මායාකාර පාත්තයා සහ චීනයේ රතු ලන්තෑරුම් උත්සවය

චීනයේ මිනිස්සුන්ගේ පාරම්පරික විශ්වාසයට අනුව මේ විශ්වයට අධිපතියා ලෙස සැලකෙන්නේ ජේඩ් අධිරාජයායි. ඔහු නිතර කිපෙන සුළු කෙනෙක්. ඒ වගේම හුදෙකලා වෙලා ඉන්න දුක්බර කෙනෙක්. දවසක් ඔහුට මහපොළොවේ ජීවත් වෙන මිනිස්සුන්ගේ සතුට ගැන ඊර්ෂ්‍යාවක් ඇති වුණා. ඉතින් මහපොළොවේ ජීවත් වෙන මිනිස්සුන්ගෙන් පළි ගන්නට හිතූ ජේඩ් අධිරාජයා එය විනාශ කරදමනු පණිස කටින් ගිනි පිඹින මායාකාර පාත්තයෙකු පෘථීවියට එව්වා.

මේ බව දැනගත් ජේඩ් අධිරාජයේ ජීවත් වුණු එක්තරා කාරුණික කන්‍යාවක්, මහපොළව වෙත පැමිණියා. පෘථීවියේ ජීවත් වුණු මිනිසුන් හමු වූ ඈ මායාකාර පාත්තයා පිළිබඳ තොරතුරු ඔවුන්ට දැන්වූවා. එපමණක් නොවෙයි, මායාකාර පාත්තයා කිසියම් උපක්‍රමයකින් අල්ලාගෙන සිරකිරීමට හැකි නම්, ගිනි පිඹීමට ඌට කිසි ලෙසකත් නොහැකි බව පවසා යන්නට ගියා.


ජේඩ් අධිරාජයා

තමන් ජීවත්වන මහපොළොව විනාශ කිරීමට එන පාත්තයා ගැන මිනිසුන් බොහොම යහපත් අවධානයෙන් සිටි නිසා ඌව ඉක්මනින්ම අල්ලා කූඩුවක සිරකරන්නට මිනිස්සුන්ට හැකි වුණා.

ඔන්න ඒ අතරේ මිනිස්සුන්ගෙන් කෙනෙකු යෝජනා කළා ඔවුන් සියලු දෙනාම රතු පාට ලන්තෑරුම් දැල්විය යුතු බව. එවිට දැල්වෙන රතු ලන්තෑරුම් වලින් නික්මෙන ආලෝකය නිසා මහපොළොව ගිනි ගන්නේ යයි ජේඩ් අධිරාජයාට පෙනෙන නිසා, තමාගේ උපක්‍රමය සාර්ථක වූ බව සිතා ඔහු සතුටු වනු ඇති බවත් ඔහු කිව්වා.

ඔන්න හරියටම එදා ඉඳලා මේ වෙනකල්, හැම කාලෙකම, පළමුවෙනි චන්ද්‍ර මාසයේ පහළොස් වෙනි දිනයේදී චීන වැසියෝ සියල්ලන්ම එකතු වෙලා රතු ලන්තෑරුම් උත්සවය පවත්වනවා.

ඉතින් මෙහෙම දිගින් දිගටම මේ දිහා බලාගෙන හිටපු ජේඩ් අධිරාජයාගේ ඊර්ෂ්‍යාව මැකිලා ගියාලු. ඉන් පස්සේ කවදාවත් ජේඩ් අධිරාජයාට පෘථීවියේ වැසියන් ගැන නපුරු හිතක් පහල වුණෙත් නෑලු. ඒ මොකද, පෘථීවියේ මිනිස්සුන්ට ඔහුගේ සිතේ වූ කාරුණික බව අවදි කරන්නට හැකි වූ නිසාලු.


රතු ලන්තෑරුම් උත්සවය

රන් මකරා සහ චීනයේ මකර-සිරස උත්සවය

බොහෝ කාලෙකට පෙර චීනයේ කහ නදිය අසල ප්‍රදේශයේ මහා නියඟයක් පැවතුණා. කහ නදියට ජලය ගෙන එන කුඩා ගංගා සියල්ල ඒ නියඟයෙන් වියළි ගියා. කිසිවෙකුට පිපාසයට බොන්නට දිය බිඳක් වත් සොයා ගන්නට නොහැකි වුණා. මේ කහ නදිය අසබඩ පිහිටා තිබූ 'මකර කෙටේරිය' නම් වූ කන්ද පාමුල ක්වැං වා සහ ඔහුගේ බිරිඳ ලොන්ග් හුවා ජීවත් වුණා. අවසානයක් නැති නියං පීඩාවෙන් මිදෙන්නට මගක් සොයා ගන්නට සිතු ඔවුහු දිනක් ගමේ ජීවත් වූ මහල්ලෙකු වෙත ගොස් උපදෙස් ඉල්ලා සිටියා. නගරයට දිය ගෙනෙන්නට හැකි රහස ඇත්තේ 'ස්වර්ණ මකර පොකුණේ' පතුලේ බවත් එයා සොයා ගත හොත් දිය ලබා ගත හැකි බවත් මහල්ලා ඔවුන්ට කිව්වා.

