එකමත් එක කැළෑවක කෙළවරට වෙන්න ගෙයක් තියෙනවා. මේ ගෙදර ජීවත් වෙන්නෙ දුඹුරු පැහැ ලොකු වලහෙකුයි, මීයො රංචුවකුයි. ගෙදර පිටුපස වත්තක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි ගේ ඉදිරිපස ටිකක් ලොකු බංකුවක් තියෙනවා. වලහා හරිම කැමතියි මේ බංකුවට වෙලා හිරු බැස යන අන්ඳම බලන්න.

”මේ විදිහට ජීවත් වෙන්න මම හරිම කැමතියි....” වලහා හිමිහිට කීවා. ”මට ඕනෑ කරන හැමදේම මට තියෙනවා....”

”අපිත් කැමතියි මෙහෙම ජීවත් වෙන්න.. අපිට ඕනෑ කරන හැමදේමත් අපිට තියෙනවා.. ඒ ඔක්කොටම වඩා අපිට ඔයා ඉන්නවා....” මීයෝ රංචුවත් උත්තර දුන්නා.

වසන්තය

අද හරිම ලස්සන කාලගුණයක් තියෙන්නෙ.. ඒක නිසා මට ඕනෑ අද දවසම වත්තෙ වැඩ කරන්න..” යැයි කීව වලහා, වත්තෙ විශාල බිම් පෙදෙසක් සුද්ද කරලා, බඩඉරිඟු හිටෙව්වා. ඉදිරිපස මිදුලෙ සූරියකාන්තා මල් ඇට පැළ කරා.

”අපි මොනවද කරන්න ඕනෑ ?” මීයෝ රංචුව වලහගෙන් ඇහුවා.

”ඔයාලට පුළුවන්නද කැරට් ඇටයි, බෝංචි ඇටයි හිටවන්න ?”

”හුරේ.. අපිට පුළුවන් ඒ වැඩේ මුළු දවසම වුණත් කරන්න..” මීයෝ රංචුව සන්තෝසෙන් උත්තර දුන්නා.

ඊටපස්සෙ බෝංචි ඇටයි, කැරටුයි පැළ කරපු මීයෝ ටික ඒවට වතුරත් දැම්මා.

”කවුරුත්ම අපේ කැරට් පැළ හොරකම් කරන්න එන්නෙ නැතිවෙයි කියලා අපි හිතමු. හවස ගෙදර ගිය මී රංචුව කසු කුසු ගෑවා.

එකපාරටම අඳුරු වළාකුළක් ඇවිත් මුළු අහසම වසාගත්තා.

”ලොකුම ලොකු වැස්සක් එන්නයි යන්නෙ..” වලහා කීවා.

”අම්මෝ.... ! ඔන්න අයිස් කැටත් වැටෙනවෝ....” මී රංචුව කෑගහගෙන ආයෙමත් ගේ ඇතුළට දුවගෙන ගියා..

වැස්ස පෑයුවට පස්සෙ වලහා මීයොත් සමග නැවතත් වත්තට ගියා.

”මොකක් නමුත් මෙතැන සිද්ද වෙලා තියෙනවා..” වලහා බඩඉරිඟු පාත්තිය දිහා බලාගෙන කීවා. ”කාගෙද මේ අඩි පාරවල් ?”

”ආ.... මෙන්න බලන්නකෝ.. කවුරු හරි අපේ කැරට් පාත්තියෙත් ඉඳගෙන ඉඳලා තියෙනවා....” මීයෝ රංචුව කීවා.

”අඩි පාරවල් ගිහින් තියෙන්නෙ නම් කැලෑව ඇතුළට.. කවුද මේ වැඩේ කරන්න ඇත්තෙ..” වලහා හිතන්න පටන් ගත්තා..

ගිම්හානය

”පුදුම රස්නයක්නෙ තියෙන්නෙ..” මීයෝ රංචුව දහඩිය පිසදාමින් කීවා.. ” අහස නිල්ම නිල් පාටයි.. වළාකුලක් පේනතෙක් මානයක නෑ.. ඉරේ රස්නෙට අපිව පිච්චෙනවා..”

”මම දන්නවා රස්නෙට මොනවද කරන්න ඕනෑ කියලා.. මේ වගේ වෙලාවට තමයි අපි පීනන්න ඕනැ..” වලහා මී රංචුවට කීවා.

”අන්න නියම අදහසක්.. යමු යමු.. අපි යමු වැවේ පීනන්න..” මී රංචුව ගත් කටටම කීවා..

”පීනලා ඉවරවෙලා වැල්ලෙ සෙල්ලම් කරමු.. මම මාළු අල්ලන්න බිලීපිත්තකුත් ලෑස්ති කරන්නම්.. ඊටපස්සෙ මම දුඹුරු පාට වෙනකල් අව්ව තැප තැප මාළු අල්ලනවා..” වලහා කීවා.

