වේදනාව නැවතෙන්න හදවත ගල් ගැහිලා."

"අපි දැන් මොකද මේ හදවතට කරන්නෙ?" තරුණ කාන්තාවක් ඇසුවා. "ඔහුගේ ගීත වගේම හදවතත් ගොඩක් ලස්සනයි, ආදරණීයයි!"

"අපි මේ හදවත ‘ඕං චී’ ගේ ඔරුවෙ ඇතුළෙ තියලා, මුහුදට යන්න ගඟ දිගේ පා කරල ඇරියනම් හරි." තව තරුණයෙක් කීවා.

මළහිරු බැස යන මොහොතක ඔවුන් පළිඟු හදවත ‘ඕං චී’ ගේ ධීවර ඔරුව ඇතුළෙන් තිබ්බා. ඉන්පසු ඔරුව ගඟ දිගේ තල්ලු කර, ඒ දිහා වේදනාවෙන් දැවෙන ඇස් වලින් බලාන සිටියා. ගඟ දිගේ සෝකයෙන් පාවුණ ඔරුව ඔවුන්ගේ ඇස් වලින් සමුගන්නාතෙක්ම, ඔවුන් එතැනින් නික්ම ගියේ නම් නෑ.

ඒත් ඔරුව මුහුදට නොයා මුලාදෑනියාගේ මාළිගාව අසල වෙරළට සේන්දු වුණා. අරුණළු උදයේ ඉවුර අසබඩ, සක්මනේ නියැලෙන මුලාදෑනියාට, ඔරුව නෙත ගැටුණා.

"මොනාද මේක ඇතුළෙ තියෙන්නෙ?" පළිඟුව ගන්නට ඔරුවට නැඹුරු වෙන ගමන් ඔහු කීවා. "මොනතරම් කදිම, ලස්සන, තෑග්ගක්ද; ඟංගාව මට ගෙනැත් තියෙන්නේ!" අතටගත් පළිඟුව බොහොම උවමනාවෙන් නරඹන ගමන් ඔහු කීවා.

දවස් කීපයකට පසු කිසිවෙක් පළිඟුටවට අයිතිවාසිකම් කියාගෙන නොපැමිණි නිසා; මුලාදෑනියා එය තේ කෝප්පයක් හැඩයට නිමවන්න, ලියවන පට්ටලකරුවෙක් වෙත ඇරියා.
එක් සැන්දෑවකදී මුලාදෑනියා පළිඟු කෝප්පය තම දියණියගේ වෙත ගෙනයනු ලැබුවා.

"මගේ ආදරණීය දුවට තෑග්ගක්!" ඔහු කීවා.

"ගොඩක් ලස්සන තෑග්ගක් තාත්තෙ! මට මේකෙන් බොනකල් සිහියක් නෑ!"

මුලාදෑනියා ගියාට පසු, ‘මී වොං’ සිය මෙහෙකාරියට කීවා, "දැන් ගොඩක් රෑ වෙලා. මට මේ අලුත් කෝප්පෙන් බොන්න තේ ටිකක් හදල දීලා, ඔයා නිදාගන්න."

තම වැඩ සියල්ලම අහවර කළ මෙහෙකාරිය නිදාගන්නට ගියා. මේසය උඩ තිබුණ ඉටිපන්දම් සියල්ලම නිවා දැමූ, ‘මී වොං’; කෝප්පයට තේ ටිකක් වක්කරගෙන, සඳ කවුළුව ළඟ පුටුවට ගියා. පුරහඳ එළිය ඇගේ කාමරයට නොඅඩුව ගලා එමින් තිබුණා. රත්තරං සඳළිය, ගඟ දිය මත සෙල්ලම් කරනායුරු, ‘මී වොං’ ආසාවෙන් නැරඹුවා. පිවිතුරු මල් සුවඳක් උයනේ සිට හමා ආවා.

‘මී වොං’ තේ උගුරක් බොන්න කෝප්පය තොල් ළඟට ගත්තා. ඒත් බොන්න හදනවාත් සමගම නොහිතූ පරිදි ඇය බයෙන් අඬන්නට පටන් ගත්තා. ඊටපස්සෙ ඉක්මණින් පළිඟු කෝප්පය බංකුව මත තිබ්බා.

තේ වතුර උඩ ‘ඕං චී’ ගේ වත මැවී තිබුණා. ඔහු ආදරය දෝරෙ ගලායන ඇස් වලින් ‘මී වොං’ දෙස බලාගෙන හිටියා. මොහොතකින් ඔහුගේ ආදරණීය ගීතය හුරු පුරුදු, ඒත් ටිකක් වෙනස් වුණ හඬකින් ‘මී වොං’ ගේ, කාමරය පුරා විසිරුණා.

"මා පෙම සුළඟේ ළෙලදෙන මල්පොකුරක්
මා පෙම රැල්ලේ නැලවෙන සඳකිරණක්"




දොර ළඟදි දුටු ‘ඕං චී’ ගේ ඇස්, සැණෙකින් ‘මී වොං’ ට මතක් වුණා. ඒ ගමන්ම ‘මී වොං’ ට මතක් වුණා එදා ඈ සිනහසුණ ආකාරය. "දෙයියනේ! මම මොනාද කළේ? මම ගොඩක් නපුරු වුණා. මම හිතා මතා නෙමෙයි එදා ඔබව රිදෙව්වෙ. මම දැනගෙන හිටියෙ නෑ........ මට සමාවෙන්න. මට සමාවෙන්න. මට ගොඩක් සමාවෙන්න!"

‘මී වොං’ ගෙ ඇස් ඇතුළෙ කඳුළු පොකුරු පිටින් පිපුණා. එක කඳුළු බිංඳුවක් තේ කෝප්පය ඇතුළට වැටුණා. එතකොට පළිඟු කෝප්පය හිමින් සීරුවෙ දියවුණා. ‘ඕං චී’ ගේ ආත්මය නිදහස් කරන්නට ඒ හොඳටෝම ඇති වුණා. ‘මී වොං’ ට ‘ඕං චී’ ගේ ආදරණීය ගීතය අවසාන වතාවට ඟග දිගේ ඈතට ඇදිල යනව ඇහුණා.

සුළඟේ ළෙලදෙන මලකි ‘මී වොං’
රැල්ලේ නැලවෙන සඳළිය ‘මී වොං’


"ආයුබෝවන්!" ‘මී වොං’ හිමිහිට කීවා. "ඔබට ආයුබෝවන්!"

*****

ඊට සුළු කාලයකට පස්සෙ ‘මී වොං’; බලවත් මුලාදෑනියෙක්ගෙ පුතෙක් සමගින් අතිනත ගත්තා. ඔහු ඉතාමත් ලස්සන කඩවසම් තරුණයෙක්. ‘මී වොං’ට දැනුණෙ එයාගේ හැම සිහිනයක්ම ඉෂ්ට සිද්ද වුණ බවක්.

ඒත් කොච්චර වුණත්, අදටත්; උයනක් හෝ නදියක් ‘මී වොං’ ගෙ ඇස ගැටුණොතින්, තවමත් ඇයට, ඒ ආදරණීය ධීවරයාගේ ගීතය සිය හදවත පතුළේ දෝංකාර දෙනවා ඇහෙනවා.

වියට්නාමයේ ජනකතාවක් ඇසුරෙන් කතාව නැවත කිවුවේ - ආරෝන් ෂපර්ඩ්
පින්තූර ඇන්ඳේ- ජෝසප් ඩැනියෙල් ෆිඩ්ලර්


ආරෝන් ෂපර්ඩ්
පරිවර්තනය - මුතු පබා



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
| | edit post


සෙර්ගේයි උපන් දවසේ උත්සවයේදි ඔහුට බොහොම තෑගි ලැබුණා. බමර, ලී අශ්වයෝ සහ පින්තූර ඔහුට තෑගි දුන්නා. හොඳම තෑග්ග ලැබුණේ මාමාගෙන්. ඔහු සෙර්ගේයි ට කුරුල්ලන් අල්ලන දැලක් තෑගි දුන්නා. රාමුවකුයි ලෑල්ලකුයි දැලට සවි කර තිබුණා. ලෑල්ල උඩට කෑම ටිකක් දාලා ගෙවත්තේ තියනවා. කුරුල්ලෙක් කෑම දැකලා වහපු හැටියේම දැල ඉබේටම උගේ ඇඟට වැටෙනවා. සෙර්ගේයි බොහොම සතුටු වෙලා තෑග්ග අම්මාට පෙන්නුවා.

"මේක ඒ තරම් හොඳ සෙල්ලම් බඩු වක් නොවෙයි. කුරුල්ලන් අල්ලන්නේ මොකටද? උන්ට හිරිහැර කරන්ට පුතා කැමතිද?" අම්මා ඇසුවා.

"මම උන්ව කූඩුවක දාලා ඇති කරන්නම්. උන්ට කෑම දෙන්නම්. උන් සින්දු කියාවි."

සෙර්ගේයි ඇට වගයක් හොයා ගෙන ඒවා ලෑල්ල උඩ තියලා කුරුල්ලන් අල්ලන දැල ගෙවත්තේ තැබුවා. ඔහු දැල ළඟ බොහෝ වේලාවක් සිටගෙන සිටියා. එක කුරුල්ලෙක් වත් අසලට ආවේ නෑ. උන් සෙර්ගෙයිට බය වුණා. පසුව ඔහු දවල් බතට ගෙදර ගියා. ආපහු ගෙවත්තට එන විට දැලට පුංචි කුරුල්ලෙකු අහුවෙලා හිටියා. ඌ බොහොම හයියෙන් කොටන්ට පටන් ගත්තා. සෙර්ගෙයි බොහොම සතුටු වෙලා කුරුල්ලාව ගෙදර ගෙනැවිත් අම්මාට කතා කරලා මෙහෙම කීවා.