ඉතින් 'ස්වර්ණ මකර පොකුණ' සොයා යන්නට තීරණය කල ක්වැං වා සහ ඔහුගේ බිරිඳ ලොන්ග් හුවා බොහෝ දුරක් ඇවිදීමෙන් අනතුරුව පොකුණ ඇති ස්ථානයට පැමිනුනා. ඉන් පසු රහස සැඟවී ඇතැයි කියූ පොකුණු පතුල තෙක් ඔවුන් හෑරුවා. මෙහෙම හාරාගෙන හාරගෙන යන විට එක්වරම මතුවුණේ සුදුපැහැති පාෂාණයක්. එය එක්වණම සුදු පාට පරෙවියකු බවට පත් වුණා. අනතුරුව තටු ගසා අහසට නැග සැණෙන් සුදු රැවුලක් ඇති මහල්ලෙකු බවට පත් වුණා.

"දිය ලැබෙන තෙක් ඔබේ නිරුවත් දෑත් වලින් කන්ද හාරන්නට ඔබට කොහෙත්ම බෑ. ඒ නිසා ඔබ පළමුවෙන්ම කළ යුත්තේ 'මකර -කෙටේරිය' කඳු මුදුන තරණය කර එහි ඇති කෙටේරිය සොයා ගැනීමයි." පරෙවි-මහල්ලා ක්වැං වා සහ ඔහුගේ බිරිඳ ලොන්ග් හුවා ට කිවුවා. ඒත් එක්කම වාගේ මහල්ලා සුදු පැහැ දුමක් බවට හැරී නොපෙනී ගියා.

මහල්ලා ගේ උපදෙස් අනුව ක්වැං වා සහ ඔහුගේ බිරිඳ ලොන්ග් හුවා කන්ද තරණය කර අවසන් වත්ම, ඈතින් කුඩා පන්සලක් ඔවුන්ට දිස් වුණා. බොහෝ මහන්සි වී සිටි ඔවුන් දෙදෙනා පන්සලට ඇතුලු වත්ම එහි තබා තිබූ කෙටේරිය ඔවුන්ට හමුවුණා.


මකර-සිරස උත්සවය

කෙටේරිය රැගෙන ආපසු කඳු පාමුලට පැමිණි ඔවුන් දෙදෙනා කෙටේරියෙන් කඳු පාමුලට පහර දෙනවාත් සමගම රන්වන් දියදහරාවක් මතු වී ඉහළට නැගී රන් මකරා පෙනී සිටියා. ඒ රන් මකරා එසැණින් ගුවනට පැන එහි සරන්නට වත්ම අහස කළු වී මහ වැසි ඇද වැටෙන්නට වුණා.

ඉතින් එදා පටන් අද වනතුරු චීන වැසියෝ දෙවැනි චන්ද්‍ර මාසයේ දෙවැනි දිනයේදී එය සිහිපත් කරලා රන් මකරා වෙනුවෙන් 'මකර-සිරස උත්සවය' පවත්වනවලු.

නීල්යා කාරියවසම්



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
| | edit post


එක්තරා කාලයක පොහොසත් මිනිහෙක් සිටියා. මිනිස්සු ඔහුට කීවේ පෙප-පීල් කියලා. ඔහුට තිබ්බේ දරුණු පෙනුමක්. දරුණු හදවතක්. ඔහුගේ කුලී කරුවන්ටත්, බදුකරුවන්ටත් ඔහු නපුරු විදිහටයි සැලකුවේ.

පෙප-පීල් ලඟ වෙන පළාතකින් ආව කුලී කරුවෙක් හිටියා ෂඔඩා කියලා. ඔහු අවුරුදු හතක් පෙප-පීල් ළඟ වැඩ කෙරුවා. ඔහු හදිසියේම දරුණු ලෙස ගිලන් වුනා. "දැන් ෂඔඩාට වැඩ කරන්න බැහැ. මට වෙන්නේ දැන් එයාට නිකන් කන්ට දෙන්ටයි." පෙප-පීල් හිතුවා. ඉතින් ඔහු කිසිම අනුකම්පාවක් නැතුව ෂඔඩාව ගෙදරින් එළවලා දැම්මා.

