
පිහාටුවල - පුංචි පුංචි
පුල්ලි තියෙන - සමනළයෝ
කහ පාටයි - නිල් පාටයි
බොහොම හැඩයි - සමනළයෝ
පියා ඹබා - මල් සොයන්න
යනවද පොඩි - සමනළයෝ
යාළු කමට - මල් මොකටද
මම නරකද - සමනළයෝ
මෙන්න මේක - රෝස මලක්
පැණි බීපන් - සමනළයෝ
පැණි බීලා - මගේ අතට
වරෙන් වරෙන් - සමනළයෝ
එස්. මහින්ද හිමි
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|

අන්න අර රංචුවට එකතු වෙන්න තමයි මට ඕනෑ. ගේ කුරුළු රෑන පියාඹනව දුටු හැමවෙලේම ඇන්ටන්ට සිතුණා. ඒත් දවසක් කුරුළු රෑනේ නායකයාට හිනා ගියා, ඇන්ටන් එයාලගෙ රංචුවට එකතු වෙන්න පුළුවන්දැයි ඇසූ විට.
"අපි අපේ රංචුවට එකතු කරගන්නෙ නිර්භීත, ශක්තිමත්, නුවණැති ගේකුරුලලෝ විතරයි...." කුරුළු නායකයා ඇන්ටන්ට කීවා. "ඊටත් වැඩිය ඔයා පුංචි වැඩියි.. ඒක නිසා අඩුමගානෙ ඔයා තව ටිකක් ලොකු වෙනකල්වත් ඉන්න වෙනවා.."
"එච්චර කාලයක් මට ඉන්න බෑ.. " ඇන්ටන් ට සිතුණා.
ඇන්ටන් ගේ කුරුළු රංචුවට හොරෙන්, එයාලා පියාඹා යන එන තැන් වලට පියෑඹුවා.
එතකොට ඇන්ටන් දුටුවා ගේකුරුල්ලෝ ආපනශාලාවට යන අඩිපාරේ රංචු ගැසී කරන දඟ වැඩ. පුංචි පුංචි කේක් කැබලි, සීනිකූරු
ඩැහැගන්නා උන් එහි සේවකයින්ගේ අත් වලට අහුවෙන්නට කලින් වේගයෙන් පියාඹන හැටි...! මේ වැඩේ ගේ කුරුළු රංචුව කිසිම බයක් සැකක් නැතිව දිගටම කළා. ඉතින් ඇන්ටන්ටත් ඕනෑ කොහොමහරි මේ රංචුවට එකතු වෙන්න.
තවත් සමහර වෙලාවට ඇන්ටන් දුටුවා ගේ කුරුළු රංචුව ගොවිපළේ පූසාව අවුස්සන හැටි... නැත්නම් එක එක හැඩ රටා මවමින් උඩු ගුවනේ පියාඹන හැටි... ඒ අවට හිටිය කුරුල්ලන්ගෙන් දක්ෂ ලෙස පියාඹන්නට හැකි වූයේත් මේ ගේ කුරුළු රංචුවටයි.
දවසක් ඇන්ටන් එයාටම මෙහෙම කියා ගත්තා. "දැන්නම් මම මොනවා හරි කොහොම හරි හිතන්න ඕනැමයි.. මට කොහොම හරි ගේ කුරුළු රංචුවට එකතු වෙන්න ඕනෑ."
"සමහර විට අපිට ඒ ප‍්‍රශ්නෙට විසඳුමක් හොයාගන්න පුළුවන් වෙයි.." ඇන්ටන්ට කවුදෝ කියනවා ඇහුණා.
ඒ ගොවිපළේ පූසා බව දුටු ඇන්ටන් හොඳටෝම තිගැස්සුණා. ඒත් පූසාගෙන් නම් කිසිම භයානක පෙනුමක් දිස් වුණේ නෑ. ඒ නිසාම ඇන්ටන් පියාඹා නොගොස් පිඩැල්ල උඩ සන්සුන්ව ඉඳගෙන හිටියා.
"මම මොනවද කරන්න ඕනෑ...?" ඇන්ටන් පූසාගෙන් ඇහුවා.
"ඔයා, ඔයාගේ දක්ෂකම්, නිර්භීතකම ඔප්පු කරලා එයාලට පෙන්වන්න ඕනෑ. එතකොට එයාලා අනිවාර්යෙන්ම ඔයාව එයලාගේ රංචුවට එකතු කර ගනීවි..." පූසා උත්තර දුන්නා.