"අම්මේ! බලන්න මම කුරුල්ලෙකු ඇල්ලුවා. මූ සැලලිහිණියෙන් වෙන්ට ඕන. බලන්න උගේ හදවත ගැහෙන හැටි!"

"මේකා වීෂ් වර්ගයට අයත් කුරුල්ලෙක්. ඌට හිරිහැර නොකර ඌව නිදහස් කරපන්." අම්මා කිවුවා.

"නැහැ, මම ඌට කෑම දෙන්නම්. වතුර දෙන්නම්."

සෙර්ගේයි ඌව කූඩුවක දමා දවස් දෙකක්ම නොයෙකුත් ඇට ජාති ගෙනවිත් ඌට කෑමට දුන්නා. වතුර දුන්නා. කූඩුව සුද්ද කළා. තුන්වැනි දවසෙදි කුරුල්ලාට කෑම දෙන්නටයි, වතුර දෙන්ටයි ඔහුට අමතක වුණා.

"ඔන්න පේනවද! නුඹ කුරුල්ලා ගැන අමතක කළා. ඌව නිදහස් කරපන්!" අම්මා ඔහුට ආයෙත් කිවුවා.



"නැහැ. මට අමතක වුණේ නැහැ. මම දැන්ම කෑමයි, වතුරයි තියන්නම්. කූඩුව සුද්ද කරන්නම්."

සෙර්ගෙයි කූඩුවේ දොර හැරලා සුද්ද කරන්ට පටන් ගත්තා. කුරුල්ලා බයවෙලා කූඩුවට කොටන්ට පටන් ගත්තා. කූඩුවේ දොර වහන්ට අමතක වුණු සෙර්ගේයි ඌට වතුර ගේන්ට ගියා. දොර වසා නැති බව දුටු අම්මා පුතාට කතා කළා.

" සෙර්ගෙයි ඉක්මනට දොර වහන්න. නැතිනම් කුරුල්ලා ඉගිලී යාවී!" අම්මා මෙහෙම කීව විතරයි, කුරුල්ලා දොර ඇර ඇති බව දැකලා සතුටු වෙලා, කූඩුවෙන් පිටවී පියඹා ගියා. ජනේලයේ වීදුරු වසා තිබෙන සැටි ඌ දැක්කේ නෑ. වේගයෙන් පියාඹා ගිහින් ඌ ජනේලේ වීදුරුවේ හැප්පිලා ජනේල් පඩිය උඩ වැටුණා. සෙර්ගේයි කුරුල්ලා දෙස බලාගෙන ඇඬුවා.

"අම්මේ දැන් ඉතින් මම මොනවා කරන්නද?"

"දැන් ඉතින් කළ හැකි දෙයක් නැහැ." අම්මා කිවුවා.

සෙර්ගෙයි කුරුලු කූඩුව ළඟ වාඩි වෙලා කුරුල්ලා දිහා බලාගෙන හිටියා. කුරුල්ලා උඩුබැලි අතට පෙරළි අමාරුවෙන් හුස්ම ගත්තා. ඔහු නිදාගන්ට යන විටත් කුරුල්ලා බොහොම අමාරුවෙන් තමා හිටියේ. සෙර්ගේයි ට එදා රෑ නින්දන් නෑ. කුරුල්ලා බිම වැටී, පියාපත් දිගහැරගෙන හුස්ම ගන්නා හැටි ඔහු හීනෙන් කිහිප වරක් ම දුටුවා. උදේ නැගිට්ට හැටියෙම සෙර්ගේයි කුරුල්ලා බැලීමට ආවා. ඌ දැන් වකුටු වෙලා හරස් පොල්ල උඩ ලැගලා හිටියා. එදා ඉඳලා සෙර්ගෙයි කුරුල්ලන් ඇල්ලීමට කවදාවත් ගියේ නෑ.



ලියෝ තෝල්ස්තෝයි



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
| | edit post


බොහොම ඉස්සර කාලේ මේ කියන පැත්ත මහ මුකලානයක්. ඒකේ අලි, කොටි, වාගේ දරුණු සතුන් වාගේ ම හාවුන්, මුවන් වාගේ අහිංසක සතුනුත් හිටියා. ඒ එක්කම ඒකේ එක එක ජාතියේ පලතුරුත් තිබුණා. කැලේට ගිය කෙනෙකුට ඔය පලතුරු ඕනෑ තරම් බඩ පිරෙන්නට කන්ට පුළුවන්. හැබැයි ආය ගෙදරට ගෙනියන්ට බෑ. එහෙම කෙරුවොත් ඒවා ගෙදර යනකොට කුණුවෙලා. ඇයි, ඔය පලතුරු වාගේ ජාති හැදිලා තියෙන්නේ සත්තුන්ගේත්, මිනිසුන්ගේත් යහපතට, ඒවා පොදි ගහගෙන ඉන්ට නෙවෙයි.

ඔන්න එක දවසක් ඔය කැලේ කිට්ටුව හිටි ඉලන්දාරියෙක්, ‘කූඩයක් වියාගන්ට වේවැල් ටිකක් ඇදගන්ට ඕනෑ’ කියලා හිතාගෙන කැලේට කැත්තකුත් ඇන්න රිංගුවා. හැබැයි වැඩිය දුරක් එයාට යන්ට බැරිවුණා. ඔන්න ඉස්සරහට වල්අලියෙක් එනවා. එයා අලිමන්තර හොඳට දන්නවා. ඒකට මොකද ඒක එයාට කියාගන්ට බැරි වුණා. ඇයි පණ බය නේ. එයාට කියවුණේ ‘චික් ගෙරියා චික්’ කියන ටික විතරයි. එයා ආපහු හැරිලා දුවන්ට පටන්ගත්තා. ඔන්න එතකොට එයා ඒ ළඟ තරමක් ලොකු ගලක් දැක්කා. ඒකට නගිංට ඕනෑ කියලා හිතලා, ඒ ගල ළඟට ගොහින් ඒකට අත තිබ්බා විතරයි, අර පස්සෙන් එළවාගෙන ආපු වල්අලියා ආපහු හැරිලා දුවන්ට පටන්ගත්තා. ඒ ඉලන්දාරියත් අර ගලට නැංගා. තවම එයාගේ පපුව ටික් ටික් ගහලා ගැහෙනවා. ඒක හින්දා එයා ඒ ගලේ ඈඳිගෙන ටික වේලාවක් තමන්ට සිද්ද වෙච්ච ඇබැද්දිය ගැන හිතහිත හිටියා. ඔන්න ටික වෙලාවක් යනකොට මුවපැටියෙක් දුවගෙන එනවා, ඌ පස්සෙ කොටියෙක් පන්නාගෙනයි එන්නේ. ඔන්න මුවපැටියා ගල ළඟට ආවා විතරයි, අර ඌ පස්සෙ එළවාගෙන ආව කොටියා ආපහු හැරිලා දුවන්නට පටන්ගත්තා. දැන් මෙයාට හරි පුදුමයක්. ඔන්න ඕවා ගැන හිතහිත ඉන්නකොට, නයෙක් පස්සෙ මුගටියෙක් පන්නාගෙන එනවා. නයා ගල ළඟට ආවා විතරයි, මුගටියා ආපස්සට හැරිලා දුවන්ට පටන්ගත්තා.

ඉතින් අර විදියට ආපු සත්තුන් එහාට මෙහාට ගියාට පස්සෙ මේ ඉලන්දාරියාත් ආය වේවැල් කපන්ට යන්නේ නැතුව මේ පුදුයම ගැන හිතහිත එතැනින් එනකොට තාපසයෙක් ඉස්සරහට හම්බ වුණා. ඔන්න ඉතින් එයා දැක්ක දේ තාපසයාටත් කියාපි. "ඔව්, ඔව් පැංචෝ මේ ගලේ ඒ විදියේ බලයක් තියෙන එක මමත් දන්නවා. ඒ හින්දා ඔය ගල් ලෙනේ තමයි මාත් ඉන්නේ", කියලා විස්තර කරලා දුන්නා. මගේ නම සෙංඛණ්ඩ කියන එක හින්දා, ඔය පෙළක් ඇත්තන් මේකට සෙංඛණ්ඩ ලෙන කියලාත්, කියනවා කියලා තාපසයා කිව්වා. ඔන්න ඔය දවස්වල ගම්පොළ වික‍්‍රමබාහු රජ්ජුරුවන් නුවරක් හදන්ට හොඳ තැනක් හොය හොයා හිටියා. අර ඉලන්දාරියාට ඒක ආරංචි වෙලා , අන්න අර ජයබිම ගැන කියලා තියෙනවා. රජ්ජුරුවෝ ඇවිත්, අර තාපසයාත් හම්බවෙලා එතැන නුවරක් හදාගත්තා. එතැන තිබ්බ පොකුණේ කිරිඉබ්බෙකුත් හිටියා. ඒකත් හොඳ ලකුණක් ලු. ඉතින් පස්සෙ ඒකට සෙංකඩල නුවර කියලා කමක් දුන්නා කියලාත් කියනවා. ඔන්න ඔහොමයි ඔය නම ලැබිලා තියෙන්නේ. සේනාව කැඩුණු, බය වුණු ගල හිනදා හරි සෙංඛණ්ඩ තාපසයා හිටිය ගල හින්දා හරි සෙංකඩගල වෙන්ට පුළුවන්.

[උපුටනය: මැද රට ජනකතා 2 - නුවර වටා ගෙතුණු කතා]


එච්. එම්. එස්. තුන්දෙණිය



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
| | edit post


අවුරුදු ලක්ෂ ගණනක මිනිස් සිහින සැබෑ බවට පත්කරමින් අමෙරිකානු එක්සත් ජනපද රාජ්‍යයේ නීල් ආම්ස්ට්‍රෝං, එඩ්වින් ඕල්ඩ්‍රින් යන අජටාකාශගාමී වීරයන් දෙදෙනා 1969 ජූලි 21 වැනි සඳු දින පෙරයම චන්ද්‍ර මණ්ඩලයට පා තැබූහ.

