ගොඩක් පොහොසත්, එ් වුණාට ආදරයෙන්, එකමුතුව ජීවත් වුණ මී පවුලක් හිටියා. මේ පවුලෙ එකම මී දියණිය හොඳ ගති ගුණවලින් ගොඩක් පොහොසත්. එ්ක නිසා මී අම්මයි, මී තාත්තයි එයාලගෙ එකම දියණිය ගැන ගොඩක් ආඩම්බර වෙනවා.

දවසක් මී තාත්තා, මී අම්මට කීවා, "අපිට ඕනේ අපේ දුව මේ ලෝකෙ ඉන්න හොඳම කෙනා එක්ක අතිනත ගන්නවා දකින්න නෙමෙයිද?"

මී අම්මා උත්තර දුන්නා, "හොඳම කෙනා එහෙනම් ඉර වෙන්න ඕනෑ. ඉර අහසෙ මුදුනෙ ඉඳන් මුළු ලෝකෙම එළිය කරනවා.."

ඉතින් දවසක් මී අම්මයි, මී තාත්තයි ඉර මුණගැහෙන්න ගියා.

"ඉර, අපි ආවෙ වැදගත් දෙයක් ඔයා එක්ක කතා කරන්න. ඔයාට පුළුවන්ද අපිට ටිකක් ඇහුම්කන් දෙන්න.. මේ ලෝකෙ ඉන්න හොඳම පුද්ගලයා ඔයයි. ඔයා කැමතිද අපේ දුව එක්ක විවාහ වෙන්න. අපේ දුව ගුණ යහපත්කම් වලින් පිරිපුන් අවංක කෙනෙක්. අපිට ඕනෙ එයාට මේ ලෝකෙ ඉන්න හොඳම මනමාලයාව හොයල දෙන්න.."



ඉර උත්තර දුන්නා. "හ්ම්..... මේ ලෝකෙ ඉන්න හොඳම කෙනා මම නෙමෙයි. එ් තමා වලාකුළ. මම කොච්චර මහන්සි වෙලා මුළු ලෝකෙම එළිය කරත් වැඩක් නෑ. වලාකුළක් ආව ගමන් මාව ඉබේටම හැංඟනවා.."

ඉරෙන් වෙන්වුණ මී අම්මයි, මී තාත්තයි වලාකුළ හම්බෙන්න යන්න පිටත් වුණා.



"වලාකුළ, අපිට දැනගන්න ලැබුණා මේ ලෝකෙ ඉන්න හොඳම පුද්ගලයා ඔයා කියලා.. එ්කයි අපි ආවෙ ඔයාගෙන් අහන්න, අපේ එකම දුවව මනමාලියක් විදිහට බාරගන්න කැමතිද කියලා.."

"අනේ නෑ.. ! මම නෙමෙයි මේ ලෝකෙ ඉන්න හොඳම කෙනා.." වලාකුළ උත්තර දුන්නා. "මේ ලෝකෙ ඉන්න හොඳම කෙනා තමා සුළඟ.. මට පුළුවන් මුළු අහසම වසාගෙන පැතිරෙන්න. එ්ත් පුංචි හරි හුළඟක් හැමුවොත් මගෙ සලකුණක්වත් ඉතුරු නොවී මාව ඈතටම ගහගෙන යනවා.."

වලාකුළෙන් සමුගත්ත මී අම්මයි, මී තාත්තයි ඊළඟට ගියා සුළඟ හම්බවෙන්න.

"සුළඟ. අපිට ආරංචි වුණා මේ ලෝකෙ ඉන්න හොඳම කෙනා ඔයා කියලා. ඔයා කැමතිද අපේ එකම දියණියගෙ අත ගන්න.. ?"

"බොහොම ස්තූතියි, ඔයාලගේ කාරුණික ඉල්ලීමට.." සුළඟ උත්තර දුන්නා. "ඒත් මට වඩා හොඳ කෙනෙක් මේ ලෝකෙ ඉන්නවනෙ.."



"කවුද එ්?" මී අම්මයි, මී තාත්තයි ඇහුවා.

"එ් තමයි බිත්තිය. මම කොච්චර වේගෙන් හැමුවත් මට බෑනෙ එයාව විනාශ කරන්න.."

මී අම්මයි, මී තාත්තයි බිත්තිය හම්බවෙන්න ගියා.

"බිත්තිය කරුණාකරලා අපේ දියණිය ඔයාගෙ මනමාලි විදිහට බාරගන්න.. අපිට ඕනෙ අපේ එකම දියණිය මේ ලෝකෙ ඉන්න හොඳම කෙනා එක්ක විවාහ වෙලා සන්තෝසෙන් ඉන්නවා දකින්න.."

"අනේ! අනේ! මී අම්මෙ.. මී තාත්තෙ.. ඔය දෙන්නට ගොඩක් වැරදිලා.." බිත්තිය උත්තර දුන්නා. "මේ බලන්න මං දිහා.. ඔයාලා එකමුතුවෙලා කරන වැඩ නිසා මාව හිල් වලින් පිරිලා.. මේ ලෝකෙ ඉන්න හොඳම අය මීයො වෙන්න ඕනෙ"



"ඇත්තටම ඔය දේ මීට කලින් අපිට හිතුනෙ නෑනේ.."

බිත්තියෙන් සමුගත්ත මී අම්මයි, මී තාත්තයි යන්න ගියෙ සිනාසෙමින්.

"බලන් යද්දි මේ ලෝකෙ ඉන්න හොඳම අය අපිනෙ. අපි අපේ දුවව එහා ගෙදර මී පුතාට යෝජනා කරමු.. දෙන්නට දෙන්න කැමති වුණොත් එයාලා ජීවිත කාලෙටම සන්තෝසෙන් ඉඳීවි..."

ටික දවසකට පස්සෙ මී මනමාලියි, මී මනමාලයයි විවාහ වුණා. දවස් තුනක් තිබ්බ විවාහ උත්සවයෙන් පස්සෙ අලුත් ජෝඩුව අලුත් ගෙදරකට ගිහිල්ලා ගොඩක් සන්තෝසෙන් කල් ගෙව්වා.

