කණාමැදිරි යහළු යෙහෙළියන් සමග මුළු රෑම වනාන්තරය හැඩ කරන්න පියාඹපු නිසා, පුංචි නීනෝට ගොඩක් මහන්සියි. කොච්චර මහන්සි වුණත් හිතට වද දෙන ප‍්‍රශ්නයක් නිසා, නීනෝට නින්ද යන්නෙ නැහැ.

"අම්මා........" නීනෝ හිමින් සීරුවේ අම්මාට කතා කළා. "අපි අච්චර ලස්සන එළියක් මවනවා.... ඒත් අපිට පුළුවන්ද හඳට වගේ ගොඩක් එළිය දිදී ලස්සනට බැබළෙන්න.. ?"

"ඔන්න ඉතින් ඇහුව ප‍්‍රශ්නයක්...." අම්මා නීනෝට කීවා. "නීනෝට ඇයි එහෙම අහන්න හිතුණෙ.. ?"

"හඳ ගොඩක් එළිය දෙන නිසා, කැලෑවෙ ඉන්න ඔක්කොම සත්තු කතා කරන්නෙ හඳේ ලස්සන ගැන.. ඒත් ඒ කව්රුවත් අපි ගැන කතා කරන්නෙම නෑ...." නීනෝ දුකෙන් අම්මාට කියාගෙන ගියා.

අම්මා හිමිහිට සිනාසුණා. "අපිට තියෙන්නෙ හඳට වඩා වෙනස්ම ශක්තියක් නීනෝ.. රෑට එළිය දෙන්න හඳ ඉන්නවා. අපිට තියෙන්නෙ, අපේ දිලිසෙන පුංචි එළියෙන් අනෙක් අයගෙ ඇස් වලට ලස්සන චිත‍්‍රයක් මවන්න.."

අම්මගෙ උත්තරෙන් නීනෝ සෑහීමකට පත්වුණේම නෑ.


"මම හොඳටම දන්නවා අපිටත් හඳට වගේම ගොඩක් එළිය දෙන්න පුළුවන් කියලා.." නීනෝ කීවා.

ඒ කියමනට මුකුත් කීවෙ නැති අම්මා නිදාගන්න කියල නීනෝට අවවාද කළා.

අහසෙ මුදුනෙම හිටිය හඳට පුංචි නීනෝ කීව හැමදේම හොඳට ඇහුණා. නීනෝ නිදාගත්තෙ ගොඩක් දුකින් බව හඳ දැන ගත්තා. ඒ නිසා හඳට ඕනැ වුණා පුංචි නීනෝව සතුටු කරන්න. හඳට ආවා හොඳ අදහසක්. පහුවදා රෑ හඳ නීනෝට කතා කළා.

"මට හරිම මහන්සියි නීනෝ.. ඒ නිසා මම ටිකක් විවේක ගත්තොත් හොඳයි.. මම හිතන් ඉන්නෙ කඳුයාය පිටිපස්සෙ විවේක ගන්න.... නීනෝට පුළුවන් වෙයිද මට උදව් කරන්න....?"

නීනෝට හඳහාමි ගේ වචන අදහගන්නත් බැරිවුණා. තමන්ගෙ සිහිනය ඉටු කරගන්න අවස්ථාවක් ලැබුනට, නීනෝට ගොඩක් සන්තෝස හිතුණා. නීනෝට දැන් ඕනැ එයාගෙ කණාමැදිරි යහළු යෙහෙළි රංචුවත් එක්ක, හඳ නිවාඩු යනදාට රාත‍්‍රිය එළිය කරන්න.

‘ඒත් කොහොමද අපි ඒක කරන්නේ.... ’ නීනෝ කල්පනා කළා. පහුවදා හැන්දෑවෙ නීනෝ එයාගෙ කණාමැදිරි යහළු යෙහෙළියන් සිල්ලම එක තැනකට රැස් කරගත්තා.


"මට ඔයාලට වැදගත් දෙයක් කියන්න තියෙනවා.. හඳට ගොඩක් මහන්සිලු.. එයාට එක රැයක්වත් ටිකක් විවේක ගන්න ඕනෙලු.. ඒක නිසා එයා අපෙන් අහනවා එයා නිවාඩු ගන්න දා රෑ, අපිට කැලෑව එළිය කරන්න පුළුවන්නද කියලා.."

"අපි කොහොමද ඒ වැඩේ කරන්නෙ.. ?" කණාමැදිරියෝ හැමෝම එකිනෙකාගේ මූණු බලන ගමන් ප‍්‍රශ්න කළා.

"හඳ ගොඩක් ලොකුයි.. හඳ එක්ක බලනකොට අපි කොච්චර පොඩි ද?"

"අනිවාර්යෙන්ම අපිට ඒක කරන්න පුළුවන්.. හැබැයි ඒ හැමෝම එකමුතු වුණොත් විතරයි.." නීනෝ වගේම රාත‍්‍රිය එළිය කරන්න සිහින දැකපු වයසක කණාමැදිරියෙක් හැමෝටම උත්තර දුන්නා.

ඒ කියමනට එකඟ වුණ කණාමැදිරියෝ සියල්ලම, එයාලගෙ උපරිම සහයෝගය දෙන්න පොරොන්දු වුණා.

පහුවදා රෑ, හඳ කන්ඳ පිටිපස්සෙ හැංඟුනා. මුළු කැලෑවම තදම තද කළුවරකින් වැහෙන්න පටන් ගත්තා. කලබලයට පත්වුණ කැලෑවෙ අනෙක් සත්තු හඳ කොහෙදැයි විපරම් කළා. කැලෑවෙ මැද හිටිය කණාමැදිරියන් සියල්ලන්ම තව තවත් එකතු වෙන්න වෙන්න පටන් ගත්තා.

"එන්න එන්න තවත් ළඟට එන්න.." නීනෝ හැමෝටම ඇහෙන්න කීවා.

විශාල රවුමක් හැඩේට එක්රොක් වුණු කණාමැදිරියෝ, මුළු රවුමම සම්පූර්ණයෙන් කණාමැදිරියන්ගෙන් පිරුණට පස්සෙ, එකට අත්වැල් බැඳගත්තා. ඊටපස්සෙ හිමි හිමින් අහසට පියාඹන්න පටන් ගත්තා.

කැලෑවෙ උන්න අනෙක් සියලුම සත්තු හුස්මවත් ගන්නෙ නැතුව, සිදුවෙමින් පැවතුණු අරුම පුදුම චමත්කාරය දිහා බලාගෙන හිටියා. කණාමැදිරියන්ගෙන් විහිදුනේ හිතාගන්නවත් බැරි තරම් එළියක්.. හඳෙන් විහිදෙන එළියටත් වඩා ඒ එළිය ගොඩක් ලස්සනට දිලිසුණා.


"කොච්චර ලස්සන එළියක්ද..." කැලෑවෙ සත්තු එකිනෙකාට කියන්න පටන් ගත්තා.

"හරිම ලස්සනයි.."

ඉර පායන්න ඔන්න මෙන්න කියල තියෙද්දි කණාමැදිරියෝ දස අත විසිර යන්න පටන් ගත්තා. දහසක් තාරකා ඈත අහසේ දිලිසෙන ලෙසට දිස්වුණු ඒ මොහොත සැණෙකින් නිම වුණා.

හඳට ගොඩක් සන්තෝසයි. මොකද එයා දැන් දන්නවා එයාට ආයෙත් විවේක ගන්න ඕනෙ වුණොත්, කණාමැදිරියන්ට කැලෑව එළිය කරන්න පුළුවන් කියලා.