”දුඹුරු පාට ? මෙයා දැනටමත් දුඹුරු පාටයි නේ..” මී රංචුව එක එක්කෙනාගෙ මූණු දිහා බලාගෙන ප‍්‍රශ්න කළා.

කළු වළාකුළු පාවෙලා ඇවිත් ඉර වහගත්තා. එකපාරටම හයියෙන් ගොරවන්න පටන් ගත්තා.

”විදුලිත් කොටනවා..” වතුරෙන් එළියට ආව මී රංචුව අහස දිහා බලාගෙන කීවා.

”ඔක්කොමලා ඉක්මණට බඩු ටික එකතු කරගෙන මේ පඳුර යටට එන්න.. වැස්ස වැඩි වෙන්නයි යන්නෙ..” වලහා මීයන්ට කතා කරන ගමන්, නොතෙමෙන්නට පඳුර යටින් රෙද්දක් සවි කළා.

වැස්සෙන් බේරිලා රෙද්ද යට හිටපු වලහට සහ මී රංචුවට තේරුණා තවත් කවුදෝ අනවසරයෙන් එයාලා ළඟ ඉන්න විත්තිය.

”අනේ අනේ *බැජර්.... ඔයා මොනවද මෙතැන කරන්නෙ ?” වලහා ඇහුවා.

”හ්ම්.... විශේෂ දෙයක් නෑ..” බැජර් උත්තර දුන්නා.

හේමන්නතය

”මම අද යනවා බඩඉරිඟු ගලවන්න....” ලොකු කූඩයක් අතට ගන්න ගමන් වලහා කීවා.

”එතකොට අපි ?”

”ඔයාලට පුළුවන් බෝංචි වල සහ කැරට් වල ඵලදාව නෙලන්න..”

”අයියෝ ! මෙන්න......” මී රංචුව පුදුමයෙන් කෑ ගැහුවා. ”කවුදෝ අපේ එළවළු ගලවලා....”

”කවුරුහරි මගේ බඩඉරිඟුත් ගලවගෙන ගිහින්..” වලහත් බඩඉරිඟු පාත්තියේ එහාට මෙහාට ඇවිදින ගමන් කීවා.

”ඉන්නකො.. අපිට ඔය හොරාව අල්ලගන්න පුළුවන් වුණොත් හොඳ වැඩක් කරනවා..” මීයන්ගේ ඒ කතාවට හිණා වුණ වලහා.. ”හොඳ වෙලාවට අපිට තව එළවළු ඉතුරු වෙලා තියෙනවා” යි කීවා.

”කළු දං කඩන්නත් දැං කාලේ හරි” වලහා මතක් කළා.


”ඔයා දං කඩන්න, අපි එතකොට බිම්මල් ගලවන්නම්....” යැයි කීව මී රංචුව, කැලෑව ඇතුළට දුවගෙන ගියා. වලහත් එයාලගෙ පස්සෙන් ඇවිදගෙන ගියා.

තව තවත් පළතුරු සහ එළවළු නෙලාගෙන ගෙදර යන ගමනෙදි, වලහයි, මීයොයි දැක්කා බැජර් කම්මැලිකමෙන් ගලක් උඩ වාඩි වෙලා ඉන්න විදිහ.

 ”සීත කාලෙට ගන්න කෑම එකතු කරන්නෙ නැද්ද ඔයා..?” මී රංචුව බැජර්ගෙන් ඇහුවා.

”ආ... ඒක පස්සෙ බැරියැ..” බැජර් උත්තර දුන්නා..

”හරි පුදුමයි....” වලහා එහෙම කියාගෙන යන්න ගියා.

”අන්න පළතුරු මල්ලෙ තියෙන පළතුරු බිමට වැටෙනවා.... පළතුරු මල්ල හිල් වෙලා....” මීයෝ රංචුව වලහගෙ කරේ තිබුණ මල්ල පෙන්නලා කීවා.

”කවුද මේ වැඩේ කරන්න ඇත්තෙ ?” වලහා ඇහුවා.

වලහයි, මී රංචුවයි ගෙදර යනකොට තරමක් තදට කැළෑව පුරාවට මීදුමක් පැතිරිලා තිබුණා. ඒක නිසා ඉර සැඟවෙලයි හිටියෙ.

”මොකද්ද සද්දයක් අපේ ගෙදර පැත්තෙන් ඇහෙනවා..” මීයෝ රංචුව වලහට කීවා.

”මේ මීදුම නිසා මට නම් කිසිම දෙයක් පේන්නෙ නෑ. අඩුම තරමෙ මට මගේ කකුල් දෙකවත් පේන්නෙ නෑ.... කමක් නෑ තව ටිකකින් ආයෙමත් ඉර එළියට එයිනේ..” වලහා කීවා.