නිල් ආම්ස්ට්‍රෝං

නීල් ආම්ස්ට්‍රෝං, මයිකල් කොලින්ස් සහ එඩ්වඩ් ඕල්ඩ්‍රින් යන තිදෙනා මිනිස් ඉතිහාසයේ චන්ද්‍ර චාරිකා යුගයට මුල පුරමින් ඇපලෝ 11හේ යානයෙන් ගමන් ගත්හ.

අපගේ මානව සමාජයෙහි දීර්ඝ ඉතිහාසයෙහි මෙතෙක් නොවුවිරූ වීර වික්‍රමයක යෙදෙමින් මේ තිදෙනාගේ පළමු වන වරට සඳතලය මත පා තැබුවේ තිස්අට හැවිරිදි නීල් ආම්ස්ට්‍රෝං ය.

මේ තිදෙනාම 1930 හේ උපන් අයයි.

නීල් ආම්ස්ට්‍රෝං 1930 හේ අගෝස්තු පස්වන දා ඔහියෝ ජනපදයේ වැපකොනේටා නගරයේ උපන්නේය.

නීල් ආම්ස්ට්‍රෝං පැයට රුපියල් 72 පමණ මුදලක් ගෙවමින් ගගනයානා පැදවීම උගෙන ගන්නට පටන් ගත්තේ වයස පහළොවේ දීය.

ගගනගාමී බලපත්‍රය ඔහු ලබා ගත්තේ වයස දහසයේදීය. ඒ ශුභාරංචිය දෙමාපියන්ට ඔහු ගෙන ආයේ සයිකලයෙනි. මක්නිසාදයත් ඒ වනවිටත් ඔහු මොටෝරිය පදවන බලපත්‍රය ලබාගෙන තිබුනේ නැති නිසාය.

කොරියානු යුද්ධයේදී හෙතෙමේ ගගනගාමියෙක් වශයෙන් සේවයට බැඳී සටන් ගගන චාරිකා හැත්තෑ අටක යෙදුණේය.

කොරියාවේ සිට පෙරළා පැමිණි ඔහු වයස 25හේ දී උපාධි ලද්දේය. ඉන් වසකට පසුව හෙතෙමේ ජැනට් ෂියරොප් නම් කාන්තාව විවාහ කොටගත්තේය. ඈ වරක් විශ්වවිද්‍යාලයේ රූප රාජිණියක් වශයෙන් ද තේරුණ රූමතියකි.

මේ දෙදෙනාට පුතුන් දෙදෙනෙකි. වැඩිමාලු පුතා දොළොස් හැවිරිදි එරික් ය. දෙවැන්නාට වයස 6 යි. නම මාර්ක් ය.

අජටාකාශගාමියෙකු වශයෙන් ආම්ස්ට්‍රෝං තේරුණේ 1962කේය. 1966යේ මාර්තුවේදී හෙතෙමේ ජෙමිනි ද්වි පුද්ගල යානාවක යමින් පළමුවන වරට අජටාකාශයේදී යාත්‍රා පූට්ටුවක් සාර්ථක ලෙස කළේය.

ආම්ස්ට්‍රෝං කුළුපඟව දන්නා අය කියන්නේ බැලූ බැල්මට නම් ඔහුගේ කුළුණුබර ගතිය පැහැදිළිව නොපෙනෙන බවයි. එහෙත්, ආම්ස්ට්‍රෝං ඉතා සුහදතා සහිත කුළුණුබර හැඟීම් පිරි පුරුෂයෙකි.


එඩ්වින් ඕල්ඩ්රින්

නිව් ජර්සි නගරයේ මොක්ලෙයා නගරයේ 1930හේ ජනවාරි විසි වනදා උපන් එඩ්වින් ඕල්ඩ්රින් පාසලේදී ඉතා දක්ෂ ශිෂ්‍යයෙක් වූයේය.

ඔහු යුද නිලධාරින් පුහුණු කරන විද්‍යාලයේ උගෙන උපාධි ලැබ ඉන් බැහැරව ගුවන් හමුදාවට බැඳුනේය. ඔහුගේ පියා ද ගුවන් හමුදාවේ කර්නල් නිලය දැරුවේය. ඔහුද කොරියාවේ යුද සේවයේ යෙදෙමින් ගගන යානා පැදවූයේය.

අජටාකාශ චාරියෙකු වශයෙන් ඔහු බැඳුනේ 1963නේ දීය. ඔහුට දරුවෝ තුන් දෙනෙකි.

ඔහු විවේක සමය ගත කරනු කැමැත්තේ ජල ක්‍රීඩාවන් හි යෙදෙමින්ය.

ඔහු ජැන්ඩියට ඇඳුම් පැළඳුම් අඳින පළඳින කෙනෙකැයි ප්‍රසිද්ධය.


දිණමිණ- 1969 ජූලි මස 22 දා | විශාලිත දසුන බැලීම සඳහා මෙතන කොටන්න.

මයිකල් කොලින්ස්

මයිකල් කොලින්ස් 1930 හේ ඔක්තෝබර් මාසයේ තිස් එක්වනදා රෝමයේ උපන් ඇමෙරිකානු ජාතිකයෙකි.

මයිකල් කොලින්ස් ද වෙස්ට් පොයින්ට් යුද අභ්‍යාස විද්‍යාලයෙන් උපාධි ලද්දේය.

මයිකල් කොලින්ස්ට හා බිරිය වන පැට්රිෂියාටත් දරු තිදෙනෙකි. වැඩිමහළු දියණිය වන කැත්ලීන්ට වයස දහයකි. ඈන් දියණියට වයස හතකි. බාල පුතාවන මයිකල්ට වයස හයකි.

මයිකල් කොලින්ස් ප්‍රසිද්ධියට ආශා නැත. එහෙත් හෙතම අජටාකාශගාමීන් වෙසෙන ජන කණ්ඩායමේ ඉතා ම ජනප්‍රිය පුද්ගලයෙකි.

සිය සගයන් දෙන්නා සඳට බැස ආපසු එනතෙක් තනිවම සඳට ඉහළ අහසේ ඔහු රවුම් ගසයි.


අජටාකාශ යුගයේ නවතම පියවර

අවුරුදු පන්සිය කෝටියකටත් වඩා වයසැති පෘථීවි තලයෙහි මෙතෙක් විසූ මිනිසා, විද්‍යාවේ බලයෙන් පොළොව සීමාවන්ගෙන් මිදී, (-අකුරු නොපැහැදිලිය-) මහ සක්වළ ගමනේලා සිය පළමුවන පියවර සිඟිත්ත තබා ඇත්තේය.

මුළු මහත් විශ්වයෙහි සිදුවූ සිද්ධියක් වශයෙන් ගෙන සැළකීමේදී මේ අජටාකාශගාමීන් දෙදෙනා සඳතලයෙහි පා තැබීම හුදෙක් හිමාලය පර්වත පංක්තියෙහි අබැටක් හෙළාලීම වැනි සෙසු සිද්ධියකි.

එහෙත් පාථීවි තලයෙහි වෙසෙන තුන්සිය කෝටියක් පමණැති ජන සමූහයාට නම් මෙය මානව ඉතිහාසයෙහි රන'කුරෙන් ලියැවෙන අසහාය ජයග්‍රහණයක් වන්නේය.

මිහිතලයෙහි හටගත් මිනිසෙකු තබා කිසිම කිසි සත්වයෙක් වත් මෙතෙක් පෘථීවියෙන් මේ සා ඈත ගමනක යෙදී නැත. සඳ තලය මත පා තැබූ නීල් ආම්ස්ට්‍රෝං සහ එඩ්වින් ඕල්ඩ්රිං නම් අජටාකාශචාරීන් දෙදෙනා මෙතෙක් පාථීවියෙන් ඉතාම ඈත තැනකට ගිය පුද්ගලයන් දෙදෙනා වෙති.

මුළු මහත් මානව වර්ගයාගේම ප්‍රගතිය පිළිබඳ පෙරමුණ ගෙන අජටාකාශගත වූ මේ ඇමෙරිකානුවෝ, හොඳ අරමුණක් ඉටුකොට ගන්නා පිණිස සාමූහික ප්‍රයත්නයක යෙදීමේ විශිෂ්ටතම ප්‍රතිඵල පළකොට සිටිති.

මේ සාමූහික ප්‍රයත්නයේ තරම තේරුම් ගන්නට මේ විස්තර ටික මඳක් සළකා බලන්න. ඇපළෝ 11 හේ යානයේ කොටස් එක්ලක්ෂ පණස්දාහකි. ගමන සාර්ථක කොට ගන්නා පිණිස කළ යුතු ක්‍රියා සංඛ්‍යාව දස දහසකට අධිකය. ව්‍යාපාරයට සහභාගිවන ස්ත්‍රී- පුරුෂයන්ගේ සංඛ්‍යාව 400,000 කි. විද්‍යායතන පර්යේෂණාගාර 120 කි. කොන්ත්‍රාත්කාර කාර්මික ව්‍යාපාර සංගම් ගණන 20,000 කි. විවිධ කාර්මික විද්‍යාඥයන් හා ශිල්පීන් විසින් කළයුතු කුදු- මහත් රාජකාරි ගණන සටහන් කළ පොතේ පිටු ගණන 25,000 කි.

පාලනය හුදෙක් පෘථීවිය වටා පමණක් නොව අජටාකාශයේ සැතපුම් 240,000 ක් තැන් දක්වා විහිදේ.

එසේ යානය අභ්‍යවකාශයට යවන්නට පෙර කරන ලද ලක්ෂ සංඛ්‍යාත කුදු- මහත් පරීක්ෂණවලින් පස්සෙ යානය ගමනේ යෙදී සිටින විටද ගමන් පාලකයෝ යානයේ ක්‍රියාකාරීත්වය ඉතා තියුණු ලෙස විමසති.