"බොහොම ස්තූතියි! හඳ.." නීනෝ හඳට කීවා.


හඳ ලස්සනට හිනා වුණා. "හැමතිස්සෙම සිහින පසු පස්සෙම යන්න නීනෝ.. මුළු හිතින්ම තමන්ට ඕනෙ දෙයක් නම්, ඒ දේ හැමවෙලාවෙම තමන්ට ලබා ගන්න පුළුවන් කියල ඔයා දැන් දන්නවා.... අනිත් එක තමයි නීනෝ.. එකමුතු වුණොත් මේ ලෝකෙ කරන්න බැරි කිසිම දෙයක් නෑ....!" හඳ නීනෝට කීවා.

සිතුවම්- ජුලියානෝ ෆෙරි [Giuliano Ferri]

සුඑලි මෙනෙසස්
පරිවර්තනය - මුතු පබා



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
| | edit post


යාන්ත්‍ර ශිල්පී ඉස්කුරුප්පුවා සහ ඔහුගේ අත් උදවුකාරයා වන මුරිච්චියා බොහොම දක්ස වැඩ කාරයෝ. දෙන්නගෙම මූණුවර එකවගෙයි. ඉස්කුරුප්පුවා පොඩ්ඩක් උසයි, මුරුච්චියා චුට්ටක් මිටියි. දෙදෙනාම සම් කබා ඇඳලා. ඒ ගොල්ලන්ගේ සාක්කු වල අඬු, පීරි, ඉස්කුරුප්පු, නියන් ආදිය තිබුණා. ඔවුන්ගේ කබා සමින් මහපු ඒවා නිසා ඔය උපකරණ වල බරට ඔරොත්තු දුන්නා. නැතිනම් ඒ ඇඳුම් ඉරිලා බොහොම කල්. ඒ දෙදෙනාම සමින් හදපු හිස් වැසුම් පැළඳ සිටියා. ඇස් ආරක්සා වෙන කණ්ණාඩි ඇඳගෙන තමයි මේ දෙන්නා වැඩ කරන්නේ.

මේ දෙදෙනා වාමනයින්ගේ පැට්‍රෝල් ලාම්පු, ලෝහ හට්ටි, කේතල ආදී දේ අලුත් වැඩියා කරනවා. ඒ වගේ වැඩ නැති වෙලාවට රෝද තුනේ පා පැදි වැනිදේ හදනවා.

ඔන්න හිටිහැටියේම ඉස්කුරුප්පුවායි, මුරිච්චියයි, කම්මලේ දොර වහගෙන හොර රහසේ මොනවදෝ හදන්ට පටන් ගත්තා. මාසයක් තිස්සේම ඒ ගොල්ල වැඩ කළා. පෑස්සුවා. පීරි ගෑවා. මුරිච්චි ඇණ සවි කළා. කාටවත් ඒගොල්ලන් හදන දේ පෙන්නුවේ නැහැ. පස්සෙ බැලින්නම් ඒගොල්ල හදලා තියෙන්නේ මෝටර් රියක්.



ඒ අපූරු මෝටර් රිය දුවන්නේ පැට්‍රෝල්, ඩීසල් වැනි තෙල් වලින් නොවෙයි. සිරප් සහිත සෝඩා වතුර වලින්. රිය මැද පදවන්නාගේ ආසනය. ඊට ඉස්සරහින් සෝඩා වතුර සහිත පීප්පය. ඒ සෝඩා වතුරෙන් පැන නගින් ගෑස් වායුව, තඹ සිලින්ඩරයට ඇතුළු වෙනවා. ගෑස් වායුවේ බලය යකඩ පිස්ටනය තල්ලු කරනවා. මෙලෙස පිස්ටනය ක්‍රියාකාරි වීම නිසා රියේ රෝද කරකැවෙන්නට පටන් ගන්නවා. රිය පදවන්නාගේ ආසනයට ඉහළින් සිරප් ටැංකිය සවි කරලා. සිරප් බටය දිගේ ගිහිල්ලා පීප්පයට වැටෙනවා. එය යන්ත්‍රයට තෙල් වාගේ පාවිච්චි වෙනවා.

කුසුම් පුරයේ වාමනයන් අතර ඒ වගේ සෝඩා වතුරෙන් දුවන මෝටර් රිය බොහොම තිබුණා. ඉස්කුරුප්පුවායි, මුරිච්චියයි හදාපු මෝටර් රියේ ඉතා වැදගත් අලුත් දෙයක් ඇත. එය තමයි, ඒ ගොල්ලන්ට ඕන වෙලාවට මී පැණි වලින් හදාපු සිරප් සමග සෝඩා බීම සඳහා විශේෂ රබර් නළයක් සාදා තිබීම. ආසනයේ වාඩිවෙලා සිරප් සහ සෝඩා බොන්නට පුළුවනි.

කඩිනම් රාළ මේ මෝටර් රිය පැදවීමට ඉගෙන ගත්තා. කාටවත් ඕන වුනාම එයා බොහොම ආසාවෙන් මෝටර් රියෙන් ඒගොල්ලන්ට ඕන තැනට ඔවුන්ව ගෙන යනවා.

මී පැණි දාස නමැති වාමන කොල්ලා අනිත් අයට වැඩිය ඔය රියෙන් යාමට ආසයි. මොකද දන්නවද, එයාට ආසනයේ වාඩිවෙලා පැණි සිරප් එක්ක සෝඩා වතුර බොන්ට පුළුවන් නිසා. වැඩ බැරි දාසත් නිතර පාහේ ඔය මෝටර් රියෙන් ගමන් කළා. කඩිනම් රාළ තමයි රිය පදවන්නා. තනිවම රිය පැදවීමට වැඩබැරිදාසට ලොකු ආසාවක් ඇති වුණා. එයා කඩිනම් රාලට කතා කරලා මෙහෙම කියුවා;

"කාර් එක මට දීපන්. මාත් කැමතියි කාර් එක එළවන්ට."

"නුඹට බැහැ. මේක යන්තරයක්. මේ යන්තරෙ ගැන දැනීමක් තියෙන්ට ඕන" කඩිනම් රාළ එයාට විරුද්ද වුණා.

"දැන ගැනීමට තරම් දෙයක් ඔතන නැහැ. නුඹ එළවන හැටි මම දැකලා තියෙනවා. ගියර් දානවා. සුක්කනම කරකවනවා. එච්චරයි නොවැ. ඕකත් අමාරු වැඩක්ද?" වැඩ බැරි දාස කියුවා.

"බැලූ බැල්මට නම් අමාරු වැඩක් නොවෙයි වගේ තමයි පෙනෙන්නේ. නමුත් රිය පැදවීම අමාරුයි. නුඹ ඉගෙන ගන්නේ නැතුව එළවන්ට පටන් ගත්තොත්, කාර් එකත් කඩා බිඳ දමලා, නුඹත් මැරිලා යාවි." කඩිනම් රාළ කියුවා.

"නුඹ මට ඔහොමද සලකන්නේ! හොඳයි, කමක් නැහැ. නුඹත් කවදහරි මගෙන් උදවුවක් ඉල්ලුවොත්, මමත් නුඹට උදවු දෙන්නේ නැහැ."