[ජපන් ජන කතාවක් ඇසුරිනි.]
පරිවර්තනය - මුතු පබා



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
| | edit post


නිදියන්න නිදියන්න රන් පුතේ
නොහඬා නිදියන්න රන් පුතේ
අර තරු දිලෙන අහස යට
කදෝ පැණි රැඟුම් දැක
සිත් තොසින් නිදියන්න රන් පුතේ

නිදියන්න නිදියන්න රන් පුතේ
නොහඬා නිදියන්න රන් පුතේ
අර අඹ ගහේ අතු මත්තෙ
සුරඟනන් තුන් දෙනෙකි
සිත් තොසින් නිදියන්න රන් පුතේ

නිදියන්න නිදියන්න රන් පුතේ
නොහඬා නිදියන්න රන් පුතේ
සුරඟනුන් තුන් දෙනා නුඹේ සිහිනය වියයි
ඒ මිහිරි ගීතයෙන් වා තලය පිරී යයි
සඳේ එළි වැටි වැටී ඒ රිදී කෙඳි දිලෙයි

නිදියන්න නිදියන්න රන් පුතේ
නොහඬා නිදියන්න රන් පුතේ
අඹ ගහෙන් බිමට බැස
ඒ සිහින එයි නුඹ වෙතට
සිත් තොසින් නිදියන්න රන් පුතේ

(ඩොරති වයිට්ෆීල්ඩ්ගේ "කැරිබියන් සුළඟ" කවි පොතෙනි. සිත්තම- Rio Villegas)

ඩොරති වයිට්ෆීල්ඩ්
පරිවර්තනය - රුවන්මලී



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
| | edit post


එය අලුත් අවුරුදු දාට පෙරදා රැයකි. එය දැඩි ශීතලයද රැඳුණු දවසක් විය. දවස පුරාම හිම වැටෙමින් පැවතුණා. තවමත් හිම පියලි වැටෙමින් තිබුණා. හැම වහලයක්ම වාගේ හිමෙන් වැසී පැවතුණා. ගස්වල අතු හිම වැටී බරට පහතට නැඹුරු වී තිබුණා.

පිටත හිස් වූ වීදියේ එක් දුප්පත් ගිණිකූරු විකුණන කුඩා දැරියක් එහාට මෙහාට ඇවිදිමින් සිටියේ හුඟාක් දුකින්. මුළු දවස පුරාම ඇවිද්දත් එකමෙක ගිණි පෙට්ටියක් වත් ඈට විකුණා ගත නොහැකි වී තිබුණි. ඇයට දැඩි වෙහෙසක් ද දැනුණි. කැඩී ගිය ඇයගේ සෙරෙප්පු කුට්ටම ද නැති වී තිබුණි. ඇය ඇඳ සිටියේ ඉතාම තුනී කඩමාලු රෙද්දකි. ඉතින් අන්තිමට ඇයට ගුලි වී සිටීමට පුලුවන් වන තරමක් වියළි තැනක් දැක ගන්නට ඇයට හැකි වුණා.

බොහෝ ගෙවල ඇතුලත දැල්වෙන පහන් ආලෝකය ඈට පෙනුණා. ඒ ගෙවල් වලින් නික්මෙන රස ආහාර සුවඳත් ඇයට දැනුණා. එක ගිණි කූරක් දල්වන්නට හැකි නම් යයි ඈ සිතුවා. ඉතින් ඈගිනි කූරක් දැල්වූවා. එතකොට ඇය ඒ එළියෙන් දුටුවේ දිලිසෙන තඹ පැහැති ගිනි උඳුනකි. ඇය එයට ළංවුණා. ෂු- හ්... ගිනි දැල්ල නිවී ගියා. ඈ තවත් ගිනි කූරක් දැල් වූවා. මේ ගමන ඒ එළියෙන් ඈ දුටුවේ මහා පුදුමාකාර කෑම වලින් පිරුණු කෑම මේසයක්. එහි තිබුණු කෑම අතර ලස්සනට හැඩ කරන ලද කේක් ගෙඩියකුත් තිබුණා. ප්ලම් ගෙඩි සහ ඉදුණු පළතුරු වර්ගයක් තිබුණා. තව ඉතින් ලස්සනට රෝස් කරපු ආහර පිරවූ කළුකුමෙකුත් තිබුණා.



ඒ රස ආහාර වල රස බලන්නට ඔන්න මෙන්න කියා ටිකක් ඉස්සරහට යනකොටම මොකද වුණේ? ෂු- හ්.... ගිනි දැල්ල නිවී ගියා.

දැල් වූ හුඟාක් ගිනි කූරු වලින් රැය පෙනුනේ හරියටම දීප්තියෙන් යුතු දහවලක් වගෙයි.

ඇයට සිය ආච්ච් අම්මා පෙනුණා. ඇය බොහොම ශාන්ත දාන්තයි. කරුණාවන්තයි. ඒ ආච්චි අම්මා හෙමින් හෙමින් මේ පුංචි දැරිවිය ළඟට ආවා. අන්තිම ගිණි කූර දල්වනවාත් සමගම ආච්චි අම්මා සිය මිනිබිරියට සමීප වී මුදු මොළොක් ලෙස ඇගේ හිස අත ගෑවා.

ඉන්පසු ආච්චි අම්මා මේ ගිනි කුරු විකිණු කුඩා දැරිය තම දෑතින් ඔසවා ගත්තා. දෙන්නට දෙන්න එකිනෙකා තදින් අල්ලාගෙන ඉහළ අහ්ස දෙසට ඇදී ගියා. ආච්චි අම්මයි මිනිබිරියි හිම වැසි අතරින් හුඟාක් දුරට ගමන් කළා. පොළවෙන් හුඟාක් ඉහළට ඇදුනා. දැන්නම් කොහෙත්ම සීතලක් නෑ. බඩගින්නකුත් නෑ. වේදනාවකුත් නෑ. දුකකුත් නෑ.



විශාල නිවසක තාප්පයක් අද්දර ගුලි වී හෙවණක් හොයාගෙන සිටින ගිනි කූරු විකුණන කුඩා දැරියක පසුවදා උදේ නගරයේ මිනිසුන් දුටුවා. පරණ අවුරුද්දේ රැය කාලය ඇය සීතලෙන් පීඩා විඳලා මියගොස් ඇති බව ඒ මිනිස්සු දැන ගත්තා. ඇගේ මුහුණේ සාමකාමී බවකුත් මුදු සිනාවකුත් තිබුණා.

දල්වන ලද ගිණි කූරු ඈ ඉදිරියේ බිම වැටී තිබුණා.

"දුප්පත් අසරණ කෙල්ල" මිනිස්සු කීවා.

"ගිණි කූරු පත්තු කරලා සීතල මග හරවා ගන්න බලන්න ඇති. අනේ මොන තරම් දුකක් විඳින්නට ඇත් ද?"



එහෙත් මෙම කුඩා දැරිය පෙරදා රැයේදී කෙතරම් ලස්සන දේවල් දුටුවද කියනෙක ඒ මිනිස්සුන්ගෙන් කවුරුවත් දැනගෙන හිටියේ නෑ. ඒ වගේම ඇයට තමන්ගේ ආච්චි අම්මා මුණ ගැසී සාමයෙන් ඉන්නට ඉඩ සැලසුන බවත් කිසිවෙකු දැන සිටියේ නෑ.