"ඒක කොච්චර හොඳ අදහසක්ද.." ඇන්ටන් පී‍්‍රතියෙන් ඉපිළ යමින් කීවා. ඊටපස්සෙ පූසයි, ඇන්ටනුයි ඒ සඳහා කළ යුතු දේවල් කතිකා කරගත්තා.
"මම ඔයාලට පෙන්වන්නද ගොවිපළේ පූසා මට කොච්චර බයද කියලා?" ඊළඟ උදයේ ඇන්ටන් ගේ කුරුළු රංචුවගෙන් ඇහුවා.
"පූසා..? බයයි..? ඔයාට..? හී...හී...හී... ඕවා කියල මාව හිනස්සවන්න එපා." ගේ කුරුළු නායකයා ඇන්ටන්ට කීවා.
"හරි එහෙනම් එක පාරක් බලා ගන්නකො.. ඒ පූසා මට තරම් කාටවත්ම බය නෑ.."
"එහෙනම් අපි ඒක කොහොම හරි බලාගන්න ඕනෑ.. හැමෝම දැන් යමු පූසා ළඟට.." කුරුළු නායකයා සෙසු කුරුල්ලන්ට කීවා.
ටික වෙලාවකට පසු දුටු දෙයින් ගේ කුරුළු රංචුව පුදුමයෙනුත් පුදුමයට පත්වුණා. ඇන්ටන් පූසට උඩින්, පූසගේ පැත්තට ගොඩක් නැඹුරු වෙමින් පියාඹනවා. බයවුණු පූසා ඇන්ටන්ගෙන් බේරෙන්න කෑගසමින් හයියෙන් දුවනවා. මුළු ගොවිපළ වටේටම පූසව බය කරවමින් උගෙ පස්සෙන් එලෙව්ව ඇන්ටන්, අන්තිමට පූසව ගොවිපළ කෙළවරටම ගෙනාවා. දුවන්න තැනක් හොයාගන්න බැරි වුණ පූසා වැට ළඟ බයෙන් ගුලි ගැහුණා.
"අනේ හොඳ ඇන්ටන් නේ.. අනේ මට රිද්දවන්න එපා.." පූසා ඇන්ටන් ළඟ අඬා වැටුණා. මවිත වෙලා හිටිය ගේ කුරුළු රංචුව ඇන්ටන් යන පැත්තටම, හිමින් සීරුවේ පියෑඹුවා.
ඇන්ටන් පූසගේ නහය ළඟින් එහාට මෙහාට ආඩම්බරෙන් පියාඹනවා. ගේ කුරුළු රංචුව සිදුවෙන දේ හොඳ හැටි බලාගන්නට, වැට ළඟ තිබූ ගහක් යට තණකොළ ගොල්ලේ ඇවිත් වැහුවා. එතකොටම වැටට හේත්තු කරලා තිබුණ දර කෑල්ලක ගැට ගසා තිබුණ ලණුවක් පූසා ඇද්දා. ලණුවේ ගැට ගසා තිබූ යකඩ කූඩුවක්, ගේ කුරුළු රංචුවට උඩින් වැටුන නිසා, මුළු කුරුළු රංචුවම කූඩුව ඇතුලෙ හිරවුණා. කූඩුව ඇතුලෙ හිරනොවී ඇන්ටන් එළියෙ හිටියත් පූසා, ඇන්ටන් ගැන කිසිම සැලකිල්ලක් දැක්වූයේ නෑ.
"දැන් හරි.." බොහොම සන්තෝසෙන් පූසා කීවා. "මම දැන් ගිහින් ටිකක් නිදා ගන්නවා.... තව ටිකකින් මම නැගිට්ටම මට හොඳ බඩගින්නක් තියේවි.. ඒ වෙලාවට ඉතින් මස් කදිමයි.... එහෙනම් අපි පස්සෙ මුණගැහෙමු" යි කීව පූසා, කූඩුව එසේ තබා යන්න ගියා.
පූසා මේ වගේ දෙයක් කරයි කියා බලාපොරොත්තු නොවුණ ඇන්ටන්, කිසිම දෙයක් කියාගන්නට බැරිව ගොළු වෙලයි හිටියේ.
"අපි දැන් මොකද කරන්නෙ?" කුරුළු නායකයා කලබලයෙන් සෙසු කුරුල්ලන්ගෙන් ඇහුවා.
"ඇයි ඔයා පූසාගේ බෙල්ලෙන් දැන් අල්ලගන්නෙ නැත්තෙ?" නායකයා ඇන්ටන්ගෙන් ඇහුවා.
බයවෙලා උන් ඇන්ටන් එහාටයි මෙහාටයි පියාඹන ගමන් පූසා සමග කතිකා කරගත් සියලුම දේවල් ගේ කුරුළු රංචුවට කීවා.
"ඉතින් ඔයා පූසා කියපු දේවල් විශ්වාස කරාද? බලන්න ඔයාගෙ වැඩ නිසා පූසා දැන් අපි හැමෝවම කයි.."
"නෑ.. නෑ.. එහෙම වෙන්නෙ නෑ.." ඇන්ටන් තීරණාත්මකව කීවා.
කූඩුව වටේට ගිය ඇන්ටන් කූඩුව දිහා හොඳට බැලුවා. යකඩ කූඩුව ගොඩක් බර නිසා කුරුළු රංචුවට එකතුවෙලාවත් එය උඩට උස්සගන්න බැරි වුණා.
'මම දැන් මොකද කරන්නේ.. ? ' තමාටම හිමිහිට මුමුණගත්ත ඇන්ටන්ගේ ඇස් වලට එකපාරටම, කූඩුවට යටවුණ දර කෑල්ල අහුවුණා.
දර කෑල්ලෙ ගැට ගසා තිබුණ ලණුව දෙසත් ඇන්ටන් උවමනාවෙන් බැලුවා. ටිකක් ඈතින් ගොවිපළේ බල්ලා හොඳට නිදාගෙන ඉන්නා අයුරු දුටු ඇන්ටන්ට හොඳ අදහසක් පහළ වුණා. බල්ලා ළඟට යෑම භයානක බව දැන දැනත් ඇන්ටන් ලණුව හොටෙන් අරන් ඌ ළඟට ගියා. ගොරව ගොරව හොඳට නිදාගෙන උන් බල්ලගේ ඇඟ උඩ හිමිහිට වහපු ඇන්ටන් ලණුව උගෙ කරපටියේ ගැට ගැහුවා. ඊටපස්සෙ හිමින් සීරුවේ පියාඹා ගොස් බල්ලගෙ හොම්බ උඩින් වැහුවා. ලොකු හුස්මක් උඩට ගත් ඇන්ටන් පුළුවන් තරම් වේගයෙන් බල්ලගෙ හොම්බට හොටෙන් ඇන්නා.
හොඳටෝම බයවෙලා ඇහැරුණු බල්ලා, "මොනවද..? කව්ද..? කොහෙද..?" කියා බුරාගෙන, යකඩ කූඩුවත් ඇදගෙනම දුවන්න පටන් ගත්තා. ඒ නිසා ගේකුරුල්ලන්නට නිදහස් වන්නට හැකි වුණා.
ටික වෙලාවකට පස්සෙ ගේ කුරුළු රංචුව ගමට පියාඹා ගියා. බොහොම දුකෙන් ඇන්ටනුත් එයාලගේ පස්සෙන් පියෑඹුවේ, කුරුළු රංචුවට එකතු වෙන්නටතියෙන ආසාව හිතින් අත්හැරලයි.