”ටික වෙලාවකට පස්සෙ මීදුම මැකිලා ආයෙමත් ඉර මතුවෙන්න පටන් ගත්තා..”

”හැමදේම හොඳට තියෙනවද ?” වලහා ඇහුවා.

නෑ.. සූරියකාන්තා මලක් අඩුයි..” මී රංචුව දුකින් වලහට උත්තර දුන්නා.

එදා රෑ හයියෙන් හුළං හමන්න පටන් ගත්තා. ගස් අඹරවමින්, අතු පවා කැඩෙන තරමට හයියෙන් හුළඟ හැමුවා. හුළෙඟ සැරට පයින් ගස් වල ගෙඩි තරගෙට බිමට වැටුණා.

”ඒ පාර හුළඟ තවත් සැර වුණා වගේ.. හොඳ වෙලාවට අපිට හොඳ ශක්තිමත් ගෙයක් තියෙන්නෙ..” රෙද්දක් යට ගුලිවෙලා හිටිය මී රංචුව කීවා.


”කාටවත් කිසිම අනතුරක් වෙලා නැතිව ඇති කියලා මම හිතනවා..” වලහා කනස්සල්ලෙන් හිතන්න පටන් ගත්තා..

සිසිරය

”ඉර නම් යන්තමින් පායලා.. හැබැයි වැවේ වතුර නම් සීතලට ගල් ගැහිලා.. දැන් අපිට පුළුවන් වතුර උඩ ලිස්සන සෙල්ලම් කරන්න....” යැයි කීව මීයො රංචුව, සෙල්ලම් කරන්න පටන් ගත්තා.

”හොඳයි.. ඔයාලා සෙල්ලම් කරනකල් දර ටිකක් හොයන්න මම කැළෑවට යනවා....” යි කියා කැළෑවට ගිය වලහා දැක්කා, ගෙයක් උඩට ගහක් කඩාගෙන වැටිලා තියෙන අන්දම.

”කවුද මේ ගෙදර ජීවත් වෙන්න ඇත්තෙ....” එතැනට ගිය වලහා එයාගෙන් ම ඇහුවා.

”මම.. මේ මගේ ගෙදර..” පැත්තක හිටපු බැජර් ගොඩක් දුකින් උත්තර දුන්නා.

”ඉතින්.. ඔයා දැන් මොකද කරන්නෙ ?” වලහා ඇහුවා.

”මුකුත් නෑ..” බැජර් අඬන ගමන් උත්තර දුන්නා.

ටික දවසකට පස්සෙ සීතල එන්න එන්නම වැඩි වෙන්න පටන් ගත්තා. හැම දෙයක්ම හිම වලින් වැහෙන්න පටන් ගත්තා.

”අනේ ! පව් බැජර්..” වලහා මිමිණුවා.

”කෑමත් නෑ, ගෙයකුත් නෑ..” මීයො උත්තර දුන්නා.

”මම යනවා බැජර්ව හොයන්න..” පුටුවෙන් නැගිට ගත්තා වලහා එකපාරටම කීවා.

”අපිත් ආවට කමක් නැද්ද.. හැබැයි ඔයාට වෙනවා අපිව වඩාගෙන යන්න..” වලහගෙ කර උඩට නගින ගමන් මීයො රංචුව කීවා.

”බැජර් ගෙදර නෑ වගේ....” වට පිට බලන ගමන් වලහා කීවා.

අපි එයාගෙ අඩි පාරවල් දිගේ ගිහින් එයාව හොයා ගමු....” මීයෝ වලහට කීවා..

කෑලෑව අයිනේ තිබුණ අඩි පාරවල් දිගේ ආව වලහා, ඇවිත් නතර වුණේ දුඹුරු පාට පුංචි ගෙයක් ළඟ.

”ඒත් මේ අපේ ගෙදරනේ..” වලහගෙ කරෙන් බහින ගමන් මී රංචුව කියන්න පටන් ගත්තා.

සීතලට වෙව්ල වෙව්ලා එළියෙ තියෙන බංකුවේ ඉඳගෙන හිටිය බැජර්, ”මට පුළුවන්ද ඔයාලගෙ දෙර නවතින්න ?” කියලා වලහගෙන් ඇහුවා.

”මොකෝ බැරි.. අපේ ගෙදර ඕනෑ තරම් ඉඩ තියෙනවා..” වලහා උත්තර දෙමින් බැජර්ව සැනසුවා.

”අපේ ගෙදර ඕනෑ තරම් කෑමත් තියෙනවා..” මීයොත් කීවා.