[හාන්ස් ක්‍රිස්ට්යන් ඇන්ඩර්සන් ගේ 'කෝකිලාව සහ තවත් කතා' ඇසුරිනි. ]

හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන්
පරිවර්තනය - සුනන්ද මහෙන්ද්‍ර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
| | edit post


කිරි ඉද්ද පිපී හිනැහෙන හැටි බලන්න එන්න
නා දල්ල දිගේ බේරෙන පිනිකැට අහුලන්න
සියපතක දිලෙන මුදු ගුණ දෑසක තවරන්න
මගෙ පුංචි දුවේ ගහ කොළ දියවැල් ය බලන්න

නිල් අහස දිගේ පියඹන සියොතුනි මෙහෙ එන්න
කිරි ගොයම පැසී එක කවියක් කියලා යන්න
මහපොළොව හිඳී නොසැළී නුඹලා සනසන්න
මගෙ පුංචි පුතේ පුන් පෝ දා අහස බලන්න

දයා දියෙන් තෙමෙනා හදවතක් තියෙන්න
ආදරයෙන් සොබා දහම දිහා බලන්න
මගෙ පුංචි දරුවනේ වසවිස ගැනත් හිතන්න
ගන අඳුරු රැයට පහණක් සේ රැස් විහිදන්න

පුංචි ලොවක පුංචි එවුන් වගේම ඉන්න
කුරුළු පැටවුනේ පියඹා ලෝකෙ දකින්න
අකුර අකුර එකතු කරලා නැණස වඩන්න
සොඳුරු ලොවක් තැනුමට නම් නුඹලට ඉන්න

නිල් මැණික පරද්දන එළියකි දැනුම කියන්නේ
ඒ එළියෙනි මිනිසත්කම පාට වැටෙන්නේ
කිරි හිනාවකින් කලතා ලෝකෙට කියපන්නේ
ඔය ආදරයයි සියල්ලටම වඩා වටින්නේ

තුෂාරි ප්‍රියංගිකා



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
| | edit post


සෑම කෙනෙකුටම අසුනක් ලබාදීම, කොළඹ ජාත්‍යන්තර සිනමා උළෙලේ පොරොන්දුවයි. එම පො‍රොන්දුව ඉටුකරමින් පවුලේ සැමට රසවිඳිය හැකි අපූර්ව ළමා චිත්‍රපට පෙළක් සිනමා උළෙලේ දී තිරගත වීමට නියමිතයි.

2014, සැප්තැම්බර් 03 සිට 07 දක්වා සෑම දිනකම, කොළඹ 02, රීගල් සිනමා ශාලාවේ දී හා බෞද්ධාලෝක මාවතේ ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේ දී පෙ.ව. 10.00 ට, මෙම ජාත්‍යන්තර ගෞරවාදරයට පත් ළමා චිත්‍රපට පෙළ තිරගත කෙරෙනු ඇත.

2013 වසරේ මොන්ට්‍රියල් ජාත්‍යන්තර ළමා චිත්‍රපට උළෙලේ, ළමා ජූරි සම්මානය දිනාගත්, Clara and the secret out the Bears (2013), බර්ලින් ජාත්‍යන්තර සිනමා ‍උළෙලේ දී, Crystal Bear සම්මානය දිනාගත් ඉන්දියානු චිත්‍රපට අධ්‍යක්ෂක Avinash Arunගේ Killa (2014) වැනි ජාත්‍යන්තර සම්මානලාභී ළමා චිත්‍රපට, කොළඹ ජාත්‍යන්තර සිනමා උළෙලේ දී තිරගත වන මෙම ළමා චිත්‍රපට පෙළට ඇතුළත් වනු ඇත. එමෙන්ම චිත්‍රපට අධ්‍යක්ෂක Avinash Arun ද ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන්ට සිය චිත්‍රපටය ඉදිරිපත් කිරීම සඳහා කොළඹ සිනමා උළෙලට පැමිණෙයි.

ඔවුන්ගේ තාල විරහිත සංගීතය හේතුවෙන් ගමෙන් පළවා හරින ගායකයෙකු හා වාදකයෙකු ගැන කියැවෙන කතා පුවතක් අඩංගු අපූර්ව සහගත සජීවීකරණ (කාටුන්) චිත්‍රපටයක් වන Shilpa Ranade ගේ Goopi Gawaiya Bagha Bajaiya (2013) මෙන්ම අළුත් උපන් බිළිඳෙකුගේ වික්‍රමයන් ඇතුළත් ප්‍රංශ සජීවිකරණ චිත්‍රපටයක් වන Kirikou et les homes les femmes(2013) චිත්‍රපටය ද මෙම ළමා චිත්‍රපට මාලාවට අයත් ය.

සැප්තැම්බර් 3 – 7 දිනවලදී කොළඹ සිනමා උළෙල 2014 ට සහභාගී වී ඔබගේ පවුලේ අය සහ මිතුරන් සමඟ මෙම අපූර්ව සහගත චිත්‍රපට අත්දැකීම විඳගන්නා ලෙස කොළඹ සිනමා උළෙල ඔබට ඇරයුම් කර සිටී. මේ සඳහා නොමිලේ නිකුත් කරනු ලබන ප්‍රවේශපත්‍ර ජාතික චිත්‍රපට සංස්ථාවෙන් හෝ නිදහස් චතුරශ්‍රයේ, ශ්‍රී ලංකා පදනම් ආයතනයේ, කාමර අංක 12, පිහිටි කාර්යාලයෙන් ලබාගත හැක. කොළඹ සිනමා උළෙල 2014 දී තිරගත වන ළමා චිත්‍රපට හා අනෙකුත් චිත්‍රපට පිළිබඳ වැඩිදුර විස්තර ලබාගැනිම සඳහා www.iffcolombo.com වෙබ් අඩවියට පිවිසෙන්න.

මෙම ළමා චිත්‍රපට මාලාව වැඩි විස්තර සහිතව පහත දැක්වේ.

1. Comme Un Lion [Little Lion]





නිෂ්පාදිත රට- ප්‍රංශය
නිෂ්පාදිත වර්ෂය- 2012
ධාවන කාලය- විනාඩි 101
අධ්‍යක්ෂණය- Samuel Collardey

කථා සාරාංශය- පහළොස් වියැති මිත්‍රි, සෙනගල් ගම්මානයක පදිංචිකරුවෙකි. සම වයසේ අනෙකුත් සියළු පිරිමි දරුවන් මෙන් පාපන්දු ක්‍රීඩා කරන ඔහු Barca සහ Chelsea පාපන්දු කණ්ඩායම් ගැන සිහින මවයි. තේරීම් නිලධාරීන් විසින් ඔහුව ඉවත් කරන විට පවා ඔහු ගේ සිහිනය වනුයේ කෙදිනක හෝ ඔහුට අවස්ථාව ලැබෙන බවයි. නමුත් බලවත් යුරෝපීය පාපන්දු සමාජවල අවධානයට ලක්වීමට නම් යමෙක් විසින් ගෙවීමක් කළ යුතුය.

සිහිනය සැබෑ කර ගැනීම සඳහා ඔහුගේ පවුලට ණය වීමට සිදු වේ. එහෙත් පැරිසියේ දී සියල්ල බිඳ වැටේ. අතේ කිසිදු මුදලක් නැතිව, නැවත හැරී සිය ගමට යෑමේ දී විඳින්නට වන නින්දාව සිහිපත්වන මිත්‍රි ට තමා අතරමං වූ බවක් දැනේ. දිගු ගමනක් සඳහා අවශ්‍ය උපාය කෞෂල්‍යය ඔහු තුළින් මතු වන නමුත් ඔහුගේ පාපන්දු සිහිනය ඔහු සමඟ පෙරට යනු ඇත.