"ඇන්ටන් නිසයි අපිට භයානක සිද්දියකට මූණ දෙන්නට සිද්ද වුණේ.." ගේ කුරුළු නායකයා බැරෑරුම් හඬකින් කියන්නට වුණා. "ඇන්ටන් නිසයි අපි අද පූසගෙ අතට අහුවුණෙත්.." ඒ වචන ඇහුන ඇන්ටන් ගොඩක් දුකෙන් බිම බලාගත්තා.
"ඒ මොනා වුණත්.." ටික වෙලාවක් නිහඬව උන් කුරුළු නායකයා නැවතත් කතා කරන්නට පටන් ගත්තා. "ඇන්ටන් නිසයි අපිට මේ වගේ කවමදාවත් අමතක නොවන සිද්දියකට මූණ දෙන්නට හැකි වුණේ.. ඊටත් වඩා ඇන්ටන්ට පුළුවන් වුණා අපි හැමෝම අහුවුණ උගුලෙන් අපිව බේරගන්න.. ඒකනිසා මට හිතෙනවා ඇන්ටන් අපේ රංචුවට ගැලපෙන ගේකුරුල්ලෙක් කියලා..!"
සෙසු ගේකුරුල්ලෝ සන්තෝසෙන් කෑගැහුවා. පුදුමෙනුත් පුදුමයට පත්වෙලා සිටිය ඇන්ටන්ටත් බොහොම සන්තෝස හිතුණා.
"දැන් ඉතින් යමු හැමෝම.." කුරුළු නායකයා හඬ නැගුවා.. "අපි ගිහින් ආපනශාලාවෙ අයට ටිකක් කරදර කරමු.. ගන්න පුළුවන් හැම කෑමක්ම අරගමු.." ගේ කුරුළු රංචුව පියාඹලා යන්න ගියා.
ඒ රංචුවේ ඇන්ටනුත් හිටියා.
සිතුවම්- Julia Gukova
ඌඩෝ වෙයිගල්ට්
පරිවර්තනය - මුතු පබා
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|