මේ අජටාකාශගාමී යුගය ආරම්භ කොට මානව ඉතිහාසයේ මේ මහා හපන්කමට මුල් පියවර තැබුවෝ සෝවියට් රුසියානු විද්‍යාඥයෝ වෙති. ස්පුට්නික් එක දරණ යානය පෘථීවිය ඉහළ අහසට යැවූ ඔවුන් විසින් පටන්ගත් කාර්යය, අර්ථවත් තරඟයක යෙදී තවත් ඔබ්බට ගෙන ගොස්, ඇමෙරිකානු විද්‍යාඥයෝ මිනිසෙකු හඳට බැස්සූහ.

මිනිසෙකු අජටාකාශ චාරිකාවේ යැවීම ඉමහත් ජාතික වියදමකින් කෙරෙන්නකි. සැටර්න් 5 රොකට්ටුවේ එක් රාත්තලක් අහසට නඟින්නේ රුපියල් එක් ලක්ෂ හැත්තෑ හත්දහස් පන්සියයක වියදමෙනි. මේ රොකට්ටුවේ බර ටොන් 3100 ක් බව මෙහිදී සිතාගත යුතුවේ.



මා හිතන හැටියට මෙවැනි මහා වීර ක්‍රියාවකට පදනම වන මූලික අදහස නම් මිනිස්කම පළකොට සිටීමේ අදහස යැයි කියාය. සිය මිනිස්කමට තර්ජනයක්ව පැනනඟින හැම දෙයක්ම දිනාගන්නට මිනිසා ප්‍රයත්නයෙක යෙදෙන්නේය.

එවරස්ට් කූටය නඟින්නට ගිය වීරයෙකුගෙන් කෙනෙකු "ඔබ එවරස්ට් කූටය දිනන්නට අදහස් කරන්නේ මක්නිසාදැ" යි ඇසූ විට ඔහු පිළිතුරු දුන්නේ එවරස්ට් කූටය (-අකුරු නොපැහැදිලිය-) කියාය.

එසේ එවැනි වීර කමකින් සිය මිනිස් බව පළකරන පුරෝගාමීන් නිසා අනුක්‍රමයෙන් මුළු මහත් මානව වර්ගයාටම සෙත සැලසෙන්නේය. අභීතව නොදන්නා අතුරු- ආන්තරායට මූණ පාමින් 1492කේදී සාගර තරණය කළ කොළොම්බස් නිසා එක් අතකින් මේ අජටාකාශගාමී වීර චාරිකාවන් පටන්ගත්තේ යැයි කිව හැකිය.

මේ සඳට යන්නවුන් විසින් ගෙනඑන පස් නිසා සිදු වියැකි සෙත සඳහන් කරමින් රොබට් පැස්ට්රෙප් නම් විද්‍යාඥයා කියන්නේ ජීවීන් විරහිත තැනක් ලෙස තකන මේ සඳේ සිට ගේන පස නිසා පෘථීවියේ ජීවීන් ප්‍රභවය වූ ආකාරය පවා දැනගත හැකිවේය කියාය. පෘථීවියේ ජීවය හටගත්තේ අප්‍රාණික ක්ෂුද්‍රාණු විශේෂයක් කාලාන්තරයක් තිස්සේ පෘථීවියේ සාගරයන්හි ඒ මේ අත හැප්පී සෙසු ක්ෂුද්‍රාණු හා එක්වීමෙනැයි විද්‍යාඥයෝ කියති.

සඳෙත් එක් කලක් සාගර තිබෙන්නට ඇත. එහිද මේ ක්ෂුද්‍රාණු ජීවය දෙසට යන ගමන අරඹන්නට ඇත. එහෙත් පෘථීවියේ මෙන් නොව සඳෙහි නම් සාගර වියලී ගියේය. ජීවය වෙත යන්නට සඳේ ක්ෂුද්‍රාණු විසින් අරඹන ලද ගමන අතරමඟ නතර වන්නේය. එහෙත් පෘථීවියේ ඒ මුල් යුගයේ ක්ෂුද්‍රාණු පිළිබඳ අංශු මාත්‍ර හෝ චිහ්නයක් පෘථීවියේ ඉතිරිවීලා නැත. අව්ව, වැස්ස, ගංගා, සාගර, කුණාටු ආදිය නිසා ඒවා අප්‍රභව ගිය හෙයිනි. එහෙත් (-අකුරු නොපැහැදිලිය-) වියලි, කුණාටු රහිත පසේ ඒ ක්ෂුද්‍රාණුවල ඡායාමාත්‍රමය නෂ්ටාවශේෂ තාමත් ඇත. එසේ නම් ඒ පස විග්‍රහ කොට බලා මිනිසුන්ට පෘථීවියේ ජීවය පටන් ගත් හැටි පවා උගෙනගත හැකි වේ.

මේ වනාහි සඳ ගමනේ සෙසු සෙතක් පමණි. එහෙත්, සඳ පෘථීවියේ ධනය යැයි ගන්නා දේ පිරි භාණ්ඩාගාරයක් වැනි විය හැකියැයිද ඇතැම් පෘථීවි විද්‍යාඥයෝ පවසති. සඳේ හවුරුදු 450 කෝටියක් ජීවන සමය තුල එහි පතිත වුණු උල්කාපාත විසින් වටනා ලෝහ වර්ග ටොන් සියක් කෝටි වශයෙන් තැන්පත් කොට ඇතැයි ඇතැම් විද්‍යාඥයන්ගේ මතය වේ.

අදත්, මේ අජටාකාශ චාරිකා පිළිබඳ පර්යේෂණ නිසා මිනිසාට ඉමහත් සෙත සැලසී ඇත්තේය. කාලගුණ පරීක්ෂක යානා විසින් කුණාටු, සුලි සුළං ආදිය කලින් දන්වා ජීවිත හා දේපොළත් රැකගත් වාර කිහිපයකි. ලෝකය එකට යා කරන සංඥා හාරක යානාවෝ මිනිස් සමාජය එක් පවුලක අය මෙන් එකට එක් කරති.

අජටාකාශ පර්යේෂණ නිසා වෛද්‍ය විද්‍යාවේ නව පියවරක් ඇරඹී ඇත්තේය. හුදෙක් ඇසේ ක්‍රියාකාරීත්වයෙන්ම ක්‍රියාකාරන ස්විච් යතුරක් අජටාකාශචාරී පර්යේෂකයෝ තනාලූහ. ඒ ස්විචය ලෙඩුන්ගේ රෝද පුටුවලට සවිකළාම අත් පා ක්‍රියාවේ යෙදවිය නොහෙන ලෙඩුන්ට හුදෙක් ඇස ක්‍රියාවේ යෙදවීමෙන් ම පමණක්, ඒ රෝද පුටු ගමන් කරවිය හැකි වන්නේය. පොතක පිටු පෙරලීම ආදී ක්‍රියා සඳහාද කය වෙහෙසිය නොහෙන ලෙඩුන්ට මේ ස්විචය භාවිත කළ හැක.

අජටාකාශ යානයේ මාණක යන්ත්‍ර පුවරුවලට සවිකරන්නට තැනූ සූක්ෂ්ම ලාම්පු විශේෂයක් ලෙඩුන්ගේ ආමාෂය පරික්ෂා කිරීම් වැනි කටයුතු සඳහාද යොදාගත හැකිවේ. මේ ලාම්පු, ඉඳිකටු සිදුරකින් යාහැකි තරම් සියුම්ය. එහෙත් ඉන් ඉතාම දීප්තිමත් ආලෝකයක් ලැබේ.

විද්‍යාවේ ඇසින් නැරඹීමේදී සඳතලය මත මිනිසා පා තැබීම කොයි ආකාරයෙක ප්‍රතිඵල ගෙන දෙන්නක්දැයි තාම කාටවත් කිව හැකි නොවේ. සඳ තලයේ තිබී කවර විද්‍යාත්මක ආශ්චර්යයන් විද්‍යාඥයන් විසින් අනාවරණය කොට ගනු ලැබේදැයි යන්න හුදෙක් ම අනාගතය විසින් ම අනාවරණය කළ යුත්තකි.

සිහිවන පුවරුව

මිනිසා හඳට ගොඩබැසීමෙන් ලබන ශ්‍රේෂ්ඨම ජයග්‍රහණය හඳේ සටහන් කර තබන ලද්දේ මේ ඡායාරූපයෙන් දැක්වෙන සිහිවටන පුවරුව මඟිනි. නීල් ආම්ස්ට්‍රෝං සහ මයිකල් කොලින්ස් (-මෙය ලියුම්කරුගේ දෝෂයක් විය හැකිය-) යන දෙදෙන, හඳේ පා තැබූ විගසම මෙම සිහිවටන පුවරුව එහි තැම්පත් කෙරිණි.



"ක්‍රිස්තු වර්ෂ 1969 ජුලි මාසයේ දි පෘථීවි ග්‍රහලෝකයෙන් පැමිණි මිනිසුන් මුලින්ම හඳේ පයතැබූ ස්ථානය මෙයයි. සමස්ත මිනිස් වර්ගයාගේම සාමය උදෙසා අපි මෙහි පැමිණියෙමු." යනුවෙන් සිහිවටන පුවරුවේ සටහන් කර ඇති පාඨයෙන් කියැවෙයි.

මුලින්ම හඳේ පා තබන නීල් ආම්ස්ට්‍රෝං සහ මයිකල් කොලින්ස් ගේත් ඔවුන් ආපසු ඇපලෝ 11 යානයට එන තුරු එය හඳ වටේ පදවමින් සිටින එඩ්වින් ඇල්ඩ්රින් ගේත් අත්සන සිහිවටන පුවරුවේ වැකියට පහළින් යොදා තිබේ. මෙහි පහතින් තිබෙන්නේ ඇමෙරිකාවේ ජනාධිපති රිචඩ් ඇම්. නික්සන් ගේ අත්සනයි.