හිමි වූ සම්මාන/ගෞරව- හොඳම චිත්‍රපටය සඳහා Heike Hurst සම්මානය සඳහා නිර්දේශ වීම, Lumiere සම්මානය, ප්‍රංශය 2014


2. Clara Und das Geheimnis der Bären [CLARA AND THE SECRET OF THE BEARS]





නිෂ්පාදිත රට- ස්විට්සර්ලන්තය
නිෂ්පාදිත වර්ෂය- 2013
ධාවන කාලය- විනාඩි 90
අධ්‍යක්ෂණය- Tobias Ineichen

කථා සාරාංශය- දහතුන් වියැති ක්ලාරා සිය මව හා කුඩම්මා සමඟ ස්විට්සර්ලන්තයේ ඇල්ප්ස් හි කඳුකර ගොවිපලක ජීවත් වේ. ක්ලාරාගේ දැඩි සංවේදී බව හා සොබා දහම සමඟ තිබෙන්නා වූ දැඩි බැඳියාව හේතුවෙන් අන් අයට නොපෙනන හා නොදකින දේ ඇයට සංජානනය වේ. එක් දිනෙක තණ පිට්ටණියේ දී කුඩා වලහෙක් සොයා ගැනීමත් ඉන් අනතුරුව වසර 200 කට පෙර එම කඳුකර ගොවිපලේ විසූ සුසානා නමැති දැරිය මුණගැසීමත් සමඟ ක්‍ලාරාගේ ලෝකය උඩු යටිකුරු වේ. මෙම කඳුකර ගොවිපලට හා ඇගේ පවුලට ශාපයක් ඇති බවත් එයට මෙම කුඩා වලහා ගේ සම්බන්ධයක් ඇති බවත් ක්ලාරාට වැටහේ. ඇගේ දෙමාපියන් ඇයව විශ්වාස නොකරයි. ක්ලාරාට විශ්වාසය තැබිය හැකි වන්නේ අසල්වැසි ගමේ තරුණ මධ්‍යස්ථානයේ තාවකාලික පදිංචිකරුවකු වන 12 වියැති තෝමස් කෙරෙහි පමණි. අතීතයෙන් පැමිණි සුසානා හා වත්මනේ තෝමස් සමඟ එක්ව මිනිසා හා සොබාදහම අතර සමබරතාව ප්‍රතිෂ්ඨාපනය කරන්නට ක්ලාරා සමත් වේ.


3. Kirikou et les homes et les femmes [Kirikou and the Men and Women]





නිෂ්පාදිත රට- ප්‍රංශය
වර්ගය- සජීවීකරණ
නිෂ්පාදිත වර්ෂය- 2012
ධාවන කාලය- විනාඩි 88
අධ්‍යක්ෂණය- Michel Ocelot

කථා සාරාංශය- විශේෂ වීරයන්ගේ වික්‍රමයන්ගෙන් යුතු සජීවීකරණ චිත්‍රපටයක් නොවුව ද දඟකාර සහ වික්‍රමාන්විත Kirikou and the Men and Women සිත් වසඟ කරවන චිත්‍රපටය කි. Kirikou විසින් ධෛර්ය හා කෞෂල්‍යය පිළිබඳ සෙනගල් උපමා කතා 5 ක් පවසන අතර කුරුස යුද්ධ අතරතුර ස්වාභාවික හා අද්භූත විරුද්ධවාදින්ගෙන් ඔහුගේ ගම ආරක්ෂා කර දීම, Kirikou විසින් ප්‍රඥාවන්ත දෘෂ්ටාන්තයක් ලෙසින් ගසක සඟවාගත් වයස්ගත පුද්ගල‍යකු සිඟාලයකුගෙන් බේරා ගැනීම, සිය නිවස ගිනි තැබූ නපුරු මායාකාරයකු වෙතින් පළිගන්නා කාන්තාවක්, ජීවිත වෙනස් කරන Blue Monster මුදාගැනීම මෙම කතාවන්ට ඇතුළත් ය.


4. Goopy Gawaiya Bagha Bajaiya [The World of Goopi and Bagha]





නිෂ්පාදිත රට- ඉන්දියාව
වර්ගය- සජීවීකරණ (කාටුන්)
නිෂ්පාදිත වර්ෂය- 2013
ධාවන කාලය- විනාඩි 78
අධ්‍යක්ෂණය- ShilpaRanade

කථා සාරාංශය- ගෝපි නම් ගායකයාත් භාග්හා නම් ගායකයාත් ඔවුන්ගේ ගමෙන් පිටමං කරනුයේ ඔවුන්ගේ ප්‍රජාවට තවදුරටත් ඔවුන්ගේ තාල විරහිත සංගීතය උසුලාගත නොහැකි වීම හේතුවෙනි. ඔවුන් දෙදෙනා වනයට පිවිසෙනුයේ එහි සිට එක්ව සංගිතය වැයීමට අදහස් කරගනිමිනි. ඔවුන්ගේ සංගීතයෙන් උදම් වූ වනයේ වෙසෙන භූතයෙක් ඔවුන්ට වර 4 ක් ලබා දෙයි. ගෝපි සහ භාග්හා ඔවුන්ගේ සංගිතය අගයනු ලැබීමටත්, ඔවුන් ඉල්ලු විට ආහාර ලැබීමටත්, ඔවුන්ගේ අභිමතය පරිදි ඕනෑම වේලාවක ඕනෑම තැනක සංචාරය කිරීමේ හැකියාව ලැබීමටත් ඉල්ලා සිටියි. හතරවෙනි වරය අනාගතයේ විය හැකි හදිසි අවශ්‍යතාවයක් සඳහා ඉතිරි කර ගනී. ඔවුන් සරණ පතා Shundi රාජ්‍යයට පිවිසෙනුයේ එහි රජතුමා සිය නිවුන් සහෝදරයාගේ එනම් Shundi රජතුමාගේ ප්‍රහාරයට ලක්වීමට ආසන්න බවට අනතුරු ඇඟවීමක් ලැබී ඇති අවස්ථාවකය. ගෝපි සහ භාග්හා Shundi රජතුමාට උපකාර කරනුයේ සිය සංගීත කුසලතාවයේ බලය මගින් යුද්ධය වැළැක්වීමෙනි.


5. Killa | කිල්ලා [The Fort]



නිෂ්පාදිත රට- ඉන්දියාව
නිෂ්පාදිත වර්ෂය- 2014
ධාවන කාලය- විනාඩි 107
අධ්‍යක්ෂණය- AvinashaArun

කථා සාරාංශය- සිය පියාගේ මරණය හේතුවෙන් සංක්‍රමණය වන්නට සිදුවන්නා වූ නව ස්ථානයට අනුගතවීමට අපහසු වන 11 වියැති දරුවෙකු වටා මෙම චිත්‍රපටය ගෙතී ඇත.

හිමි වූ සම්මාන/ගෞරව- 64 වැනි බර්ලින් ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේ දී ළමා චිත්‍රපට සඳහා වන Generation Kplus අංශයේ Crystal සම්මානය.


