නිල් රෙද්දක රන් තැටියක්
හංඟන හැටි මෙන් කියා
රන්වන් අපෙ ඉරු දෙවියෝ
හැංඟෙති මහ මුහුද කුසේ

පහළ වෙලේ ගොවිරාලත්
ඇඟ අත පය සෝදාලා
උදලු කෙටිය අරන් කරට
හනික හනික ගෙදරට එයි

කළුවර වෙන්නට ඉස්සර
යමුයි කියා කුරුලු රංචු
කෑම අරන් පැටවුන්ටත්
කූඩු වලට පියාඹතී

ගොඩින් දියෙන් සිරි සිරි ගා
එන සැන්දෑ සුළං දැල්ල
සිතට කයට සැපයි නේද
ඉදිමු ටිකක් ගෙයි මුල්ලෙ

[කුමරතුඟු කවි ගී]

කුමාරතුංග මුනිදාස



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
| | edit post


එක්තරා කැලෑවක බොහොම විශාල ගහක් තිබුණා. අහල පහල ගමක හිටපු පුංචි දරුවෙක් මේ ගහ එක්ක මිතුරු වෙලා හිටියා. ගහ ළමයාට බොහොම ආදරෙයි. දරුවාත් ගහට ආදරෙයි. දරුවා හැමදාම ගහ ළඟට එනවා. ඇවිත් ගහේ කොළවලින් ඔටුන්නක් හදාගෙන කැලේ රජ්ජුරුවෝ වෙලා සෙල්ලම් කරනවා. සමහරවෙලාවට ගහ මුදුනට නගිනවා. ගහේ අතුවල එල්ලී පැද්දෙමින් විනෝද වෙනවා. මහන්සි වුනාම ගහ පාමුල හෙවණට වෙලා නිදා ගන්නවා. මේ විදිහට දෙන්නා බොහොම මිතුරුකමින් ආදරෙන් කාලය ගත කළා.

ඒත් කාලයක් යනකොට උස් මහත් වුණ දරුවා ගස ළඟට යෑම එන්න එන්න ම අඩු කළා. ඒ නිසා ගහ හිටියෙ ගොඩක් දුකෙන්. දවසක් දරුවා නැවතත් ගහ ළඟට ආවා. ගහ ඔහුට කතා කළා....

"එන්න ළමයා.. ඇවිත් මගේ අතු ඉති එක්ක සෙල්ලම් කරන්න.. මගේ පළතුරු කන්න.. පොඞ්ඩක් මගේ සෙවණේ ඉඳන් ගිමන් නිවාගෙන සතුටු වෙන්න...."

"මම දැන් ලොකු ළමයෙක්.. ඒ නිසා ගස් උඩ නගින්න බැහැ.. මට ඕනෑ සල්ලි වලින් සෙල්ලම් බඩු අරන් විනෝද වෙන්නයි.. ඔයාට පුළුවන්ද මට සල්ලි ටිකක් දෙන්න.." දරුවා ගහෙන් ඇහුවා.

"මං ගාව සල්ලි නම් නැහැ.. ඒත් ඔයාට පුළුවන් නගරයට මගේ පළතුරු ගෙනිහින් විකුණන්න.. ඒවයෙන් ලැබෙන මුදලින් ඔයාට සතුටු වෙන්න පුළුවන්.." ගහ උත්තර දුන්නා.

පළතුරු කඩා එකතු කරගත් ළමයා ආයෙමත් යන්න ගියා. සෑහෙන කාලයක් යනකල් ම ගහට ආයෙමත් දරුවා දකින්නට ලැබුණෙ නෑ. ඒ නිසා ගහ හිටියෙ බොහොම කණගාටුවෙන්.

ඊට කාලෙකට පස්සෙ දරුවා නැවතත් ගහ ළඟට ආවා. ගහ සන්තෝසෙන් ඉපිලෙමින් ඔහුට කතා කළා.