සඳතලයට බැස්ස යානාව

මිනිසෙකු සඳතලයට බසින්නටත් පෙරම, සඳතලයට බැස්ස චන්ද්‍රචාරිකා යානය උසින් අඩි 23 ක් වූ යානයකි.

තට්ටු දෙකේ ගෙයක් තරම් වන මේ චන්ද්‍ර චාරිකා යානය බරින් ටොන් දහයකි.

පාද හතරක් සහිත මේ යානය බැලූ බැල්මට මකුළුවෙකු වැනියි.

ඇපොලෝ යාත්‍රිකයින්ගෙන් ඇතැම්මු මේ චන්ද්‍ර චාරිකා යානයට "මකුණා" යයි සුරතල් නම දුන්හ.

ඇපලෝ දහයේ ගිය යාත්‍රිකයින් විසින් චන්ද්‍ර චාරිකා යානයට දෙන ලද්දේ "ස්නූපි" යැයි කියන නමයි. නියමුව යානයට දෙන ලද සුරතල් නම "චාලි බ්‍රවුන්" ය.

වර්තමාන ඇපලෝ 11හේ සංචාරයකයන් චන්ද්‍ර චාරිකා යානයට දෙන්නේ "ඊගල්" (රාජාලියා) නම් සුරතල් නාමයයි. ඔවුන් විසින් නියමුව යානයට දෙනු ලබන සුරතල් නම "කලම්බියා" යි.

මේ චන්ද්‍ර චාරිකා යානය සායම්කොට තිබෙන්නේ කළු පැහැයෙන් සහ රන්වන් පැහැයෙනි. ඒ වර්ණ විසින් සූර්යාලෝකය හොඳින් පරාවර්තනය කරන නිසාය.

-එඩ්වින් ආරියදාස විසිනි.

(වර්ෂ 1969 ක් වූ ජූලි මස 22 වැනි අඟහරුවාදා දිණමිණ මුල්පිටුවෙන් උපුටා ගන්නා ලදී. පුවත්පත් පිටපතෙහි කාලය විසින් ඇති කරන ලද කියවා ගත නොහැකි ඇතැම් අපැහැදිලි තැන් තිබූ අතර ඒවා අදාළ තැන් හී දක්වා ඇත. බස සහ අක්ෂර වින්‍යාසය මුල් ලිපියේ පරිදිමය. මේ ලිපිය පිටපත් කොට බූන්දියට එවූ දමිත් වැලිකල සොයුරාට ස්තූතියි.)

එඩ්වින් ආරියදාස



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
| | edit post


පහුගිය ග්‍රීස්මයේ පුරෝගාමි කඳවුරට ඇවිත් දින දෙකක් ගත වෙද්දි, අපේ පුරෝගාමී නායකයා-වීත්යා අපිට කිවුවේ අපි අපේම ගෙවත්තක් සාදන්නට යන බවයි. අපි හැමෝම එකතු වෙලා වැඩ කරන විදියයි, වවන්නෙ මොන වගේ එළවළු ද කියන එකයි ගැන සාකච්ඡා කළා. අපිට ලැබිලා තිබුණු බිම්කඩ කුඩා පාත්ති වලට වෙන් කරන බවත්, එක් එක් කුඩා පාත්තිය වෙනුවෙන් පුරෝගාමින් දෙදෙනෙකු බැගින් නම් කරන්නට යන බවත් වීත්යා අපට කිවුවා. ඒ වගේම හොඳම පාත්තිය නිර්මාණය සඳහා තරඟයක් පැවැත්වෙන බවත්, දිනන අයට තෑග්ගක් හිමි වෙන බවත් එයා පැහැදිලි කළා. තරඟයේ ඉදිරියෙන් ඉන්න අය හෙමින් වැඩ කරන අයට උදවු කළ යුතු බවත්, එතකොට පොළොව හොඳින් සකස් කරලා වැඩි අස්වැන්නක් ලබා ගත හැකි බවත් වීත්යා කිවුවා.

මාවයි මීෂ්කාවයි එකම කණ්ඩායමකට දමන්න කියලා අපි ඉල්ලා හිටියා. මොකද කඳවුරට එන්න කලින්ම අපි දෙන්නා එකඟ වෙලා හිටියා එකට ඉන්නත්, එකට මාළු බාන්නත්, කොටින්ම එකතු වෙලා හැමදේම කරනවා කියලත්.

ඉස්සෙල්ලාම බිම් කොටලා ඉවර වෙන කණ්ඩායමට අභියෝගතා පුවරුවක් දිය යුතුයැයි වාදික් සයිත්සේව් යෝජනා කළා. ඉන් පස්සෙ එම පුවරුව හොඳම වගා කරන්නාටත්, පසුව හොඳම වල් නෙළන්නන්ටත් හිමි විය යුතු බවට සියළු දෙනාම එකඟ වුණා. අවසානයේ දී හොඳම අස්වැන්න ලබන කණ්ඩායමට එම පුවරුව ආපසු නගරය තෙක් ගෙන යාමට අවස්ථාව ලැබෙන බවත් කියා සිටියා.

ඉතිං මීෂ්කයි මමයි තරඟය දිනන්න තීරණය කළා.

'අපි මේක ඉස්සෙල්ලම දිනා ගනිමු. ඊට පස්සේ ග්‍රීස්ම කාලේ ඉවර වෙනකල්ම මේක අපි ළඟම තියාගෙන ආපහු නගරෙට යනකොට ගෙනියමු' මීෂ්කා කිවුවා.

අපිට ලැබිලා තිබුනේ ගඟ අයිනේ තිබුණු කුඩා බිම් කොටසක්. පළමුවෙන්ම අපි කළේ බිම් තීරුව මනින එක. ඉන්පස්සෙ කුඩා පාත්ති වලට වෙන් කරලා ඒ එක එකක් අංක යෙදු ලී පුවරු සවි කරලා සකස් කලා. මීෂ්කටයි මටයි ලැබුණේ පාත්ති අංක දොළහ. මීෂ්කා ඒ ගැන හිටියේ අසතුටෙන්. එයා වීත්යා ළඟට ගිහින් අපිට ලැබුණු බිම් කට්ටිය අන්තිම නරක එකක් බවට නෝක්කාඩු කියන්ට පටන් ගත්තා.

'මොකද ඒක නරක වෙන්න හේතුව?' වීත්යා ඇහුවා.

'ඒක මැද්දේ මහ විසාල ගුලක් තියෙනවා.' මීෂ්කා උත්තර දුන්නා.

'ඉතිං ඒකට මොකද? අනික ඒක ගුලක් නෙවෙයි, සතෙකු ගේ කුර සටහනක්' වීත්යා මහ හයියෙන් හිනා වුණා.

'ඒ විතරක් නෙමෙයි ගස් කොටයකුත් තියෙනවා.' මීෂ්කා ආයෙත් කිව්වා.

'ඉතිං අනිත් බිම් කට්ටි වලත් තියෙන්නෙ ගස් කොටන්.'

ඒත් මිෂ්කා ඒකට ඇහුම් කන් දුන්නේ නෑ.

'ඒක එහෙම් පිටින්ම හාරලා දමන්න වෙයි.' මීෂ්කා චුරු චුරු ගෑවා.

'දැන් යන්න. ගිහින් හාරන්න පටන් ගන්න. උදවු ඕනෑ නම් අනිත් අය ඔබට උදවු දේවි.' වීත්යා කිවුවා.

'හුහ්...අපිට පුළුවන් අපේ වැඩේ කරන්න. ඔන්න බලන්න අපි තමයි අන්තිමේදි අනිත් අයට අත දෙන්නෙත්.' මීෂ්කා වීරයා වගේ කිවුවා.



'අන්න එහෙම තමා ඉන්න ඕනෑ.' වීත්යාත් කිවුවා.

හැමෝම බිම් කෙටිල්ල පටන් ගත්තා. අපිත් බිම් කෙටිල්ල පටන් ගත්තා. ඒත් හැම තත්පරේකටම සැරයක් මීෂ්කා කලේ බිම් කෙටිල්ල නවත්තලා අනෙක් අය කොපමණ කොටා ඇත්දැයි බලන්ට දුවන එකයි.

'ඔයා හරියට වැඩ කරන්න පටන් ගත්තේ නැත්තං ඔන්න අපිට ඉන්න වෙන්නේ අනිත් හැමෝටම වඩා පිටිපස්සෙන්.' අන්තිමේදි මං මීෂ්කාට කිවුවා.

'හරි, හරි. ඒ වුනාට මට පුළුවන් අල්ලන්න ඒගොල්ලන්ව.'

ඔන්න එතකොට මීෂ්කා බිම කොටන්න පටන් ගත්තා. ආයෙමත් ටික වෙලාවකින් එයා කලේ අනිත් අයගේ බිම් කට්ටි දිහා බල බල ඉන්න එකයි.

එදා අපිට ඒ හැටි තරමක් බිම් කොටන්න බැරි වුණා. මොකද රෑ කෑමට අපිට සීනුව නාද කළ නිසා. රෑ කෑමෙන් පස්සෙ අපි දෙන්නා පාත්තියට යන්න පිටත් වුණත් වීත්යා ඇවිත් අපිව නැවැත්තුවා.

'දවසකට ඔය වැඩ කළා හොඳටම ඇති. අපි වැඩ කරන්නේ උදේට විතරයි. රෑ කෑමෙන් පස්සේ අපි විවේක ගන්න ඕනෑ. නැත්තං වෙන්නෙ පළවෙනි දවසෙම ඕනෑවටත් වඩා වැඩ කරලා ඊළඟ දවසෙ වැඩ හරියට කරන්න බැරි වෙන එකයි.'