ෂඔඩා මෙච්චර කාලයක් පෙප-පීල් ට දර දිය ඇද්දා. ඒත් ඔහුට කන්න දුන්නේ අහක දාන කෑම. ඔහුට සතයක් වත් දුන්නේ නෑ. ඔහු බොහොම අමාරුවෙන් තමන්ගේ ගෙදරට ඇවිල්ලා ඔහුගේ අසල් වැසියන් එක්ක තමාට වෙච්ච වින්නැහිය ගැන කිවුවා. සියල්ලෝ පෙප-පීල්ගේ වැරැද්ද කියමින් ඔහුගෙන් පළිගන්ට තීරණය කළා. ඔවුන්ගෙන් එකෙක් මුදල් ටිකක් එකතු කරන ලෙසට යෝජනා කලා. ඒවායින් ටිකක් ෂඔඩාට සත්කාර කිරීමටත්, ඉතිරි මුදල ලස්සන රතුපාට හොටක් සහ කොළපාට පිහාටුවක් ඇති ගිරවෙකු නගරයෙන් මිලදී ගැනීමටත් ඔවුන් වියදම් කලා.

ඔවුන් ඒ ගිරවාට "ඇත්ත වශයෙන්ම.." යන්න පමණක් කීමට ඉගැන්විය යුතු බවත් ඔහු කියා සිටියා. මේ විදිහට පෙප-පීල් ට පාඩමක් ඉගැන්විය හැකි බවත් ඔහු කියා සිටියා. සියල්ලෝම අත්පොඩි ගසමින් ඔල්වරසන් නැගුවා.

වසරක් ගත වුණා. එක් දිනක් ෂඔඩා ඉස්තරම් ඇඳුමකින් සැරසී ගිරවා ද රැගෙන පොහොසත් මිනිහා හමුවීමට ගියා. තමාගේ පෙර සිටි ස්වාමියාට ගරු සරු දැක්වීමට තමා පැමිණි බව ඔහු දන්වා සිටියා. පෙප-පීල් ඔහු පොහොසත් මිනිසකු වී සිටි සැටි දැකීමෙන් පුදුමට පත් වුණා. ඔහු ඒ ගැන ඉක්මනින්ම විමසා බැලුවා.

"මෙච්චර කාලයක් ඔබ සිටියේ කොහේද? ඔබ දියුණු වෙලා වගේ පෙනෙනවා. ඔබ කොහොමද පොහොසත් මිනිසකු වුණේ? මට පේන හැටියට.. ?" ෂඔඩා මෙහිදී ඔහුට බාධා කලා. "මං පොහොසත් වුණා..." ෂඔඩා පොහොසත් වුණේ කොහොමදැයි කියන ලෙස ඔහු ඇවිටිලි කලා. ෂඔඩා තමාගේ කතන්දරය කිව්වා. එක්තරා රාත්‍රියකදී තමාට දෙවියන් හීනෙන් පෙනී පුදුමාකාර ගිරවකු හොයාගන්නා හැටි කී බවත්, ඌ රත්තරන් සහ රිදී වලලා තිබෙන තැන් පෙන්වීමට සමත් බවත් කියා සිටියා. තමා ඒ ගිරවා සොයා ගත් බවත් එදා පටන් ඔහු වෙත මුදල් ගලා ආ සැටිත් ඔහු විස්තර කළා. එසේම තමා යන යන තැනට කුරුල්ලා ගෙන යන බවත් ඔහු කියා සිටියා.

පෙප-පීල් ඔහුගේ කතාව විශ්වාස කලේ නෑ. කුරුල්ලාගේ සමත් කම ඔප්පු කරන ලෙස ඔහු කියා සිටියා. ෂඔඩා එයට එකඟ වුණා.

ඔහු ගිරවාත් රැගෙන පෙප-පීල් ළිඳක් ළඟට කැඳවාගෙන ගියා.
"ලස්සන පොලී...," ෂඔඩා කිව්වා."මෙහි රිදී වලලා තිබෙනවාද?"
"ඇත්ත වශයෙන්ම..!" ගිරවා පිළිතුරු දුන්නා.
ෂඔඩා එතැන හාරමින් පුංචි රත්තරන් පාර්සලයක් ගොඩට ගත්තා.

පෙප-පීල් කට අයාගෙන මේ දෙස බලා හිටියා. ඔහු කල්පනා කලේ මේ ගිරවා මිලදී ගන්නේ කොහොමද කියලයි.