දවසක්දා කඩිනම් රාළ ගෙදර හිටියේ නැති වෙලාවක වැඩ බැරි දාස ගෙවත්තේ නවත්වා තිබුණු මෝටර් රියට නැගලා ගියර් අදින්ටයි, පැඩල් පාගන්ටයි පටන් ගත්තා. මුලදී රිය එක තැනම තිබුණේ හෙළවෙන්නේ වත් නැතුවයි. එහෙත් හිටිහැටියේම මෝටර් රිය හඬක් පිට කරලා දුවන්ට පටන් ගත්තා. වාමනයෝ කවුළුවෙන් මේක දැකලා ගෙවල් වලින් එළියට දුවගෙන ආවා.


"ඒයි මෝඩයා, නුඹ මොනවා කරනවද? පණ නහගන්ට හදනවද?" ඒගොල්ල කෑගැහැව්වා.

"නුඹලා බයවෙන්ට එපා! මම පණ නහගන්ට මෝඩයකු නොවෙයි."

මෙහෙම පුරසාරම් දෙඩුවා විතරයි වැඩ බැරි දාස එලවපු මෝටර් රිය ගෙවත්තේ තිබුණු බලු කූඩුවේ හැපුනා.

"දඩිං බිඩිං ඩෝං!" බලු කූඩුව සුනේ සුන්. බුල්කා හොඳ වෙලාවට එළියට පැන්නා. බලු කූඩුවේ අයිතිකාර බල්ලගේ නම බුල්කා.

"නුඹ කරන විනාශයක හැටි බලාපන්! වහාම කාර් එක නවත්වාපන්!" දක්ස පාල කෑහැහුවා.


වැඩ බැරිදාස බයවෙලා මෝටර් රිය නැවැත්වීමට උත්සහ ගත්තා. එයා මොකක්දෝ යතුරක් කැරකැව්වා විතරයි. මෝටර් රිය තවත් වේගයෙන් දුවන්ට පටන් ගත්ත. ගෙවැටත් සුනේ සුන්! දඩිං බිඩිං ඩෝං! වැඩ බැරිදාසගේ ඇඟ පුරාම ලී පතුරු. එක ලී පතුරක් පිටට ඇනිලා. හිසේ පිටුපසට තවත් ලී පතුරක් ඇනිලා.

වැඩබැරිදාස සුක්කානම කරකවනවා. රිය ගෙවත්ත වටේට දුවනවා. වැඩ බැරිදාස බොහොම බයවෙලා යටි උගුරෙන් කෑ ගහනවා;

"අනේ සොයුරනි! දොර ඇරපල්ලා! නැතිනම් ගෙවැට කුඩේ කුඩු වේවි!

වාමනයෝ ගෙවත්තේ දොර ඇරියා විතරයි මෝටර් රිය මහපාර දිගේ වේගයෙන් දුවන්ට පටන් ගත්තා. මේ සද්දෙට මහ පාරට දුවගෙන ආපු අය දෙපස පෙළ ගැහිලා කෑ ගහන්ට වුණා.

"පණ බේරාගනියව්!" වැඩ බැරිදාස මෝටර් රියෙහි වාඩි වෙලා කෑ ගහනවා. දක්ස පාල, ඈනුම් අරින්නා, ඉස්කුරුප්පුවා, එඬරු තෙල් දොස්තර සහ අනෙක් වාමනයෝ මෝටර් රිය පසු පසින් දුවගෙන ගියහ. කොහේ දුවන්ටද? මෝටර් රිය වේගයෙන් ඉදිරියට ගියා.

පාර දිගේ දුවන රිය නැවැත්වීමට වැඩ බැරි දාස දන්නේ නැත.

ඔන්න අන්තිමේදී මෝටර් රිය ගඟ අද්දර පාරේ පල්ලමට ආවා විතරයි, තුන් කුන්දුන් ගැහිලා පෙරළුනා. රියෙන් පිටතට වීසි වෙලා ගිය වැඩ බැරි දාස සිහි නැතුව බිම ඇද වැටුණා. සෝඩා වතුරෙන් දුවන මෝටර් රිය ගඟට වැටිලා ගිලුණා.

දක්සපාලයි, ඈනුම් අරින්නායි, ඉස්කුරුප්පුවායි, එඬරු තෙල් දොස්තරයි වැඩ බැරි දාසව අල්ලා ගත්තා. එයා සිහින නැතුව වැතිරිලා හිටිය නිසා එයා මැරුණා කියලා මේ හතර දෙනා කල්පනා කළා. එයාව ඔසවාගෙන ගෙදර ගෙනාවා.

එයාව ඇඳක දැම්මා විතරයි, එයාට සිහිය ආවා. එයා ඇස් දෙක ඇරලා වටපිට බලලා, මෙහෙම ප්‍රශ්න කරනවා.

"අනේ සෝයුරනි, මම ජීවතුන් අතරද?"

"ඔවු, නුඹ ජීවත් වෙනවා. නමුත් නුඹේ ඇට කටු, ඇඟ පත පිරික්සා බලන්ට ඕන. දඟලන්නේ නැතුව ඉඳපන්." එඬරුතෙල් දොස්තර කියුවා.

දොස්තර වැඩ බැරියාගේ ඇඳුම් ගලවලා පිරික්සා කරලා මෙහෙම් කියුවා.

"පුදුමයක හැටි, නුඹේ ඇට කටු කැඩිලා නැහැ. ඇඟ විතරක් සීරිලා තියෙනවා. ලී පතුරු ඇඟට ඇනිලා තියෙනවා. එච්චරයි."

"ඔවු. ලොකු ලී කෑල්ලක් මගේ පිටට ඇලුනා." වැඩබැරි දාස කියුවා.

"ලී පතුරු ඉඳිකටු වගේ ඇඟට කා වැදිලා. ඒවා ගලවා දමන්ට ඕන." දොස්තර එහෙම කියලා හිස වැනුවා.



"මට වේදනාවක් ඇති වෙයිද?" බයවුණු වැඩ බැරියා ඇහුවා.

"චුට්ටක්වත් රිදෙන්නේ නැහැ! මම ලොකුම ලී පතුර ඇදලා දාන්නම්."

"අයියෝ, රිදෙනවෝ!" වැඩ බැරියා කෑ ගැහුවා.

"මොන බොරුද? කොහෙ රිදෙනවද?" දොස්තර පුදුම වුණා.

"අනේ බොහොම රිදෙනවෝ!"

"ඉවසාගෙන හිටපන්, රිදෙන්නෙ නැහැ. නුඹ වේදනාව සිතින් මවා ගන්නවා." දොස්තර ඔහුට සැර වුණා.

"අපොයි නැහැ, හැබෑවටම රිදෙනවා!"

"නුඹ කෑගහන්නෙ මොකද? මම නුඹව කපනවද? මම නුඹව කැපුවේ නැහැ."

"රිදෙනවෝ! දොස්තර කියුවට රිදෙන්නෙ නැහැ කියලා, මට නම් රිදෙනවා!" වැඩ බැරියා බෙරිහන් දෙයි.

"කෑ ගහන්ට එපා! තව එක ලී පතුරයි ඉතුරු වෙලා තියෙන්නෙ. ඒකත් ගලවා දමන්නම්!"

"අපොයි එපා! ඒක එහෙම තිබුණාවේ! ගලවන්ට එපා."

"එහෙම බැහැ. ඒක පැසවන්ට පුළුවනි."

"අනේ අම්මෝ රිදෙනවෝ!"

"ඔන්න ගලවා දැම්මා! දැන් ඉතින් අයිඩින් ගාන එක විතරයි."

"අයිඩින් ගෑවාම රිදෙනවාද?"