ඊළඟ දවසේ උදේ අපි හැමෝටම කලින් බිම් කොටන්න පටන් ගත්තා. ඔන්න ටික වෙලාවකින් වීත්යා ළඟට ගිය මීෂ්කා මිනුම් පටියක් ඉල්ලා හිටියා. ඉන්පස්සේ අපි කොපමණ කොටසක් කොටා ඇත්දැයි මැන්නා. තව කොපමණ කොටසක් කොටන්නට ඉතිරිව ඇතිදැයි මැන්නා. ටික වේලාවකින් මීෂ්කා ආයෙත් පොළොව කොටන්නට පටන් ගත්තා. ආයේ මොහොතකින් මනින්ට පටන් ගත්තා. ඒ මනින හැම වෙලාවකම එයා කිවුවේ අපි සෑහෙන තරමට පොළොව කොටා නැහැයි කියන එකයි.

'ඔවු, ඔවු. ඒක එහෙම තමයි. මොකද මේක කොටන්නෙ මං විතරක් නිසා. ඔයා කරන්නේ මැන මැන ඉන්නෙක විතරයි මීෂ්කා' අන්තිමේදි මං කිවුවා.

මිනුම් පටිය වීසි කරලා මීෂ්කා ආයෙත් කොටන්න පටන් ගත්තා. එයාට වැඩි දුරක් කොටාගෙන යන්නට ලැබුනේ නෑ. එයාගේ ඉස්කෝප්පේ විසාල ගස් මුලක පැටළුණා. අන්තිමේදි මුල උදුරලා දමන්න එයා උත්සහ කළත් ඒක අසාර්ථක වුණා. එයා මුළු බිම් කට්ටිය පුරාම හාරමින් මුල ගලවන්න හැදුවා.

'ඒක එහෙමම තියෙන්න දෙන්න! ඒක ගැන ඔය තරම කරදර වෙන්නේ මොන එහෙකටද?' මං කිවුවා.

'මේක හැතැක්ම බාගෙකටත් වඩා දිගයි කියලා මං දැනගන්නේ කොහොමද?' මීෂ්කා ඇහුවා.

'ඒක එහෙමම තියන්න.'

'ඒ වුණාට ඒක කොතනකින් හරි තැනකින් ඉවර වෙන්න ඕනෑ නේද?' මීෂ්කා ඇහුවා.

'ඉතිං එහෙම වුණා කියලා මොකද්ද ඇතිවෙන වෙනස?' මං කිවුවා.

'මං මොකක් හරි පටන් ගත්තොත් ඒක මොන විදියෙන් හරි ඉවර කරලා නවතින ජාතියේ කෙනෙක්.' මීෂ්කා උත්තර දුන්නා.

එහෙම කියලා මුල දෑතින්ම අල්ලලා අදින්න පටන් ගත්තා. මට තරහ ගියා. මං මුල තිබුණුතැනට ගිහින් ඒකට හයියෙන් ගහගෙන ගහගෙන ගියා. මීෂ්කා වගකට නැතුව දිගටම මැන මැන හිටියා.

'අර බලන්න, ඒක මීටර හයහමාරක් දිගයි! අපි දැන්ම කපලා අයින් කළේ නැත්තං මේක මීටර විස්සකටත් එහා දුර ගිය එකක් වෙයි'

'ඔයා වැඩ කරනවට වඩා මේ වගේ දේවල් වලට කාලේ කන කෙනෙක් කියල දන්නවා නම් මං කොහෙත්ම ඔයා එක්ක වැඩකරන්න එන්නේ නෑ මීෂ්කා.' මං කිවුවා.

'ඉතිං ඔයා මං එක්ක වැඩ කරන්න ඕනෑ කිවුවේ කවුද. ගිහින් තනියෙන් වැඩ කරන එකයි ඇත්තේ.'

'මං මෙච්චර ප්‍රමාණයක් තනියෙන්ම කොටලා ඉවර වුණාට පස්සෙත් ඔයා එහෙම කියනවද මීෂ්කා. කොහොම වුණත් අපි පළමුවෙනියා නොවෙන එක නම් ස්ථීරයි.'

'කවුද එහෙම කියන්නෙ? අර බලන්න වාන්යා ලොෂ්කින් ගෙයි සේන්යා බොබ්රොව් ගෙයි පාත්ති දිහා, ඒ ගොල්ලො අපිට වඩා කොච්චර ටිකයි ද කොටලා තියෙන්නේ.'

එහෙම කියලා වාන්යා ලොෂ්කින්ගේ පාත්තියට ගිහින් මීෂ්කා මෙහෙම කිවුවා.

'බිම් කොටන්නනි, ඉතා ඉක්මනින්ම ඔබ සියළු දෙනාට අත දීමට අපිට හැකිවෙනවා නිසැකයි!'

ඒගොල්ලො මීෂ්කාව එළවා ගත්තා.

'ඔයා හරිම පුදුම එක්කෙනෙක් තමයි මීෂ්කා. තමන් කිසිම දෙයක් මහන්සි වෙලා කරන්නෙ නැතුව අනිත් අයට ඔහොම විහිළු කර කර ඉන්න පුළුවන්ද? ඇත්තටම අපරාදේ මං ඔයා එක්ක වැඩ කරන්න එකතු වුණේ.' මං කිවුවා.

'දුක් වෙන්නෙපා. මං ළඟ තියෙනවා කදිම අදහසක්. ඔන්න බලන්නකො හෙට වෙද්දි පුවරුව තියෙයි අපේ පාත්තියේ.' මීෂ්කා කිවුවා.

'ඔයාට නම් පිස්සු මීෂ්කා. තව දවස් දෙකක් වත් කරන්න තරම් වැඩ තියෙනවා අපිට. ඒකටත් තව දවස් හතරක්වත් යයි ඔයා දිගටම මෙහෙම වැඩ කළොත්' මං කිවුවා.

'ඔයාට පස්සෙ තේරෙයි. මගේ සැලසුම දැනගත්තම' මීෂ්කා කිවුවා.

'හරි, හරි. දැන් වැඩ කරන්න. පොළොව ඉබේ කෙටෙන්නේ නැහැ.' මං කිවුවා.

මීෂ්කා පොළොව හාරන්න ඉස්කෝප්පෙ අතට ගත්තා විතරයි වීත්යා ඇවිත් කිවුවා රෑ කෑම සුදානම් බව. ඉස්කෝප්පේ පැත්තකට වීසි කරලා මීෂ්කා කෑම කාමරය පැත්තට ගියා.

රෑ කෑමෙන් පස්සෙ අපි හැමෝම එකතු වෙලා පුවරුව හදන්න වීත්යාට උදවු කළා. අපි ඊට හරියන ලී දෙකක් සොයා ගත්තා. රෙදි කැබැල්ලක් පමණට කපා මසා ගත්තා. ඊට පස්සේ වීත්යා 'හොඳම ගොවියා' කියලා රෙදි කැබැල්ල උඩ රිදී පාට තීන්තෙන් ලියුවා. ඒක බොහොම ආකර්ෂණීය පුවරුවක්.

'අපි පඹයෙකුත් හදමු. ඒකෙන් අපිට පුළුවන් කුරුල්ලො ගෙවත්තෙන් ඈත් කරලා තියන්න' මීෂ්කා යෝජනා කළා.

හැමෝම බොහොම සතුටින් ඒ අදහසට කැමති වුණා. අපි කණුවක් අරගෙන ඒකෙ හරහට හිටින්න පඹයායගේ අත් වලට තවත් පොල්ලක් බැඳගත්තා. පරණ ගෝනියකින් කමිසයක් හදලා අන්දලා මුට්ටියක් ඔලුවට තැබුවා. මීෂ්කා ගල් අඟුරු කෑල්ලකින් පඹයාගේ ඇසුත්, නහයත් කටත් ඇන්දා. ඇත්තෙන්ම ඌ බය හිතෙන පඹයෙක්. අපි එයාව ගෙවත්ත මැද්දේ හිටවලා හයියෙන් හිනා වුණා.

ඒ අතරෙ මාව පැත්තකට ඇදගෙන ගිය මීෂ්කා මට රහසක් කියුවා.

'මෙන්න මේකයි සැලසුම. අද රෑට හැමෝම නිදාගන්න ගියාම අපි පාත්තියට යන්න ඕනෑ. එහෙම වුණොත් අපිට පුළුවන් සෑහෙන්න බිම කොටලා ඉවර කරන්න. එතකොට අපිට හෙට කරන්න ඉතිරි වෙන්නෙ බොහොම ටිකයි. ඒ කියන්නෙ අපි පුවරුව දිනා ගන්න එක ස්ථීරයි' මීෂ්කා කිවුවා.

'හැබැයි ඒ ඔයත් වැඩ කළොත් විතරයි. ඔයා මුළු වෙලාවෙම කරන්නෙ මෝඩ වැඩ කර කර ඉන්න එකනේ.' මම උත්තර දුන්නා.

'ඔන්න බලන්න, ඔයාට පෙනෙයි, මේ වතාවේ මං කඩියෙක් වගේ වැඩ කරන්න්නයි යන්නේ'

'හරි. හැබැයි ඔයා වැඩ නොකලොත්, මං වැඩ කරන්නෙත් නෑ ඔන්න.'

අපි හැමෝම නින්දට ගියා. ඒත් අපි කලේ නිදි බව බොරුව්ට අඟවන එක. හැමදේම නිශ්ශබ්ද වුණු පළවෙනි මොහොතෙම මීෂ්කා මගේ ඇලපතට ඇන්නා. ඒක මට හරියට රිදුනා. 'නැගිටින්න' මීෂ්කා රහසෙන් කිවුවා.