පසුදින ඔහු තමාගේ නිවසේ උත්සවයක් පවත්වමින් ඒ සඳහා නගරයේ සිටින සියලුම පොහොසත් මිනිස්සුන්ට ඇරයුම් කළා. මෙවැනි උසස් මිනිසුන් ඉදිරියේ ෂඔඩා තමාගේ ගිරවා ලොකු මුදලකට විකිණීමට පසුබට නොවේයැයි ඔහු සිතුවා. මත් පැන් වීදුරු තුනක් හිස් කල පෙප-පීල් ෂඔඩාට මෙසේ පැවසුවා. "ඔබ ඔබේ ගිරවා මට විකුණන්න ඕනෑ. ගාන කීයද?" උත්තරයක් දීමට පෙර ෂඔඩා ටිකක් කල්පනා කළා.

"ඔබ අවුරුදු හයක් හතක් විතර මගේ ස්වාමියා වෙලා හිටියා. මට ඉතින් ඔබේ ඉල්ලීම අහක දමන්ට පුලුවන්යෑ? මෙච්චර උසස් පිරිසක් ඉදිරියේ? ඒත් මේ කුරුල්ලා නිධානයක්. මං මේ උසස් පිරිසගෙන් ඉල්ලා හිටිනවා මේ කුරුල්ලාට නියම මිලක් දෙන ලෙසට."

"ඒකට බය වෙන්ට එපා." අමුත්තෙක් සහතික වුණා.

"දෙදෙනාටම පාඩු නොවෙන්ට අපි ගනුදෙනුව බේරමු!" සාක්ෂි කරුවන් කිහිප දෙනෙක් ඉදිරියේ ඔවුන් ගනුදෙනුවට අත්සන් කළා. ගිරවා වෙනුවට ඔහුගේ මුළු දේපලම ෂඔඩාට හිමිවිය යුතු බවට පෙප-පීල් තම කැමැත්ත සහතික කොට තිබුණා.

ගිරවා තමාට හිමිවීම ගැන පෙප-පීල් හොඳටම සතුටු වුණා. ඔහු ගිරවා රැගෙන රත්‍රන් ලබා ගැනීම පිණිස මිතුරන් ද සමග යන්නට ගියා.

ඔවුන් එක්තරා වැවක ඉවුරක් වෙත පැමිණියා. පෙප-පීල් ගිරවාට කතා කෙරුවා. "ලස්සන පොලී, මෙතැන රිදී වලලා තිබෙනවාද?"

"ඇත්ත වශයෙන්ම!" ගිරවා උත්තර දුන්නා.

ඔවුන් එතැන හාරා බැලුවත් රිදී කලයක් වත් හොයා ගන්ට බැරි වුණා. ඊළඟට ඔවුන් කන්දක් ළඟට ඇවිදගෙන ගියා. පෙප-පීල් ගිරවාට කතා කලා.

"ලස්සන පොලී, මෙතැන රත්තරන් වලලා තිබෙනවාද?"

"ඇත්ත වශයෙන්ම!" ගිරවා උත්තර දුන්නා. ඔවුන් එතැන හාර බැලුවත් කිසිවක් සොයා ගන්ට බැරි වුනා. අන්තිමේදී තමා රැවටී ඇති බව පෙප-පීල්ට වැටහුණා.

ඔහු සෝකයෙන් මෙසේ පැවසුවා.

"ලස්සන පොලී, නුඹ මාව රැවැට්ටුවා නේද?"

"ඇත්ත වශයෙන්ම!" ගිරවා පිළිතුරු දුන්නා.

කෝපයට පත් පෙප-පීල් ගිරවා බිමට වීසි කළා.

"නුඹ මාව නැති බංග කෙරුවා. කාලකණ්ණි කුරුල්ලා!"

ගිරවා උඩට ඉගිලී අසල තිබූ අත්තක වසමින් මෙසේ කිවුවා.
"ඇත්ත වශයෙන්ම..!!"

[-චීන ජනකතාවක් ඇසුරිනි.]




මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
| | edit post


හිතාගන්නවත් බැරි තරම් ගොඩක් ඉස්සර කාලෙක අහස අද වගේ ගොඩක් දුරින් තිබිල නෑ. කොටින්ම කීවොත් බංකුවක් හරි පුටුවක් හරි උඩට නැගලා, අත් අහසට ඉස්සුවොත්, අල්ලන්න පුළුවන් වෙන තරමට පහතින් තමයි අහස තිබිලා තියෙන්නෙ.

ඉතින් ඒ කාලේ කොහොමත් පහතින් පිහිටලා තියෙන සිතිජ මායිමේ ගමක් තිබුණා. ඒ ගමේ තිබුණා පිදුරු සෙවිලි කරපු පුංචි මැටිගෙයක්. වකුටු වෙච්ච ආච්චි කෙනෙක් තමයි ඒ ගෙදර ඉඳලා තියෙන්නෙ.