"එන්න දරුවා.. ඇවිත් මගේ අතු ඉති එක්ක සෙල්ලම් කරල ටිකක් විනෝද වෙන්න.. මගේ පළතුරු කඩාගෙන කන්න.. මගේ සෙවණේ වාඩිවෙලා ගිමන් නිවා ගන්න.."

"මම දැන් ගස් නගින්න ලොකු වැඩියි.." දරුවා ගහට කීවා.. "මට ඕනෑ අව්වෙන් වැස්සෙන් බේරිල ඉන්න ගෙයක්.. දරුවො හදාගෙන ලස්සන පවුල් ජීවිතයක් ගතකරන්න ඕනෙ මට.. නමුත් ඔක්කොටම කලින් ගෙයක් හදාගන්නඕනෙ.. ඔයාට පුළුවන්ද මට ගෙයක් දෙන්න..?"




"මං ගාව ගෙයක් නෑ.." ගස උත්තර දුන්නා. "කැලෑවයි මගේ ගෙදර.. ඒත් ඔයාට පුළුවන් මගේ අතු ඉති ප‍්‍රයෝජනයට අරන් ගෙයක් හදාගන්න.. ඊට පස්සෙ හැමදාම සන්තෝසෙන් ඉන්න.."

ගහේ අතු ඉති කපා ගත් දරුවා ආපහු යන්න ගියා. ගහ සතුටින් හිටියා.

නැවතත් සෑහෙන කාලයක් යනතුරු ගහට ඔහුව දකින්න ලැබුණෙ නෑ. ඒ නිසා ගහ කාලය ගත කළේ ගොඩක් දුකෙන්. ඊට කාලාන්තරයකට පස්සෙ දරුවා ආයෙමත් ගහ ළඟට ආවා. ඔහුව දුටු ගහ කොයිතරම් සතුටට පත්වුණාද කියනව නම්, ගහට කතා කරගන්නට පවා බැරි වුණා..

"එන්න ළමයා.. ඇවිත් සෙල්ලම් කරන්න.." ඉහ වහා ගිය සතුට දරාගෙන ගහ ළමයාට කතා කළා.

"මම දැන් ගොඩක් වයසයි.. සෙල්ලම් කරන්න තරම් මට හිතක් නෑ.." ඔහු ගසට කීවා. "මට මෙහෙන් දුර ඈතට යන්න බෝට්ටුවක් ඕනේ.. ඔයාට පුළුවන්ද මට බෝට්ටුවක් දෙන්න.... ?"

"මගේ කඳ කපාගෙන එයින් බෝට්ටුවක් හදාගන්න ළමයා.. ඒ බෝට්ටුවෙන් ඔයාට පුළුවන් දුර ඈතට ගිහින් සතුටින් ජීවත් වෙන්න.." ගහ උත්තර දුන්නා.

ගහේ කඳ කපා ඉන් බෝට්ටුවක් සාදාගත් ඔහු දුර ඈතට යන්නට ගියා. ගහට දුකක් දැණුනත් එය හංගගෙන සතුටින් කල් ගෙව්වා.

ඉන් සෑහෙන කාලයකට පස්සෙ දරුවා නැවතත් ගස අද්දරට ආවා.

"මට සමාවෙන්න ළමයා.. මා ළඟ දැන් දෙන්න කිසිම දෙයක් ඉතුරු වෙලා නෑ.. අඩුම තරමින් එකම එක පළතුරක්වත්.."

"පළතුරු හපන්න මගේ දත් දැන් ශක්තිමත් නෑ.." ඔහු පිළිතුරු දුන්නා.

"මගේ අතු ඉතිත් සියල්ලම නැතිවෙලා. ඒ නිසා ඒවයේ එල්ලෙමින් පැද්දෙමින් ඔයාට හිතේ හැටියට සෙල්ලම් කරන්න විදිහකුත් නෑ.."