මේ සටහන කියවන ඔබත් සමහර විට හරස්පද ප්‍රහේළිකා පිළිබඳ ඉතාමත් උනන්දුවෙන් පසුවෙන්නෙකු වන්නට පුළුවනි. ඉතිං වයස් බේදයන් නැතුව බාල-තරුණ-මහලු කාගෙත් ආදරයට පත් වුණු හරස්පද ප්‍රහේළිකාවේ ආරම්භය ගැනයි මේ කියන්න යන්නේ.
කෙනෙකුට මේ හරස්පද ප්‍රහේළිකා කාලය නිකරුණේ කා දමන වැඩක් ලෙස පෙනෙන්ට පුළුවන්. හැබැයි ලොව පළමු හරස්පද ප්‍රහේළිකාවේ සොයා ගත් ආතර් වේන් ට (Arthur Wynne) නම් ඇත්තෙන්ම එය අළුත් අත්දැකීමක් වුණා.
වේන් වැඩ කළේ නිව්යෝක් වර්ල්ඩ් (New York World) පුවත්පතේ. ඔහුට පැවරුණු කාර්යය වුණේ විනෝදය පිණිස පලවන සතියේ චිත්‍රකතා සහ ප්‍රහේළිකා පිටුව සකස්කිරීමයි. මුල් වරට 1913 දෙසැම්බර් 21 වන දින නත්තල් කලාපය වෙනුවෙන් ඔහු සකස් කල පළමු හරස්පද ප්‍රහේළිකාව ලෝකයේ බොහෝ මිනිසුන් අතර මහා පෙරළියක් ඇති කරනු ඇතැයි ඔහු කිසි ලෙසකින්වත් බලාපොරොත්තු වුණේ නැහැ.
මුල් කාලයේදී මේ චිත්‍රකතා සහ ප්‍රහේළිකා පිටුව සැරසුණේ බොහෝමයක් වචන චතුරශ්‍ර, සැඟවි වදන්, අකුරු පෙරළි හෝ තිත් ඉරි යාකරන සිතුවම් වැනි දේවල් වලින්. එහෙත් නත්තල් කලාපය වෙනුවෙන් අලුත් යමක් ඉදිරිපත් කරන්නට ආතර් වේන් ට ඕනෑ වුණා. ඒ අනුව මුලින්ම දියමන්තියක හැඩයැතිව ඉරි ඇඳ සකස් කළ ඔහු පුවත් පිටුවේ නම වූ 'ෆන්' (Fun) යන්න පළමු හරස් කොටු පෙලෙහි ලිව්වා. ඒ අනුව ඉතිරි කොටු පිරවීමට පහසු වන පරිදි වචන ආරම්භයේ එන පලමු කොටුවත් අවසාන කොටුවත් ඔහු අංකනය කලා. ඉන්පසු ඒ ඒ අංකයට අදාල වචනය සොයා ගැනීම පහසු වෙන පරිදි ඉඟි සහ පැහැදිලිකිරීම් වෙන වෙනම ලියා තැබුවා. ඊළඟට ඔහු කළේ ප්‍රහේළිකාව විසඳීමට අදාල උපදෙස් ලෙස 'පහත ඇති ඉඟි සහ අරුත් වලට එකඟ වන වචන ඇසුරින් කුඩා කොටු පුරවන්න' යන්න ඇතුලත්ව එය මුද්‍රණය කිරීමයි. ඉතිං ඔන්න ඔහොමයි මුල්ම හරස්පද ප්‍රහේළිකාව ඇරඹුනේ.
මේ අලුත් ප්‍රහේළිකාව මිනිසුන් අතර ඉතා ඉක්මනින් ප්‍රසාදයට පත් වුණා. ඒ නිසාම සෑම සතියකම පුවත් පත මෙවැනි ප්‍රහේළිකා වලින් සැරසෙන්නට වුණා. මුලින්ම එය පලවුණේ 'වර්ඩ්-ක්‍රොස්' (Word-Cross) නමින් වුනත් සති කිහිපකට පසුව එය 'ක්‍රොස්- වර්ඩ්' (Cross-Word) බවට පෙරලුණා.
ඒ විතරක් නෙමෙයි, විවිධ හැඩයන් සහ වෘත්තාකාර හරස් පද ප්‍රහේළිකා ගැනත් ආතර් වේන් දිගින් දිගටම පර්යේෂණ වල නියැලුණා. එහෙත් අවසානයේ වඩා සුදුසුම හැඩය ලෙස වේන් තෝරා ගත්තේ සෘජුකෝණාස්‍රාකාර හැඩයයි. ඉන් පසු නැවත වතාවක් 'ක්‍රොස්-වර්ඩ්' යන වචනය මධ්‍යයේ ඇති කුඩා හරස් ඉර අතැර එය 'ක්‍රොස්වර්ඩ්' (Crossword) ලෙස නම් කෙරුණා.
මුල්කාලයේදී පාඨකයෝ බොහොම උනන්දුවෙන් තමන් නිර්මාණය කළ හරස් පද ප්‍රහේළිකා නිව්යෝර්ක් වර්ල්ඩ් පුවත්පතට එවන්නට පටන් ගත්තා. ඒ වගේම 1914 පෙබරවාරි මාසය තෙක් පාඨක නිර්මාණ දිනපතා පුවත්පතේ පලවෙන්නට වුණා. එහෙත් හදිසියේ දිගින් දිගටම ඇතිවෙන්නට පටන් ගත් අකුරු ඇමිණීමේ දෝෂ හේතුවෙන් හරස්පද ප්‍රහේළිකා පල කිරීම සම්පූර්ණයෙන්ම නවතා දමන්නට පුවත්පතට සිදුවුණා.
හරස් පද ප්‍රහේළිකා පළ නොවීම සම්බන්ධයෙන් හදිසියේම විශාල පාඨක අප්‍රසාදයක් වර්ධනය වෙන්නට පටන් ගත්තා. ඒ අනුව සතියක පමණ කාලයකින් පසුව නැවතත් හරස්පද ප්‍රහෙළිකා පළ කිරීමට පුවත් පත තීරණය කළා.
පුදුමයකට වගේ ඒ වන විටත් හරස්පද ප්‍රහේළිකාවේ ජනප්‍රියත්වය හිනිපෙත්තේම තිබියදීත් නිව්යෝර්ක් පුවත්පතෙහි හැර අන් කවර තැනක වත් ඒවා පල වී තිබුණේ නෑ. ඉන්පසු 1924 දී කොලුම්බියාවේ පුවත්පත් කලාව පිළිබඳ වූ පාසලකින් උපාධිය ලැබූ ඩික් සයිමන් (Dick Simon) සහ ලින්කන් ෂූස්ටර් (Lincoln Schuster) එක්ව ග්‍රන්ථ ප්‍රකාශන ආයතනයක් ආරම්භ කළා. ඒ කාලයේදී පලකිරීමට සුදුසු ග්‍රන්ථයක් සොයමින් සිටියදී තමයි නිව් යෝර්ක් පුවත්පත විසින් පලකල මේ හරස්පද ප්‍රහේළිකා පිළිබඳ ඔවුන්ට දැන ගන්නට ලැබෙන්නෙ. ඒ අනුව ඔවුන් ලොව පළමු වරට හරස්පද ප්‍රහේළිකා සියල්ල එක් කොට ග්‍රන්ථයක් ලෙස මුද්‍රණය කලා. ඒ වගේම කිසිවෙක් නොසිතු විරූ අති විශාල පාඨක ප්‍රසාදයක් දිනාගන්නටත් එයට හැකි වුණා. ඔන්න ඔහොමයි හරස්පද ප්‍රහේළිකා ලොව වටා අස්සක් මුල්ලක් නෑර පැතිරීම ආරම්භ වුණේ.
මේ තියෙන්නෙ ආතර් වේන් හැදුව පළමුවැනි ප්‍රහේළිකාව-

විසඳුම බලන්න මේ සබැඳිය මත ක්ලික් කරන්න.
විසඳුම බලන්න කලින්, ඔබටත් කැමති නම් උත්සාහ කරලා බලන්න පුළුවන් විසඳන්න.
නීල්යා කාරියවසම්
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|

කණාමැදිරි යහළු යෙහෙළියන් සමග මුළු රෑම වනාන්තරය හැඩ කරන්න පියාඹපු නිසා, පුංචි නීනෝට ගොඩක් මහන්සියි. කොච්චර මහන්සි වුණත් හිතට වද දෙන ප‍්‍රශ්නයක් නිසා, නීනෝට නින්ද යන්නෙ නැහැ.
"අම්මා........" නීනෝ හිමින් සීරුවේ අම්මාට කතා කළා. "අපි අච්චර ලස්සන එළියක් මවනවා.... ඒත් අපිට පුළුවන්ද හඳට වගේ ගොඩක් එළිය දිදී ලස්සනට බැබළෙන්න.. ?"
"ඔන්න ඉතින් ඇහුව ප‍්‍රශ්නයක්...." අම්මා නීනෝට කීවා. "නීනෝට ඇයි එහෙම අහන්න හිතුණෙ.. ?"
"හඳ ගොඩක් එළිය දෙන නිසා, කැලෑවෙ ඉන්න ඔක්කොම සත්තු කතා කරන්නෙ හඳේ ලස්සන ගැන.. ඒත් ඒ කව්රුවත් අපි ගැන කතා කරන්නෙම නෑ...." නීනෝ දුකෙන් අම්මාට කියාගෙන ගියා.
අම්මා හිමිහිට සිනාසුණා. "අපිට තියෙන්නෙ හඳට වඩා වෙනස්ම ශක්තියක් නීනෝ.. රෑට එළිය දෙන්න හඳ ඉන්නවා. අපිට තියෙන්නෙ, අපේ දිලිසෙන පුංචි එළියෙන් අනෙක් අයගෙ ඇස් වලට ලස්සන චිත‍්‍රයක් මවන්න.."
අම්මගෙ උත්තරෙන් නීනෝ සෑහීමකට පත්වුණේම නෑ.