6. Achtste Groepers Huilen Niet [Cool Kids Don’t Cry]





වර්ගය- ළමුන් සඳහා සජීවීකරණ ක්‍රියාදාම
නිෂ්පාදිත වර්ෂය- 2012
ධාවන කාලය- විනාඩි 96
අධ්‍යක්ෂණය- Dennis Bots

කථා සාරාංශය- Benelux ගේ ප්‍රසිද්ධ ළමා නවකතාවක් ඇසුරින් නිපදවූ චිත්‍රපටයකි. ප්‍රාථමික පාසල් ශිෂ්‍යාවක් වන මුරණ්ඩු Akki සොකර් ක්‍රීඩා ලෝලිනියක් වන අතර අවශ්‍ය විට බලය පෑමට තරම් නිර්භය ය. ඇය බිය වනුයේ ආදරයට පමණි. Akki ලියුකේමියා රෝගයෙන් පෙළෙන බව සෙයාගැනීමත් සමඟම ඇයට ඇගේ ජීවිතය උදෙසා අරගල කිරීමට සිදුවේ. උසස් පාසලේ අග භාගයේ දී ඇගේ ජීවිතය ආදරයට නිරාවරණය වීම වැළැක්වීමට Akkiට නොහැකි වන අතර එය ඇයට ජීවිතට විඳීමට ධෛර්යය සපයයි.


7. වීනා වාදකයා [Fiddlesticks]



නිෂ්පාදිත රට- ජර්මනිය
වර්ගය- සජීවී ක්‍රියාදාම
නිෂ්පාදිත වර්ෂය- 2013
ධාවන කාලය- විනාඩි 82
අධ්‍යක්ෂණය- VeitHelmer

කථා සාරාංශය- "වීනාවාදකයා" කතා පුවත දිගහැරෙන යුරෝපයේ සාමාන්‍ය කුඩා නගරය අවිශේෂිත ප්‍රදේශයක් බැවින් එය සියළු ආකාරයේ වෙළෙඳපල පර්යේෂණ සඳහා නිරන්තරව යොදා ගැනෙයි. මෙහි විපාකය වනුයේ පදිංචිකරුවන්ගේ සාමාන්‍ය වයස අඩුකර තබාගැනීම සඳහා වයස්ගත පුද්ගලයන්ව සාත්තු නිවාසවලට යොමු කිරීමයි. නමුදු මෙම ළමුන් මෙම අධම ක්‍රියාදාමයට විරුද්ධ වන අතර මෙයට විරුද්ධව පියවර ගැනිමට තීරණය කරයි.



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
| | edit post


අඹ ගස් අත්තෙක
පහලට එල්ලෙන
ඔන්චිල්ලාවයි ලොව අසිරිම තැන!

කුරුලෙකු වෙමි මම මොහොතක ඉඳහිට
නිල් අහසට පැන ගයමින් පියඹන
ගුවන් නියමුවෙක් වෙමි මම මොහොතක
අහස් තොටුපළට මග සොයමින් යන

හමන සුළං රැලි හැන්දෑ වරුවල
අඹ තුරු පත් වෙත රහස් කියන කොට
අහසෙන් මතුවෙයි පොඩි නිල් තරු කැට
අඟහරු වෙත යන ගගනගාමියෙක් වෙමි මම එතකොට

අඹ ගස් අත්තෙක
පහලට එල්ලෙන
ඔන්චිල්ලාවයි ලොව අසිරිම තැන!

[-කැරිබියන් සුළඟ කවි පොතෙන්.]

ඩොරති වයිට්ෆීල්ඩ්
පරිවර්තනය - රුවන්මලී



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
| | edit post


ටෙලිපෝනය නද දෙන්නේ
හලෝ කියා නද දෙන්නේ
කව්දෝ මා අමතන්නේ?
අලියා මේ දොඩවන්නේ
කොහොමද දැන් වැඩ කටයුතු?
වැඩි වරදක් නෑ කිව යුතු
කොහේද දැන් ඔබ ඉන්නේ?

ඔටුවල, නුග ගස් තැන්නේ
කොයි හරියෙද?, කොතනද තැන?
හිවල් මාවත අංක තුන
මොනවත් ඔබ හට ඕනද?
සූකිරි කැට තියෙනවාද?
පොඩි එකාට තේ වතුරට?
හිතුණා කැටයක් දෙන්නට



රාත්තලක් දෙකක් ඇද්ද?
අපෝ හොණ්ඩර දෙක තුනක් නැද්ද?
එක කටකට සෑහෙන්නට,
ඒ ඇති මගෙ අලි පැටියට

නැවතත් ටෙලිපෝනය නද දෙන්නා
කිඹුලා ගොත ගසමින් පවසන්නා
යාළුවෙ මට පොඩි පහෙ උදව්වක්
කළහොත් එවනව කදිම තෑග්ගක්

මගේ මහගේටයි දුවටයි ගැළපෙන
ලස්සන සපත්තු ටිකක් එවනවද?



කඩේ තිබුන ඉස්තරම්ම ඒවා
හිය සතියේ මම දුසිමක් එව්වා
සපත්තු දොළහක් දින දෙක තුනකට
ගෙවෙන්නෙ කොහොමද කියා දෙන්න මට

ආ ගිය සතියේ ඔබ එව් ඒවා
හරි සතුටින් අපි ඔක්කොම කෑවා
ආදර මිතුරේ, අප දැන් ඉන්නේ,
සපත්තු කුට්ටම් හීනෙන් දකිමින්

රෑ කෑමට ඒවා බොහොම රහයි
පොඩි එවුනුත් මගෙ හොඳට කැමතියි
රබර් අඩිය ඇති සපත්තු දුසිමක්
එව්වොත් හදනව රස ඇති කෑමක්

අල්ලපු වත්තෙ පොඩි හා පැටියා
මේස් එවන්නැයි ඉල්ලා සිටියා
සත්තු වත්තෙ චිම්පන්සියො දෙන්නා
පොත් දෙකකට ඇණවුම් දුන්නා

බූරු හාමිනේ කත කරනවා,
කන් අඩි පිපිරෙයි කියා හිතෙනවා
යාළුවෙ මොනවට බෙරිහන් දෙනවද
මා බීරෙක් කියලාවත් හිතුවද?