"මම දැන් ගොඩක් වයසට ගිහින්.. ඒ නිසා අතු ඉති වල එල්ලෙන්න පැද්දෙන්න බෑ.." ඔහු කීවා.

"මගේ කඳවත් ඉතුරු වෙලා නෑ.. ඒ නිසා ගහ උඩට ටිකක් වත් නගින්නත් ඔයාට පුළුවන්කමක් නෑ.."

"ගස් නගින්න තරම් හැකියාවක් මට දැන් නැහැ.. මට ගොඩක් මහන්සියි.."

"අදත් මට මොනව හරි දෙයක් ඔය ළමයට දෙන්න තිබ්බ නම්.. මට සමාවෙන්න දරුවා.. මගේ ගස් කොටය ඇරෙන්න වෙන කිසිම දෙයක් මං ගාව දැන්ඉතුරු වී නැහැ.."



මෙම කතන්දරය ඇසුරෙන් ෂෙල් සිල්වස්ටයින් ලියන ලද
බොබී බෙයාර් විසින් ගයන ගීතය.


"මට කිසිම දෙයක් ඕනෙ නෑ. කොහේ හරි නිස්කලංක තැනක ඉඳගෙන ගිමන් නිවාගන්න තිබ්බොත් විතරක් හොඳටෝ ම ඇති.." ඔහු කීවා.

තමාට හැකි තරමින් ගස් කොටය කෙළින් කරගත් ගස ඔහුට කතා කළා.

"එන්න ළමයා.. පරණ වුණ මගේ ගස් කොටය උඩින් ඇවිත් වාඩි වෙලා ගිමන් නිවා ගන්න...." ගස ඔහුට හැමදාම කළා වගේ ම වගේ ආදරයෙන් කතා කළා.

-The Giving Tree [1964]

පසු සටහනක්

The Giving Tree, ෂෙල් සිල්වස්ටයින් විසින් ලියා සිත්තමට නැගූ ලෝ පුරා දරුවන් සහ වැඩිහිටියන් අතර ඉමහත් ප්‍රතිචාරයට බඳුන් වූ අපූරු ළමා කතන්දරයක්. 1964 දී මේ කෘතිය මුල් වරට පළ වූ තැන් පටන්, එය භාෂා 30කට පමණ පරිවර්තනය වී ඇති අතර එය බොහෝ සහෘදයන් අතර ඉමක් නැති සංවාද අවුලවන්නට හේතු පාදක වූවා. මෙම වියමනෙන් ලබා දෙන්නට උත්සාහ ගන්නා නිවැරදිම පණිවුඩය කුමක්ද යන්න තේරුම් ගැනීමට වෑයම් කිරීමෙන් මෙබඳු බොහෝ සංවාද පැන නැගුනා. සමහරු නගන පැනය නම් ඒ සා විසල් පරිත්‍යාගයක් කරන සිය හිත මිතුරු ගස ගැන දරුවා දක්වන ආත්මාර්ථකාමී ආකල්පය ළමා කතන්දරයකට සුදුසු ද යන්නයි.

කෙසේ නමුත්, කතන්දරය ගැන හොඳම අරුත් දැක්වීම නම් එය දෙමාපියන් තුළ දරුවන් කෙරෙහි ඇති පෙරළා කිසිවක් බලාපොරොත්තු නොවෙන අප්‍රමාණ ආදරය සංකේතාත්මකව දැක්වීමක් බවයි. එක්තරා අන්දමකට ඒක පාර්ශ්වික වූ මේ පුදුම ආදර අන්දරය තුළ, ගස සතුටු වන්නේ දරුවා සතුටු වනු දැකීමෙන්. ගස දුක් වන්නේ තමා සතුව දරුවාට දීමට කිසිදු දෙයක් නැති බව වටහා ගත් විටයි.