"මම හොඳටම දන්නවා අපිටත් හඳට වගේම ගොඩක් එළිය දෙන්න පුළුවන් කියලා.." නීනෝ කීවා.
ඒ කියමනට මුකුත් කීවෙ නැති අම්මා නිදාගන්න කියල නීනෝට අවවාද කළා.
අහසෙ මුදුනෙම හිටිය හඳට පුංචි නීනෝ කීව හැමදේම හොඳට ඇහුණා. නීනෝ නිදාගත්තෙ ගොඩක් දුකින් බව හඳ දැන ගත්තා. ඒ නිසා හඳට ඕනැ වුණා පුංචි නීනෝව සතුටු කරන්න. හඳට ආවා හොඳ අදහසක්. පහුවදා රෑ හඳ නීනෝට කතා කළා.
"මට හරිම මහන්සියි නීනෝ.. ඒ නිසා මම ටිකක් විවේක ගත්තොත් හොඳයි.. මම හිතන් ඉන්නෙ කඳුයාය පිටිපස්සෙ විවේක ගන්න.... නීනෝට පුළුවන් වෙයිද මට උදව් කරන්න....?"
නීනෝට හඳහාමි ගේ වචන අදහගන්නත් බැරිවුණා. තමන්ගෙ සිහිනය ඉටු කරගන්න අවස්ථාවක් ලැබුනට, නීනෝට ගොඩක් සන්තෝස හිතුණා. නීනෝට දැන් ඕනැ එයාගෙ කණාමැදිරි යහළු යෙහෙළි රංචුවත් එක්ක, හඳ නිවාඩු යනදාට රාත‍්‍රිය එළිය කරන්න.
‘ඒත් කොහොමද අපි ඒක කරන්නේ.... ’ නීනෝ කල්පනා කළා. පහුවදා හැන්දෑවෙ නීනෝ එයාගෙ කණාමැදිරි යහළු යෙහෙළියන් සිල්ලම එක තැනකට රැස් කරගත්තා.

"මට ඔයාලට වැදගත් දෙයක් කියන්න තියෙනවා.. හඳට ගොඩක් මහන්සිලු.. එයාට එක රැයක්වත් ටිකක් විවේක ගන්න ඕනෙලු.. ඒක නිසා එයා අපෙන් අහනවා එයා නිවාඩු ගන්න දා රෑ, අපිට කැලෑව එළිය කරන්න පුළුවන්නද කියලා.."
"අපි කොහොමද ඒ වැඩේ කරන්නෙ.. ?" කණාමැදිරියෝ හැමෝම එකිනෙකාගේ මූණු බලන ගමන් ප‍්‍රශ්න කළා.
"හඳ ගොඩක් ලොකුයි.. හඳ එක්ක බලනකොට අපි කොච්චර පොඩි ද?"
"අනිවාර්යෙන්ම අපිට ඒක කරන්න පුළුවන්.. හැබැයි ඒ හැමෝම එකමුතු වුණොත් විතරයි.." නීනෝ වගේම රාත‍්‍රිය එළිය කරන්න සිහින දැකපු වයසක කණාමැදිරියෙක් හැමෝටම උත්තර දුන්නා.
ඒ කියමනට එකඟ වුණ කණාමැදිරියෝ සියල්ලම, එයාලගෙ උපරිම සහයෝගය දෙන්න පොරොන්දු වුණා.
පහුවදා රෑ, හඳ කන්ඳ පිටිපස්සෙ හැංඟුනා. මුළු කැලෑවම තදම තද කළුවරකින් වැහෙන්න පටන් ගත්තා. කලබලයට පත්වුණ කැලෑවෙ අනෙක් සත්තු හඳ කොහෙදැයි විපරම් කළා. කැලෑවෙ මැද හිටිය කණාමැදිරියන් සියල්ලන්ම තව තවත් එකතු වෙන්න වෙන්න පටන් ගත්තා.
"එන්න එන්න තවත් ළඟට එන්න.." නීනෝ හැමෝටම ඇහෙන්න කීවා.
විශාල රවුමක් හැඩේට එක්රොක් වුණු කණාමැදිරියෝ, මුළු රවුමම සම්පූර්ණයෙන් කණාමැදිරියන්ගෙන් පිරුණට පස්සෙ, එකට අත්වැල් බැඳගත්තා. ඊටපස්සෙ හිමි හිමින් අහසට පියාඹන්න පටන් ගත්තා.
කැලෑවෙ උන්න අනෙක් සියලුම සත්තු හුස්මවත් ගන්නෙ නැතුව, සිදුවෙමින් පැවතුණු අරුම පුදුම චමත්කාරය දිහා බලාගෙන හිටියා. කණාමැදිරියන්ගෙන් විහිදුනේ හිතාගන්නවත් බැරි තරම් එළියක්.. හඳෙන් විහිදෙන එළියටත් වඩා ඒ එළිය ගොඩක් ලස්සනට දිලිසුණා.