කොච්චර කිව්වත් නෑ තේරෙන්නේ?
බූරු හඩින්මයි දොඩවන්නේ
මූ මූ බූ බූ මා මා බා බා
ටෙලිපෝනය මා ආපසු තිබ්බා



නරි වැල් දෙනියේ ගොහොරු මඩිත්තෙන්
කොක් අප්පුයි මේ කතා කරන්නේ
මැඩියන් කාලා මට ඉස්මුරුත්තෙ
බේතක්වත් නැහැ ගන්නට දන්නේ

වතුර කඩිත්තේ හිටගෙන ඉඳලා
පොඩ්ඩට සීතල සන්නිය හැදිලා
අපි දෙන්නම ලෙඩ ඇඳටම වැටිලා
බෙහෙතක් දෙනවද කරුණා කරලා

ඉබි පිහාටු හතරක් අර ගන්නේ
කිඹුල් කඳුලු ගල ගා ගන්නේ
කෝඳුරු තෙල්ගෙන මුසු කර බොන්නේ
ලෙඩ දුක් එක මොහොතින් දුරු වෙන්නේ

වලස් හාමිනේ, මොකද බය වෙලා
කොටි රාළට හිරි වාතය හැදිලා
මම නම් හිතන්නෙ වැස්සට තෙමිලා
නෑ විදුලි ආඳෙකුගෙ වලිගය වැදිලා



එළි වෙනවා, රෑ වෙනවා, ටෙලිපෝනය නද දෙනවා
හලෝ හලෝ, කව්ද? කව්ද? හැම තිස්සෙම දොඩවනවා
ට්‍රිං, ට්‍රිං, ට්ලිං, ට්ලිං, ටෙලිපෝනය නද දෙනවා
එළි වෙනවා, රෑ වෙනවා, අඩ නින්දෙන් ඇහැරෙනවා
රෑ තිස්සෙම නින්ද නැතිව එළි වෙනතුරු දොඩවනවා
ටෙලිපෝනයෙ සීනු හඞන් මුලු දවසෙම ට්‍රිං, ට්‍රිං,ට්‍රිං, ට්‍රිං,

දවස් තුනක් මේ විදියට ගෙවුනා,
නින්ද නැතිව ඇස් රත් පැහැ ගැනුනා.

[කර්නෙයි චුකොව්ස්කි ගේ ‘ටෙලිපෝනය' නම් කෘතියේ සිංහල අනුවාදය වන ‘අපූරු කතා' කෘතියෙන් උපුටා ගැණුනි.]

කර්නෙයි චුකොව්ස්කි
පරිවර්තනය - ආනන්ද අබේසේකර / දැදිගම වී.රුද්‍රිගු



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
| | edit post


White is pale,
Pale as a cloud,
a cloud without water.

It is quiet
as quiet as a leaf
falling from an empty branch.

White is like a soul
without heart
or a paper with no words.

White is clean
as clean as a wintry lake
Or fresh snow
falling from the sky.

White is the blinding light
that leads you to nowhere.

White covers fear.
White.

සිඳුසර මුණසිංහ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
| | edit post


මල් කියන්නෙ කාට කාට
ළමයින්ටයි පාට පාට….//

පෙළක් ළමුන් සුවඳ ගොඩයි
පෙළක් ළමුන් හරිම හැඩයි….//

පාසල මේ ළමයින්නේ
පොළොව යටයි නොපෙනෙන්නේ….//

තදින් වැස්ස වසින කලේ
මල් පාසල වතුර වලේ….//

වතුර පිරෙන වැහි කාලේ
නිවාඩු දෙයි ඉස්කෝලේ….//

නිවාඩුවට ඇඳුම් ඔපේ
පෙන්වා මල් ළමුන් පිපේ….//

මල් කියන්නෙ කාට කාට
ළමයින්ටයි පාට පාට….//

පෙළක් ළමුන් සුවඳ ගොඩයි
පෙළක් ළමුන් හරිම හැඩයි….//

පාසල මේ ළමයින්නේ
පොළොව යටයි නොපෙනෙන්නේ….//

දැන් මල් පාසල් නිවාඩු
ළඟදී අපටත් නිවාඩු…//

ගායනය/තනුව: නන්දා මාලිනී

සිතුවම : Donald Zolan



පී.බී. අල්විස් පෙරේරා



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
| | edit post


ක්ලෝනීයකරණය කියන වචනය මුලින්ම පාවිච්චි කළේ හර්බට් වෙබර් (Herbert Webber )-විසිවන සියවසේ මුල්භාගයේ දී. පර්යේෂකයො ක්ලෝනීයකරණය කියල හඳුන්වන්නෙ සමාන අනුරුවක් බිහිකළ හැකි ජාන පිටපත් කිරීම හෝ ක්‍රෝමසොමවල එවැනි කොටස් පිටපත් කිරීම යි. මේ ජාන පිටපත්කරණය මඟින් ජානමය වශයෙන් සම්පූර්ණයෙන් ම එකිනෙකාට සමාන සත්ත්වයින් බිහිකළ හැකියි. අනෙක් ක්‍රමය වන නිවුන්කරණය ("Twinning"), එනම් සංසේචනය වූ විගස යුක්තානුවක් බෙදා වෙන්කොට එක සමාන ජානමය ලක්ෂණ දරණ කළල වර්ධනය කිරීමයි. ප්‍රතිඵලය වන්නේ සමාන ජාන ලක්ෂණ දරණ දරුවන් බිහිවීමයි.

ලෝකයේ මුල්ම ජාන පිටපත වන්නේ ස්කොට් ජාතික විද්‍යාඥයින් පිරිසක් විසින් කරන ලද පර්යේෂණවල ප්‍රතිඵලයක් ලෙස 1996 දී බිහිකළ ඩොලී නමැති බැටළු දෙනයි. ඉපදී වසර හයකට පසු මිය ගිය ඩොලී, අභ්‍යවකාශගත වූ ලයිකා බැල්ල තරම් ම, ඇතැම් විට ඊටත් වැඩියෙන් ලෝකයේ අවධානයට පාත්‍ර වූවා.

ක්ෂීරපායී සතුන් ක්ලෝනීකරණය පිළිබඳ මෙසේ උදාහරණ බිහිවෙද්දී මිහිමත විශිෂ්ටම ක්ෂීරපායී සත්ත්වයා වන හෝමෝ සේපියන් සේපියන් හෙවත් මිනිසාගේ පිටපත් නිර්මාණය කිරීම ගැනත් අවධානය යොමුවෙලා. නමුත් මේ ගැන වාද විවාද බොහොම යි.



මාලතී



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
| | edit post


තට්ටු දෙකේ බස් එනකන්
ඉස්කෝලේ යන ළමයින්
රංචු ගැහී පාර දිගට
බලා ඉන්නවා
උඩ තට්ටුවටම නැඟලා
ඉස්සරහින් වාඩි වෙලා
සන්තෝසෙන් හිනා වෙවී
ඉස්කෝලේ යනවා…

තවකල් යනකොට අම්මේ
මේ වගෙ
තට්ටු දහය පහලොව ඇති
බස් ඒවිද අපිට යන්න?

එතකොට අපි
ඒ බස් වල
ඉහලම තට්ටුවට ගිහින්
හඳ හාවා අල්ලන්නට
ආකාසෙට යනවා…

මහගම සේකර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
| | edit post


ඔන්න එකමත් එක රටක ඉබි ගමක් තිබුණා. මේ ඉබි ගමේ ලොකු ගල් ඉබ්බෝ , පුංචි තාරකා ඉබ්බෝ වගේම කිරි ඉබ්බොත් හිටියා. දුර බැහැර ගියොත් ඒගොල්ලන්ට යන්න එන්න බොහොම කාලයක් ගත වෙන නිසා කෑම වතුර හැම දේම අහල පහල තිබුණ තැනක තමයි ඉබි පවුල් ගෙවල් හදා ගත්තෙ. මොකද ඉබි ගමන බොහොම හෙමින් හින්දා. ඒ ගම අයිනෙ තිබුණා ගැඹුරු ළිඳක්. වයසක ඉබි සීයලා ඒකට කිව්වෙ මන්තරකාර ළිඳ කියලා. ඒ ළිඳට ගිය ආය ආපහු එන්නෙ නැතිලු. ඒ නිසා ඒ පැත්තට යන එක කාටත් තහනම්.