ෂෙල් සිල්වස්ටයින්
පරිවර්තනය - මුතු පබා



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
| | edit post


ඉස්සර කාලෙ ඒ කිව්වෙ ඉස්සරම ඉස්සර කාලේ හඳ තරු තිබුණෙ නෑ. ඉර විතරයි අහසෙ හිටියෙ. ‍ තනියම නෙවෙයි, එයාගෙ ගින්දර භටයොත් එක්ක. ඒගොල්ලන්ගෙ අහස් මාළිගාව ළඟ තිබුණා රත්තරන් පාට කුරුල්ලො ඉන්න උද්‍යානයක්. ඒ ‍කුරුල්ලො ගෙනත් දෙන පළතුරු තමයි ඉර යි එයාගෙ යාළුවොයි කෑවෙ. ඉර හැමදාම උදේට ගින්දර භටයොත් අරගෙන අහස් මාළිගාවෙ මිදුලට ඇවිත් සෙල්ලම් කරනවා. එහෙ මෙහෙ දුවනවා.. එතකොට තමයි ලෝකෙට එළිය වැටෙන්නෙ. ගින්දර භටයො ඉර පස්සෙ දුවද්දි හරියට ඊතල වගේ. මෙහෙම හවස් වෙනකම් සෙල්ලම් කරලා මූණවල් රතුම රතු පාට කරගෙන තමන්ගෙ විමානෙට ගිහින් නිදා ගන්නවා.

හඳ හිටියෙ පොළවෙ තිබුණ මායා කන්ද කියන මහ විසාල කඳු පන්තිය පාමුල. මායා කන්ද කිව්වට ඒකෙ මායාකාරයො හිටියෙ නෑ. හඳ පදිංචි වෙලා හිටියෙ එයාගෙ හොඳම යාළුවා හා හාමිත් එක්ක සූකිරිවලින් හදපු ගෙදරක. එයාලගෙ ගෙදර ළඟින් මී පැණි ගංගාවක් ගලාගෙන ගියා. හා හාමියි හඳ යි ලස්සන වුණේ ගෙදර හදන කිරි කාලා ඒ ග‍ඟෙන් මී පැණි බීලා. හඳ බොහොම සන්සුන්. ඒ හැටි කළබලයක් නෑ. හවස් වෙනකොට එයා හා හාමිත් එක්ක මායා කන්ද මුදුනට නගිනවා. ඒ නගින ගමන් ලස්සන මල් පිපිලා තිබුණොත් එයාලා එක්ක කතා කරනවා. මෙහෙම ගිහින් ගිහින් මහ රෑ වෙද්දි තමා ඒගොල්ලො කන්ද මුදුනට යන්නෙ. අන්න ඒ වෙලාවට තමයි අහසෙ ඉඳලා සුරංගනාවියො පොළවට එන්නෙ.

සුරංගනාවියො බොහොම වැඩ අධික උදවිය. ඒගොල්ලො තමයි මල් වලට පාට දෙන්නෙ. පුංචි දරුවන්ට නින්දෙන් හීන පෙන්නන්නෙත් ඒ අය ම තමයි. හීන පෙන්නන එක සමගියෙන් කළත් මල්වලට පාට දෙනකොට නම් ටිකක් කලබලයි. එක්කෙනෙකුට රෝස මලකට රතු පාට දෙන්න ඕ‍නෙ වෙනකොට තව කෙනෙකුට ඒකට කහ පාට දෙන්න ඕනෙ වෙනවා. මේකට වාද කරද්දි ඒ ගොල්ලන්ගෙ සළුවල තියෙන මුතු ඇට සර සර ගාලා මල් පෙති උඩට වැටෙනවා. උදේට මල් පෙති උඩ පිනි වැටිලා කියන්නෙ එහෙම වැටෙන මුතු ඇටවලට තමයි.