"කොච්චර ලස්සන එළියක්ද..." කැලෑවෙ සත්තු එකිනෙකාට කියන්න පටන් ගත්තා.
"හරිම ලස්සනයි.."
ඉර පායන්න ඔන්න මෙන්න කියල තියෙද්දි කණාමැදිරියෝ දස අත විසිර යන්න පටන් ගත්තා. දහසක් තාරකා ඈත අහසේ දිලිසෙන ලෙසට දිස්වුණු ඒ මොහොත සැණෙකින් නිම වුණා.
හඳට ගොඩක් සන්තෝසයි. මොකද එයා දැන් දන්නවා එයාට ආයෙත් විවේක ගන්න ඕනෙ වුණොත්, කණාමැදිරියන්ට කැලෑව එළිය කරන්න පුළුවන් කියලා.
"බොහොම ස්තූතියි! හඳ.." නීනෝ හඳට කීවා.

හඳ ලස්සනට හිනා වුණා. "හැමතිස්සෙම සිහින පසු පස්සෙම යන්න නීනෝ.. මුළු හිතින්ම තමන්ට ඕනෙ දෙයක් නම්, ඒ දේ හැමවෙලාවෙම තමන්ට ලබා ගන්න පුළුවන් කියල ඔයා දැන් දන්නවා.... අනිත් එක තමයි නීනෝ.. එකමුතු වුණොත් මේ ලෝකෙ කරන්න බැරි කිසිම දෙයක් නෑ....!" හඳ නීනෝට කීවා.
සිතුවම්- ජුලියානෝ ෆෙරි [Giuliano Ferri]
සුඑලි මෙනෙසස්
පරිවර්තනය - මුතු පබා
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|

යාන්ත්‍ර ශිල්පී ඉස්කුරුප්පුවා සහ ඔහුගේ අත් උදවුකාරයා වන මුරිච්චියා බොහොම දක්ස වැඩ කාරයෝ. දෙන්නගෙම මූණුවර එකවගෙයි. ඉස්කුරුප්පුවා පොඩ්ඩක් උසයි, මුරුච්චියා චුට්ටක් මිටියි. දෙදෙනාම සම් කබා ඇඳලා. ඒ ගොල්ලන්ගේ සාක්කු වල අඬු, පීරි, ඉස්කුරුප්පු, නියන් ආදිය තිබුණා. ඔවුන්ගේ කබා සමින් මහපු ඒවා නිසා ඔය උපකරණ වල බරට ඔරොත්තු දුන්නා. නැතිනම් ඒ ඇඳුම් ඉරිලා බොහොම කල්. ඒ දෙදෙනාම සමින් හදපු හිස් වැසුම් පැළඳ සිටියා. ඇස් ආරක්සා වෙන කණ්ණාඩි ඇඳගෙන තමයි මේ දෙන්නා වැඩ කරන්නේ.
මේ දෙදෙනා වාමනයින්ගේ පැට්‍රෝල් ලාම්පු, ලෝහ හට්ටි, කේතල ආදී දේ අලුත් වැඩියා කරනවා. ඒ වගේ වැඩ නැති වෙලාවට රෝද තුනේ පා පැදි වැනිදේ හදනවා.
ඔන්න හිටිහැටියේම ඉස්කුරුප්පුවායි, මුරිච්චියයි, කම්මලේ දොර වහගෙන හොර රහසේ මොනවදෝ හදන්ට පටන් ගත්තා. මාසයක් තිස්සේම ඒ ගොල්ල වැඩ කළා. පෑස්සුවා. පීරි ගෑවා. මුරිච්චි ඇණ සවි කළා. කාටවත් ඒගොල්ලන් හදන දේ පෙන්නුවේ නැහැ. පස්සෙ බැලින්නම් ඒගොල්ල හදලා තියෙන්නේ මෝටර් රියක්.