ගමේ හිටිය වයසම ගෑණුකෙනත් මේ ආච්චි. සමහරවිට ඒ කාලේ මුළු ලෝකයේම හිටිය වයසම ගෑනුකෙනත් මේ ආච්චි වෙන්න පුළුවන්. කිසිම නෑදෑයෙක්වත් යාළුවෙක්වත් හිටියෙ නැති නිසා මේ ආච්චි, ඒ ගෙදර ජීවත් වෙලා තියෙන්නෙ තනියම. වෙන යන්න එන්න තැනක්වත්, කතා කරන්න කවුරුත්වත් මේ ආච්චිට තිබුණෙවත් හිටියෙවත් නෑ. ඒ නිසා මුළු දවස පුරාවටම වකුටු ආච්චි කරේ, ගෙදර වටේ කැරකි කැරකී, ගෙදර හැම අස්සක් මුල්ලක්ම පිරිසිදු කරන එක. පස් හෑරෙන්න බිම පහුරු ගාන එක. පහුරු ගාපු තැන් ආයෙමත් අතුගාන එක. එහෙමත් නැත්නම් දූවිලි පිහිදාන එක. ඒ කොණෙන් මේ කොණට, මේ කොණෙන් ඒ කොණට ආයෙ ආයෙමත්, ආයෙ ආයෙමත් අතුගාන එක. කොටින්ම කීවොත් අතුගාන්නයි, පහුරුගාන්නයි අලුත් ක‍්‍රම ගැන හිතුවා ඇරෙන්න, මේ ආච්චි කරපු වෙන කිසිම දෙයක් නැති තරම්.

උදා වුණු එක් ගිම්හාන ඍතුවකදී; මේ මුළු ගම ම වතුර පොදක් නැතුව ලොකු පිපාසයකින් ගිලෙන්නට වුණා. බලන බලන හැම අතම දකින්න ලැබුණ එකම දේ සැර දූවිල්ල. ගස් වසාගත්ත දූවිල්ල. ගෙවල්වල, පැල්පත්වල, වහලවල් වසාගත්ත දූවිල්ල. මිනිසුන්ගේ උගුරු, ඇස් වලට වදයක් වුණු දූවිල්ල. කොටින්ම කීවොත් මුළු වාතයම දූවිල්ලෙන් වැසිලයි තිබුණෙ. මේ දුවිල්ල නිසා ගම්වාසීන් එන්න එන්නම දුර්වල වුණා. දකින දකින හැම තැනම, කවුරු හරි කෙනෙක් කහිනවා. එහෙමත් නැත්නම් කිඹුහුම් අරිනවා. අඩුම ගානේ අහසටවත් බැරිවුණා දූවිල්ලෙන් බේරිලා ඉන්න. අහස, පොළොවට ගොඩක් කිට්ටුවෙන් පිහිටල තිබුණ නිසා, හමා යන සිහින් සුළඟකට පවා; වේළිලා, කේඩෑරි වෙලා තිබුණ ගමෙන් එන දූවිලි හුළඟට, අහසත් කහින්න පටන්ගත්තා.

වකුටු ආච්චිගෙ මැටි ගෙදරත් සම්පූර්ණයෙන්ම දූවිල්ලෙන් වැසිලයි තිබුණෙ. ඉතින් ආච්චි ඉලපතෙන් එයාගේ පුංචි පැල්පත, අතුගෑවා, අතුගෑවා, අතුගෑවා, ඉවරයක් නැතුවම අතුගෑවා. ආච්චි එයාගේ ගේ ඇතුල අතුගෑවා. ගෙදරින් පිටත අතුගෑවා. ගේ පඩිය අතුගෑවා. ගෙමිදුල අතුගෑවා. ඉතින් දූවිල්ල මැකෙනවාට වැඩිය, එන්න එන්නම දූඹුරු ගැහිච්ච වළාකුළු වෙලා පොළොවෙන්, උඩට මතු වුණා.

ආච්චිගේ අතුගෑවිල්ල නිසා අලුතෙන් මතුවෙන දූවිල්ලට, අහස තව තවත් දුර්වල වෙන්න පටන් ගත්තා. සැර දූවිල්ල අහස් නහයට ගිය නිසා අහස කිඹුහුම් ඇරියා. ඒ ඇරියෙත් එසේ මෙසේ කිඹුහුම් නම් නෙමෙයි. මුළු ලෝකයම හෙල්ලෙන තරමේ ගිගුරුම් දෙන කිඹුහුම්. ඒ සද්දෙට බය වුණු මිනිස්සු අත්දෙකින්ම එයාලගෙ කන් වහගෙන ගෙවල් ඇතුළට දිව්වා. ඒත් වකුටු ආච්චිට විතරක් මුකුත් ඇහුණෙ නෑ. ඒ නිසා එයා දිගටම අතුගෑවා.