මේ සුරංගනාවියො හඳයි හා හාමි යි එක්ක බොහොම යාළුයි. එයාලා එකතුවෙලා පාන්දර වෙනකම් හිනාවෙන සෙල්ලම කරනවා. නැත්නම් සින්දු කියනවා. සතුටින් ඉන්න කොට හ‍ඳෙන් රැස් විහිදෙනවා. ඒ රැස් බොහොම සෞම්‍ය යි. ඉතින් උදේ වෙන්න කලින් සුරංගනාවියො අහසේ තියෙන ඒගොල්ලන්ගෙ විමානෙට යනවා. යන ගමන් එයාලට ගිනි භටයො එක්ක සෙල්ලමට යන ඉර මුණ ගැහෙනවා. දෙගොල්ලො ආයුබෝවන් කියලා ඔළුව නමලා ආචාර කරලා තම තමන්ගේ වැඩවලට යනවා.

හඳ යි හා හාමි යි මායා කන්ද පාමුළ ගෙදරට ගිහින් කිරි කාලා මී පැණි බීලා නිදාගන්නවා. සමහර දාට හඳ වැඩිපුර මී පැනී බීලා වහලෙන් සූකිරිත් කඩාගෙන කාලා මත්වෙලා කම්මැලියෙක් වගේ දවසක් ම එක දිගට නිදියනවා. එදාට රැස් විහිදෙන්නෙ නැති නිසා මුළු රෑම කළුවර වෙනවා. හා හාමිට කම්මැලියි හඳ නිදා ගත්තම. එතකොට හා හාමි කරන්නෙ කකුලෙන් ඇදලා ඇදලා පහුවදාට හරි හඳ ඇහැරවගන්න එක. ඒ වගේ දවසට හඳ කන්ද නගින්නෙ නිදිමතේ. ඉතිං එදාට හඳ එළියත් අඩුයි. ඒ වුනාට හැමදාම එහෙම වෙන්නෙ නෑ. ඉඳහිට තමයි හඳ නිදිමතයෙක් වෙන්නෙ. ඔහොම තමයි කාලය ගතවෙලා ගියේ දවසක් එකපාරට ම හැමදේම වෙනස් වෙනකම්.

එක දවසක් පාන්දර ලෝකෙට එළිය බෙදලා කන්ද දිගේ සෙල්ලමට රෝල් වෙවී ඇවිත් හඳ යි හා හාමි යි හොඳට ම නිදාගෙන හිටියා. ඔන්න එතකොට ආවා මහා කුණාටුවක්. ඒ කුණාටුවට ගස්වැල් බයවෙලා කෙඳිරි ගෑවා. මී පැණි ගඟ ගල් වුණා. හඳ ට අයිති සූකිරි ගෙදර බිත්ති දෙදරුවා. හා හාමි උඩ ගිහින් බිම වැටිලා කකුල් තුවාල කර ගත්තා. හඳ කළබල වෙලා එළියට පැනලා බැලුවා. ඔන්න බලද්දි ගේ ළඟ උසට උසේ හිටගෙන ඉන්නවා වස නපුරු පාට මිනිහෙක්. මිනිහෙක් කිව්වට ඇස් රතුම රතුයි. නියපොතු දිගයි. නියපොතු රැවුලෙ පැටලිලා. අතේ ගිනි ගන්න හිස් කබලක්.

"නුඹ කවුද? නුඹ මොකද මගේ නින්ද කැඩුවෙ?"

හඳ බයවෙලා ඇහුවා.

"මම? අපොයි! නුඹ මාව දන්නෙ නැතිද? මම තමයි මේ කන්ද අයිති මායාකාරයා. මම අවුරුදු ලක්ෂයක් නිදාගෙන ඉඳලා අදයි ඇහැරුණේ."
"නුඹට මොනවද ඕනෙ?" හඳ ඇහුවා.

"හහ් හහ් හා..." මායාකාරයා හිනාවෙනකොට පොළව දෙදරුවා.

"මට හරි බඩගිනියි. මම මේ පොළවෙ මිනිස්සු ඔක්කොම කාලා දාන්නයි යන්නෙ. අවුරුදු ලක්ෂයක් මම හිටියෙ බඩගින්නෙ. මටයි මේ කන්ද අයිති. වහාම පිටවෙයං. නැත්නම් මම නුඹවත් කාලා දානවා."