ඒ අපූරු මෝටර් රිය දුවන්නේ පැට්‍රෝල්, ඩීසල් වැනි තෙල් වලින් නොවෙයි. සිරප් සහිත සෝඩා වතුර වලින්. රිය මැද පදවන්නාගේ ආසනය. ඊට ඉස්සරහින් සෝඩා වතුර සහිත පීප්පය. ඒ සෝඩා වතුරෙන් පැන නගින් ගෑස් වායුව, තඹ සිලින්ඩරයට ඇතුළු වෙනවා. ගෑස් වායුවේ බලය යකඩ පිස්ටනය තල්ලු කරනවා. මෙලෙස පිස්ටනය ක්‍රියාකාරි වීම නිසා රියේ රෝද කරකැවෙන්නට පටන් ගන්නවා. රිය පදවන්නාගේ ආසනයට ඉහළින් සිරප් ටැංකිය සවි කරලා. සිරප් බටය දිගේ ගිහිල්ලා පීප්පයට වැටෙනවා. එය යන්ත්‍රයට තෙල් වාගේ පාවිච්චි වෙනවා.
කුසුම් පුරයේ වාමනයන් අතර ඒ වගේ සෝඩා වතුරෙන් දුවන මෝටර් රිය බොහොම තිබුණා. ඉස්කුරුප්පුවායි, මුරිච්චියයි හදාපු මෝටර් රියේ ඉතා වැදගත් අලුත් දෙයක් ඇත. එය තමයි, ඒ ගොල්ලන්ට ඕන වෙලාවට මී පැණි වලින් හදාපු සිරප් සමග සෝඩා බීම සඳහා විශේෂ රබර් නළයක් සාදා තිබීම. ආසනයේ වාඩිවෙලා සිරප් සහ සෝඩා බොන්නට පුළුවනි.
කඩිනම් රාළ මේ මෝටර් රිය පැදවීමට ඉගෙන ගත්තා. කාටවත් ඕන වුනාම එයා බොහොම ආසාවෙන් මෝටර් රියෙන් ඒගොල්ලන්ට ඕන තැනට ඔවුන්ව ගෙන යනවා.
මී පැණි දාස නමැති වාමන කොල්ලා අනිත් අයට වැඩිය ඔය රියෙන් යාමට ආසයි. මොකද දන්නවද, එයාට ආසනයේ වාඩිවෙලා පැණි සිරප් එක්ක සෝඩා වතුර බොන්ට පුළුවන් නිසා. වැඩ බැරි දාසත් නිතර පාහේ ඔය මෝටර් රියෙන් ගමන් කළා. කඩිනම් රාළ තමයි රිය පදවන්නා. තනිවම රිය පැදවීමට වැඩබැරිදාසට ලොකු ආසාවක් ඇති වුණා. එයා කඩිනම් රාලට කතා කරලා මෙහෙම කියුවා;
"කාර් එක මට දීපන්. මාත් කැමතියි කාර් එක එළවන්ට."
"නුඹට බැහැ. මේක යන්තරයක්. මේ යන්තරෙ ගැන දැනීමක් තියෙන්ට ඕන" කඩිනම් රාළ එයාට විරුද්ද වුණා.
"දැන ගැනීමට තරම් දෙයක් ඔතන නැහැ. නුඹ එළවන හැටි මම දැකලා තියෙනවා. ගියර් දානවා. සුක්කනම කරකවනවා. එච්චරයි නොවැ. ඕකත් අමාරු වැඩක්ද?" වැඩ බැරි දාස කියුවා.
"බැලූ බැල්මට නම් අමාරු වැඩක් නොවෙයි වගේ තමයි පෙනෙන්නේ. නමුත් රිය පැදවීම අමාරුයි. නුඹ ඉගෙන ගන්නේ නැතුව එළවන්ට පටන් ගත්තොත්, කාර් එකත් කඩා බිඳ දමලා, නුඹත් මැරිලා යාවි." කඩිනම් රාළ කියුවා.
"නුඹ මට ඔහොමද සලකන්නේ! හොඳයි, කමක් නැහැ. නුඹත් කවදහරි මගෙන් උදවුවක් ඉල්ලුවොත්, මමත් නුඹට උදවු දෙන්නේ නැහැ."
දවසක්දා කඩිනම් රාළ ගෙදර හිටියේ නැති වෙලාවක වැඩ බැරි දාස ගෙවත්තේ නවත්වා තිබුණු මෝටර් රියට නැගලා ගියර් අදින්ටයි, පැඩල් පාගන්ටයි පටන් ගත්තා. මුලදී රිය එක තැනම තිබුණේ හෙළවෙන්නේ වත් නැතුවයි. එහෙත් හිටිහැටියේම මෝටර් රිය හඬක් පිට කරලා දුවන්ට පටන් ගත්තා. වාමනයෝ කවුළුවෙන් මේක දැකලා ගෙවල් වලින් එළියට දුවගෙන ආවා.

"ඒයි මෝඩයා, නුඹ මොනවා කරනවද? පණ නහගන්ට හදනවද?" ඒගොල්ල කෑගැහැව්වා.
"නුඹලා බයවෙන්ට එපා! මම පණ නහගන්ට මෝඩයකු නොවෙයි."
මෙහෙම පුරසාරම් දෙඩුවා විතරයි වැඩ බැරි දාස එලවපු මෝටර් රිය ගෙවත්තේ තිබුණු බලු කූඩුවේ හැපුනා.
"දඩිං බිඩිං ඩෝං!" බලු කූඩුව සුනේ සුන්. බුල්කා හොඳ වෙලාවට එළියට පැන්නා. බලු කූඩුවේ අයිතිකාර බල්ලගේ නම බුල්කා.
"නුඹ කරන විනාශයක හැටි බලාපන්! වහාම කාර් එක නවත්වාපන්!" දක්ස පාල කෑහැහුවා.

වැඩ බැරිදාස බයවෙලා මෝටර් රිය නැවැත්වීමට උත්සහ ගත්තා. එයා මොකක්දෝ යතුරක් කැරකැව්වා විතරයි. මෝටර් රිය තවත් වේගයෙන් දුවන්ට පටන් ගත්ත. ගෙවැටත් සුනේ සුන්! දඩිං බිඩිං ඩෝං! වැඩ බැරිදාසගේ ඇඟ පුරාම ලී පතුරු. එක ලී පතුරක් පිටට ඇනිලා. හිසේ පිටුපසට තවත් ලී පතුරක් ඇනිලා.
වැඩබැරිදාස සුක්කානම කරකවනවා. රිය ගෙවත්ත වටේට දුවනවා. වැඩ බැරිදාස බොහොම බයවෙලා යටි උගුරෙන් කෑ ගහනවා;
"අනේ සොයුරනි! දොර ඇරපල්ලා! නැතිනම් ගෙවැට කුඩේ කුඩු වේවි!
වාමනයෝ ගෙවත්තේ දොර ඇරියා විතරයි මෝටර් රිය මහපාර දිගේ වේගයෙන් දුවන්ට පටන් ගත්තා. මේ සද්දෙට මහ පාරට දුවගෙන ආපු අය දෙපස පෙළ ගැහිලා කෑ ගහන්ට වුණා.
"පණ බේරාගනියව්!" වැඩ බැරිදාස මෝටර් රියෙහි වාඩි වෙලා කෑ ගහනවා. දක්ස පාල, ඈනුම් අරින්නා, ඉස්කුරුප්පුවා, එඬරු තෙල් දොස්තර සහ අනෙක් වාමනයෝ මෝටර් රිය පසු පසින් දුවගෙන ගියහ. කොහේ දුවන්ටද? මෝටර් රිය වේගයෙන් ඉදිරියට ගියා.
පාර දිගේ දුවන රිය නැවැත්වීමට වැඩ බැරි දාස දන්නේ නැත.
ඔන්න අන්තිමේදී මෝටර් රිය ගඟ අද්දර පාරේ පල්ලමට ආවා විතරයි, තුන් කුන්දුන් ගැහිලා පෙරළුනා. රියෙන් පිටතට වීසි වෙලා ගිය වැඩ බැරි දාස සිහි නැතුව බිම ඇද වැටුණා. සෝඩා වතුරෙන් දුවන මෝටර් රිය ගඟට වැටිලා ගිලුණා.
දක්සපාලයි, ඈනුම් අරින්නායි, ඉස්කුරුප්පුවායි, එඬරු තෙල් දොස්තරයි වැඩ බැරි දාසව අල්ලා ගත්තා. එයා සිහින නැතුව වැතිරිලා හිටිය නිසා එයා මැරුණා කියලා මේ හතර දෙනා කල්පනා කළා. එයාව ඔසවාගෙන ගෙදර ගෙනාවා.
එයාව ඇඳක දැම්මා විතරයි, එයාට සිහිය ආවා. එයා ඇස් දෙක ඇරලා වටපිට බලලා, මෙහෙම ප්‍රශ්න කරනවා.
"අනේ සෝයුරනි, මම ජීවතුන් අතරද?"
"ඔවු, නුඹ ජීවත් වෙනවා. නමුත් නුඹේ ඇට කටු, ඇඟ පත පිරික්සා බලන්ට ඕන. දඟලන්නේ නැතුව ඉඳපන්." එඬරුතෙල් දොස්තර කියුවා.
දොස්තර වැඩ බැරියාගේ ඇඳුම් ගලවලා පිරික්සා කරලා මෙහෙම් කියුවා.
"පුදුමයක හැටි, නුඹේ ඇට කටු කැඩිලා නැහැ. ඇඟ විතරක් සීරිලා තියෙනවා. ලී පතුරු ඇඟට ඇනිලා තියෙනවා. එච්චරයි."
"ඔවු. ලොකු ලී කෑල්ලක් මගේ පිටට ඇලුනා." වැඩබැරි දාස කියුවා.
"ලී පතුරු ඉඳිකටු වගේ ඇඟට කා වැදිලා. ඒවා ගලවා දමන්ට ඕන." දොස්තර එහෙම කියලා හිස වැනුවා.