අතේ තිබුණ කූඩයක් පෙන්නුව බැජර්, ”මේ බලන්න මමත් ඔයාලට බෝංචි, කැරට්, බිම්මල්, බඩඉරිඟු ගෙනාවා..”

”දැන් අපිට ඕනෑවටත් වැඩිය කෑම තියෙනවා..”යි කීව මී රංචුව, ගේ ඇතුළට දුවගෙන ගියා.

වලහා ඉක්මණට රෑ කෑම උයන්න පටන් ගත්තා. ඉක්මණින් ගෙදර ඇතුළ උණුසුම් වෙන්න පටන් ගත්තා. ඉතින් හැමෝගෙම හිසට වහලක් තිබුණ නිසා, එදා රෑ හැමෝම හිටියේ කියාගන්නට බැරිතරම් සන්තෝසෙන්.


කතාව : විල්හෙල්ම් ටොප්ෂ්

සිතුවම් : ඩැනියෙල් වින්ටර්හාගර්

පරිවර්තනය : මුතු පබා

______________________________________________________________________

*බැජර් - වලස් වර්ගයට අයිති කුඩා සතෙක්
.
.
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook


ක්‍රි.ව. 1658 සිට 1796 තෙක් අප රටේ මුහුදු බඩ ප්‍රදේශය පාලනය කළේ ඕලන්ද ජාතිකයෝ. ඕලන්ද ගෘහ නිර්මාණ ශිල්පය, ගෘහ භාණ්ඩ කලාව, කාසි, බීරළු රේන්ද කර්මාන්තය, මුද්‍රණ ශිල්පය, රෙපරමාදු ක්‍රිස්තියානි ධර්මය, ඕලන්ද නීතිය සහ ඕලන්ද වචන ඔවුන්ගෙන් අපට උරුම වුණු දේ අතර තිබෙනවා. අගයෙන් ඉතා ඉහල ඕලන්ද කෞතුක වස්තු රැසක් අපට නැරඹිය හැකි පරිදි එක්තැන් කොට අපූරු කෞතුකාගාරයක් පිටකොටුවේ කුමාර වීදියේ පිහිටුවා තිබෙනවා.

17 වන සියවස අග භාගයේදි ඕලන්ද ආණ්ඩුකාරවරයෙකු වූ තෝමස් වෑන් රී විසින් තමන්ගේ නිල නිවස ඉදිකරගත්තේ පිටකොටුවේ කුමාර වීදියේ. ඇත්තෙන්ම අද වන විට එම නිල නිවස යනු ඕලන්ද ගෘහ නිර්මාණ ශිල්පයෙ ලක්ෂණ කදිමට දැකගත හැකි අපූරු කැඩපතක්. ඕලන්ද ගෘහ නිර්මාණයේ කැපී පෙනෙන අංග වූ ලිඳක් සහිත මැද මිදුල, දැවයෙන් කල සොල්දර සහ ගඩොල් අතුරා සකසන ලද ගෙබිම දැකිය හැකියි. ඒ වගේම විශාල උළුවහු සහ දොර ජනේල්, පුළුල් සහ උස් වූ බිත්ති, විශාල ඉස්තෝප්පු, අඩ රවුම් උළු සෙවිලි කල පියසි ඕලන්ද ගෘහ නිර්මාණ ශිල්පයේ අනන්‍යතාව පිලිබිඹු කරන තවත් දේවල්. මෙය කොළඹ නගරයේ දැනට ඉතිරිව ඇති පැරණිම ගොඩ නැගිල්ල වන අතරම ඕලන්ද කෞතුකාගාරය එහිම පිහිටුවීම ඉතා සුවිශේෂියි.


මෙම නිවස මහල් දෙකකින් සමන්විතයි. කෞතුකාගාරයේ ඉහල මාලයෙහි ඉපැරණි ලියන මේස, අත් පුටු, කැබිනට් අල්මාරි ආදිය තබා ඇත. ඒවා කලාත්මක කැටයමින් පිරි ඉතා අගනා නිර්මාණ. එමෙන්ම, ඕලන්ද තෝම්බු පිටපත්, මුද්‍රණය කොට එළි දැක්වූ මුල්ම සිංහල ග්‍රන්ථයේ මුල් පිටුවේ පිටපතක්, සිංහල රජවරු සහ ඕලන්ද ආණ්ඩුකාරවරුන් අතර පැවති ලීපි ගනුදෙනු පිටපත් සහ ඕලන්දක්කාරයින් මුහුදු බඩ ප්‍රදේශ ඉංග්‍රීසින්ට පවරා දුන් ගිවිසුමේ පිටපතක් ද මෙහි ප්‍රදර්ශනයට තබා ඇති දෑ අතර තිබෙනවා.