"නුඹට අයිතියක් නෑ මිනිස්සුන්ව කන්න." හඳ බය සඟවගෙන නිර්භීත වෙලා කිව්වා.

"හහ්! නුඹ මොනව කරන්නද මට? බලාපන් මම නුඹට කරන දේ" මායාකාරයා ගෙරෙව්වා.

හඳ යි මායාකාරය යි මෙහෙම වාද විවාද කරන අතරෙ හා හාමි බැරි බැරි ගානෙ කන්ද නැග ගත්තා. දවල් වෙලාව නිසා සුරංගනාවියො නෑ කන්ද මුදුනෙ. හා හාමි අහසටයි පොළවටයි ඇහෙන්න කෑ ගැහුවා. මේ සද්දෙ ඇහුණු ඉරට අයිති ගිනි භටයො සුරංගනාවියන්ට පණිවුඩය කිව්වා. සුරංගනාවියො සුරංගනා විමානෙන් එළියට ඇවිත් පියාඹලා හා හාමි ළඟට ආවා. හා හාමි බොහොම කළබලෙන් මායාකාරයා ගැන කිව්වා. මොකද හා හාමිට යි හඳට යි ඉන්න හොඳම යාළුවො තමයි සුරංගනාවියො. ඒගොල්ලො වාද නොකර කල්පනා කරල නුවණැති තීරණයක් ගත්තා.

"අපි මේක ඉරට කියමු.. එයා තමයි දවල් කාලෙට ඉන්න බලවත් ම කෙනා"

ඉතිං සුරංගනාවියො හති දාන්නෙ නැතිව ගිහින් ඉරට මේ විස්තරය කියලා උදව් ඉල්ලුවා. ඒගොල්ලො හති දැම්මෙ නෑ.. මොකද ඒගොල්ලො සුරංගනාවියොනෙ. ඉර ඉතිං සෙල්ලමට කැමති යි. ඒ වගේම බොහොම කරුණාවන්තයි. ඉර කැමති වුණා මායා කන්ද පාමුලට ඇවිත් හඳ යි මිනිස්සුන්ව යි බේර ගන්න.


ඊට පස්සෙ වුණ දේවල් හරියට සුරංගනා කතාවක් වගේ. ඉර එයාගෙ ගිනි භටයො එක්ක ඇවිත් ගිනි අවුළුවලා මායාකාරයව පන්නලා දාලා පොළවෙ උදවියව බේර ගත්තා. මායාකාරයට ආයෙත් කන්ද ඇතුළට ගිහින් නිදා ගන්න බැරි වෙන්න මායා කන්ද ඇතුළින් ගිනි ගන්න කන්දක් කළා. මිනිස්සු ඊට පස්සෙ ඒකට ගිනි කන්ද කියල නම දැම්මා. ඒකෙන් වුණේ මිනිස්සු බේරුණාට හඳට එයාගෙ මී පැණි ගඟ ළඟ සූකිරි ගෙදර නැති වුණ එකයි. ඉරට බොහොම කණගාටු යි. ඉර කල්පනාකරලා නළලට තට්ටු කරගෙන බැරෑරුම් විදිහට මෙහෙම කිව්වා.
"හඳ, නුඹ වරෙන් මගේ විමානෙට... ඒක බොහොම විසාලයි. නුඹට ඉඩ ඇති. ඇරත් අපි දෙන්නම කරන්නෙ ලෝකෙට එළිය දෙන එකනෙ. "

හඳ මුලින් අකමැති වෙලා පස්සෙ කැමති වුණා. හැබැයි ඒ හා හාමිටත් හඳ එක්ක ඉන්න දෙන පොරොන්දුව පිට. ඔන්න ඔහොමයි හඳ අහසට ගියේ.