'අපි දැන්ම යන්න ඕනෑ. එහෙම නොවුනොත් පුවරුව අපිට ලැබෙන්නෙ නම් නෑ කොහෙත්ම'

අපි නේවාසිකාගාරෙන් හෙමින් එළියට බඩ ගෑවා. ඊට පස්සෙ ඉස්කෝප්ප දෙකත් අරන් කෙළින්ම දිව්වෙ අපේ පාත්තියට. එදා බොහොම හොඳට හඳපායලා තිබුණු නිසා හැම දෙයක්ම බොහොම පැහැදිලිව අපිට පෙනුණා.

අපි වැඩ කරන්න පටන් ගත්තා. මේ වතාවෙ නම් මීෂ්කා හැබෑවටම වැඩ කළා. ඒ නිසා බොහො වෙලාවක් යන්නට කලින් ගස් කොටය තිබුණු තැනට වෙනකල්ම කොටලා ඉවර කරන්න අපිට පුළුවන් වුණා. අන්තිමේදි ඒකත් ගලවලා දමන්න අපි තීරණය කළා.

අපි කොටයේ මුල් තිබුණු තැන වටේටම පස බුරුල් කලා. ඊටපස්ස පුලුවන් තරම් වීරිය දමලා ඒක ඇද්දා. ඒත් ඒක හෙලවුණේ වත් නෑ. කොටයේ මුල් ගිහින් තිබුණු හැමතැනක්ම සෝදිසි කරලා ඒවා උගුල්ලා දමන්න අපි හිතුවා. ඒක ඒ තරම් පහසු කටයුත්තක් වුණේ නැතත් අන්තිමේදි ගස් මුල ගලවාගන්න අපිට පුළුවන් වුණා. මීෂ්කා කලේ අපි උගුල්ලපු ගස් මුල අනෙක් අයගේ පාත්තියකට වීසි කල එකයි.

'ඒක හොඳ වැඩක් නෙමෙයි මීෂ්කා.' මං කිවුවා.
'එහෙමනම් මේක අපි වීසිකරන්නේ කොහාටද?'
'අපේ යාළුවන්ගේ පාත්තියකට නම් නෙමෙයි කොහෙත්ම'
'හරි. එහෙමනම් මේක ගඟට වීසි කරමු.'


ගස් මුල ඔසවාගෙන ගිහින් අපි ඒක ගඟට වීසි කලා. ඒක කොයිතරම් බරද කිවුවොත් ඒක ඔසවාගෙන යන්න අපිට ලොකු වෙහෙසක් දරන්නට වුණා. අන්තිමේදි අපි කොහොම හරි ඒක ගං ඉවුරට ඇදගෙන ගිහින් ගඟට තල්ලු කළා. හතර වටේටම මුල් විහිදිලා තිබුණු හස් කොටය වතුරේ පහළට පාවෙවි ගියේ හරියටම අඬු-පඬු විහිදා ගත්ත මහ විසාල බූවල්ලෙකු වගෙයි. ඒක ඈතට නොපෙනි ගියාම අපි ආයෙත් නේවාසිකාගාරෙට ගියා. ආයෙත් වෙන මොකුත් වැඩක් කරන්න බැරි තරම් අපි දෙන්නට හොඳටම මහන්සියි. අනිත් එක හෙට උදේට අපිට කොටන්නට ඉතිරි වෙලා තියෙන්නෙ පුංචිම පුංචි බිම් කොටසක් විතරයි.

පහුවෙනිදා උදේ අපි ඇහැරුණේ අනිත් හැමෝටම වඩා පරක්කු වෙලා.

හරියට ඇඟ රිදෙන්න පටන් ගත්තා. අත් උස්සන්නවත් බැහැ. කකුල් උස්සන්නත් බැහැ. ඇඟ හරියටම තලලා දමලා වගේ රිදෙන්න පටන් ගත්තා. කොන්ද කෙළින් කරගන්නටත් බැරි තරම් ඇඟ රිදෙන්න ගත්තා.

'අපිට මේ මොකද වෙලා තියෙන්නෙ?' මීෂ්කා ඇහුවා.

'පොඩි වෙලාවකින් මහ ගොඩක් වැඩ කළ හින්දා තමයි ඉතිං' මං කිවුවා.

අමාරුවෙන් නැගිටලා ටික වෙලාවක් යද්දි රිදිල්ල ටික ටික අඩු වෙලා යන්ට පටන් ගත්තා. උදේ කෑම වෙලාවෙදි අපි පුවරුව දිනාගන්නවාමයි කියලා මීෂ්කා පුරසාරම් කියන්ට පටන් ගත්තා.

උදේ කෑමෙන් පස්සෙ අපි ගියා ගෙවත්තට වැඩ කරන්න. මීෂ්කයි මම ඒ ගැන එතරම් කලබ වුණේ නෑ වැඩ කරන්න. මොකද අපිට හුඟ වෙලාවක් ඉතිරි වෙලා තිබුණු නිසා.

අපි ගෙවත්තට ළඟා වෙද්දි අනිත් අය හැමෝම බොහොම කඩිසරව පොළොව කොටමින් හිටියේ හරියටම බීවරයෝ වාගෙයි. ඒගොල්ලනට හිනා වෙවී අපි ඇවිදගෙන ගියා.



'ඔය තරම මහන්සි වුණාට වැඩක් නැහැ. මොකද දැනටමත් පුවරුව දිනා ගෙනයි ඉන්නෙ අපි' මමයි මීෂ්කයි අනෙක් අයට කිවුවා.

'අපි නෙමෙයි ඔයදෙන්නා ඉක්මනින් වැඩ කරන්න පටන් ගත්තොත් තමයි හොඳ..!' ඒගොල්ලො අපිට කිවුවා.

ඔන්න එතකොටම වාගේ මීෂ්කා මෙහෙම කිවුවා.

'මේ බලන්න! මේක කාගේ පාත්තියද? තවම හාරලා තියා හාරන්න හිතලා වත් නැති පාටයි. මේ ගොල්ලො ගෙවල්වලට වෙලා තාම හොඳට නිදිද කොහෙද?'

මම පාත්ති අංකය දිහා බැලුවා. ඇත්තටම ඒක පාත්ති අංක දොළහ.

'මේක අපේ පාත්තිය!' මං මීෂ්කාට කෑ ගැහුවා.

'ඒක වෙන්නෙ කොහොමද? අපි මීට වඩා හුඟක් බිම් කෙටුවා' මීෂ්කා ඇහුවා. ඇත්තටම මමත් හිතුවේ ඒකමයි.

'සමහරවිට කවුරුහරි පාත්ති නොම්මර වෙනස් කලා වෙන්න බැරිද?' මීෂ්කා ඇහුවා.

'නෑ. ඒක වෙන්න බැහැ, බලන්න මේ තියෙන්නෙ පාත්ති අංක එකොළහ. අරක දහතුන.'

අපි ආයත් හොඳට වට පිට බැලුවා. එතකොට අපි දැක්කා ගස් මුල පාත්තිය මැද්දේ එහෙමම තියෙනවා. ඒක අපිට අදහාගන්නත් බැරි වුණා.

'මේ අහන්න මීෂ්කා. මේක අපේ පාත්තිය නම් අර ගස් මුල මෙතනට ආයෙත් ආවේ කොහොමද? අපි ඒක ඊයේ ගලවලා ගඟට වීසිකළා නෙ'


'ඔවු. ඔවු. ඒක අපි ගලවලා වීසි කලා තමයි. අලුත් එකක් එක රෑකින් වැවෙන්න විදියක් නෑ කොහෙත්ම' මීෂ්කා කිවුවා.

ඔන්න එතකොටම වාගේ අපේ පාත්තියට අල්ලපු පාත්තියේ වාන්යා ලොෂ්කින් කතා කරලා මෙහෙම කිවුවා.

'බලන්න, පුදුමයකින් වගේ අපේ පාත්තියෙ ඊයෙ තිබුණු ගස් කොටේ අද වෙනකොට අතුරුදහන් වෙලා. ඇත්තටම ඒක කොහෙ ගියාද? පුදුමයක්.. හරිම පුදුමයක්!'

හැමෝම එතනට දුවලා ගියා පුදුමය බලන්න. ඉතිං අපි දෙන්නත් ගියා.

මොකද්ද මේ වෙලා තියෙන්නෙ? ඊයේ දවසෙ පාත්තියෙන් අඩකටවත් වඩා අඩුවෙන් කොටලා තිබුනු වාන්යා ලොෂ්කින්ගේ පාත්තිය අද උදේ වෙද්දි සම්පූර්ණයෙන්ම කොටලා ඉවරයි, එකමෙක පුංචි මුල්ලක් ඇරෙන්න.

'මීෂ්කා, දන්නවද මොකද වෙලා තියෙන්නෙ කියලා? ඊයේ රෑ අපි කොටලා තියෙන්නෙ වාන්යා ලොෂ්කින්ලගේ පාත්තිය. අර උගුල්ලලා දමාපු ගස් කොටේ ඒගොල්ලන්ගේ එකක්.' මං කිවුවා.

'ඒක වෙන්න බෑ'

'ඒත් ඒක එහෙම තමයි'

'කොයි තරම් මෝඩයො ද අපි. අපි දැන් මොකද කරන්නෙ? හරි විදියට නම් ඒගොල්ල අපේ පාත්තිය අරගෙන ඒ පාත්තිය අපිට දෙන්න ඕනෑ. අන්තිමේදි අපේ මහන්සිය වතුරේ ගියා'
මීෂ්කා චුරු චුරු ගෑවා.

'කටවහගන්න. ඔයාට ඕනෑ මේ කඳවුරේ ඉන්න හැමෝම අපිට හිනා වෙනවා බලන්නද?'

'එහෙමනං මොනවද අපි කරන්නේ?'

'කොටන එක. ආපහු යන්තර දෙකක් වගේ පොළොව කොටන එක.'
මං කිවුවා.