හැම ගමක වගේම මේ ගමෙත් පුංචි ඉබි පැටවු බොහොම එකතුයි. යාළු මිතුරුකම් ගොඩයි. ඒ හින්දම දඟ වැඩත් බොහොමයි. ඉබ්බෙක් වුනාම සෑහෙන කාලයක් ඥානවන්තව ජීවත් වෙන්න ඕනෙ. අවුරුදු එකසිය පණහකටත් වැඩියෙන් ජීවත් වෙන අය හින්දා සෑහෙන්න දේවල් ඉගෙන ගන්නත් ඕනෙ. ඒකට තමයි ඉබි ඉස්කෝලෙ තියෙන්නෙ. ඉබි ඉස්කෝලෙ උගන්නන්නෙ අවුරුදු සීයක් විතර වයස ඉබි සීයලා. ඒගොල්ලො ඉබි පැටවුන්ට කෑම හොයා ගන්න හැටි, අනතුරක් අඳුර ගන්න හැටි, අනතුරකින් ගැලවෙන හැටි හෙමින් හෙමින් කියල දෙනවා.



ඉබි ඉස්කෝලෙ යන ඉබි ළමයි අතර හිටිය කුඩා ම ඉබි පැටියා තමයි ටෝටි. ටෝටි හිටපු ගමන් දඟ වැඩ කරනවා. උගන්නන වෙලාවට කටුව ඇතුළට වෙලා කල්පනා කරනවා. ප්‍රශ්නයක් ඇහුවම එක පාරම ඔළුව එළියට දාලා උත්තර දෙනවා. ඔන්න එතකොට අනෙක් ඉබි පැටවුන්ට හිනා යනවා. ඉබි ගුරුතුමා තරහෙන් පොඩි ඉබි කටු උඩට වේවැල් පාර දෙනවා. ඉබි කටු හයිය නිසා රිදෙන්නෙ නැති බව ගුරුතුමා දන්නවා.

ඉස්කෝලෙ ඇරුණම ඉබි පැටවු ගමේ ඇවිදින්න යනවා. ඒත් ඒගොල්ලො වැඩියෙන්ම කැමති රංචු ගැහිලා කතා කර කර තම තමන්ගෙ ඉබි කටු ඔප දමා ගන්න. කටුව තියෙන්නෙ පිට උඩ නිසා කෙනෙකුට තමන්ගෙම කටුව ඔප දමා ගන්න අමාරුයි. ඒ හින්දා කෙනෙක් තවත් කෙනෙකුගෙ කටුව ඔප දමනවා. ඒගොල්ලො කටු ඔප දමද්දි බලන් ඉන්න ලස්සනයි. ඒක වෙන්නෙ මෙහෙමයි. ඔන්න එක ඉබ්බෙකුගෙ පිට උඩ තව කෙනෙක්. එයාගෙ පිට උඩ තවත් කෙනෙක්. මේ විදිහට කටු ඔප දමාගෙන ඉර අව්වට දිළිසෙද්දි වැඩිපුරම දිළිසෙන ඉබි කටුව තෝරන්න ගත්තම මුළු හවස් වරුව ම ගෙවිලා යනවා. මේ හින්දා ඉබි ළමයි හිටියෙ බොහොම සමඟියෙන්.



දවසක් වෙනදා වගේම ඉස්කෝලෙ ඇරිලා ටෝටියි යාළු ඉබි පැටවු රංචුවයි ඇවිදින්න ගියා. මේ යන පාරේ යන්නෙ ඉබි ගමේ අය විතරක් නෙවෙයි. වෙන වෙන අයත් යනවා. පාරෙ හෙවණක නතර වුණ ඉබි පැටවු රෑන කටු ඔප දමන්නයි සෙල්ලම් කරන්නයි පටන් ගත්තා. එක්කෙනක් අනෙක් එක්කෙනාගේ පිට උඩ නැගගෙන පාර පුරා පෙරළි පෙරළි සෙල්ලම් කරනවා. ඔන්න දැන් රෑ බෝ වේගෙන එනවා. ඉර බෝලයක් වගේ ඈත කන්දෙන් නොපෙනී යන්න හදන කොට මී මැසි ගමේ නෑගම් ගිහින් වලස් හාමි කෙනෙක් ගෙදර යන්න පාර දිගේ එනවා. පාර පුරා ඉබි පැටවු පෙරළෙනවා.

වලස් හාමි උගුරෙ රැල් බුරුල් ඇරියා. ලොකු වලස්හාමිලා එකපාරට කතා කරන්නෙ නෑ. ආඩම්බර කමටයි ඉන්න කැමති. මේ බව නො දන්න ටෝටි වලස්හාමිගෙ කකුල් අතරිනුත් රිංගලා පෙරළුණා. වලස්හාමිට තරහා ගියා.



"කමකට නැති ගල් ඉබ්බො" වලස්හාමි හයියෙන් ගෙරෙව්වා. ඉබි පැටවු ගෙරවිල්ලට බයවෙන්නත් කලින්ම එයාගෙ ලොකු අත් දෙකෙන් ඉබි පැටවු ටික එකතු කර ගත්තා.

"ජොකොස්! ජොකොස්! ! ජොකොස්! ! !"

හිතා ගන්නත් කලින් ඉබි පැටවු හිටියේ කළුවර වතුරක. වැටුණු පාරට ටෝටි වතුර යටට ම ගියා. අන්දමන්ද වුණ ටෝටි ඇස් දෙක ලොකු කරලා කරකවලා වට පිට බලනවා. ටෝටි වගේම යාළුවොත් වැටුණ පාරට ඊතල වගේ වතුර විදගෙන යට යනවා. හොඳටම බය වුණ ටෝටි කකුල්වලින් වාරු අරන් අමාරුවෙන් වතුර උඩට ඇවිත් බලන කොට යි තෙරුණේ- වලස්හාමි තරහ ගිය පාර ඉබි ළමයි ටික මන්තරකාර ළිඳට අත් ඇරලා.
දැන් මොනවා කරන්නද?

"ටෝටි, උඹ හරිම පල් මෝඩයෙක්. මොන එකටද අර වලස් තඩියගෙ ඇඟේ පෙරළුණේ?" යාළුවෝ ටෝටිට බැණ වැදුණා.

"මම හිතුවෙ ඒ ලොම් තියෙන කන්දක් කියලයි" ටෝටි අහිංසක විදිහට කිව්වා.