එදායින් පස්සේ ඉක්මණින් පොළවෙ වැඩ ඉවර කරපු සුරංගනාවියෝ ආයෙත් අහසට නැගලා හඳයි හා හාමියි එක්ක සෙල්ලම් කරනවා. ඒ වුණාට ඒගොල්ලො තාමත් "ලස්සනම අත්තටු තියෙන්නෙ කාටද" වගේ දේවල්වලට වාද වෙනවා. එතකොට එයාලගෙ සළු වලින් වැටෙන මුතු කැට අහස පුරා විසිරෙනවා. ඒවට කියන්නෙ තරු කියලා. ඉරයි හඳයි නම් බොහොම සමගියෙන් තමයි අහස් විමානේ ඉන්නෙ. එදා තුවාල වුණ නිසා අහසට ගියාට පස්සෙ

අහස තියෙන්නෙ උඩ නිසා හා හාමි නම් ඉන්නෙ ම හඳ තුරුළට වෙලා. මොකද එයා එදා මායාකාරයා ආපු දවසේ ‘උඩ ගිහින් බිම වැටිලා’ බය වුණානෙ. නමුත් හඳ රැස් නම් දැන් ඉස්සරටත් වඩා සෞම්‍යයි. හඳ ඉන්නෙ සතුටින්. ඒ වුණාට හිටපු ගමන් සුරංගනාවන්ගෙන් මී පැණි ඉල්ලන් බීලා නිදිමතයෙක් වෙනවා. මිනිස්සු එදාට කියන්නෙ අමාවක රෑ කියලා.

මේව ගැන මිනිස්සු ගොඩක් කවි කතන්දර ලිව්වා. අදටත් ඒවා පොත්වල ලියලා රත්තරන් පාට පීත්ත පටිවලින් බැඳලා ඒ රටේ පරිස්සමට තියෙනවා. ඒ සිද්ධිය පරම්පරාවෙන් පරම්පරාවට මිනිස්සු තමන්ගෙ ළමයින්ට, ළමයින්ගෙ ළමයින්ට කියල දෙනවා.

චිත්‍ර ඇන්දේ- නම නොදන්න සුරංගනාවි

වසිලිස්සා



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
| | edit post


දුර ඈතක සිට පියාඹා පැමිණි පාත්තයන් රංචුවක්, මුහුදු වෙරළක විවේකී සුවයෙන් එහාට මෙහාට පැන පැන උන් කපුටෙක් අසලින් වැසුවා.

පාත්ත රෑන දෙස පිළිකුලෙන් බැලූ කපුටා: "කොයිතරම් අවිනීත තාලයකට ද ඔයාලා පියාඹන්නේ"යි උන්ට පැවසුවා. "ඔයාලා දන්නෙ අත්තටු වනන්න විතරයි. අනේ! හැබෑට ඔයාලාට හරි විදිහට පියාඹන්න තේරෙන්නෙම නැද්ද? අඩුම ගානේ උඩු ගුවනේ කරණමක් ගහන්නවත් ඔයාලට පුළුවන්ද?" පාත්ත රංචුවට එකම පිළිතුරක්වත් දෙන්නට ඉඩ නොතියපු කපුටා නැවතත්, "ඔයාලා ඉතින් කොහොම කරණම් ගහන්නද.... ඒ දේවල් ඔයාලගෙ හැකියාවට වඩා ගොඩක් ඈතින් තියෙන අමාරු වැඩ නේ...." යි, කියමින් නොහොබිනා ලෙස සිනාසුණා.

කිසිත් නොකියා නිහඬව සිටි පාත්ත රංචුවගේ ඉවසිල්ල දරා ගත නොහැකි වූ කපුටා ඊළඟට කළේ පාත්ත රංචුවට පියාඹන තරඟයකට ඇරයුම් කරපු එකයි. "පියාඹනවා කියන වචනෙ හරි තේරුම මම ඔයාලට එතකොට පෙන්නන්නම්කෝ.." යි කීව කපුටා, මහ හයියෙන් නැවතත් හිනා වුණා.