ඉතින් දූවිලි සැරට අහස තවත් කිඹුහුමක් ඇරියා. උහුලගන්නම බැරිවුණ තැන අහසෙ ඇස් වලින් කඳුළු බිඳු, වේලිල තිබුණ පොළොවට වැටෙන්න ගත්තා. වකුටු ආච්චි අතු ගගා හිටිය කොටසටත් විශාල ලපයක් තරම් වැහි කඳුළක් වැටෙනකල්ම, ආච්චිට කිසි දෙයක් දැණුනෙ නෑ. අහස දිහා රවලා බලපු ආච්චි ඒ ලොකු කඳුළු බිංඳුව මැකෙනකල්ම බිම පහුරු ගෑවා. අහසින් වැටෙන කඳුළු, වකුටු ආච්චිට උහුලගන්න බැරිවුණා. කෙළින් කරගන්න පුළුවන් තරම් කොන්ඳ කෙළින් කරගත්ත ආච්චි, එයාගෙ හැරමිටිය අහසට දික්කරලා, ගෙදර පඩිය උඩ වැහි කඳුළින් තෙමන්න එපා කියලා කෑ ගැහුවා. අහසට තර්ජනය කළා.

ඒත් වකුටු ආච්චිගේ අතුගෑවිල්ල නිසා, ඇවිස්සුණු දූවිල්ලෙන් වැහිල තිබුණ අහසෙ ඇස් වලට, කඳූළු නවත්ත ගන්න බැරිවුණා.
ඒ නිසා හොඳටම තරහ ගත්ත වකුටු ආච්චි, එයාගෙ ඉලපත ඇදල අරන්, අහසට හයියෙන් පහරක් ගැහුවා. එතකොට තවත් හයියෙන් කිඹුහුමක් ඇරිය අහස ටිකක් උඩට පැන්නා. ඒත් වකුටු ආච්චි එයාගෙ ඉලපතෙන් අහසට ගහන එක නතර කරන්නෙ නැතුව, තව තවත් හයියෙන්, අහසට ගහගෙන ගහගෙන ගියා.

වකුටු ආච්චිගෙ සැර වේගවත් පහරවලුත්, විශේෂයෙන් ආච්චිගෙ ඉලපතේ රැඳිලා තිබුණ දුහුවිල්ලත්, අහසට තවත් නම් උහුලගන්න බැරි වුණා. ඒ නිසා අහස එක දිගට කැස්සා, ගිගිරුම් දිදී කිඹුහුම් ඇරියා. නොනවත්තවා හොඳටම ඇඬුවා. බැරිම තැන කාටවත්ම කවදාවත් අල්ලන්න බැරි තරම් ගොඩාක් දුර ඈතට පියාඹලා ගියා.



ඉතින් ඔන්න ඔහොමලු අහස අද අපෙන් වෙන්වෙලා ගොඩක් දුර ඈත ඉන්නෙ. සිතිජය වුණත් පොළොවට ගෑවෙන්න වගේ තිබුණට, ඒකත් ඉතින් බොරු මායාවක් බව හැමෝම දන්න ප‍්‍රසිද්ධ රහසක්නෙ.

[බෙංගාලි ජන කතාවක් ඇසුරෙනි. ]
පරිවර්තනය - මුතු පබා



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
| | edit post


දුප්පත් කමට ගොන් බැඳ ගෙන දක්කනවා
කන්ටත් නැතුව දිව රෑ අපි වෙහෙසෙනවා
ගොන්ටත් නොයෙක් වද දී අපි ගෙනියනවා
දැන්වත් දුකට දෙවියෝ පිහිටක් වෙනවා

වයිර ගොනා දණ ගහලා දිනකොට
මයිල ගොනා පැන්නයි පස්සට හොරට
මොකද කරන්නේ පූරුවේ කළ පවට
ඇදපන් ගොනෝ ඇදපන් ගාල ගාවට

බතල කන්ට බැරි බතලේ ගල කන්ද
අලට කන්ට බැරි අලගලේ කන්ද
හූනට කන්ට බැරි හුන්නස්ගිරි කන්ද
මෙකඳු තුනට නායක සමණල කන්ද