ශ්‍රි ලංකාවට පැමිණි පලමු ඕලන්ද ජාතිකයා වූ ‘ජොරිස් වෑන් ස්පිල් බර්ජන්’ කන්ද උඩර රජු බැහැදැකීම, පෘතුගීසින්ගෙන් කොළඹ කොටුව මුදා ගැනීමට මූලික වූ ‘ජෙරාඩ් හල්ෆ්ට්’ කන්ද උඩරට රජු බැහැ දැකීම ආදි විශේෂ ඓතිහාසික සිදුවීම් මෙම කෞතුකාගාරයේ පහත මහලෙහි ඉදිරිපත් කරලා තියෙනවා.

ඒ විතරක් නෙමෙයි, ඕලන්දයින් කන්ද උඩරට රජතුමාට තිළිණ දුන් සිංහාසනය දැක්වෙන ඡායාරූපයක් ද, වෙලඳාම සඳහා භාවිත කල දේශීය සහ ඕලන්ද මුදල් වර්ග ආදියත් මෙහිදි දැකගන්න පුළුවන්.

ඒ වගේම 17 සහ 18 වෙනි සියවස් වල පැවති උඩරට රාජධානියෙහි සංස්කෘතිය හා කලාව දැක්වෙන ගෘහ උපකරණ, අවි ආයුධ, රිදියෙන් සහ පබළු වලින් කල ආභරණ, මුළුතැන්ගෙයි උපකරණ, දැකුම් කළු පිගන් භාණ්ඩ ආදි කෞතුක වස්තු රැසක් ද මෙහි ප්‍රදර්ශනයට තබා තිබෙනවා.


ලන්දේසි යුගය ගැන පර්යේෂණ පවත්වන අයට මෙන්ම, ඉතිහාසය ගැන උනන්දුවක් දක්වන කොයි කාටත් මේ කෞතුකාගාරය වටිනා දැනුම් ප්‍රභවයක්. කොළඹ ආශ්‍රිතව අධ්‍යාපන චාරිකාවක නියැලෙනවා නම්, අනිවාර්යයෙන්ම මෙතැනටත් ගොඩ වී යන්නට අමතක කරන්න එපා.

(ඕලන්ද කෞතුකාගරයේ කළ සංචාරයක් සහ එමගින් නිකුත් කරන ලද විස්තර පත්‍රිකා ඇසුරිනි.)

සුමුදු තිවංක ගමගේ

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
| | edit post


මේ පැනය 'ගණංකාරයන්ට'යි!

එකම හැඩයක් ඇති තඹ භාජන දෙකක් ඇත. එම භාජන වල තහඩුවේ ඝනකමද එක සමානය. එක භාජනයක් ධාරිතාව අනෙකට වඩා 8 ගුණයකින් වැඩිය. එය අනෙකට වඩා කී ගුණයක් බරද?

[වයි පෙරෙල්මාන්ගේ 'ගණිත විනෝදය'ඈසුරිනි.]

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
| | edit post


ජර්මන් ජාතික, Michael Andreas Helmut Ende (මිෂයෙල් අන්ද්‍රෙයාස් හෙල්මුට් එන්ඩෙ) ශ්‍රේෂ්ට ළමා සහ යොවුන් ලේඛකයෙක්. ඔහු ඉපදුණේ ජර්මනිය, බැවේරියා ප්‍රාන්තයේ Garmisch (ගාර්මිෂ්) නම් නගරයේදී, 1929 වසරේ නොවැ. 12 වැනිදා. එඩ්ගා එන්ඩ් සහ ලුයීස, මයිකල්ගෙ දෙමව්පියන්.

පසුකාලයේදී "මයිකල් එන්ඩ්" (Michael Ende) නමින් ඔහු ලොව පුරා ප්‍රකට වුණා. මයිකල් එන්ඩ් 1940 දී ඔහු ඉපදුණු ගමට නුදුරු මියුනිච් නගරයේ "මැක්සිමිලියම්" නම් උසස් පාසලට ඇතුලු වෙනවා. පසුව විවිධ පාසැල් කිහිපයකම අධ්‍යාපනය හදාරන අතර, 1943 විතර වෙනකොට මයිකල්, කවි සහ කෙටිකතා (කුඩා විස්තර කිරීම්) ලේඛනයට පිවිසෙනවා. මේ කාලයේ රට ඇතුළෙ යුද්ධය තිබුණු නිසා ඔවුන්ගේ නිවසත් බෝම්බ ප්‍රහාරයකට ලක් වෙනවා. 1948-1950 දක්වා කාලය Falckenberg පාසැලට ඇතුළු වෙලා මයිකල් රංගනය හදාරනවා.