"හපොයි උඹ වගේ මැටි ගුලියක්. උඹ ඉබ්බෙක් කියලා කියන්නත් ලැජ්ජයි. - ලොම් තියෙන කඳු තියෙන්නේ කොහේද?" යාළුවන් තරහෙන් පිපිරෙනවා දැකපු ටෝටි ළිඳේ කොණකට පීනලා ගිහින් තරු දිහා බලාගෙන කණගාටුවෙන් කල්පනා කරනවා.



ඔන්න එතකොට කවුදෝ ටෝටිගේ කකුලෙන් ඇද්දා.. ටිකක් ගැස්සුණ ටෝටි වටපිට බැලුවා. කවුරුවත් නෑ.. ආපහු තරු දිහා බලද්දි මෙන්න ආයෙත් කකුලෙන් අදිනවා.

"මම මේ ඉන්නෙ මන්තරකාර ළිඳේ. මේ නම් යකෙක් තමයි" බයවුණ ටෝටි කෑ ගහන්න කට ඇරියා.

"කෑ ගහන්න එපා පුංචි ඉබ්බො. මේ මම" ඔන්න ඒ පාර එතන ගෙම්බෙක් ඉඳගෙන ඉබ්බෙක් වගේ ඉබි බාසාවෙන් කතා කරනවා.

"අපොයි මම බය වුණ තරමක්- මේ ගෙඹිහාමි කෙනෙක් නෙ" ටෝටි දැනුමැත්තෙක් වගේ කියනවා.

"ඇත්තටම මම ගෙම්බෙක් වගේද?" ගෙඹිහාමි දුකෙන් අහනවා.

"මේ මොනව අහනවද? ගෙම්බෙක් ගෙම්බෙක් වගේ නොවී වෙන කවුරු වගේ වෙන්නද?" ටෝටි පුදුම වෙලා අහනවා.

"ඒ කියන්නෙ මම කැතම කැත සෙවල ගෑවුණ ගෙම්බෙක්?" ගෙඹිහාමි අඬන්න පටන් ගත්තා. හොඳටම කළබල වුණ ටෝටි මෙහෙම කියනවා.

"අපොයි ගෙඹිහාමි අඬන්න එපා. කවුද කිව්වෙ ගෙඹිහාමි කැතයි කියලා. ගෙඹිහාමිට තියෙන්නෙ හරිම ලස්සන කොළ පාටක්. බලාපන් ඔය හම- හඳ එළියට මැණිකක් වගේ දිළිසෙනවා." ටෝටි ඒ කිව්වෙ ඇත්තටමයි. ටෝටි කැමති වුනේ නෑ ගෙම්බෙක් වුනත් දුකෙන් ඉන්නවා බලන්න.

"මම ලස්සන නෑ. මම කැත ගෙම්බෙක්" ගෙඹිහාමි තවත් අඬනවා.

"අපොයි නෑ . ගෙඹිහාමි හරිම ලස්සනයි." ටෝටි ගෙඹිහාමිට කියනවා.

"මම දන්නවා මම කැතයි" ගෙඹිහාමි වැළපුණා.



"මේ බලාපන් ගෙඹිහාමි. කෙනෙකුට තමන්ගෙ ලස්සන පෙනෙන්නෙ නෑ. එය දකින්නෙ වෙන කෙනෙක්. ඔය දිළිසෙන ඇස් දෙකත් එක්ක ගෙඹිහාමි කොයි තරම් ලස්සනද?"

ටෝටි එහෙම කියන කොටම මන්තරකාර ළිඳ එළිය වුණා. ගෙඹිහාමි අතුරුදහන් වුණා. ඒ වෙනකොට එතන හිටියෙ වචනවලින් කියල ඉවර කරන්න බැරි තරම් ලස්සන සුරංගනාවියක්.

"නුඹට ස්තූතියි ආදරණීය ඉබි පැංචෝ. මම අවුරුදු දාහක් මේ ළිඳේ හිටියා. මම සුරංගනාවියක් වෙලා ඉන්න කොට මේ ළිඳේ වතුර බිව්වා. ඒකට තරහ ගිය මේ ළිඳට අරක් ගත් මන්තරකාරි මට සාපයක් කළා. ඒ සාපයෙන් මම ගෙම්බෙක් වුණා. පණ තියෙන කෙනෙකු ඇවිත් ඒ ගෙඹි රූපෙ ලස්සනයි කියල තුන් පාරක් කිව්වොත් මට ඒ සාපයෙන් ගැලවෙන්න පුලුවන් කිව්වා. ඒ වගේ කැත ගෙම්බෙකුට ලස්සනයි කියන්න තරම් ලස්සන හදවතක් තියෙන කෙනෙක් මේ ලෝකෙ නෙවෙයි මම ඉන්න සුරංගනා ලෝකෙවත් ඉන්නවා කියලා මම හිතුවෙ නෑ. නුඹ මට කළේ සුරංගනාවියක්වත් නොකරන උදව්වක්."

ගෙඹිහාමි වෙලා හිටිය සුරංගනාවි ගීතයක් වගේ ලස්සන කටහඬකින් කිව්වා.



"මේ කළ උපකාරයට මම නුඹට වරයක් දෙන්න කැමතියි. නුඹ කැමති දෙයක් ඉල්ලපන්."

ටෝටි හොඳටම කලබල වෙලා. ගෙම්බෙක් ඇස් ඉදිරිපිට සුරංගනාවියක් උනාම ඉබි පැටියෙක් කලබල නොවී කොහොමද? ටෝටිගෙ යාළු ඉබි පැටවු දැන් ටෝටිගෙ වටේ බලන් ඉන්නවා.

ටෝටි කල්පනා කරනවා.

"හරි." ටෝටි කිව්වා.

" අපි, ඉබ්බෝ හැමෝම කන්නෙ, බොන්නෙ, ඇවිදින්නෙ, වැඩකරන්නෙ හෙමිහිට. මට ඕනෙ හැම දේම වේගයෙන් කරන්න වරයක්"
සුරංගනාවි හිනාවුණා.

"හරි ටෝටි. නුඹට එය ලැබෙයි. මම තව තෑග්ගක් නුඹලාට දෙනවා. ඒ තමයි නුඹලා හැමෝම මේ ළිඳෙන් ගොඩට ගෙනියන එක. මහ රෑට මන්තරකාරි මේ ළිඳට එනවා. ඒ එනකොට නුඹලා හිටියොත් ඇය නුඹලාව කා දමාවි."

ඉබි පැටවු ටික ළිඳෙන් ගොඩට ගෙනාපු සුරංගනාවි සමු අරගෙන තරු අතරට අතුරුදහන් වුණා. ටෝටිට කිසිම ඉබ්බෙකුට කවදාවත් හිතන්නවත් බැරි තරම් වේගයෙක් වැඩ කරන්න පුලුවන් වුණා. ඒ හැකියාවෙන් ඉබි ගමේ හැමෝටම උදව් කරමින් ටෝටි අවුරුදු එකසිය පණහකටත් වඩා කල් සන්තෝසෙන් ජීවත් වුණා.


[චිත්‍ර : අන්තර්ජාලයෙන්]

~ඉවරයි.~

වසිලිස්සා



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
| | edit post
Related Posts with Thumbnails