"නැහැ, කිසිම වේදනාවක් නැහැ. නුඹ කලබල නැතුව ඉඳපන්." දොස්තර කියුවේය.

"අයියෝ!"

"කෑගහන්නේ නැතුව ඉන්නවා! කාර් එකේ නැගලා රවුම් ගහන්ට පුළුවනි. වේදනාව ටිකකට උහුලන්ට බැහැ!"

"අනේ අම්මෝ! ඇඟ දනවෝ!"

"පොඩ්ඩක් දනවා වගේ දැනේවි. පසුව ඇරිලා යාවි. දැන් මම උණ බලන කටුව තියන්නම්."

"උණ කටුව එපා. අනේ එපා!"

"ඒ මොකද?" දොස්තර ඇසීය.


"මට රිදෙන්ට පුළුවනි"

"උණ කටුවට රිදෙන්නේ නැහැ මිනිහෝ!"

"දොස්තර කිවුවට රිදෙන්නේ නැහැ කියලා. පසුව හැබෑටම වේදනාව ඇතිවෙනවා."

"හැබැ කොල්ලෙක්! නුඹගේ උණ බලන්ට මම කවදාවත් උණ කටුවක් තියලා නැද්ද?"

"නැහැ."

"එහෙනම් නුඹට දැනේවි, උණ බලන විට කිසිම වේදනාවක් නැති බව."

එඬරු තෙල් දොස්තර එසේ කියා උණ කටුව ගැනීමට යාබද කාමරයට ගියා.

වැඩ බැරි දාස වහාම ඇඳෙන් නැගිට, ජනේලයෙන් පිටතට පැන තම මිතුරා වන ගුණේ හමුවීමට ගියා. දොස්තර උණ කටුවත් රැගෙන එන විට වැඩ බැරි දාසත් එතැන නොසිටි නිසා මුමුණමින් මෙහෙම කියුවා.

"ඔන්න ඉතින් ඔය වගේ ලෙඩකුව සුව කරන්නේ කොහොමද! එයාට ප්‍රතිකාර කරන විට එයා ජනේලයෙන් පැනලා දුවනවා. ඒක මහා නොහොබිනා වැඩක්!"

නිකොලායි නෝසව්
පරිවර්තනය - දැදිගම වී. රුද්‍රිගු



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
| | edit post


බොහෝම කාලෙකට ඉස්සර සනාද් නම් අහංකාර ඛාන් කෙනෙකු ජීවත් වුණා. එක දවසක් ඔහු තමාගේ මිනිසුන් සියළු දෙනා සමග හරිත වර්ණ තණබිම් වලින් පිරුණු කඳවුරු බදින්ට ඉතාමත් සුදුසු බිමක් හොයාගෙන යන්ට තීරණය කළා. හැබැයි එවැනි බිම් සොයා යන ගමන ඉතා දුර වගේම දුෂ්කර කටයුත්තක් වුණා.

'එකම මහල්ලෙක් වත් මැහැල්ලක් වත් අප සමග නොසිටිය යුතුයි. මේ ගමන් අතර මග ඔවුන් අපට මහා කරදරයක් වෙයි.'

ඉතිං මේ දුර බැහැර ගමන පිටත් වෙන්නට කළින් මහල්ලන් සියළු දෙනා මරා දමන්නට යැයි ඔහු අණ කළා.

'මගේ අණට කීකරු නොවන සියල්ලෝම දඬුවම් ලැබිය යුතුයි' ඛාන් කියා සිටියා.

එය මිනිසෙකුට ඇසිය හැකි ඉතාම දරුණු නපුරු අණක්. මිනිස්සු ඒ ගැන බොහොම කණගාටු වුණා. ඒත් ඛාන්ගේ අණට අකීකරුවන්ට පුළුවන් කමක් කිසිවෙකුට තිබුණේ නෑ.

එහෙත් සනාද් ඛාන් ගේ අණ පිළි නොගෙන ඉන්ට තරම් ධෛර්යයක් ඇති එක් තරුණයෙකු මිනිසුන් අතර සිටියා. ඔහු ගේ නම් තමයි සයිරන්. ඉතිං සයිරන් පොරොන්දු වුණා ඔහුගේ මහළු පියා ආරක්ෂා කරන්ට.


ඒ නිසා ඔහු කළේ ඉතා විශාල හම් ඔලොගුවක තමන්ගේ මහළු පියාව දමාගෙන හැමදෙනාටම හොරෙන් පිරිස සමග රහසිගතව රැගෙන යාමයි. පසුවට වෙන දේවල් ගැන හිතන්ටත්, කලබල නොවෙන්ටත් ඔහු හිතා ගත්තා.

සනාද් ඛාන් ඔහුගේ සියළු මිනිසුන් සහ සතුන් සමග ඔවුන් සිටි පැරණි බිම අතහැර උතුරු දෙසින් පිහිටි අලුත් බිම් සොයා යන්නට පිටත් වුණා. සයිරන්ගේ අසුපිට තැබූ හම් ඔලොගුවේ සැගවී ඔහුගේ පියාත් උතුරු පැත්තට ගමන් කළා. සයිරන් අනෙක් හැම දෙනාටම හොරෙන් තම මහළු පියාට කන්න දුන්නා. බොන්නට දේවල් සපයා දුන්නා. ඒ විතරක් නෙමෙයි, අඳුර වැටුණු වහාම හම් ඔලොගුවේ ගැට බුරුල් කරලා කූඩාරමේ විවේක ගන්නටත්, වේදනාවෙන් රිදුම් දෙනා ඔහුගේ මහලු අත් පා දිගහැර ගන්නටත් ඉඩ ලබා දුන්නා.

ගමනට බොහොම කාලයක් ගත වුණා. ඛාන්ටත් ඔහුගෙ මිනිසුන්ටත් මුහුද සමීපයේ පිහිටි බිම් කඩකට එන්නට හැකි වුණා. වහාම එතැන කූඩාරම් තනා විවේක ගන්නා ලෙස සනාද් ඛාන් ඔහුගේ මිනිසුන්ට අණ කළා.

ඔන්න එක් දිනක් ඛාන්වරයාගේ උදව්කරුවෙකු වතුර ගෙනෙන්ට වෙරලට ගියා. එතකොට ඔහු දැක්කා මූදු පතුලේ යමක් දිලිසෙමින් තිබෙනා සැටි. ඉතිං ඔහු ජල පතුලට තව තවත් ළංවී බැලුවා. එය විශාල රන් කුසලානයක් බව එවිට ඔහුට පැහැදිලිව දැකගත හැකි වුණා. ඛාන්ට ඉතාම හිතවත් අවංක සේවකයෙකු ලෙස උදව්කරුවා මේ බව ඛාන්වරයාට දන්වා සිටියා.

ඒ ඇසූ සනාද් ඛාන් කෙසේ හෝ මේ රන් කුසලානය ලබාගෙන තමා වෙත ගෙන එන ලෙස තම සේවකයන්ට අණකළා. මූදු පතුළෙ කිමිදී එය සොයාගෙන ඒමට තරම් ධෛර්යයක් කිසිවෙකුට තිබුනේ නෑ. ඒ නිසා ඒ සඳහා ඉදිරිපත්වන්නට කිසිවෙක් හිටියේ නෑ. අවසානයේ තුණ්ඩු ඇදීමෙන් කෙනෙකු තෝරා ගන්නටයැයි ඛාන් අණ කළා.