වසර 1953 වන විට උසස් අධ්‍යාපනය අවසන් කර ඔහු නාට්‍යකරණයෙහි යෙදෙනවා. මාස ගණනාවක් තිස්සේ ගම්මඩු වලටත් සහභාගී වෙනවා. මයිකල් එන්ඩ් කැබරේ පිටපත් ද රචනා කරන්න පටන් ගන්නවා. පසුව 1954 සිට 1962 දක්වා කාලය තුළ දී බැවේරියා ගුවන් විදුලියෙහි සිනමා විචාරකයෙක් ලෙස සේවය කරනවා. ඔහු විසින් රචනා කරන ලද, "ජිම් ක්නොෆ් උන්ඩ් ලූකාස් ලොකොමොටීෆ්-ෆියුරර්" (eng:Jim Button and Luke the Engine Driver) නම් ළමා ග්‍රන්ථය මුද්‍රණාල 12කින්ම ප්‍රතික්‍ෂේප වෙනවා. එයින් අධෛර්යමත් නොවන මයිකල් අවසානයේදී, (1960 දී) තීනෙමන් මුද්‍රණාලය හරහා එම ග්‍රන්ථය මුද්‍රණය කරවා ගන්නවා. 1961 වසරේදී එම ග්‍රන්ථය සඳහා ජර්මන් යොවුන් සාහිත්‍ය සම්මානය ද හිමිකර ගන්නට මයිකල් එන්ඩ් සමත් වෙනවා.

1964 දී ඔහු විවාහ වෙන්නෙ Ingeborg Hoffmann සමඟ. 1970 දී ඔවුන් ඉතාලිය, රෝම නගරයෙහි Genzano ගමෙහි පදිංචියට යනවා. 1973 දී ලෝ ප්‍රසිද්ධියට පත් වූ විශ්මයාන්විත "මෝමෝ" යොවුන් නවකතාව (eng:The Grey Gentlemen/Momo) ඔහු අතින් ලියැවෙනවා. 1974 දී එම ග්‍රන්ථයත් ජර්මන් යොවුන් සාහිත්‍ය සම්මානය හිමි කර ගන්නවා.

මරිකෝ සැටෝ කියන්නේ ප්‍රකට ග්‍රන්ථ පරිවර්තිකාවක්. ඈව හඳුනා ගන්නා මයිකල් එන්ඩ්, මරිකෝ සමඟ ජපන් ජාතික Kenji Miyasawa ගෙ පොත් පරිවර්තනය කරන්නට පෙළඹෙනවා. 1977 දී ඔහු ජපානයට ගොස් ලෝ ප්‍රකට කබුකි නාට්‍ය පිළිබඳවද හැදෑරීමක් කරනවා. මයිකල්, 1978දී මාර්ක් ලෝතාර් සමඟ “මෝමෝ සහ කාලහොරු” ඔපෙරාව කරළියට ගෙන එනවා. එය චිත්‍රපටයක් ලෙසින් සිනමාවටත් නැඟෙනවා. ප්‍රසිද්ධ වේදිකා නාට්‍යයක් වන "මෝමෝ සහ කාලහොරු" අද වන විටත් ජර්මනිය පුරා විවිධ අවස්ථා වල වේදිකාගත වෙනවා දකින්නට පුළුවන්.

1979 දී ඔහුගේ තෙවන ග්‍රන්ථය "නොනිමි කතාව" (The Neverending Story -Translated into English: Ralph Manheim) මුද්‍රණය වෙනවා. Wolfgang Petersen විසින් සිනමාවට නඟන ලද The Neverending Story පිළිබඳව ඔහු සෑහීමකට පත්වන්නේ නැහැ. නමුත් එම ග්‍රන්ථයට "විල්හෙල්ම් හවුෆ්" සම්මානය(Wilhelm-Hauff-Preis), ජාත්‍යන්තර ජානුස් සාහිත්‍ය සම්මානය ( Internationaler Janusz-Korczak-Literaturpreis) සහ Silver Griffel සම්මාන ලැබෙනවා.

මයිකල්ගේ ජීවිත කාලය පුරා බොහෝ නිර්මාණ බිහි වෙනවා. ළමා සහ යොවුන් ග්‍රන්ථ විශාල ප්‍රමාණයකුත්, නාට්‍ය, ඔපෙරා මෙන්ම විචාර සටහන් ද ඇතුලුව ඔහු ජර්මන් සාහිත්‍ය පෝෂණය කරන්න විශාල කැප කිරීමක් කරපු පුද්ගලයෙක් නමින් ජනාදරයට පාත්‍ර වෙනවා. ඔහුගේ එම නිර්මාණ බොහොමයක් භාෂා 40කට වඩා වැඩි ප්‍රමාණයකින් ලෝකය පුරා ප්‍රචලිත වෙලා තියෙනවා.