"මට වේදනාවක් ඇති වෙයිද?" බයවුණු වැඩ බැරියා ඇහුවා.
"චුට්ටක්වත් රිදෙන්නේ නැහැ! මම ලොකුම ලී පතුර ඇදලා දාන්නම්."
"අයියෝ, රිදෙනවෝ!" වැඩ බැරියා කෑ ගැහුවා.
"මොන බොරුද? කොහෙ රිදෙනවද?" දොස්තර පුදුම වුණා.
"අනේ බොහොම රිදෙනවෝ!"
"ඉවසාගෙන හිටපන්, රිදෙන්නෙ නැහැ. නුඹ වේදනාව සිතින් මවා ගන්නවා." දොස්තර ඔහුට සැර වුණා.
"අපොයි නැහැ, හැබෑවටම රිදෙනවා!"
"නුඹ කෑගහන්නෙ මොකද? මම නුඹව කපනවද? මම නුඹව කැපුවේ නැහැ."
"රිදෙනවෝ! දොස්තර කියුවට රිදෙන්නෙ නැහැ කියලා, මට නම් රිදෙනවා!" වැඩ බැරියා බෙරිහන් දෙයි.
"කෑ ගහන්ට එපා! තව එක ලී පතුරයි ඉතුරු වෙලා තියෙන්නෙ. ඒකත් ගලවා දමන්නම්!"
"අපොයි එපා! ඒක එහෙම තිබුණාවේ! ගලවන්ට එපා."
"එහෙම බැහැ. ඒක පැසවන්ට පුළුවනි."
"අනේ අම්මෝ රිදෙනවෝ!"
"ඔන්න ගලවා දැම්මා! දැන් ඉතින් අයිඩින් ගාන එක විතරයි."
"අයිඩින් ගෑවාම රිදෙනවාද?"
"නැහැ, කිසිම වේදනාවක් නැහැ. නුඹ කලබල නැතුව ඉඳපන්." දොස්තර කියුවේය.
"අයියෝ!"
"කෑගහන්නේ නැතුව ඉන්නවා! කාර් එකේ නැගලා රවුම් ගහන්ට පුළුවනි. වේදනාව ටිකකට උහුලන්ට බැහැ!"
"අනේ අම්මෝ! ඇඟ දනවෝ!"
"පොඩ්ඩක් දනවා වගේ දැනේවි. පසුව ඇරිලා යාවි. දැන් මම උණ බලන කටුව තියන්නම්."
"උණ කටුව එපා. අනේ එපා!"
"ඒ මොකද?" දොස්තර ඇසීය.

"මට රිදෙන්ට පුළුවනි"
"උණ කටුවට රිදෙන්නේ නැහැ මිනිහෝ!"
"දොස්තර කිවුවට රිදෙන්නේ නැහැ කියලා. පසුව හැබෑටම වේදනාව ඇතිවෙනවා."
"හැබැ කොල්ලෙක්! නුඹගේ උණ බලන්ට මම කවදාවත් උණ කටුවක් තියලා නැද්ද?"
"නැහැ."
"එහෙනම් නුඹට දැනේවි, උණ බලන විට කිසිම වේදනාවක් නැති බව."
එඬරු තෙල් දොස්තර එසේ කියා උණ කටුව ගැනීමට යාබද කාමරයට ගියා.
වැඩ බැරි දාස වහාම ඇඳෙන් නැගිට, ජනේලයෙන් පිටතට පැන තම මිතුරා වන ගුණේ හමුවීමට ගියා. දොස්තර උණ කටුවත් රැගෙන එන විට වැඩ බැරි දාසත් එතැන නොසිටි නිසා මුමුණමින් මෙහෙම කියුවා.
"ඔන්න ඉතින් ඔය වගේ ලෙඩකුව සුව කරන්නේ කොහොමද! එයාට ප්‍රතිකාර කරන විට එයා ජනේලයෙන් පැනලා දුවනවා. ඒක මහා නොහොබිනා වැඩක්!"
නිකොලායි නෝසව්
පරිවර්තනය - දැදිගම වී. රුද්‍රිගු
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|