පළමු තුණ්ඩුව ලැබුණේ ඛාන් ගේ සේවකයෙකුටයි. ඉතිං ඔහු මූදට පැන කිමිදුණා. ඒත් ආයේ කවදාවත් ඔහු ගොඩ ආවේ නෑ.


නැවත වතාවක් තුණ්ඩු අදින්නට තීන්දු වුණා. එවර තුණ්ඩුව ලැබූ සේවකයා හිතුවා කඳු බෑවුම මුදුනේ සිට පහළට පැන මූදු පතුලේ කිමිදෙන්ට. ඉතිං ඔහු කඳු මුදුනේ සිට මූදට පැන කිමිදුණා. ඔහු ආයේ කවදාවත් ගොඩ ආවේනම් නෑ. මේ විදියට සනාද් ඛන්ගේ මිනිසුන් බොහෝ ගණනක් මරණයට පත් වුණා.

කොයිතරම් මිනිසුන් ගණනක් මැරුණත් අකාරුණික ඛාන් රන් කුසලානය ලබාගැනීමේ උත්සහය අත්හැරියේ නම් නෑ. එක්කෙනකුට පස්සෙ තව කෙනෙක් බැගින් ඔහුගේ කීකරු සේවකයන් බොහෝ දෙනෙකු මේ විදිහට මිය ගියා.

අන්තිමේදි රන් කුසලානය ලබාගැනීමේ වාරය උදා වුණේ සයිරන්ට. කිමිදෙන්නට කළින් ඔහු තමන්ගේ මහළු පියා බලන්නට ගියා . ගිහින් මෙහෙම කිවුවා.

'මට සමුගන්න අවසර දෙන්න මගෙ ආදරණීය තාත්තේ, අපි දෙන්නම දැන් මැරෙන්නයි යන්නේ'

'වෙලා තියෙන්නෙ මොකක්දැයි මට කියාපන් පුතා?' මහළු පියා සයිරන් ගෙන් ඉල්ලා සිටියා.

ගැඹුරු මූදූ පතුළට කිමිදී කෙසේ හෝ රන් කුසලානය රැගෙන ආ යුතු බවට ඛාන් අණ කළ බව එවිට සයිරන් තාත්තාට කියා සිටියා.

'එහෙම ගිය කිසි කෙනෙක් ආපහු ඇවිත් නෑ තාත්තේ, ඛාන්ගේ අණ වෙනුවෙන් මට දැන් මූදූ පතුළේ මැරෙන්න සිදුවෙනවා. තාත්තාව අහුවුනොත් ඛාන්ගේ සේවකයන් ඔබවත් මරා දමාවි' සයිරන් ඉතා කණගාටුවෙන් කිවුවා.

මහළු තාත්තා සයිරන් කියූ සියළු දෑ නිහඬව අහගෙන ඉඳලා මෙන්න මෙහෙම කිවුවා.

'මගෙ පුතේ, මේක මේ විදියට සිදුවෙනවා නම් නුඹට වෙන්නෙ රන් කුසලානෙත් නැතුව නිකම්ම දියේ ගිලී මැරෙන්ට. මුදූ පතුළේ රන් කුසලානයක් ඇත්තෙ නෑ. අර පෙනෙන කන්ද දෙස බලාපන්. පෙනෙනවද? ඇත්තම රන් කුසලානෙ තිබෙන්නෙ අර පෙනෙන කඳු මුදුනෙයි. මූදු පතුළෙන් පෙනෙන්නෙ එහි බිඹුවක් විතරයි.'

'මගෙ ආදරණීය තාත්තේ, මං මොනවද කරන්න ඕනෑ?' සයිරන් ඇහුවා.

'කඳු මුදුනට පලයන්. රන් කුසලානය ලබාගෙන ඛාන් සතුටුකරපන්. කුසලානෙ හොයාගන්ට අමාරු නෑ. මොකද ඒකෙ දිස්නය බොහොම දුර ඈත තෙක් විහිදෙන නිසා ලෙහෙසියෙන්ම දැක ගන්ට පුළුවනි. ඒත් නුඹට කඳු බෑවුම නගින්ට අසීරු බව දැනුණොත්, මුව රැළක් කඳු මුදුනෙන් මතුවෙන තුරු හිටපන්. උන් කඳු මුදුනට ආ හැටියෙම උන්ව බියගන්වාපන්. දුවන්ට තියෙන කලබලේට උන් රන් කුසලානය පෙරළාවි. කාලය ඉතා වැදගත් ලෙස හිතාපන්. රන් කුසලානෙ ගිලිහෙන්ට කලින් හනිකට එය අල්ලාගනින්. එහෙම නොවුණොත් ගිරිකඳුරට වැටී එය නොපෙනී යාවි.'

සයිරන් තාත්තාට ස්තුති කරලා කඳු මුදුනට යන්ට පිටත් වුණා.

කඳු මුදුනට නගින එක පහසු කාර්යයක් වුණේ නෑ. අතරින් පතර වැවී තිබුණු ගස්, පඳුරු සහ උල් වූ ගල් කැබලි අල්ලාගෙන සයිරන් කඳු මුදුනට නගින්ට වුණා. ඔහුගේ මුහුණ සහ දෑත් සීරි තුවාල වුණා. ඇඳුම් ඉරී කැබලි එල්ලෙන්නට වුණා. එහෙත් අවසානයේ දී ඔහු කඳු මුදුන සමීපයට ආවා. එවිට ඔහු දුටුවා කඳු මුදුනේ හිරු එළියෙන් දීප්තිමත්ව බැබැළෙන රන් කුසලානය. එතකොටම වාගේ සයිරන් ට අවබෝධ වුනා කිසි ලෙසකින් වත් මුදුනට ළඟා විය නොහැකි බව. තාත්තා ගේ අවවාදය ඔහුට එක්වරම සිහියට නැගුණා. ඉතින් ඈතින් මුව රැල මතුවෙන තුරු ඔහු බලා සිටියා.


ඔන්න වැඩිවේලාවක් ගතවෙන්ට කලින් මුවෝ එකා දෙන්නා බැගින් කඳු මුදුනෙන් මතුවෙන්ට පටන් ගත්තා. සයිරන් මහා හඬින් කැගැසුවා. සද්දෙන් කලබල වුණු මුව රැළ වේගයෙන් කඳු මුදුනට නගින්ට පටන් ගත්තා. උන්ගේ කඩිමුඩියට රන් කුසලානය පහළට පෙරලුණා. කුසලානය පහළට පෙරළීගෙන එද්දිම සයිරන්ට එය අල්ලාගන්ට හැකි වුනා.

ඉතාමත් සතුටට පත් වුණු සයිරන් හෙමින් කන්ද බහින්න පටන් ගත්තා. ඊට පස්සෙ සනාද් ඛාන් වෙතට ගිය සයිරන් රන් කුසලානය ඔහු ඉදිරියේ තැබුවා.

'නුඹ මේ කුසලානේ මූදු පතුලෙන් ගෙනාවේ කොහොමද?' පුදුම වූ සනාද් ඛාන් විමසා සිටියා.

'මේක හමුවුණේ මූදු පතුලෙන් නෙමෙයි. අර ඈත තියෙන කඳු මුදුනෙන්. මූදු පතුලෙන් පෙනුනේ එහි බිඹුවක් විතරයි.' සයිරන් උත්තර දුන්නා.

'නුඹ මෙය තනියෙන් සිතා කළ වැඩක් ද ?' ඛාන් ඇසුවා.

'එහෙමයි' සයිරන් කිවුවා.