ළමා පරපුර වෙනුවෙන් විශාල සේවයක් කළ මයිකල් එන්ඩ් 1995 අගෝස්තු 18 වනදා උදරයේ ඇති වූ පිළිකාවකින් මිය යනවා. 1998 දී මියුනිච් වල "ජාත්‍යන්තර යොවුන් පුස්තකාලය" තුළ "මයිකල් එන්ඩ්" කෞතුකාගාරය විවෘත වෙනවා. එහි දී එන්ඩ් විසින් රචිත විවිධ නිර්මාණ දැකගන්නට පුළුවන්.

තුෂාරි ප්‍රියංගිකා

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
| | edit post


ඉස්කෝලෙ දවස් ඉවර වෙලා සති අන්තය ආවා කියන්නෙ පුංචගෙ ඉහේ මලක් පිපුනා කියන එක තමයි. සෙනසුරාදා උදේම ඇහැරුණු පුංච ගියේ එයාගෙ යාළුවෝ හොයන්න. සුදු සහ මලී හිටියා වැට අයිනෙ පුංච එනකල් බලාගෙන.

"කෝ බිංදු යි ටිකිරියි... තාම ආවේ නැද්ද?" පුංච ඈත ඉඳන්ම ඇහුවා.

" ලොකු බණ්ඩෙ මාමා එක්කලා කුඹුරට ගිහින් අද?" සුදූ කිවුවා.

"කුඹුරට? මොකටද?" ඔන්න පුංචට ආයෙත් ප්‍රශ්නයක්.

"කරල් පැහිලා. කුරුල්ලො එලවන්න මොකද්ද කරනවලු එහෙ" මලීත් පැනලා උත්තර දුන්නා.

"ම්...ම්..ම්.. අපිටත් පුළුවන් අද හොඳ වැඩක් වෙනුවෙන් කාලය යොදවන්න.. නැද්ද මං කියන්නෙ!" පුංච කිවුවා.

"ඒක නම් හොඳ අදහස!" සුදූත් මලීත් අනුමත කළා ඒ කතාව.

"අපි යමු ලොකු බණ්ඩෙ මාමාට උදවු වෙන්න"

එහෙම කියලා තුන්දෙනාම පියාඹගෙන ගියා කුඹුරට.

ලොකු බණ්ඩෙ මාමා කළු පාට රෙදි පටි එල්ලාපු දිග වැලක් කුඹුර මැදින් ඇදලා. තවත් ඒ වගෙ වැල් කීපයක් තිබුණා ටිකිරි ලඟ.

"මේවා මොකටද මාමේ?" ඔන්න පුරුදු විදියට පුංචට ප්‍රශ්නයක්.

"කුරුල්ලො එලවන්න" ලොකු බණ්ඩෙ මාමා උත්තර දුන්නා.

"ආපෝ, ඔයිට වඩා හොඳම හොඳ විදියක් අපි ලඟ තියෙනවා. නැද්ද මං කියන්නෙ පුංචෝ?" ඔන්න ටිකක් වෙලා කල්පනා කරපු පුංච කියාපි.

ඒ මොකද්ද කියල හරියටම දැනගෙන හිටියේ නැති උනත් බිංදු ත් ඉතිං ඔලුව වැනුවා.

" හොඳ විදියක්? බැරිද අපටත් කියා දෙන්න" ඔන්න ලොකු බණ්ඩෙ මාම ඇහුවා.

"ආපෝ සුළු දෙයක්. ඔන්න බලන්නකො, අපිට පුලුවන් ඒක කරල පෙන්නන්න." පුංච කිවුවා.

"හරි, ඔන්න මට හැමෝම උදවු වෙන්න ඕනෑ එහෙනම්" එහෙම කියලා පුංච නියර අද්දරින් ඉඳගත්තා. යාළුවොත් බින්දු වටේට ඉඳගත්තා. මොහොතක් එක එක්කෙනාගෙ කණට කොඳුරා ගෙන එක පාරට හැමෝම ආයෙත් ගෙවල් බලා දුවන්න පටන් ගත්තා.

ලොකු බණ්ඩා මාමත් හිනා වෙවී බලන් උන්නා.

බිංදු ගෙනාව පරණ කළු කබායක් සහ කොටු සරමක්. සුදූත් මලීත් එකතු වෙලා පිදුරු මිටියක් සොයාගෙන ආවා. පුංචත් ටිකිරිත් එකතු වෙලා දිග ලී කෝටු දෙකක් ඇදගෙන ආවා.