ඉස්කෝප්ප දෙකත් අරන් ආයෙත් අපි වැඩ කරන්න පටන් ගත්තා. කලින් දවසේ වැරදීමෙන් අල්ලපු පාත්තිය කොටපු හන්දා අපේ අත් කකුල් රිදෙන්න පටන් ගත්තා. ඒ නිසා ඒ හැටි තරමක් පොළොව කොටලා ඉවර කරගන්න අපිට බැරි වුණා.

වැඩි වෙලාවක් යන්න කලින් වාන්යා ලොෂ්කින් සහ සෙන්කා බොබ්රොව් ඒගොල්ලන්ගේ පාත්තිය කොටලා ඉවර කළා. වීත්යා ඒගොල්ලට සුබ පතලා පුවරුව තෑගි කළා. ඒගොල්ලෝ පුවරුව පාත්තිය මැද්දෙ හිටෙවුවා. හැමෝම වට වෙලා අත්පොළසන් දෙන්න පටන් ගත්තා.

ඒක මීෂ්කාට දරන්න බැරි වුණා.

එයා වීත්යා ළඟට ගිහින් මෙහෙම කිවුවා.

'ඒක හරිම අසාධාරණයි!'
'ඒ මොකද ඒක අසාධාරණ වෙන්නෙ?'
'ඒ ගොල්ලන්ගේ පාත්තියේ ගස් මුල ගලවලා තියෙන්නේ වෙනත් කෙනෙක්. එගොල්ලොම එහෙම කිවුවා.'
'ඒක ඉතිං අපේ වරදක් නෙමෙයි නේ. කාටහරි දරට කොටයක් ඕනෑ වෙන්නැති. ඉතිං අපෙ ගස් කොටේ ගලවාගෙන යන්නැති'
වාන්යා මැද්දට පැනලා කිවුවා.
'කවුරුහරි වැරදිලා ගැලෙවුවා වෙන්න බැරිද?' මීෂ්කා ඇහුවා.
'එහෙම කළා නම් ඉතින් මේ අහල පහළ කොටේ තියෙන්නෙ ඕනෑ නේ'
'කවුරුහරි ඒක ගඟට වීසිකළා වෙන්න බැරිද?'
ආයෙත් මීෂ්කා කිවුවා.

'මෙහෙම වෙන්නැති. එහෙම වෙන්නැති....' කතන්දර ගොඩක් මැද්දෙ මීෂ්කා නම් කතාව නැවැත්තුවෙම නැහැ.

'වෙන කෙනෙක් ඔයගොල්ලොට පාත්තිය කොටල දුන්නා' මීෂ්කා කිවුවා. එතකොට මං මීෂ්කට වැලමිටෙන් ඇන්නා.

'ඔවු කවුරුහරි කොටන්න ඇති සමහර විට. අපි මැන්නෙ නැහැ නෙ.' වාන්යා කිවුවා.

අපි ආපහු අපේ පාත්තියට ගිහින් කොටන්න පටන් ගත්තා. වාන්යාත් සෙන්කත් එකතු වෙලා අපට විහිළු කරන්ට පටන් ගත්තා.

'අර බලන්න. ඒ ගොල්ලො හරියටම කැස්බෑවෝ දෙන්නෙක් වාගෙයි. හරිම හෙමින් වැඩ' ඒගොල්ලො කිවුවා.

'අපි ඒ ගොල්ලන්ට උදවු දෙන්න ඕනෑ. මොකද ඒ ගොල්ල අනිත් හැමෝටම වඩා පිටිපස්සෙන් ඉන්නේ' වාන්යා කිවුවා.

ඉතිං ඒ ගොල්ලො අපිට උදවු කළා. පොළොව කොටන්නත් ගස් මුල ගලවා දමන්ටත් උදවු කළා. ඒත් අපි බිම් කොටලා අවසන් කළේ සියළු දෙනාටම පසුවයි.

අන්තිමට කෙටිල්ල ඉවර කළේ අපි හින්දා, පඹයා අපේ පාත්තියේ සිටුවිය යුතුයැයි කෙනෙක් යෝජනා කළා. හැමෝම ඒකට එකඟ වුණා. ඉතිං පඹයා අපේ පාත්තියට ආවා. මීෂ්කයි මමයි ඒ ගැන හිටියේ ලොකු හිත් රිදිල්ලකින්.

'අය්යෝ.. සතුටින් ඉන්න. ඔය ගොල්ලො පැල හිටවලා වල් ගලවන්න පටන් ගත්තාම අපි පඹයාව ගලවලා වෙනත් තැනකින් හිටවමු.' හැමෝම කිවුවා.

'දුර්වලම වැඩ පෙන්වන කණ්ඩායමට අපි පඹයාව දෙමු' යූරා කොස්ලොව් යෝජනා කළා.

'ඒක හොඳයි!' හැමෝම කෑ ගැහුවා.

'සරත් කාලෙදී අඩුම පලදාවක් තියෙන පාත්තියට ඒක තෑගි දෙමු' සෙන්කා බොබ්රොව් කිවුවා.

ඉතිං මීෂ්කයි මමයි මේ කැත පඹරාළගෙන් ගැලවෙන්න මහන්සි වෙලා වැඩ කරන්න තීරණය කළා. ඒත් ග්‍රීස්ම කාලේ ඉවර වෙනකල්ම පඹයා අපේ පාත්තියේම හිටියා. පැල හිටවන කාලේ ආවම මීෂ්කා කැරට් ඇට වලට උඩින් බීට් රූට් ඇට දමලා හැමදේම අවුල් කළා. වල් ගලවන කාලේ දී වල් පැල වෙනුවට පාස්ලි ගස් උදුරා දැමුවා.

පස්සෙ ඒ වෙනුවට ආයෙමත් රාබු හිටවන්න අපට සිද්ද වුණා. මේ වැඩේ කිහිපවතාවක්ම නවතා දමන්න ඕනෑ කියලා මට හිතුණත් එවැනි දෙයක් නිසා යාළුවෙක් අතැරලා දමන්න මට හිත දුන්නේම නෑ. ඉතිං අවසානය තෙක්ම මීෂ්කා එක්ක වැඩ කරන්න මං තීරණය කළා.

ඔබට හිතාගන්නට පුළුවන්ද මීෂ්කටත් මටත් අන්තිමේදි පුවරුව දිනාගන්නට හැකි වූ බව? හැමෝම පුදුමයට පත් වුණේ හොඳම තක්කාලි අස්වැන්නත් කැකිරි අස්වැන්නත් අපිට හිමි වුණු නිසා.



ඒ ගැන පුංචි පහේ කලබලයකුත් ඇති වුණා!

'ඒක හරිම අසාධාරණයි. ඒ ගොල්ලො අනිත් හැමෝටම වඩා පිටිපස්සෙන් ඉඳලත් හොඳම අස්වැන්න ඒගොල්ලන්ට ලැබුණේ කොහොමද?' හැමෝම ප්‍රශ්න කළා.

ඒත් වීත්යා මෙහෙම කියුවා.

'ඒක ඉතාම සාධාරණයි. ඔයගොල්ලො හැමෝටම වඩා හෙමින් ඒගොල්ලො වැඩ කළා වෙන්ට පුළුවන්. ඒත් ඒගොල්ලො හුඟක් හොඳින් පොලොව කොටලා පැල හිටවූ නිසයි ඉතා හොඳ අස්වැන්නක් ලැබුණේ.'

'හොඳම පාත්තිය ලැබුණේ ඒගොල්ලන්ටයි. ඒකයි හේතුව. මටයි සෙන්කටයි ලැබුණේ නරකම පාත්තිය. ඒකයි කොයි තරම් මහන්සි වුණත් අඩු අස්වැන්නක් අපිට ලැබුනේ. ඒගොල්ලන්ටම කියන්න මේ මෝඩ පඹයාව තියාගන්න කියලා, ඒක මුළු ග්‍රිස්ම කාලෙම ඒගොල්ලන්ගේ පාත්තියේ තිබුණ වගේම' වාන්යා ලොෂ්කින් කුරු කුරු ගෑවා.

'ඒකට කමක් නෑ. පඹරාලව අපි සතුටින් බාරගන්නවා' මීෂ්කා කිවුවා.

හැමෝම හයියෙන් හිනා වුණා.

'මේ පඹරාල නොහිටියා නම් අපි කීයටවත් මේ පුවරුව දිනා ගන්නේ නෑ!' මීෂ්කා කිවුවා.

'ඒ කොහොමද?' හැමෝම ඇහුවා.

'පඹරාලට බයේ එකමෙක කුරුල්ලෙක් වත් අපේ පාත්තියට ආවේ නෑ. ඒ නිසයි ලොකුම අස්වැන්න ලබා ගන්න අපිට පුළුවන් වුණේ. ඒ විතරක් නෙමෙයි, අපි මහන්සි වෙලා වැඩ කරන්න ඕනේ කියන එක අපිට නිතර මතක් කළේ මේ පඹරාලයි.'

'ඉතිං මේ මෝඩ පඹරාලට අපි දැන් මොකද කරන්නෙ මීෂ්කා?' මං ඇහුවා.

අපි පඹරාලව ගඟ පහලට අරන් ගිහින් ගඟට වීසි කළා. පඹරාල අත් දෙක විහිදාගෙනම ගඟ පහළට ගහගෙන ගියා. එයා ඈතට නොපෙනී ගියාම අපි ආපහු කඳවුරට ආවා.

අල්යෝෂා කුරොච්කින් අභියෝගතා පුවරුව එක්ක මාවයි මීෂ්කවයි අපේ පාත්තියේ තියලා පිතූරයකුත් ගත්තා. ඇත්තෙන්ම ඔබ කැමති නම් ඒ පින්තූරය බලන්න, ඔබට ඒ පින්තූරය එවන්නට අපි බොහොම කැමැත්තෙන් ඉන්නවා.

නිකොලායි නෝසව්
පරිවර්තනය - ප්‍රශංසනී පරණවිතාන



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
| | edit post
Related Posts with Thumbnails