ඛාන් ඊට වඩා කිසිවක් සයිරන්ගෙන් විමසන්නට ගියේ නෑ. ඔහු සයිරන්ට යන්නට ඉඩ හැරියා.

පහුවෙනිදා සනාද් ඛාන් සහ ඔහුගේ මිනිස්සු ආයෙත් ගමන් කරන්න පටන්ගත්තා.

බොහොම කාලයක් ඇවිදීමෙන් පසු ඊළඟට ඔවුන් ලඟා වුණේ විශාල කාන්තාරයකට. ඉර අව්වෙන් පොළොව කරවෙලා තණකොළ පිළිස්සිලා තිබුණා. ගංගාවක් වත් උල්පතක් වත් පෙනෙන තෙක් මානෙක තිබුනේ නෑ. මිනිස්සුත් ගවයොත් පිපාසාවෙන් මැරෙන්ට තරම් ළං වෙලා හිටියේ. සනාද් ඛාන් තමන්ගේ අසරුවන් කැඳවලා වතුර ඇති තැනක් සොයා ගෙන එන්නැයි ඔවුන් පිටත් කර හැරියා. එහෙත් කිසිවෙකුටත් දිය පොදක් ඇති තැනක් සොයාගන්ට හැකි වුණේ නෑ. ඔවුන් කිසිවෙක් කළහැකි කිසිවක් ගැන දැන සිටියේ නැති නිසා සියල්ලන්ටම බොහොම පීඩාවෙන් ඉන්ට සිදුවුණා.

සයිරන් එයාගේ මහළු තාත්තා සඟවා සිටි තැනට ගියා.

'ආදරණීය තාත්තේ, මට කියන්න අපි මොනවද කරන්න ඕනෑ? අපි හැමදෙනාම පිපාසාවෙන් මැරෙන්නයි යන්නෙ'


එතකොට මහළු පියා මෙන්න මෙහෙම කිවුවා.

'සයිරන් මගෙ පුතේ, අවුරුදු තුනක් වයසැති එළදෙනක් සොයාගෙන ඌට ඉබාගාතේ යන්ට ඉඩහැරපන්. ඌ කොතැනක හරි නැවතිලා එතැන පොළොව ඉව කරන්ට පටන්ගන්නවා නම් නුඹ වහාම එතැන බිම හාරපන්.'

සයිරන් තාත්තා කියූ විදියට අවුරුදු තුනක් වයසැති එළදෙනක් මුදාහැරියා. ඊට පස්සෙ ඌ පසු පසින් තැනින් තැනට ඇවිද ගියා. ඔන්න එතකොටම වාගේ එක් තැනෙක නැවතුණු එළදෙන පොළොව ඉවකරන්ට පටන් ගත්තා. සයිරන් වහාම අනෙක් මිනිසුන් කැඳවලා එතැන බිම හාරන්ටයැයි කීවා.

මිනිසුන් බිම හාරාගෙන හාරාගෙන ගියා. එතැනින් එකපාරටම සීතල පිරිසිදු දිය උල්පතක් ඉහළට මතුවෙලා පොළොව වතුරෙන් තෙමන්ට පටන් ගත්තා. මිනිස්සු ඇති තරම් දියබී පිපාසාව සංසිඳුවා ගත්තා. ඒ විතරක් නෙමෙයි හරකුන්ටත් ඇති තරම් බොන්නට දිය ලැබුණා.

සනාද් ඛාන් වහාම සයිරන්ව ඔහු වෙත කැඳවූවා.

'මේ තරම් වේලිච්ච පොළොවක වතුර ඇති තැනක් නුඹ හොයාගත්තේ කොහොමද?' ඛාන් ඇහුවා.

'යම් යම් සලකුණු මට ඒ බව කීවා.' සයිරන් පිළිතුරු දුන්නා.

ඔවුන් තව තවත් දිය බිව්වා. විවේක ගත්තා. පසුව ආයෙත් ගමන් කරන්ට පටන් ගත්තා.

බොහොම කාලයක් ගමන් කරලා ඔවුන් තවත් බිම් කඩක් වෙත පැමිණියා. විවේකය සඳහා එතැන නැවතී කූඩාරම් අටවා ගත්තා. බලාපොරොත්තු නොවුණු විදියට එදින රාත්‍රියේ මහා වැස්සක් ඇදවැටෙන්ට වුණා. ඒ වැස්සෙන් අවුළුවා තිබූ ගිණි මැලය නිවී ගියා. මිනිස්සු කොයි තරම් උත්සහ කළත් ආයේ ගිනි දල්වන්ට පුළුවන් වුණේ නෑ.


ඔන්න එතකොටම වාගේ එක් මිනිසෙක් දැක්කා ඈත කඳු මුදුනක දැල්වෙන ගිනි මැලයක්. වහාම එම ගිනි මැලය තමා වෙත ගෙන එන ලෙස සනාද් ඛාන් මිනිසුන්ට අණ කළා. මිනිසුන් ඛාන් ගේ අණ පිළිගෙන ගින්දර ගෙනෙන්ට පිටත් වුණා. පළමුව එක මිනිසෙක්, දෙවනුව තවෙකෙක්, තෙවනුව තවත් කෙනෙක් බැගින් කඳු මුදුනට පිටත් ව ගියා. කඳු මුදුනේ සිටි දඩයක්කරුගේ ගිනි මැලයෙන් ඒ හැමෙකෙකුම දල්වන ලද දර කොටය බැගින් ගෙන ආවත්, කූඩාරම තෙක් එය දල්වා ගෙන එන්නට කිසිවෙකුටත් හැකි වුණේ නෑ. මොකද මහ වැස්සෙන් ගින්දර මගදි නිවී ගිය නිසා.

සනාද් ඛාන්ට බොහොම තරහ ගියා. ගින්දර නොගෙනාවොත් සියළු දෙනා මරන බව කියා සිටියා. ඊළඟට කඳු මුදුනට නැගීමේ වාරය උදාවුණේ සයිරන්ට. ඔහු කළේ පළමුව තාත්තා සඟවා සිටි තැනට යන එකයි.

'ආදරණීය තාත්තේ, මේ වතාවේ මං කරන්න ඕනෑ දේ මට කියාදෙනවද? ඇවිලෙන දර කොටයක් කූඩාරම තෙක් නිවෙන්නෙ නැතුව ගේන්නෙ කොහොමද?' සයිරන් ඇහුවා.

එතකොට මහළු තාත්තා මෙන්න මෙහෙම කිවුවා;

'කිසිම වෙලාවක දර කොට ගෙනෙන්ට එපා. ඉන් ගින්දර ලබාගන්ට කොහෙත්ම බෑ. වැස්ස නිසා පුළිඟු සියල්ල නිවී යාවි. ඒ වෙනුවට මුට්ටියක් අරන් පලයන්. ඒක හොඳහැටි ගල් අඟුරුවලින් පුරවාපන්. එහෙම කළොත් විතරක් නුඹට පුළුවන් කූඩාරමට ගින්දර අරන් එන්ට.'

සයිරන් තාත්තා කියූ ලෙසටම කඳු මුදුනට මුට්ටියක් අරන් ගිහින් එය ඇවිළුණු ගල් අඟුරු වලින් හොඳහැටි පුරවාගෙන ආවා. කුඩාරමේ ගිනි මැලය අවුළන්නට සයිරන්ට හැකි වුණා. ඉන් මිනිස්සු හොඳහැටි උණුසුම් වුණා. කෑම බීම පිළියෙල කළා.