පැන්සල් පෙට්ටියට එබුණ පුංචා සුදු හුනු කූරක් හොයා ගත්තා. ඊලඟට අඩුව වුණේ මුට්ටිය විතරයි. ඉතිං ඒක ගන්න පුංච කෙලින්ම ඉගිල්ලුණෙ ගෙදර වළං මැස්සට. මෙන්න වළං මැස්ස උඩ තියෙනවා වැඩේට කියාපු විදියේ මුට්ටියක්, කළුම කළු. මුට්ටියයි හුණු කූරයි අරගෙන ඊලඟට පුංච කෙළින්ම දිව්වෙ කුඹුරට.

ඉස්සෙල්ලාම කෝටු දෙක හරස් අතට බැඳලා, ඒකට අපූරුවට පිදුරු ගැට ගැහුවා. ඊට පස්සෙ කළු කබායයි සරමයි අන්දලා ඉනේ පටියකුත් බැන්දා. ඊළඟට සුදු හුනු කූර අතට අරන් කළුම කළු මුට්ටියෙ ඇස් දෙකකුයි කටකුයි ඇන්දා. වැඩ ඔක්කොම ඉවර වුණාට පස්සෙ මෙන්න ඉන්නව අපූරු පඹරාළ කෙනෙක්.

පස් දෙනාම එකතුවෙලා අන්තිමේදි පඹයාව කුඹුරට අරන් ගියා. ඒක දැකලා ලොකු බණ්ඩෙ මාමාට හරිම හිනා.

"මේක නම් හරි අපූරුයි දරුවනේ" ලොකු බණ්ඩෙ මාමා කිවුවා.

"ඔවු දැන් මාමට තනියකුත් නෑ, කුරුල්ලන්ට නිදහසකුත් නෑ" පඹරාළ දිහා බලන අතරතුර පුංච කිවුවා.

එදා පුංචටත් යාළුවන්ටත් හරි සතුටුයි. කුඹුරේ හැමතැනම සෙල්ලම් කරල කරල ඇඳිරි වැටෙද්දි තමයි පුංච ගෙට ගොඩ වුණේ.

ගෙදර එකම ගාල ගෝට්ටියක්.අත්තම්මා වළං මැස්ස ඔක්කොම පෙරළ පෙරළ මොකද්දෝ හොයනවා.

" මොකද්ද වෙලා තියෙන්නෙ අම්මේ?" හෙමින් අම්මා ලඟට කිට්ටු වෙච්ච පුංච ඇහුවා.

"ආතම්මා කසාය තම්බන මුට්ටිය නැහැයි කිය කියා හොයනවා...මේ"

ඒ වෙලාවෙ නම් පුංචට තරු පෙණුනා. “දෙයියනේ දැන් ඒක කුඹුර මැද, ආයෙත් ගෙනෙන්නෙ කොහොමද, ඒ මදිවට කට්ට කළුවරයි, අනිත් එක ඔලුව නැති වුනාම පඹයෙක් කෝ... පඹයා නැති උනොත් කුරුල්ලො එලවන්නෙ කවුද... ඔහෙ ඕනෙ එකක්, මං දන්නෑ වගේ ඉන්නවා.” පුංච එහෙම හිතුවා.

ඔන්න එතකොටම වාගේ ලොකු බණ්ඩෙ මාමත් කඩේ පැත්තට යන්න ආවා.

"මොකද්ද නැන්දෙ මේ ගාලගෝට්ටිය?" ලොකු බණ්ඩෙ මාමත් අහපි.

"අනේ, ළමයො මං මේ කසාය තම්බන්ටමයි කියල තියා තිවුණු මුට්ටිය බහිරයෝ ගිල්ලා වගෙ මේ තිබුනා, මේ නෑ නොවැ..." ආත්තම්මා කිවුවා.

"හහ්..හහ්...ඒක හම්බ වෙයි කියලා හිතන එක අමතක කළොත් තමයි වඩා හොඳ මයෙ හිතේ. ආං දැන් ඒක තියෙනව මයෙ කුඹුරෙ...පඹය ලඟ. ඒක ගත්තොත් හෙම පඹයා අමනාපවෙයි නොවැ. ඒත් ඉතිං පඹයා විතරක් නම් මදැයි, පඹයා හදපු උන්දැලාත් අමනාප වෙයි නොවැ "

එහෙම කියන ගමන් ලොකු බණ්ඩෙ මාමා හිනා වෙවී හොර ඇහෙන් පුංච දිහා බලලා යන්න ගියා.

අත්තම්මා ඇස් ලොකු කරගෙන පුංච දිහා බැලුවා. පුංච මොකුත් දන්නෙ නෑ වගෙ හෙමින් ගිහින් අත්තම්මට තුරුළු වුනා.

"හ්ම්... ඒකත් එහෙමයි එහෙනම්" කියමින් අත්තම්මා පුංච ව තුරුළු කරගත්තා.

සිත්තම- රුවන්මලී

ප්‍රශංසනී පරණවිතාන

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
| | edit post
Related Posts with Thumbnails