උපන්නාට මේ ලොව වැනෙනවා විනා
ලොව සිරිතට අඹු දරු රකිනවා විනා
රූපේ අරන් පාපේ ගෙවනවා විනා
ගෙන යන දෙයක් නැත ණය ගෙවනවා විනා

කළු ගල් තලාලයි පාරට දමන්නේ
එම ගල් පෑගිලයි ගොන් කුර ගෙවෙන්නේ
ගොනා නොවෙයි හරකයි බර අදින්නේ
කිරිගල් පොත්ත කන්දයි අපි නගින්නේ

බර වැඩියෙන් පටවා කළ වරදට
තඩිබාල දැක්කුවෙ ගොන් ඉස්සරට
වුණ මෙමුලා කියමිද මම දැන් කාට
සුදු වයිරෝ ඇදපන් ගාල ගාවට

එගොඩ ගොඩේ නා කණුවේ බැන්ද ගොනා
මෙගොඩ ගොඩේ සපු කණුවේ බැන්ද ගොනා
දෙගොඩතලා යන වතුරට පැන්න ගොනා
අපොයි මගේ රන්මුතු වල්ලියා ගොනා

තණ්ඩලේ දෙන්නා දෙපොලේ දක්කනවා
කටු කැලේ ගාලේ නොලිහා වද දෙනවා
හපුතලේ කන්ද දැකලා බඩ දනවා
පවු කල ගොනෝ ඇදපන් හපුතල් යනවා



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
| | edit post


කවුරු හරි ඔබෙන් ඇහුවොත් කඩදාසි හැදෙන්නෙ කොහොමද කියලා? ඔබ බොහෝ විට කියාවි ගස්වලින් නැත්නම් දැවවලින් කියලා. කඩදාසි කියන්නෙ ලියන්න, අඳින්න, මුද්‍රණ කටයුතුවලට, ඇසුරුම්කරණයට වගේම තව බොහෝ කටයුතුවලට නැතුවම බැරි දෙයක්. මිනිස් ඉතිහාසයේ ඉතාම වැදගත් සොයා ගැනීමක් බවට කඩදාසිය පත්වෙන්නේ ඒ හරහා මිනිසා සලකුණු කළ සාහිත්‍ය, සංස්කෘතික, දේශපාලනික සහ සාමාජයීය පිම්ම සුවිසාල එකක් වන නිසා.

හුඟක් ඉස්සර මිනිස්සු ලිවීම , ඇඳීම ආරම්භ කළේ ගල් ගුහාවල බිත්ති වල , ගස් පොතුවල. ඉන් පස්සෙ ක්‍රි. පූ. 4000 දි සුමේරියන්වරු බර මැටි පුවරුවල පණිවුඩ ලියලා ප්‍රවාහනය කළා. ශතවර්ෂ ගාණක් තිස්සෙ තමන්ගෙ අදහස් ලියල තියන්න විදිහක් හොයා ගන්න මිනිස්සු මහන්සි වුණා. ලී, ලෝහ, ගස්පොතු, උණ පතුරු, රෙදි මේ වගේ විවිධ දේවල්වල ලිව්වත් ඒක සාර්ථක වුණේ නෑ. අවුරුදු කලින් ඊජිප්තු වැසියෝ නයිල් ගඟ අසබඩ වැවෙන පැපිරස් කියන පැළෑටිය වේලලා තීරු කරලා නැවත එකට තියල බැඳලා හදාගත්ත පැපිරස් කොළවල ලිව්වා. එතැන ඉඳන් අවුරුදු 3000 ක් යනකම් වෙන කිසිම ආදේශකයක් ලිවීම සඳහා සොයා ගැණුනෙ නෑ.


පැරණි පැපිරස් පතක අඳින ලද චිත්‍රයක්

ක්‍රි. පූ. 100 දි පමණ චීනයේ හන් අර්ධද්වීපයේ හෝ ටි කියන අධිරාජ්‍යයාගේ රජයේ සේවය කරපු ට්සායි ලුං කියන පුද්ගලයා මල්බෙරි ගහේ යටි පොත්ත අරගෙන උණ පතුරුවල කෙඳි සමඟ වතුර එක්ක මිශ්‍ර කරලා ලී පත්තකින් කළවම් කළා. ඉන් පස්සෙ ඒ මිශ්‍රණය රෙදි කෑල්ලකට තුනී කරලා වතුර ටික බේරලා වියළා ගත්තා. දැන් රෙදි කැබැල්ලේ ඉතිරි වුණේ කෙඳි විතරයි. මේ විදිහට ඝන වුණු කෙඳි ටික වියළුණු පසු යමක් ලිවිය හැකි, බරින් අඩු වඩා සුදු පැහැති මතුපිටක් ඔහු අතින් නිර්මාණය වෙලා තිබුණා. ඒ විදිහටයි ලෝකෙ මුල් ම කඩදාසිය බිහිවුණේ.