පාත්ත රංචුවේ උන් හැඩි දැඩි තරුණ පාත්තයෙක් කපුටගෙ ඇරයුම පිළිගත්තා. එසැනින්ම කපුටා හැමෝටම තමන්ගේ ශූරභාවය පෙන්වන්නට උඩු ගුවනේ දස්කම් විස්කම් විදහා පාන්නට පටන් ගත්තා. ඈත අහසේ කාවාකාරව රවුම් කීපයක්ම ගැසූ ඌ හීයක වේගෙයන් පහළට පියාඹගෙන ආවේ, අති විශිෂ්ට ජයග‍්‍රහණයක් ලද්දෙකු මෙන් පී‍්‍රතියෙන් මහ හඬක් ද නගමිනි.

ඊළඟට තිබුණේ තරුණ පාත්තයාගේ වාරයයි. උඩු ගුවනට පියෑඹූ පාත්තයා ඉන් පසු මුහුද හරහා පියඹන්නට පටන් ගත්තා. පාත්තයා පියාඹනාකාරය ගැන පහත් සරදම් කතා මවමින් කපුටාත් ඌ පසුපසින් පියාඹන්නට වූවා. කතාවෙන් කතාව කපුටාත් පාත්තයාත් ගොඩබිම නොපෙනෙන දුරටම මුහුද හරහා පියෑඹුවා. සුළඟත් සමග ඝන මුහුදු රැළි හැම පැත්තෙන්ම නැගෙන්නට වූණා. එන්න එන්නම කපුටගේ අහංකාර කතා අඩුවෙන්නට පටන් ගත්තා.

තවත් ටික දුරක් පියාඹන විට කපුටගේ සෝබන කතා නෑසෙන්නටම වූ නිසා, පාත්තයා පසුපස හැරී කපුටා දෙස බැලුවා. එවිට පාත්තයා දුටුවේ මහන්සිය නිසා ඉතා අමාරුවෙන් මුහුදු වතුරේ ගෑවී නොගෑවී, කපුටා පියාඹන ආකාරයයි. මුහුදට නොවැටී ඉන්නට සිය අත්තටු වාතයේ අසීරුවෙන් හසුරුවමින් සටනක යෙදෙන කපුටගෙ වෙනස නොතේරුණා සේ පාත්තයා ඌට කතා කළා.

"සහෝදරයා.... මොකෝ ඔය වතුරෙ ගෑවි ගෑවී පියාඹන්නේ? ඒ තවත් පියාඹන්න හොඳ දක්ෂ ක‍්‍රමයක්ද....?" යැයි, උගෙන් ඇසුවා.

"නෑ...." පියාඹා හෙම්බත්ව උන් කපුටා අසීරුවෙන් කීවා. "මගේ පුරසාරම් කතා වලට ලැබුණ දඬුවමක් මේ.... මට උදව් කරන්න ඔයා දැන් නාවොත්, මට වෙන්නෙ දියේ ගිලිලා මැරෙන්නයි.."

කපුටා ගැන දුක සිතුණ පාත්තයා ඌව සිය උරහිස මත තබාගෙන ආපසු ගොඩබිම දක්වා පියාසර කෙරුවා.

[ජන කතාවක් ඇසුරෙන්]
පරිවර්තනය - මුතු පබා



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
| | edit post


"...අට පහ නොදන්නා ජඩයෙකි මේක කළේ
ගෙදර යන්ඩ දෙනවද මගෙ පුංචි කළේ..."


1. මේ සම්පූර්ණ කවිය දන්නවා ද?
2. මේ කවිය කීවේ කවුදැයි දන්නවා ද?
3. කවියේ කියවෙන "අට පහ" මොනවා ද?
4. අන්තිමට බැලුවාම, කළය හංගලා විහිළුවක් කරලා තියෙන්නේ කවුද?




මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
| | edit post
Related Posts with Thumbnails