මේ බව දැන ගත් සනාද් ඛාන් නැවත වතාවක් සයිරන්ව තමා ඉදිරියට කැඳවාගෙන එන ලෙස අණ කළා.

'ගින්දර ගෙනෙන්ට නුඹ දැන සිටියා නම් ඒ ගැන නුඹ නිහඬව සිටියේ ඇයි?' ඛාන් ගිගුරුවා.

'ඇත්තටම මං දැනං හිටියෙ නෑ එහෙම කරන්නෙ කොහොමද කියලා.' සයිරන් උත්තර දුන්නා.

'ඒත් නුඹ ඒ දේ කළා. ඒ කොහොමද කියාපන්?'

ඛාන් ගේ ප්‍රශ්න වලින් ගැලවිය හැකි මගක් සයිරන් දැන සිටියේ නෑ. ඉතිං ඔහු සියල්ල සනාද් ඛාන්ට හෙළිකලා. සනාද් ඛාන් විසින් පනවන ලද සියළු ආඥාවන් ඔහුට ඉටුකළ හැකි වූයේ තම මහළු පියාගේ නුවණ නිසා බව සයිරන් කියා සිටියා.


'දැං නුඹේ පියා සිටින්නෙ කොහිද?' ඛාන් ඇසුවා.

'මං ඔහුව හම් ඔලොගුවක දමාගෙන මා යන හැමතැනකම අරන් ගියා' සයිරන් කිවුවා.

මහළු පියා තමා වෙත ගෙන එන ලෙස සනාද් ඛාන් අණ කර සිටියා.

'මා විසින් පැන වු අණ මා ආපසු ගන්නවා. මහල්ලන් තරුණයන්ට කිසිම විදියක බරක් නොවෙයි. කරදරයක් නොවෙයි. මහළු බව කියන්නෙ නුවණැතිකමයි. නුඹට තව දුරටත් සැඟවී සිටින්නට ඕනෑ වෙන්නෙ නෑ. නුඹට පුළුවන් අපත් සමග නිදහසෙ විවේකයෙන් ගමන් කරන්ට.' සනාද් ඛාන් අන්තිමේ දී සයිරන්ගේ මහළු පියාට කියා සිටියා.

* බුර්යාතියාව සෝවියට් සමූහාණ්ඩුවට අයත්ව තිබූ රටකි. වර්ග කිලෝමීටර 351,300 ක් වන අතර එහි ජීවත් වන මිනිසුන් ගණන 972,021 කි. උලාන්-උදේ එහි අගනගරය වේ. සයිබීරියාවේ දකුණු - මධ්‍යම දෙසින් පිහිටා ඇති බුර්යාතියාව බයිකාල් විලෙහි නැගෙනහිර සීමාව ඔස්සේ විහිදී ඇත. එරටෙහි භූමි භාගයෙන් 80%ක්ම සමන්විත වනුයේ කඳුකර පෙදෙස් වලිනි. ස්වභාවික සම්පත් ලෙස රත්‍රන්, ටංග්ස්ටන්, සින්ක් සහ යුරේනියම් නිධි එරට සතුය. එහි ජනගහනයෙන් 2/3 ක් රුසියානුවන් වන අතර බුර්යාත් ජාතිකයින් 30% ක්ද, යුක්‍රේන් ජාතිකයින් 0.6% ක්ද, තතාර්වරුන් 0.7% ප්‍රමාණයක් එහි වෙසෙයි.
පරිවර්තනය - හිමේන්ද්‍රි කරුණාරත්න



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
| | edit post


නිල් රෙද්දක රන් තැටියක්
හංඟන හැටි මෙන් කියා
රන්වන් අපෙ ඉරු දෙවියෝ
හැංඟෙති මහ මුහුද කුසේ

පහළ වෙලේ ගොවිරාලත්
ඇඟ අත පය සෝදාලා
උදලු කෙටිය අරන් කරට
හනික හනික ගෙදරට එයි

කළුවර වෙන්නට ඉස්සර
යමුයි කියා කුරුලු රංචු
කෑම අරන් පැටවුන්ටත්
කූඩු වලට පියාඹතී

ගොඩින් දියෙන් සිරි සිරි ගා
එන සැන්දෑ සුළං දැල්ල
සිතට කයට සැපයි නේද
ඉදිමු ටිකක් ගෙයි මුල්ලෙ

[කුමරතුඟු කවි ගී]

කුමාරතුංග මුනිදාස



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
| | edit post


එක්තරා කැලෑවක බොහොම විශාල ගහක් තිබුණා. අහල පහල ගමක හිටපු පුංචි දරුවෙක් මේ ගහ එක්ක මිතුරු වෙලා හිටියා. ගහ ළමයාට බොහොම ආදරෙයි. දරුවාත් ගහට ආදරෙයි. දරුවා හැමදාම ගහ ළඟට එනවා. ඇවිත් ගහේ කොළවලින් ඔටුන්නක් හදාගෙන කැලේ රජ්ජුරුවෝ වෙලා සෙල්ලම් කරනවා. සමහරවෙලාවට ගහ මුදුනට නගිනවා. ගහේ අතුවල එල්ලී පැද්දෙමින් විනෝද වෙනවා. මහන්සි වුනාම ගහ පාමුල හෙවණට වෙලා නිදා ගන්නවා. මේ විදිහට දෙන්නා බොහොම මිතුරුකමින් ආදරෙන් කාලය ගත කළා.

ඒත් කාලයක් යනකොට උස් මහත් වුණ දරුවා ගස ළඟට යෑම එන්න එන්න ම අඩු කළා. ඒ නිසා ගහ හිටියෙ ගොඩක් දුකෙන්. දවසක් දරුවා නැවතත් ගහ ළඟට ආවා. ගහ ඔහුට කතා කළා....

"එන්න ළමයා.. ඇවිත් මගේ අතු ඉති එක්ක සෙල්ලම් කරන්න.. මගේ පළතුරු කන්න.. පොඞ්ඩක් මගේ සෙවණේ ඉඳන් ගිමන් නිවාගෙන සතුටු වෙන්න...."

"මම දැන් ලොකු ළමයෙක්.. ඒ නිසා ගස් උඩ නගින්න බැහැ.. මට ඕනෑ සල්ලි වලින් සෙල්ලම් බඩු අරන් විනෝද වෙන්නයි.. ඔයාට පුළුවන්ද මට සල්ලි ටිකක් දෙන්න.." දරුවා ගහෙන් ඇහුවා.

"මං ගාව සල්ලි නම් නැහැ.. ඒත් ඔයාට පුළුවන් නගරයට මගේ පළතුරු ගෙනිහින් විකුණන්න.. ඒවයෙන් ලැබෙන මුදලින් ඔයාට සතුටු වෙන්න පුළුවන්.." ගහ උත්තර දුන්නා.

පළතුරු කඩා එකතු කරගත් ළමයා ආයෙමත් යන්න ගියා. සෑහෙන කාලයක් යනකල් ම ගහට ආයෙමත් දරුවා දකින්නට ලැබුණෙ නෑ. ඒ නිසා ගහ හිටියෙ බොහොම කණගාටුවෙන්.

ඊට කාලෙකට පස්සෙ දරුවා නැවතත් ගහ ළඟට ආවා. ගහ සන්තෝසෙන් ඉපිලෙමින් ඔහුට කතා කළා.

"එන්න දරුවා.. ඇවිත් මගේ අතු ඉති එක්ක සෙල්ලම් කරල ටිකක් විනෝද වෙන්න.. මගේ පළතුරු කඩාගෙන කන්න.. මගේ සෙවණේ වාඩිවෙලා ගිමන් නිවා ගන්න.."