කඩදාසිය නිපදවූ ට්සායි ලුං නම් චීන ජාතිකයා

කඩදාසියේ කතාව එතනින් අවසාන වෙන්නෙ නෑ. තමන් මේ අපූරු සොයා ගැනීම කළ නිසාම චීන ජාතිකයින් කැමති වුණේ නැහැ මේ රහස ලෝකයේ වෙනත් රටවල් සමඟ බෙදා ගන්න.


දැනට සොයා ගෙන ඇති කඩදාසිවල ලියැවුණු පැරණිම පොත - ක්‍රි.ව. 256, චීනය

ඔවුන් ශතවර්ෂ ගණනාවක් රැක ගත් රහස යුද්ධවල සහ වෙළඳාමේ ප්‍රතිඵලයක් විදිහට මැදපෙරදිගට සංක්‍රමණය වුනා. යුධ සිරුකරුවන් ලෙස ආරාබි ආකමණිකයින් විසින් අල්ලාගත් චීන භික්ෂුන් දෙපළක් සිය නිදහස පිණිස කඩදාසියේ රහස ඔවුන් සමඟ හුවමාරු කර ගත් බවක් තමයි ලියවිලිවල සඳහන් වෙන්නෙ. නමුත් ඒ වන විටත් මධ්‍යතන යුගයේ යුරෝපීය ක්‍රිස්තියානීන් කඩදාසි නිපදවීම සඳහා ඉවතලන රෙදි කැබලි තමයි යොදා ගත්තේ. ඒත් ක්‍රි. ව. 1200 දී ක්‍රිස්තියානි යුරෝපීයයන් විසින් එවකට ඉස්ලාමීය වූ ස්පාඤ්ඤය ආක්‍රමණය කිරීමත් සමඟ ඔවුන් චීනයෙන් බිහි වූ ඒ දැනුම අත්පත් කර ගත්තා.

ලෝකයේ කඩදාසි භාවිතය පහුගිය වසර 40 තුළ 400% කින් ඉහළ ගිහින්. ලොව පුරා සෑම වසරකම පාවිච්චි වන කඩදාසි ප්‍රමාණය මෙට්‍රික් ටොන් මිලියන 300 කට අධිකයි. මෙයින් ටොන් මිලියන 50 ක්ම යෙදවෙන්නේ ඇමරිකාවේ භාවිතයට. ලොව පුරා වගා කරනු ලබන ගස්වලින් 35% ක්ම යොදා ගැනෙන්නේ කඩදාසි තැනීම සඳහා. මීට අවුරුදු 600 කට කලින් කඩදාසි ප්‍රතිචක්‍රිකරණය කිරීම ඇරඹුණා. අද වන විට කඩදාසි ටොන් මිලියන 160 ක් පමණ ප්‍රතිචක්‍රිකරණය කෙරෙනවා. අප ලියන සහ මුද්‍රණය කරන කඩදාසි ටොන් එකක් නිපදවීමට කැපිය යුතු ගස් ප්‍රමාණය ඔබ දන්නවාද? ඒ සඳහා සාමාන්‍ය පරිදි වැඩුණු ගස් 24 ක් අවශ්‍යයි.


ප්‍රතිචක්‍රිකරණය කරන ලද කඩදාසිවලින් සැදූ පොතක්

බිල් ගේට්ස් කියන පරිඝනක ක්ෂේත්‍රෙය් ඉහළින් වැජඹෙන ව්‍යාපරිකයා ෆෝචූන් සරාවට පවසා තිබුණේ තමන්ගේ ගේ කඩදාසි භාවිතය ඉතාම අවම මට්ටමක පවතින බව යි. නමුත් දැනටත් ලෝකයේ සිදුවන ව්‍යාපාරවල තොරතුරුවලින් 95% ක්ම ගබඩා කරන්නේ කඩදාසි වල.


ගස් සුරකිමු!

කොහොම වුනත් අප අවම කඩදාසි ප්‍රමාණයක් භාවිතා කරනවා නම්, මුද්‍රණය කරන ප්‍රමාණය අවම කරනවා නම්, හැකි තාක් කඩදාසි ප්‍රතිචක්‍රිකරණය කොට ඒවා පාවිච්චි කරනවා නම් එයින් තුරුලතා, ජලය වගේම බලශක්තියත් ඉතිරි වෙන බවත් අප දැන ගත යුතු ම කාරණයක්.

වසිලිස්සා



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
| | edit post
Related Posts with Thumbnails