"මම දැන් ගස් නගින්න ලොකු වැඩියි.." දරුවා ගහට කීවා.. "මට ඕනෑ අව්වෙන් වැස්සෙන් බේරිල ඉන්න ගෙයක්.. දරුවො හදාගෙන ලස්සන පවුල් ජීවිතයක් ගතකරන්න ඕනෙ මට.. නමුත් ඔක්කොටම කලින් ගෙයක් හදාගන්නඕනෙ.. ඔයාට පුළුවන්ද මට ගෙයක් දෙන්න..?"




"මං ගාව ගෙයක් නෑ.." ගස උත්තර දුන්නා. "කැලෑවයි මගේ ගෙදර.. ඒත් ඔයාට පුළුවන් මගේ අතු ඉති ප‍්‍රයෝජනයට අරන් ගෙයක් හදාගන්න.. ඊට පස්සෙ හැමදාම සන්තෝසෙන් ඉන්න.."

ගහේ අතු ඉති කපා ගත් දරුවා ආපහු යන්න ගියා. ගහ සතුටින් හිටියා.

නැවතත් සෑහෙන කාලයක් යනතුරු ගහට ඔහුව දකින්න ලැබුණෙ නෑ. ඒ නිසා ගහ කාලය ගත කළේ ගොඩක් දුකෙන්. ඊට කාලාන්තරයකට පස්සෙ දරුවා ආයෙමත් ගහ ළඟට ආවා. ඔහුව දුටු ගහ කොයිතරම් සතුටට පත්වුණාද කියනව නම්, ගහට කතා කරගන්නට පවා බැරි වුණා..

"එන්න ළමයා.. ඇවිත් සෙල්ලම් කරන්න.." ඉහ වහා ගිය සතුට දරාගෙන ගහ ළමයාට කතා කළා.

"මම දැන් ගොඩක් වයසයි.. සෙල්ලම් කරන්න තරම් මට හිතක් නෑ.." ඔහු ගසට කීවා. "මට මෙහෙන් දුර ඈතට යන්න බෝට්ටුවක් ඕනේ.. ඔයාට පුළුවන්ද මට බෝට්ටුවක් දෙන්න.... ?"

"මගේ කඳ කපාගෙන එයින් බෝට්ටුවක් හදාගන්න ළමයා.. ඒ බෝට්ටුවෙන් ඔයාට පුළුවන් දුර ඈතට ගිහින් සතුටින් ජීවත් වෙන්න.." ගහ උත්තර දුන්නා.

ගහේ කඳ කපා ඉන් බෝට්ටුවක් සාදාගත් ඔහු දුර ඈතට යන්නට ගියා. ගහට දුකක් දැණුනත් එය හංගගෙන සතුටින් කල් ගෙව්වා.

ඉන් සෑහෙන කාලයකට පස්සෙ දරුවා නැවතත් ගස අද්දරට ආවා.

"මට සමාවෙන්න ළමයා.. මා ළඟ දැන් දෙන්න කිසිම දෙයක් ඉතුරු වෙලා නෑ.. අඩුම තරමින් එකම එක පළතුරක්වත්.."

"පළතුරු හපන්න මගේ දත් දැන් ශක්තිමත් නෑ.." ඔහු පිළිතුරු දුන්නා.

"මගේ අතු ඉතිත් සියල්ලම නැතිවෙලා. ඒ නිසා ඒවයේ එල්ලෙමින් පැද්දෙමින් ඔයාට හිතේ හැටියට සෙල්ලම් කරන්න විදිහකුත් නෑ.."

"මම දැන් ගොඩක් වයසට ගිහින්.. ඒ නිසා අතු ඉති වල එල්ලෙන්න පැද්දෙන්න බෑ.." ඔහු කීවා.

"මගේ කඳවත් ඉතුරු වෙලා නෑ.. ඒ නිසා ගහ උඩට ටිකක් වත් නගින්නත් ඔයාට පුළුවන්කමක් නෑ.."

"ගස් නගින්න තරම් හැකියාවක් මට දැන් නැහැ.. මට ගොඩක් මහන්සියි.."

"අදත් මට මොනව හරි දෙයක් ඔය ළමයට දෙන්න තිබ්බ නම්.. මට සමාවෙන්න දරුවා.. මගේ ගස් කොටය ඇරෙන්න වෙන කිසිම දෙයක් මං ගාව දැන්ඉතුරු වී නැහැ.."



මෙම කතන්දරය ඇසුරෙන් ෂෙල් සිල්වස්ටයින් ලියන ලද
බොබී බෙයාර් විසින් ගයන ගීතය.


"මට කිසිම දෙයක් ඕනෙ නෑ. කොහේ හරි නිස්කලංක තැනක ඉඳගෙන ගිමන් නිවාගන්න තිබ්බොත් විතරක් හොඳටෝ ම ඇති.." ඔහු කීවා.

තමාට හැකි තරමින් ගස් කොටය කෙළින් කරගත් ගස ඔහුට කතා කළා.

"එන්න ළමයා.. පරණ වුණ මගේ ගස් කොටය උඩින් ඇවිත් වාඩි වෙලා ගිමන් නිවා ගන්න...." ගස ඔහුට හැමදාම කළා වගේ ම වගේ ආදරයෙන් කතා කළා.

-The Giving Tree [1964]

පසු සටහනක්

The Giving Tree, ෂෙල් සිල්වස්ටයින් විසින් ලියා සිත්තමට නැගූ ලෝ පුරා දරුවන් සහ වැඩිහිටියන් අතර ඉමහත් ප්‍රතිචාරයට බඳුන් වූ අපූරු ළමා කතන්දරයක්. 1964 දී මේ කෘතිය මුල් වරට පළ වූ තැන් පටන්, එය භාෂා 30කට පමණ පරිවර්තනය වී ඇති අතර එය බොහෝ සහෘදයන් අතර ඉමක් නැති සංවාද අවුලවන්නට හේතු පාදක වූවා. මෙම වියමනෙන් ලබා දෙන්නට උත්සාහ ගන්නා නිවැරදිම පණිවුඩය කුමක්ද යන්න තේරුම් ගැනීමට වෑයම් කිරීමෙන් මෙබඳු බොහෝ සංවාද පැන නැගුනා. සමහරු නගන පැනය නම් ඒ සා විසල් පරිත්‍යාගයක් කරන සිය හිත මිතුරු ගස ගැන දරුවා දක්වන ආත්මාර්ථකාමී ආකල්පය ළමා කතන්දරයකට සුදුසු ද යන්නයි.

කෙසේ නමුත්, කතන්දරය ගැන හොඳම අරුත් දැක්වීම නම් එය දෙමාපියන් තුළ දරුවන් කෙරෙහි ඇති පෙරළා කිසිවක් බලාපොරොත්තු නොවෙන අප්‍රමාණ ආදරය සංකේතාත්මකව දැක්වීමක් බවයි. එක්තරා අන්දමකට ඒක පාර්ශ්වික වූ මේ පුදුම ආදර අන්දරය තුළ, ගස සතුටු වන්නේ දරුවා සතුටු වනු දැකීමෙන්. ගස දුක් වන්නේ තමා සතුව දරුවාට දීමට කිසිදු දෙයක් නැති බව වටහා ගත් විටයි.

ෂෙල් සිල්වස්ටයින්
පරිවර්තනය - මුතු පබා



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
| | edit post
Related Posts with Thumbnails